Skip to content

පටුනට යන්න

අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද?

අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද?

අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද?

“නොකඩවා යාච්ඤා කරන්න. සියල්ලෙහිදී ස්තුති දෙන්න.”—1 තෙසලෝනික 5:17, 18, NW.

1, 2. යාච්ඤාව නමැති වරප්‍රසාදය තමා ඉතා ඉහළින් අගය කළ බව දානියෙල් පෙන්වූයේ කොහොමද? එය දෙවි සමඟ තිබූ ඔහුගේ සම්බන්ධතාවට බලපෑවේ කෙසේද?

අනාගතවක්තෘ දානියෙල්ට දවසකට තුන්වතාවක් යාච්ඤා කිරීමේ පුරුද්දක් තිබුණා. ඔහු තම උඩු මහල් කාමරයේ, යෙරුසලම දෙසට මුහුණ ලා තිබූ ජනේලය ළඟ දණ ගසාගෙන තම යාච්ඤා ඔප්පු කළා. (1 රාජාවලිය 8:46-49; දානියෙල් 6:10) මේදිය රජ වන දාරියුස්ට හැර, වෙනත් කිසිම කෙනෙකුට යාච්ඤා කිරීම තහනම් කරමින් රාජ නියෝගයක් පැනවූ අවස්ථාවේදී පවා දානියෙල් මොහොතකටවත් සැලුණේ නැහැ. තමාගේ ජීවිතයට තර්ජන එල්ල වුවත් නැතත්, යාච්ඤාවට ලැදි මේ මිනිසා යෙහෝවාට නොකඩවාම යාච්ඤාවෙන් කන්නලව් කළා.

2 යෙහෝවා දානියෙල් දෙස බැලුවේ කොහොමද? ගාබ්‍රියෙල් නමැති දේවදූතයා දානියෙල්ගේ යාච්ඤාවලට පිළිතුරු දීමට පැමිණි විට, ඔහු එම අනාගතවක්තෘවරයාව විස්තර කළේ “ඉතා ප්‍රියමනාප කෙනෙක්” [NW] හෙවත් “බොහෝ ප්‍රේම ලද්දෙක්” [පැරණි අනුවාදය] හැටියටයි. (දානියෙල් 9:20-23) එසකියෙල්ගේ අනාවැකියේ යෙහෝවා දානියෙල්ට යොමු දැක්වූයේ ධර්මිෂ්ඨ මිනිසෙකු ලෙසයි. (එසකියෙල් 14:14, 20) වසර ගණනාවක් පුරා කළ දානියෙල්ගේ යාච්ඤාවන් මගින් ඔහු හා දෙවි අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැංවුණු අතර, මෙය දාරියුස් විසින් පවා පිළිගෙන තිබූ සත්‍යයක්.—දානියෙල් 6:16.

3. එක් මිෂනාරිවරයෙකුගේ අද්දැකීමෙන් පෙන්වන විදිහට, අඛණ්ඩතාව පවත්වාගැනීමට යාච්ඤාව අපට උපකාරවත් වෙන්නේ කොහොමද?

3 නිතිපතා කරන යාච්ඤාව දැඩි පරීක්ෂාවලට මුහුණ දීමටද අපට මහෝපකාරී වෙනවා. නිදසුනක් වශයෙන්, වසර පහක කාලයක් පුරා තනිව සිරකුටියක තබනු ලැබූ හැරල්ඩ් කිං නමැති චීනයේ මිෂනාරිවරයාගේ අද්දැකීම සලකා බලන්න. තම අද්දැකීම සිහිපත් කරමින් සහෝදර කිං මෙසේ පැවසුවා. “මම මගේ සහෝදරයන්ගෙන් හුදෙකලා වෙලා ඉන්නවා වෙන්න පුළුවනි. නමුත් කිසිවෙකුට බැහැ මාව දෙවිගෙන් වෙන් කරන්න. . . . මේ නිසා, මම දවසට තුන් වරක් දණ ගසා ශබ්ද නඟා යාච්ඤා කළා. මගේ හිර කුටිය ළඟින් යන එන ඕනෑම කෙනෙක් මෙය දකින්නට ඇති. මට ඒ වෙලාවේ බයිබලයේ සඳහන් වෙන දානියෙල්වයි මතක් වුණේ. . . . මට හැඟුණේ ඒ වගේ වෙලාවල දෙවිගේ ආත්මය මගේ මනසට මඟ පෙන්වලා මට වඩාත් ප්‍රයෝජනවත් කාරණා මතක් කරලා දුන්නා වගේම මාව ඉතාමත් සන්සුන් තත්වයකට පත් කළා කියලයි. යාච්ඤාවෙන් මට මොනතරම් ආත්මික ශක්තියක් සහ සැනසිල්ලක් ලැබුණාද!”

4. මේ ලිපියේදී අප සලකා බලන්නේ යාච්ඤාව සම්බන්ධව කිනම් ප්‍රශ්නද?

4 බයිබලයේ මෙසේ සඳහන් වෙයි. “නොකඩවා යාච්ඤා කරන්න. සියල්ලෙහිදී ස්තුති දෙන්න.” (1 තෙසලෝනික 5:17, 18) මේ උපදෙස දෙස බලද්දී අපට පහත සඳහන් මෙම ප්‍රශ්න ගැන සලකා බැලිය හැකියි. අප අපගේ යාච්ඤාවලට අවධානය යොමු කළ යුත්තේ ඇයි? නිතරම යෙහෝවා වෙතට එළඹීමට අපට ඇති හේතු මොනවාද? අපගේ අඩුලුහුඬුකම් නිසා දෙවිට යාච්ඤා කිරීමට අප වටින්නේ නැති බවක් හැඟෙන්නේ නම් අප කළ යුත්තේ මොනවාද?

යාච්ඤාව තුළින් මිත්‍රත්වය ගොඩනඟන්න

5. යාච්ඤාව මගින් අපට භුක්ති විඳීමට හැක්කේ මොන වගේ අද්විතීය මිත්‍රත්වයක්ද?

5 යෙහෝවා ඔබව ඔහුගේ මිත්‍රයෙකු ලෙස සිතනවාට ඔබ කැමතිද? ඔහු ආදිපිතෘ ආබ්‍රහම්ව සැලකුවේ එලෙසයි. (යෙසායා 41:8; යාකොබ් 2:23) යෙහෝවාට වුවමනා වන්නේ අප ඔහු සමඟ ඒ ආකාරයේ සම්බන්ධතාවක් වර්ධනය කරගන්නවා දකින්නයි. ඇත්තෙන්ම ඔහු අපට ආරාධනා කරනවා ඔහුට ළං වෙන්න කියා. (යාකොබ් 4:8) එම ආරාධනාව, යාච්ඤාව නමැති මෙම අද්විතීය වරප්‍රසාදය ගැන නිහඬව සන්සුන්ව කල්පනා කිරීමට අපව පොලඹවන්නේ නැද්ද? රජයේ වැදගත් නිලධාරියෙකුව මිතුරෙකු කරගන්නවා තියා, ඔහුට කතා කිරීමට යම් වේලාවක් සැලසුම් කරගැනීම පවා කොතරම් අමාරු දෙයක්ද! එහෙත්, විශ්වයේ මැවුම්කරු අපට ආරාධනා කරන්නේ අපට ඕනෑම වේලාවක ඕනෑම අවශ්‍යතාවකට ඔහු වෙතට යාච්ඤාවෙන් පිවිසෙන ලෙසටයි. (ගීතාවලිය 37:5) නොකඩවා යාච්ඤා කිරීමෙන් යෙහෝවා සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට හැකි වෙනවා.

6. ‘නොකඩවා යාච්ඤා කිරීමේ’ අවශ්‍යතාව ගැන යේසුස්ගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

6 එහෙත්, අපට කොතරම් පහසුවෙන් යාච්ඤාව අතපසු වී යා හැකිද! එදිනෙදා ජීවිතයේ කරදර පීඩනවලට අපේ අවධානය කොතරම් ඇදී යනවාද කියනවා නම්, අඩුම තරමින් දෙවිට කතා කිරීමට උත්සාහයක් දැරීමටවත් අපට බැරි වෙන්නට පුළුවනි. “නොකඩවා යාච්ඤා කරන්න” කියා යේසුස් තම ගෝලයන්ට දිරිගැන්වුවා වගේම ඔහුම ඒ දේ කළා. (මතෙව් 26:41, NW) උදෑසන පටන් රාත්‍රිය දක්වා ඔහු අඛණ්ඩව කාර්යබහුලව සිටියද, ඔහු තම ස්වර්ගික පියා සමඟ කතා කිරීමට කාලය වෙන් කරගත්තා. සමහරක් අවස්ථාවල යේසුස් “පාන්දරින්ම, එළිය වැටෙන්නත් පෙර” පිබිදුණේ යාච්ඤා කිරීමටයි. (මාක් 1:35, NW) තවත් අවස්ථාවල, දවස අවසානයේදී ඔහු පාළු ස්ථානයකට තනිව ගියේ යෙහෝවාට කතා කිරීම සඳහායි. (මතෙව් 14:23) යේසුස් යාච්ඤා කිරීම සඳහා සෑමවිටම කාලය සැලසුම් කරගත්තා. අපිත් එලෙසම කළ යුතුයි.—1 පේතෘස් 2:21, NW.

7. අපේ ස්වර්ගික පියාණන්ට දිනපතා කතා කිරීමට කිනම් තත්වයන් අපව පෙලඹවිය යුතුද?

7 අප අපේ එදිනෙදා ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන විට, වරදක් කිරීමට යම් යම් පෙලඹීම් ඇති වෙන විට සහ තීරණ ගන්නා විට පෞද්ගලිකවම යාච්ඤා කිරීමට සුදුසු වේලාවන් පෑදෙනවා. (එපීස 6:18) අප අපගේ ජීවිතයේ සියලුම පැතිවලදී දෙවිගේ මඟ පෙන්වීම සොයනවා නම්, ඔහු සමඟ තිබෙන අපේ මිත්‍රත්වය දියුණු වන බවට කිසිම සැකයක් නැහැ. මිතුරන් දෙදෙනෙක් ගැටලුවලට එක්ව මුහුණ දෙනවා නම්, මිත්‍රත්වයේ ඒ බැම්ම තව තවත් ශක්තිමත් වෙන්නේ නැද්ද? (හිතෝපදේශ 17:17) අප යෙහෝවා කෙරෙහි රඳා සිට ඔහුගේ පිහිට අද්දකින කලද සිදු වන්නෙත් මෙයමයි.—2 ලේකම් 14:11.

8. නෙහෙමියා, යේසුස් සහ හන්නාගේ ආදර්ශවලින් අප යාච්ඤා කරන කාල ප්‍රමාණය ගැන ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

8 යාච්ඤා තුළින් කොතරම් කාලයක් කතා කළ යුතුද හෝ කොතරම් වාර ගණනක් කතා කළ යුතුද කියා දෙවි අපට සීමා මායිම් නොදැමීම ගැන අප කොතරම් සතුටු විය යුතුද! පර්සියාවේ රජ ඉදිරියේ කන්නලව් කිරීමට පෙර නෙහෙමියා හනික නිශ්ශබ්ද යාච්ඤාවක් කිව්වා. (නෙහෙමියා 2:4, 5) ලාසරුස්ව නැවත නැඟිටවීම සඳහා බලය ලබා දෙන ලෙස යෙහෝවාගෙන් ඉල්ලා යේසුස් ඉදිරිපත් කළේ කෙටි යාච්ඤාවක්. (යොහන් 11:41, 42) අනෙක් අතට, හන්නා ‘යෙහෝවා ඉදිරියේ බොහෝ වේලා යාච්ඤා කරමින්’ ඇගේ හදවත වැගුරුවා. (1 සාමුවෙල් 1:12, 15, 16) අවශ්‍යතාවන් සහ තත්වයන්ට අනුව අපගේ පෞද්ගලික යාච්ඤා කෙටි හෝ දීර්ඝ විය හැකියි.

9. අපගේ යාච්ඤාවලට යෙහෝවා අප සඳහා කර ඇති සියලුම දේවල් සම්බන්ධයෙන් ප්‍රශංසාව සහ ස්තුතිය ඇතුළත් විය යුත්තේ මන්ද?

9 බයිබලයේ බොහෝ යාච්ඤාවන්හි යෙහෝවාගේ පරම තත්වය සහ ඔහුගේ පුදුමාකාර ක්‍රියාවන් ගැන හෘදයාංගම අගයක් පළ කර තිබෙනවා. (නික්මයාම 15:1-19; 1 ලේකම් 16:7-36; ගීතාවලිය 145) එක්තරා දර්ශනයකදී, ප්‍රේරිත යොහන් වැඩිමහල්ලන් 24දෙනෙක් දකිනවා. මෙය තම ස්වර්ගික තත්වයන්හි සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සම්පූර්ණ සංඛ්‍යාවයි. ඔවුන් යෙහෝවාට ප්‍රශංසා කරමින් කියන්නේ මෙසේයි. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය, ඒවා මවන ලද්දේය.” (එළිදරව් 4:10, 11, NW) අපටත් අපගේ මැවුම්කරුවාණන්ට නිතිපතා ප්‍රශංසා කිරීමට හේතු තිබෙනවා. යම් මවෙක් සහ පියෙක් තමන්ගේ දරුවෙකු වෙනුවෙන් කර ඇති දෙයක් ගැන එම දරුවා ඔවුන්ට ස්තුති කරන විට, එම මවට සහ පියාට කොතරම් සතුටක් දැනේවිද! යෙහෝවාගේ කරුණාව ගැන අගය කිරීමකින් යුතුව නිහඬව හා සන්සුන්ව කල්පනා කිරීම සහ ඒවා සඳහා අපගේ හෘදයාංගම කෘතගුණ පළ කිරීම, අපගේ යාච්ඤාවල ගුණය දියුණු කිරීමට කදිම මාර්ගයක් වෙනවා.

‘නොකඩවා යාච්ඤා කළ යුත්තේ’ මන්ද?

10. අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමෙහිලා යාච්ඤාවෙන් ඉටු වෙන කාර්යභාරය කුමක්ද?

10 නිතිපතා කරන යාච්ඤාව අපගේ ඇදහිල්ලට අතිශයින් වැදගත් දෙයක්. ‘නිතරම යාච්ඤා කිරීමේත් උත්සාහය අත් නොහැරීමේත් ඇති’ අවශ්‍යතාව ගැන උපහැරණය කිරීමෙන් පසුව, යේසුස් මෙහෙම ඇසුවා. “මනුෂ්‍ය පුත්‍රයා එන විට, පොළොවෙහි ඔහුට ඇදහිල්ල සම්බ වේද?” (ලූක් 18:1-8, NW) අර්ථාන්විතව හෘදයාංගමව කරන යාච්ඤා මගින් අපේ ඇදහිල්ල ගොඩනැංවෙනවා. ආදිපිතෘ ආබ්‍රහම් වයස්ගත වී දරුවන් නොලැබ සිටිය කල ඔහු දෙවි සමඟ මෙම කාරණය ගැන කතා කළා. මීට පිළිතුරු වශයෙන්, යෙහෝවා ඔහු අමතා අහස දෙස බලා තරු ගණන් කිරීමට හැකිදැයි ඔහුගෙන් ඇසුවා. අනතුරුව දෙවි ආබ්‍රහම්ට සහතික කළේ “ඔබේ වංශයද එසේම වන්නේය” යයි කියමිනුයි. ප්‍රතිඵලය? ආබ්‍රහම් “යෙහෝවා විශ්වාස කළේය. ඔහු ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන් ගත්තේය.” (උත්පත්ති 15:5, 6) අප යාච්ඤාවෙන් අපගේ හදවත් යෙහෝවාට විවෘත කරනවා නම්, බයිබලයෙන් ඔහු දෙන සහතිකයන් පිළිගන්නවා නම්, ඔහුට කීකරු වෙනවා නම්, ඔහු අපේ ඇදහිල්ල ශක්තිමත් කරන බවට ස්ථිර විය හැකියි.

11. ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට යාච්ඤාව මහෝපකාරී වෙන්නේ කෙසේද?

11 ගැටලු හසුරුවන්නටද යාච්ඤාව අපට උදව් වෙනවා. අප එදිනෙදා මුහුණ දෙන ගැටලු හා තත්වයන් කටුක ඒවාද? බයිබලය අපට කියන්නේ මෙසේයි. “ඔබේ බර යෙහෝවා පිට තබන්න, ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.” (ගීතාවලිය 55:22) අමාරු තීරණ ගැනීමට සිදු වන විට, අපට හැකියි යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න. සිය ප්‍රේරිතයන් 12දෙනාව තෝරා පත් කිරීමට පෙර, ඔහු පෞද්ගලිකව යාච්ඤා කරමින් පුරා රැයක් ගත කළා. (ලූක් 6:12-16) මිය යෑමට පෙර රාත්‍රියේදී යේසුස් කොතරම් ඕනෑකමින් යාච්ඤා කළාද කියතොත්, “ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී බිම වැටිණ.” (ලූක් 22:44, NW) මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? “ඔහුගේ දේවභය නිසා ඔහුට සවන් දෙන ලදි.” (හෙබ්‍රෙව් 5:7, NW) අප ඉතා ඕනෑකමින් නොකඩවා යාච්ඤා කරන විට, පීඩාකාරී තත්වයන්ට හා දුෂ්කර පරීක්ෂාවලට සාර්ථක ලෙස මුහුණ දෙන්නට අපට එය මහෝපකාරී වෙනවා.

12. යෙහෝවා අපට දක්වන පෞද්ගලික උනන්දුව යාච්ඤාව මගින් නිරූපණය වන්නේ කෙසේද?

12 යාච්ඤාවෙන් යෙහෝවා වෙතට ළංවීමට තිබෙන තවත් හේතුවක් නම්, අනෙක් අතට ඔහුද අපට ළංවීමයි. (යාකොබ් 4:8) අප යෙහෝවාට යාච්ඤාවෙන් අපේ සිත් විවර කරන විට, ඔහු අපගේ අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දක්වන බවත්, අපව මුදු මොළොක් ලෙස සලකන බවත් අපට හැඟෙන්නේ නැද්ද? අපි දෙවිගේ ප්‍රේමය ඉතා පෞද්ගලික ආකාරයකින් අද්දකින්නෙමු. යෙහෝවා තම සේවකයන් ඔවුන්ගේ ස්වර්ගික පියාණන් වශයෙන් තමන් වෙතට යොමු කරන සෑම යාච්ඤාවකටම වගකීම කිසිම කෙනෙකුට පවරා නැහැ. (ගීතාවලිය 66:19, 20; ලූක් 11:2) ‘ඔහු අප ගැන සලකන නිසා අපේ සියලු කරදර ඔහු පිට තබන්න’ කියායි ඔහු අපට ආරාධනා කරන්නේ.—1 පේතෘස් 5:6, 7.

13, 14. නොකඩවා යාච්ඤා කිරීම සඳහා අපට කිනම් හේතු තිබෙනවාද?

13 තවද ප්‍රසිද්ධ දේවසේවය තුළ නිරත වීමට අප තුළ ජ්වලිතයක් යාච්ඤාව මගින් ජනිත කරන අතර, උදාසීනකම හෝ විරුද්ධවාදිකම් නිසා සේවය නතර කර දැමීමට අප තුළ යම් හැඟීමක් ඇති වෙද්දී අපව ශක්තිමත් කරන්නටත් එයට පුළුවන්. (ක්‍රියා 4:23-31) ඒ වගේම ‘යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්නටද’ යාච්ඤාව ආරක්ෂාවක් විය හැකියි. (එපීස 6:11, 17, 18, 20) අපට එදිනෙදා මුහුණ දීමට සිදු වන පරීක්ෂා සමඟ පොරබදද්දී අපව ශක්තිමත් කරන මෙන් දෙවිගෙන් අපට ඉල්ලා සිටිය හැකියි. තවද සාතන් වන යක්ෂයාගෙන් හෙවත් ‘දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න’ කියා අයැදීමද යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවට ඇතුළත් වුණා.—මතෙව් 6:13, NW.

14 අප නොකඩවාම අපගේ පව්කාර නැඹුරුවාවන් පාලනය කරගැනීම සඳහා උපකාර ඉල්ලනවා නම්, අපට යෙහෝවාගේ පිහිට උපකාර ලැබෙනවා. අපට මෙම සහතිකය තිබෙනවා. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු ඉන් ගැලවීමට මඟද සලසන්නේය.” (1 කොරින්ති 10:13, NW) ප්‍රේරිත පාවුල් විවිධ තත්වයන් යටතේ සිටින විට යෙහෝවාගේ ශක්තිමත් කරවනසුලු හස්තය අද්දුටුවා. “මට බලය දෙන තැනැත්තා නිසා මට සියලු දේ කිරීමට ශක්තිය තිබේ” කියා ඔහු පැවසුවා.—ෆිලිප්පි 4:13, NW; 2 කොරින්ති 11:23-29.

අඩුලුහුඬුකම් තිබුණත් නොකඩවා යාච්ඤාවේ යෙදෙන්න

15. අපගේ හැසිරීම දෙවිගේ ප්‍රමිතිවලින් පහත වැටී තිබෙන විට කුමක් සිදු විය හැකිද?

15 දෙවි අපගේ යාච්ඤාවලට සතුටින් සවන් දීමට නම්, අප දෙවිගේ වචනයේ තිබෙන උපදෙස් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ප්‍රේරිත යොහන් මෙසේ ලීවා. “අප ඔහුගේ ආඥා පවත්වන නිසාත්, ඔහු ඉදිරියෙහි ප්‍රසන්න වූ දේ කරන නිසාත්, අප ඉල්ලන ඕනෑම දෙයක් ඔහුගෙන් අපට ලැබෙන්නේය.” (1 යොහන් 3:22, NW) එහෙත්, අපගේ හැසිරීම දෙවිගේ ප්‍රමිතිවලින් පහත වැටී තිබෙනවා නම්, කුමක් සිදු විය හැකිද? ඒදන් උයනේදී ආදම් සහ ඒව පව් කළ පසු සැඟවුණා. ‘යෙහෝවාගේ මුහුණ’ ඉදිරියෙන් සැඟවී යාච්ඤා කිරීම නතර කිරීමට අපටද සිතෙන්න පුළුවනි. (උත්පත්ති 3:8, NW) එක් අද්දැකීම් ලත් සංචාරක අවේක්ෂකයෙක් වන ක්ලවුස් මෙසේ නිරීක්ෂණය කරනවා. “මම දැකලා තියෙන විදිහට යෙහෝවාගෙන් සහ ඔහුගේ සංවිධානයෙන් ඉවතට ගසාගෙන යන අය පළමුවෙන්ම කරන අඥාන දෙය නම් යාච්ඤා කිරීම නැවැත්වීමයි.” (හෙබ්‍රෙව් 2:1) හෝසේ ආන්කෙල්ගේ තත්වය වූයේ මෙයයි. ඔහු මෙසේ පවසනවා. “අවුරුදු අටක් පමණ කාලයක් පුරා මම යෙහෝවාට යාච්ඤා කළේ කලාතුරකින්. ඔහු මගේ ස්වර්ගික පියා කියා මා සිතුවත්, ඔහුට කතා කරන්න තරම් මා වටින්නේ නැහැ කියා මට දැනුණා.”

16, 17. නිතිපතා කරන යාච්ඤාව මගින් අපට ආත්මික දුර්වලකම්වලින් ජයගැනීමට හැකි වන ආකාරය ගැන උදාහරණ දෙන්න.

16 ආත්මිකව දුර්වලව සිටින නිසා හෝ නැවත වාරයක් වරදට වැටී සිටින නිසා තමන් යාච්ඤා කිරීමට තරම් සුදුසු තත්වයක නැති බව අපගෙන් සමහරදෙනෙකුට හැඟෙන්නට පිළිවන්. එහෙත්, මෙවැනි අවස්ථාවකදී යාච්ඤාව නමැති වරප්‍රසාදයෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍යයි. යෝනා තම පැවරුමෙන් පලා දිව්වා. එහෙත්, ‘තමාගේ පීඩාව නිසා යෝනා යෙහෝවාට හඬගැසුවා. ඔහු ඔහුට උත්තර දුන්නා. ඔහු පාතාල ගැබේ සිට කෑගැසුවා. යෙහෝවා ඔහුගේ හඬ ඇසුවා.’ (යෝනා 2:2) යෝනා යාච්ඤා කළා. යෙහෝවා ඔහුගේ යාච්ඤාවලට උත්තර දුන්නා. ඒ නිසා යෝනා ආත්මිකව යළිත් ශක්තිමත් වුණා.

17 හෝසේ ආන්කෙල්ද උපකාරය පතා යාච්ඤා කළේ දැඩි වුවමනාවෙන්. ඔහු සිහි කරන්නේ මෙසේයි. “මම මගේ හෘදය විවෘත කර දෙවිගෙන් අයැද සමාව ඉල්ලුවා. ඔහු ඇත්තටම මට පිහිට වුණා. මම හිතන්නේ නැහැ මට යාච්ඤාවේ පිහිට නොතිබුණා නම්, ආයෙත් සත්‍යයට එන්න ලැබේවි කියා. මම දැන් නිතිපතා යාච්ඤා කරනවා. යාච්ඤා කිරීමට අවස්ථාවල් එන තෙක් මම ආශාවෙන් බලාගෙන ඉන්නවා.” අපත් අපේ අඩුලුහුඬුකම් ගැන දෙවිට විවෘතව පැවසීමටත් යටහත් පහත් ලෙස ඔහුගෙන් සමාව ඉල්ලීමටත් කිසි විටෙකත් බියක් සැකයක් ඇති කර නොගත යුතුයි. දාවිත් රජ පාපොච්චාරණය කළ විට, යෙහෝවා ඔහුගේ පව්වලට සමාව දුන්නා. (ගීතාවලිය 32:3-5) යෙහෝවාට වුවමනා වන්නේ අපව හෙළාදැකීමට නොවේ, සමාව දීමටයි. (1 යොහන් 3:19, 20) ඇරත් සභාවේ වැඩිමහල්ලන්ගේ යාච්ඤාද ආත්මිකව අපව ශක්තිමත් කරයි. මන්ද එවන් යාච්ඤාවලට “මහත් බලයක්” තිබෙනවා.—යාකොබ් 5:13-16, NW.

18. තමන් කොතරම් දුර ඈතට ඇදී ගොස් තිබුණත්, දෙවිගේ සේවකයන්ට කිනම් නිසැකකමක් ඇතුව සිටිය හැකිද?

18 යම් වරදක් කළායින් පසු අවශ්‍ය උපකාර හා අවවාද පතා තමන් වෙතට යටහත් පහත්ව එන පුතෙකුව ප්‍රතික්ෂේප කරන්නේ මොන පියාද? නාස්තිකාර පුත්‍රයාගේ උපමාවෙන් පෙන්වන්නේ අප කොතරම් ඈතකට ඇදී ගොස් සිටියත්, අප හැරී එන විට අපගේ ස්වර්ගික පියාණන් ඉතා සතුටු වන බවයි. (ලූක් 15:21, 22, 32) වැරදි කරන අයට තමන් වෙතට හැරී එන්නට කියා යෙහෝවා ආයාචනා කරනවා. එසේ කළහොත් “ඔහු අතිශයින් කමා වෙනවා ඇත.” (යෙසායා 55:6, 7) දාවිත් බරපතළ පව් කිහිපයක් කළද, ඔහු යෙහෝවාට හඬගසමින් ඉල්ලා සිටියේ මෙසේයි. “දෙවියනි, මාගේ යාච්ඤාවට කන් දුන මැනව. මාගේ කන්නලව්ව කෙරෙන් නොසැඟවුණ මැනව.” තවද ඔහු මෙසේද කීවා. “සවස සහ උදයද දාවල්ද දුක් කියමින් සුසුම්ලන්නෙමි. [යෙහෝවාද] මාගේ බස් අසන්නේය.” (ගීතාවලිය 55:1, 17) ඇත්තටම එය කොතරම් සැනසිලිදායක දෙයක්ද!

19. යාච්ඤාවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියා පෙනී යන විට, එය දෙවිගේ අනුමැතිය නැතිකමේ සාක්ෂියක් කියා අප නිගමනය නොකළ යුත්තේ ඇයි?

19 අපගේ කන්නලව්වලට ක්ෂණික පිළිතුරක් ලැබෙන්නේ නැත්නම්, තත්වය කුමක්ද? එවිට, අපගේ ඉල්ලීම් යෙහෝවාගේ කැමැත්තට අනුව ඉල්ලන බවටත්, ඒවා යේසුස්ගේ නාමයෙන් ඔප්පු කරන බවටත් අප සහතික විය යුතුයි. (යොහන් 16:23; 1 යොහන් 5:14) ශ්‍රාවක යාකොබ් ඇතැම් ක්‍රිස්තියානීන් ගැන කතා කළා. මේ අයගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණේ නැත්තේ ඔවුන් “වැරදි අරමුණු උදෙසා” ඉල්ලමින් සිටි නිසයි. (යාකොබ් 4:3, NW) අනෙක් අතට, අපගේ යාච්ඤාවලට පිළිතුරු නොලැබී යන වගක් අපට පෙනෙනවා නම්, එය අපට දෙවිගේ අනුමැතිය නැතිකමට සාක්ෂියක් කියා නිගමනය කිරීමට අප ඉක්මන් නොවිය යුතුයි. යෙහෝවා තම ඇදහිලිවන්තයන්ට යම් කාරණයක් ගැන යම් කාලයකට දිගින් දිගටම යාච්ඤා කිරීමට ඉඩහරිනවා විය හැකියි. ඊට පසුවයි ඔහුගේ ප්‍රතිචාරය අපට දකින්නට ලැබෙන්නේ. “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ” කියා යේසුස් පැවසුවා. (මතෙව් 7:7, NW) මෙබැවින්, අප “නොකඩවා යාච්ඤා කරන්න” අවශ්‍යයි.—රෝම 12:12, NW.

නිතිපතා යාච්ඤා කරන්න

20, 21. (අ) මේ “අන්තිම දවස්වලදී” අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ ඇයි? (ආ) අප යෙහෝවාගේ මහත් කරුණාවේ සිංහාසනයට දිනපතා ළඟා වෙන කල අපට ලැබෙන්නේ කුමක්ද?

20 මෙම “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු අන්තරාදායක කාලවල්” ඇති වන නිසා මුහුණ දීමට තිබෙන පීඩන හා ගැටලු එන්ට එන්ටම වැඩි වෙනවා. (2 තිමෝති 3:1, NW) ඇරත් පරීක්ෂා නිසා අපගේ මනස් බොහෝ දේවලින් පිරී යා හැකියි. කෙසේවෙතත්, කොතරම් ගැටලු, වැරදිවලට පෙලඹීම් සහ අධෛර්යය වීම් තිබුණද, අප නිතිපතා කරන යාච්ඤා මගින් අපට අපේ ජීවිත ආත්මික තලයක තබාගැනීමට පුළුවනි. අප දිනපතා යෙහෝවාට යාච්ඤා කරන විට, අපට අවශ්‍ය අතිවැදගත්ම අනුබලය ඒ මගින් ලැබෙනවා.

21 “යාච්ඤා අසන තැනැත්තා” වන යෙහෝවා කිසිම විටෙකත් අපට සවන් දීමට බැරි තරම් කාර්යබහුල කෙනෙක් නෙවේ. (ගීතාවලිය 65:2) අපිත් ඔහුට කතා කිරීමට බැරි තරම් කාර්යබහුල නොවී සිටිමු. අපේ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය තමයි අපට තිබෙන අති මහත්ම සම්පත. අපි කිසිවිටෙකත් එය සැහැල්ලුවට නොගනිමු. “එබැවින්, නියම වේලාවට උපකාරය සඳහා අපට දයාව ලැබෙන පිණිසත්, මහත් කරුණාව සම්බවන පිණිසත්, අපි කතා කිරීමේ නිදහසින් යුක්තව, මහත් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.”—හෙබ්‍රෙව් 4:16, NW.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යාච්ඤාවේ වටිනාකම ගැන ප්‍රොපේත දානියෙල්ගෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

• අපට යෙහෝවා සමඟ අපේ මිත්‍රත්වය ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?

• අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද?

• කිසිම වටිනාකමක් නැතැයි යන හැඟීම නිසා අප යෙහෝවාට යාච්ඤා කිරීමෙන් වැළකී නොසිටිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

රජුට කතා කිරීමට කලින් නෙහෙමියා කෙටි නිශ්ශබ්ද යාච්ඤාවක් කළා

[17වන පිටුවේ පින්තූරය]

හන්නා ‘යෙහෝවා ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කළා’

[18වන පිටුවේ පින්තූර]

යේසුස් තම ප්‍රේරිතයන් 12දෙනාව තෝරා පත් කිරීමට පෙර මුළු රැයක් පුරා යාච්ඤා කළා

[20වන පිටුවේ පින්තූර]

දවස පුරාම අපට යාච්ඤා කිරීම සඳහා ප්‍රස්තා උදා වෙනවා