Skip to content

පටුනට යන්න

ආත්මික සංවාද ගොඩනංවනසුලුය

ආත්මික සංවාද ගොඩනංවනසුලුය

ආත්මික සංවාද ගොඩනංවනසුලුය

“කිසි දූෂිත වචනයක් ඔබේ මුවින් පිටවීමට ඉඩ නෑර අසන්නන්ට ප්‍රයෝජනවත් වූ යමක් ලැබෙන පිණිස, ගොඩනැංවීම සඳහා උචිත යහපත් දේ කතා කරන්න.”—එෆීස 4:29, NW.

1, 2. (අ) මිනිසා සතු කතා කිරීමේ හැකියාව මොනතරම් අනර්ඝ දෙයක්ද? (ආ) යෙහෝවාගේ සේවකයන් ආශා වෙන්නේ තමන්ගේ දිව කෙසේ පාවිච්චි කිරීමටද?

“මිනිසා සතු කතා කිරීමේ හැකියාව අරුමයකි. මෙය දෙවිගෙන් ලැබී තිබෙන ත්‍යාගයකි. ආශ්චර්යයකි.” මෙම වදන් ලියනු ලැබුවේ වාග් විද්‍යාඥයෙකු වන ලූට්වික් කෝලර් විසිනි. දෙවිගෙන් ලැබී තිබෙන මෙම අගනා ත්‍යාගය අප සැහැල්ලුවට ගන්නවා විය හැක. (යාකොබ් 1:17) එහෙත් අප ප්‍රේම කරන කෙනෙකු ආඝාතයකට (අංශභාග රෝගයට) ලක්වීම නිසා පැහැදිලිව කතා කිරීමේ හැකියාව නැති වූ විට ඔහුට හෝ ඇයට අහිමි වෙන්නේ මොනතරම් වටිනා දෙයක්ද කියා සිතා බලන්න. “අපව එකිනෙකාට ළං කෙරෙවූ අදහස් හුවමාරුව මොනතරම් අපූර්ව අද්දැකීමක් වුණාද!” කියා ජොඈන් පැහැදිලි කළාය. මෑතකදී ඇගේ ස්වාමිපුරුෂයා ආඝාතයකට ගොදුරු විය. “ඔහුට දැන් කතා කරන්න බැරි නිසා මට ලොකු පාළුවක් දැනෙනවා” කියා ඇය පැවසුවාය.

2 මිත්‍රත්වයන් ඇති කිරීමට, වරදවා වටහාගැනීම් නිවැරදි කිරීමට, කලකිරුණු අයව දිරිමත් කිරීමට, ඇදහිල්ල ශක්තිමත් කිරීමට, තෘප්තිමත් ජීවිතයකට මං සැලසීමට සංවාදවලට හැකියි. එනමුත් මේ කිසිවක් ඉබේම සිදු නොවේ. නැණවත් සලමොන් රජ මෙසේ පැවසුවේය. “කඩුවෙන් අනින්නාක් මෙන් රළු බස් කීමක් තිබේ. එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” (හිතෝපදේශ 12:18) යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපේ ආශාව වෙන්නේ අප කරන සංවාද මගින් අන් අයගේ සිත් රිදවීම හෝ ඔවුන්ව බිඳ හෙළීම නොව ඔවුන්ට සුවය ගෙන දීමයි. ඔවුන්ව ගොඩනැංවීමයි. එමෙන්ම අප ප්‍රසිද්ධියේ දේවසේවයේ හවුල් වන විටදී මෙන්ම අපේ පෞද්ගලික සංවාදවලදීද යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා අපේ දිව පාවිච්චි කිරීමයි. ගීතිකාකරු මෙසේ ගායනා කළේය. “අපි දවස මුළුල්ලේම දෙවිව වර්ණනා කළෙමු. ඔබගේ නාමයට සදාකල් ස්තුති කරන්නෙමු.”—ගීතාවලිය 44:8.

3, 4. (අ) අපේ දිව පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අප සෑම කෙනෙකුම මුහුණපාන ගැටලුව කුමක්ද? (ආ) අපේ මුවින් පිට වන වචන ගැන අප කල්පනාකාරී විය යුත්තේ මන්ද?

3 “දිව මෙල්ල කිරීමට මනුෂ්‍යවර්ගයා අතරින් කිසිවෙකුට නොහැක” කියා ශ්‍රාවක යාකොබ් අනතුරු අඟවයි. මේ සමඟම ඔහු අපට මේ කාරණයද මතක් කරවයි. “අපි සියලුදෙනාම බොහෝවර වැරදි කරන්නෙමු. යමෙකු වචනයකින්වත් වැරදි කරන්නේ නැත්නම්, ඔහු තමාගේ මුළු ශරීරයම දමනය කළ හැකි පරිපූර්ණ මිනිසෙකි.” (යාකොබ් 3:2, 8, NW) අපගෙන් කිසිවෙකු පරිපූර්ණ අය නොවේ. අපේ චේතනා කොතරම් යහපත් වුවද, අපේ මුවින් පිට වන වදන් මගින් සැමවිටම අන් අයව ගොඩනැංවීමට හෝ අපේ මැවුම්කරුට ප්‍රශංසා කිරීමට නොහැකි වෙන්නේ ඒ හේතුව නිසාය. එනිසා අප පවසන දේවල් ගැන කල්පනාකාරී විය යුතුය. එපමණක්ද නොව යේසුස්ද මේ ගැන මෙසේ පැවසුවේය. “මිනිසුන් කියන සෑම නිෂ්ප්‍රයෝජන දෙයක් ගැනම ඔවුන් විනිශ්චය දවසේදී ගණන් දිය යුතුය. . . . මන්ද ඔබ පවසන දේ අනුව ඔබ ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබේ. එමෙන්ම ඔබ පවසන දේ අනුව ඔබ වරදකරුවෙකු බවට පත් වනු ඇත.” (මතෙව් 12:36, 37, NW) ඔව්, අප පවසන වදන් ගැන අප සැබෑ දෙවිට ගණන් දිය යුතුයි.

4 හානිකර ලෙස දිව පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය හැකි හොඳම මාර්ගවලින් එකක් වන්නේ ආත්මික කාරණා ඇතුළත් සංවාදවල නියැලීමේ පුරුද්ද ක්‍රමානුකූලව වර්ධනය කරගැනීමයි. අපට මෙය කළ හැකි ආකාරය ගැනත් අපට කතාබහ කළ හැකි විවිධ මාතෘකා ගැනත් ගොඩනංවනසුලු සංවාදවල නියැලීමෙන් අපට අත් කරගත හැකි ප්‍රයෝජන ගැනත් මේ ලිපියේදී සලකා බැලෙයි.

සිතෙහි තිබෙන දේවල් ගැන සැලකිලිමත් වන්න

5. ගොඩනංවනසුලු සංවාදවලට මුල පිරීමේදී සිත මගින් වැදගත් කාර්යයක් ඉටු වෙන්නේ කෙසේද?

5 ගොඩනංවනසුලු සංවාදවල නියැලීමේ පුරුද්ද වර්ධනය කරගැනීමේදී අප මුලින්ම කළ යුත්තේ, අපේ මුවින් පිට වන වදන්වලින් අපේ සිතේ තිබෙන දේවල් හෙළි වෙන බව තේරුම්ගැනීමයි. මේ ගැන යේසුස් මෙසේ පැවසුවේය. “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” (මතෙව් 12:34, NW) සාමාන්‍යයෙන් අප කැමති වෙන්නේ වඩාත් වැදගත් කියා අපට හැඟෙන දේවල් ගැන කතාබහ කිරීමටයි. මෙසේ හැඟෙන අවස්ථාවලදී අප අපෙන්ම මෙසේ අසාගැනීම අවශ්‍යයි. ‘මම කතාබහ කරන දේවලින් මගේ සිතේ තිබෙන දේවල් ගැන හෙළි වෙන්නේ මොනවාද? මගේ පවුලේ අය හෝ සෙසු ඇදහිලිවන්තයන් සමඟ සිටින විට මම කතාබහ කරන්නේ ආත්මික කාරණා ගැනද? එසේත් නැත්නම් මගේ කතාව ඉබේම වගේ ක්‍රීඩා, ඇඳුම් පැළඳුම්, චිත්‍රපටි, කෑම බිම, මම අලුතින්ම මිල දී ගත් භාණ්ඩ නැතහොත් එතරම් වැදගත්කමක් නැති දේවල් වෙතට යොමු වෙනවාද?’ සමහරවිට දෙවන තැනට දැමිය යුතු කාරණා වටා අපේ ජීවිත හා සිතුවිලි නොදැනුවත්වම පාහේ කේන්ද්‍රගත විය හැකියි. අප ප්‍රමුඛත්වය දෙන දේවල් නිසි ලෙස සකස් කරගැනීමෙන් අප කරන සංවාදවල මෙන්ම අපේ ජීවිතවල ගුණාත්මකභාවයද වැඩි වනු ඇත.—පිලිප්පි 1:10.

6. අපේ සංවාදවලදී මෙනෙහි කිරීම මගින් ඉටු කෙරෙන කාර්යය කුමක්ද?

6 අප පවසන දේවල ගුණාත්මකභාවය දියුණු කරගත හැකි තවත් ආකාරයක් වන්නේ අරමුණක් සහිතව කරන මෙනෙහි කිරීමයි. අප ආත්මික කාරණා ගැන සිතා බැලීමට මහත් ඕනෑකමින් වෑයමක් දරනවා නම් අපේ සංවාදවලදී ආත්මික කාරණා අපේ මුවින් පිට වෙන්නේ නිරායාසයෙනි. දාවිත් රජ මේ කාරණා දෙක අතර තිබෙන සම්බන්ධය වටහාගත්තේය. ඔහු මෙසේ ගායනා කළේය. “යෙහෝවා, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.” (ගීතාවලිය 19:14) ගීතිකාකාර ආසාප් මෙසේ පැවසුවේය. “ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනා කරන්නෙමි. ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි.” (ගීතාවලිය 77:12) දේවවචනයේ සඳහන් සත්‍යයන් තමන්ගේ හදවතෙහි හා මනසෙහි තැන්පත් කරගෙන සිටින කෙනෙකුගේ මුවින් නිතැතින්ම පිට වෙන්නේ ප්‍රශංසා කිරීමට වටින දේවල්ය. යෙහෝවා තමන්ට උගන්වා තිබූ දේවල් ගැන කතා නොකර සිටීමට යෙරෙමියාට නොහැකි විය. (යෙරෙමියා 20:9) අප නිතිපතාම ආත්මික කාරණා ගැන ගැඹුරින් සිතා බලනවා නම්, අපද ක්‍රියා කරන්නේ ඔහු මෙන්ය.—1 තිමෝති 4:15.

7, 8. ගොඩනංවනසුලු සංවාද සඳහා සුදුසු වෙන්නේ කුමන මාතෘකාද?

7 හොඳ ආත්මික පුරුදු ඇති කරගැනීමෙන් ගොඩනංවනසුලු සංවාද සඳහා ඕනෑතරම් මාතෘකා සොයාගැනීමට අපට හැකියි. (පිලිප්පි 3:16) එක්රැස්වීම්, සමුළු, සභා රැස්වීම්, අලුත් ප්‍රකාශන සහ දිනපතා කියවන ශුද්ධ ලියවිලි පාඨය හා එහි මුද්‍රිත කොටස යන මේ සෑම එකකින්ම අන් අය සමඟ බෙදාගත හැකි ආත්මික මැණික් සොයාගත හැකියි. (මතෙව් 13:52) එමෙන්ම, ක්‍රිස්තියානි දේවසේවයේදී අප ලබන අද්දැකීම්වලින් ලැබිය හැකි ආත්මික ප්‍රබෝධය මොනතරම්ද!

8 ඊශ්‍රායෙල් දේශයේ තිබූ විවිධ වර්ගයේ ගස් වැල් හා එහි විසූ සතුන්, කුරුල්ලන් හා මසුන් සලමොන් රජුගේ නෙත් සිත් ඇදගත්තේය. (1 රාජාවලිය 4:33) දෙවි මවා තිබුණු දේවල් ගැන කතා කිරීමෙන් ඔහු ඉමහත් සතුටක් ලැබුවේය. ඔහු කළ දෙය අපටත් කළ හැකියි. යෙහෝවාගේ සේවකයන් විවිධ දේවල් ගැන කතා කළද ආත්මික දේවලට ඇල්මක් දක්වන පුද්ගලයන් සැමවිටම ප්‍රිය කරන්නේ ඔවුන්ගේ සංවාදවලදී ආත්මික දේවල් ගැන කතා කිරීමටයි.—1 කොරින්ති 2:13.

‘දිගටම මේ දේවල් මෙනෙහි කරන්න’

9. පාවුල් ෆිලිප්පිවරුන්ට දුන් උපදේශය කුමක්ද?

9 ප්‍රේරිත පාවුල් ෆිලිප්පි සභාවට දුන් උපදේශයට එකඟව කටයුතු කරන්නේ නම් කතා කරන මාතෘකාව කුමක් වුවත්, අපේ සංවාද මගින් අන් අය ගොඩනැංවෙනු ඇත. ඔහු මෙසේ ලීවේය. “සැබෑ වූ කොයි දේ ගැනත්, ගෞරවනීය වූ කොයි දේ ගැනත්, ධර්මිෂ්ඨ වූ කොයි දේ ගැනත්, නිර්මල වූ කොයි දේ ගැනත්, ප්‍රේමය ඇති කරන කොයි දේ ගැනත්, යහපත් කීර්තියක් ඇති කොයි දේ ගැනත්, ගුණවත් කොයි දේ ගැනත්, ප්‍රශංසනීය කොයි දේ ගැනත්, දිගටම මෙනෙහි කරන්න.” (ෆිලිප්පි 4:8, NW) පාවුල් සඳහන් කරන මෙම කාරණා මොනතරම් වැදගත්ද කියනවා නම්, ඔහු පවසන්නේ ඒ දේවල් “දිගටම මෙනෙහි කරන්න” කියායි. අපේ මනස් හා හදවත් ඒ දේවලින් අප පුරවාගත යුතුයි. එනිසා පාවුල් සඳහන් කළ කරුණු අට කෙරෙහි වෙන වෙනම අවධානය දීම, අපේ සංවාද ගොඩනංවනසුලු තලයකට ගෙන ඒමට උපකාරවත් වන ආකාරය සලකා බලමු.

10. අපේ සංවාදවලට සැබෑ වූ දේවල් ඇතුළත් කළ හැක්කේ කෙසේද?

10 යමක් සැබෑ දෙයක් ලෙස සැලකීමට නම් ඒ හා බැඳි තොරතුරු නිවැරදිව තිබීමට වඩා වැඩි යමක් අවශ්‍යයි. ඉන් කියවෙන්නේ දේවවචනයේ සඳහන් සත්‍යය වැනි අවංක හා විශ්වාසදායක දෙයක් ගැනයි. මේ නිසා බයිබලයේ සඳහන් අපගේ සිත්ගත් සත්‍යතා ගැනත් අපේ ආත්මිකත්වය ඉහළ දැමීමට ඉවහල් වූ කතා ගැනත් අපට උපකාරවත් වූ ශුද්ධ ලියවිලිමය උපදෙසක් ගැනත් අප අන් අය සමඟ කතා කරන විට අප සලකා බලන්නේ සැබෑ වූ දේවල්ය. අනිත් අතට අපි බාහිරින් පමණක් සැබෑ බවක් පෙන්වන “බොරු ‘දැනුම’” ප්‍රතික්ෂේප කරන්නෙමු. (1 තිමෝති 6:20, NW) එමෙන්ම අපි ඕපාදූප පතුරුවාහැරීමෙන්ද සත්‍යය බවට තහවුරු කරගත නොහැකි අද්දැකීම් හෝ වාර්තා ගැන පැවසීමෙන්ද වැළකී සිටින්නෙමු.

11. අපේ සංවාදවලට ඇතුළත් කරගත හැකි ගෞරවනීය දේවල් මොනවාද?

11 ගෞරවනීය වූ දේවලට අයත් වෙන්නේ උසස් මෙන්ම වැදගත්කමකින් යුත් දේවල්ය. නොවටිනා වූ නොවැදගත් දේවල් ඊට අයත් නොවේ. අපේ ක්‍රිස්තියානි දේවසේවය හා අප ජීවත් වෙන තීරණාත්මක කාලය හා බැඳි වැදගත් දේවල් ඊට ඇතුළත් වේ. එමෙන්ම අප දිගටම යහපත් ලෙස හැසිරීමේ අවශ්‍යතාවද ඊට අයත් තවත් දෙයකි. මෙවන් ගෞරවනීය දේවල් අප සාකච්ඡා කරන විට දිගටම ආත්මිකව අවදිව සිටීම සඳහා තිබෙන අපේ අධිෂ්ඨානය අපි තවත් ශක්තිමත් කරගන්නෙමු. අපේ අඛණ්ඩතාව දිගටම පවත්වාගන්නෙමු. ශුභාරංචිය අත් නෑර දේශනා කරන්නෙමු. අප දේවසේවයේදී ලබන සිත්ගන්නාසුලු අද්දැකීම් හා අප ජීවත් වෙමින් සිටින්නේ අන්තිම දවස්වල බව අපේ මතකයට නංවන වත්මන් සිදුවීම් මගින් උනන්දුව ඇති කරවන සංවාද සඳහා විවිධ කරුණු සැපයේ.—ක්‍රියා 14:27; 2 තිමෝති 3:1-5.

12. ධර්මිෂ්ඨ හා නිර්මල දේවල් මෙනෙහි කරන්න කියා පාවුල් දුන් උපදේශය සැලකිල්ලට ගැනීමේදී, වැළකී සිටිය යුත්තේ කුමකින්ද?

12 ධර්මිෂ්ඨ නමැති වචනයෙන් අදහස් වෙන්නේ දෙවිගේ ඇස් හමුවෙහි හරි වූ දෙයයි. එනම් ඔහුගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමයි. නිර්මල යන්නෙන් සිතුවිලිවලින් හා හැසිරීමෙන් පවිත්‍රව සිටීම අදහස් කෙරේ. අපහාස කිරීම්, අසභ්‍ය විහිළු හා ලිංගික කාරණා සම්බන්ධ කරගනිමින් පවසන ද්විත්ව අර්ථ ඇති කියමන් යනාදියට අපේ සංවාදවල කිසිම ඉඩක් නැත. (එපීස 5:3; කොලොස්සි 3:8) රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී එවැනි දෑ කතාබහ කරන අවස්ථාවලදී ක්‍රිස්තියානීහු නැණවත් ලෙස එතැනින් ඉවත්ව යති.

13. ප්‍රේමය ඇති කරවන හා යහපත් කීර්තියක් ඇති දේවල් වටා කේන්ද්‍රගත වන සංවාදවලට උදාහරණ සපයන්න.

13 ප්‍රේමය ඇති කරන දේවල් මෙනෙහි කරන්න කියා පාවුල් නිර්දේශ කරන විට, ඔහු ඉන් විස්තර කරන්නේ ප්‍රසන්න හා ප්‍රීතිය ඇති කරවන මෙන්ම ප්‍රේමයට පොලඹවන දේවල් ගැනයි. වෛරය, දැඩි අමනාපය හා වාද විවාද ඇතිවීමට තුඩු දෙන දේවල් ඊට මුළුමනින්ම විරුද්ධය. යහපත් කීර්තියක් ඇති දේවලට ඇතුළත් වෙන්නේ යහපත් දේවල්ය. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල නිතිපතා පළ වන ඇදහිලිවන්ත සහෝදර සහෝදරියන්ගේ ජීවිත කතා එවන් යහපත් දේවලට උදාහරණ වේ. ඇදහිල්ල ශක්තිමත් කරන එවන් ලිපි කියවීමෙන් පසු ඔබේ සිතට කාවැදුණු දේවල් අනිත් අයත් සමඟ බෙදාගැනීම හොඳ අදහසක් නොවේද? අනිත් අයගේ ආත්මික ක්‍රියාකාරකම්වලට සවන් දීමෙන් ලැබෙන දිරිගැන්වීම මොනතරම්ද! මෙවන් සංවාද මගින් සභාවේ ප්‍රේමය හා එක්සත්කම තවත් වැඩි වනු ඇත.

14. (අ) ගුණවත්කම පෙන්වීමට අප කළ යුත්තේ කුමක්ද? (ආ) ප්‍රශංසනීය දේවල් අපේ කතාබහට ඇතුළත් කරගැනීමට අපට හැක්කේ කෙසේද?

14 ‘ගුණවත් කොයි දෙයක්’ ගැනත් පාවුල් කතා කරයි. ගුණවත්කම යන්නෙන් විස්තර කෙරෙන්නේ යහපත්කම හෝ උසස් සදාචාරාත්මකව ප්‍රමිති අනුගමනය කිරීමයි. අපේ මුවින් පිට කරන වචන ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟ කරගැනීම ගැන අප සැලකිලිමත් විය යුතුය. අප පවසන දේවලට ධර්මිෂ්ඨ හා නිර්මල මෙන්ම ගුණවත් දේවල් ඇතුළත් කිරීමට වගබලා ගත යුතුය. ප්‍රශංසනීය යනුවෙන් අදහස් වෙන්නේ පැසසුමට ලක් කළ හැකි දේවල්ය. ඔබ හොඳ කතාවකට සවන් දුන්නා නම් හෝ සභාවේ සිටින කෙනෙකු ඇදහිලිවන්තව සිටීම පිළිබඳව හොඳ ආදර්ශයක් තබන බව ඔබ දකිනවා නම්, ඒ පුද්ගලයා සමඟත් අනිත් අය සමඟත් ඒ ගැන කතා කරන්න. ප්‍රේරිත පාවුල් ඔහුගේ සෙසු නමස්කාරකයන්ගේ කදිම ගුණාංග නිතර පැසසුමට ලක් කළේය. (රෝම 16:12; පිලිප්පි 2:19-22; පිලෙමොන් 4-7) අපේ මැවුම්කරුගේ නිර්මාණ සැබවින්ම ප්‍රශංසාවට ලක් කිරීමට වටින බව අමුතුවෙන් කිව යුතු නැත. ගොඩනංවනසුලු සංවාදවල නිරතවීම සඳහා ඕනෑතරම් කදිම විෂයන් ඒවායින් අපට සොයාගත හැකියි.—හිතෝපදේශ 6:6-8; 20:12; 26:2.

ගොඩනංවනසුලු සංවාදවල නිරත වෙන්න

15. දෙමාපියන් තමන්ගේ දරුවන් සමඟ අර්ථාන්විත සංවාදවල නියැලීමට බැඳී සිටින බව පෙන්වන ශුද්ධ ලියවිලිමය ආඥාව කුමක්ද?

15 ද්විතීය කථාව 6:6, 7හි මෙසේ සඳහන් වේ. “මා විසින් අද ඔබට අණ කරන මේ වචන ඔබේ සිතේ තිබේවා. ඒවා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, ඔබ ගෙයි හිඳින කලද මඟ යන කලද ඔබ සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.” මෙම ආඥාව ඉටු කිරීමට නම් දෙමාපියන් තමන්ගේ දරුවන් සමඟ අර්ථාන්විත මෙන්ම ආත්මික කාරණා වටා කේන්ද්‍රගත වන සංවාදවල නියැලීම අවශ්‍යයි.

16, 17. යෙහෝවාගේ හා ආබ්‍රහම්ගේ ආදර්ශයෙන් ක්‍රිස්තියානි දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

16 යේසුස් තමන්ට පොළොව මත ඉටු කිරීමට ලැබුණු පැවරුම සම්බන්ධයෙන් තම ස්වර්ගික පියා සමඟ කළ දීර්ඝ සංවාදයන් ගැන අපට සිතාගත හැකියි. “මාව එවූ පියාණන්ම, මා කිව යුතු දේ ගැනත් කතා කළ යුතු දේ ගැනත් මට ආඥාවක් දී තිබේ” කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේය. (යොහන් 12:49, NW; ද්විතීය කථාව 18:18) ආදි පිතෘ ආබ්‍රහම් ඔහුගේ පුත් ඊසාක් සමඟ පැය ගණනාවක් ගත කරමින් යෙහෝවා තම පවුලටත් තමන්ගේ ආදි පියවරුන්ටත් ආශීර්වාද කර තිබූ ආකාරය ගැන කරන්න ඇති. යටහත් පහත්ව දෙවිගේ කැමැත්ත කිරීම සඳහා එම සංවාද යේසුස්ට මෙන්ම ඊසාක්ටද උපකාරවත් වූ බවට සැකයක් නැත.—උත්පත්ති 22:7-9; මතෙව් 26:39.

17 අපේ දරුවන් සමඟද ගොඩනංවනසුලු සංවාද කිරීම අවශ්‍යයි. කාර්යබහුල වුවද දෙමාපියන් තමන්ගේ දරුවන් සමඟ කතාබහ කිරීමට කාලය සොයාගත යුතුය. හැකි නම් අඩුම තරමින් දවසකට එකවතාවක්වත් පවුලක් හැටියට එකට ආහාර වේලක් ගැනීම හොඳ අදහසක් නොවේද? මෙසේ එකට ආහාර භුක්ති විඳින අතරතුරේදී හෝ ඉන්පසුව, පවුලේ ආත්මික සුවයට බෙහෙවින් දායක විය හැකි ගොඩනංවනසුලු සාකච්ඡාවන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

18. දෙමාපියන් සහ දරුවන් අතර සිදු කෙරෙන හොඳ අදහස් හුවමාරුවක් ප්‍රයෝජනවත් වෙන ආකාරය පෙන්වා දෙන අද්දැකීමක් විස්තර කරන්න.

18 විසිවන වියේ මුල්භාගයේ පසු වන පුරෝගාමියෙකු වන ආලෙහන්ඩ්‍රෝ ඔහුට වයස අවුරුදු 14දී ඔහුගේ සිතේ තිබූ සැකයන් මතකයට නඟමින් මෙසේ පවසයි. “දෙවිගේ පැවැත්ම ගැනත් බයිබලයේ තිබෙන දේවල් ගැනත් මට විශ්වාසයක් තිබුණේ නැහැ. මේකට හේතුව වුණේ මගේ පාසැල් මිතුරන්ගේ හා ගුරුවරුන්ගේ බලපෑමයි. මගේ දෙමාපියන් මට කාරණා පහදා දෙන්න පැය ගණනාවක් ඉවසිලිවන්තව මාත් එක්ක කතා කළා. ඒ දුෂ්කර කාලයේදී මා තුළ තිබුණු සැකයන් දුරු කරගන්න විතරක් නෙමෙයි, මගේ ජීවිතය ගැන හොඳ තීරණ ගන්නත් ඒ සංවාද මට උපකාරවත් වුණා.” දැන් ඔහුගේ තත්වය ගැන කුමක් කිව හැකිද? මේ ගැන ආලෙහන්ඩ්‍රෝ මෙසේ පවසයි. “මම තවමත් ජීවත් වෙන්නේ ගෙදරයි. අපේ ගෙදර අය හුඟාක් කාර්යබහුල හින්දා මාත් එක්ක තනියම කතාබහ කරන්න තාත්තාට ටිකක් අමාරුයි. ඒක හින්දා අපි දෙන්නා කරන්නේ සතියට සැරයක් ඔහුගේ වැඩපොළේදී එකට කෑම ගන්න එකයි. මේ අතරතුරේදී අපි කරන කතාබහ ඇත්තටම මම හුඟාක් අගය කරනවා.”

19. ආත්මික සංවාදවල නියැලීම අප සෑම කෙනෙකුටම අවශ්‍ය වෙන්නේ මන්ද?

19 අපේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ ප්‍රයෝජනදායක ආත්මික සංවාදවල නියැලීමට ලැබෙන අවස්ථා අප ඉමහත් සේ අගය කරන්නේ නැද්ද? මෙවන් සංවාදවල නියැලීම සඳහා රැස්වීම්වලදී, ක්ෂේත්‍ර සේවයේ හවුල් වන විටදී හා වෙනත් අවස්ථාවල ඇසුරු කරන විටදී මෙන්ම ගමන් බිමන් යන විටදීද අපට කදිම ප්‍රස්තා උදා වේ. පාවුල් රෝමයේ විසූ ක්‍රිස්තියානීන් සමඟ කතාබහ කිරීමට මහත් ආශාවෙන් බලා සිටියේය. ‘ඔබෙත් මගෙත් ඇදහිල්ල මාර්ගයෙන් අප එකිනෙකා අතරේ අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් ඇති වන පිණිස ඔබව දැකගැනීමට දැඩි ආශාවෙන් සිටිමි’ කියා ඔහු ලීවේය. (රෝම 1:11, 12, NW) “ආත්මික කාරණා ගැන කරන සංවාද මගින් සෙසු ක්‍රිස්තියානීන්ගේ අතිවැදගත් අවශ්‍යතාවක් සැපිරෙනවා” කියා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු වන යෝහානස් පවසයි. “එමගින් සැබෑ ප්‍රීතියක් ඇති කරන අතර එදිනෙදා දැරීමට සිදු වෙන බරද ඉන් සැහැල්ලු වෙනවා. මම හුඟාක් වේලාවට වයසක අය ළඟට ගිහිල්ලා, එයාලාගේ ජීවිතය ගැනත් දිගටම විශ්වාසවන්තව සේවය කිරීමට එයාලාට උපකාරවත් වෙලා තියෙන දේවල් ගැනත් අහනවා. පහුගිය අවුරුදු ගණනාව පුරා මම හුඟාක්දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. මට යම් ප්‍රමාණයක ප්‍රඥාවක් හා අවබෝධයක් ලබාගන්නත් මගේ ජීවිතය වඩාත් තෘප්තිමත්ව ගත කරන්නත් ඒ හැම කෙනෙක් එක්කම කරපු කතාබහ මට උපකාරවත් වෙලා තියෙනවා.”

20. අපට ලජ්ජාශීලී කෙනෙකු සමඟ කතා කරන්න ලැබුණොත් කුමක් කළ හැකිද?

20 සංවාදයකදී ඔබ ආත්මික කාරණයක් ඉස්මතු කිරීම ගැන යමෙකු හිතකර ප්‍රතිචාරයක් නොදක්වන බව පෙනී යන්නේ නම් කුමක් කළ යුතුද? ඔබේ වෑයම අත්හරින්න එපා. සමහරවිට වඩාත් යෝග්‍ය අවස්ථාවක් ඔබට වෙනත් වේලාවකදී උදා විය හැකියි. සලමොන් මෙසේ පැවසුවේය. “කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බු මෙනි.” (හිතෝපදේශ 25:11) ලජ්ජාශීලී ගතියක් තිබෙන අයව තේරුම්ගැනීමට වෑයම් කරන්න. “මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය. එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය.” * (හිතෝපදේශ 20:5) ඔබේ සිත්ගත් දේවල් ගැන කතා කිරීමෙන් ඔබව වැළැක්වීමට අන් අයගේ ආකල්පවලට කවදාවත් ඉඩ නොදෙන්න.

ආත්මික සංවාද ප්‍රයෝජනදායකය

21, 22. ආත්මික තලයක කෙරෙන සංවාදවලින් අප ලබන ප්‍රයෝජන මොනවාද?

21 “කිසි දූෂිත වචනයක් ඔබේ මුවින් පිටවීමට ඉඩ නෑර අසන්නන්ට ප්‍රයෝජනවත් වූ යමක් ලැබෙන පිණිස, ගොඩනැංවීම සඳහා උචිත යහපත් දේ කතා කරන්න” කියා පාවුල් උපදෙස් දුන්නේය. (එෆීස 4:29, NW; රෝම 10:10) සංවාදයන් නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා වෑයමක් දැරීම අවශ්‍ය විය හැකියි. එනමුත් එයින් ලැබෙන ප්‍රයෝජන බොහෝය. අපේ විශ්වාසය ගැන අන් අය සමඟ කතා කිරීමටත් අපේ සහෝදරත්වය ගොඩනැංවීමටත් ආත්මික සංවාද උපකාරවත් වේ.

22 එමනිසා අපට ලැබී තිබෙන කතා කිරීමේ හැකියාව නමැති දීමනාව අන් අයව ගොඩනැංවීමටත් දෙවිට ප්‍රශංසා කිරීමටත් යොදාගනිමු. මෙවන් සංවාදවලින් අපට තෘප්තියක් ලැබිය හැකි අතර අන් අයටද දිරිගැන්වීමක් ලැබේ. වැදගත්ම දෙය වන්නේ එවන් සංවාද මගින් යෙහෝවාගේ සිතට සතුටක් දැනීමයි. මන්ද ඔහු අප කරන සංවාදවලට සවන් දීගෙන සිටින අතර අපේ දිව අප හරි විදිහට පාවිච්චි කරන විට ඔහු ඉන් ප්‍රීතියක් ලබන බැවිනි. (ගීතාවලිය 139:4; හිතෝපදේශ 27:11) අපේ සංවාද ආත්මික කාරණා මත ගොඩනඟන විට, යෙහෝවා අපව කවදාවත් අමතක කරන්නේ නැති බවට නිසැක විය හැකියි. අපේ කාලයේදී යෙහෝවාට සේවය කරන අය ගැන සඳහන් කරමින් බයිබලය මෙසේ පවසයි. “එකල යෙහෝවා කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කතා කරගත්තෝය. යෙහෝවාද කන් දී ඇසුවේය. එවිට යෙහෝවා කෙරෙහි භය ඇත්තාවූ ඔහුගේ නාමය සැලකුවාවූ අය ගැන ඔහු ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියන ලද්දේය.” (මලාකී 3:16; 4:5) එසේනම් අප කරන සංවාද ආත්මිකව ගොඩනංවනසුලු ඒවා වීම මොනතරම් වැදගත්ද!

[පාදසටහන]

^ 20 ඡේ. ඊශ්‍රායෙලයේ තිබූ ඇතැම් ළිං හුඟාක් ගැඹුරුය. ගිබියොන්හිදී කළ කැණීම්වලින් පුරාවිද්‍යාඥයන් මීටර් 25ක් ගැඹුරු ජලාශයක් සොයාගෙන ඇත. එහි පහළට ගොස් ජලය ඇදගැනීමට හැකි වන පරිදි පඩි පෙළක් එහි තිබේ.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• අප කරන සංවාදවලින් අප ගැන හෙළි වෙන්නේ කුමක්ද?

• අපට කතාබහ කළ හැකි ගොඩනංවනසුලු දේවල් මොනවාද?

• සංවාද මගින් පවුල් කවය හා සභාව තුළ ඉටු කෙරෙන වැදගත් කාර්යභාරය කුමක්ද?

• ගොඩනංවනසුලු සංවාද මගින් අත් වෙන ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූර]

ගොඩනංවනසුලු සංවාද . . .

‘සැබෑ වූ කොයි දේද,

‘ගෞරවනීය වූ කොයි දේද,

‘ප්‍රශංසනීය කොයි දේද

‘යහපත් කීර්තියක් ඇති කොයි දේද’ වටා කේන්ද්‍රගත වේ

[හිමිකම් විස්තර]

Video cover, Stalin: U.S. Army photo; Creator book cover, Eagle Nebula: J. Hester and P. Scowen (AZ State Univ.), NASA

[13වන පිටුවේ පින්තූරය]

ආත්මික සංවාදවල නියැලීමට ආහාර ගන්න අවස්ථාවලදී සුවිශේෂ ප්‍රස්තා උදා වේ