Skip to content

පටුනට යන්න

ඔබේ විවාහ බැම්ම ශක්තිමත් කළ හැකි අයුරු

ඔබේ විවාහ බැම්ම ශක්තිමත් කළ හැකි අයුරු

ඔබේ විවාහ බැම්ම ශක්තිමත් කළ හැකි අයුරු

හිතන්න ගෙයක් හොඳටම ජරාවාස වෙලා කියලා. බිත්තියේ තීන්ත ගැලවිලා, වහල ගරා වැටිලා ඒ විතරක් නොවෙයි ගේ අවට ශුද්ධ කරලා නැති නිසා මිදුල වල් ගස්වලින් පිරිලා. මේ ගේ ධාරානිපාත වර්ෂාවට හා කුණාටුවලට කාලාන්තරයක් තිස්සේ හසු වී තිබෙන නිසා එය නඩත්තු කිරීම අතපසු වෙලා. ඒ නිසා ගේ සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුද? අනිවාර්යයෙන්ම අවශ්‍ය නැහැ. අත්තිවාරම ශක්තිමත් නම් හා බිත්ති ශක්තිමත් නම් ගේ නැවත යථා තත්වයට ගෙනෙන්න පුළුවන්.

ඒ ගෙයි තත්වයත් හරියට ඔබේ විවාහය වගේ කියා ඔබට හැඟෙනවාද? අවුරුදු ගණනාවක් තිස්සේ ඔබේ විවාහ දිවිය දරුණු කුණාටු බඳු තත්වයන්ට හසු වූවා විය හැකියි. ඔබේ විවාහයේ මතු වී තිබෙන හානිකර තත්වයන් මඟහරවා ගැනීමට දරන උත්සාහයේදී ඔබ දෙදෙනාගේම අතින් හෝ එක්කෙනෙකුගේ හෝ අතින් යම් දුරකට අතපසු වීම් වෙලා ඇති. විවාහ වී අවුරුදු 15කට පස්සේ සැන්ඩිට හැඟුණු ආකාරයටම ඔබටත් හැඟෙනවා විය හැකියි. ඇය පැවසුවේ “අපි දෙදෙනා විවාහ වී සිටියා යන කාරණය හැරුණුකොට අප අතර කිසිම සමානකමක් තිබුණේ නැහැ. ඇත්තටම අපේ සම්බන්ධයෙන් සෑහීමට පත් වෙන්න බැහැ” කියායි.

ඔබේ විවාහයත් මේ තත්වයට පත් වී ඇත්නම් විවාහ දිවිය එතනින් අවසන් කළ යුතුයි යන ඉක්මන් තීරණයට එළඹෙන්න එපා. සමහරවිට ඔබේ විවාහය නැවත ප්‍රකෘතිමත් තත්වයකට ගෙන ඒමට හැකි වේවි. නමුත් එය බොහෝදුරට රඳා පවතින්නේ ඔබ සහ ඔබේ කලත්‍රයා කොතරම් දුරට අධිෂ්ඨානපූර්වකව එකිනෙකාට බැඳී සිටීමට ආශාවක් දක්වනවාද යන්න මතයි. එවැනි බැඳීමක් තිබෙනවා නම් ප්‍රශ්න ගැටලු ඇති වන අවස්ථාවලදී පවා ස්ථිරව සිටීමට හැකි වෙනවා. නමුත් ඇත්තටම බැඳීම යනු කුමක්ද? ඒ වගේම එම බැඳීම ශක්තිමත් කිරීමට බයිබලය උපකාරවත් වන්නේ කෙසේද?

බැඳීමට ඇතුළත් වගකීම

බැඳීම යන්නෙන් අදහස් වන්නේ යම් වගකීමකට හෝ චිත්තවේගීය හැඟීම්වලට යටත් වී සිටීමයි. සමහර අවස්ථාවලදී මෙම වචනය ව්‍යාපාරික ගිවිසුම් වැනි පණ නැති දෑ සම්බන්ධයෙන්ද භාවිත කෙරේ. උදාහරණයක් ලෙස ගෙයක් සෑදීම සඳහා ගිවිසුමකට අත්සන් කර ඇති කොන්ත්‍රාත්කරුවෙක් නියමිත වේලාවට එය නිම කිරීමට වගකීමෙන් බැඳී සිටියි. ඔහුට එම වැඩේ බාර දුන් තැනැත්තාව ඔහු පෞද්ගලිකව හඳුනන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් තමන් වූ පොරොන්දුවට එකඟව ක්‍රියා කිරීමට ඔහු වගකීමෙන් බැඳී සිටිනවා.

විවාහය කියන්නේ කිසිම හැඟීමක් නැති ව්‍යාපාරික ගනුදෙනුවක් නොවෙයි. ඒ වුණත්, විවාහ බැඳීමට යුතුකම් හෝ වගකීම් ඉටු කළ යුතුයි යන හැඟීම ඇතුළත්. කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුවත් එකට සිටින බවට ඔබත් ඔබේ කලත්‍රයාත් දෙවි සහ මනුෂ්‍යයන් ඉදිරියේ ඉතා ගෞරවනීය ලෙස පොරොන්දු වුණා විය හැකිය. යේසුස් පැවසුවේ මෙසේයි. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!” (මතෙව් 19:4-6, NW) එසේනම් යම් ප්‍රශ්න ගැටලු මතු වෙන අවස්ථාවලදී ඔබ සහ ඔබේ කලත්‍රයා එකිනෙකාට වූ පොරොන්දුවට එකඟව ක්‍රියා කිරීමට ස්ථීර අධිෂ්ඨානයකින් සිටිය යුතුයි. * එක භාර්යාවක් පැවසූවේ මෙහෙමයි. “අප දික්කසාද වෙන්න ඕනේ යන අදහස අපෙන් දුරු වුණාට පස්සෙයි අපේ තත්වය හොඳ අතට හැරෙන්න පටන්ගත්තේ.”

කොහොමවුණත්, විවාහයේ බැඳීමට නිකම්ම වගකීමෙන් බැඳී සිටිනවාට වඩා වැඩි යමක් ඇතුළත්. ඒ කුමක්ද?

සාමුහිකත්වයෙන් වැඩ කිරීමෙන් විවාහයේ බැඳීම ශක්තිමත් වේ

විවාහයකදී ඇති වන බැඳීමෙන් අදහස් වන්නේ විවාහක කලත්‍රයන් දෙදෙනා අතර එකඟ නොවීම් ඇති වන්නේ නැහැයි කියන එක නම් නොවෙයි. යම් මත භේදයක් ඇති වූ අවස්ථාවලදී එම තත්වය සමතයකට පත් කිරීමට අවංකව උත්සාහ දැරිය යුත්තේ ගිවිසුමකට වගකීමෙන් බැඳී සිටින නිසා පමණක් නොව, චිත්තවේගීය වශයෙන්ද එකිනෙකාට බැඳී සිටින නිසයි. ස්වාමිපුරුෂයා හා භාර්යාව සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ “ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය” කියායි.

ඔබගේ කලත්‍රයා සමඟ “එක මාංසයක්” වනවා කීමෙන් අදහස් වන්නේ කුමක්ද? මේ ගැන පාවුල් ලියා තිබෙන්නේ මෙසේයි. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය” කියායි. (එෆීස 5:28, 29, NW) එහෙමනම්, එක් පැත්තකින් “එක මාංසයක්” කීමෙන් ඇඟවෙන්නේ කෙනෙක් තමාගේ ශුභසාධනය ගැන කොතරම් සලකනවාද, ඒ හා සමානවම තමාගේ විවාහ කලත්‍රයාගේ ශුභසාධනය ගැනත් සැලකිල්ලක් දක්වන බවයි. විවාහක යුවළයන් සිතන ක්‍රමය වෙනස් කරගත යුතුයි. “මගේ” වෙනුවට “අපේ” කියාද “මම” වෙනුවට “අපි” කියාද සිතීමට ඔවුන් පුරුදු විය යුතුයි. එක් උපදේශිකාවක් කීවේ මෙසේයි. “කලත්‍රයන් දෙදෙනාම හදවතින් තනිකඩව සිටීමෙන් වැළකී සිටිය යුතු අතර හදවත්වලිනුත් විවාහ වී සිටිය යුතුයි.”

ඔබ සහ ඔබේ කලත්‍රයා “හදවතින්ම විවාහ වී” සිටිනවාද? දෙදෙනෙක් අවුරුදු ගණනාවක් එකට ජීවත් වී සිටිය හැකි මුත් ඒ අර්ථයෙන් “එක මාංසයක්” ලෙස ජීවත් වී නොතිබෙන්න පුළුවන්. ඇත්තවශයෙන්ම එසේ සිදු විය හැකියි. නමුත් එක් මූලාශ්‍රයක (Giving Time a Chance) මෙසේ පවසයි. “විවාහය යනු ජීවිතයක් එකට බෙදාගැනීමයි. දෙදෙනා වැඩියෙන් බෙදාගන්න තරමට විවාහ ජීවිතය වඩ වඩා සාර්ථක වීමට ඇති ප්‍රස්තාවද වැඩියි.”

සමහර යුවළයන් අසන්තෝෂයෙන් වුවද එකට වාසය කරන්නේ තමන්ගේ දරුවන්ගේ ශුභසිද්ධිය නිසා හෝ එහෙමත් නැත්නම් මූල්‍යමය හේතු නිසයි. තවත් සමහරු එකට ජීවත් වන්නේ ඔවුන් වෙන් වුණොත් සමාජය තමන් ගැන මොන වගේ හැඟීමක් ඇති කරගනීද යන බිය නිසා හෝ එහෙමත් නැත්නම් දික්කසාද වීම වැරදි බව ඔවුන් තරයේ විශ්වාස කරන නිසා විය හැකියි. මෙවැනි විවාහයන් කල් පැවතීම පැසසීමට ලක් විය යුතු කාරණයක් වුවද ඔබේ ඉලක්කය විය යුත්තේ ප්‍රේමණීය සම්බන්ධයක් මිස නිකම්ම කල් පවතින සම්බන්ධයක් පවත්වාගෙන යෑම නොවෙයි කියන එක අමතක කරන්න එපා.

පරාර්ථකාමී ක්‍රියාවන් බැඳීම ශක්තිමත් කරගැනීමට රුකුලක්

“අන්තිම දවස්වලදී” මනුෂ්‍යයන් “තමුන්ටම ප්‍රේම කරන” බව බයිබල් අනාවැකිවල පළ කර තිබෙනවා. (2 තිමෝති 3:1, 2) එම අනාවැකියට එකඟව අද වඩාත් වැදගත්යැයි සිතන්නේ තමන්ව උසස් කර සැලකීමයි. අනෙක් කලත්‍රයා තමන්ට මුළු හදින්ම කැප කිරීමක් කරයි යන සහතිකය නොමැතිව තමන් එලෙස කැපවීම අද බොහෝ විවාහවල සලකනු ලබන්නේ දුර්වලකමක් ලෙසයි. නමුත් සාර්ථක විවාහයකදී කලත්‍රයන් දෙදෙනාම ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් විදහා පෙන්වයි. ඔබට එසේ කළ හැක්කේ කෙසේද?

‘මට මෙම සම්බන්ධයෙන් ලැබෙන්නේ කුමක්ද?’ යන ප්‍රශ්නය ගැන සිතා ළත වෙනවාට වඩා ‘මගේ විවාහය ශක්තිමත් කිරීමට මම පෞද්ගලිකවම මොනවද කරන්නේ?’ කියා ඔබෙන්ම අසාගන්න. බයිබලයේ පවසන්නේ ක්‍රිස්තියානීන් ‘තමන්ගේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් සැලකිල්ලක් දක්වන්න’ අවශ්‍යයි කියායි. (ෆිලිප්පි 2:4, NW) මෙම බයිබල් ප්‍රතිපත්තිය ගැන මෙනෙහි කරන අතරතුර පසුගිය සතියේ ඔබේ ක්‍රියාවන් ගැන යම් විග්‍රහයක් කර බලන්න. ඔබේ කලත්‍රයාගේ ශුභසාධනයට පමණක් බලපාන කරුණාවන්ත ක්‍රියා කොපමණක් ඔබ කළාද? ඔබේ කලත්‍රයාට කතා කරන්න අවශ්‍ය වූ විට (සමහරවිට ඔබ කතා කරන්න ඒ තරම් කැමැත්තක් නොදැක්වූවද) ඔබ සවන් දුන්නාද? ඔබට වඩා ඔබේ කලත්‍රයා කැමති ක්‍රියාකාරකම් කොපමණක ඔබ නිරත වුණාද?

මෙම ප්‍රශ්න කිරා මැන බැලීමේදී ඔබ යහපත් ලෙස ක්‍රියා කරන බව තේරුම් නොගනී කියා හෝ ඊට ප්‍රතිඵල නොලැබෙයි කියා සිතා කනස්සලු වෙන්න එපා. එක් උපුටා දැක්වීමක මෙසේ පෙන්නුම් කරයි. “පොලඹවනසුලු යහපත් හැසිරීමක් තුළින් එයාකාරයෙන් හැසිරීමට අන් අයවද පෙලඹවිය හැකියි. එමනිසා වඩාත් යහපත් ලෙස හැසිරීමට ඔබේ කලත්‍රයාව උනන්දු කිරීමක් වශයෙන් ඔබ වඩාත් හොඳින් හැසිරෙන්න.” ආත්ම පරිත්‍යාගශීලී හැසිරීමෙන් ඔබේ විවාහය ශක්තිමත් වෙයි. මන්දයත් එමගින් පෙන්නුම් කරන්නේ ඔබට ඔබේ විවාහය වටින බව සහ එය රැකගැනීමට ඔබට වුවමනා බවයි.

විවාහය කල් පවතින දෙයක් ලෙස දැකීම

යෙහෝවා දෙවි පක්ෂපාතකම අගය කරනවා. බයිබලයේ පවසන්නේ ‘පක්ෂපාත තැනැත්තා සමඟ ඔබ [යෙහෝවා] පක්ෂපාතකම දක්වන්නේය’ කියායි. (2 සාමුවෙල් 22:26, NW) යෙහෝවාට පක්ෂපාත වීම යන්නට ඇතුළත් වන තවත් පැත්තක් නම් ඔහු ස්ථාපිත කළ විවාහ විධිවිධානයට පක්ෂපාත වීමයි.—උත්පත්ති 2:24.

ඔබ සහ ඔබේ කලත්‍රයා එකිනෙකාට පක්ෂපාත නම් දිගටම එකට සිටිය හැකි බව ඔබ දෙදෙනාටම ස්ථිර විය හැකියි. ඉදිරි මාස, අවුරුදු හා දශක ගණනාව පිළිබඳව සිතන විට පවා එදිනටත් ඔබ දෙදෙනා එක්ව සිටින ආකාරය ඔබේ මනසේ මැවේවි. කවදා හරි දවසක ඔබ දෙදෙනා වෙන් වේවි යන සිතුවිල්ල පවා ඔබ අහලකටවත් එන්නේ නැහැ. මෙවැනි සුවදායී ආකල්පයක් ඔබේ සම්බන්ධයට මහත් ආරක්ෂාවක් වනවා නිසැකයි. එක් භාර්යාවක් පැවසුවේ “මට මගේ ස්වාමිපුරුෂයා එක්ක ගොඩාක් තරහ යන අවස්ථාවලදී පවා මම හුඟක් කලබලයට පත් වෙන්නේ අපි දෙදෙනාට මේ මොනවද වෙන්නේ කියන එක ගැන හිතලයි. අපේ විවාහය කෙළවර වෙනවා කියලා මට බියක් දැනෙන්නේ නැහැ. නමුත් මම ළත වෙන්නේ නැවතත් අපේ සම්බන්ධය තිබුණු තත්වයට ගෙනෙන්නේ කොහොමද කියන එක ගැන හිතලයි. අපි දෙන්නා නැවතත් එකතු වෙනවා කියන එක ගැන නම් මට අබමල් රේණුවක තරම්වත් සැකයක් නැහැ. නමුත් මට ඒ වේලාවට ඒක කරන්නේ කොහොමද කියලායි හිතාගන්න බැරි.”

අනෙක් කලත්‍රයා කෙරෙහි බැඳීමක් ඇතිවීමට නම් විවාහය කල් පවතින දෙයක් ලෙස දැකීම අත්‍යවශ්‍යයි. කනගාටුවට කාරණයක් වන්නේ අද බොහෝ විවාහවල මේ දෘෂ්ටිය නැතිවීමයි. කෝප වී බහින් බස් වන අවස්ථාවක එක් කලත්‍රයෙක් “මම ඔයාව අත්හරිනවා!” හෝ “මාව ඇත්තටම අගය කරන කෙනෙක්ව මම හොයාගන්නවා!” වැනි වචන පිට කරන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී එම වචනවලින් කියන දේ ඇත්තටම ඔහු අදහස් කරන්නේ නැහැ. කෙසේවෙතත් බයිබලය පවසන්නේ දිව “මාරාන්තික විෂවලින් පිරී තිබෙන” බවයි. (යාකොබ් 3:8, NW) තර්ජනය කිරීම් හා අභියෝග එල්ල කිරීමෙන් අනෙක් කෙනාට දෙන පණිවිඩය නම් ‘මම අපේ විවාහය ස්ථීර එකක් කියලා හිතන්නේ නැහැ. මට ඒක ඕනෑ වේලාවක කටු ගාලා දාන්න පුළුවන්’ කියන එකයි. මෙවැනි දෙයක් ඇඟවීමෙන් පවා විවාහයක් දෙදරා යා හැකියි.

ඔබේ විවාහය කල් පවතින එකක් බව ඔබට හැඟේ නම් ඔබේ කලත්‍රයා සමඟ දුකේදීත් සැපේදීත් එකට ඉන්න බව ඔබට විශ්වාසයි. මෙහි ඇති තවත් ප්‍රයෝජනයක් නම් ඔබට සහ ඔබේ කලත්‍රයාට ඔවුනොවුන්ගේ දුර්වලකම් හා අඩු පාඩුකම් දරාගැනීමටත්, එකිනෙකා ගැන ඉවසමින් මුළු හිතින්ම සමාව දීමටත් හැකිවීමයි. (කොලොස්සි 3:13) එක් අත්පොතක “සාර්ථක විවාහය” ගැන පවසන්නේ මෙසේයි. “ඔබ දෙදෙනා අතින් යම් යම් වැරදි, අඩු පාඩු සිදු වුණත් මේ සියල්ල අබිබවා විවාහය ස්ථිරව පවතියි.”

ඔබේ මංගල දිනයේදී ඔබ පොරොන්දු වුණේ විවාහය නමැති ඒකකයට බැඳී සිටීමට නොව ඔබේ විවාහක කලත්‍රයාට නැතහොත් ජීවමාන කෙනෙකුට බැඳී සිටීමටයි. ඔබ විවාහක කෙනෙක් ලෙස සිතන හා ක්‍රියා කරන ආකාරය කෙරෙහි එම කරුණ ගැඹුරටම බලපෑ යුතුයි. ඔබේ විවාහ කලත්‍රයා සමඟ ඔබ බැඳී සිටිය යුත්තේ විවාහ විධිවිධානය පරිශුද්ධ දෙයක් ලෙස ඔබ තදින්ම විශ්වාස කරන නිසා පමණක් නොව ඔබ විවාහ වී සිටින පුද්ගලයාට ඔබ දක්වන ප්‍රේමය නිසා බවට ඔබ එකඟ වෙන්නේ නැද්ද?

[පාදසටහන්වල]

^ 7 ඡේ. සමහර දරුණු තත්වයන් යටතේ විවාහ යුවළකට වෙන්වීමට හොඳ හේතු තියෙන්න පුළුවන්. (1 කොරින්ති 7:10, 11; යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පවුලේ සන්තෝෂයට රහස පොතේ 160-1 දක්වා පිටු බලන්න) ඊට අමතරව බයිබලයේ පෙන්වන ආකාරයට දික්කසාද වීමට තිබෙන එකම පදනම වන්නේ පරදාර සේවනයයි.—මතෙව් 19:9, NW.

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට දැන් කුමක් කළ හැකිද?

ඔබේ විවාහය රැකගැනීමට හා ශක්තිමත්ව තබාගැනීමට ඔබ කොතරම් අධිෂ්ඨානපූර්වකව හා ආශාවෙන් සිටිනවාද? සමහරවිට දියුණු විය යුතු පැති ඔබ දැකිය හැකියි. ඔබේ බැඳීම ශක්තිමත් කරගැනීමට පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කර බලන්න.

● ආත්ම සෝදිසියක් කරන්න. ඔබෙන්ම මෙසේ අසන්න: ‘මම ඇත්තටම හදවතින්මද විවාහ වී සිටින්නේ? නැත්නම් මම තවම සිතන්නේ හා ක්‍රියා කරන්නේ තනිකඩයෙක් ලෙසද?’ මේ සම්බන්ධයෙන් ඔබ ක්‍රියා කරන්නේ කොහොමද කියා ඔබේ කලත්‍රයාට හැඟෙන විදිහ ගැන අසන්න.

● ඔබේ කලත්‍රයා සමඟ මේ ලිපිය කියවන්න. ඉන්පසු ඔබේ විවාහයේ බැඳීම ශක්තිමත් කිරීමට ඔබ දෙදෙනාට කළ හැකි විවිධ දේ ගැන ඔබේ කලත්‍රයා සමඟ සන්සුන් ලෙස සාකච්ඡා කරන්න.

● විවාහ බැඳීම ශක්තිමත් කළ හැකි විවිධ ක්‍රියාකාරකම්වල ඔබේ කලත්‍රයා සමඟ යෙදෙන්න. උදාහරණයක් ලෙස: ඔබේ මංගල දිනයේදී ගත් හා වෙනත් විශේෂ අවස්ථාවලදී ගත් ඡායාරූප බලන්න. පූර්ව විවාහ ඇසුරේදී හෝ විවාහ වූ මුල් කාලයේදී ඔබ සතුටක් ලැබූ යම් ක්‍රියාකාරකම්වල නැවත යෙදෙන්න. බයිබලය මත පදනම් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල විවාහය සම්බන්ධව ලියැවී තිබෙන ලිපි එකට අධ්‍යයනය කරන්න.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

විවාහයකදී බැඳීමට ඇතුළත් වන දෑ

වගකීම ‘ඔබ වූ බාරය ගෙවන්න. ඔබ බාරයක් වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය.’—දේශනාකාරයා 5:4, 5.

සාමූහිකත්වය “එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය . . . ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත.”—දේශනාකාරයා [ධර්මදේශකයා] 4:9, 10, නව අනුවාදය.

ආත්ම පරිත්‍යාගශීලී වීම “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.”—ක්‍රියා 20:35, NW.

විවාහය කල් පවතින දෙයක් ලෙස දැකීම “ප්‍රේමය . . . සියල්ල විඳදරාගන්නේය.”—1 කොරින්ති 13:4, 7, NW.

[7වන පිටුවේ පින්තූර]

ඔබේ කලත්‍රයාට කතා කරන්න අවශ්‍ය වූ විට ඔබ සවන් දෙනවාද?