Skip to content

පටුනට යන්න

“ප්‍රඥාවන්තයාගේ නීතිය” ජීවන උල්පතක්ය

“ප්‍රඥාවන්තයාගේ නීතිය” ජීවන උල්පතක්ය

“ප්‍රඥාවන්තයාගේ නීතිය” ජීවන උල්පතක්ය

“දෙවිගේ සම්පත් මෙන්ම ප්‍රඥාවත්, දැනුමත් කොතරම් ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැනීමත්, ඔහුගේ මාර්ග තේරුම්ගැනීමත් කොතරම් අමාරුද” කියා ප්‍රේරිත පාවුල් විස්මයෙන් ප්‍රකාශ කළේය. (රෝම 11:33, NW) එමෙන්ම විශ්වාසවන්ත කුලදෙටු යෝබ්ද මෙසේ පැවසීය. “[යෙහෝවා දෙවි] සිතින් ප්‍රඥාවන්තය.” (යෝබ් 9:4) ඇත්තෙන්ම, ස්වර්ගයේ සහ පොළොවේ මැවුම්කරුගේ ප්‍රඥාව හා සම කළ හැකි කිසිවක් නැත්තේය. එවන් ප්‍රඥාවක් සතු මැවුම්කරුවෙකුගේ නීතිය ගැන හෝ ලිඛිත වචනය ගැන කුමක් කිව හැකිද?

ගීතිකාකරු මෙසේ ගැයුවේය. “යෙහෝවාගේ නීතිය සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය. යෙහෝවාගේ සිහිගැන්වීම විශ්වසනීයය, දැනුම නැත්තන් නුවණැත්තන් කරන්නේය. යෙහෝවාගේ අණ පනත් සාධාරණය, සිත ප්‍රීති කරවන්නේය. යෙහෝවාගේ ආඥාව පවිත්‍රය, ඇස් එළිය කරන්නේය.” (ගීතාවලිය 19:7, 8, NW) පුරාණ ඊශ්‍රායෙලයේ සලමොන් රජ එම සත්‍ය වචන මොන තරම් අගය කරන්න ඇද්ද! ඔහු පැවසුවේ මෙලෙසයි. “ප්‍රඥාවන්තයාගේ නීතිය මරණයේ මලපත්වලින් ගලවන ජීවන උල්පතක්ය.” (හිතෝපදේශ 13:14, NW) අපේ ජීවිතය යහපත් අතට යොමු කරගැනීම සඳහා මෙන්ම අනතුරුවලින් වැළකී සිටීම සඳහා හිතෝපදේශ 13වන පරිච්ඡේදයේ මුල් පද 13හි අඩංගු දෙවිගේ උපදෙස් අපට උපකාරවත් වන අයුරු සලමොන් පෙන්නුම් කළේය.

ඉගෙනගැනීමට කැමති කෙනෙකු වන්න

“ඥානවන්ත පුත්‍රයා තම පියාගේ හික්මවීම පිළිගන්නේය. එහෙත් නින්දා කරන්නා තරවටුවට සවන් නොදෙන්නේය” කියා හිතෝපදේශ 13:1හි [NW] පවසයි. පියෙකුගෙන් ලැබෙන හික්මවීම මෘදු හෝ දැඩි විය හැක. එය මුලින්ම පුහුණුවක් දෙන ආකාරයෙන් ලබා දිය හැකි අතර ප්‍රතික්ෂේප කළහොත් දඬුවම් විඳීමට සිදු විය හැක. පියාගේ හික්මවීම පිළිගන්නා විට පුත්‍රයෙකු ඥානවන්ත වේ.

“යෙහෝවා තමන් ප්‍රේම කරන අයව හික්මවන්නේය. පුත්‍රයෙක් ලෙස ඔහු පිළිගන්නා සෑම කෙනෙකුටම ඔහු කසයෙන් තළන්නේය” යනුවෙන් බයිබලයේ පවසයි. (හෙබ්‍රෙව් 12:6, NW) අපේ ස්වර්ගික පියා අපව හික්මවන එක ආකාරයක් වන්නේ ඔහුගේ ලිඛිත වචනය වන බයිබලය යොදාගනිමිනි. නිසි ගෞරවය දෙමින් බයිබලය කියවන විට සහ අප ඉන් ඉගෙනගන්නා දේට අනුව ක්‍රියා කරන විට ඔහුගේ වචනය ඇත්තෙන්ම අපව හික්මවයි. මෙය අපේම යහපතට හේතු වන්නේ, යෙහෝවා පවසන සෑම දෙයක්ම අපේ ප්‍රයෝජනය සඳහා වන බැවිනි.—යෙසායා 48:17.

අපේ ආත්මික ශුභසිද්ධිය ගැන උනන්දුවක් දක්වන සෙසු ඇදහිලිවන්තයෙකු අපව නිවැරදි කිරීම මගින්ද අපට හික්මවීම ලැබිය හැක. දෙවිගේ වචනයට එකඟව ලැබෙන ඕනෑම ප්‍රයෝජනවත් අවවාදයක් එම පුද්ගලයා උපදවා කියන දෙයක් ලෙස නොව සත්‍යයේ ශ්‍රේෂ්ඨ ප්‍රභවයෙන් පැමිණෙන දෙයක් ලෙස සැලකිය හැක. අප එය යෙහෝවාගෙන් පැමිණෙන දෙයක් වශයෙන් පිළිගැනීම ඥානවන්ත දෙයකි. අප එසේ කර අපේ සිතුවිලි සකස් කිරීමට, ශුද්ධ ලියවිලි පිළිබඳ අපේ අවබෝධය වැඩි කිරීමට සහ අපේ මාර්ග නිවැරදි කිරීමට එයට ඉඩහරින විට අපි ලැබෙන හික්මවීමෙන් ප්‍රයෝජන ලබන්නෙමු. ක්‍රිස්තියානි රැස්වීම්වලින් හා බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් අප ලබාගන්නා උපදෙස් සම්බන්ධයෙන්ද සැබෑව එයයි. එවැනි ලිඛිත හෝ වාචික වදන්වලින් ඉගෙනගනු ලබන දේට අනුව ක්‍රියා කිරීම අප අපවම හික්මවාගැනීමේ විශිෂ්ට ක්‍රමයකි.

මීට පටහැනිව නින්දා කරන්නා හික්මවීම පිළිගන්නේ නැත. “මං ඒ ගැන හොඳට දන්නවා කියා ඔහු සිතන බැවින් ඔහුට ඉගැන්විය නොහැකියි” කියා එක් ප්‍රකාශනයක පැවසේ. ඔහු ඊටත් වඩා දැඩි හික්මවීමක් වන තරවටුවට පවා අවනත නොවෙයි. එහෙත් පියාණන්ගේ හික්මවීම වැරදියි කියා ඔප්පු කිරීමට කවදා හෝ ඔහුට හැකි වේද? යෙහෝවාට කෙදිනකවත් වැරදී නැති අතර ඉදිරියටත් වරදින්නේ නැත. නින්දා කරන්නා හික්මවීම ප්‍රතික්ෂේප කිරීමෙන් නින්දාවට පත් කරගන්නේ තමාවමයි. එසේනම් ඉගෙනගැනීමට කැමති වන්නෙකු වීමේ ඇති වටිනාකම සලමොන් වචන ස්වල්පයකින් මොන තරම් අලංකාර ලෙස පෙන්වයිද!

ඔබේ දිව රැකගන්න!

දෙවිගේ වචනයේ මඟ පෙන්වීමට අනුව කතා කිරීමේ වැදගත්කම පෙන්වීමට ඊශ්‍රායෙලයේ රජ විසින් පල දරන ගසකට මුඛය සමාන කරනු ලැබීය. ඔහු පවසන්නේ මෙලෙසයි. “මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ පලයෙන් යහපත භුක්ති විඳියි. එහෙත් ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නා ප්‍රචණ්ඩකාරීය.” (හිතෝපදේශ 13:2, NW) මුඛයේ පල නම් මුඛයෙන් පිට වන වචන වේ. තවද මිනිසෙකු තම වචනවලින් වපුරන දේට අනුව නෙළාගනියි. “ඔහු තම වචන හොඳ අභිප්‍රායකින් යුතුව, අසල්වැසියන් සමඟ මිත්‍රශීලී සබඳතා ගොඩනඟා ගැනීමේ අරමුණෙන් පාවිච්චි කරන්නේ නම් ඔහු යහපත භුක්ති විඳිමින් ප්‍රීතිමත් මෙන්ම සාමකාමී දිවියක් ගත කරයි” කියා එක් ප්‍රවීණයෙක් පවසයි. ද්‍රෝහි තැනැත්තාගේ තත්වය ඊට පටහැනි වේ. ඔහුට වුවමනා කරන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් අන්‍යයන්ට අනතුරු කිරීමටයි. ඔහුගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඔහුට ලැබෙන්නෙත් ප්‍රචණ්ඩකාරී ප්‍රතිඵලමයි. ඔහුගේ දොර අබියස මරණයේ මලපත් තිබේ.

“කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල් කරගනියි. එහෙත් බොහෝ සෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි” කියා තවදුරටත් සලමොන් පවසයි. (හිතෝපදේශ 13:3) නොසිතා අනුවණ ලෙස කතා කිරීම හේතුවෙන් චරිතය ඝාතනය වීමට හා සිත් තැවුල් ඇතිවීමට මෙන්ම සබඳතා පලුදු වීමටද, ශාරීරික අනතුරු පවා සිදුවීමටද පුළුවන. බොහෝ සෙයින් කට ඇරීම හේතුවෙන් දිව්‍ය අනුග්‍රහයද අහිමි විය හැකියි. මන්ද තමන් පවසන දේ ගැන සෑම කෙනෙකුටම දෙවි ඉදිරියේ ගණන් දීමට සිදු වන බැවිනි. (මතෙව් 12:36, 37) ඇත්තෙන්ම අපේ කට හොඳින් පාලනය කරගැනීමෙන් අපව විනාශයෙන් බේරෙනු ඇත. එහෙත්, අපේ කට රැකගැනීමට අපට ඉගෙනගත හැක්කේ කෙසේද?

මෙය කළ හැකි එක සරල ක්‍රමයක් නම් තොරතෝංචියක් නැතුව කතා කිරීමෙන් වැළකී සිටීමයි. “වචන බහුල වූ කල වරද හිඟ නැත” යනුවෙන් බයිබලයේ පවසා ඇත. (හිතෝපදේශ 10:19) තවත් ක්‍රමයක් වන්නේ කතා කිරීමට කලින් සිතා බැලීමයි. ආනුභාව ලත් ලේඛකයා මෙසේ ප්‍රකාශ කරයි. “කඩුවෙන් අනින්නාක් මෙන් සිතා බැලීමකින් තොරව කතා කරන කෙනෙක් සිටියි.” (හිතෝපදේශ 12:18, NW) දෙවරක් නොසිතා යමක් පවසන විට, එය පවසන්නා මෙන්ම ඔහුට සවන්දෙන්නන්ද වේදනාවට පත් විය හැක. එබැවින්, බයිබලයේ අපට දෙන්නේ මෙම ප්‍රායෝගික උපදෙසයි. “දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි.” (අකුරු ඇල කළේ අපය.)—හිතෝපදේශ 15:28, නව අනුවාදය.

කඩිසර වන්න

සලමොන් පවසන්නේ “අලසයාගේ ප්‍රාණය ආශා වන නමුත් ඔහුට කිසිවක් නැත. එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තර වෙයි” කියාය. (හිතෝපදේශ 13:4) එක් පොතක පවසන පරිදි “[මෙම හිතෝපදේශයෙන්] කීමට තැත් කරන්නේ නිකම් ආශාවක් පමණක් තිබීම මුළුමනින්ම නිෂ්ඵල” බවයි. තවද “ඇත්තෙන්ම වටින්නේ කඩිසරකමයි. අලසයන් . . . ආශාවන්වලින් දැවි දැවී සිටින නමුත් පියවර නොගන්නා නිසා ඔවුන්ගේ කියා ඉදිරිපත් කිරීමට ඔවුන්ට කිසිවක් නැත.” කෙසේවුවද, කඩිසර තැනැත්තන්ගේ ආශාව ඉෂ්ට වේ. නැතහොත් ඔහුගේ ප්‍රාණය තර වේ.

වගකීම්වලින් කර ඇරීමට වුවමනා නිසා යෙහෝවාට කැපවීමෙන් වැළකී සිටින අය ගැන කුමක් කිව හැකිද? දෙවිගේ නව ලොවෙහි ජීවත් වීමට ආශාවක් තිබෙන බව ඔවුන් පෙන්විය හැකි නමුත් ඒ ගැන යමක් කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටිනවාද? “මහත් පීඩාවෙන් බේරී එන” අයගෙන් අවශ්‍ය කරන්නේ ඔවුන් යේසුස්ගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තබා, යෙහෝවාට කැප වී, එම කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කිරීමයි.—එළිදරව් 7:14, 15, NW.

සභාවේ අවේක්ෂකයෙකුගේ පැවරුමට ඇතුළත්ව තිබෙන්නේ කුමක්ද යන්න ගැනත් කල්පනා කර බලන්න. මෙම කදිම සේවාව හිමි කරගැනීමට තිබෙන ආශාව ඇත්තෙන්ම ප්‍රශංසනීය දෙයක් වන අතර ශුද්ධ ලියවිල්ලේ එසේ කිරීමට දිරිගන්වා තිබේ. (1 තිමෝති 3:1) කෙසේවුවද, කෙනෙකු ආශාවෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. යම් සේවා වරප්‍රසාදයක් ලැබීම සඳහා සුදුස්සෙකු වීමට නම් ඒ සඳහා අවශ්‍ය ගුණාංග සහ හැකියාවන් වර්ධනය කරගත යුතුයි. ඒ සඳහා පුද්ගලයා කඩිසර වෑයමක් දැරිය යුතුයි.

ධර්මිෂ්ඨකම ආරක්ෂාවකි

ධර්මිෂ්ඨ කෙනෙකු භක්තිවන්ත ගුණාංග වර්ධනය කරගන්නා අතර සැබෑව කතා කරයි. බොරු කීම යෙහෝවාගේ නීතියට පටහැනි බව ඔහු තේරුම්ගනියි. (හිතෝපදේශ 6:16-19; කොලොස්සි 3:9) මේ සම්බන්ධයෙන් සලමොන් පැවසුවේ මෙයයි. “ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂ කෙරේ. එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත් වෙයි.” (හිතෝපදේශ 13:5) ධර්මිෂ්ඨ මනුෂ්‍යයා බොරු කීමෙන් වළකිනවා පමණක් නොව ඇත්තෙන්ම ඒවාට වෛර කරයි. බොරුව මොන තරම් සුළු වුවත් යහපත් මිනිස් සබඳතාවලට හානි පැමිණවීමට එයට හැකි බව ඔහු දනියි. එපමණක්ද නොව, බොරු කීමට මං සොයන තැනැත්තා පිළිබඳව ඇති විශ්වාසයද පලුදු වේ. දුෂ්ට තැනැත්තා බොරු කියමින් හෝ වෙනත් අයුරකින් ලජ්ජාසහගත ලෙස ක්‍රියා කරන බැවින් ඔහු තමාටම නින්දා කරගනියි.

දෙවිගේ නෙත් හමුවේ හරි දේ කිරීම ප්‍රයෝජනදායක බව පෙන්වීමට ඥානවන්ත රජ මෙසේ පවසයි. “ධර්මිෂ්ඨකම හානි නොකරන තැනැත්තාව රැකවල් කරයි. එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයාව වනසා දමයි.” (හිතෝපදේශ 13:6, NW) බලකොටුවක් සේ ධර්මිෂ්ඨකම කෙනෙකුව ආරක්ෂා කරනවා වුවත් දුෂ්ටකම ඔහුව විනාශ කර දමයි.

මවා පෑමක් නොකරන්න

මිනිස් ස්වභාවය අවබෝධ කරගත් බව පෙන්වමින් ඊශ්‍රායෙල්හි රජ මෙසේ පවසයි. “කිසිත් නැති නමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති. බොහෝ සම්පත් ඇති නමුත් දිලිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති.” (හිතෝපදේශ 13:7) කෙනෙකු පිටතින් පෙන්වන දේ ඔහුගේ ඇතුළාන්තය නොවිය හැක. සමහර දිලිඳුන් තමන් වැජඹෙන බව පෙන්වීමට, තමන්ගේ සාර්ථකත්වය පිළිබඳව ඇඟවීමක් කිරීමට හෝ කීර්තියක් ලබාගැනීමට බොරු ධනවත්කමක් මවා පෑ හැකියි. වස්තුකාරයෙක් තමන් සතු සම්පත් සැඟවීමේ නියාවෙන් දිලින්දෙකු ලෙස මවා පෑමක් කළ හැකියි.

බොරු මවා පෑමක් කිරීම හෝ සත්‍යය සැඟවීම හොඳ දෙයක් නොවේ. අපට ධනසම්පත් එතරම් නැත්නම් ධනවත් බව පෙන්වීමට සුඛෝපභෝගී දේවල් සඳහා වියහියදම් කිරීමෙන් අපට සහ අපේ පවුල් සාමාජිකයන්ට ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් අහිමි වී යා හැකියි. එමෙන්ම ධනය තිබියදීත් දිලිඳුභාවයක් පෙන්වන තැනැත්තා, තමාව ලෝභයෙකු බවට පත් කරගන්නා අතර තමන්ට තිබෙන ගෞරවයද නැති කරගන්නවා පමණක් නොව ත්‍යාගශීලී වීමෙන් ලැබෙන සන්තෝෂයද අහිමි කරගනියි. (ක්‍රියා 20:35) වඩාත් හොඳ දිවියක් ගත කළ හැක්කේ අවංකව දිවි ගෙවීමෙනි.

ලොකු ලොකු ආශාවන් තබා නොගන්න

“මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය. එහෙත් දිලින්දාට තර්ජනයෙන් කමක් නැත” කියා සලමොන් පවසයි. (හිතෝපදේශ 13:8) මෙම නැණවත් කියමනෙන් දෙන පාඩම කුමක්ද?

ධනවත් වීමෙන් වාසි තිබුණත් ධනය සැමවිටම සතුට ළඟා කර දෙන්නේ නැත. අප ජීවත් වන මේ කරදරකාරී කාලයෙහි ධනවතුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද පැහැරගැනීමේ හා කප්පම් ඉල්ලීමේ අනතුරට භාජන වීමට නිතර සිදු වේ. ඇතැම් අවස්ථාවලදී තමාගේ හෝ තම පවුල් සාමාජිකයෙකුගේ ජීවිතය බේරාගැනීම සඳහා කප්පම් ගෙවීමට ධනවතෙකුට හැකියාව තිබේ. එහෙත් බොහෝවිට සිදු වන්නේ පැහැරගෙන ගිය තැනැත්තාව ඝාතනය කරනු ලැබීමයි. එවැනි තර්ජනයකට තමන්ටද මුහුණ දෙන්න සිදු වෙයි යන්න ධනවතාගේ මනසේ නිතර පවතී.

දිලින්දෙකුට එවැනි කනස්සල්ලක් නැත. ඔහුට ධනවතෙකුට මෙන් බොහෝ පහසුකම් හා ද්‍රව්‍යමය දේවල් නොතිබිය හැකි වුවත්, පැහැරගන්නන්ගේ ඉලක්කය බවට ඔහුව පත්වීමට තිබෙන ඉඩ කඩ බෙහෙවින් අඩුයි. මෙය අපට වුවමනා කරන දේවල් සීමා කරගැනීමෙන් හා ධනය පසුපස හඹා යෑම සඳහා අපේ කාලය හා ශක්තිය වැය නොකිරීමෙන් ලැබෙන එක ප්‍රයෝජනයකි.—2 තිමෝති 2:4.

‘එළියෙන්’ ප්‍රීති වන්න

යෙහෝවාගේ කැමැත්තට අනුව දේවල් කිරීම අපේම යහපතට හේතු වන බව තවදුරටත් සලමොන් පෙන්වන්නේ මෙසේය. “ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි. එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවී යයි” කියා ඔහු පවසයි.—හිතෝපදේශ 13:9.

පහනෙන් සංකේතවත් වන්නේ, අපේ දිවි ගමන එළිය කරගැනීමට අප රඳා සිටින දේවල්ය. ‘දෙවිගේ වචන ධර්මිෂ්ඨ තැනැත්තාගේ පාදයට පහනක් වේ; ඔහුගේ මාවතට එළියක් වේ.’ (ගීතාවලිය 119:105) එහි මැවුම්කරු පිළිබඳව ක්ෂය වී නොයන දැනුම හා ප්‍රඥාව අඩංගුය. දෙවිගේ කැමැත්ත හා අරමුණ ගැන අපේ අවබෝධය අප වැඩි කරගන්නා තරමටම අපට මඟ පෙන්වන ආත්මික ආලෝකයේ දීප්තියද තව තවත් වැඩි වේ. එය මොන තරම් ප්‍රීතිය ගෙන දෙන කදිම උල්පතක්ද! ලෝකයේ ප්‍රඥාවෙන් හෝ “බොරු ‘දැනුමෙන්’” අප බාධාවට පත් වන්නේ මොකටද?—1 තිමෝති 6:20, NW; 1 කොරින්ති 1:20; කොලොස්සි 2:8.

දුෂ්ට තැනැත්තාගේ පහනේ ආලෝකය දීප්තිමත් වී ඇති බව පෙනෙන්න තිබුණත්, ඔහු මොන තරම් සමෘද්ධිමත්ව සිටියත් ඔහුගේ පහන නිවී යනු ඇත. ඔහුට සිදු වන්නේ පය පැකිලෙන අඳුරේ අත පත ගාමින් සිටීමටයි. එපමණක්ද නොව ඔහුට “අනාගතයක්” නොතිබෙනු ඇත.—හිතෝපදේශ 24:20, න.අ.

එහෙත්, යම් තත්වයකදී අප ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් යම් අස්ථිරත්වයක් තිබෙන විට අප කුමක් කළ යුතුද? ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට බලයක් තිබෙයිද කියා හරි ස්ථිරත්වයක් නැත්නම් කුමක් කිව හැකිද? හිතෝපදේශ 13:10හි මෙසේ අනතුරු අඟවයි. “උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය.” දැනුම හෝ අධිකාරිත්වය නොමැතිව යමක් කිරීම උඩඟුකම වන අතර එමගින් අන්‍යයන් සමඟ ගැටලු හටගත හැකියි. දැනුම හා විචාර බුද්ධිය තිබෙන අයගෙන් විමසීම වඩාත් හොඳ දේ නොවන්නේද? “දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ” යයි නැණවත් රජ පවසයි.

බොරු බලාපොරොත්තු තබා නොගන්න

මුදල් ප්‍රයෝජනවත් දේවල් සඳහා භාවිත කළ හැකියි. අගහිඟකම් ඇතුව හෝ දිලිඳුව දිවි ගෙවනවාට වඩා ප්‍රමාණවත් මුදලක් තිබීම වැඩිය හොඳයි. (දේශනාකාරයා 7:11, 12) කෙසේවෙතත්, නීති විරෝධී ලෙස ලබාගන්නා වස්තුවෙන් වාසි ප්‍රයෝජන ගැනීමට කල්පනා කිරීම මුළාවක් විය හැකියි. සලමොන් මෙසේ අනතුරු අඟවයි. “සැහැල්ලු ලෙස ලැබූ සම්පත් අඩු වී යන්නේය. එහෙත් අතේ උත්සාහයෙන් රැස් කරගන්නාට ඒවා වැඩි වන්නේය.”හිතෝපදේශ 13:11.

උදාහරණයක් වශයෙන් සූදුවට සිත ඇදී යෑම ගැන කල්පනා කර බලන්න. සූදුවේ නියැලෙන්නෙක් තමා වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් සූදු කෙළින්නේ ලොකු මුදලක් දිනීමේ බලාපොරොත්තුවෙන් විය හැකියි. තම පවුලේ අවශ්‍යතාවන් ඉටු නොකර ඔහු මෙලෙස කොපමණ වාරයක් නම් කරන්න ඇද්ද! ඇරත් සූදුවේ නියැලෙන්නාට දිනුමක් ඇදුණොත් සිදු වන්නේ කුමක්ද? හරිම ලේසියෙන් මුදල් සම්බ වී ඇති නිසා එහි වටිනාකම කෙරෙහි ඔහු තුළ තිබෙනු ඇත්තේ ඉතා සුළු අගය කිරීමකි. ඊටත් වඩා, ඔහුට අලුත ලැබුණ මුදල අරපිරිමැස්මෙන් වියදම් කිරීමට මනා හැකියාවක්ද නොතිබිය හැකියි. ඔහු ඒවා ලබාගත් පරක්කුවටම ඒවා ඉගිළ නොයා තිබේවිද? අනික් අතට, යහපත් වැඩවල නිරත වීම මගින් බිඳෙන් බිඳ සොයාගත් වස්තුව ක්‍රම ක්‍රමයෙන් වැඩි වන අතර එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමටද හැකියි.

“පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේය. එහෙත් ආශාව ඉෂ්ට වීම ජීවන වෘක්ෂයක්ය” කියා සලමොන් පවසයි. (හිතෝපදේශ 13:12) ඉටු නොවූ බලාපොරොත්තු නිසා සිත කලකිරෙන තරමටම අධෛර්යයට පත් විය හැකියි. මෙය දෛනික දිවියේ සිදු වන්නකි. කෙසේවුවද, දේවවදන් මත ශක්තිමත්ව ගොඩනඟා තිබෙන බලාපොරොත්තු පිළිබඳ සත්‍යය මෙය නොවේ. ඒවා ඉටු වනු ඇතැයි යන සම්පූර්ණ විශ්වාසය ඇතුව සිටීමට අපට හැකියි. ප්‍රමාද වන බවක් පෙනෙන්න තිබෙතත් අප අධෛර්යයට පත්වීමට ඇති ඉඩ කඩ අඩුය.

උදාහරණයක් වශයෙන්, දෙවිගේ නව ලෝකය අත ළඟ බව අපි දන්නෙමු. (2 පේතෘස් 3:13) ඉමහත් බලාපොරොත්තුවක් ඇතුව අප ප්‍රීතියෙන් බලා සිටින්නේ දෙවිගේ පොරොන්දු ඉටු වන තෙක්ය. බලා සිටින මෙම කාලය “ස්වාමීන්ගේ මෙහෙයෙහි” කාර්ය බහුලව සිටීමට, සෙසු ඇදහිලිවන්තයන්ව දිරිගැන්වීමට හා යෙහෝවා සමඟ වෙන කවරදාකටත් වඩා කිට්ටු සබඳතාවක් ගොඩනඟා ගැනීමට අප යොදවනවා නම් සිදු වන්නේ කුමක්ද? ‘සිත කලකිරෙන’ තත්වයට පත් වෙනවා වෙනුවට අපි ප්‍රීතියෙන් ඉපිළ යන්නෙමු. (1 කොරින්ති 15:58; හෙබ්‍රෙව් 10:24, 25; යාකොබ් 4:8) දිගු කාලයක් පුරා බලා සිටි ආශාවක් ඉටුවීම ඇත්තෙන්ම නව පණක් සහ ප්‍රබෝධයක් ලබා දෙන ජීවනදායක වෘක්ෂයක් වැනිය.

දෙවිගේ නීතිය ජීවනයේ උල්පතකි

දෙවිට කීකරු වීමේ අවශ්‍යතාව ගෙනහැර පාමින් හිතෝපදේශ 13:13 [NW] මෙසේ පවසයි. “පොරොන්දුව කඩ කරන ණයකාරයාට උකස අහිමි වේ. එහෙත් ආඥාවට භය වෙන්නාට ත්‍යාගය ලැබෙනු ඇත.” ණයකාරයෙක් පොරොන්දුව කඩ කරමින් ණය නොගෙවා සිටී නම්, ඔහු උකසට තැබූ දේ සින්න වනු ඇත. එලෙසම අප දෙවිගේ ආඥාවලට කීකරු වීමට අසමත් වුවහොත් අපට යමක් අහිමි වී යනු ඇත. කුමනාකාරයේ දෙයක්ද අහිමි වනු ඇත්තේ?

“ප්‍රඥාවන්තයාගේ නීතිය මරණයේ මලපත්වලින් ගලවන ජීවන උල්පතක්ය.” (හිතෝපදේශ 13:14, NW) ප්‍රඥාවෙන් පිරිපුන් යෙහෝවා දෙවිගේ නීති නොමැතිව දිවි ගෙවීමෙන්, වඩාත් හොඳ දිගු කාලීන දිවි මඟක යෑමට අපට උපකාර කළ හැකි උපදෙස් අපට අහිමි වී යයි. එය මොන තරම් විශාල පාඩුවක් වනු ඇද්ද! එසේනම් අප ගත යුතු ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගය වන්නේ දෙවිගේ වචනයට හොඳ අවධානයක් යොමු කර, අපේ සිතුවිලි, කතාව සහ ක්‍රියාව සකස් කිරීමට එයට ඉඩහැරීමය.—2 කොරින්ති 10:5; කොලොස්සි 1:9ආ, 10.

[23වන පිටුවේ පින්තූර]

ශුද්ධ ලියවිලිමය උපදෙස්වලට අවනත වීම තමාවම හික්මවාගැනීමේ විශිෂ්ට ක්‍රමයකි

[24, 25වන පිටුවේ පින්තූර]

“දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි”

[24, 25වන පිටුවේ පින්තූර]

“ස්වාමීන්ගේ මෙහෙයෙහි” කාර්යබහුලව සිටීමෙන් අපට ප්‍රීතියෙන් ඉපිළ යා හැකියි