Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“තමන් තුළ ජීවනය ඇතිව සිටීම” යන්නෙහි අර්ථය කුමක්ද?

යේසුස් ක්‍රිස්තුස් “තුළ ජීවනය” ඇති බව හා ඔහුගේ අනුගාමිකයන් “තුළ ජීවනය” ඇති බව බයිබලයෙහි සඳහන් වේ. (යොහන් 5:26; 6:53, NW) එහෙත් මෙම ශුද්ධ ලියවිලි පාඨ දෙකෙහි අර්ථයන් එක සමාන නොවේ.

යේසුස් පැවසුවේ, “පියාණන් තුළ ජීවනය තිබෙන්නාක් මෙන්ම, පුත්‍රයාටත් තමන් තුළ ජීවනය ඇතිව සිටීමට ඔහු අවසර දී ඇත” කියාය. මෙම වැදගත් ප්‍රකාශය කිරීමට පෙර යේසුස් මෙසේ පවසා තිබිණ. “සැබවින්ම මම ඔබට කියමි, මාගේ වචනය අසා මාව එවූ තැනැත්තාව අදහන්නාට සදාකාල ජීවනය ඇත. . . . දෙවිගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය. එය දැනටමත් පැමිණ තිබේ. එය සිතට ගන්නා අය ජීවත් වන්නෝය.” මෙහිදී යේසුස් කතා කරමින් සිටියේ ඔහුගේ පියා විසින් ඔහුට දෙනු ලැබූ සුවිශේෂී බලයක් වන මනුෂ්‍යයන්ට දෙවි ඉදිරියේ අනුමැතිය ලත් තත්වයක් ලබා දීමට ඔහු සතු හැකියාව ගැනයි. තවද, මරණ නින්දෙහි සැතපී සිටින අයව නැවත නැඟිටුවීමටද ඔවුන්ට ජීවනය දානය කිරීමටද යේසුස්ට පුළුවන. යේසුස් සම්බන්ධයෙන් ගත් කල, “තමන් තුළ ජීවනය” ඇතැයි කීමෙන් අදහස් කරන්නේ ඔහුට ඉහත සඳහන් දේවල් කිරීමට බලය දී ඇති බවයි. වෙනත් ආකාරයකින් පැවසුවොත්, පියා හා සමානව පුත්‍රයා ‘තුළද ජීවනය නමැති දීමනාව ඇත.’ (යොහන් 5:24-26, NW) ඔහුගේ අනුගාමිකයන් ගැන කුමක් පැවසිය හැකිද?

වසරක් පමණ ගෙවී ගිය පසු, යේසුස් තමාට සවන් දෙමින් සිටි අයට මෙසේ පැවසීය. “සැබවින්ම මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංසය කා ඔහුගේ රුධිරය නොබොන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. මාගේ මාංසය කන්නාවූ මාගේ රුධිරය බොන්නාවූ තැනැත්තාට සදාකාල ජීවනය ලැබෙන්නේය. තවද, මම අන්තිම දවසේදී ඔහුව නැවත නැඟිටුවන්නෙමි.” (යොහන් 6:53, 54, NW) මෙහිදී යේසුස් “ඔබ තුළ ජීවනය” ඇත යන්න “සදාකාල ජීවනය” අත් කරගැනීමට සමාන කර තිබේ. මුල් ග්‍රීක් භාෂාවෙහි “ඔබ තුළ ජීවනය” ඇත යන ප්‍රකාශයෙහි ව්‍යාකරණ රටාවම ඇති වෙනත් ප්‍රකාශයන්ද ග්‍රීක් ලියවිල්ලේ වෙනත් තැන්වල දක්නට තිබේ. ‘ඔබ තුළ ලුණු ගතිය ඇතිව සිටින්න’ හා “සම්පූර්ණ විපාකය තමන් තුළම ලැබුවෝය” යන්න මීට නිදසුන් දෙකකි. (මාක් 9:50; රෝම 1:27; NW) මෙම ප්‍රකාශ දෙකෙන් සංකේතවත් කරන්නේ අන්‍යයන්ට ලුණු ලබා දීමට හැකිකම තිබීම හෝ යමෙකුට විපාක ලබා දීමට බලය තිබීම නොවේ. ඊට වෙනස්ව, ඉන් අඟවනු ලබන්නේ ලබා ඇති දේ පූර්ණ ලෙස හෝ කිසිම අඩුවක් නොමැතිව ලැබී තිබෙන බවයි. එබැවින් යොහන් 6:53හි සඳහන් “ඔබ තුළ ජීවනය” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ පූර්ණ ආකාරයකින් ජීවත් වීමට හැකියාව ලැබී තිබීමයි.

ඔහුගේ අනුගාමිකයන් තුළ ජීවනය ඇති බව සඳහන් කළ අවස්ථාවේදී යේසුස් ඔහුගේ මාංසය හා රුධිරය ගැනත් කතා කළේය. පසු කලෙක, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ස්ථාපිත කළ අවස්ථාවේදී යේසුස් නැවත් වරක් තම මාංසය හා රුධිරය ගැන කතා කළ අතර අලුත් ගිවිසුමට ඇතුළත් කරගැනීමට සිටි ඔහුගේ අනුගාමිකයන්ට ඔහු කියා සිටියේ මුහුන් නොදැමූ රොටි හා වයින් යන සංකේත අනුභව කරන්න කියාය. එසේනම්, යෙහෝවා දෙවි සමඟ අලුත් ගිවිසුම තුළට ඇතුළත් වී සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පමණක්ද පූර්ණ ආකාරයකින් ජීවත් වීමට හැකියාව ලැබෙන්නේ? නැත. ඉහත සඳහන් අවස්ථා දෙක අතර අවුරුද්දක පරතරයක් තිබිණ. යොහන් 6:53, 54හි සඳහන් යේසුස්ගේ වදන් ඇසූ අය, ක්‍රිස්තුස්ගේ මාංසය හා රුධිරය නියෝජනය කරන සංකේතවලින් යුත් වාර්ෂික සැමරීමක් ගැන දැන සිටියේ නැත.

යොහන් 6වන පරිච්ඡේදයේ පෙන්වන පරිදි, යේසුස් මුලදී තම මාංසය සමාන කරන්නේ මන්නාවලටයි. “ඔබේ මුතුන්මිත්තන් පාළුකරයේදී මන්නා කෑවත් ඔවුහු මිය ගියහ. එහෙත් යමෙකු කා නොමැරෙන පිණිස, ස්වර්ගයෙන් බැස එන ආහාරය මෙයයි. ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් කන්නේ නම් ඔහු සදහටම ජීවත් වන්නේය.” යේසුස්ගේ මාංසය සහ රුධිරය සාමාන්‍ය මන්නාවලට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ කෙසේද? “ලෝකයේ ජීවනය උදෙසා” දුන් ඔහුගේ මාංසය සදාකාල ජීවනයට මං විවර කර දෙන නිසාය. * එබැවින්, යොහන් 6:53හි සඳහන් “ඔබ තුළ ජීවනය” ඇත යන ප්‍රකාශය ස්වර්ගයේ හෝ පොළොවේ හෝ වේවා සදාකාල ජීවනය ලබන සියල්ලන්ටම එක සේ අදාළ වේ.—යොහන් 6:48-51, NW.

ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් තමන් තුළ ජීවනය ලබන්නේ හෝ පූර්ණ ආකාරයකින් ජීවත් වීමේ හැකියාව ලබන්නේ කවදාද? ආත්මයෙන් අභිෂේක ලත් රාජ්‍යයෙහි උරුමක්කරුවන් මෙය ලබන්නේ අමරණීය ආත්ම ජීවීන් වශයෙන් ඔවුන්ව ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුවනු ලබන විටයි. (1 කොරින්ති 15:52, 53; 1 යොහන් 3:2) යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්’ පූර්ණ ආකාරයකින් ජීවනය භුක්ති විඳින්නේ ඔහුගේ දහස් අවුරුදු පාලනයෙන් පසුවයි. ඒ වන විට, ඔවුන්ව පරීක්ෂා කර විශ්වාසවන්ත බව ඔප්පු වී තිබෙනු ඇති අතර ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කර පාරාදීස පොළොව මත සදාකල් ජීවත් වීමට සුදුසුකම්ද ලැබී තිබේවි.—යොහන් 10:16; එළිදරව් 20:5, 7-10.

[පාදසටහන්වල]

^ 7 ඡේ. පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට හා ඔවුන් සමඟ සිටි ‘විශාල මිශ්‍ර සමූහයට’ ජීවත් වීම උදෙසා මන්නා අවශ්‍ය විය. (නික්මයාම 12:37, 38; 16:13-18) ඒ හා සමානව, සදාකල් ජීවත් වන්නට නම් සෑම ක්‍රිස්තියානියෙකුම, ඔවුන් අභිෂේක ලත් අය වුවත් නැතත් ස්වර්ගික මන්නා ලබාගැනීමට වෙර දැරිය යුතුයි. එසේ කළ හැක්කේ ගැලවීම අත් කර දීම සඳහා යේසුස් යාගයක් කොට දුන් තම මාංසය හා රුධිරය සතු බලය කෙරෙහි ඇදහිල්ල පෙන්වීම මගිනි.—වර්ෂ 1988 මාර්තු 1 මුරටැඹෙහි 28-9 දක්වා පිටු බලන්න.

[31වන පිටුවේ පින්තූර]

සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාටම ‘තමන් තුළ ජීවනය ඇතුව සිටීමට’ පුළුවන