Skip to content

පටුනට යන්න

පෙර සහ පසු බයිබලය මේ මිනිසාව වෙනස් කළ හැටි

පෙර සහ පසු බයිබලය මේ මිනිසාව වෙනස් කළ හැටි

“දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය”

පෙර සහ පසු බයිබලය මේ මිනිසාව වෙනස් කළ හැටි

රෝල්ෆ් මයිකල්ගේ මුළු ජීවිතයම කැප කර තිබුණේ සංගීතයටයි. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලයි හිටියේ. ජර්මනියේ විසූ යෞවනයෙකු වූ මොහු ඇති තරම් මත්පැන් පානය කළ අතර එල්. එස්. ඩී. නම් මත්ද්‍රව්‍ය, කොකේන්, ගංජා සහ වෙනත් උත්තේජකයන්ද හිතේ හැටියට ගත්තා.

අප්‍රිකානු රටකට හොරෙන් මත්ද්‍රව්‍ය ගෙනියන්න තැත් කරමින් සිටියදී රෝල්ෆ් මයිකල්ව අත්අඩංගුවට ගනු ලැබූ අතර මාස 13ක් හිරේ ඉන්න ඔහුට සිදු වුණා. හිරේ සිටි අවදියේදී ජීවිතයේ සැබෑ අරමුණ ගැන සිතීමට ඔහුට කාලය ලැබුණා.

රෝල්ෆ් මයිකල් හා ඔහුගේ බිරිඳ වන උර්සුලා ජීවිතයේ අරමුණ ගැනත්, සත්‍යය ගැනත් ඉතා ඕනෑකමින් සෙව්වා. ක්‍රිස්තියානියයි පවසන ලද සභාවලින් අධෛර්යය කරවන අද්දැකීම් ලැබූ ඔවුන් තුළ දෙවිව දැනගැනීමට දැඩි ආශාවක් තිබුණා. එහෙත් නොයෙක් ආගමික කණ්ඩායම්වලින් ඔවුන්ගේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර නම් ලැබුණේ නැහැ. එපමණක්ද නොව, ඔවුන්ගේ ජීවිත වෙනස් කරගැනීමට මෙම ආගම් ඔවුන්ට ප්‍රබල පෙලඹීමක් වුණෙත් නැහැ.

කාලයක් යද්දී රෝල්ෆ් මයිකල් සහ උර්සුලාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වුණා. බයිබලය පාඩම් කරන්න ගත් විට “දෙවිට ළං වෙන්න, එවිට ඔහු ඔබට ළං වන්නේය” යන අවවාදය රෝල්ෆ් මයිකල්ගේ හිතට තදින් කාවැදුණා. (යාකොබ් 4:8, NW) ඔහු තම ‘කලින් හැසිරීම් රටාවට ආවේණික වූ පරණ පෞද්ගලිකත්වය අහක දමා සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට’ අදිටන් කරගත්තා.—එෆීස 4:22-24, NW.

රෝල්ෆ් මයිකල්ට අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න හැකි වුණේ කොහොමද? “නිවැරදි දැනුම මාර්ගයෙන්” කෙනෙකුගේ පෞද්ගලිකත්වය, ‘එය මැවූ යෙහෝවා දෙවිගේ ස්වරූපයට අනුව’ සකස් කරගත හැකි බව ඔහුට බයිබලයෙන් පෙන්වනු ලැබුවා.—කොලොස්සි 3:9-11, NW.

නිවැරදි දැනුම ලබද්දී, රෝල්ෆ් මයිකල් දෙවිගේ වචනයෙහි වූ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට වෑයම් කළා. (යොහන් 17:3, NW) මත්ද්‍රව්‍යවලින් මිදීම පහසු දෙයක් නූණත් යාච්ඤාවෙන් යෙහෝවා වෙත ළඟා වී ඒ සඳහා ඔහුගේ උපකාරය ලබාගැනීම අත්‍යවශ්‍ය බව රෝල්ෆ් මයිකල් වටහාගත්තා. (1 යොහන් 5:14, 15) යෙහෝවාගේ සාක්ෂිකරුවන් වී දෙවිගේ කැමැත්ත කරන්න වෙහෙසෙමින් සිටි අය සමඟ පැවැත්වූ කිට්ටු ඇසුරෙන්ද තවදුරටත් ඔහුට උපකාර ලැබුණා.

ලෝකය පහ වෙන බවත්, දෙවිගේ කැමැත්ත කරන අය සදහටම ඉතිරි වන බවත් දැනගැනීමද රෝල්ෆ් මයිකල්ට උපකාරයක් වුණා. ලෝකයට තාවකාලිකව ප්‍රේම කරනවාට වඩා ප්‍රේමණීය දෙවි වන යෙහෝවා සමඟ කිට්ටු මිත්‍රත්වයකින් ලැබෙන සදා ආශීර්වාද තෝරාගැනීමට එම දැනුම ඔහුට අත්වැලක් වුණා. (1 යොහන් 2:15-17) හිතෝපදේශ 27:11හි සඳහන් “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න” යන වදන් රෝල්ෆ් මයිකල්ගේ සිතට තදින් කාවැදුණා. ඔහු අගයෙන් යුතුව මෙසේ පවසනවා. “යෙහෝවා මනුෂ්‍යයන්ට ඔහුගේ සිත සතුටු කිරීමට අවස්ථාවක් දෙන්න තරම් ඔහුගේ ප්‍රේමය මොනතරම් ගැඹුරුද කියලා මේ පදයෙන් පෙන්වනවා.”

රෝල්ෆ් මයිකල්, ඔහුගේ භාර්යාව සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙන් සිය දහස් ගණනක් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. එවැනි පුද්ගලයන් ලොව පුරා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලින් සොයාගත හැකියි. කනගාටුවට කරුණක් වන්නේ, සාක්ෂිකරුවන් පවුල් කඩාකප්පල් කරන භයානක නිකායක් කියා ඇතැම් රටවල ඔවුන්ට බොරු චෝදනා එල්ල කර තිබීමයි. රෝල්ෆ් මයිකල්ගේ අද්දැකීමෙන් ඔප්පු වන්නේ ඔවුන් එසේ නොවන බවයි.—හෙබ්‍රෙව් 4:12.

ආත්මික දේවලට පළමු තැන දෙන්න කියලා මතෙව් 6:33හි අපිට අවවාද කරනවා කියා රෝල්ෆ් මයිකල් පවසයි. ඔහුගේ පවුලට හරි දිසාව පෙන්නුම් කරන “මාලිමා යන්ත්‍රය” එයයි. ඔහු සහ ඔහුගේ පවුල ක්‍රිස්තියානීන් හැටියට තමන් භුක්ති විඳින ප්‍රීතිමත් පවුල් ජීවිතය වෙනුවෙන් යෙහෝවාට හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා. ‘යෙහෝවා විසින් මට කළාවූ සියලු යහපත්කම් වෙනුවෙන් ඔහුට කුමක් දෙම්ද’ කියා ගැයූ ගීතිකාකරුගේ අදහසට ඔවුන්ද එකඟ වෙනවා.—ගීතාවලිය 116:12.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි මනුෂ්‍යයන්ට ඔහුගේ සිත සතුටු කිරීමට අවස්ථාවක් දෙනවා

[9වන පිටුවේ කොටුව]

බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙයි

මාරාන්තික ඇබ්බැහියාවන් අත්හැරීම සඳහා බොහෝදෙනෙකුව පොලඹවා ඇති බයිබල් ප්‍රතිපත්ති අතුරින් කීපයක් මතු දැක්වෙයි:

“යෙහෝවාට ප්‍රේම කරන්නෙනි, නපුරට වෛර කරව්.” (ගීතාවලිය 97:10) මරු කැඳවන පුරුදුවල හානිකරබව ඒත්තුගෙන ඒවා කෙරෙහි සැබෑ වෛරයක් ඇති කරගත් පසු දෙවිව සතුටු කරන දේවල් කිරීමට කෙනෙකුට පහසු වෙයි.

ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්ත වන්නේය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.” (හිතෝපදේශ 13:20) මත්ද්‍රව්‍ය සහ ඇබ්බැහි කරවන වෙනත් දෑ ප්‍රතික්ෂේප කිරීමට නම් පුද්ගලයෙක් සැලකිලිමත්ව තම ආශ්‍රිතයන්ව තෝරාගත යුතුයි. ඔහුගේ අදිටනට සහාය දෙන ක්‍රිස්තියානීන් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායකයි.

කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිතද, මනසද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7, NW) හදවතේ සහ මනසේ ඇති වන එවැනි සමාදානයක් වෙන කිසිවකින් ලබාගත නොහැකියි. එමෙන්ම ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමට ඇබ්බැහි කරවන මත්ද්‍රව්‍යයක පිහිට පතන්නේ නැතුව, යාච්ඤාපූර්වකව දෙවි කෙරෙහි රඳා සිටීම කෙනෙකුට උපකාරවත් වෙයි.