Skip to content

පටුනට යන්න

පොරොන්දු නොවරදවාම ඉටු වන කාලයක්

පොරොන්දු නොවරදවාම ඉටු වන කාලයක්

පොරොන්දු නොවරදවාම ඉටු වන කාලයක්

පොරොන්දු දී එය කඩ කළාවූ සිද්ධීන් ගණනාවක් ඉතිහාසය පුරා අසන්ට ලැබී තිබේ. ජාතීන් වෙනත් ජාතීන් සමඟ ආරවුල් ඇති කර නොගන්නා බවට අත්සන් තැබීමකින් පොරොන්දු දී තිබුණත්, එම පොරොන්දු කඩ කොට තම ජනතාව දරුණු යුද්ධවලට පටලවා තිබේ. “ආණ්ඩු තම පොරොන්දු ඉටු කරන්නේ ඔවුන්ට ඒවා ඉෂ්ට කර දෙන ලෙසට බල කර සිටියහොත් පමණයි. එසේ නැතහොත් එයින් තමන්ට වාසියක් සිදු වෙනවා නම් පමණයි.” එසේ නැපෝලියන් එක් අවස්ථාවක පැවසීය.

එක් එක් පුද්ගලයන් විසින් දෙන පොරොන්දු ගැන කුමක් කිව හැකිද? යම් පුද්ගලයෙක් ඔහු දුන් පොරොන්දුව ඉටු නොකරන විට ඉන් මොනතරම් කලකිරීමක් ඇති වෙනවාද! විශේෂයෙන් එම පුද්ගලයා ඔබ හොඳින් හඳුනන විශ්වාස කරන කෙනෙකු නම් තත්වය කොතරම් සෝචනීයද! මෙයට හේතුව මනුෂ්‍යයන්ට තම පොරොන්දු ඉටු කිරීමට හැකියාවක් නැතිකම හෝ ඔවුන් එය ඉටු කිරීමට අකමැති වීම විය හැකියි.

මනුෂ්‍යයන්ගේ පොරොන්දු සහ දෙවිගේ පොරොන්දු අතර තිබෙන වෙනස අහසට පොළොව මෙනි! දෙවිගේ පොරොන්දු සම්පූර්ණයෙන්ම විශ්වසනීයයි. යෙහෝවා දෙවි දුන් ඕනෑම පොරොන්දුවක් නොවරදවාම ඉටු වේවි. එහි ඉටුවීම ගැන සැකයේ සේයාවක්වත් නැත. දෙවිගේ වදන්වල තිබෙන නොවරදිනසුලුභාවය පිළිබඳව යෙසායා 55:11හි පවසන්නේ මෙවැන්නකි. “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සඵල කරනවා ඇත.”

එසේනම් බයිබලයේ වාර්තා කර ඇති දෙවිගේ පොරොන්දු කෙරෙහි අප තුළ තිබිය යුත්තේ කුමනාකාරයේ හැඟීමක්ද? අපට එම පොරොන්දු විශ්වාස කළ හැකි බවට කිසිම සැකයක් නැත. ප්‍රේරිත යොහන් ලියූ දෙයට අවධානය දෙන්න. “බලන්න, දෙවිගේ කූඩාරම මිනිසා සමඟය, ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය, ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය, දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය, මරණයද තවත් නොවන්නේය, වැලපීමද, හැඬීමද, වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4, NW) ඔබටත් එම ආශීර්වාද භුක්ති විඳිය හැකියි. ඒ සඳහා ඔබ යේසුස්ගේ මෙම වචනවලට එකඟව ක්‍රියා කළ යුතුයි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.