Skip to content

පටුනට යන්න

බයිබලයට පුළුවන් සාර්ථක කරන්න ඔබේ විවාහය

බයිබලයට පුළුවන් සාර්ථක කරන්න ඔබේ විවාහය

බයිබලයට පුළුවන් සාර්ථක කරන්න ඔබේ විවාහය

විවාහය යන වචනයෙන් සමහරදෙනෙකු තුළ සුන්දර හැඟීමක් ඇති වුවද තවත් සමහරෙකුට නම් එයින් ඇති වන්නේ මහත් හිත් වේදනාවක්. “මට නම් හිතෙන්නේ මම සිතින් දික්කසාද වෙලා කියලයි. මට හැම විටම තනිකමක් හා මාව අතහැර දමා තිබෙන බවක් හැඟෙනවා” යයි කියමින් එක භාර්යාවක් දුක් වුණා.

එකිනෙකාට ප්‍රේම කිරීමටත් ආදරයෙන් රැකබලා ගැනීමටත් ගිවිසගන්නා දෙදෙනෙකු ඈත් වෙන්නේ කුමන හේතුවක් නිසාද? එක හේතුවක් නම් විවාහයෙන් බලාපොරොත්තු වෙන දෙය සම්බන්ධයෙන් ඔවුන්ට හරි හැටි දැනුමක් නොමැතිකමයි. “අපි විවාහය නමැති ආයතනයට පිවිසෙන්නේ කිසිම පුහුණුවක් නොලබා” යයි වෛද්‍යමය ලිපි ලියන එක් ලේඛකයෙක් පවසා තිබුණා.

එවැනි දැනුමක් ලබාගෙන තිබෙන්නේ අතළොස්සක් බව අ.එ.ජ. නිව් ජර්සිහි රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් දියත් කරන ලද ජාතික විවාහ ව්‍යාපෘතිය නම් වූ අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා. “මෙම අධ්‍යයනයට ඇතුළත් බොහෝදෙනා හැදී වැඩී තිබෙන්නේ අසාර්ථක ලෙස විවාහ ජීවිත ගත කළ හෝ දික්කසාද වුණු දෙමව්පියන්ගෙන් යුත් පවුල්වල” යයි එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරුන් පවසයි. “ඔවුන් අනිවාර්යයෙන්ම දන්නවා අසාර්ථක විවාහයක් කියන්නේ මොකක්ද කියලා, නමුත් ඇත්තටම සාර්ථක විවාහයක් කොහොම එකක් විය යුතුද කියන එක ඔවුන් හරියටම දන්නේ නැහැ. සමහර අයට සාර්ථක විවාහයක් ගැන විස්තර කරන්න දන්නේ ‘අපේ දෙමව්පියන්ගේ විවාහ ජීවිතයට විරුද්ධ එක’ කියලා විතරයි.”

ක්‍රිස්තියානීන් ප්‍රශ්න ගැටලුවලින් තොර විවාහ ජීවිතයක්ද ගත කරන්නේ? නැහැ. පළමුවෙනි ශතවර්ෂයේ විසූ සමහර ක්‍රිස්තියානීන්ට විවාහයෙන් ‘නිදහස් වෙන්න නොසොයන’ ලෙසට ඍජුව උපදෙස් දෙනු ලැබුවා. (1 කොරින්ති 7:27) අසම්පූර්ණ දෙදෙනෙක් අතර සිදු වන විවාහයක එයටම ආවේණික ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවද ඒ සඳහා අපට උපකාර ලබාගත හැකියි. දේවවචනයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට තමන්ගේ විවාහ සබඳතා වැඩි දියුණු කරගත හැකියි.

ඇත්තයි, බයිබලය විවාහ ජීවිතය සඳහාම ලියවී තිබෙන අත්පොතක් නොවෙයි. එහෙත් විවාහ විධිවිධානය ඇති කළ තැනැත්තාගේ ආනුභාවයෙන් එම පොත ලියවී තිබෙන නිසා අපට එහි ප්‍රතිපත්ති අදාළ කරගැනීම ප්‍රයෝජනවත් වෙයි කියා බලාපොරොත්තු විය හැකියි. යෙසායා මාර්ගයෙන් යෙහෝවා පැවසුවේ “නුඹේ මිදුම්කාරයාද ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා මෙසේ කියන්නේය: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙන යන්නෙත් නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය. අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්, නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය” කියායි.—යෙසායා 48:17, 18.

ඔබ හා ඔබේ කලත්‍රයා අතර කලක් පැවති ප්‍රේමය දැන් දැන් හීනවීමට පටන්ගෙනද? ප්‍රේමයක් නැති විවාහයකට කොටු වෙලා කියා ඔබට සිතෙනවාද? අවුරුදු 26ක් වයසැති භාර්යාවක් මෙසේ පැවසුවා. “මෙවැනි සම්බන්ධකමකින් අද්දකින වේදනාව විස්තර කරන්න හරිම අමාරුයි. එම වේදනාව නොදැනෙන මොහොතක් නැහැ.” ඔබට කවදාවත් ඔබේ විවාහ ජීවිතයෙන් සෑහීමක් ලැබෙන එකක් නැහැයි කියා සිතමින් කලකිරෙනවාට වඩා එය හරිගස්සා ගැනීම සඳහා යම් පියවරක් ගැනීමට ඔබ අදිටන් කර නොගන්නේ මන්ද? ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට තම විවාහ ජීවිතයේ එක අංගයක් වන බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත හැකි ආකාරයත් ඉන් ප්‍රයෝජන ලබාගත හැකි ආකාරයත් ඊළඟ ලිපියේ පෙන්වා දෙයි.