Skip to content

පටුනට යන්න

පරීක්ෂා යටතේ විඳදරාගැනීම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙයි

පරීක්ෂා යටතේ විඳදරාගැනීම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙයි

පරීක්ෂා යටතේ විඳදරාගැනීම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙයි

“ඔබ යහපත කර ඒ ගැන දුක් විඳින කල විඳදරාගන්නහු නම්, එය දෙවි ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි.”—1 පේතෘස් 2:20, NW.

1. සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ කැපවීමට අනුව ජීවත් වීම ගැන සැලකිලිමත් වන බැවින්, සලකා බැලිය යුත්තේ කිනම් ප්‍රශ්නයද?

ක්‍රිස්තියානීන් යෙහෝවාට කැප වී සිටින අතර, ඔවුන්ට වුවමනා වන්නේ ඔහුගේ කැමැත්ත කිරීමටය. තමන්ගේ කැපවීමට අනුව ජීවත් වීම පිණිස, ඔවුහු තම ආදර්ශකයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ අඩිපාරේ ගමන් කිරීමට තම උපරිමය කරන අතර, සත්‍යයට සාක්ෂි දරති. (මතෙව් 16:24; යොහන් 18:37; 1 පේතෘස් 2:21) කෙසේවෙතත්, යේසුස් සහ ඔහුගේ වෙනත් ඇදහිලිවන්තයෝ තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගිකයන් ලෙස ජීවිතය දී මිය ගියහ. මින් අදහස් කරන්නේ සියලු ක්‍රිස්තියානීන් තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් මිය යෑම අපේක්ෂා කළ හැකි යමක් බවද?

2. පරීක්ෂා සහ දුක් විඳීම පිළිබඳ ක්‍රිස්තියානීන්ගේ දෘෂ්ටිය කුමක්ද?

2 ක්‍රිස්තියානීන් වශයෙන් අපට අවවාද කර තිබෙන්නේ මරණය දක්වා ඇදහිලිවන්තව සිටීමට මිස, අපගේ ඇදහිල්ල වෙනුවෙන් අනිවාර්යයෙන්ම මිය යෑමට නොවේ. (2 තිමෝති 4:7; එළිදරව් 2:10) මින් අදහස් කරන්නේ අපගේ ඇදහිල්ල නිසා දුක් විඳ, අපට මිය යෑමට සිදු විය හැකි වුවද, එවන් තත්වයකට පත්වීමට අප ඉතා ආශාවෙන් බලා සිටිනවා යන්න නොවේ. දුක් විඳින විට අප කිසි සතුටක් නොලබන අතර වේදනාවෙන් හෝ නින්දා කරනු ලැබීමෙන් අපට කිසිදු වින්දනයක් ලැබෙන්නේ නැත. කෙසේවෙතත්, පරීක්ෂා හා පීඩා අපේක්ෂා කිරීමට තිබෙන බැවින්, එවන් තත්වයන් අප කරා පැමිණෙද්දී අප ක්‍රියා කරන ආකාරය ගැන පරෙස්සමින් සලකා බැලීම යෙහෙකි.

පරීක්ෂා යටතේ විශ්වාසවන්තව

3. පීඩාවලට මුහුණ දුන් අන්දම පිළිබඳව කිනම් බයිබලීය ආදර්ශ ඔබට සඳහන් කළ හැකිද? (ඊළඟ පිටුවේ තිබෙන “ඔවුන් පීඩාවලට මුහුණ දුන් අන්දම” යන කොටුව බලන්න.)

3 අතීතයේ විසූ දෙවිගේ සේවකයන් තම ජීවිතයට තර්ජන එල්ල වූ අවස්ථාවන්හිදී ප්‍රතික්‍රියා කළ අන්දම පිළිබඳ වාර්තා ගණනාවක් අපට බයිබලය තුළ දක්නට ලැබේ. ඔවුන් ඒවාට ප්‍රතිචාරය දැක්වුවාවූ විවිධාකාර ක්‍රම මගින්, අද දින ක්‍රිස්තියානීන්ටද ඒ හා සමාන අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන විට ක්‍රියා කළ යුතු අන්දම ගැන යම් මඟ පෙන්වීමක් ඒ මගින් ලබා දෙයි. “ඔවුන් පීඩාවලට මුහුණ දුන් අන්දම” යන කොටුවේ ඇති වාර්තා සලකා බලා, ඔවුන්ගෙන් ඔබට ඉගෙනගත හැකි දේ කුමක්දැයි බලන්න.

4. පරීක්ෂා යටතේදී යේසුස් සහ වෙනත් ඇදහිලිවන්ත සේවකයන් ප්‍රතික්‍රියා කළ ආකාරය ගැන කුමක් කිව හැකිද?

4 යේසුස් සහ දෙවිගේ වෙනත් ඇදහිලිවන්ත සේවකයන් විවිධ තත්වයන් යටතේ වෙනස් ආකාරවලින් පීඩාවලට ප්‍රතික්‍රියා කළද, ඔවුන් අනවශ්‍ය ලෙස තමන්ගේ ජීවිතය උවදුරේ හෙළා නොගත් බව පැහැදිලිය. භයානක තත්වයන්ට මුහුණ දුන් විට, ඔවුන් ධෛර්යසම්පන්නව ක්‍රියා කළ නමුදු, සුපරීක්ෂාකාරීද වූහ. (මතෙව් 10:16, 23) ඔවුන්ගේ පරමාර්ථය වූයේ දේශනා වැඩකටයුතු වැඩි දියුණු කර යෙහෝවා කෙරෙහි තිබෙන තම අඛණ්ඩතාව පවත්වාගැනීමයි. අද දිනත් පරීක්ෂා සහ පීඩාවලට මුහුණ දීමට සිදු වන ක්‍රිස්තියානීන්හට, විවිධ අවස්ථාවන්හි ඊට ප්‍රතික්‍රියා කළ යුතු ආකාරය ගැන යම් ආදර්ශ ඉන් සපයයි.

5. එක්දහස් නවසිය හැටගණන්වලදී මලාවි රටේ ඇති වූ පීඩාව කුමක්ද? එහි සිටි සාක්ෂිකරුවන් ප්‍රතික්‍රියා කළේ කෙසේද?

5 නවීන කාලවලදී, යුද්ධ, තහංචි පැනවීම සහ ඍජු පීඩා නිසා යෙහෝවාගේ සේවකයෝ බොහෝවිට අතිශයින් දුෂ්කර තත්වයන්වලට මුහුණ පා සිටිති. එමෙන්ම ඔවුන්ගේ දේපළ හා ජීවිතද අහිමි වී තිබේ. නිදසුනක් වශයෙන්, 1960 ගණන්වලදී මලාවිහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඉතා දරුණු ලෙස පීඩාවට ලක් වූහ. ඔවුන්ගේ රාජ්‍ය ශාලා, නිවාස, ආහාර සැපයුම් හා ව්‍යාපාර, ඔවුන් සතුව තිබූ සෑම දෙයක්ම පාහේ විනාශ කරන ලදි. තදබල පහර දීම්වලටද වෙනත් ඉතා භයංකර අද්දැකීම්වලටද ඔවුහු භාජන වූහ. මෙවන් තත්වයන් මැද එම සහෝදරයන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? දහස් ගණනකට තම ගම්මාන අතහැර පළා යෑමට සිදු විය. බොහෝදෙනෙක් කැලෑවල ආරක්ෂාව සෙවූ අතර, තවත් අය අසල්වැසි මොසැම්බික් රාජ්‍යයේ පිටුවහලුන් ලෙස තාවකාලිකව ජීවත් වූහ. ඔවුන්ගේ පවුල්වල බොහෝදෙනෙකුට තම ජීවිත අහිමි වූ අතර, තවත් අය කළේ එම තත්වයන් යටතේ පෙනෙන හැටියට ගත හැකි සාධාරණම ක්‍රියාමාර්ගය වූ අන්තරා සහිත එම කලාපයෙන් පලා යෑමයි. එසේ කිරීමෙන්, සහෝදරයන් කළේ යේසුස් සහ පාවුල් විසින් තබන ලද ආදර්ශය අනුගමනය කිරීමයි.

6. ගිනිමය පීඩා හමුවේ මලාවි සාක්ෂිකරුවන් අමතක නොකළේ කුමක්ද?

6 මලාවි රටේ සහෝදරයන්ට පලා යෑමට හෝ සැඟවීමට සිදු වුවද, දිව්‍යාණ්ඩු මඟ පෙන්වීම පතා ඒ අනුව කටයුතු කළ ඔවුහු තමන්ට හැකි පමණ උපරිමයෙන් රහසිගතව තම ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිරත වූහ. මෙහි ප්‍රතිඵලය කුමක් වීද? වර්ෂ 1967දී වැඩකටයුතු තහනම් කිරීමට ස්වල්ප කලකට පෙරාතුව රාජ්‍ය ප්‍රචාරකයන් 18,519ක උපරිමයක් වාර්තා විණි. වර්ෂ 1972 වන විටත් වැඩ තහනම් කර තිබූ බැවින්, බොහෝදෙනෙකු මොසැම්බික් රාජ්‍යයට පලා ගොස් තිබුණද, නව ප්‍රචාරකයන් 23,398ක උපරිමයක් වාර්තා විය. පැය 16කට වඩා වැඩි සාමාන්‍යයක් සෑම මසකම ඔවුහු වාර්තා කළෝය. ඔවුන්ගේ ක්‍රියා යෙහෝවාට ප්‍රශංසා ගෙන දුන් බවට කිසිදු සැකයක් නැති අතර, එම අසීරු කාලවලදී එම ඇදහිලිවන්ත සහෝදරයන් මත යෙහෝවාගේ ආශීර්වාද තිබිණි. *

7, 8. පීඩා නිසා යම් ගැටලු ඇති වුණත්, ඇතමුන් පලා නොයෑමට තීරණය කළේ කුමන හේතු නිසාද?

7 අනෙක් අතට, විරුද්ධවාදිකම් නිසා ගැටලු ඇති වී තිබෙන රටවල ජීවත් වන සමහරක් සහෝදරයන්ට එයින් පිටව යෑමට හැකිකම තිබුණද, ඔවුන් එසේ නොකිරීමට තීරණය කරන්නට ඉඩ කඩ තිබේ. වෙනත් රටකට පදිංචියට යෑමෙන් යම් ගැටලු විසඳෙන්නට පුළුවනි. එහෙත් ඒ මගින් වෙනත් අභියෝග ඇති වීමටද හැකියි. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි සහෝදර ඇසුර භුක්ති විඳීමට ඔවුන්ට හැකි වේවිද? ආත්මිකව හුදෙකලා නොවී සිටීමට හැකි වේවිද? වෙනත් තැනක ස්ථිරව පදිංචි වීමට මහත් වෑයමක් දරන ගමන්ම තමන්ගේ ආත්මික චර්යාව දිගටම පවත්වාගැනීමට ඔවුන්ට හැකි වේවිද? සමහරවිට ධනවත් රටකදී හෝ ද්‍රව්‍යමය දේවල් අත් කරගැනීමට අවස්ථාව බොහෝ සෙයින් සලසා දෙන රටකදී එසේ කිරීමට ලැබේවිද?—1 තිමෝති 6:9, NW.

8 තවත් අය රට හැර දා වෙනත් තැනක පදිංචියට නොයෑමට තීරණය කරන්නේ ඔවුන් තම සහෝදරයන්ගේ ආත්මික ශුභසාධනය ගැන සැලකිලිමත් වූ හෙයිනි. තමන්ගේ සභා බලප්‍රදේශ තුළ දිගටම දේශනා කිරීම පිණිසද තමන්ගේ සෙසු නමස්කාරකයන්ට දිරිගැන්වීමේ උල්පතක් වීම පිණිසද එහිම නැවතී සිටිමින් පැනනැඟී ඇති තත්වයන්ට මුහුණ දීමට ඔවුහු තීරණය කළෝය. (ෆිලිප්පි 1:14, NW) මෙසේ එවන් තේරීමක් කිරීම මගින්, අවසානයේදී තම රටේ නීතිමය වශයෙන් යම් ජයග්‍රහණ අත් කරගැනීම සඳහා දායක වීමට ඇතැමුන් හට හැකි වී තිබේ. *

9. පීඩාවන් තිබියදී නැවතී සිටිනවාද නැතහොත් වෙනත් පෙදෙසක පදිංචියට යනවාද කියා තීරණය කිරීමේදී පුද්ගලයෙක් කිනම් සාධක සලකා බැලිය යුතුද?

9 වෙනත් පෙදෙසක පදිංචියට යනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක් බව නොකිවමනාය. ඇත්තෙන්ම, එවන් තීරණයක් ගත යුත්තේ යාච්ඤාවෙන් යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලීමෙන් අනතුරුවය. කෙසේවෙතත්, අප කුමන ක්‍රියාමාර්ගයක් ගත්තද, අප ප්‍රේරිත පාවුල්ගේ මෙම වචන මනසේ තබාගත යුතුයි. “අපි එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දෙන්නෙමු.” (රෝම 14:12, NW) අප කලින් දුටුවාක් මෙන්, යෙහෝවාට අවශ්‍ය කරන්නේ ඔහුගේ සෑම සේවකයෙකුම මොනයම් තත්වයන් යටතේ වුවද විශ්වාසවන්තව සිටීමයි. ඔහුගේ සේවකයන්ගෙන් සමහරදෙනෙක් අද දින පරීක්ෂා සහ පීඩාවලට මුහුණ දෙමින් සිටිති. තවත් අයට පසුව එවැනි තත්වයන් උද්ගත විය හැකියි. සියලුදෙනාම එක් විදිහකින් හෝ තවත් විදිහකින් පරීක්ෂාවට ලක් වෙනු ඇති. තවද තමන් මෙවන් තත්වයකට භාජන නොවී සිටියි කියා කිසිවෙකු අපේක්ෂා නොකළ යුතුයි. (යොහන් 15:19, 20) යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම සහ ඔහුගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු කිරීම සම්බන්ධ විශ්වනීය ප්‍රශ්නයට මුහුණ නොදී සිටීමට යෙහෝවාගේ කැප වූ සේවකයන් ලෙස අපගෙන් කිසිවෙකුට නොහැක.—එසකියෙල් 38:23; මතෙව් 6:9, 10.

“කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න”

10. පීඩන හා විරුද්ධවාදිකම් සම්බන්ධයෙන් අප කටයුතු කළ ආකාරය ගැන යේසුස් සහ ප්‍රේරිතයන් අප ඉදිරියේ තැබූ වැදගත් ප්‍රමිතිය කුමක්ද?

10 පීඩනය යටතේදී යේසුස් සහ ප්‍රේරිතයන් ප්‍රතික්‍රියා කළ විදිහෙන් අපට ඉගෙනගත හැකි තවත් වැදගත් ප්‍රතිපත්තියක් නම්, අපට පීඩා කරන්නන්ගෙන් කිසිවිටෙකත් පළි නොගැනීමයි. තමන්ට පීඩා කරන්නන්ට එරෙහිව සටන් කිරීම සඳහා යේසුස් හෝ ඔහුගේ අනුගාමිකයන් හෝ යම් ආකාරයක විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ බවක් හෝ බලහත්කාරකම් කළ බවට ඇඟවීමක් දෙන කිසිදු තැනක් අපට බයිබලයෙන් සොයාගත නොහැක. ඒ වෙනුවට, ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ “කිසිකෙනෙකුට නපුරට නපුර නොකරන්න” කියායි. “ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න.” මන්ද “පළිගැනීම මාගේය. මම විපාක දෙන්නෙමි කියා යෙහෝවා කියන්නේය” යනුවෙන් ලියා තිබේ. එපමණක්ද නොව, “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.”—රෝම 12:17-21, NW; ගීතාවලිය 37:1-4; හිතෝපදේශ 20:22.

11. මුල් ක්‍රිස්තියානීන් තුළ තමන් ජීවත් වූ ආණ්ඩුව කෙරෙහි තිබූ ආකල්පය ගැන එක් ඉතිහාසඥයෙක් පවසන්නේ කුමක්ද?

11 මුල් ක්‍රිස්තියානීහු එම උපදෙස සිතට ගත්හ. මුල් සභාව සහ ලෝකය (සිංහලෙන් නැත) නමැති තම පොතේ ඉතිහාසඥ සෙසිල් ජේ. කාඩූ, ක්‍රි.ව. 30-70 දක්වා කාලය තුළ ක්‍රිස්තියානීන් ආණ්ඩුව කෙරෙහි දැක්වූ ආකල්පය ගැන විස්තර කරමින් මෙසේ ලියයි. “මෙම කාලයේ විසූ ක්‍රිස්තියානීන් තමන් මතට එල්ල වූ පීඩාවලට එරෙහිව නැඟී සිටීම සඳහා යම් ප්‍රයත්නයක් දැරූ බවට කිසිදු ඍජු සාක්ෂියක් නොමැත. මේ සම්බන්ධයෙන් ඔවුන් ගත් පියවර සීමා වූයේ තමන්ගේ පාලකයන්ව නිර්භීතව හෙළාදැකීම හෝ පාලකයන්ව පුදුමයට පත් කරමින් පලා යෑමයි. කෙසේවෙතත්, සාමාන්‍ය ක්‍රිස්තියානියෙක් පීඩාවලට මුහුණ දෙන විට දක්වන ලද ප්‍රතික්‍රියාවේ සීමාවක් තිබිණි. ආණ්ඩුව තමන්ගෙන් ඉල්ලා සිටි දෙයට අවනත වීම, ක්‍රිස්තුස්ට අකීකරු වීමක් බව හැඟුණොත් සන්සුන්ව නමුත් ස්ථිරව එය ප්‍රතික්ෂේප කිරීම ඒ සීමාවයි.”

12. පළිගන්නවාට වඩා දුක් විඳ ඒවා විඳදරාගැනීම වඩාත් හොඳ වෙන්නේ මන්ද?

12 එකට එක නොකිරීමට යම් ස්ථාවරයක් ගැනීම ඇත්තටම ප්‍රායෝගිකද? ඒ අන්දමින් ක්‍රියා කරන අය, ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට අර අඳින අයට පහසුවෙන්ම ගොදුරක් විය නොහැකිද? තමන්වම ආරක්ෂා කරගැනීම සඳහා සටන් කිරීම ඥානවන්ත දෙයක් නොවනු ඇද්ද? මිනිස් දෘෂ්ටියෙන් බලන කල, එය එලෙස පෙනෙන්නට පිළිවන. කෙසේවෙතත්, අප යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපට සහතික දෙයක් නම් සියලු කාරණාවලදී යෙහෝවාගේ මඟ පෙන්වීම අනුගමනය කිරීම හොඳම ක්‍රියාමාර්ගය බවයි. පේතෘස්ගේ වචන අපි සිහියේ තබාගනිමු. “ඔබ යහපත කර ඒ ගැන දුක් විඳින කල විඳදරාගන්නහු නම්, එය දෙවි ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි.” (1 පේතෘස් 2:20, NW) උද්ගත වී ඇති තත්වය ගැන යෙහෝවා හොඳින්ම අවබෝධ කරගෙන සිටින බවත්, මෙවන් තත්වයක් සදහටම පවතින්නට ඉඩ නොදෙන බවත් අපට නිසැකය. අපට ඒ ගැන ස්ථිර විය හැක්කේ කෙසේද? බැබිලෝනියාවේ විසූ වහල් ජනයාහට යෙහෝවා ප්‍රකාශ කළේ මෙයයි. ‘ඔබට අතගසන්නා මගේ ඇසේ කලු ඉංගිරියාවට අතගසන්නේය.’ (සෙකරියා 2:8) ඔහුගේ ඇසේ කලු ඉංගිරියාවට අතගැසීමට ඔහු කිසියම් කෙනෙකුට කොතරම් කලකට ඉඩහරීවිද? යෙහෝවා නිසි කාලයේදී සහනය ගෙන එනවා ඇත. ඒ සම්බන්ධයෙන් නම් අපට කිසිම සැකයක් නැත.—2 තෙසලෝනික 1:5-8.

13. තමාව අත්අඩංගුවට ගැනීමට යේසුස් කැමැත්තෙන්ම සතුරාට ඉඩහැරියේ මන්ද?

13 මේ සම්බන්ධයෙන් ගත් කල, අපේ ආදර්ශය ලෙස අපට යේසුස් දෙස බැලිය හැකියි. ගෙත්සෙමන උයනේදී තමාව අත්අඩංගුවට ගැනීමට තම සතුරන්ට ඉඩහැරියේ තමාට ඔවුන්ගෙන් ගැලවී යා නොහැකි නිසා නොවේ. ඇත්තවශයෙන්ම, ඔහු තම ගෝලයන්ට පැවසුවේ මෙයයි. “මේ මොහොතේදී, දේවදූත සේනාංක දොළොසකට වඩා මට එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට නොහැකියි කියා ඔබ සිතනවාද? එසේ කළොත්, එය මේ ආකාරයෙන් සිදු විය යුතුයි කී ශුද්ධ ලියවිලි ඉටු වෙන්නේ කෙසේද?” (මතෙව් 26:53, 54, NW) තමන්ට දුක් විඳීමට සිදු වුවත් යේසුස්ට අතිශයින් වැදගත් වූයේ යෙහෝවාගේ කැමැත්ත ඉෂ්ට කිරීමයි. දාවිත්ගේ මෙම අනාවැකිමය ගීතිකාවේ වචන කෙරෙහි ඔහුට පූර්ණ නිසැකකමක් තිබිණි. “ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරින්නේය. ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙන්නේය.” (ගීතාවලිය 16:10) වසර ගණනාවකට පසුව ප්‍රේරිත පාවුල්ට යේසුස් ගැන මෙසේ කියන්නට හැකි විය. “ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොතකා වධකණුවක දුක් දරාගෙන, දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තේය.”—හෙබ්‍රෙව් 12:2, NW.

යෙහෝවාගේ නාමය විශුද්ධවත් කිරීමේ ප්‍රීතිය

14. යේසුස්ගේ සියලු පරීක්ෂා අතරතුරේදී ඔහුව උසුලාගත් ප්‍රීතිය කුමක් වීද?

14 සිතාගත හැකි වඩාත් දරුණුතම පරීක්ෂාව විඳදරාගැනීමට යේසුස්ට හේතු පාදක වූ ප්‍රීතිය කුමක් වීද? යෙහෝවාගේ සේවකයන් සියලුදෙනා අතරින්, දෙවිගේ ප්‍රේමාන්විත පුත් යේසුස්, සාතන්ගේ ප්‍රධානතම ඉලක්කය වූ බවට කිසිදු සැකයක් නැත. එමනිසා, යේසුස් පරීක්ෂාව යටතේදී අඛණ්ඩතාව රැකගැනීම සාතන් විසින් යෙහෝවාට කරන ලද නින්දාවට අවසාන පිළිතුර විය. (හිතෝපදේශ 27:11) තමාව නැවත නැඟිටුවනු ලැබීමෙන් යේසුස්ට ඇති වූ ප්‍රීතිය ගැන ඔබට සිතාගන්නට පුළුවන්ද? යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු කිරීමේද ඔහුගේ නාමය විශුද්ධවත් කිරීමේද පරිපූර්ණ මිනිසෙකු ලෙස තමාට ඉටු කරන්නට තිබූ කාර්යභාරය තමන් ඉටු කළ බව වටහාගත් ඔහු කොතරම් සන්තෝෂ වෙන්නට ඇද්ද! මීට අමතරව, “දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ” අසුන්ගැනීමේ වරප්‍රසාදය යේසුස්හට දානය කළාවූ පුදුමාකාර ගෞරවයක් සහ ඉහළම ප්‍රීතිය වූ බවට කිසිදු සැකයක් නැත.—ගීතාවලිය 110:1, 2; 1 තිමෝති 6:15, 16.

15, 16. සාක්සන්හව්සන් ගාල් කඳවුරේදී සාක්ෂිකරුවන් විඳදරාගත්තේ ඉතා කුරිරු කිනම් පීඩාද? එසේ කිරීමට ඔවුන්ට ශක්තිය ලබා දුන්නේ කුමකින්ද?

15 යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන ක්‍රිස්තියානීන්ටද, පරීක්ෂා සහ පීඩා විඳදරාගෙන යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීමේ හවුල්වීම ඒ හා සමාන ප්‍රීතියකි. සාක්සන්හව්සන් නම් අපකීර්තියට පත් ගාල් කඳවුරේ වද විඳි සාක්ෂිකරුවන්, දෙවන ලෝක යුද්ධය අවසානයේදී ඉතා දුෂ්කරවූ මරණයේ පා ගමනක යෙදී සිය ජීවිත බේරාගැනීමේ අද්දැකීම තුළ මේ කාරණය සම්බන්ධයෙන් ඉතා කදිම ආදර්ශයක් අපට දැකිය හැකියි. මෙම ගමනේදී සිරකරුවන් දහස් ගණනක් කටුක කාලගුණයට නිරාවරණය වීම හේතුවෙන්ද, රෝග හෝ බඩගින්න හේතුවෙන්ද මිය ගිය අතර, එස්.එස්. භටයන් විසින් පාර දිගට ඉතා කුරිරු ලෙසත් ඝාතනය කරනු ලැබූහ. සාක්ෂිකරුවන් 230ක් සිටි අතර, එකට එකතු වී එකිනෙකාට ඇලී සිට තම ජීවිත පරදුවේ තබමින් එකිනෙකාට උපකාර කරමින් ඔවුහු තම පණ රැකගත්හ.

16 එම ඉතා කටුක පීඩාවන් විඳදරාගන්නට මෙම සාක්ෂිකරුවන්ට ශක්තිය ලැබුණේ කුමකින්ද? ඔවුහු ආරක්ෂා සහිතව තම ගමන නිම කළ වහාම, ඉතා ප්‍රීතියෙන් යෙහෝවාට තම කෘතඥතාව පළ කළෝය. එසේ කළේ “මෙක්ලන්බර්ග්හි ෂ්වේරින් අසල කැලයක එකට එකතු වූ ජාතීන් හයකට අයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් 230දෙනාගේ ප්‍රඥප්තිය” යන මැයෙන් යුත් ලේඛනයක මෙසේ සඳහන් කරමිනි. “ඉතා දීර්ඝ පරීක්ෂණාත්මක කාලය දැන් අවසන්ය. පරීක්ෂණවලින් ජයගත් අය ඉන් ජයගෙන තිබෙන්නේ අඩුම තරමින් තමන්ගෙන් දුම් ගඳක්වත් වහනය නොවන ලෙස ගිනි උදුනකින් ඉවතට ඇද දැමුවාක් මෙනි. (දානියෙල් 3:27 බලන්න.) ඊට පටහැනිව, ඔවුන්ට යෙහෝවාගේ පූර්ණ ශක්තිය සහ බලය ලැබී තිබෙන අතර, තවදුරටත් දිව්‍යාණ්ඩුමය කාරණා කටයුතු කරගෙන යෑම සඳහා රජුගෙන් අලුත් ආඥා ලැබෙන තෙක් ඔවුහු ඕනෑකමින් බලා සිටිති.” *

17. දෙවිගේ ජනයා දැන් මුහුණ දෙමින් සිටින්නේ කිනම් ආකාරයේ පරීක්ෂාවලටද?

17 අප තවමත් ‘ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිට නැතත්’ එම ඇදහිලිවන්තයන් 230දෙනා මෙන් අපගේද ඇදහිල්ල පරීක්ෂාවට ලක් විය හැකියි. (හෙබ්‍රෙව් 12:4, NW) එහෙත් යම් පරීක්ෂාවක් විවිධ ආකාරවලින් පැමිණිය හැකියි. එය පන්තියේ ළමුන්ගෙන් පැමිණෙන සමච්චල් විය හැකියි. නැත්නම් දුරාචාරයේ යෙදීමට හෝ වෙනත් වැරදි කිරීමට තුල්‍යයන්ගෙන් ඇති වන පීඩනය වෙන්නට පුළුවනි. ඊට අමතරව, රුධිරයෙන් වැළකීමට, ස්වාමීන් තුළ පමණක් විවාහ වීමට, හෝ ආගමික වශයෙන් බෙදුණු පවුලක දරුවන්ව ඇදහිල්ල තුළ හදා වඩා ගැනීමට අදිටන් කරගෙන සිටින නිසා සමහරවිට දරුණු පීඩන හා පරීක්ෂා එල්ල විය හැකියි.—ක්‍රියා 15:29; 1 කොරින්ති 7:39; එපීස 6:4; 1 පේතෘස් 3:1, 2.

18. ඉතා අසාමාන්‍ය පරීක්ෂණවලදී පවා විඳදරාගැනීමට අපට තිබෙන නිසැකකම කුමක්ද?

18 කෙසේවෙතත්, කිනම් ආකාරයේ පරීක්ෂා අප හමුවට පැමිණියද, අප දුක් විඳින්නේ අපි යෙහෝවා සහ ඔහුගේ රාජ්‍යය මුලින් තබන නිසා බව දනිමු. තවද අප එය සලකන්නේ සැබෑ ගෞරවයක් හැටියටයි. එසේ කිරීමට ලැබීම වරප්‍රසාදයක් හා ප්‍රීතියකි. පේතෘස්ගේ මෙම සහනදායක වචනවලින් අපි ධෛර්යය උපදවාගනිමු. “ක්‍රිස්තුස්ගේ නාමය නිසා ඔබට නින්දා කරනු ලබන්නේ නම්, ඔබ සන්තෝෂවත්ය. මන්ද තේජසෙහි ආත්මය, එනම් දෙවිගේ ආත්මය ඔබ කෙරෙහි රඳා පවතින්නේය.” (1 පේතෘස් 4:14, NW) යෙහෝවාගේ ආත්මයේ බලය තුළින් වඩාත් දුෂ්කර පරීක්ෂණාත්මක තත්වයන්වලදී පවා විඳදරාගැනීමට ශක්තිය අපට ඇත. මේ සියල්ලම ඔහුගේ මහිමය සහ ප්‍රශංසාව උදෙසායි.—2 කොරින්ති 4:7; එපීස 3:16; පිලිප්පි 4:13.

[පාදසටහන්වල]

^ 6 ඡේ. එක්දහස් නවසිය හැටගණන්වලදී මලාවිහි සාක්ෂිකරුවන්ට පැමිණි දරුණු හා මිනීමරු පීඩා, දශක තුනකට අධික කාලයක් ඔවුන් විඳදරාගත් පීඩා රැල්ලේ මුල් අවස්ථාව පමණි. සම්පූර්ණ විස්තරය දැනගැනීමට 1999 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ 171-212 දක්වා පිටු බලන්න. (සිංහලෙන් නැත.)

^ 8 ඡේ. වර්ෂ 2003 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 11-14 දක්වා පිටුවල, “‘අරරත් දේශයේ’ සැබෑ නමස්කාරය සඳහා තිබෙන අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී” යන ලිපිය බලන්න.

^ 16 ඡේ. මෙම මුළු ප්‍රඥප්තිය කියවීමට අවශ්‍ය නම්, කරුණාකර 1974 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (සිංහලෙන් නැත) 208-9 දක්වා පිටු කියවන්න. මේ ගමනේ යෙදී ජීවිතය බේරාගත් අයෙකුගේ අද්දැකීම ගැන කියවීමට 1998 ජනවාරි 1වන දා මුරටැඹ කලාපයේ 25-29 දක්වා පිටු බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ක්‍රිස්තියානීන් දුක් විඳීම සහ පීඩා දෙස බලන්නේ කෙසේද?

• පරීක්ෂා යටතේදී යේසුස් සහ වෙනත් ඇදහිලිවන්තයන් ප්‍රතික්‍රියා කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• අපට පීඩා කරනු ලැබූ විට පළි නොගැනීම ඥානවන්ත වන්නේ මන්ද?

• යේසුස්ගේ පරීක්ෂාවලදී ඔහුට විඳදරාගැනීමට හේතු පාදක වූයේ කිනම් ප්‍රීතියද? අපට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔවුන් පීඩාවලට මුහුණ දුන් අන්දම

• වයස අවුරුදු දෙකට පහළ සියලු බිලිඳු පිරිමි දරුවන් මැරීමට හෙරොද්ගේ හේවායන් බෙත්ලෙහෙමට පැමිණීමට පෙර, දේවදූත මඟ පෙන්වීම ලැබූ යෝසෙප් සහ මරියා බිලිඳු යේසුස්ව රැගෙන ඊජිප්තුවට පලා ගියහ.—මතෙව් 2:13-16.

• යේසුස්ගේ දේවසේවය අතරතුර විවිධ අවස්ථාවලදී, ඔහු දුන් ප්‍රබල සාක්ෂිය නිසා ඔහුගේ සතුරෝ ඔහුව මරන්නට සෙවූහ. මේ සෑම අවස්ථාවකදීම යේසුස් කළේ ඔවුන්ව මඟ හැර යෑමයි.—මතෙව් 21:45, 46; ලූක් 4:28-30: යොහන් 8:57-59.

• යේසුස්ව අත්අඩංගුවට ගැනීමට හේවායන් සහ නිලධාරීන් ගෙත්සෙමන උයනට පැමිණි කල, ඔහු විවෘතව තමාවම හඳුන්වා දුන්නේ “ඔහු මමය” යයි දෙවරක්ම කියමිනි. එපමණක්ද නොව, තමාව රැගෙන යෑමට බාධා කිරීමට ඔහුගේ අනුගාමිකයන් උත්සාහ කළ අවස්ථාවේදී එය නැවැත්වූ ඔහු, තමාව රැගෙන යෑමට මැර පිරිසට ඉඩහැරියේය.—යොහන් 18:3-12.

• යෙරුසලමේදී පේතෘස් සහ වෙනත් අයව අත්අඩංගුවට ගනු ලැබ, ඔවුන්ට තලා, යේසුස් ගැන කතා නොකරන ලෙස අණ කරනු ලැබීය. නිදහස් කරනු ලැබීමෙන් අනතුරුව, ඔවුහු ‘පිටත්ව ගොස්, . . . ඉන්පසු ඔවුහු දිනපතා දේවමාළිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත්නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.’—ක්‍රියා 5:40-42.

• පසුව ප්‍රේරිත පාවුල් බවට පත් වූ සාවුල්ව මරා දැමීමට දමස්කයේදී යුදෙව්වන් කුමන්ත්‍රණය කරමින් සිටි බව දැනගත් විට, සහෝදරයන් ඔහුව කූඩයක බහා පවුරේ හිදැසකින් ඔහුව බැස්සුවෝය. ඔහු බේරුණි.—ක්‍රියා 9:22-25.

• වසර ගණනාවකට පසුව, ආණ්ඩුකාර ෆෙස්ටස් සහ අග්‍රිපා රජ යන දෙදෙනාම පාවුල් “මරණයට හෝ බඳිනු ලබන්න සුදුසු කිසිවක් කරන කෙනෙකු නොවේ” යයි සොයාගත්තද, පාවුල් සීසර්ගෙන් අභියාචනා කිරීමට තීරණය කළේය.—ක්‍රියා 25:10-12, 24-27; 26:30-32.

[16, 17වන පිටුවේ පින්තූර]

කටුක පීඩා නිසා පලා යෑමට සිදු වුවද, මලාවි රටේ සාක්ෂිකරුවෝ දහස් ගණනක් රාජ්‍ය සේවය ප්‍රීතියෙන් කරගෙන ගියහ

[17වන පිටුවේ පින්තූර]

නාට්සීන් විසින් මෙහෙයවනු ලැබූ මරණයේ පා ගමනේදී සහ ගාල් කඳවුරුවලදී මෙම ඇදහිලිවන්තයන් විඳදරාගෙන සිටියේ යෙහෝවාගේ නාමය විශුද්ධවත් කිරීමේ ප්‍රීතිය නිසයි

[හිමිකම් විස්තර]

මරණයේ පා ගමන: KZ-Gedenkstätte Dachau, USHMM Photo Archives අනුග්‍රහයෙනි

[18වන පිටුවේ පින්තූර]

පරීක්ෂා සහ පීඩන අප වෙත විවිධාකාරවලින් පැමිණිය හැකියි