Skip to content

පටුනට යන්න

ප්‍රශ්න රැසකි සෑහීම ගෙන දෙන පිළිතුරු ටිකකි

ප්‍රශ්න රැසකි සෑහීම ගෙන දෙන පිළිතුරු ටිකකි

ප්‍රශ්න රැසකි සෑහීම ගෙන දෙන පිළිතුරු ටිකකි

සියලු සාන්තුවරයන්ගේ දවස ලෙස සලකනු ලබන 1755 නොවැම්බර් 1වනදා සිදු වූ දරුණු භූමිකම්පාවකින් ලිස්බන් නගරයට බරපතළ හානි සිදු විය. ඒ අවස්ථාවේදී නගරවාසීන්ගෙන් බහුතරයක් සිටියේ පල්ලිවලයි. ගොඩනැඟිලි දහස් ගණනක් බිමට සමතලා වූ අතර දසදහස් ගණනක් ජනයා මරුමුවට පත් වූහ.

එම විනාශය මිනිසුන්ගේ පාපවලට දෙවි දුන් දඬුවමක් බවට වූ මතයක් මිනිසුන් අතර විය. එම ඛේදවාචකයෙන් කෙටි කලකට පසු ප්‍රංශ ලේඛකයෙකු වූ වොල්ටෙයාර් ලියූ පොතක, (Poème sur le désastre de Lisbonne; ලිස්බන්හි විපත්තිය පිළිබඳ කාව්‍යය) එම මත ප්‍රතික්ෂේප කර තිබිණ. එවන් විපත්තිදායක සිද්ධීන් තේරුම්ගැනීමට හෝ ඒවා ගැන පැහැදිලි කිරීමට මිනිසුන්ට නොහැකි බව සඳහන් කරමින් ඔහු මෙසේ ලීවේය:

සොබාදහම ගොළුය. අපි පලක් නැතිව ඇගෙන් ප්‍රශ්න කරන්නෙමු.

මානව වර්ගයාට උත්තර දිය හැකි දෙවි කෙනෙකු අපට අවශ්‍යයි.

දෙවි ගැන ප්‍රශ්න ඉස්මතු කළ පළමු තැනැත්තා වොල්ටෙයාර් නොවේ. මිනිස් ඉතිහාසය පුරා සිදු වී තිබෙන ඛේදජනක සිදුවීම් හා විනාශයන් නිසා මිනිසුන්ගේ සිත්වල ප්‍රශ්න පැන නැඟී ඇත. මීට අවුරුදු දහස් ගණනකට පෙර විසූ කුලදෙටුවෙකු වූ යෝබ් මෙසේ ඇසුවේය. “[දෙවි] දුක්ඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?” යෝබ් එසේ ඇසුවේ ඔහුගේ සියලුම දරුවන් මරණයට පත් වී, ඔහුද දරුණු රෝගයකින් බොහෝ දුක් විඳිමින් සිටි කාලයේදීය. (යෝබ් 3:20) මිනිසුන්ට බොහෝ දුක් වේදනා හා අයුක්තිය අද්දකින්න ඉඩ දී යහපත් හා ප්‍රේමණීය දෙවි කෙනෙකුට නිකම් බලාගෙන සිටිය හැක්කේ කෙසේද කියා බොහෝදෙනෙක් කල්පනා කරති.

සාගත, යුද්ධ, ලෙඩ රෝග හා මරණය වැනි කටුක අද්දැකීම්වලට මුහුණ දෙන විට, මිනිසුන් ගැන සැලකිලිමත් වන මැවුම්කරුවෙකුගේ පැවැත්ම බොහෝදෙනෙක් එකහෙළා ප්‍රතික්ෂේප කරති. අදේවවාදී දාර්ශනිකයෙක් මෙසේ පැවසුවේය. ‘දරුවෙකුට දුක් වේදනා විඳින්න ඉඩහැරීම ගැන දෙවිට දොස් පැවරිය නොහැක්කේ ඔහු නොපවතිනවා නම් පමණි.’ මේ හා සමාන නිගමනවලට එළඹීමට, දෙවන ලෝක මහ යුද්ධය පැවති කාලයේදී සිදු කරන ලද යුදෙව් සමූලඝාතනය වැනි මහත් ඛේදජනක සිද්ධීන් හේතු වී තිබේ. යුදෙව් ජාතික ලේඛකයෙකු විසින් ලියන ලද පුවත් ලිපියක පළ වූ මෙම අදහස සැලකිල්ලට ගන්න. “අවුෂ්විට්ස් ඝාතක කඳවුරේ සිදු වූ කුරිරුකම්වලින් පැහැදිලි වන්නේ මිනිසුන්ගේ කටයුතුවලට මැදිහත් වීමට දෙවි කෙනෙක් නැති බවයි.” කතෝලික ආධිපත්‍යයක් තිබෙන ප්‍රංශයේ 1997දී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ එහි වැසියන්ගෙන් සියයට 40ක් පමණ දෙවිගේ පැවැත්ම ගැන සැක පහළ කරන බවයි. එයට හේතුව 1994දී රුවන්ඩාවේ සිදු කරන ලද සමූලඝාතන හා සමාන ජනසංහාරයි.

ඇදහිල්ලට බාධාවක්ද?

ඛේදජනක දේවල් සිදුවීම වැළැක්වීමට දෙවි පියවර නොගන්නේ මන්ද? මේ ගැන අදහස් දක්වමින් එක් කතෝලික ලේඛකයෙකු පැවසුවේ, එම ප්‍රශ්නය හුඟදෙනෙකුගේ “ඇදහිල්ලට විශාල බාධාවක්” බවයි. ඔහු මෙසේ ප්‍රශ්න කළේය. “ලක්ෂ ගණන් අහිංසක මිනිසුන් මිය යද්දී, සමූලඝාතන සිදු කරද්දී ඒවා වැළැක්වීමට කිසිම පියවරක් නොගෙන, අසරණව බලා සිටින දෙවි කෙනෙකු ගැන විශ්වාස කරන්න පුළුවන්ද?”

එක් කතෝලික පුවත්පතක (La Croix) පළ වූ කතුවැකියක ඒ හා සමාන අදහසක් මෙසේ සඳහන් වී තිබිණ. “අතීතයේ සිදු වූ දේවල්, තාක්ෂණික දියුණුව, ස්වාභාවික විපත්, මාෆියා කල්ලි විසින් කරනු ලබන අපරාධ, තමන් ප්‍රේම කරන කෙනෙකු මිය යෑම වැනි දේවල් නිසා හෝ අද්දකින ඛේදජනක සිදුවීම්වලින් කම්පාවට පත් වෙමින් දෑත් දිගු කරන ජනයාගේ ඇස් යොමු වන්නේ අහස දෙසටයි. දෙවියන් කොහේද? ඔවුන්ට උත්තරයක් අවශ්‍යමයි. ශ්‍රේෂ්ඨතම උදාසීන තැනැත්තා ඔහු නොවේද? මිනිසුන් ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන තැනැත්තා ඔහු නොවේද?”

දෙවන ජුවාම් පාවුළු පාප් 1984දී ලියූ ඔහුගේ අපෝස්තලික ලිපියක (Salvifici Doloris) එම ප්‍රශ්නවලින් සමහරක් හසුරුවන්ට උත්සාහ කළේය. එහි ඔහු මෙසේ ලීවේය. “ලෝකයේ පැවැත්ම මගින් දෙවිගේ පැවැත්ම ගැනත් ඔහුගේ ප්‍රඥාව, බලය හා ශ්‍රේෂ්ඨත්වය ගැනත් මිනිසුන්ගේ ඇස් විවර කළත් නපුරු දේවල් හා දුක් වේදනා මගින් දෙවිගේ ප්‍රතිරූපය බොඳ වී යයි. විශේෂයෙන්ම, අයුක්තිසහගත ලෙස දුක් වේදනා විඳීම ගැනත් නිසි දඬුවම් නොලැබෙන අපරාධ ගැනත් දිනපතා බොහෝ සිද්ධීන් වාර්තා වන විට දෙවිගේ එම ප්‍රතිරූපය ඇතැම් අවස්ථාවලදී මැකී යා හැකියි.”

බයිබලයේ සඳහන් වන පරිදි බොහෝ ප්‍රේමණීය මෙන්ම අධික බලයක් තිබෙන දෙවි කෙනෙකුගේ පැවැත්ම හා බොහෝදෙනෙකු අද්දකින දුක් වේදනා අතර අනුකූලතාවක් තිබේද? පුද්ගලයන් වශයෙන් හෝ සමූහයක් වශයෙන් මිනිසුන්ව විපත්තිවලින් ආරක්ෂා කිරීමට දෙවි මැදිහත් වෙනවාද? ඔහු අප වෙනුවෙන් යම් දෙයක් අද කරනවාද? වොල්ටෙයාර් පැවසූ ලෙස මේ ප්‍රශ්නවලට “මානව වර්ගයාට උත්තර දිය හැකි දෙවි කෙනෙකු” සිටිනවාද? කරුණාකර, මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම සඳහා ඊළඟ ලිපිය කියවන්න.

[3වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1755දී ලිස්බන් නුවර සිදු වූ විනාශය නිසා වොල්ටෙයාර් පැවසුවේ මෙවැනි සිද්ධීන් මිනිසුන්ට තේරුම්ගත නොහැකි බවයි

[හිමිකම් විස්තර]

වොල්ටෙයාර්: Great Men and Famous Women නමැති පොතෙන් උපුටාගන්නා ලදි; ලිස්බන්: J.P. Le Bas, Praça da Patriarcal depois do terramoto de 1755. Foto: Museu da Cidade/Lisboa

[4වන පිටුවේ පින්තූරය]

රුවන්ඩාවේ සිදු වුණා හා සමාන ජන සංහාර නිසා දෙවිගේ පැවැත්ම ගැන බොහෝදෙනෙක් සැක පහළ කරති

[හිමිකම් විස්තර]

AFP PHOTO

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කවරය, ළමුන්: USHMM, courtesy of Main Commission for the Prosecution of the Crimes against the Polish Nation