Skip to content

පටුනට යන්න

“මම කවදාවත් මේ වගේ දෙයක් අහලා නැහැ!”

“මම කවදාවත් මේ වගේ දෙයක් අහලා නැහැ!”

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

“මම කවදාවත් මේ වගේ දෙයක් අහලා නැහැ!”

ඩොරෝටා පෝලන්තයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවිකාවක්. ඇය සාමාන්‍ය විදියට තම 14 හැවිරිදි පුතුව ඔහුගේ පාසැලේ පැවති සායනයට රැගෙන ගියා. වෛද්‍ය යානීනා, * පරීක්ෂණ කරන අතරතුර ඩොරෝටාගෙන් තම පුතුට නිවසේදී භාරදී තිබෙන වැඩ කොටස් ගැන විමසුවා.

“මට කෑම හදන්න බැරි දවසට අපේ පවුලේ හයදෙනාටම මගේ පුතා කෑම හදනවා. ගේ පිරිසිදු කරනවා. ඒ වගේම සුළු සුළු අලුත්වැඩියාවන් කරන්නත් ඔහු උදව් කරනවා. ඔහු කියවීමට කැමතියි. හරිම උද්‍යෝගිමත් ළමයෙක්” යයි ඩොරෝටා පිළිතුරු දුන්නා.

“හරි පුදුමයි. මම මෙතැන අවුරුදු 12ක් තිස්සේ වැඩ කරනවා. ඒත් මේ වගේ දෙයක් කවමදාකවත් අහලා නැහැ” කියා යානීනා පැවසුවා.

මෙය සාක්ෂි දැරීමට කදිම අවස්ථාවක් කියා වටහාගත් ඩොරෝටා මෙසේ කරුණු එක් කළා. “අද දෙමාපියන් හුඟදෙනෙක් තමන්ගේ දරුවන්ට නියම පුහුණුවක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි බොහෝවිට ඔවුන්ගේ දරුවන් තුළ ආත්ම ගෞරවයේ අඩුවක් තියෙන්නේ.”

“මේ දේවල් දෙමාපියන් හුඟදෙනෙක් දන්නේ නැහැ. ඔයා කොහොමද දන්නේ?” කියා යානීනා ඇසුවා.

එවිට ඩොරෝටා මෙසේ පැවසුවා. “බයිබලය එවැනි තොරතුරු අඩංගු වටිනා මූලාශ්‍රයක්. උදාහරණයකට, ද්විතීය කථාව 6:6-9ට අනුව දරුවන්ට උගන්වන්න කලින් අපි ඉගෙනගන්න ඕනේ. අපේ දරුවන්ගේ සිත් තුළට කාවැද්දවිය යුතු සාරධර්ම පළමුකොට අපේ හදවත් තුළ තිබෙන්න ඕනේ. එහෙම නේද?”

“පුදුමයි, ඇත්තටම මට අදහගන්නත් අමාරුයි!” කියා යානීනා පැවසුවා. ඉන්පසු ඇය දරුවන් ඇති දැඩි කරන්නත් පුහුණු කරන්නත් බයිබලය උපකාරවත් වුණේ කොහොමද කියා ඩොරෝටාගෙන් අසා සිටියා.

“අපි දරුවන් එක්ක සතිපතා බයිබලය පාඩම් කරනවා. ඒ සඳහා අපි යෞවන අය අසන ප්‍රශ්නක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු * යන පොත පාවිච්චි කරනවා” යයි ඩොරෝටා පැහැදිලි කළා. ඉන් පසුව එම පොත ගැන විස්තරයක් දී එහි තිබෙන මාතෘකා කිහිපයක් ගැන ඇය සඳහන් කළා.

“මම කවදාවත් මේ වගේ දෙයක් අහලා නැහැ! ඒ පොත මට බලන්න පුළුවන්ද?” කියා යානීනා පුදුමයෙන් ඇසුවා.

පැයකට පසුව, ඩොරෝටා පොතත් රැගෙන නැවත පැමිණියා.

යානීනා පොත බලන ගමන් “ඔයා මොන ආගමේද? කියා ඇසුවා.

“මම යෙහෝවාගේ සාක්ෂිකාරියක්.”

“වෙනත් ඇදහිල්ලකට අයිති කෙනෙකුට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සලකන්නේ කොහොමද?”

“මම ඔයාට සලකන විදිහටම. ඒ කියන්නේ ගෞරවයකින් යුතුව” කියා පවසමින් ඩොරෝටා මෙසේ කරුණු එකතු කළා. “ඇත්තටම අපි හරි ආසයි අනික් අයත් බයිබලයේ සත්‍යය දැනගන්නවාට.”

“මට දැනටමත් හොඳ පැහැදීමක් ඇති වුණා” යනුවෙන් යානීනා කියා සිටියා.

පිටත් වීමට පෙර ඩොරෝටා යානීනාට බයිබලය කියවන ලෙස උනන්දු කළා. “ඒක ඔයාගේ ජීවිතයට අර්ථයක් ලබා දෙයි. ඒ වගේම ඔයාගේ රැකියාවටත් උපකාරයක් වෙයි.”

“ඔයා දැනටමත් මාව ඒ දේ කරන්න පොලඹවලායි තියෙන්නේ” කියා යානීනා ප්‍රකාශ කළා.

උපායශීලීකමත් අදිටනත් නිසා ඩොරෝටා වෛද්‍යවරිය බැහැදැකීමට ගිය අවස්ථාව කදිම සාක්ෂියක් දැරීමට මඟක් කරගත්තා.—1 පේතෘස් 3:15.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ඇගේ සැබෑ නම නොවෙයි.

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.