Skip to content

පටුනට යන්න

යෙහෝවා යටහතුන්ව සත්‍යයට ඇදගනියි

යෙහෝවා යටහතුන්ව සත්‍යයට ඇදගනියි

ජීවිත කතාව

යෙහෝවා යටහතුන්ව සත්‍යයට ඇදගනියි

පැවසුවේ අසානො කොෂිනො

දෙවෙනි ලෝක මහ යුද්ධය අවසන් වෙලා ටික කාලයක් ගෙවුණු පසු වර්ෂ 1949දී කෝබේ නගරයේ මම සේවය කරමින් සිටි ගෙදරට මිත්‍රශීලී, උස විදේශිකයෙකු ආවා. ජපානයට ආපු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මුල්ම මිෂනාරිවරයා ඔහුයි. මාව බයිබල් සත්‍යය වෙත ඇදී යෑමට මඟ පෑදුවේ ඔහුගේ පැමිණීමයි. නමුත් මුලින්ම මම කියන්නම් මගේ පවුල් පසුබිම ගැන.

මම ඉපදුණේ 1926දී ඔකයාමා ප්‍රාන්තයේ දකුණට වෙන්න පිහිටි කුඩා ගම්මානයකයි. මම දරුවන් අටදෙනෙකුගෙන් යුත් පවුලක පස්වෙනියා. අපේ ගමේ ප්‍රසිද්ධ ෂින්ටෝ දෙවියන් කෙරෙහි මගේ පියාට ලොකු භක්තියක් තිබුණා. ඉතින් ළමා කාලයේදී අපි අවුරුද්ද පුරාම පැවතුණු විවිධ ආගමික උත්සව සැමරීමෙන් හා ඒ අවස්ථාවලදී නෑදෑයන් සමඟ එකතු වී විනෝද වීමෙන් මහත් ප්‍රීතියක් අද්දැක්කා.

මම වැඩෙනවාත් සමඟම මට ජීවිතය සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න තිබුණා. නමුත් මට වැඩියෙන් බලපෑ ප්‍රශ්නය වුණේ මරණයයි. අපේ චාරිත්‍රයට අනුව මිනිස්සු අවසාන හුස්ම හෙළුවේ තමන්ගේම ගෙවල්වලමයි. පවුලේ සාමාජිකයෙක් මැරෙන මොහොතේදී දරුවන් සියලුදෙනාම ඔහුගේ ඇඳ වටේට සිටීමත් අපේක්ෂා කරනවා. මට ගොඩාක් දුක හිතුණේ මගේ ආච්චි සහ අවුරුද්දක්වත් ජීවත් වුණේ නැති මගේ මල්ලී මැරුණු අවස්ථාවේදීයි. මේ නිසා මගේ දෙමව්පියන්ගේ මරණය ගැන සිතනකොටත් මා තුළ මහත් බියක් ඇති වුණා. ‘ජීවිතයේ බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මරණය විතරද? ජීවිතයට ඊට වඩා වෙනත් අරමුණක් නැද්ද?’ මට මේ ගැන දැනගන්න ලොකු වුවමනාවක් තිබුණා.

වර්ෂ 1937දී මම ප්‍රාථමික පාසැලේ හයවෙනි පන්තියේ ඉගෙනගන්න කාලයේ තමයි චීන ජපන් යුද්ධය පටන්ගත්තේ. මේ කාලයේදී පිරිමින්ව හමුදා සේවයට බඳවාගෙන යුද්ධ කිරීම සඳහා චීනයට පිටත් කරනු ලැබුවා. පාසැල් දරුවන් තමන්ගේ පියවරුන්ව හා සහෝදරයන්ව පිටත් කර යැව්වේ අධිරාජයාට “බැන්සායි” (දීර්ඝායු වේවා!) කියා ආසිරි පතමිනුයි. ජපානයේ වැසියන් දේවපාලනයක් යටතේ සිටින සෙනඟක් බවත් අධිරාජයා ජීවමාන දෙවි කෙනෙක් බවත් ජනයා විශ්වාස කළ නිසා ජපානය යුද්ධයෙන් ජය අත් කරගන්නා බවට ඔවුන් තුළ ලොකු නිසැකකමක් තිබුණා.

වැඩි කල් යන්නට මත්තෙන් යුධ පිටියෙන් මරණ දැන්වීම් ලැබෙන්නට පටන්ගත්තා. වියෝ දුකට පත් වූවන්ව සනසන්න කොහෙත්ම හැකි වුණේ නැහැ. ඔවුන්ගේ සිත්වල වෛරය කොතරම් මෝරන්න පටන්ගත්තාද කිව්වොත් ඔවුන්ගේ සතුරන් දරුණු ලෙස තුවාල වෙන විට හෝ මරණයට පත් වෙන විට ඔවුන් ප්‍රීති වුණා. නමුත් මම හිතුවා ‘අප අපේ ප්‍රේමණීයන්ගේ වියෝවෙන් දුක් වෙනවා හා සමානව අපේ සතුරනුත් ඔවුන්ගේ කෙනෙක් මැරුණු විට දුක් වෙනවා ඇතියි’ කියා. මම ප්‍රාථමික පාසැලෙන් සමත් වූ කාලයේ චීනයේ යුධමය වාතාවරණය තව තවත් උග්‍ර අතට හැරුණා.

අනපේක්ෂිත ලෙස හමු වූ විදේශිකයා

ගොවිතැන් කරන අය හැටියට අපේ ජීවිත හැමදාම ගෙවුණේ දුප්පත්කමින්. නමුත් මගේ අධ්‍යාපනයට වියදමක් දැරීමට අවශ්‍ය නොවන තාක් කල් මට ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමට මගේ පියා අවසර දුන්නා. මම 1941දී කිලෝමීටර් 100කට එහායින් පිහිටි ඔකයාමා නගරයේ බාලිකා විද්‍යාලයකට ඇතුල් වුණා. එම පාසැල් අධ්‍යාපනය සැලසුම් කර තිබුණේ ගැහුණු ළමයින්ට දක්ෂ භාර්යාවන් හා මව්වරුන් වීමට උපකාර කිරීමටයි. ඒ වගේම එම පාසැලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ව පොහොසත් ගෙවල්වල ආධුනික ගෘහපාලිකාවන් ලෙස සේවය කිරීමට යොමු කරනු ලැබුවා. ශිෂ්‍යයන් උදේ වරුවේ මේ ගෙවල්වල වැඩ කිරීමෙන් පුහුණුවක් ලැබුවා; හවස් වරුවේ ඔවුන් පාසැලට ගියා.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව කිමෝනාවකින් සැරසී සිටි මගේ ගුරුවරිය මාව ලොකු ගෙදරකට එක්කගෙන ගියා. නමුත් යම් හේතුවක් නිසා ඒ ගෙදර කාන්තාව මාව බාරගත්තේ නැහැ. “එහෙනම් අපි කෝඩා මහත්මියගේ ගෙදර යමුද” කියා ගුරුවරිය මගෙන් ඇහුවා. ඉන්පසු ඇය මාව බටහිර පන්නයේ ගෙදරකට එක්කගෙන ගිහින් එහි දොරේ සීනුව නාද කළා. ටික වේලාවකට පස්සේ කොණ්ඩේ සුදු උස කාන්තාවක් අපව හමු වෙන්න ආවා. මම තුෂ්ණීම්භූත වුණා! ඇය ජපන් කාන්තාවක් නොවෙයි, මම ඒ වෙනකොට ජීවිතේටම බටහිර කාන්තාවක් දැකලා තිබුණේ නැහැ. මගේ ගුරුවරිය මාව මෝඩ් කෝඩා මහත්මියට හඳුන්වා දී ඒ සැණින්ම පිට වී ගියා. මම මගේ ඇඳුම් බෑග් අරගෙන ගෙට ගොඩ වුණේ බයෙන්. පසුව මම දැනගත්තා මෝඩ් කෝඩා මහත්මිය අමෙරිකානු ජාතික කාන්තාවක් බවත් ඇගේ ස්වාමිපුරුෂයා ජපන් ජාතිකයෙක් වුවද අධ්‍යාපනය ලබා තිබුණේ අමෙරිකාවේ බවත්. ඇය වානිජමය අධ්‍යාපනයක් ලබා දෙන පාසැල්වල ඉංග්‍රීසි ඉගැන්නුවා.

පහුවෙනිදා උදෙන්ම මගේ කාර්යබහුල ජීවිතය ඇරඹුණා. කෝඩා මහත්මියගේ ස්වාමිපුරුෂයා අපස්මාරය රෝගයෙන් පෙළුණු කෙනෙක්. ඉතින් මට කරන්න තිබුණේ ඔහුව බලාගැනීමට උපකාර කිරීමයි. මට ඉංග්‍රීසි වචනයක්වත් තේරුණේ නැති නිසා මම හිටියේ ටිකක් කනස්සල්ලෙන්. නමුත් කෝඩා මහත්මිය මට ජපන් භාෂාවෙන් කතා කළාම මට ලොකු සහනයක් දැනුණා. ඒ දෙදෙනා ඉංග්‍රීසියෙන් කතා කරනවා මට හැමදාම අහන්න ලැබුණ නිසා ක්‍රමක්‍රමයෙන් මමත් ඒ භාෂාවට හුරු වෙන්න පටන්ගත්තා. මගේ හිතට ඇල්ලුවා ඒ ගෙදර තිබුණු යහපත් වාතාවරණය.

මෝඩ් මහත්මිය අසනීපව සිටි ඇගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් කළ කැප කිරීම් මගේ සිත්ගත්තා. ඔහු බයිබලය කියවීමට ආශාවක් දැක්වුවා. ඔවුන් පැරණි පොත් කඩයකින් යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම (සිංහලෙන් නොමැත) නමැති පොතේ ජපන් පිටපතක් ලබාගෙන තිබුණු අතර අවුරුදු ගණනාවක් පුරා ඉංග්‍රීසි මුරටැඹ සඟරාව තැපෑලෙන් ගෙන්වගෙන තිබුණු බව මට පසුව දැනගන්න ලැබුණා.

දවසක් මට තෑග්ගක් හැටියට බයිබලයක් ලැබුණා. මගේ ජීවිතයේ මටම කියලා බයිබලයක් ලැබුණු මුල්ම අවස්ථාව මෙය වූ නිසා මම ගොඩාක් සතුටු වුණා. මම පාසැලට යන එනකොට බයිබලය කියෙව්වත් මට ගොඩාක් දේවල් තේරුණේ නැහැ. මම කුඩා කාලයේ සිටම ඇදහැව්වේ ජපන් ෂින්ටෝ ආගම නිසා යේසුස් ක්‍රිස්තුස් ගැන මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ විදිහට බයිබලය කියවීම, මට බයිබල් සත්‍යය වැලඳගැනීමට උපකාරවත් වූ මුල් පියවර බව මම එතකොට දැනගෙන හිටියේ නැහැ. ජීවිතය හා මරණය පිළිබඳව මට තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න පුළුවන් වුණේ එම සත්‍යය නිසයි.

කනගාටුදායක සිද්ධීන් තුනක්

මගේ අවුරුදු දෙකක ආධුනික පුහුණුව ඉක්මනින්ම ගෙවී ගියා. ඒත් සමඟම මට ඒ පවුලෙන් සමුගැනීමට සිදු වුණා. ඒ පාසැලෙන් සමුගත්තාට පස්සේ මම ගැහැනු ළමයින් වැඩ කරන ස්වේච්ඡා හමුදාංකයක සේවය සඳහා ගියා. එහි කරන්න තිබුණේ නාවික හමුදා නිල ඇඳුම් මැසීමයි. ඒ කාලයේදී බෝම්බ හෙළන B-29 වර්ගයේ අමෙරිකානු යානාවලින් ගුවන් ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්තා. වර්ෂ 1945 අගෝස්තු 6වෙනිදා හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළනු ලැබුවා. ඉන් දින කිහිපයකට පසු මගේ අම්මාට අසාධ්‍ය බව දන්වමින් මට විදුලි පුවතක් එවා තිබුණා. මම එහෙන් පිටත් වුණු පළවෙනි දුම්රියෙන් ගෙදර ගියා. මම දුම්රියෙන් බහිනකොටම මගේ ඥාතියෙක් කිව්වා අම්මා නැති වුණා කියලා. ඇය මිය ගියේ අගෝස්තු 11වෙනිදා. මම කාලයක් තිස්සේ භයෙන් සිටි අවස්ථාවට දැන් මට මුහුණ දෙන්න සිදු වෙලා! මින්පස්සේ මට කවදාවත් අම්මා එක්ක කතා කරන්නවත් හිනා වෙන්නවත් ලැබෙන්නේ නැහැ.

අගෝස්තු 15වෙනිදා ජපානය පරාජයට පත් වුණා. දවස් දහයක් තරම් වූ කෙටි කාලයක් ඇතුළත මට හිත් වේදනා ගෙන දුන් කාරණා තුනකට මුහුණ දෙන්න සිදු වුණා. පළවෙනුව මුල්ම පරමාණු බෝම්බය පිපිරීම, දෙවනුව මගේ අම්මාගේ මරණය හා තුන්වනුව ඉතිහාසගත වූ ජපානයේ පරාජය. එක අතකට යුද්ධයෙන් තවත් මිනිස්සු මැරෙන්නේ නැති බව දැනගන්න ලැබීමත් හිතට ලොකු සහනයක්. මම ඉතා දුකින් මම වැඩ කළ කර්මාන්ත ශාලාවෙන් අස් වෙලා ගමට ගියා.

සත්‍යයට ආකර්ෂණය වූ සැටි

නොහිතපු විදිහට දවසක් මට ඔකයාමා නගරයේ සිටි මෝඩ් කෝඩා මහත්මියගෙන් ලියුමක් ලැබුණා. ඇය අහලා තිබුණා ඇය ඉංග්‍රීසි පාසැලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන නිසා ඇගේ ගෙදර දොරේ වැඩකටයුතුවලට ඇයට සහය වෙන්න එන්න පුළුවන්ද කියා. මම මුලින් දෙගිඩියාවෙන් සිටියත් පසුව ඇගේ ආරාධනාව පිළිගත්තා. අවුරුදු කිහිපයකට පස්සේ මම කෝබේ නගරයට ගියා කෝඩා මහත්මියගේ ගෙදර නතර වෙන්න.

වර්ෂ 1949 ගිම්හාන කාලයේ මුල්භාගයේදී ඉතා මිත්‍රශීලී උස මහත්තයෙක් කෝඩා පවුල බැහැදැකීමට පැමිණියා. ඔහුගේ නම ඩොනල්ඩ් හැස්ලට්. ඔහු ටෝකියෝවල සිට කෝබේ නගරයට ආවේ මිෂනාරිවරුන්ට ගෙයක් හොයලා දෙන්නයි. ජපානයට ආපු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මුල්ම මිෂනාරිවරයා ඔහුයි. ගෙයක් සොයාගනු ලැබූ අතර 1949 නොවැම්බර් මාසයේදී තවත් මිෂනාරිවරුන් කිහිපදෙනෙක් කෝබේ නගරයට ආවා. එක දවසක් ඔවුන්ගෙන් පස්දෙනෙක්ම ආවා කෝඩා මහත්මිය හමුවීමට. ඉන් දෙදෙනෙක් නම් ලොයිඩ් බැරි හා පර්සි ඉස්ලොබ්. මේ දෙදෙනා එදා එහි ඇවිත් සිටි අය සමඟ මිනිත්තු දහය දහය ඉංග්‍රීසියෙන් කතා කළා. මිෂනාරිවරුන් මෝඩ් මහත්මියව ඇමතුවේ ක්‍රිස්තියානි සහෝදරියක් කියායි. ඒ අයගේ පැමිණීමෙන් ඇයද මහත් සේ දිරිගැන්වුණ බව පැහැදිලි වුණා. මේ අවස්ථාවේදීයි මට ඉංග්‍රීසි ඉගෙනගන්න ආශාවක් ඇති වුණේ.

ජ්වලිතවත් මිෂනාරිවරුන්ගේ උපකාරය ඇතුව මට මූලික බයිබල් සත්‍යයන් ක්‍රමානුකූලව තේරුම්ගන්න හැකි වුණා. මගේ ළමා කාලයේ සිටම මට තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න මට පුළුවන් වුණා. බයිබලය තුළ පාරාදීසයක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව අපට දී ඇති අතර “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්” නැවත නැඟිටුවනු ලබන බවට එහි පොරොන්දු කර තිබෙනවා. (යොහන් 5:28, 29, NW; එළිදරව් 21:1, 4) යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව මගින් එවැනි බලාපොරොත්තුවක් ඇති කර දීම ගැන මම යෙහෝවාට කෘතඥපූර්වක වෙනවා.

ප්‍රීතිමත් දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්

ජපානයේ පළමුවෙනි දිව්‍යාණ්ඩු එක්රැස්වීම 1949 දෙසැම්බර් 30වෙනිදා සිට 1950 ජනවාරි 1වෙනිදා දක්වා කෝබේ නගරයේ පිහිටි මිෂනාරිවරුන්ගේ නිවසේදී පැවැත්තුවා. මම එම රැස්වීමට මෝඩ් සමඟ සහභාගි වුණා. ඒ විශාල ගෙය ඉස්සර අයිති වෙලා තිබුණේ නාට්සිවරයෙකුටයි. එහි සිට අවාජි දූපත හා ඒ අවට මුහුද දෙස බලද්දී එය ඉතා දර්ශනීය ලෙස පෙනෙන්නට තිබුණා. මම රැස්වීමට සහභාගි වුවද මට බයිබලය සම්බන්ධයෙන් තිබුණේ සීමිත දැනුමක් නිසා එහිදී පැවසූ සමහර දේවල් මට හරියටම තේරුණේ නැහැ. නමුත් එහි සිටි මිෂනාරිවරුන් ජපන් ජාතිකයන් සමඟ ඇති කරගෙන තිබුණු සුහදශීලී සබඳතාව දැකීමෙන් මට ලොකු පැහැදීමක් ඇති වුණා. එදා එක්රැස්වීමේ ප්‍රසිද්ධ කථාවට 101දෙනෙක් සහභාගි වුණා.

එම රැස්වීමෙන් පසු ඉක්මනින්ම මම දේවසේවයේ සහභාගි වෙන්න තීරණය කළා. මම පොඩි කාලේ ඉඳලාම ලජ්ජාශීලී කෙනෙක් නිසා ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්න මට සෑහෙන්න ධෛර්යයක් අවශ්‍ය වුණා. දවසක් මාව දේවසේවයේ එක්කගෙන යන්න සහෝදර ලොයිඩ් බැරි අපේ ගෙදරට ආවා. ඔහු සහෝදරි කෝඩාගේ ගෙදරට අල්ලපු ගෙදර සිටම දේශනා සේවය ආරම්භ කළා. මම ඔහු පිටිපස්සේ හැංගිලා වගේ හිටගෙන ඔහු කියන දේට සවන් දීගෙන හිටියා. මම දෙවෙනි සැරේ සේවයේ ගියේ තවත් මිෂනාරිවරු දෙදෙනෙක් එක්ක. වයසක ජපන් ජාතික කාන්තාවක් අපව ගේ ඇතුළට ආරාධනා කර පණිවිඩයට ඇහුම්කන් දුන් අතර පසුව අපිට කිරි වීදුරුව වීදුරුව බොන්න දුන්නා. ඇය බයිබල් පාඩමක් කිරීමට එකඟ වුණු අතර කාලයාගේ ඇවෑමෙන් ඇය බව්තීස්ම වූ ක්‍රිස්තියානියෙක් බවට පත් වුණා. ඇය ප්‍රගතියක් ලබනවා දැකීම ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි.

බෘක්ලින්හි මූලස්ථානයෙන් සහෝදර නේදන් එච්. නෝර් මුලින්ම ජපානයට ආවේ 1951 අප්‍රියෙල් මාසේ. ඔහුගේ ප්‍රසිද්ධ කථාවට සවන් දීමට ටෝකියෝහි කන්ඩා නගරයේ පිහිටි කියෝරෙට්සූ ශ්‍රවණාගාරයට 700දෙනෙක් පැමිණියා. මෙම විශේෂ රැස්වීමට පැමිණ සිටි සියලුදෙනාම මුරටැඹ සඟරාව ජපන් භාෂාවෙන් මුදාහැරීම ගැන ප්‍රීති වුණා. ඊළඟ මාසේ සහෝදර නෝර් කෝබේ නගරයට ආවා. එහිදී පැවැත්වුණු විශේෂ රැස්වීමකදී මම යෙහෝවාට වූ මගේ කැපවීම සංකේතවත් කරමින් බව්තීස්ම වුණා.

ඉන් අවුරුද්දකට පස්සේ මට පුරෝගාමි සේවය හෙවත් පූර්ණ කාලීන සේවය කිරීමට උනන්දු කරනු ලැබුවා. ඒ කාලයේදී ජපානයේ හිටියේ පුරෝගාමීන් කිහිපදෙනෙක් විතරයි. මගේ ආර්ථික අවශ්‍යතාවන් සපුරාගන්නේ කොහොමද කියාත්, මට අනාගතයේදී විවාහ වෙන්න පුළුවන් වෙයිද කියාත් මම කල්පනා කළා. නමුත් මම පස්සේ තේරුම්ගත්තා යෙහෝවාට සේවය කිරීම ජීවිතයේ මුලින් තැබිය යුතු බව. ඒ නිසා මම 1952දී පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. පුරෝගාමි සේවය කරන අතරතුර අර්ධ කාලීනව සහෝදරී කෝඩාගේ නිවසේ වැඩ කරන්නත් පුළුවන් වුණ එක ගැන මම සතුටු වුණා.

ඒ කාලයේදී තමයි යුද්ධයෙන් මිය ගියා කියා මම සිතාගෙන සිටි අපේ වැඩිමල් සහෝදරයා ඔහුගේ පවුලත් සමඟ තායිවානයේ සිට ගෙදර ආවේ. මගේ පවුලේ අය කවදාවත් ක්‍රිස්තියානි ආගම ගැන උනන්දුවක් දක්වලා තිබුණේ නැහැ. නමුත් මට තිබුණු ඒ පුරෝගාමි ජ්වලිතය නිසා මම ඔවුන්ට සඟරා හා පොත් පිංච යැව්වා. පස්සේ මගේ සහෝදරයා ඔහුගේ රැකියාව නිසා ඔහුගේ පවුලේ අයත් සමඟ කෝබේ නගරයට පැමිණියා. “ඔයා අපේ සඟරා කියෙව්වාද?” කියා මම මගේ නෑනාගෙන් ඇහුවා. “ඒවා හොඳ සඟරා” යැයි මාව පුදුමයට පත් කරමින් නෑනා කිව්වා. ඇය එක් මිෂනාරිවරයෙක් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. ඒ වගේම අයියාත් එක්ක හිටිය මගේ බාල සහෝදරියත් පාඩමට සහභාගි වුණා. කලකට පසු ඔවුන් දෙදෙනාම බව්තීස්ම වූ ක්‍රිස්තියානීන් බවට පත් වුණා.

ජාත්‍යන්තර සහෝදරත්වයෙන් දිරිගැන්වීමක් ලැබ

වැඩි කල් නොගොස් මාව පුදුමයෙනුත් පුදුමයට පත් කරවමින් මුරටැඹ ගිලියද් බයිබල් පාසැලේ 22වෙනි පන්තියට සහභාගි වීමට මට ආරාධනයක් ලැබුණා. ජපානයෙන් මුලින්ම ගිලියද් පාසැලට ඇරයුම් කර තිබුණේ සහෝදර ට්සුටෝමු ෆුකාසෙට සහ මටයි. පාසැල පටන්ගන්න කලින් 1953දී නිව් යෝක් නගරයේ යැංකි ශ්‍රවණාගාරයෙහි පැවැත්වූ නව ලෝක සමාජය නම් සමුළුවට යෑමටත් මට හැකි වුණා. යෙහෝවාගේ සෙනඟ අතර ජාත්‍යන්තරව පැවති සහෝදරත්වය ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි.

සමුළුවේ පස්වෙනි දවසේ ජපානයෙන් පැමිණ සිටි බොහෝ මිෂනාරි සහෝදරියන් කිමෝනාව අඳින්න සූදානම් වෙලා හිටියා. සමුළුවට අඳින්න සූදානම් කර තිබුණු ඇඳුම් මම නැවේ කලින් එවා තිබුණත් ඒ වෙද්දිත් ඒවා ලැබී තිබුණේ නැති නිසා මම සහෝදරී නෝර්ගෙන් කිමෝනාවක් ඉල්ලාගත්තා. සමුළුව අතරමැද වහින්න පටන්ගත් විට මම හිතුවා කිමෝනාව තෙමිලා නාස්ති වෙයි කියලා. එතකොටම වාගේ පිටිපස්සෙන් හිටිය කෙනෙක් ප්‍රේමණීය ලෙස මගේ ඇඟට වැහි කබායක් දැම්මා. මම ළඟින් හිටගෙන හිටි සහෝදරී මගෙන් මෙහෙම ඇහුවා. “ඔයා දන්නවාද ඒ කවුද කියලා?” පස්සෙයි මම දැනගත්තේ ඒ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ෆෙඩ්‍රික් ඩබ්. ෆ්‍රාන්ස් කියා. යෙහෝවාගේ සංවිධානය තුළ පවතින සහෝදරත්වයේ උණුසුම්භාවය කොතරම් අපූරුද කියා එදා මට දැනුණා!

එදා පැවති 22වෙනි ගිලියද් පන්තිය නම් ඇත්තෙන්ම ජාත්‍යන්තර එකක්. ඒකට ශිෂ්‍යයන් 120දෙනෙක් රටවල් 37කින් ඇවිත් හිටියා. අප අතර යම් ආකාරයක භාෂා ප්‍රශ්නයක් තිබුණද අපි හැමෝම ජාත්‍යන්තර සහෝදරත්වයේ උණුසුම භුක්ති වින්දා. වර්ෂ 1954 පෙබරවාරි මාසයේ හිමෙන් වැසී ගිය එක් දිනයක මම ගිලියද් උපාධිය ලබාගත් අතර නැවත ජපානයේ සේවය කිරීම සඳහා පැවරුම ලැබුණා. ගිලියද් පන්තියේ මාත් එක්ක එකට සිටි ඉංග බ්‍රැන්ඩ් නම් ස්වීඩන් ජාතික සහෝදරියට නගෝයා නගරයේ මාත් එක්ක සේවය කරන්න පැවරුමක් ලැබුණා. එහිදී කොරියාවේ යුද්ධය නිසා එම රටින් පිට වී පැමිණ සිටි මිෂනාරිවරුන්ට අප එකතු වුණා. මිෂනාරි සේවය කළ ඒ අවුරුදු කිහිපය මට හරියට වටිනවා.

යුවළක් හැටියට සේවයේ ප්‍රීතිය ලබමින්

වර්ෂ 1957 සැප්තැම්බර් මාසයේ ටෝකියෝ බෙතෙල්හි සේවය කිරීමට මට ආරාධනා කරනු ලැබුවා. එවකට ජපානයේ ශාඛා කාර්යාලය හැටියට පාවිච්චි කළේ තට්ටු දෙකකින් සමන්විත ලෑලිවලින් තැනූ ගෙයක්. ශාඛා අවේක්ෂක ලෙස කටයුතු කළ සහෝදර බැරි ඇතුළු සහෝදරයන් හතරදෙනයි ශාඛා කාර්යාලයේ සිටියේ. බෙතෙල් පවුලේ අනික් සාමාජිකයන් මිෂනාරිවරුයි. මට දී තිබුණු පැවරුම නම් පරිවර්තනය කිරීම හා සෝදුපත් කියවීමයි. මීට අමතරව පිරිසිදු කිරීම, රෙදි සේදීම, පිසීම හා වෙනත් වැඩත් කරන්න තිබුණා.

ජපානයේ වැඩ ව්‍යාප්ත වීමත් සමඟම තව බොහෝ සහෝදරයන්ට බෙතෙල් සේවයට ඇරයුම් කරනු ලැබුවා. එහි පැමිණි එක් සහෝදරයෙක් මම රැස්වීම්වලට සහභාගි වූ සභාවේ අවේක්ෂකයෙක් බවට පත් වුණා. වර්ෂ 1966දී ජන්ජේ කොෂිනෝ නම් ඒ සහෝදරයායි මමයි විවාහ වුණා. අපි විවාහ වුණාට පස්සේ ජන්ජේව චාරිකා සේවය සඳහා තෝරාගත්තා. විවිධ සභාවන් බැහැදැකීමට ලැබීමෙනුත් බොහෝ සහෝදර සහෝදරියන්ව දැන හඳුනා ගැනීමට ලැබීමෙනුත් අපි ලොකු සතුටක් අද්දැක්කා. මට සමහර පරිවර්තන පැවරුම් බාර දීලා තිබුණ නිසා අපි එක් එක් සතියේ නතර වෙලා හිටපු ගෙදර ඉඳන් මම ඒ වැඩ කළා. චාරිකාවේ යනකොට අපේ ඇඳුම් බෑග්වලට අමතරව ලොකු ශබ්දකෝෂත් රැගෙන යන්න අපිට සිද්ධ වුණා.

අපි අවුරුදු හතරකට වඩා වැඩි කාලයක් චාරිකා සේවයේ යෙදුණා. සංවිධානය දවසින් දවස පුළුල් වන ආකාරය දැකගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ශාඛා කාර්යාලය නුමාසු නගරයට ගෙන ගිය අතර අවුරුදු ගණනාවකට පසු වර්තමානයේ පිහිටා තිබෙන එබීනා නුවරට එය ගෙන ආවා. අද බෙතෙල් පවුලේ සාමාජිකයන් 600දෙනෙක් සිටින අතර ජන්ජේ සහ මම එහි දිගටම ප්‍රීතියෙන් සේවයේ නියැලෙමින් සිටිනවා. මගේ පූර්ණ කාලීන සේවයේ 50වෙනි සංවත්සරය 2002 මැයි මාසයේදී බෙතෙල් එකේ ඉන්න මගේ යහළුවෝ ප්‍රීතිමත් අයුරින් සැමරුවා. එසේ කළේ ඔවුන් මට දැක්වූ ප්‍රේමය නිසායි.

වර්ධනය දැකීමට තරම් ආශීර්වාද ලැබුවා

මම 1950දී යෙහෝවාට සේවය කිරීමට පටන්ගත් විට ජපානයේ සිටියේ ප්‍රචාරකයන් අතළොස්සක් විතරයි. දැන් එහි රාජ්‍ය ප්‍රචාරකයන් 2,10,000කට වඩා වැඩියෙන් ඉන්නවා. ඇත්තවශයෙන්ම බැටළු ගුණැති දහස් ගණන් ජනයා මං වගේ යෙහෝවා වෙතට ඇදී ඇවිත් තියෙනවා.

සහෝදරී කෝඩාගේ නිවසට 1949දී අපව බැහැදැකීමට පැමිණි මිෂනාරි සහෝදර සහෝදරියන් හතරදෙනා සහ සහෝදරී මෝඩ් කෝඩා ජීවිතාන්තය දක්වා ඇදහිලිවන්තව සිටියා. මගේ සහෝදරයා සභා සේවකයෙක් ලෙස සේවය කළා. ඒ වගේම ඔහුගේ භාර්යාව අවුරුදු 15ක් පුරෝගාමි සේවයේ නිරත වුණා. මේ දෙදෙනාත් ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියා. මගේ දෙමව්පියන්ගේ මරණය ගැන මම ළමා කාලයේදී භයෙන් හිටියත් බයිබලයෙහි ඇති නැවත නැඟිටීමේ පොරොන්දුව නිසා මම බලාපොරොත්තුවක් ඇතුව ඉන්නවා විතරක් නෙවෙයි සැනසීමකුත් ලබනවා.—ක්‍රියා 24:15.

මගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට මට හිතෙන්නේ 1941දී මෝඩ්ව මුණගැසීම මගේ ජීවිතය වෙනස් කළ සන්ධිස්ථානයක් කියලා. මට ඇයව මුණගැසී තිබුණේ නැත්නම් හා යුද්ධයෙන් පස්සේ නැවතත් ඇය සමඟ වැඩ කිරීමට කළ ආරාධනාව මම ප්‍රතික්ෂේප කළා නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. එහෙම වුණා නම් මම බොහෝවිට අපේ ගමේම ගොවිපළේ පදිංචි වෙලා ඉඳීවි. එතකොට මුල් කාලයේදී මිෂනාරිවරුන්ව මුණගැසීමේ ප්‍රස්තාවත් අහිමි වෙන්න ඉඩ තිබුණා. යෙහෝවා දෙවි මෝඩ් හා අනෙකුත් මිෂනාරිවරුන් මාර්ගයෙන් මාව සත්‍යයට ඇදගැනීම ගැන මම බෙහෙවින් කෘතඥපූර්වක වෙනවා.

[25වන පිටුවේ පින්තූරය]

මෝඩ් කෝඩා හා ඇගේ ස්වාමිපුරුෂයා සමඟ. මම සිටින්නේ වමේ ඉදිරිපසින්

[27වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1953දී ජපානයේ මිෂනාරිවරුන් සමඟ යැංකි ක්‍රීඩාංගණයේ. මම වම් පැත්තේ කෙළවරේම

[28වන පිටුවේ පින්තූර]

මගේ ස්වාමිපුරුෂයා වන ජන්ජේ සමඟ බෙතෙල්හි