Skip to content

පටුනට යන්න

ඔබේ දැනුමට ආත්ම දමනය එකතු කරගන්න

ඔබේ දැනුමට ආත්ම දමනය එකතු කරගන්න

ඔබේ දැනුමට ආත්ම දමනය එකතු කරගන්න

‘ඔබේ දැනුමට ආත්ම දමනය එකතු කරගන්න.’—2 පේතෘස් 1:5-8, NW.

1. බොහෝදෙනෙක් ගැටලුවලට මුහුණ දීමට හේතුව කුමක්ද?

“එපා කියන්න!” මෙම උපදේශය එක්සත් ජනපදයේ වෙසෙන තරුණ අයට දෙනු ලැබුවේ මත්ද්‍රව්‍යවලට එරෙහිව එරටෙහි දියත් කරන ලද දැවැන්ත වැඩ පිළිවෙළකදීයි. මත්ද්‍රව්‍යවලට පමණක් නොවෙයි, අධික මත්පැන් පානය, දුරාචාරය, වංක ව්‍යාපාරික කටයුතු යනාදියට මෙන්ම ‘මාංසයේ ආශාවන්වලටද’ එපා කියා සෑම කෙනෙකුම පවසනවා නම් කොතරම් හොඳද! (රෝම 13:14, NW) එහෙත් සමහර දේවලට එපා කියා පැවසීම සැමවිටම ලෙහෙසි දෙයක්ද?

2. (අ) යම් දේවලට එපා කියා පැවසීම දුෂ්කර දෙයක් වීම අලුත් දෙයක් නොවන බව පෙන්වා දෙන බයිබල් ආදර්ශ මොනවාද? (ආ) එම ආදර්ශවලින් අප දිරිමත් විය යුත්තේ කුමක් කිරීමටද?

2 ආත්ම දමනයෙන් යුක්තව හැසිරීම දුෂ්කර දෙයක් බව අසම්පූර්ණ මිනිසුන් සියලුදෙනාගේම අද්දැකීම වන නිසා අප තුළ තිබෙන ඕනෑම දුර්වලකමක් ජයගත හැකි ආකාරය ඉගෙනගැනීමට අප උනන්දු විය යුතුයි. දෙවිට සේවය කිරීමට දැඩි වෑයමක් දැරුවත් ඇතැම් අවස්ථාවලදී සමහර දේවලට එපා කියා පැවසීම දුෂ්කර දෙයක් බව අද්දුටු අතීතයේ විසූ අය ගැන බයිබලයේ සඳහන් වේ. දාවිත් බැත්-ෂෙබා සමඟ පරදාර සේවනයේ යෙදීමෙන් ඔහු කළ පාපය මතකයට නඟාගන්න. එහි ප්‍රතිඵලයක් හැටියට ගැබ්ගත් දරුවා හා බැත්-ෂෙබාගේ ස්වාමිපුරුෂයා මරුමුවට පත් වූහ. මිය ගිය මේ දෙදෙනාම අහිංසකයෝ වූහ. (2 සාමුවෙල් 11:1-27; 12:15-18) ප්‍රේරිත පාවුල් ගැනත් සිතා බලන්න. ඔහු තමාගේ සැබෑ තත්වය ගැන අවංකව මෙසේ පැවසුවේය. “මා කැමති යහපත නොකර මා අකමැති නපුර කරමි.” (රෝම 7:19, NW) ඔබටත් ඒ හා සමානව බලාපොරොත්තු සුන් වූ බවක් ඇතැම් අවස්ථාවලදී දැනෙනවාද? පාවුල් තවදුරටත් මෙසේද පැවසුවේය. “මගේ ඇතුළාන්ත මිනිසා දෙවිගේ නීතියට සැබවින්ම ප්‍රිය කරයි. නමුත් මගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධව යුද්ධ කරන වෙනත් නීතියක් මගේ අවයවයන් තුළ තිබෙන බව මට පෙනේ. මෙය මාව මගේ අවයවයන් තුළ තිබෙන පාපයේ නීතියට වහලෙකු මෙන් ගෙන යන්නේය. මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මිය යන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?” (රෝම 7:22-24, NW) ආත්ම දමනය තව තවත් වැඩි කරගැනීමට අප කරන සටන කවදාවත් අත් නොහැරීම සඳහා අප ගන්නා අධිෂ්ඨානය බයිබල් ආදර්ශ මගින් ශක්තිමත් විය යුතුයි.

ඉගෙනගත යුතු දෙයකි ආත්ම දමනය

3. ආත්ම දමනය පෙන්වීම පහසු දෙයක් කියා නොසිතිය යුත්තේ මන්දැයි පැහැදිලි කරන්න.

3 යම් දේවලට එපා කියා පැවසීමේ හැකියාව ආත්ම දමනය නමැති ගුණාංගයේ ලක්ෂණයකි. ආත්ම දමනය ගැන 2 පේතෘස් 1:5-7හි සඳහන් වී තිබෙන්නේ ඇදහිල්ල, ගුණවන්තකම, දැනුම, විඳදරාගැනීම, දේවභක්තිය, සහෝදර ස්නේහය හා ප්‍රේමය යන ගුණාංග සමඟයි. මේ ප්‍රියමනාප ගුණාංගවලින් කිසිවක් සහජයෙන්ම උරුම නොවේ. මේ ගුණාංග වගා කළ යුතුයි. මේවා සැලකිය යුතු මට්ටමකින් විදහාපෙන්වීම සඳහා අධිෂ්ඨානය හා වෑයම අවශ්‍යයි. මේ නිසා සෙසු ගුණාංගවලට වඩා ආත්ම දමනය පහසුවෙන් වගා කළ හැකියි කියා අප සිතිය යුතුද?

4. ආත්ම දමනය සම්බන්ධයෙන් තමන්ට කිසිම ගැටලුවක් නැහැයි කියා බොහෝදෙනෙකුට හැඟෙන්නේ මන්ද? එනමුත් එයින් පැහැදිලි වන්නේ කුමක්ද?

4 ආත්ම දමනය සම්බන්ධයෙන් තමන්ට කිසි ගැටලුවක් නැහැයි කියා බොහෝදෙනෙකුට හැඟී යා හැකියි. ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන් කැමති විදිහටයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ අසම්පූර්ණ මාංසයේ ඕනෑ එපාකම්වලට අනුවයි. තමන් කරන දේවල් තමන්ට මෙන්ම අන් අයට බලපාන ආකාරය ගැනද ඔවුන් එතරම් සිතන්නේ නැත. (යූද් 10) යම් දේවලට එපායයි පැවසීමට ශක්තියක් හා කැමැත්තක් නොතිබීම එදාට වඩා අද බොහෝ සෙයින් දැකිය හැකියි. මෙයින් පැහැදිලි වන්නේ අප “අන්තිම දවස්වල” ජීවත් වෙමින් සිටින බවයි. පාවුල් මේ දවස් ගැන පැවසූ අවස්ථාවේදී මෙසේ පුරෝකථනය කළේය. “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් කියන, උඩඟු, දේවාපහාස කරන, . . . ආත්ම දමනය නැති” අය වන්නෝය.—2 තිමෝති 3:1-3, NW.

5. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආත්ම දමනය නමැති කාරණය ගැන උනන්දුවක් දක්වන්නේ මන්ද? අදටත් අදාළ වන උපදේශය කුමක්ද?

5 ආත්ම දමනය සඳහා තිබෙන අවශ්‍යතාව මගින් ඇති කරවන අභියෝගය ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ හොඳින් දනිති. දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වෙමින් ඔහුව සතුටු කිරීමට තිබෙන ආශාව හා තමන්ගේ අසම්පූර්ණ මාංසය මගින් ඇති කරවන පෙලඹවීම් අතර තිබෙන සටන ගැන පාවුල් මෙන්ම ඔවුහුද හොඳ අවධානයකින් සිටිති. කඹ ඇදිල්ලක් බඳු මේ තරඟයෙන් ජයගත හැකි ආකාරය ගැන ඔවුන් දිගු කලක සිට ඉමහත් උනන්දුවක් දක්වන්නේ ඒ හේතුව නිසාය. “අපව මෙන්ම අපේ සිතුවිලිද, අපේ මුවින් පිට වන වචනද, අපේ හැසිරීමද පාලනය කරගැනීමේදී අප ගත යුතු නිසි ක්‍රියාමාර්ගය” ගැන ඔබේ අතේ තිබෙන මේ මුරටැඹ සඟරාවේ 1916 තරම් අතීතයේ පළ වූ කලාපයකද සඳහන් විය. පිලිප්පි 4:8හි සඳහන් දෙය මනසෙහි තබාගැනීමට එහි යෝජනා කර තිබිණ. එම ශුද්ධ ලියවිලි පාඨයේ සඳහන් දිව්‍ය උපදේශය මුලින්ම දෙනු ලැබුවේ මීට අවුරුදු 2,000කට පමණ කලින් වුවද එය අදටත් අදාළ වේ. එනමුත් එය මුලින්ම ලියූ කාලයට හෝ 1916ට වඩා, අද එය පිළිපැදීම දුෂ්කර විය හැකියි. කෙසේවෙතත් ලෞකික ආශාවන්ට එරෙහිව සිටීමට ක්‍රිස්තියානීහු දැඩි වෑයමක් දරති. මෙසේ වෑයම් කිරීමෙන් තමන්ගේ මැවුම්කරුගේ කැමැත්තට එකඟව තමන් කටයුතු කරන බව ඔවුහු දනිති.

6. ආත්ම දමනය වගා කිරීමේදී බලාපොරොත්තු අත්හැර ගැනීමට අපට කිසිදු හේතුවක් නැත්තේ මන්ද?

6 ගලාති 5:22, 23හි ආත්ම දමනය සඳහන් කර තිබෙන්නේ ‘ශුද්ධාත්මයේ ඵලවලට’ අයත් ගුණාංගයක් ලෙසයි. “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම” වැනි ගුණාංග සමඟ මේ ගුණාංගයත් විදහාපෙන්වනවා නම් අපි ඉමහත් ප්‍රයෝජන ලබන්නෙමු. පේතෘස් පැහැදිලි කළ පරිදි එම ගුණාංග විදහාපෙන්වන විට අප දෙවිට කරන සේවය “අක්‍රිය තත්වයකට හෝ පල නොදරන තත්වයකට” පත් වන්නේ නැත. (2 පේතෘස් 1:8, NW) එහෙත් එම ගුණාංග අප කැමති තරම් වේගයකින් හෝ පූර්ණ ලෙස විදහාපෙන්වීමට අප අසමත් වී සිටින්නේ නම්, බලාපොරොත්තු අත්හැරිය යුතු නැත. අපව අවතක්සේරුවට ලක් කරගත යුතු නැත. පාසැලේදී එක් ශිෂ්‍යයෙක් තවත් ශිෂ්‍යයෙකුට වඩා ඉක්මනින් දේවල් ඉගෙනගන්නා ආකාරය හෝ රැකියා ස්ථානයේදී යම් කෙනෙක් සෙසු සේවකයන්ට වඩා ඉක්මනින් යම් අලුත් කාර්යයක් ඉගෙනගන්න ආකාරය සමහරවිට ඔබ දැක ඇති. ඒ හා සමානව සමහරු සෙසු අයට වඩා ඉක්මනින් ක්‍රිස්තියානි ගුණාංග විදහාපෙන්වීමට ඉගෙනගනිති. මෙහිදී වැදගත් දෙය වන්නේ අපට හැකි උපරිමයෙන් දිව්‍ය ගුණාංග වගා කරගැනීමට අඛණ්ඩව වෑයම් කිරීමයි. යෙහෝවා ඔහුගේ වචනය හා සභාව මාර්ගයෙන් සපයන උපකාරයෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමෙන් අපට එය කළ හැකියි. වඩාත් වැදගත් වන්නේ අපේ ඉලක්කය අත් කරගැනීමේ වේගයට වඩා, අඛණ්ඩව ප්‍රගතියක් ලැබීම සඳහා අධිෂ්ඨාන පූර්වකව දරන වෑයමයි.

7. ආත්ම දමනය වැදගත් දෙයක් බව පැහැදිලි වන්නේ කුමකින්ද?

7 ආත්ම දමනය ශුද්ධාත්මය මගින් නිපදවනු ලබන ගුණාංග ලැයිස්තුවේ අවසාන ගුණාංගය හැටියට සඳහන් කර තිබුණද, එය කිසිම ආකාරයකින් සෙසු ගුණාංගවලට වඩා වැදගත්කමින් අඩු නැත. අපට පරිපූර්ණ ලෙස ආත්මය දමනය තිබුණා නම් ‘මාංසයේ සියලුම ක්‍රියාවලින්’ වැළකී සිටීමට අපට හැකි බව අප මතක තබාගත යුතුයි. එහෙත් අසම්පූර්ණ මිනිස්සු ‘මාංසයේ ක්‍රියා වන වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදයේ නියැලීම, සතුරුකම්, අඩ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්’ යනාදි දේවල බලපෑමට යම් ආකාරවලින් හසුවීමට ඉඩ තිබේ. (ගලාති 5:19, 20, NW) මේ නිසා අපේ හදවතින් මෙන්ම මනසින්ද හානිකර නැඹුරුවාවන් මුලිනුපුටා දැමීමේ අධිෂ්ඨානය ඇතුව නිරන්තර සටනක අප නිරත විය යුතුයි.

සමහරුන්ට සටන වඩා දුෂ්කරය

8. සමහර අයට ආත්ම දමනයෙන් යුක්තව හැසිරීම දුෂ්කර දෙයක් වීමට බලපාන හේතු මොනවාද?

8 සමහරුන්ට ආත්ම දමනයෙන් යුක්තව හැසිරීම වෙනත් අයට වඩා දුෂ්කර දෙයකි. මෙයට හේතු මොනවාද? දෙමාපියන්ගෙන් ලැබූ පුහුණුව හෝ අතීත අද්දැකීම් මේ තත්වයට හේතු විය හැකියි. ආත්ම දමනය වගා කිරීම හා විදහාපෙන්වීම අපට එතරම් ගැටලුවක් නොවේ කියා පෙනෙන්න තිබේ නම්, ඒ ගැන ප්‍රීති විය හැකියි. එනමුත් ආත්ම දමනයෙන් යුක්තව හැසිරීම වඩාත් දුෂ්කර දෙයක් වන අය සමඟ කටයුතු කරන විට, අපට එය අභියෝගයක් විය හැකි වුවත් අප ඔවුන්ට දයානුකම්පාව පෙන්විය යුතුයි. ඔවුන් සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. අපගේම අසම්පූර්ණකම් දෙස බලද්දී තමන් ධර්මිෂ්ඨයි කියා පෙන්වීමට අප අතර සිටින කිසිවෙකුට හැකිද?—රෝම 3:23; එපීස 4:2.

9. සමහරුන්ට තිබෙන දුර්වලකම් මොනවාද? මේ දුර්වලකම් සම්පූර්ණයෙන්ම ජයගත හැක්කේ කවදාද?

9 මෙම නිදර්ශනය සලකා බලන්න. දුම්කොළ හෝ මත්ද්‍රව්‍ය භාවිතය අත්හැර දමා තිබෙන, අප සමඟ ඇසුරු කරන ඇතැම් ක්‍රිස්තියානීන්ට තවමත් සමහර අවස්ථාවලදී ඒවා භාවිත කිරීම සඳහා ප්‍රබල ආශාවක් ඇති විය හැකියි. එසේ නැතහොත් ආහාර පාන හා මත්පැන් ගැනීම සීමා කිරීම අභියෝගයක් බව තවත් සමහරුන්ට දැනෙයි. එමෙන්ම වෙනත් අයට තමන්ගේ දිව පාලනය කරගැනීම ගැටලුවක් විය හැකියි. මේ නිසා බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ වැරදි දේවල්ය. මෙවැනි අඩුපාඩුකම් සමඟ කටයුතු කිරීමේදී ආත්ම දමනය වගා කරගැනීමට ක්‍රියාශීලී ලෙස වෑයම් කිරීම අවශ්‍යයි. ඒ මන්ද? පවතින සැබෑ තත්වය පිළිගනිමින් යාකොබ් 3:2හි මෙසේ සඳහන් වේ. “අපි සියලුදෙනාම බොහෝවර වැරදි කරන්නෙමු. යමෙකු වචනයකින්වත් වැරදි කරන්නේ නැත්නම්, ඔහු තමාගේ මුළු ශරීරයම දමනය කළ හැකි පරිපූර්ණ මිනිසෙකි.” තවත් අයට සූදුවේ නියැලෙන්න දැඩි පෙලඹීමක් ඇති විය හැකියි. නැතහොත් තමන්ගේ කෝපය පාලනය කරගැනීම දුෂ්කර දෙයක් බව ඇතමුන්ට දැනෙන්න ඉඩ තිබේ. මෙම දුර්වලකම්වලින් හෝ මේ හා සමාන දුර්වලකම්වලින් මිදීමට ඉගෙනගැනීම සඳහා කාලය අවශ්‍ය විය හැකියි. මේ සම්බන්ධයෙන් අප සැලකිය යුතු ප්‍රගතියක් දැන් ලබා සිටිය හැකි වුවද, වැරදි ආශාවන් සදහටම නැති වන්නේ අප පරිපූර්ණත්වයට පැමිණීමෙන් පසුවයි. ඒ කාලය පැමිණෙන තෙක් ආත්ම දමනයෙන් යුතුව හැසිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරිය යුතු අතර, යළිත් පව්කාර ජීවන රටාවකට හැඩගැසීමෙන් වැළකී සිටීමට එය අපට උපකාරවත් වනු ඇත. මේ සටන අඛණ්ඩව කරගෙන යන අතරේදී, අත් නොහැරීමට එකිනෙකාට උපකාර කරමු.—ක්‍රියා 14:21, 22.

10. (අ) සමහරුන්ට ලිංගික කාරණාවලදී ආත්ම දමනයෙන් යුක්තව හැසිරීම විශේෂයෙන්ම දුෂ්කර දෙයක් වන්නේ මන්ද? (ආ) එක් සහෝදරයෙක් කළ විශාල වෙනස්කම කුමක්ද? (16වන පිටුවේ කොටුව බලන්න.)

10 සමහරුන්ට ආත්ම දමනයෙන් යුතුව හැසිරීම දුෂ්කර දෙයක් වන තවත් ක්ෂේත්‍රයක් වන්නේ ලිංගිකත්වය හා සම්බන්ධවයි. යෙහෝවා දෙවි මිනිසාව මවා තිබෙන්නේ ලිංගිකත්වය පිළිබඳ හැඟීමක් ඇතුවය. එහෙත් දෙවිගේ ප්‍රමිතිවලට අනුව ලිංගිකත්වයට හිමි නිසි තැනෙහි එය තැබීම සමහරුන්ට බෙහෙවින් දුෂ්කරය. අසාමාන්‍ය ලෙස ප්‍රබල ලිංගික හැඟීම් උත්තේජනය වීම නිසා ඔවුන්ගේ මෙම දුෂ්කරතාව තවත් දරුණු අතට හැරෙන්නට ඉඩ ඇත. අප ජීවත් වන්නේ විවිධ ආකාරවලින් රාගයෙන් මත් වූ ලිංගිකව වියරු වැටුණු ලෝකයකයි. මේ තත්වය යම් කලකට තනිකඩව සිටීමට කැමැත්තෙන් සිටින ක්‍රිස්තියානීන්ට මහත් ගැටලුවක් ඇති කළ හැකියි. මොවුන්ට වුවමනා කරන්නේ විවාහය නිසා සිත වෙනත් දේවලට යොමුවීම වළක්වාගනිමින් දෙවිට සේවය කිරීමටයි. (1 කොරින්ති 7:32, 33, 37, 38) එහෙත් “කාම ආශාවෙන් දැවෙනවාට වඩා විවාහ වීම හොඳය” කියා ශුද්ධ ලියවිල්ලෙහි දී තිබෙන උපදේශයට අනුව විවාහ වීමට ඔවුන් තීරණය කළ හැකියි. ඇත්තෙන්ම විවාහය ගෞරවනීය දෙයකි. එහෙත් ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමට ඔවුහු අදිටන් කරගනිති. (1 කොරින්ති 7:9, 39) තමන්ගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති රැකීමට ඔවුන් දක්වන උනන්දුව ගැන යෙහෝවා ප්‍රීති වන බවට අපට නිසැක විය හැකියි. එලෙස උසස් සදාචාර ප්‍රමිති රක්ෂා කරමින් අඛණ්ඩතාව රැකගන්න සැබෑ නමස්කාරකයන් සමඟ ඇසුර කරන්න ලැබීම සෙසු ක්‍රිස්තියානීන් සලකන්නේ ඉමහත් ප්‍රීතියක් ලෙසයි.

11. විවාහ වීමට ආශාවෙන් සිටියත්, තවමත් විවාහ වීමට අවස්ථාවක් නොලැබී සිටින සහෝදරයෙකුට හෝ සහෝදරියකට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද?

11 විවාහ වීමට සුදුසු තැනැත්තෙක් සොයාගත නොහැකි නම් කුමක් කිව හැකිද? විවාහ වීමට ආශාවෙන් සිටියත්, තවමත් විවාහ වීමට අවස්ථාවක් නොලැබී සිටින තැනැත්තෙකු මුහුණ දිය හැකි බලාපොරොත්තු කඩ වූ තත්වය ගැන සිතා බලන්න. තමන් තවමත් සුදුසු සහකාරයෙක් හෝ සහකාරියක් සොයමින් සිටින අතරේදී තමන්ගේ මිතුරු මිතුරියන් දැනටමත් විවාහ වී යම් ප්‍රමාණයක සන්තෝෂයක් අද්දකිනවා ඔහු හෝ ඇය දැකිය හැකියි. මේ තත්වයට මුහුණ දෙමින් සිටින සමහරුන්ට ස්වයංවින්දනය නමැති අපවිත්‍ර පුරුද්ද දිගටම පවතින ගැටලුවක් විය හැකියි. දිගටම නිර්මලව සිටීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින කෙනෙකුව නොදැනුවත්ව හෝ අධෛර්යයට පත් කිරීමට කිසිම ක්‍රිස්තියානියෙකු ඇත්තෙන්ම කැමති නැත. “තවමත් කෙනෙක්ව හොයාගන්න බැරි වුණාද?” වගේ දෙයක් සිතන්නේ බලන්නේ නැතිව අප පැවසුවොත්, නොදැනුවත්වම හෝ අප අතින් තවත් කෙනෙකු අධෛර්යයට පත්වීමට ඉඩ ඇත. එවැනි දෙයක් පවසන්නේ වැරදි චේතනාවකින් නොවිය හැකියි. එහෙත් එවැනි ආකාරයෙන් අපේ දිව පාවිච්චි නොකිරීම සඳහා ආත්ම දමනයෙන් යුක්තව හැසිරීම කොතරම් හොඳද! (ගීතාවලිය 39:1) නිර්මලභාවය රැකගනිමින් තනිකඩව සිටින අය අපේ උණුසුම් ප්‍රශංසාව ලැබීමට වටී. ඔවුන්ව අධෛර්යයට පත් කළ හැකි දේවල් පවසනවා වෙනුවට ඔවුන්ව දිරිමත් කිරීම සඳහා වෑයම් කිරීමට අපට හැකියි. නිදසුනක් වශයෙන්, මේරූ අයගෙන් යුත් කුඩා කණ්ඩායමක් ආහාර වේලක් ගැනීමට එකට එකතු වන අවස්ථාවලදී හෝ ක්‍රිස්තියානි ඇසුරක් පවත්වන විටදී තනිකඩ අයටද ආරාධනා කිරීමට අපට හැකියි.

විවාහය තුළ ආත්ම දමනය

12. විවාහක අය පවා නිසි ආත්ම දමනයක් පෙන්වීම අවශ්‍ය වන්නේ මන්ද?

12 ආත්ම දමනයෙන් යුක්තව හැසිරීමේ අවශ්‍යතාව විවාහයෙන් පසු නැති වී නොයයි. මන්දයත් මෙහිදී ලිංගික කාරණා යළිත් ඉස්මතු වන හෙයිනි. නිදසුනක් වශයෙන් ස්වාමිපුරුෂයාගේ හා භාර්යාවගේ ලිංගික අවශ්‍යතා බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබේ. එසේත් නැත්නම් එක් කලත්‍රයෙකුගේ ශාරීරික තත්වය නිසා ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය ලිංගික සබඳතා පවා පැවැත්වීම දුෂ්කර දෙයක් හෝ කළ නොහැකි දෙයක් පවා විය හැකියි. ඇතැම්විට අතීත අද්දැකීම් නිසා පහත සඳහන් උපදේශයට අවනත වීම පහසු දෙයක් නොවන බව එක් කලත්‍රයෙකුට හැඟී යා හැකියි. “ස්වාමිපුරුෂයා, තම භාර්යාවට යුතු දේ ඉටු කර දේවා. භාර්යාවද තම ස්වාමිපුරුෂයාට එලෙසම කර දේවා.” එවැනි තත්වයකදී අනිත් කලත්‍රයා වැඩියෙන් ආත්ම දමනය පෙන්වීම අවශ්‍ය විය හැකියි. එහෙත් විවාහක ක්‍රිස්තියානීන්ට පාවුල් දුන් මෙම ප්‍රේමණීය උපදේශය දෙදෙනාටම මතක තබාගත හැකියි. “දෙදෙනාගේම කැමැත්ත ඇතිව යාච්ඤා කිරීම සඳහා කාලය යෙදවීම පිණිස යම් කලකට මිස, නැත්නම් එකිනෙකාගෙන් එය වළක්වා නොගන්න. එසේ වුවද, ඔබේ ආත්ම දමනය නැතිකම නිසා සාතන් ඔබව පරීක්ෂා නොකර සිටින පිණිස නැවත එක් වන්න.”—1 කොරින්ති 7:3, 5, NW.

13. ආත්ම දමනය විදහාපෙන්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන අය වෙනුවෙන් අපට කුමක් කළ හැකිද?

13 ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර පමණක් පවතින මෙම අතිශය කුලුපග සබඳතාවේදී නිසි ලෙස ආත්ම දමනයෙන් යුක්තව හැසිරීමට දෙදෙනාම ඉගෙනගෙන තිබෙනවා නම්, ඒ ගැන විවාහක යුවළයන්ට කොතරම් ස්තුතිවන්ත විය හැකිද! එමෙන්ම මේ කාරණය සම්බන්ධයෙන් දැනටමත් ආත්ම දමනය පෙන්වීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින සෙසු නමස්කාරකයන්ගේ තත්වය තමන් තේරුම්ගෙන සිටින බව ඔවුන් පෙන්විය යුතුයි. අපේ ආත්මික සහෝදර සහෝදරියන් ආත්ම දමනය විදහාපෙන්වීම සඳහා කරන සටන දිගටම කරගෙන යෑම සඳහා අවශ්‍ය තීක්ෂ්ණ බුද්ධිය, ධෛර්යය හා අධිෂ්ඨාන ශක්තිය ඔවුන්ට ලබා දෙන්න කියාද වැරදි ආශාවන් මැඩපැවැත්වීමට පියවර ගැනීමට ඔවුන්ට උපකාර කරන්න කියාද යෙහෝවාට යාච්ඤා කිරීමට අප කවදාවත් අමතක නොකළ යුතුයි.—පිලිප්පි 4:6, 7.

දිගටම එකිනෙකාට උපකාර කරන්න

14. අප සෙසු ක්‍රිස්තියානීන්ට දයානුකම්පාව පෙන්වමින් ඔවුන්ව තේරුම්ගෙන කටයුතු කළ යුත්තේ මන්ද?

14 යම් කාරණයක් සම්බන්ධයෙන් ආත්ම දමනය විදහාපෙන්වීම පෞද්ගලිකව අපට ගැටලුවක් නොවූවත්, සෙසු ක්‍රිස්තියානියෙකු ඒ කාරණය සම්බන්ධයෙන් ආත්ම දමනය පෙන්වීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා විය හැකියි. එවන් කෙනෙකුගේ තත්වය තේරුම්ගැනීම දුෂ්කර බව ඇතැම් අවස්ථාවලදී අපට පෙනී යා හැකියි. එහෙත් එක් එක්කෙනාගේ ස්වභාවය වෙනස් බව මතක තබාගැනීම වැදගත්. සමහරුන් පහසුවෙන්ම හැඟීම් මගින් පාලනය විය හැකි අතර තවත් අය එසේ නොවිය හැකියි. තමන්ව පාලනය කරගැනීම තරමක් පහසු දෙයක් බව තවත් අයට හැඟී යා හැකියි. එවැනි අයට ආත්ම දමනය පෙන්වීම විශාල ගැටලුවක් නොවේ. මෙය වෙනත් අයට මහත් දුෂ්කර දෙයකි. එහෙත් මෙහිදී දැඩි සටනක නියැලී සිටින තැනැත්තා නරක කෙනෙක් නොවන බව මතක තබාගන්න. සෙසු ක්‍රිස්තියානීන්ට අපේ දයානුකම්පාව අවශ්‍යයි. අප ඔවුන්ව තේරුම්ගෙන සිටින බව දකින්න ඔවුන් කැමතියි. ආත්ම දමනය පෙන්වීම සම්බන්ධයෙන් දියුණුවක් ලැබීමට තවමත් මහත් සටනක නියැලී සිටින අයට අප දයාව පෙන්වීම අපේ සන්තෝෂයටද දායක වේ. මෙය මතෙව් 5:7හි [NW] සඳහන් යේසුස්ගේ වදන්වලින් අපට තේරුම්ගත හැකියි.

15. ආත්ම දමනය විදහාපෙන්වීමේදී ගීතාවලිය 130:3හි සඳහන් වදන්වලින් සැනසිල්ලක් ලබාගත හැක්කේ මන්ද?

15 ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයට අයත් ගතිලක්ෂණ විදහාපෙන්වීමට ඇතැම් අවස්ථාවලදී අසමත් වන සෙසු ක්‍රිස්තියානීන් ගැන අප කවදාවත් වැරදි නිගමනවලට නොඑළඹිය යුතුයි. යම් කාරණයක් සම්බන්ධයෙන් අප ආත්ම දමනය විදහාපෙන්වීමට කලාතුරකින් අසමත් වී තිබිය හැකි අවස්ථා පමණක් නොව, අප සමත් වී තිබෙන අවස්ථා බොහොමයද ඇතැම්විට සෙසු ක්‍රිස්තියානීන්ගේ අවධානයට ලක් නොවූවද, ඒවා යෙහෝවා දකින බව දැනගන්න ලැබීම මොන තරම් දිරිගන්වනසුලු දෙයක්ද! ගීතාවලිය 130:3 සඳහන් මෙම වදන් මතක තබාගෙන සිටීමෙන් මහත් සැනසිල්ලක් ලබාගත හැකියි. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?”

16, 17. (අ) ආත්ම දමනය සම්බන්ධයෙන් අපට ගලාති 6:2, 5හි සඳහන් දෙය අදාළ කරගත හැක්කේ කෙසේද? (ආ) ආත්ම දමනය සම්බන්ධයෙන් අප ඊළඟ ලිපියේදී සලකා බලන්නේ කුමක් ගැනද?

16 යෙහෝවාව සතුටු කිරීමට නම් අප එක් එක්කෙනා ආත්මය දමනය වගා කළ යුතුය. එහෙත් මෙහිදී අපට සෙසු ක්‍රිස්තියානි සහෝදරයන්ගේ උපකාරය ලැබෙන බවට නිසැක විය හැකියි. එකිනෙකා තමාගේ බර නොහොත් වගකීම ඉසිලිය යුතු බව අප එක් එක්කෙනා මතක තබාගත යුතුය. එහෙත් අපව දිරිමත් කරනු ලබන්නේ දුර්වලකම් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා එකිනෙකාට උපකාර කිරීමටයි. (ගලාති 6:2, 5) අප නොයා යුතු තැන්වලට යෑමෙන්ද නොබැලිය යුතු දේවල් බැලීමෙන්ද නොකළ යුතු දේවල් කිරීමෙන්ද අපව වළක්වන පියා, මව, කලත්‍රයා හෝ මිත්‍රයා වටිනා වස්තුවක් ලෙස සැලකිය හැකියි. මෙහිදී මේ තැනැත්තා අපට උපකාර කරමින් සිටින්නේ ආත්මය දමනය විදහාපෙන්වීමටයි. වෙනත් වචනවලින් කියනවා නම් යමකට එපා කියා කීමටත්, එයට එකඟව ක්‍රියා කිරීමටත් ඒ තැනැත්තා අපට උපකාර කරයි.

17 මේ දක්වා අප ආත්ම දමනය සම්බන්ධයෙන් සලකා බැලූ දේවලට එකඟව ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් කටයුතු කරනවා විය හැකියි. එසේ වුවද, ආත්ම දමනය පෙන්වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව දියුණු වීම සඳහා තමන්ට තවත් අවස්ථාව තිබෙන බව ඔවුන්ට හැඟෙන්න ඉඩ තිබේ. ඔවුන් විශ්වාස කරන ආකාරයට අසම්පූර්ණ මිනිසුන්ගෙන් සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි මට්ටමට ආත්ම දමනය විදහාපෙන්වීමට ඔවුන් කැමති විය හැකියි. ඔබටත් හැඟෙන්නේ ඒ ආකාරයටද? එසේනම්, දෙවිගේ ආත්මයේ මේ පලය වගා කරගැනීමේදී ඔබට කුමක් කළ හැකිද? ක්‍රිස්තියානියෙකු වශයෙන් ඔබේ දිගුකාලීන පරමාර්ථ ඉටු කරගැනීම සඳහා මේ පලය වගා කරගැනීම ඔබට උපකාරවත් වන්නේ කෙසේද? ඊළඟ ලිපියේදී මේ ගැන සලකා බලමු.

ඔබට මතකද?

ඇයි ආත්ම දමනය . . .

• ක්‍රිස්තියානීන් වගා කරගැනීම වැදගත් වන්නේ?

• පෙන්වීම සමහරුන්ට විශේෂ අභියෝගයක් වන්නේ?

• විවාහය තුළ අවශ්‍ය වන්නේ?

• වගා කරගැනීමට එකිනෙකාට උපකාර කළ යුත්තේ?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එපා කියන්න ඔහු ඉගෙනගත්තේය

ජර්මනියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් රැකියාව කරමින් සිටියේ තාක්ෂණික සන්නිවේදන කාර්මිකයෙකු ලෙසයි. රූපවාහිනි හා ගුවන් විදුලි වැඩසටහන් 30ක කටයුතු පාලනය කිරීම ඔහුගේ කාර්යයට ඇතුළත් විය. වැඩසටහනක් අතරතුර බාධා සිදු වූ අවස්ථාවලදී, අදාළ දෝෂය සොයාගැනීම සඳහා එම වැඩසටහන බලන්න ඔහුට සිදු විය. මේ ගැන ඔහු මෙසේ පවසයි. “හුඟාක් වේලාවට වැඩසටහන්වල බාධා ඇති වුණේ නුසුදුසු වේලාවලයි. එනම් හරියටම ප්‍රචණ්ඩකාරී දර්ශන හෝ ලිංගික දර්ශන පෙන්වන වේලාවලයි. මේ නරක දර්ශන දවස් ගණනාවක්, සමහර වේලාවට සති ගණනාවක් මගේ මනසේ තිබුණා. හරියටම ඒවා මගේ සිතේ කොටා තිබුණා වගෙයි.” මෙය ඔහුගේ ආත්මිකත්වයට හානිකර ලෙස බලපෑ බව පිළිගනිමින් ඔහු තවදුරටත් මෙසේ පවසයි. “කේන්ති යෑමේ ස්වභාවයක් මා තුළ ඇති වුණා. ප්‍රචණ්ඩකාරී දර්ශන නිසා ආත්ම දමනය පෙන්වීම මට අමාරු දෙයක් වුණා. මගේ භාර්යාව හා මා අතර ගැටලුසහගත තත්වයන් ඇතිවීමට ලිංගික දර්ශන හේතු වුණා. මට හැමදාම විශාල සටනක් කරන්න සිදු වුණා. මේ සටන ජයගැනීම සඳහා මම තීරණය කළා, අඩු වැටුපකට වුණත් අලුත් රැකියාවක් සොයාගන්න. වැඩි කලක් යන්න කලින් මම අලුත් රැකියාවක් සොයාගත්තා. මම ආශා කළ දෙය ඉටු කරගන්න දැන් මට පුළුවන් වෙලා තියෙනවා.”

[15වන පිටුවේ පින්තූර]

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලබන දැනුම ආත්ම දමනය පෙන්වීමට උපකාරවත් වේ