Skip to content

පටුනට යන්න

ත්‍යාගය දිනාගැනීමට ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්න

ත්‍යාගය දිනාගැනීමට ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්න

ත්‍යාගය දිනාගැනීමට ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්න

“තරඟයකට සහභාගි වන සෑම මිනිසෙකුම සියල්ලෙහිදී ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්නේය.”—1 කොරින්ති 9:25, NW.

1. එෆීස 4:22-24හි සඳහන් වදන්වලට අනුව දශලක්ෂ ගණනක් යෙහෝවාගේ කැමැත්ත කිරීමට එකඟත්වය පළ කර තිබෙන්නේ කෙසේද?

ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම වූ අයෙක් නම්, ත්‍යාගය වශයෙන් සදාකාල ජීවනය හිමි වන තරඟයකට සහභාගි වීමට ඔබ කැමති බව ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. යෙහෝවාගේ කැමැත්ත කරන්න ඔබ එකඟ විය. යෙහෝවාට කැපවීමට කලින් අපගෙන් බොහෝදෙනෙකුට විශාල වෙනස්කම් කිරීමට සිදු විය. එසේ කළේ අපේ කැපවීම අවංක මෙන්ම දෙවිට පිළිගත හැකි දෙයක් බවට පත් කිරීම සඳහායි. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට දුන් මෙම උපදේශයට අපි අවනත වූවෙමු. “ඔබේ කලින් හැසිරීම් රටාවට ආවේණික මුළා කරවනසුලු ආශාවලින් දූෂ්‍ය වන්නාවූ පරණ පෞද්ගලිකත්වය අහක [දමන්න]. . . . සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය [පැළඳගන්න].’ (එෆීස 4:22-24, NW) වෙනත් වචනවලින් පවසනවා නම් දෙවිට කැපවීම සඳහා එකඟත්වය පළ කිරීමට කලින්, පිළිගත නොහැකි තත්වයක පැවති පෙර ජීවන රටාව ප්‍රතික්ෂේප කිරීමට අපට සිදු විය.

2, 3. දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා දෙයාකාරයකින් වෙනස්කම් කළ යුතු බව 1 කොරින්ති 6:9-12හි සඳහන් වදන් මගින් පෙනී යන්නේ කෙසේද?

2 යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීමට අපේක්ෂාවෙන් සිටින අය පහ කර දැමිය යුතු පරණ පෞද්ගලිකත්වයේ ඇතැම් ගතිලක්ෂණ දේවවචනය කෙළින්ම හෙළා දකී. පාවුල් කොරින්තිවරුන්ට ලියූ ලිපියේදී පහ කර දැමිය යුතු ඇතැම් පුරුදු කිහිපයක් මෙසේ සඳහන් කළේය. “වේශ්‍යාකම් කරන්නන්ටවත්, රූප වඳින්නන්ටවත්, පරදාර සේවනයේ යෙදෙන්නන්ටවත්, අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ටවත්, සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්ටවත්, සොරුන්ටවත්, ගිජුකමක් ඇති අයටවත්, බේබද්දන්ටවත්, නිග්‍රහ කරන්නන්ටවත්, අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නන්ටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.” අනතුරුව ඔහු මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ අවශ්‍ය වෙනස්කම් කරගත් බව පෙන්වා දුන්නේ තවදුරටත් මෙසේ පවසමිනි. “එහෙත් ඔබෙන් සමහරෙක් කලින් එවැනි අය වූහ.” මෙය සැලකිල්ලට ගන්න. එනම් ඔවුන් කලින් එවැනි අය වුවද, වර්තමානයේ එම තත්වයේ නොසිටින බව එම වදන්වලින් හෙළි වේ.—1 කොරින්ති 6:9-11, NW.

3 තවත් කාරණා සම්බන්ධයෙන් වෙනස්කම් කිරීම අවශ්‍ය විය හැකි බව පාවුල් තවදුරටත් පැවසූ මෙම වදන්වලින් පෙනී යයි. “සියලු දේ කිරීමට මට අවසර තිබෙන නමුත් සියල්ල ප්‍රයෝජනදායක නොවේ.” (1 කොරින්ති 6:12, NW) මේ අනුව, කිරීමට අවසර තිබුණද ප්‍රයෝජනදායක නොවන හෝ දිගු කාලීනව එතරම් වැදගත්කමක් නොමැති දේවල් පවා ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාව යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීමට ආශාවෙන් සිටින බොහෝදෙනෙක් තේරුම්ගනිති. එවැනි දේවලට විශාල කාලයක් වැය විය හැකි අතර ඒවා නිසා වඩා වැදගත්කමක් ඇති දේවල්ද අතපසු විය හැකියි.

4. කැප වූ ක්‍රිස්තියානීන් පාවුල් සමඟ එකඟ වන්නේ කුමක් සම්බන්ධයෙන්ද?

4 දෙවිට කැප වන්නේ කැමැත්තෙන් මිස අකමැත්තකින් නොවේ. විශාල පරිත්‍යාගයක් කිරීමට තිබෙන දෙයක් මෙන් අදිමදි කරමින්ද නොවේ. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු බවට පත්වීමෙන් පසු පාවුල් පැවසූ මෙම වදන් සමඟ ක්‍රිස්තියානීහු එකඟ වෙති. “[යේසුස්] නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු ගොඩක්යයි සලකමි. එසේ කරන්නේ මා ක්‍රිස්තුස් ලබාගන්නා [පිණිසය].” (ෆිලිප්පි 3:8, NW) දෙවිගේ කැමැත්තට එකඟව දිගටම ජීවත් වීමට හැකි වන පරිදි එතරම් වැදගත්කමක් නැති දේවල් පාවුල් ප්‍රතික්ෂේප කළේ ප්‍රීතියෙනි.

5. පාවුල් සාර්ථක ලෙස නිරත වී සිටියේ කුමන ආකාරයේ ධාවන තරඟයකද? ඔහු මෙන් අපටත් සාර්ථක විය හැක්කේ කෙසේද?

5 පාවුල් ආත්මික ධාවන තරඟයේ නිරත වෙමින් සිටියදී ආත්ම දමනය ක්‍රියාවට නැඟූ අතර අවසානයේදී මෙසේ පැවසීමට ඔහුට හැකි විය. “මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන්, ධර්මිෂ්ඨකම නමැති ඔටුන්න මා සඳහා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරු වන ස්වාමීන් ඒ දවසේදී මට එය ප්‍රදානය කරන්නේය. එහෙත් මට පමණක් නොව, ඔහුගේ ප්‍රකාශ වීම ගැන ආශාවෙන් සිටින්නාවූ සියල්ලන්ටත් ඔහු එය ප්‍රදානය කරන්නේය.” (2 තිමෝති 4:7, 8, NW) යම් දවසක අපටත් එසේ පැවසීමට හැකි වනු ඇද්ද? අප නිරත වී සිටින ක්‍රිස්තියානි ධාවන තරඟය අත් නොහැර, එහි අවසානය දක්වා අඛණ්ඩව දුවමින් ඇදහිල්ල ඇතුව ආත්ම දමනයෙන් යුතුව හැසිරෙනවා නම්, අපටත් එසේ පැවසීමට හැකි වනු ඇත.

යහපත කිරීමට ආත්ම දමනය අවශ්‍යයි

6. ආත්ම දමනය යනු කුමක්ද? අප එය ක්‍රියාවට නැඟිය යුතු ආකාර දෙක කුමක්ද?

6 බයිබලයෙහි “ආත්ම දමනය” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචනවල පදගතාර්ථයෙන් අදහස් වන්නේ පුද්ගලයෙකුට තමන්ව පාලනය කිරීමට හෝ දමනය කිරීමට ශක්තිය තිබෙන බවයි. බොහෝ අවස්ථාවලදී එම වදන්වලින් කියවෙන්නේ යමෙකු නරක දේවල් කිරීමෙන් තමන්වම වළක්වාගැනීම ගැනයි. එනමුත් යහපත් දේවල් කරන්නත් ආත්ම දමනය යම් ප්‍රමාණයකට අපට අවශ්‍ය බවත් පැහැදිලිය. අසම්පූර්ණ මිනිසුන් සහජයෙන් නැඹුරු වන්නේ වැරදි දේවල් කිරීමටයි. මේ නිසා දෙයාකාරයක සටනක නියැලීමට අපට සිදු වේ. (දේශනාකාරයා 7:29; 8:11) නරක දේවලින් වැළකී සිටින අතරේදී, යහපත් දේවල් කිරීම සඳහා අප තුළ පෙලඹීමක් ඇති කරගත යුතුයි. ඇත්තෙන්ම, යහපත් දේවල් කිරීම සඳහා අපව දමනය කරගැනීම, නරක දේවලින් වැළකී සිටීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

7. (අ) දාවිත් මෙන් අපත් යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාද? (ආ) ආත්ම දමනය වැඩියෙන් විදහාපෙන්වීමට අපට උපකාරවත් වන්නේ කුමක් ගැන ගැඹුරින් සිතා බැලීමද?

7 දෙවිට වූ අපේ කැපවීමට එකඟව ජීවත් වීමට නම් ආත්ම දමනය අත්‍යවශ්‍ය බව පැහැදිලියි. දාවිත් මෙන් අපත් මෙසේ යාච්ඤා කිරීම අවශ්‍යයි. ‘දෙවියනි, පවිත්‍ර සිතක් මා තුළ මවන්න. ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සාදන්න.’ (ගීතාවලිය 51:10) වැරදි දේවල් කිරීමෙන් හෝ මාංසික දුර්වලකම්වලින් වැළකී සිටීම නිසා ලබන ප්‍රයෝජන ගැන ගැඹුරින් සිතා බලන්න අපට හැකියි. එවැනි දේවලින් වැළකී සිටීමට අසමත් වීමෙන් අද්දැකිය හැකි බරපතළ සෞඛ්‍ය ගැටලු, සබඳතා පලුදු වීම හා අකල් මරණ වැනි හානි ගැන සිතා බලන්න. අනිත් අතට, යෙහෝවා නියම කර තිබෙන ආකාරයට ජීවත් වීමෙන් ලබන බොහෝ ප්‍රයෝජන ගැනද සිතන්න. කෙසේවෙතත්, යථාර්ථවාදීව බලන කල, අපේ සිත රැවටිලිකාර බව අප අමතක නොකළ යුතුයි. (යෙරෙමියා 17:9) යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමේ වැදගත්කම සැහැල්ලුවට ගැනීමට අපේ සිත තුළින් ඇති කරන පෙලඹීම්වලට එරෙහිව සිටීමට අප අදිටන් කරගත යුතුය.

8. අද්දැකීම් මගින් යථාර්ථය ගැන අපට උගන්වන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.

8 හරි දේ කිරීමට අපගේ ආත්මය නැතහොත් ඇතුළාන්තය කැමති වුවත්, අකමැත්තක් දක්වන අපගේ මාංසය ඊට එරෙහි වන බව අද්දැකීමෙන් අපි බොහෝදෙනෙක් දනිමු. උදාහරණයක් හැටියට රාජ්‍යය පිළිබඳව දේශනා කිරීම ගැන සිතා බලන්න. ජීවිත ගලවන මෙම කාර්යයෙහි හවුල් වීමට මිනිසුන් තුළ තිබෙන කැමැත්ත දකින විට යෙහෝවා සතුටු වෙයි. (ගීතාවලිය 110:3; මතෙව් 24:14) මුලදී ප්‍රසිද්ධියේ දේශනා කිරීමේ කාර්යයේ හවුල්වීමට ඉගෙනගැනීම අපගෙන් බොහෝදෙනෙකුට පහසු දෙයක් වූයේ නැත. ඒ සඳහා අපේ ශරීරය අප දමනය කරගැනීම, එනම් වඩා පහසුයයි කියා පෙනෙන්න තිබෙන දෙය කිරීමට එයට ඉඩ නොදී, එයට “දැඩි ලෙස පහර” දීම අවශ්‍ය විය. “දාසයෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන” යා යුතු විය. තවමත් ඒ සඳහා අවශ්‍යතාවක් තිබිය හැක.—1 කොරින්ති 9:16, 27, NW; 1 තෙසලෝනික 2:2.

“සියල්ලෙහිදී”?

9, 10. ‘සියල්ලෙහිදී ආත්ම දමනය’ පෙන්වීමට අයත් වන්නේ මොනවාද?

9 “සියල්ලෙහිදී ආත්ම දමනයෙන්” යුතුව හැසිරෙන්න කියා බයිබලය දෙන උපදේශයෙන් අදහස් කරන්නේ අපේ කෝපය පාලනය කරගැනීමට හා අනාචාරයට පොලඹවන දේවලින් වැළකී සිටීමට වඩා වැඩි දෙයකි. මේ කාරණා සම්බන්ධයෙන් අපට ආත්ම දමනය තිබෙන බව හැඟෙන්න පුළුවනි. එසේනම් අපට ඒ ගැන සතුටු විය හැකියි. එහෙත් ආත්ම දමනය පෙන්වීමේ අවශ්‍යතාව එතරම් පැහැදිලිව දැකිය නොහැකි ජීවිතයේ වෙනත් පැති ගැන කුමක් කිව හැකිද? මෙය පැහැදිලි කරගැනීම සඳහා යම් කෙනෙක් සාමාන්‍යයෙන් උසස් ජීවන තත්වයක් තිබෙන රටක ජීවත් වෙනවා කියා සිතමු. එවැනි කෙනෙකු අනවශ්‍ය දේවලට මුදල් වියදම් කිරීමෙන් වැළකී සිටීමට ඉගෙනගැනීම නැණවත් දෙයක් නොවේද? යම් දෙයක් ලබාගත හැකි නිසා හෝ එය සිත්ගන්නාසුලු නිසා හෝ එය ගැනීමට තමන්ට මුදල් තිබෙන නිසා හෝ දකින දකින සෑම දෙයක්ම මිල දී නොගැනීමට දෙමාපියන් දරුවන්ට කියා දිය යුතුයි. මෙහිදී දෙමාපියන් කියා දෙන දේවල් පලදායක වීමට නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.—ලූක් 10:38-42.

10 යම් දෙයක් නොමැතිව වුවද ජීවත් වීමට ඉගෙනගැනීමෙන් අපේ අධිෂ්ඨාන ශක්තිය තවත් ප්‍රබල විය හැකියි. මෙමගින් දැනටමත් අප සතු ද්‍රව්‍යමය දේවල් සඳහා තිබෙන කෘතඥතාවේ හැඟීම තවත් වැඩි විය හැකි අතර අගහිඟකම් නිසා අවශ්‍ය දේවල් නොමැති අය දෙස දැනට වඩා සානුකම්පිතව බැලීමටද අපව පෙලඹවිය හැකියි. බහුතරයක් දරන්නේ “ඔබ ගැන සිතන්න” නැතහොත් “ගන්න හොඳම දෙය” වැනි ආකල්පයි. සරල ජීවන රටාවක් ගත කිරීම මෙවැනි ආකල්පවලට ඉඳුරාම වෙනස් බව පිළිගත යුතුයි. ප්‍රචාරණ ලෝකය මගින් දේවල් ක්ෂණිකව තෘප්තිමත් කරගැනීමේ ආශාව වඩවයි. එනමුත් ඔවුන්ගේ පරමාර්ථය වන්නේ ලාභ ලැබීමයි. මෙම තත්වය නිසා ආත්ම දමනය විදහාපෙන්වීම සඳහා අප දරන වෑයම දුර්වල වීමට ඉඩ ඇත. ධනවත් යුරෝපීය රටක පළ වන සඟරාවක මෑතකදී මෙසේ සඳහන් වී තිබිණ. ‘හානිකර ආශාවන් පාලනය කරගැනීම සඳහා දිලිඳුකමේ අඩියටම වැටී සිටින අය පවා අභ්‍යන්තර සටනක නියැලීම අවශ්‍ය වන්නේ නම්, කිරියෙන් පැණියෙන් උතුරා යන ධනවත් සමාජයක ජීවත් වන අය ඔවුන්ට වඩා කොපමණ වැඩියෙන් එම සටනේ නිරත විය යුතුද!’

11. ඇතැම් දේවල් නොමැතිව ජීවත් වීමට ඉගෙනගැනීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද? එනමුත් මෙය දුෂ්කර දෙයක් වීමට හේතුව කුමක්ද?

11 අපට වුවමනා කරන දේවල් හා අපට ඇත්තටම අවශ්‍ය කරන දේවල් මොනවාද කියා හඳුනාගැනීම දුෂ්කර බව පෙනී යනවා නම්, අපරීක්ෂාකාරී ලෙස කටයුතු නොකිරීම සඳහා පියවර ගැනීම ප්‍රයෝජනදායක විය හැකියි. උදාහරණයක් හැටියට, පාලනයකින් තොරව වියදම් කිරීමට තිබෙන නැඹුරුවාව නැති කරගැනීමට අප කැමති නම්, ණයට භාණ්ඩ නොගැනීමටත් සාප්පු යන විට සීමිත මුදලක් පමණක් ගෙන යෑමටත් අදිටන් කරගැනීම අවශ්‍ය විය හැකියි. “ඇති දෙයින් සෑහීමට පත්වීම සමඟ වූ දේවභක්තිය මහත් වාසියට මඟකි” කියා පාවුල් පැවසූ බව මතක් කරගන්න. ඔහු එයට හේතුව මෙසේ පැහැදිලි කළේය. “අප ලෝකයට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යන්නත් බැරිය. එබැවින් කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්, අපි මේවායින් සෑහීමට පත් වෙමු.” (1 තිමෝති 6:6-8, NW) අපි ඒවායින් සෑහීමට පත් වී සිටින්නෙමුද? තමාවම පිනවාගැනීමට තිබෙන වුවමනාව නිසා අනවශ්‍ය දේවලින් ජීවිතය සංකීර්ණ කරගන්නේ නැතිව සරල ජීවිතයක් ගත කිරීමට ඉගෙනගැනීමේදී අධිෂ්ඨාන ශක්තිය හා ආත්ම දමනය අවශ්‍ය කෙරේ. කෙසේවෙතත් මෙය ඉගෙනගැනීමට වටිනා පාඩමකි.

12, 13. (අ) ක්‍රිස්තියානි රැස්වීම්වලට ආත්ම දමනය සම්බන්ධ වන්නේ කිනම් ආකාරවලින්ද? (ආ) අප ආත්ම දමනය වගා කරගැනීම අවශ්‍ය කරන වෙනත් පැති මොනවාද?

12 ක්‍රිස්තියානි රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු යනාදියට පැමිණීමේදීද ආත්ම දමනය විශේෂාකාරයෙන් පෙන්වීම අවශ්‍ය වේ. උදාහරණයක් හැටියට, රැස්වීම් අතරතුරේදී අපේ මනස වෙනත් දේවල් කෙරෙහි යොමුවීම වළක්වාගැනීම සඳහා මේ ගුණාංගය අවශ්‍ය කෙරේ. (හිතෝපදේශ 1:6) අපේ සම්පූර්ණ අවධානය කථිකයාට නොදී, අප අසල සිටින කෙනාට කොඳුරමින් දේවල් පැවසීමෙන් අන් අයගේ සවන් දීමට බාධා නොකිරීමටත් ආත්ම දමනය අවශ්‍ය විය හැකියි. මෙම ගුණාංගය අවශ්‍ය කරන තවත් දෙයක් වන්නේ වේලාවට පැමිණීම සඳහා අපේ කාලසටහනෙහි වෙනස්කම් කිරීමයි. එපමණක්ද නොව, රැස්වීම්වලට සූදානම් වීම සඳහා කාලය වෙන් කරගැනීමටත්, ඒවාට සහභාගි වීමටත් ආත්ම දමනය අවශ්‍ය විය හැකියි.

13 කුඩා දේවලදීද ආත්ම දමනයෙන් යුතුව හැසිරීමෙන් වඩා විශාල කාරණාවලදී මේ ගුණාංගය පෙන්වීමේ අපේ හැකියාව තවත් ශක්තිමත් කරනු ඇත. (ලූක් 16:10) එනිසා දේවවචනය හා බයිබල් ප්‍රකාශන නිතිපතා කියවීම, අධ්‍යයනය කිරීම හා අප ඉගෙනගන්න දේවල් මෙනෙහි කිරීම සඳහා අපව හික්මවාගැනීම කොතරම් යහපත් දෙයක්ද! නුසුදුසු රැකියාවන්, මිත්‍රත්වයන්, ආකල්ප හා පුරුදු සම්බන්ධයෙන්ද, දෙවිට සේවය කිරීම සඳහා යොදවන වටිනා කාලය සොරාගන්න දේවල් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද අපව හික්මවාගැනීම කොතරම් ඥානවන්ත දෙයක්ද! යෙහෝවාගේ ලෝක ව්‍යාප්ත සභාව තුළ පවතින ආත්මික පාරාදීසයෙන් අපව එළියට ඇද දැමිය හැකි දේවලට එරෙහිව සිටීමේදී යෙහෝවාගේ සේවයේ කඩිසරව නියැලී සිටීමෙන් ලැබෙන්නේ කදිම ආරක්ෂාවකි.

ආත්ම දමනය පෙන්වීමෙන් මේරූ කෙනෙකු වන්න

14. (අ) ආත්ම දමනය ක්‍රියාවට නැඟීමට දරුවන් ඉගෙනගත යුත්තේ කෙසේද? (ආ) දරුවන් ජීවිතයේ මුල් අවදියේදීම එවැනි පාඩම් ඉගෙනගන්න විට, ඉන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?

14 බිලිඳෙකු තුළ ආත්ම දමනය දැකිය නොහැකියි. දරුවන්ගේ හැසිරීම් රටාවන් ගැන විශේෂ දැනුමක් තිබෙන අය විසින් සකස් කරන ලද පත්‍රිකාවක මෙසේ පැහැදිලි කර ඇත. “ආත්ම දමනය ඉබේම හෝ විගස ඇති වන දෙයක් නොවේ. ආත්ම දමනය විදහාපෙන්වීමට ඉගෙනගැනීමේ ක්‍රියාවලිය පටන්ගැනීම සඳහා කුඩා දරුවන්ට දෙමාපියන්ගේ මඟ පෙන්වීම හා සහයෝගය අවශ්‍යයි. . . . මෙම ක්‍රියාවලිය සඳහා දෙමාපියන්ගේ මඟ පෙන්වීම ලැබීමත් සමඟ ආත්ම දමනය පාසැල් කාලය පුරා වැඩි වනු ඇත.” යම් ප්‍රමාණයකට ආත්ම දමනයෙන් යුතුව හැසිරීමට ඉගෙනගෙන තිබූ දරුවන් “විවිධ තත්වයන්ට හොඳින් සකස් විය හැකි, වඩා ජනප්‍රිය, නිර්භීත, නිසැක බවක් තිබෙන හා විශ්වාසවන්ත නහඹරයන් බවට පත් විය.” මේ පාඩම ඉගෙනගැනීම ආරම්භ කර නොතිබූ අය “තනිව සිටීමට වැඩි නැඹුරුවාවක් දැක්වූ අතර පහසුවෙන්ම කලකිරීමටද පත් වූහ. එමෙන්ම මුරණ්ඩු වූහ. එවන් අය මානසික පීඩනයට ගොදුරු වන අතර අභියෝගවලින්ද පලා ගියහ.” මේ දේවල් අනාවරණය වූයේ සතරවන වියේ පසු වන දරුවන් පිළිබඳව කළ අධ්‍යයනයකිනි. විවිධ තත්වයන් අනුව හොඳින් සකස් විය හැකි වැඩිහිටියන් බවට පත්වීම සඳහා දරුවන් ආත්ම දමනයෙන් යුතුව හැසිරීමට ඉගෙනගත යුතු බව පැහැදිලියි.

15. ආත්ම දමනයේ අඩුවක් තිබීමෙන් පෙනී යන්නේ කුමක්ද? ඊට වෙනස්ව බයිබලය අප ඉදිරියෙහි තබන ඉලක්කය කුමක්ද?

15 ඒ හා සමානව මේරූ ක්‍රිස්තියානීන් බවට පත්වීමට නම් අප ආත්ම දමනය විදහාපෙන්වීමට ඉගෙනගත යුතුයි. එහි අඩුවක් තිබීමෙන් පෙනී යන්නේ අප තවමත් ආත්මිකව ළදරුවන් බවයි. “තේරුම්ගැනීමේ හැකියාවන් සම්බන්ධයෙන් මේරූ වන්න” කියා බයිබලය අපට උපදෙස් සපයයි. (1 කොරින්ති 14:20, NW) අපේ ඉලක්කය වන්නේ “ක්‍රිස්තුස්ගේ පූර්ණකමට අයත් වැඩිහිටියෙකුගේ උස මහතේ ප්‍රමාණය අත් කරගැනීමට අවශ්‍ය ඇදහිල්ලේ එකමුතුකම හා දෙවිගේ පුත්‍රයා පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමයි.” අප මෙම ඉලක්කය සපුරාගත යුත්තේ මන්ද? “අපි තවදුරටත් මිනිසුන්ගේ ප්‍රයෝගය නිසාද, සූක්ෂ්ම ලෙස වැරදි කිරීමට යොදන උපායන්වලින් හටගන්නා සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබ මොබ විසි වෙන, රළ පහරින් ගසාගෙන යන බිලිඳුන් [නොවිය යුතු]” නිසායි. (එෆීස 4:13, 14, NW) මේ නිසා ආත්ම දමනයෙන් යුතුව හැසිරීම අපේ ආත්මිකත්වයට අත්‍යවශ්‍ය දෙයක් බව පැහැදිලියි.

ආත්ම දමනය වගා කරගැනීම

16. යෙහෝවා උපකාරය සපයන්නේ කෙසේද?

16 ආත්ම දමනය වගා කරගැනීම සඳහා අපට දෙවිගේ උපකාරය අවශ්‍යයි. ඇත්තෙන්ම අපට එම උපකාරය ලබාගත හැකියි. කිසිදු පලුද්දක් නැති කැඩපතක් හා සමාන දේවවචනය මගින් අපගේ පෞද්ගලිකත්වයේ වෙනස්කම් කළ යුතු පැති අපට පෙන්වා දෙයි. එමෙන්ම එය කරන ආකාරය ගැන උපදෙස්ද එය සපයයි. (යාකොබ් 1:22-25) අපට උපකාර කිරීමට ප්‍රේමණීය සහෝදරත්වයක්ද කැමැත්තෙන් සිටී. පෞද්ගලික උපකාරය සැපයීමේදී ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ අවබෝධයෙන් යුතුව අප සමඟ කටයුතු කරති. අප යාච්ඤාවෙන් ශුද්ධාත්මය ඉල්ලනවා නම් යෙහෝවා එය නොමසුරුව ලබා දෙයි. (ලූක් 11:13; රෝම 8:26) මේ නිසා අපි ප්‍රීතියෙන් එම සැපයුම්වලින් ප්‍රයෝජන ගනිමු. මේ සම්බන්ධයෙන් 21වන පිටුවේ තිබෙන යෝජනාද උපකාරවත් විය හැකියි.

17. හිතෝපදේශ 24:16හි අපට දෙන දිරිගැන්වීම කුමක්ද?

17 අප යෙහෝවාව සතුටු කිරීම සඳහා දරන වෑයම් ඔහු අගය කරන බව දැන සිටීමෙන් ලැබෙන සහනය මොන තරම්ද! මෙය ආත්ම දමනය වැඩි වැඩියෙන් පෙන්වීම සඳහා අඛණ්ඩව වෑයම් කිරීමට අපව පෙලඹවිය යුතුයි. අප අතින් කොතරම් වාර ගණනක් වැරදි සිදු විය හැකි වුවත්, අප දරන වෑයම් කවදාවත් අත් නොහැරිය යුතුයි. “ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැඟිටින්නේය.” (හිතෝපදේශ 24:16) අප ජයග්‍රහණයක් වාර්තා කරන සෑම අවස්ථාවකදීම අප ගැනම සතුටු වීමට එය හේතුවක් වේ. යෙහෝවා අප ගැන සතුටු වන බවටද අපට නිසැක විය හැකියි. එක් සාක්ෂිකරුවෙක් ඔහුගේ ජීවිතය යෙහෝවාට කැප කිරීමට කලින් දුම්පානයට ඇබ්බැහි වී සිටියේය. ආත්ම දමනයෙන් යුතුව සතියක් පුරා දුම්පානය කිරීමෙන් වැළකී සිටිය සෑම අවස්ථාවකදීම ආත්ම දමනයෙන් ලැබුණු උපකාරය නිසා ඔහුට ඉතුරු කරගැනීමට හැකි වූ මුදල්වලින් ප්‍රයෝජනවත් දෙයක් මිල දී ගෙන, තමාගේ ජයග්‍රහණය සැමරූ බව ඔහු පවසයි.

18. (අ) ආත්ම දමනය පෙන්වීමට අප කරන සටනට අයත් වන්නේ කුමක්ද? (ආ) යෙහෝවා අපට දෙන සහතිකය කුමක්ද?

18 ආත්ම දමනය පෙන්වීමේදී එයට අපගේ මනස හා හැඟීම් සම්බන්ධ වන බව අප මතක තබාගත යුතුයි. මෙය ඉතාමත් වැදගත් දෙයකි. යේසුස් පැවසූ මෙම වදන්වලින් අපට එය තේරුම්ගත හැකියි. “ස්ත්‍රියක් ගැන කාම ආශාවක් ඇති වන ලෙස ඇය දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.” (මතෙව් 5:28, NW; යාකොබ් 1:14, 15) තමාගේ මනස හා හැඟීම් පාලනය කරගැනීමට ඉගෙනගෙන තිබෙන තැනැත්තෙකුට ඔහුගේ සිරුර දමනය කරගැනීම වඩාත් පහසු දෙයක් බව පෙනී යනු ඇත. එනිසා වැරදි කිරීමෙන් පමණක් නොව, ඒවා ගැන සිතීමෙන් පවා වැළකී සිටීම සඳහා වූ අපේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගනිමු. වැරදි සිතුවිලි ඇති වන්නේ නම් විගස ඒවා පහ කරන්න. යාච්ඤාව මාර්ගයෙන් යේසුස් දෙස අපේ මනස යොමු කර තබාගැනීමෙන් පරීක්ෂාවලින් පලා දුවන්න අපට හැකියි. (1 තිමෝති 6:11; 2 තිමෝති 2:22; හෙබ්‍රෙව් 4:15, 16) මෙහිදී අපට හැකි උපරිමය අප කරන විට අප අනුගමනය කරමින් සිටින්නේ ගීතාවලිය 55:22හි සඳහන් මෙම උපදේශයයි. “ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.”

ඔබට මතකද?

• අප ආත්ම දමනයෙන් යුතුව හැසිරිය යුතු ආකාර දෙක මොනවාද?

• “සියල්ලෙහිදී ආත්ම දමනයෙන් යුතුව” හැසිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• ආත්ම දමනය වගා කරගැනීම සඳහා අපගේ පාඩම අතරතුරේදී ඔබේ විශේෂ අවධානයට ලක් වූ ප්‍රායෝගික යෝජනා මොනවාද?

• ආත්ම දමනය පටන්ගන්නේ කොතැනින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

ආත්ම දමනය තවත් වැඩි කරගත හැකි අයුරු

• කුඩා දේවලදී පවා එය වගා කරගන්න

• මෙමගින් අත් වන වර්තමාන හා අනාගත ප්‍රයෝජන ගැන ගැඹුරින් සිතන්න

• දෙවි තහනම් කරන දේවල් වෙනුවට ඔහු දිරිගන්වන දේවල් සිතන්න

• නුසුදුසු සිතුවිලි විගසම පහ කර දමන්න

• ආත්මිකව ගොඩනංවනසුලු සිතුවිලිවලින් ඔබේ මනස පුරවාගන්න

• මේරූ ක්‍රිස්තියානීන් සැපයිය හැකි උපකාර පිළිගන්න

• වරදට පොලඹවනසුලු තත්වයන්ගෙන් ඉවත්ව සිටින්න

• වැරදි පෙලඹවීම් ඇති වන විට දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න

[18, 19වන පිටුවේ පින්තූර]

ආත්ම දමනය යහපත කිරීමට පොලඹවයි