Skip to content

පටුනට යන්න

නැණවත් තීරණ ගැනීමට ඔබට හැක්කේ කෙසේද?

නැණවත් තීරණ ගැනීමට ඔබට හැක්කේ කෙසේද?

නැණවත් තීරණ ගැනීමට ඔබට හැක්කේ කෙසේද?

“ප්‍රඥාවන්ත පුද්ගලයෙක් සවන් දී බොහෝ උපදෙස් ලබාගනී.” මෙසේ පැවසුවේ ඉපැරණි ඊශ්‍රායෙලයේ රජෙකු වූ සලමොන්ය. අපගෙන් වැඩිදෙනෙකු ඇතැම් අවස්ථාවලදී අඥාන තීරණ ගෙන තිබේ. ඒ හුදෙක් අප අනුන්ගේ අවවාදවලට සවන් දීම ගැන එතරම් තැකීමක් කර නැති නිසයි.—හිතෝපදේශ 1:5.

සලමොන් ලියූ ‘උපදේශ වාක්‍ය තුන්දහස’ සමඟින් ඉහත සඳහන් ඔහුගේ එම වචන පසුව බයිබලය තුළ ලේඛනගත කරන ලදි. (1 රාජාවලිය 4:32) ඔහුගේ ප්‍රඥාවන්ත වචන අවබෝධ කරගෙන ඒවාට අවනත වීමෙන් අපට ප්‍රයෝජන ගත හැකිද? එසේය. “ඒවා වනාහි ප්‍රඥාවද හික්මවීමද දැනගැනීමටත් අවබෝධයෙන් කියූ කියමන් තේරුම්ගැනීමටත්, තීක්ෂ්ණ බුද්ධියද, ධර්මිෂ්ඨකමද, විනිශ්චය කිරීමේ හැකියාවද ලබා දෙන හික්මවීම හා අවංකකම ලැබීමටත්” අපට මහෝපකාරී වෙයි. (හිතෝපදේශ 1:2, 3, NW) ඥානවන්ත තීරණ ගැනීමේදී අපට උපකාරවත් වන බයිබලය මත පදනම් මාර්ගෝපදේශ පහක් ගැන අපි දැන් සාකච්ඡා කරමු.

දිගු කාලීන ප්‍රතිඵල ගැන සලකා බලන්න

ඇතැම් තීරණවලින් ඉතා සුවිශේෂී ඵලවිපාක ඇති වේ. එමනිසා, මෙම ඵලවිපාක මොනවා වේවිදැයි කලින්ම නිශ්චය කරගැනීමට උත්සාහ කරන්න. කෙටි කාලීන ප්‍රයෝජන ගැන සිතන විට දිගු කාලීනව අත් විය හැකි අහිතකර විපාක ඔබට නොපෙනී යන්න පුළුවන. එමනිසා ඒ ගැන පරෙස්සම් වෙන්න. “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි. එහෙත් අනුවණයෝ [අද්දැකීම් අඩු තැනැත්තෝ, NW] නොනැවතී ගොස් අච්චු ලබති” යයි හිතෝපදේශ 22:3හි අපට අනතුරු අඟවයි.

මෙහිදී උපකාරවත් විය හැකි දෙයක් නම්, දිගු කාලීන හා කෙටි කාලීන ඵලවිපාක මොනවා වේවිදැයි යම් කඩදාසියක ලියාගැනීමය. හොඳ වැටුපක් සහිත එක්තරා රැකියාවක් තෝරාගැනීමෙන් කෙටි කාලීන ලාභ ප්‍රයෝජන ලැබෙනවායයි ඔබට පෙනෙන්නට පුළුවන. එහෙත් රැකියාවක් ඇති මුත් අනාගතයේදී එයින් යම් දියුණුවක් ලැබිය නොහැකි වීම මෙම දිගු කාලීන අහිතකර ඵලවිපාකවලට ඇතුළත් විය හැකි දෙයක්ද? අන්තිමේදී ඔබට ඔබගේ මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් ඈත්ව වෙනත් ප්‍රදේශයක පදිංචියට යෑමට සිදු විය හැකිද? ඒ මගින් ඔබට නරක පරිසරයක ජීවත් වීමට සිදු වේවිද? නැත්නම් කටුක නිරස පරිසරයක ජීවත් වීමට සිදුවීම නිසා ඔබ බොහෝ සෙයින් කලකිරීමට පත් වේවිද? මෙහි වාසි සහ අවාසි කිරා මැන බලන්න. පසුව ප්‍රමුඛතාවන් ලැබිය යුතු දේට එය දී තීරණයක් ගන්න.

ප්‍රමාණවත් කාලය ගන්න

හනික කඩිමුඩියේ ගන්නා තීරණ අඥාන තීරණ වෙන්නට පුළුවන. හිතෝපදේශ 21:5හි [NW] අනතුරු අඟවන්නේ මෙසේයි. “කඩිසර පුද්ගලයාගේ සැලසුම්වලින් ලැබෙන්නේ ලාභමය. එහෙත් ඉක්මන් වෙන ඕනෑම කෙනෙක් ඉක්මන් වෙන්නේ හිඟකමටය.” නිදසුනක් වශයෙන්, පෙම්බර හැඟීම්වලින් වෙළී සිටින නහඹර වියේ යෞවනයන් පූර්ව විවාහ සබඳතාවක් ඇති කරගැනීමට තීරණය කිරීමට පෙර ඒ සඳහා හොඳින් කාලය ගත යුතුය. නැත්නම් ඔවුන්ට සිදු වෙන්නේ 18වන සියවසේ මුල්භාගයේ ඉංග්‍රීසි ජාතික නාට්‍යකරුවෙකු වූ විලියම් කොන්ග්‍රීව් ලීවූ දේ අද්දකින්නටයි. “කඩිමුඩියේ විවාහ වෙන්න. නිවිහැනහිල්ලේ ඒ ගැන පසුතැවිලි වෙන්න.” ඔහු ලීවේ එසේයි.

එහෙත්, ප්‍රමාණවත් කාලයක් ඒ සඳහා මිඩංගු කිරීම, දේවල් කල් දැමීම සමඟ පටලවා නොගත යුතුයි. ඇතැම් තීරණ කොතරම් වැදගත්ද යත්, ඥානවන්ත දේ වන්නේ සාධාරණ ලෙස හැකි තරම් ඉක්මනින් එම තීරණ ගැනීමයි. එවන් තීරණ ගැනීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමෙන් සිදු වෙන්නේ අපටත් අන්‍යයන්ටත් ඒවායේ විපාක විඳින්නට සිදුවීමයි. දැන් ගත යුතු තීරණයක් දැන්ම නොගෙන එය කල් දැමීමම තීරණයක් විය හැකියි. සමහරවිට මෙය අඥාන තීරණයක් වෙන්නට පුළුවන.

උපදෙස් පිළිගන්නාසුලු කෙනෙක් වන්න

කිසිම තත්වයන් දෙකක් හැම අතින්ම එක සමාන නොවන බැවින්, පුද්ගලයන් දෙදෙනෙකු එක සමාන ගැටලුවලට මුහුණ දෙන විට, ඔවුන් දෙදෙනා සර්වසම තීරණ නොගන්නවා විය හැකියි. එහෙත්, තමන්ගේ තත්වයන්ට සමාන තත්වයන්ට මුහුණ පා සිටි වෙනත් අය තීරණ ගත්තේ කෙසේදැයි අසා දැනගැනීම උපකාරවත් වෙන්නට පුළුවනි. ඔවුන් ගත් තීරණය ගැන ඔවුන් දැන් දරන අදහස කෙබඳුදැයි ඔවුන්ගෙන් අසන්න. නිදසුනක් වශයෙන්, යම් ශිල්පයක් හැදෑරීමට තීරණය කිරීමේදී, මෙම ශිල්ප ක්‍රමයේ වාසි අවාසි යන දෙපැත්ත ගැනම තමාට පවසන ලෙස දැනටමත් එවන් ශිල්පයක නිරත වී සිටින අයගෙන් ඉල්ලා සිටින්න. ඔවුන් ගත් තීරණ නිසා නෙළාගෙන ඇති ප්‍රයෝජන මොනවාද? ඔවුන් මුහුණ දී ඇති අවාසි සහ මතු විය හැකි අන්තරායන් මොනවාද?

“හිතෛශී ලෙස කතා බහ කරන්නේ නැත්නම්, සැලසුම් අසාර්ථක වෙයි. එනමුත් උපදේශකවරුන් රාශියක් සිටින විට, සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැක” යනුවෙන් අපට අවවාද කර තිබේ. (හිතෝපදේශ 15:22, NW) ඇත්තවශයෙන්ම, වෙනත් අයගේ උපදෙස් පැතීමේදී හා ඔවුන්ගේ අද්දැකීම්වලින් ඉගෙනගැනීමේදී අප යමක් සම්පූර්ණයෙන්ම වටහාගත යුතුය. එනම්, අවසාන තීරණය අප පෞද්ගලිකව ගන්නා තීරණයක් බවත්, ඒ හා සමඟ එන ඕනෑම වගකීමක් අප දැරිය යුතු බවත්ය.—ගලාති 6:4, 5, NW.

හොඳින් පුහුණු කරන ලද හෘදය සාක්ෂියට අවනත වෙන්න

අපගේ ජීවිතය සකස් කරගැනීමට අප තෝරාගන්නාවූ මූලික ප්‍රතිපත්තිවලට අනුකූලව තීරණ ගැනීමේදී හෘදය සාක්ෂිය අපට මහෝපකාරී වෙයි. මින් අදහස් කරන්නේ ක්‍රිස්තියානියෙකු තමන්ගේ හෘදය සාක්ෂිය දෙවිගේ සිතිවිලිවලට අනුගතව පුහුණු කළ යුතු බවයි. (රෝම 2:14, 15) දෙවිගේ වචනය අපට කියන්නේ මෙසේයි. “ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු ඔබේ මාවත් සමතලා කරනවා ඇත.” (හිතෝපදේශ 3:6) ඇත්තවශයෙන්ම, ඇතැම් පැතිවලදී පුද්ගලයන් දෙදෙනෙකුට හොඳින් පුහුණු කරනු ලැබූ හෘදය සාක්ෂියක් තිබුණද, ඔවුහු වෙනස් නිගමනවලට එළඹිය හැකි අතර, ඒ අනුව වෙනස් තීරණ ගනිති.

එහෙත්, යම් ක්‍රියාවක් දෙවිගේ වචනයේ ඍජුවම හෙළා දැක තිබෙනවා නම්, හොඳින් පුහුණු කරනු ලැබූ හෘදය සාක්ෂියක් ඇති තැනැත්තෙකු කිසිවිටෙකත් ‘ඍජු මාවතෙන් ඉවතට පනින්නේ නැත.’ නිදසුනක් වශයෙන්, බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරනු නොලැබූ හෘදය සාක්ෂියක් ඇති පිරිමියෙක් සහ ගැහැනියක් තමන් එකිනෙකාට ගැළපෙනවාදැයි සොයා බැලීමට විවාහයට පෙර එකට ජීවත් වෙන්නට පුළුවන. තමන් ඥානවන්ත තීරණයක් ගත්තායයි ඔවුන් සිතනවා විය හැකියි. හදිසියේ අඥාන විවාහයක් කරගන්නවාට වඩා ඒක හොඳයි කියාද ඔවුන් තර්ක කරනවා විය හැකියි. මේ ක්‍රියාව ගැන ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ව හෙළා නොදකින්නට පුළුවන. එහෙත්, ලිංගිකත්වය හා විවාහය ගැන දෙවිගේ දෘෂ්ටිය දරන ඕනෑම කෙනෙකු දුරාචාරමය වූ එවන් තාවකාලික සැලසුමක් ගැන හිතන්නේවත් නැත.—1 කොරින්ති 6:18; 7:1, 2; හෙබ්‍රෙව් 13:4.

ඔබේ තීරණ අනුන්ට බලපාන ආකාරය

බොහෝවිට ඔබ ගන්නා තීරණ අනුන්ටද බලපාන්නට පුළුවන. එමනිසා කිසිවිටෙකත් අඥාන, මෝඩ තීරණ ගන්නට එපා. මෙවන් තීරණවලින් ඔබේ මිතුරන්, පවුලේ අය සහ ඒ සියල්ලන්ට වඩා දෙවි සමඟ ඇති ඔබේ සම්බන්ධතාව උවදුරේ හෙළන්නට පුළුවන. හිතෝපදේශ 10:1හි සඳහන් කරන්නේ මෙසේයි. “ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීති කරන්නේය. එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.”

අනෙක් අතට, ඇතැම් අවස්ථාවලදී මිතුරන් කරගන්නේ කාවද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීම අවශ්‍ය බව වටහාගන්න. මෙය මෙසේ උපහැරණය කරමු. ශුද්ධ ලියවිලිවලට පටහැනි බවට ඔබ දන්නාවූ ඔබ කලින් වැලඳගෙන සිටි යම් ආගමික මතයන් ප්‍රතික්ෂේප කරන්නට ඔබ තීරණය කරනවා විය හැකියි. නොඑසේනම්, ඔබ දැන් පිළිගෙන ඇති දිව්‍යමය මාර්ගෝපදේශවලට ඔබේ ජීවිතය අනුගත කිරීමට ඔබ ආශාවක් දක්වන නිසා ඔබගේ පෞද්ගලිකත්වයේ මහත් වෙනස්කම් කිරීමට ඔබ තීරණය කරනවා විය හැකියි. මෙහිදී ඔබ ගන්නා තීරණයට ඔබේ මිතුරන් හෝ පවුලේ අය කැමති නැති වෙන්නට පුළුවන. නමුත් දෙවිව සතුටු කිරීම සඳහා අප විසින් ගනු ලබන ඕනෑම තීරණයක් ඥානවන්ත තීරණයකි.

ඥානවන්තව වඩාත් වැදගත්ම තීරණය ගන්න

සාමාන්‍යයෙන් මිනිසුන් නොදන්නවා වුවද, අද දින ජීවත් වන බොහෝදෙනෙකු ජීවිතය හා මරණය සම්බන්ධ තීරණයක් ගත යුතුව ඇත. ක්‍රිස්තු පූර්ව 1473දී පොරොන්දු දේශය අද්දර කඳවුරු බැඳ සිටි ඉපැරණි ඊශ්‍රායෙලිතයන්ද මුහුණ දුන්නේ ඒ හා සමාන තත්වයකටයි. දෙවි වෙනුවෙන් කතා කරන්නා හැටියට මෝසෙස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද ඔබ ඉදිරියෙහි තැබූ බවට අද ඔබට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් ඔබත් ඔබේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන, යෙහෝවා ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට ඔබ වාසය කරන පිණිස, ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කොට, ඔහුගේ හඬට කීකරු වී, ඔහුට ඇලුම්ව සිටින්න.”—ද්විතීය කථාව 30:19, 20.

බයිබල් අනාවැකිවලින් හා කාල නිර්ණයෙන් පෙනී යන්නේ අප ජීවත් වෙන්නේ ‘කටයුතු කිරීමට අසීරු කාලවල’ බවත්, ‘මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින්’ තිබෙන බවත්ය. (2 තිමෝති 3:1; 1 කොරින්ති 7:31; NW) පුරෝකථනය කරන ලද මෙම වෙනස්කම්, පිරිහුණු මිනිස් සමාජයේ විනාශයත් සමඟින් නිමාවට පත් වනු ඇති අතර, ඉන්පසු ඒ වෙනුවට දෙවි විසින් ධර්මිෂ්ඨ නව ලොවක් බිහි කරනු ඇත.

අප සිටින්නේ දෙවිගේ නව ලොව අද්දරයි. දෙවිගේ රාජ්‍යය යටතේ සදාකාල ජීවනය භුක්ති විඳීමට ඔබ එයට ඇතුල් වනු ඇද්ද? නැත්නම්, සාතන්ගේ සමාජ ක්‍රමය සහමුලින්ම විනාශ වන විට, මිහිතලයෙන් ඔබව ඉවත් කරනු ලැබේවිද? (ගීතාවලිය 37:9-11; හිතෝපදේශ 2:21, 22) දැන් අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි තීරණය කිරීම ඔබ සතු දෙයකි. ඇත්තටම මෙම තීරණය ජීවනය හෝ මරණය හා බැඳි තීරණයකි. හරි තීරණය හෙවත් ඥානවන්තම තීරණය ගැනීම සඳහා දෙනු ලබන උපකාර ඔබ පිළිගන්නවාද?

ජීවනය ලබාගැනීම වෙනුවෙන් තීරණයක් ගැනීමේදී මුලින්ම කළ යුතු වන්නේ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් හෙවත් ඒ සඳහා ඉටු කළ යුතු අවශ්‍යතාවන් ගැන ඉගෙනගැනීමයි. මෙම අවශ්‍යතාවන් නිවැරදි ලෙස ඉගැන්වීමට පල්ලි බොහෝ සෙයින් අසමත් වී තිබේ. ඒවායේ නායකයන් කර තිබෙන්නේ බොහෝ විට මිනිසුන්ව මුළා කොට බොරු දේවල් විශ්වාස කිරීමටත් දෙවිව අසතුටු කරවන දේවල් කිරීමටත් සැලැස්වීමයි. දෙවිට “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” නමස්කාර කිරීමට එක් එක් කෙනා පෞද්ගලිකව තීරණය කිරීමේ අවශ්‍යතාව පහදා දීම එම නායකයන් විසින් නොසලකාහරිනු ලැබ ඇත. (යොහන් 4:24, NW) එමනිසා බොහෝදෙනෙකු දෙවිට ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කරන්නේ නැත. එහෙත් යේසුස් පැවසූ දේ සැලකිල්ලට ගන්න. “මට පක්ෂව නොසිටින්නා මට විරුද්ධය. මා සමඟ රැස් නොකරන්නා විසුරුවාහරියි.”—මතෙව් 12:30, NW.

දේවවචනය පිළිබඳ දැනුම වඩාත් හොඳින් ලබාගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ජනයාට ඉතා ප්‍රීතියෙන් උපකාර කරති. යම් පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට, පහසු තැනක සහ පහසු වේලාවක ඔවුහු නිතිපතා බයිබල් පාඩම් පවත්වති. මෙම සැලැස්මෙන් ප්‍රයෝජන ගැනීමට කැමති අය, තමන්ගේ ප්‍රදේශයේ වෙසෙන සාක්ෂිකරුවන්ට හෝ මුරටැඹ සඟරාවේ ප්‍රකාශකයන්ට ලිවිය යුතුයි.

ඇත්තෙන්ම, සමහරක් අයට දැනටමත් දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැන මූලික දැනුමක් තිබෙන්නට පුළුවන. බයිබලයේ සත්‍යතාව සහ එහි විශ්වසනීයභාවය ඔවුන් ඒත්තුගෙන පවා තිබෙනවා විය හැකියි. එහෙත්, ඔවුන්ගෙන් සෑහෙනදෙනෙකු දෙවිට කැපවීමට තමන් ගත යුතු තීරණය ප්‍රමාද කර තිබේ. ඒ මන්ද? ඒ සඳහා හේතු කිහිපයක් තිබිය හැකියි.

එම තීරණය ගැනීමේ වැදගත්කම ගැන සමහරවිට ඔවුන් එතරම් වටහාගෙන නොතිබෙනවා විය හැකිද? යේසුස් පැහැදිලිව පැවසුවේ මෙසේයි. “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි’ කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.” (මතෙව් 7:21, NW) බයිබලය පිළිබඳ දැනුමක් ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ අනුව ක්‍රියා කිරීමද අවශ්‍යයි. මුල් ක්‍රිස්තියානි සභාව මේ අතින් ආදර්ශයක් තැබීය. පළමු සියවසේ විසූ ඇතැම් අය ගැන අපට මෙසේ කියවන්නට තිබේ. “ඔවුන්, දෙවිගේ රාජ්‍යය ගැනද යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය ගැනද වූ ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටි ෆිලිප්ව විශ්වාස කොට පුරුෂයෝ සහ ස්ත්‍රීහුද බව්තීස්ම වූහ.” (ක්‍රියා 2:41; 8:12, NW) මෙසේ, යම් පුද්ගලයෙක් දෙවිගේ වචනය මුළු හදින්ම වැලඳගෙන තිබේ නම්, එහි කියන දේ විශ්වාස කරන්නේ නම්, තමන්ගේ ජීවිතය දෙවිගේ ප්‍රමිතිවලට අනුකූලව ගෙනැවිත් තිබේ නම්, ඔහුගේ කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කිරීමට තිබෙන බාධාවන් කවරේද? (ක්‍රියා 8:34-38) ඇත්තවශයෙන්ම, දෙවි විසින් පිළිගනු ලැබීමට නම්, ඔහු මෙම පියවර ගත යුත්තේ කැමැත්තෙන්ම සහ ප්‍රීතිමත් සිතකිනි.—2 කොරින්ති 9:7.

තමන්ගේ ජීවිතය දෙවිට කැප කිරීමට තරම් ප්‍රමාණවත් දැනුමක් තමන්ට නැති බව ඇතමෙකුට හැඟෙන්නට පුළුවන. නමුත් ජීවිතයේ නව මාවතකට පිවිසෙන ඕනෑම කෙනෙකුට ඒ ගැන තිබෙන්නේ සීමිත දැනුමකි. යම් වෘත්තියක නියැලී සිටින්නෙක්, තමන් අද දින දන්නාවූ දේවල් තම වෘත්තිය ආරම්භයේදීද තමාට තිබූ බව කියා සිටින්නේද? එලෙසම, අද දිනත් දෙවිට සේවය කිරීමට තීරණය කිරීමේදී හුදෙක් අවශ්‍ය වන්නේ මූලික බයිබල් ඉගැන්වීම් හා ප්‍රතිපත්ති ගැන දැනුමක් තිබීම හා ඒවාට අනුකූලව ජීවත් වීමට අවංක ආශාවක් තිබීමය.

ඇතැම් අය තමන්ගේ තීරණය ප්‍රමාද කරන්නේ තමන්ට ඊට අනුකූලව ජීවත් වීමට බැරි වෙයි යන භය නිසාද? මිනිස් බැඳීම් බොහොමයක් තුළ යම් අසාර්ථකත්වයක් තිබෙන බව සැලකිල්ලට ගැනීම සාධාරණය. විවාහ වී පවුලක් නඩත්තු කිරීමට තීරණය කරන පුද්ගලයෙකුට තමන් තවම ඒ සඳහා සූදානම් නැති බව හැඟී යා හැකියි. නමුත් ඒ සඳහා ඔහු දෙන විවාහ පොරොන්දුව, තමන්ට හැකි උපරිම හොඳින් එම වගකීම ඉටු කිරීමට ඔහුට මහත් අනුබලයකි. ඒ හා සමානව, වාහන බලපත්‍රයක් අලුතෙන් ලබාගත් යෞවනයෙක් පාරේ සිදු වන රිය අනතුරු ගැන යම් භයක් ඇතුව සිටින්නට පුළුවන. විශේෂයෙන්ම මෙම අනතුරුවලට ගොදුරු වන්නේ වැඩිහිටියන්ට වඩා යෞවනයන් බව සංඛ්‍යා ලේඛන මාර්ගයෙන් ඔහු දැනගෙන සිටින්නටද පුළුවන. කෙසේවෙතත්, මේවා දැන සිටීම ඔහුට ප්‍රයෝජනවත් විය හැකි අතර, වඩාත් සුපරීක්ෂාවෙන් වාහන පැදවීමට එමගින් ඔහු පෙලඹෙනවා විය හැකියි. නමුත් වාහන බලපත්‍රයක් ලබාගැනීමෙන් වැළකී සිටීම ඊට විසඳුම නොවෙයි!

ජීවනය අත් කරගැනීම සඳහා තීරණයක් ගන්න!

වත්මන් දේශපාලන, ආර්ථික හා ආගමික සමස්ත සමාජ ක්‍රමයද ඊට අනුබල දෙන අයද ඉතාමත් ළඟදී පොළොවෙන් තුරන් වන බව බයිබලය පෙන්නුම් කරයි. එහෙත්, ජීවනය සඳහා ඥානවන්ත ලෙස තීරණයක් ගෙන තිබෙන හා ඒ අනුව ක්‍රියා කරන අය ඉතිරි වනු ඇත. නව ලෝක සමාජයක න්‍යෂ්ටිය ලෙස, ඔවුන් මේ පොළොව මුලින්ම තිබූ දෙවි අදහස් කළාවූ පාරාදීසමය තත්වයට පත් කිරීමට දායක වෙනවා ඇති. ඔබ දෙවිගේ මඟ පෙන්වීම යටතේ එම ප්‍රීතිමත් කාර්යයට සතුටින් සහභාගි වනු ඇද්ද?

එසේනම්, දේවවචනය අධ්‍යයනය කිරීමට තීරණය කරන්න. දෙවිව සතුටු කිරීම පිණිස දිව්‍යමය අවශ්‍යතා ගැන ඉගෙනගැනීමට තීරණය කරන්න. තවද එම අවශ්‍යතා සපුරාලීමටද තීරණය කරන්න. මේ සියල්ලටම වඩා ඔබ ගත් තීරණයට ඇලී සිට, එයට අනුකූලව ජීවත් වෙන්න තීරණය කරන්න. කෙටියෙන්ම කියතොත්, ජීවනය අත් කරගැනීම සඳහා තීරණයක් ගන්න!

[4වන පිටුවේ පින්තූර]

බැරෑරුම් තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ගන්න

[5වන පිටුවේ පින්තූරය]

යම් වෘත්තියක් හෝ රැකියාවක් තෝරාගැනීමේදී අනුන්ගේ උපදෙස්වලට සවන් දෙන්න

[7වන පිටුවේ පින්තූර]

දැන් දෙවිට සේවය කිරීමට තීරණය කරන අය පොළොව පාරාදීසයක් කිරීමට දායක වනු ඇත