Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, යෙහෝවාට ඔබින ලෙස ගමන් කරන්න

යෞවනයෙනි, යෙහෝවාට ඔබින ලෙස ගමන් කරන්න

යෞවනයෙනි, යෙහෝවාට ඔබින ලෙස ගමන් කරන්න

ක්‍රිස්තියානි යෞවනයන්ගෙන් සමහරෙකුට තමන්ගේ නිවෙස්වලින්ද තමන් වෙසෙන ප්‍රදේශයේ පිහිටි සභාවලින්ද තාවකාලිකව වෙන් වී ජීවත් වීමට සිදු වී තිබෙනවා. සමහරෙකු එවන් තීරණයක් ගෙන තිබෙන්නේ තමන්ගේ ආත්මික ක්‍රියාකාරකම් පුළුල් කිරීම සඳහායි. තවත් සමහරෙකුට තමන්ගේ නිවෙස් අත්හැරීමට සිදු වී තිබෙන්නේ මෙම ලෝකයේ කාරණා සම්බන්ධයෙන් ඔවුන් ගන්නාවූ මධ්‍යස්ථ ස්ථාවරය නිසයි. (යෙසායා 2:4; යොහන් 17:16) සමහර රටවල අඛණ්ඩතාව රකින යෞවනයන්ට “සීසර්” විසින් සිරදඬුවම් දී තිබෙනවා. නැතහොත් ඔවුන්ව සිවිල් ජන සේවාවන්වල යොදවා තිබෙනවා. *මාක් 12:17, NW; තීතස් 3:1, 2.

මෙම යෞවනයන් ඔවුන්ගේ මධ්‍යස්ථ ස්ථාවරය නිසා සිරදඬුවම් විඳින අතරතුරේදී, සමහර විට ඔවුන්ට දීර්ඝ කාලයකට අපරාධකරුවන් සමඟ එකට කල් යවන්න සිදු වෙනවා. වෙනත් හේතූන් නිසා නිවෙස් හැර යන යෞවනයන්ටද පහත් සදාචාරමය වාතාවරණයක ජීවත් වීමට සිදු වී තිබෙනවා. ඉතින් මෙවැනි වාතාවරණයක ජීවත් වීමට සිදු වී තිබෙන මෙම තරුණ ක්‍රිස්තියානීන් හෝ අනෙකුත් යෞවනයන් “දෙවිට ඔබින ලෙස දිගටම කටයුතු” කිරීමේදී අද්දැකීමට සිදු වන පීඩනයන්ට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? (1 තෙසලෝනික 2:12, NW) ඒ වගේම, අනාගතයේදී අද්දැකිය හැකි ඕනෑම අයහපත් තත්වයකට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ව සූදානම් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද?—හිතෝපදේශ 22:3.

මෙම යෞවනයන් මුහුණ දෙන අභියෝග

“මගේ දෙමාපියන්ගේ රැකවරණයෙනුත් සභාවේ මාව හොඳින් හඳුනන වැඩිමහල්ලන්ගේ ප්‍රේමණීය අවේක්ෂණයෙනුත් ඈත් වෙලා ඉන්න එක මට හරිම අමාරු දෙයක් වගේම භය හිතෙන දෙයක් වුණා.” එසේ පැවසුවේ අවුරුදු 3කට වඩා වැඩි කාලයක් නිවසෙන් බැහැරව සිටීමට සිදු වූ 21වන වියේ පසු වන ටාකස්. * “සමහර වෙලාවට මට කර කියා ගන්න දෙයක් නැහැ වගේ දැනුණා” කියා ඔහු තවදුරටත් පැවසුවා. විසිදෙහැවිරිදි පීට්‍රෝට අවුරුදු දෙකකට වැඩි කාලයක් නිවසෙන් බැහැරව ජීවත් වීමට සිදු වුණා. “මගේ ජීවිතේ පළමුවතාවට මගේ විනෝදාංශ මොනවාද මගේ ආශ්‍රිතයන් කවුද කියන එක ගැන තනියම තීරණය කරන්න මට සිදු වුණා. මගේ තේරීම් හැම විටම හරි තේරීම් වුණේ නැහැ. නිදහස වැඩි වෙනකොට වගකීමුත් වැඩි වෙනවා. ඒක සමහර වෙලාවට කරදරයක් වගේ දැනුණා” යයි ඔහු කියයි. මෙවැනි තත්වයන්ට මුහුණ දෙන ක්‍රිස්තියානි යෞවනයන්ව නිතර මුණගැසෙන ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන ටාසොස් මෙසේ පවසනවා. “ඇදහිලිවන්තයන් නොවන තුල්‍යයන්ගේ නරක කතා විලාසය, කැරලිකාරකම, ප්‍රචණ්ඩකාරී හැසිරීම වැනි වැරදි ආභාෂයන් දුර දිග නොබලා කටයුතු කරන අනාරක්ෂිත තත්වයක සිටින යෞවනයන්ට පහසුවෙන් හුරු වෙන්න පුළුවන්.”

බයිබල් ප්‍රතිපත්ති සඳහා ගරුත්වයක් නැති මිනිසුන් සමඟ ගැවසෙමින් ඔවුන් සමඟ එකට වැඩ කිරීමට සිදු වන යෞවනයන් තම තුල්‍යයන් තුළ තිබෙන ශුද්ධ ලියවිලිවලට පටහැනි මෙන්ම දුරාචාරමය හැසිරීම අනුකරණය කිරීමේ උගුලට නොවැටීමට වගබලා ගත යුතුයි. (ගීතාවලිය 1:1; 26:4; 119:9) මෙවැනි තත්වයක් යටතේදී පෞද්ගලික පාඩම, රැස්වීම්වලට සහභාගි වීම සහ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්වල නොකඩවා සහභාගි වීම අපහසු දෙයක් මෙන් පෙනිය හැකියි. (පිලිප්පි 3:16) ඒ වගේම ආත්මික ඉලක්ක තබාගැනීමත් ඒවා අත් කරගැනීමට වෙහෙසීමත් අපහසු විය හැකියි.

ඇදහිලිවන්ත ක්‍රිස්තියානි යෞවනයන්ට ඔවුන් හැසිරෙන හා කතා කරන ආකාරයෙන් යෙහෝවාව සතුටු කරන්න කැමැත්තක් තිබෙන බව සහතිකයි. ඔවුන් තම ස්වර්ගික පියාට දක්වන පක්ෂපාතකම නිසා ඔහුගේ ආයාචනය වන “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස නුඹ ප්‍රඥාවන්තව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න” යන්නට කීකරු වීමට උත්සාහ දරනවා. (හිතෝපදේශ 27:11) තමන්ගේ පෙනුම හා හැසිරීම අන් අය යෙහෝවා ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් දරන ආකල්පයට බලපාන බව ඔවුන් තේරුම්ගෙන තිබෙනවා.—1 පේතෘස් 2:12.

මෙම යෞවනයන් හුඟදෙනෙක් පළමු ශතවර්ෂයේ සිටි ඔවුන්ගේ සහෝදරයන් හා සමාන වීමට තමන්ගේ උපරිමය කිරීම පැසසුමට ලක් කළ යුතුයි. ඒ සහෝදරයන් ගැන ප්‍රේරිත පාවුල් මෙහෙම යාච්ඤා කළා. “සම්පූර්ණ ලෙස යෙහෝවාව සතුටු කිරීමේ අරමුණින්, ඔහුට ඔබින ලෙස ගමන් කිරීමට ඔබට හැකියාව දෙන මෙන්ද . . . යහපත් ක්‍රියාවලින් පල දරමින්ද . . . ප්‍රීතියෙන් යුක්තව සම්පූර්ණ ලෙස විඳදරාගෙන සිටීමටත් බොහෝ සෙයින් ඉවසීමටත් හැකි වන ලෙස . . . ඉල්ලන්නෙමු.” (කොලොස්සි 1:9-11, NW) දේවභයැති යෞවනයන් සතුරුකම් සහ රූප නමස්කාරයෙන් ගහන නුහුරු නුපුරුදු තත්වයන් යටතේදී පවා දෙවිට ඔබින ලෙස කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳ ආදර්ශ බොහොමයක් බයිබලයෙහි සපයා තිබෙනවා.—පිලිප්පි 2:15.

‘යෙහෝවා යෝසෙප් සමඟ සිටියා’

යාකොබ්ගේ සහ රාකෙල්ගේ ආදරණීය පුත් යෝසෙප්ට යෞවන වයසේදී තම දේවභයැති පියාගේ රැකවරණයෙන් ඈත් වී බොහෝ දුර බැහැරට යන්න සිදු වුණා. ඔහුට එසේ යන්න සිදු වුණේ ඔහුව වහලෙකු ලෙස ඊජිප්තුවට විකුණුව නිසයි. යෝසෙප් කඩිසර, විශ්වාසවන්ත සහ සදාචාරසම්පන්න තරුණයෙකු ලෙස කදිම ආදර්ශයක් තැබුවා. යෙහෝවාගේ නමස්කාරකයෙක් නොවූ පෝතිඵර්ට වහලෙක් ලෙස සේවය කරන්න සිදු වුණත් ඔහු එය කළේ ඉතා වගකීමෙන් යුතුව සහ උද්‍යෝගිමත්වයි. එමනිසා ඔහුගේ ස්වාමියා නිවසේ සියලු කටයුතු බලා කියා ගැනීමේ වගකීම ඔහුට භාර කළා. (උත්පත්ති 39:2-6) යෙහෝවා ඉදිරියේ යොසෙප් තම අඛණ්ඩතාව රක්ෂා කළ නිසා ඔහුට සිරබත් කෑමට සිදු වුණත්, “මගේ අඛණ්ඩතාවෙන් ඇති පලේ මොකක්ද?” කියා නම් ඔහු කල්පනා කළේ නැහැ. සිරගෙයි සිටින විටත් ඔහු යහපත් ගුණාංග විදහාපෙන්නූ අතර වැඩි කාලයක් යන්න පෙර සිරගෙයි මෙහෙයුම් කටයුතුවල බොහෝ වගකීම් උසුලන්නත් ඔහුට හැකි වුණා. (උත්පත්ති 39:17-22) යෙහෝවා ඔහුට ආශීර්වාද කළා. ‘යෙහෝවා යෝසෙප් සමඟ සිටියා’ කියා උත්පත්ති 39:23හි සඳහන් වෙනවා.

තම දේවභයැති පවුල් සාමාජිකයන්ගෙන් ඈත්ව සිටි නිසා යෝසෙප්ට තමා අවට සිටි මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමාන වී ඊජිප්තුවරුන්ගේ දුරාචාර ජීවිත ක්‍රමය අනුකරණය කිරීම මොන තරම් පහසු දෙයක් වන්නට ඇද්ද! ඒත් ඔහු දේවප්‍රතිපත්ති රැකගෙන කොතරම් දරුණු පරීක්ෂා පැමිණියත් නිකැළැල්ව සිටියා. පෝතිඵර්ගේ භාර්යාව ඇයත් සමඟ ලිංගික සබඳකම් පවත්වන්න කියා ඔහුට කොතරම් ඇවිටිලි කළත් ඔහුගේ ස්ථිර පිළිතුරු වූයේ, ‘මම මේ මහත් දුෂ්ටකම කර දෙවිට විරුද්ධව කෙසේ පව් කරන්නද?’ යන්නයි.—උත්පත්ති 39:7-9.

නුසුදුසු ආශ්‍රිතයන්, දුරාචාරමය දේ ඇතුළත් විනෝදාංශ, කාමුක දර්ශන සහ පහත් සංගීතය පිළිබඳව බයිබලය උපයෝගි කරගෙන අද දින දෙන අනතුරු ඇඟවීම්වලට යොවුන් වියේ පසු වන සාක්ෂිකරුවන් අවධානය දිය යුතුයි. “යෙහෝවාගේ ඇස් සෑම තැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන” බව ඔවුන් හොඳින් තේරුම්ගෙන ඇත.—හිතෝපදේශ 15:3.

මෝසෙස් ‘පාපයේ සැප භුක්ති විඳීම’ ප්‍රතික්ෂේප කළා

මෝසෙස් හැදී වැඩුණේ රූප නමස්කාරයට සහ විනෝදකාමිත්වයට මුල් තැන දෙන පාරාවෝගේ නිවසේ. බයිබලයේ ඔහු ගැන පවසන්නේ මෙයයි. “ඇදහිල්ලෙන්, මෝසෙස් . . . , තමන් පාරාවෝගේ දුවගේ පුත්‍රයායයි හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කර, තාවකාලික වූ පාපයේ සැප භුක්ති විඳිනවාට වඩා දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තේය.”—හෙබ්‍රෙව් 11:24, 25, NW.

ලෝකය සමඟ මිත්‍රකම් පැවැත්වීමෙන් යම් වාසි ප්‍රයෝජන ලැබුණද එය තාවකාලිකයි. ඒවාට පැවතිය හැක්කේ මේ ලෝකය පවතින තාක් කල් පමණයි. (1 යොහන් 2:15-17) ඔබට හිතෙන්නේ නැද්ද මෝසෙස්ගේ ආදර්ශය අනුගමනය කිරීම ඊට වඩා හොඳ දෙයක් කියා? ‘ඔහු අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 11:27) ඔහු තම දේවභයැති මුතුන්මිත්තන්ට තිබුණ ආත්මික උරුමය ගැන නිතර දෙවේලේ සිහි කළා. ඔහු දෙවිගේ කැමැත්ත කිරීමට ඉලක්ක කරගනිමින් යෙහෝවාගේ අරමුණ ඔහුගේ ජීවිතේ අරමුණ කරගත්තා.—නික්මයාම 2:11; ක්‍රියා 7:23, 25.

දේවභයැති යෞවනයන්ට අභක්තික, අයහපත් වාතාවරණයක් තුළ කල් යැවීමට සිදු වන විට, පෞද්ගලික පාඩම මගින් “අදෘශ්‍යමාන තැනැත්තා” වන යෙහෝවාව වඩාත් හොඳින් දැන හඳුනා ගෙන ඔහු සමඟ තිබෙන පෞද්ගලික සබඳතාව ශක්තිමත් කරගැනීමට ඔවුන්ට හැකියි. නොකඩවා රැස්වීම්වලට සහභාගි වීම සහ ක්ෂේත්‍ර සේවයේ යෑම ඇතුළු සෑම ක්‍රිස්තියානි ක්‍රියාකාරකමක් මගිනුත් මෙම යෞවනයන්ට තම මනස ආත්මික දේ කෙරෙහි යොමු කර තබාගැනීමට හැකි කරවයි. (ගීතාවලිය 63:5; 77:12) මෝසෙස්ට තිබුණ ආකාරයේ ශක්තිමත් ඇදහිල්ලක් හා බලාපොරොත්තුවක් ඇති කරගැනීමට ඔවුන් වෑයම් කළ යුතුයි. ඒ වගේම යෙහෝවාව තම මිතුරා කරගැනීමට සතුටු වන ඔවුන් තම සිතුවිලි සහ ක්‍රියා ඔහුට ඔබින ආකාරයට අනුකූල කරගැනීමට වෑයමක් ගත යුතුයි.

දෙවිට ප්‍රශංසාව ගෙන දෙන ආකාරයකින් ඇය කතා කළා

නිවසෙන් ඈත් වී සිටින විට ආදර්ශවත් ලෙස හැසිරුණු තවත් යෞවන දරුවෙක් සිටියා. ඒ දෙවිගේ ප්‍රොපේතවරයෙක් වූ එලිෂාගේ දවස්වලදී සිරියානුවන් විසින් වහල්කමට ගෙන ගිය ඊශ්‍රායෙල් ජාතික දැරියයි. ඇය සේවය කළේ කුෂ්ඨ රෝගයෙන් පෙළුණු සිරියානු හමුදාපති වූ නාමන්ගේ බිරිඳගේ සේවිකාව ලෙසයි. මෙම දැරිය තම ස්වාමිදුවට මෙහෙම කිව්වා. ‘මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳය. එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුව කරයි.’ ඇගේ සාක්ෂිය නිසා නාමන් ඊශ්‍රායෙලයේ සිටි එලිෂාව මුණගැසී කුෂ්ඨය සුව කරගත්තා. ඒ විතරක් නෙමෙයි නාමන් යෙහෝවාට නමස්කාර කිරීමටත් පටන්ගත්තා.—2 රාජාවලිය 5:1-3, 13-19.

මෙම දැරියගේ ආදර්ශයෙන් පෙන්වන්නේ යෞවනයන් තම දෙමාපියන්ගෙන් ඈත් වී සිටියත් දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයකින් කතා කිරීමට තිබෙන අවශ්‍යතාවයි. එම දැරිය “මෝඩ” හෙවත් “අසභ්‍ය විහිළු” ඇතුළත් කතා විලාසයකට පුරුදු වී සිටියා නම් අවස්ථාවක් ආ විට බලපෑමකින් යුක්තව කතා කිරීමට ඇයට පහසුවක් නොදැනෙන්න ඉඩ තිබුණා.(එපීස 5:4; හිතෝපදේශ 15:2) තම මධ්‍යස්ථ ක්‍රියාකලාපය නිසා සිරගෙට යන්න සිදු වුණ විසිවන වියේ මුල්භාගයේ සිටි නීකෝ තම අතීතය මෙසේ ආවර්ජනය කරනවා. “මාත් තව සහෝදරයන් කිහිපදෙනෙකුත්, දෙමාපියන්ගේ සහ සභාවේ අධීක්ෂණයෙන් ඈත් වෙලා සිරකරුවන්ගේ ගොවිපොළක ඉන්නකොට අපේ කතා විලාසය හුඟාක් පහත් තත්වයකට වැටුණා. එය කොහෙත්ම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දුන්නේ නැහැ.” මේ කාරණය සම්බන්ධයෙන් පාවුල්ගේ මතු සඳහන් වන උපදේශය පිළිපැදීමට නීකෝට මෙන්ම වෙනත් අයටද උපකාරයක් ලබා දී තිබෙනවා. ඇත්තෙන්ම එය සතුටට හේතුවක්. “වේශ්‍යාකමද සියලු ආකාරයේ අපවිත්‍රකම හෝ ගිජුකම ඔබ අතරේ සඳහන්වත් නොකරන්න. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.”—එෆීස 5:3, NW.

යෙහෝවා ඔවුන්ට සැබෑ කෙනෙක් වුණා

පුරාණ බබිලෝනියේ සිටි දානියෙල්ගේ මිතුරන් තිදෙනාගේ අද්දැකීම, සුළු දේ ගැන විශ්වාසවන්තව සිටින්නා මහත් දේ ගැනත් විශ්වාසවන්තව සිටින බවට යේසුස් සඳහන් කළ ප්‍රතිපත්තියේ සත්‍යතාව තහවුරු කිරීමට සාක්ෂියක්. (ලූක් 16:10, NW) මෝසෙස්ගේ නීතියේ තහනම් කර තිබූ ආහාර අනුභව කරන්න කියා බල කරනු ලැබූ විට, තමන් පිට දේශයක සිටින නිසා කිරීමට වෙනත් දෙයක් නැතැයි කියමින් නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ඔවුනට හැකියාව තිබුණා. සුළු කාරණයක් මෙන් පෙනුණු දෙයක් පවා වැදගත් කොට සැලකීම නිසා ඔවුන් බොහෝ සෙයින් ආශීර්වාද ලැබුවා. ඔවුන් රජුගේ රස බොජුන් වළඳමින් සිටි අනෙකුත් සිරකරුවන්ට වඩා නිරෝගීභාවයෙන් සහ නැණ නුවණින් ඉදිරියෙන් සිටියා. මෙසේ සුළු කාරණවලදී විශ්වාසවන්තව සිටීම ඔවුන්ව ශක්තිමත් කළ බවට සැකයක් නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නමස්කාරය සඳහා පිහිටුවනු ලැබූ රූපයක් ඉදිරියේ වැඳ වැටීමේ මහත් පරීක්ෂාවට මුහුණු දුන් විට ස්ථිරව සිටීමට ඔවුන්ට හැකි වුණා.—දානියෙල් 1:3-21; 3:1-30.

මෙම යෞවනයන් තිදෙනා යෙහෝවාව සැලකුවේ සැබෑ පුද්ගලයෙක් ලෙසයි. තමන්ගේ නිවෙස්වලින් සහ දෙවිට නමස්කාරය පිරිනමන මධ්‍යස්ථානයෙන් ඈත් වී සිටියත් ලෝකයෙන් නිකැළැල්ව සිටීමට ඔවුනට අදිටනක් තිබුණා. (2 පේතෘස් 3:14) යෙහෝවා සමඟ තිබූ ඔවුන්ගේ සබඳතාව ඔවුන් කොතරම් අනර්ඝ ලෙස සැලකුවාද කිවතොත් ඒ වෙනුවෙන් තම ජීවිතය වුණත් පුද කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටියා.

යෙහෝවා ඔබව අත්හරින්නේ නැහැ

යෞවනයන් තමන් ආදරය කරන සහ විශ්වාසය තබන අයගෙන් ඈත් වූ විට ඔවුන්ට අනාරක්ෂිත බවක්, අස්ථිර බවක්, බියක් දැනෙනවා කියන එක තේරුම්ගත හැකි දෙයක්. එසේ දැනුණත් ‘යෙහෝවා ඔවුන්ව අත්හරින්නේ නැහැ’ යන්න කෙරෙහි පූර්ණ විශ්වාසය තබා පරීක්ෂා සහ පීඩාවලට මුහුණ දීමට ඔවුන්ට හැකියි. (ගීතාවලිය 94:14) එම යෞවනයන් ‘ධර්මිෂ්ඨකම නිසා දුක් විඳිනවා’ නම් ඔවුන්ට ‘ධර්මිෂ්ඨකමේ මාර්ගයේ’ ගමන් කිරීමට උපකාරය පිරිනමන්න යෙහෝවා සිටිනවා.—1 පේතෘස් 3:14; හිතෝපදේශ 8:21.

යෙහෝවා යෝසෙප්, මෝසෙස්, ඊශ්‍රායෙලිත වහල් දැරිය සහ විශ්වාසවන්ත හෙබ්‍රෙව් ජාතික යෞවනයන් තිදෙනාව හැම විටම ශක්තිමත් කර ඔවුන්ට බොහෝ ආශීර්වාද කළා. අද දින ‘ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන්’ කරන අයව ශක්තිමත් කිරීම සඳහා ඔහු තම ශුද්ධාත්ම බලය, වචනය සහ සංවිධානය යොදාගන්නා අතර, “සදාකාල ජීවනය” නමැති ත්‍යාගය ඔවුන් ඉදිරියේ තබා තිබෙනවා. (1 තිමෝති 6:11, 12) යෙහෝවාට ඔබින ආකාරයෙන් ගමන් කිරීම ඇත්තෙන්ම කළ හැකි දෙයක්. එමෙන්ම කිරීමට තිබෙන නැණවත්ම දෙයත් එයයි.—හිතෝපදේශ 23:15, 19.

[පාදසටහන්වල]

^ 2 ඡේ. වර්ෂ 1996 මැයි 1 මුරටැඹ කලාපයේ 18-20 දක්වා පිටු බලන්න.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

[25වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි, ඔබේ දරුවන්ව සූදානම් කරන්න!

“බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම් සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය.” (ගීතාවලිය 127:4) ඊගසක් ඉලක්කය වෙත ඉබේම යන්නේ නැහැ. එය දක්ෂ ලෙස ඉලක්කය වෙත යොමු කළ යුතුයි. ඒ හා සමානව දරුවන්ට දෙමාපියන්ගේ නිසි මඟ පෙන්වීම නොලැබුණ විට නිවසෙන් ඈත්ව ජීවත් වීමේදී පැනනඟින ගැටලුවලට මුහුණ දීමට ඔවුන් සූදානම් වන්නේ නැහැ.—හිතෝපදේශ 22:6.

බොහෝදුරට තරුණ අය ආවේගශීලියි. නැතහොත් ‘යොවුන් වියට ආවේණික වූ ආශාවන්ට’ වහල් වී කටයුතු කරනවා. (2 තිමෝති 2:22, NW) බයිබලයේ සඳහන් අනතුරු ඇඟවීම මෙයයි. “ඉපලද තරවටු කිරීමද ප්‍රඥාව දෙන්නේය. එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.” (හිතෝපදේශ 29:15) තරුණ වියේ පසු වන දරුවාගේ හැසිරීමට යම් සීමාවන් නොදැමුවහොත් නිවසෙන් ඈත් වී ජීවත් වීමට ඔහුට සිදු වන විට අද්දකින පීඩාකාරී තත්වයන්වලට මුහුණ දීමට ඔහුට නොහැකි වෙනවා.

මෙම සමාජ පිළිවෙළෙහි තිබෙන දුෂ්කරතා, පීඩන හා ජීවිතේ යථාර්ථයන් පිළිබඳව දෙමාපියන් දරුවන්ට පැහැදිලිවත් බැරෑරුම් ආකාරයෙනුත් පෙන්වා දිය යුතුයි. යෞවනයෙක් නිවසෙන් ඈත් වී ජීවත් වන විට මුහුණ දීමට සිදු විය හැකි අහිතකර වාතාවරණයන් ගැන දෙමාපියන් ඔවුන් අධෛර්යයට පත් නොවන අයුරින් ඔවුන්ට පැහැදිලි කළ යුතුයි. මෙම පුහුණුවත් දෙවි දෙන ප්‍රඥාවත් මගින් “අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද” ලැබෙයි.—හිතෝපදේශ 1:4.

තම දරුවන්ගේ හදවත් තුළ දෙවිගේ සාරධර්ම සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති පැලපදියම් කරන දෙමාපියන් ජීවිතයේ අභියෝගයන් සාර්ථකව ජයගැනීමට ඔවුන්ට හැකියාව ලබා දෙනවා. නොකඩවා පවුලක් හැටියට එකතු වී බයිබලය අධ්‍යයනය කිරීම, විවෘතව අදහස් ප්‍රකාශ කිරීම හා තම දරුවන්ගේ ශුභසිද්ධිය ගැන අව්‍යාජ උනන්දුවක් පෙන්වීම සාර්ථකත්වයට පිටිවහලක් වෙයි. දෙමාපියන් තම දරුවන්ට පසු කාලයේදී ස්වාධීනව කටයුතු කිරීමට හැකි වන පරිදි දේවප්‍රතිපත්ති මත පදනම් සමබර පුහුණුවක් ලබා දිය යුතු අතර එය ස්ථිර සහ සාධාරණ ආකාරයෙන් කළ යුතුයි. ලෝකයේ කොටසක් නොවී එහි ජීවත් විය හැකි බව දෙමාපියන්ට ඔවුන්ගේ ආදර්ශයෙන් දරුවන්ට ඉගැන්විය හැකියි.—යොහන් 17:15, 16.

[23වන පිටුවේ පින්තූරය]

සමහර ක්‍රිස්තියානි යෞවනයන්ට තම නිවෙස්වලින් වෙන්වීමට සිදු වී ඇත

[24වන පිටුවේ පින්තූර]

පරීක්ෂාවන්ට විරුද්ධ වීමෙන් යෞවනයන්ට යෝසෙප්ව අනුකරණය කරමින් සදාචාරාත්මකව පිරිසිදුව සිටිය හැකියි

[26වන පිටුවේ පින්තූර]

යෙහෝවාට ගෞරවය ගෙන දෙන අයුරින් කතා කළ ඊශ්‍රායෙල් වහල් දැරිවියව ආදර්ශයට ගන්න