Skip to content

පටුනට යන්න

සාඕ තෝමේ හා ප්‍රින්සිප් දිවයින්වල ශුභාරංචිය පල දරයි

සාඕ තෝමේ හා ප්‍රින්සිප් දිවයින්වල ශුභාරංචිය පල දරයි

සාඕ තෝමේ හා ප්‍රින්සිප් දිවයින්වල ශුභාරංචිය පල දරයි

සමහරවිට බොහෝදෙනෙක් සාඕ තෝමේ හා ප්‍රින්සිප් දිවයින් ගැන අසා නැතුවා ඇති. සාමාන්‍යයෙන් මේ දිවයින් ගැන සංචාරක සඟරාවල දැකිය නොහැකියි. ලෝක සිතියමේ මේවා දකින්න තිබෙන්නේ අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයට නුදුරින් ගිනියා බොක්කේ පිහිටි තිත් දෙකක් හා සමානවයි. සාඕ තෝමේ දිවයින සමකයට ඉතා ළංව පිහිටා තිබෙන අතර ඊට ඉතා ආසන්නව ඊශාන දිගින් ප්‍රින්සිප් දිවයින පිහිටා ඇත. වැසි සහිත තෙතමනය වැඩි දේශගුණයක් තිබෙන නිසා එහි පිහිටි මීටර් 2,000කට වැඩි උසක් දක්වා විහිදී යන කඳුවල බෑවුම් නීල වර්ණයෙන් දිස් වන වර්ෂා වනාන්තරවලින් වැසී තිබේ.

නිවර්තන කලාපයේ පිහිටි මෙම දිවයින් නිල්වන් ජලයෙන් වට වී තිබෙන අතර වෙරළබඩ තීරය දිගේ පොල් ගස් බහුලව දැකිය හැකියි. මෙහි වාසය කරන සුහද හදවත් ඇති මිත්‍රශීලී ජනයා අප්‍රිකානු හා යුරෝපීය සම්භවයකින් පැමිණෙන නිසා විවිධ සංස්කෘතිවල සිත්ගන්නාසුලු මිශ්‍රණයක් මෙම දිවයින්වල දක්නට තිබේ. මෙහි ජනගහනය 1,70,000ක් පමණ වන අතර, මොවුන්ගේ ජීවනෝපාය වන්නේ එම රටේ ප්‍රධාන අපනයන බෝගය වන කොකෝවා ඇතුළු විවිධ බෝග වගා කිරීම හා මසුන් මැරීමයි. පසුගිය වසර කිහිපයක සිට එහි වැසියන්ට දෛනික ආහාරය පවා ලබාගැනීම අමාරු දෙයක් වී තිබේ.

කෙසේවෙතත් මේ දිවයින්වල වාසය කරන වැඩි වන ජන පිරිසකගේ ජීවිතවලට විශාල වශයෙන් බලපා තිබෙන දෙයක් එක්දහස් නවසිය අනූ ගණන්වලදී සිදු විය. වර්ෂ 1993 ජූනි මාසයේදී සාඕ තෝමේ හා ප්‍රින්සිප් දිවයින් පාලනය කරන ආණ්ඩුව මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීතිමය වශයෙන් ලියාපදිංචි කර තිබේ. මේ නිසා මෙම දිවයින්වල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ දුෂ්කරතාවලින් පිරි කාල පරිච්ඡේදයක් නිමාවට පත් විය.

දුෂ්කරතා මැද වපුරන ලද බීජ

මේ දිවයින් දෙකට මුල්ම සාක්ෂිකරුවා පැමිණියේ 1950ගණන්වල මුල් කාලයේ බව පෙනෙන්න තිබේ. මේ කාලයේදී පෘතුගීසියට අයත් අප්‍රිකාවේ පිහිටි ජනපදවල සිට සිරකරුවන්ව මෙම දිවයින්වල පිහිටි ශ්‍රම කඳවුරුවල වැඩ කිරීමට යවන ලදි. අප්‍රිකානු ජාතිකයෙකු වූ මෙම සාක්ෂිකරුවා පූර්ණ කාලීන සේවකයෙකු වූ අතර ඔහුව මොසැම්බික් රටින් සාඕ තෝමේ දිවයිනට පිටුවහල් කරන ලදි. මෙයට හේතුව ඔහු මොසැම්බික් රටේ දේවරාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කිරීමයි. මේ සාක්ෂිකරුවා තනියම වෙහෙස මහන්සි වී දේශනා කළේය. මාස හයක් ඇතුළත ඔහුත් සමඟ ශුභාරංචිය දේශනා කිරීමට තවත් 13දෙනෙක් හවුල් වූහ. පසු කලෙක කලින් සඳහන් කළ හේතුව නිසා තවත් සාක්ෂිකරුවන්ව ඇන්ගෝලාවෙන් සාඕ තෝමේ දිවයිනට පිටුවහල් කරන ලදි. ඔවුහු මෙම දිවයිනේ සිරකරුවන්ව සිටි කාලයේදී එහි වැසියන්ට ශුභාරංචිය දේශනා කිරීමට හැකි සෑම ප්‍රස්තාවක්ම යොදාගත්හ.

වර්ෂ 1966 වන විට සාඕ තෝමේ දිවයිනේ තිබූ ශ්‍රම කඳවුරුවල සිටි සහෝදරයෝ සියලුදෙනාම අප්‍රිකානු මහාද්වීපයට ආපසු පැමිණියහ. ඉතිරිව සිටි රාජ්‍ය ප්‍රචාරකයන්ගේ කුඩා කණ්ඩායම ධෛර්යයෙන් යුතුව දේශනා කිරීමේ කටයුතු දිගටම කරගෙන ගියේය. මේ අය බයිබලය පාඩම් කිරීමට එකට එකතු වූ නිසා ඔවුන්ට වධ හිංසා කරන ලදි. පහර දෙන ලදි. මොවුන්ව ගොස් බලන්න හෝ දිරිගන්වන්න කිසිවෙක් ඒ කාලයේ සිටියේ නැත. පෘතුගීසි පාලනය යටතේ පැවති මෙම දිවයිනට 1975දී නිදහස ලැබුණු අතර රාජ්‍ය සත්‍යයේ බීජ ටිකෙන් ටික පල දරන්න පටන්ගත්තේය.

පුළුල් වීම හා ඉදි කිරීම

නීතිමය පිළිගැනීම ලැබුණු 1993 ජූනි මාසයේදී රාජ්‍ය ප්‍රචාරකයන් 100කගේ නව ඉහළ සංඛ්‍යාවක් වාර්තා විය. එම අවුරුද්දේදීම විශේෂ පුරෝගාමීහු පෘතුගීසියෙන් පැමිණියහ. පෘතුගීසි ක්‍රියෝල් භාෂාව ඉගෙනගැනීමට ඔවුන් වෑයම් කළ නිසා මෙම දිවයිනේ වැසියෝ ඔවුන්ට ප්‍රිය කළහ. රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීම සඳහා ඉඩමක් සෙවීමට ඒ කාලයේදී ප්‍රමුඛත්වයක් දී තිබිණ. මේ අවශ්‍යතාව ගැන දැනගත් මරියා ඇගේ කුඩා නිවස පිහිටා තිබූ ඉඩමෙන් භාගයක් පරිත්‍යාග කළාය. විශාල රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමට තරම් එම බිම් කොටස විශාල එකක් විය. ඇගෙන් පසු මෙම ඉඩම අයිති වීමට කිසිම ඥාතියෙකු ඇයට නොසිටි නිසා ඉඩම් සංවර්ධනය කර විකුණන අය මෙම ඉඩමට ඇහැ ගහගෙන සිටි බව මරියා දැන සිටියේ නැත. දවසක් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් ඇවිත් මරියා සමඟ කතා කළේය.

“ඔයාගේ ඉඩම පරිත්‍යාග කරපු හින්දා ඔයාට ලොකු පාඩුවක් වෙලා කියලා මට දැනගන්න ලැබුණා. ඔයාගේ ඉඩම නගරයේම පිහිටලා තියෙන හින්දා ඒක හුඟාක් වටිනවා කියලා ඔයා දන්නේ නැද්ද?” කියා ඔහු පැවසුවේය.

“මම මේ ඉඩම ඔයාට වික්කොත් මට කීයක් දෙනවාද?” කියා මරියා ඇසුවාය. මේ තැනැත්තා පිළිතුරක් නොදුන් නිසා මරියා මෙසේ පැවසුවාය. “මේ ලෝකයේ තියෙන සල්ලි ඔක්කොම ඔයා මට දුන්නත්, ඒක මදි. මොකද සල්ලිවලට ජීවනය ලබාගන්න බැහැ.”

“ඔයාට ළමයි නැහැ නේද?” කියා ඔහු ඇසුවේය.

මේ සාකච්ඡාව අවසන් කරමින් මරියා මෙසේ පැවසුවාය. “මේ ඉඩම අයිති යෙහෝවාට. අවුරුදු ගණනාවක ඉඳන් ඔහු මට මේක කුලියට දීල තියෙනවා. මම ඒක ආපහු ඔහුට දුන්නා. මගේ බලාපොරොත්තුව සදාකල් ජීවත් වෙන්නයි.” අනතුරුව ඇය මේ මිනිසාගෙන් මෙසේ ඇසුවාය. “මට සදාකාල ජීවනය දෙන්න ඔයාට පුළුවන්ද? බැහැනේ.” තවදුරටත් එකදු වචනයක්වත් නොකියා ඒ මිනිසා එතැනින් පිටත්ව ගියේය.

පෘතුගීසියෙන් පැමිණි ඉදි කිරීමේ දක්ෂතා තිබෙන සහෝදරයන්ගේ උපකාරය ඇතුව කාගෙත් සිත් ඇදගන්නා තට්ටු දෙකේ ගොඩනැඟිල්ලක් ප්‍රතිඵලයක් ලෙස සාදන ලදි. මෙහි බිම් මහල තිබෙන්නේ පොළොව යටයි. හොඳට ඉඩ කඩ තිබෙන රාජ්‍ය ශාලාවකින්ද නවාතැන් ගත හැකි කාමර කිහිපයකින්ද මෙම ගොඩනැඟිල්ල සමන්විතයි. වැඩිමහල්ලන්, සභා සේවකයන් හා පුරෝගාමීන් සඳහා පවත්වනු ලබන පාසැල් පැවැත්වීමට යොදාගත හැකි පන්ති කාමරද එහි තිබේ. සභා දෙකක් මෙහි රැස්වීම් පවත්වයි. නිර්මල නමස්කාරය සඳහා යොදාගනු ලබන මෙම සිත්ගන්නාසුලු අධ්‍යාපනික මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ මෙම දිවයිනේ අගනුවරෙහියි.

මෙසොෂි නගරයේ ජ්වලිතවත් ප්‍රචාරකයන් 60දෙනෙකුගෙන් යුත් සභාවක් තිබිණ. මෙහි රැස්වීම් පවත්වමින් තිබුණේ කෙසෙල් වත්තක තාවකාලිකව සාදා තිබූ රාජ්‍ය ශාලාවකයි. මේ නිසා සුදුසු රාජ්‍ය ශාලාවක් සඳහා අවශ්‍යතාව කාටත් දැකගත හැකි විය. මේ ගැන නගර සභාවට දැනුම් දෙන ලදි. කාරුණික ලෙස මේ ගැන සැලකිල්ල දැක්වූ නිලධාරීහු ප්‍රධාන පාරට මුහුණලා පිහිටි බිම් කොටසක් ලබාගැනීමට අවස්ථාව දුන්නෝය. පෘතුගීසියෙන් පැමිණි සහෝදරයන් කෙටි කාලීන ඉදි කිරීම් ක්‍රමය යොදාගනිමින් කළ උපකාරය නිසා මාස දෙකක් ඇතුළත අලංකාර රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමට හැකි විය. අවට මිනිසුන් දුටු දෙය ඔවුන්ට විශ්වාස කිරීමට පවා අමාරු විය. එම නගරයේ ඉදි කිරීමේ ව්‍යාපෘතියක වැඩ කළ ස්වීඩන් ජාතික ඉංජිනේරුවෙක් අපේ සහෝදර සහෝදරියන් වැඩ කරනවා දැක පුදුමයට පත් වූයේය. ඔහු මෙසේ පැවසුවේය. “මේක නම් අදහන්න බැහැ! යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙසොෂි නගරයෙත් කෙටි කාලීන ඉදි කිරීමේ ක්‍රමයක් යොදාගන්නවා! අපේ ව්‍යාපෘතියත් අපි සැලසුම් කරන්න ඕනෙ මේ විදිහටයි.” මේ රාජ්‍ය ශාලාව 1999 ජූනි 12වන දා කැප කරනු ලැබූ අතර, එයට 232දෙනෙක් පැමිණ සිටියහ. මෙසොෂි නගරයට පැමිණෙන අමුත්තන්ගේ නෙත් මේ ශාලාව දෙසට නිතැතින්ම ඇදී යයි.

ඓතිහාසික සමුළුවක්

වර්ෂ 1994 ජනවාරි මාසයේදී පවත්වන ලද දින තුනකින් යුත් “දිව්‍ය ඉගැන්වීම” නමැති දිස්ත්‍රික් සමුළුව, සාඕ තෝමේ හා ප්‍රින්සිප් දිවයින්වල වාසය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඓතිහාසික වැදගත්කමකින් යුත් සිද්ධියක් විය. මෙම දිවයින්වල පවත්වන ලද ප්‍රථම සමුළුව මෙයයි. මෙය පවත්වනු ලැබුවේ සැප පහසුකම්වලින් යුත් වායු සමීකරණය කරන ලද ශ්‍රවණාගාරයකයි. මෙම සමුළුවට පැමිණ සිටි 405දෙනාව දැකීමෙන් හා මුල් වතාවට බයිබල් නාට්‍යයක් නැරඹීමෙන් හා සමුළුවේදී මුදාහැරිය අලුත් පොත් පත් ලැබීමෙන් මෙහි සිටින රාජ්‍ය ප්‍රචාරකයන් 116දෙනාට දැනුණු ප්‍රීතිය ඔබට සිතාගත හැකිද? කැප වී සිටි 20දෙනාව බව්තීස්ම කරනු ලැබුවේ රමණීය මුහුදු වෙරළක් අසලයි.

මිනිසුන් කවදාවත් දැක නොතිබූ බැජ් කාඩ් පතක් සමුළුවට පැමිණි අය පැළඳගෙන සිටීම ජනයාගේ අවධානයට හසු වූ අලුත් දෙයක් විය. පෘතුගීසියෙන් හා ඇන්ගෝලාවෙන් 25දෙනෙකු පැමිණ සිටි නිසා මේ සමුළුවට ජාත්‍යන්තර මුහුණුවරක් ලැබිණ. උණුසුම් ක්‍රිස්තියානි ප්‍රේමයෙන් එකිනෙකා බැඳී සිටි බවක් වැඩි වේලාවක් යන්න කලින් දැකගත හැකි වූ අතර, සමුළුවේ අවසාන සැසිවාරයේදී සමුගැනීමේ වදන් පැවසූ අවස්ථාවේදී හුඟදෙනෙකුගේ ඇස්වලින් කඳුළු ගලා ආවේය.—යොහන් 13:35.

ජාතික ගුවන් විදුලි ආයතනයෙන් පැමිණි මාධ්‍යවේදීහු පිරිසක් සමුළුවේ අවේක්ෂක සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූහ. එමෙන්ම සමුළුවේ කතා කිහිපයකින් උපුටාගත් කොටස් ගුවන් විදුලියෙන් විකාශනය කරන ලදි. ඇත්තෙන්ම මෙය ඓතිහාසික සමුළුවක් වූ අතර දිගු කාලයක සිට මේ දිවයින්වල හුදෙකලාව සිටි විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ට යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය හොඳින් දැකගැනීමට එමගින් අවස්ථාවක් උදා විය.

යෙහෝවාට ප්‍රශංසාව ගෙන දීම සඳහා පල දැරීම

රාජ්‍ය පණිවිඩය පල දරන විට යෙහෝවාට ප්‍රශංසාව හා ගෞරවය ගෙනෙන යහපත් හැසිරීමද දැකගත හැකියි. (තීතස් 2:10) නහඹර වියේ පසු වන ගැහැනු ළමයෙක් සතිපතා බයිබලය පාඩම් කිරීමෙන් ඉගෙනගත් දේවලට මහත් ආශාවක් දැක්වූවාය. කෙසේවෙතත් ඇගේ පියා සභාවේ රැස්වීම්වලට යෑම ඇයට තහනම් කළේය. ක්‍රිස්තියානි රැස්වීම්වල වැදගත්කම හා ඒවාට යෑමට තිබෙන ඇගේ ආශාව ගැන ගෞරවාන්විතව පියාට පැහැදිලි කර දුන් අවස්ථාවේදී ඔහු එදිනම ඇයව නිවසෙන් පිටමං කළේය. වෙනත් තරුණියන් බොහෝදෙනෙක් කරන්නාක් මෙන් ඇයත් තරුණයෙකු සොයාගෙන ඔහුත් සමඟ එකට ජීවත් වෙයි කියා ඔහු සිතන්නට ඇති. ඇය ක්‍රිස්තියානියෙකු වශයෙන් ආදර්ශවත් සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරමින් සිටි බව ඇගේ පියා දැනගත් විට, ඇයව නැවත නිවසට කැඳවාගෙන ඇවිත් යෙහෝවාට නමස්කාර කිරීමට ඇයට නිදහස දීමට ඔහු තුළ පෙලඹීමක් ඇති විය.

සංගීත කණ්ඩායමක නායකයෙකු හා සම්බන්ධ තවත් අද්දැකීමක් තිබේ. තමන් ගත කරන අනාචාර ජීවිතය නිෂ්ඵල බව ඔහුට වැටහෙන්නට විය. ජීවිතයේ අරමුණ ගැන සොයමින් සිටි අතරතුරේදී ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වූයේය. ඔහු බයිබලයේ සඳහන් යහපත් සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට පටන්ගත් විට, ඔහු ගැන නගරයේ කවුරුත් පාහේ කතා බහ කරන්නට විය. නරක ආශ්‍රයන් හැම එකක්ම අත්හැරීමේ අවශ්‍යතාව ඔහු වැඩි කල් යන්න කලින් තේරුම්ගත්තේය. (1 කොරින්ති 15:33) ඉන්පසු ඔහු යෙහෝවාට තමාගේ ජීවිතය කැප කර, එය බව්තීස්මයෙන් සංකේතවත් කළේය.

තරුණයන් කිහිපදෙනෙක් සැබෑ ආගම සොයමින් සිටියේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම්වල නායකයන් සමඟ සාකච්ඡා කරන්නට විය. එහෙත් ඔවුන් එම සාකච්ඡාවලින් පසු තවත් ව්‍යාකූලත්වයට පත් වූ අතර, බලාපොරොත්තුද කඩ විය. මේ නිසා මොවුහු අපරාධ කිරීමේ හවුල් වන රස්තියාදුකාරයන් බවට පත් වූහ. එමෙන්ම ඕනෑම ආගමක් හෙළා දකින්නටද විය.

එක් දවසක් මිෂනාරිවරයෙකු හැටියට සේවය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බයිබල් පාඩමක් පැවැත්වීමට යන අතරතුරේදී මේ තරුණ පිරිස සිටි ස්ථානය අසලින් ගමන් කළේය. ඔවුන්ට තිබූ සමහර ප්‍රශ්නවලට උත්තර මේ මිෂනාරිවරයාගෙන් දැනගැනීමට ඔවුන්ට වුවමනා විය. ඔහුව වත්තකට ගෙන ගොස්, බංකුවක් දී වාඩි වීමට ආරාධනා කරන ලදි. මරණින් පසු ජීවිතය, නිරාගින්න, ස්වර්ගයේ ජීවිතය හා ලෝකාන්තිමය ගැන ප්‍රශ්න පිට ප්‍රශ්න අසන ලදි. මේ සාක්ෂිකරුවා ඔවුන් ඇසූ සෑම ප්‍රශ්නයකටම උත්තර දුන්නේ එම කණ්ඩායමේ නායකයා ඔහුට ගෙනැවිත් දුන් බයිබලයෙන්ය. පැයකට පමණ පසු, ලෝ කියා හඳුන්වනු ලබන කණ්ඩායමේ නායකයා මිෂනාරිවරයාට මෙසේ පැවසුවේය. “ඇවිත් අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අපි හිතාගෙන හිටියේ අපි අනිත් ආගම්වල අයට කළා වගේ ඔබටත් සමච්චල් කරන්නයි. අපි හිතාගෙන හිටියේ ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න කාටවත් බැහැයි කියලයි. ඒත් ඔබ බයිබලයෙන් ඒවාට උත්තර දුන්නා. බයිබලය ගැන තවත් ඉගෙනගන්න පුළුවන් කොහොමද කියලා මට කියන්න.” ලෝ සමඟ බයිබල් පාඩමක් පටන්ගත් අතර ඔහු වැඩි කල් යන්න කලින් රැස්වීම්වලට පැමිණෙන්න පටන්ගත්තේය. ඉන් ටික කලකට පසු ඔහු තම කණ්ඩායමෙන් ඉවත් වූ අතර, ප්‍රචණ්ඩකාරී ජීවන රටාවද අත්හැරියේය. ඔහු අවුරුද්දක් ඇතුළත යෙහෝවාට ඔහුගේ ජීවිතය කැප කොට බව්තීස්ම වූයේය. දැන් ඔහු සභා සේවකයෙකු හැටියට සේවය කරමින් සිටියි.

යුවළයන් නීත්‍යනුකූලව විවාහ නොවී එකට ජීවත් වීමේ සම්ප්‍රදාය මේ දිවයින්වල තදින්ම මුල් බැසගෙන තිබේ. බොහෝදෙනෙක් වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වෙමින් සිටින අතර ඔවුන්ට දරුවන්ද සිටිති. මේ කාරණය සම්බන්ධයෙන් දෙවි පවසා තිබෙන දෙය පිළිගැනීම මොවුන්ට අමාරු දෙයකි. මේ බාධාව ජයගැනීමට එක් තැනැත්තෙකුට දේවවචනයෙන් උපකාර ලැබුණු ආකාරය අසන්න ලැබීම දිරිගන්වනසුලුය.—2 කොරින්ති 10:4-6; හෙබ්‍රෙව් 4:12.

තමන්ගේ විවාහය නීත්‍යනුකූල කරගත යුතු බව ආන්ටොන්යූ තේරුම්ගත්තේය. ඉරිඟු අස්වැන්නෙන් පසු එය කිරීමට ඔහු සැලසුම් කළේ විවාහ උත්සවය ගැනීම සඳහා අවශ්‍ය මුදල් ටිකක් එයින් ලබාගත හැකි නිසාය. අස්වැන්න නෙළීමට කලින් දා රාත්‍රියේ ඔහුගේ අස්වැන්න සොරකම් කර තිබිණ. ඊළඟ අස්වැන්න නෙළන තෙක් බලා සිටීමට ඔහු තීරණය කළේය. එහෙත් එයද සොරකම් කරන ලදි. ඔහුගේ විවාහ උත්සවය සඳහා මුදල් සොයාගැනීමට දැරූ තවත් වෑයමක් අසාර්ථක වූ අවස්ථාවේදී, ඇත්තටම මෙයට විරුද්ධ වෙන්නේ කවුද කියා ඔහු තේරුම්ගත්තේය. මේ ගැන ඔහු මෙසේ පැවසුවේය. “ආයේ නම් සාතන්ට බැහැ මාව වළක්වන්න. උත්සවයක් ගත්තත් නැතත් තව මාස එකහමාරකින් අපි විවාහ වෙනවා!” ඔවුන් දෙදෙනා විවාහ විය. ඔවුන්ගේ මිතුරන් විවාහ උත්සවයට අවශ්‍ය කළ මස් ලබාගැනීම සඳහා කුකුළන්, තාරාවන් හා එළුවෙකු ලබා දීම ගැන ඔවුහු දෙදෙනා පුදුම වූහ. ආන්ටෝනියූ හා ඔහුගේ භාර්යාව ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු, යෙහෝවාට කැප වී එය සංකේතවත් කරමින් බව්තීස්ම වූහ. ඔවුන්ගේ දරුවෝ හයදෙනාද බව්තීස්ම වූහ.

දැන් ප්‍රින්සිප් දිවයිනට හැරෙමු

සාඕ තෝමේහි සේවය කරන චාරිකා අවේක්ෂක සහ පුරෝගාමී සහෝදර සහෝදරියෝ මෑතක සිට විටින් විට ප්‍රින්සිප් දිවයිනට ගොස් සේවය කරති. මෙහි 6,000ක් පමණ වාසය කරති. මෙහි වැසියන් ආගන්තුක සත්කාරයට හුඟාක් ලැදිය. එමෙන්ම සාක්ෂිකරුවන් පවසන දේවලට මහත් උනන්දුවෙන් සවන් දෙයි. එක් මිනිසෙක් පුරෝගාමී සහෝදරියන් ඔහුට දුන් පත්‍රිකාවක් කියවීමෙන් පසු, ඊළඟ දවසේදී ඔවුන්ව සොයාගෙන, මිනිසුන්ට පත්‍රිකා බෙදා දීමට තමන්ටද උපකාර කළ හැකි බව පැවසුවේය. මෙය තමන් කළ යුතු සේවයක් බව එම සහෝදරියෝ පැවසූහ. එහෙත් ඔවුන්ව ගෙවැසියන්ට හඳුන්වා දී හොඳින් ඇහුම්කන් දෙන්න කියා ගෙවැසියන්ට කියන්න තමන්ට හැකි නිසා තමන්වද ගෙයින් ගෙට රැගෙන යන්න කියා ඔහු දිගින් දිගටම පවසන්නට විය. අවසානයේදී මිනිසා එතැනින් ඉවත්ව ගියේ පුරෝගාමීන් කරමින් සිටි වැදගත් සේවයට ප්‍රශංසා කරමිනි.

සාඕ තෝමේ දිවයිනේ සේවය කරමින් සිටි පුරෝගාමී සහෝදරයන් දෙදෙනෙක් ප්‍රින්සිප් දිවයිනේ සේවය කිරීම සඳහා 1998දී එහි පදිංචියට ගියහ. වැඩි කලක් යන්න කලින් නිවාස බයිබල් පාඩම් 17ක් පවත්වන්න ඔවුන්ට හැකි විය. සේවයේ කටයුතු අඛණ්ඩව වර්ධනය වූ අතර, වැඩි කල් නොගොස් සභා පොත් පාඩමක්ද ආරම්භ කරන ලදි. පැමිණීමේ සාමාන්‍යය 16ක් වන අතර ප්‍රසිද්ධ කථාවට සවන් දීමට 30කට වැඩි පිරිසක් පැමිණියහ. රැස්වීම් පැවැත්වීම සඳහා ස්ථානයක් ලබාගැනීමේ අවශ්‍යතාව නගර සභාවට දැනුම් දෙන ලදි. රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීම සඳහා ඉඩමක් ලබා දීම සතුටට කරුණකි. සාඕ තෝමේ දිවයිනේ සිට සිය කැමැත්තෙන්ම පැමිණි සහෝදරයන්ගේ සහය ඇතිව කුඩා රාජ්‍ය ශාලාවක් සාදන ලදි. විශේෂ පුරෝගාමීන් දෙදෙනාට නවාතැන් ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද එහි තිබේ.

දුර ඈත පිහිටි මේ කුඩා දිවයින් දෙකේ ශුභාරංචිය පල දරමින් තිබෙන බව පැහැදිලිව දැකගත හැකියි. එහි පලදාව වැඩි වෙමින් පවතී. (කොලොස්සි 1:5, 6) වර්ෂ 1990 ජනවාරි වන විට සාඕ තෝමේ හා ප්‍රින්සිප් දිවයින්වල ප්‍රචාරකයෝ 46දෙනෙක් සිටියහ. දෙදහස් දෙක සේවා වසරේදී රාජ්‍ය ප්‍රචාරකයන් 388දෙනෙක් වාර්තා කළ අතර, මෙය නව ඉහළ සංඛ්‍යාවකි. ප්‍රචාරකයන්ගෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් පූර්ණ කාලීන සේවයේ හවුල් වන අතර බයිබල් පාඩම් 1,400ක් පමණ පවත්වනු ලැබේ. සිහි කිරීමකට මෙතෙක් පැමිණි ඉහළම සංඛ්‍යාව වූ 1,907ක් වාර්තා වූයේ 2001දීය. නිවර්තන කලාපයේ පිහිටි මෙම දිවයින් දෙකෙහි යෙහෝවාගේ වචනය වේගයෙන් පැතිර යමින් ගෞරවයට පත් වෙමින් පවතී—2 තෙසලෝනික 3:1.

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩසටහන

මෙම දිවයින්වල සිටින බොහෝදෙනෙක් ඉමහත් සේ අගය කරන ප්‍රකාශනයක් වන්නේ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු * නමැති පොතයි. ජාතික ගුවන් විදුලිය ඔස්සේ එම මාතෘකාව ඔස්සේ විනාඩි 15ක වැඩසටහනක් සෑම සති දෙකකට වතාවක් විකාශනය කෙරේ. “යෞවනයෙනි, එය සැබෑ ප්‍රේමයක්ද නැත්නම් මූඪ ප්‍රේමයක්ද කියා ඔබ දැනගන්නේ කෙසේද” කියා වැඩසටහන මෙහෙයවන්නා අසනවා සවනට වැටෙන විට දැනෙන ප්‍රීතිය මොන තරම්ද! එම ප්‍රශ්නය ඇසීමෙන් පසු පොතෙන් කොටසක් කියවනු ලැබේ. (එහි 31වන පරිච්ඡේදය බලන්න.) පවුලේ සන්තෝෂයට රහස නමැති පොතෙන්ද තෝරාගත් කොටස් එලෙසම විකාශනය කෙරේ. *

[පාදසටහන්වල]

^ 33 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

^ 33 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

[9වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1994දී සාඕ තෝමේහි සාදන ලද මුල්ම රාජ්‍ය ශාලාව

[10වන පිටුවේ පින්තූර]

1. මෙසොෂිහි කෙටි කලකදී ඉදි කරන ලද රාජ්‍ය ශාලාව

2. ඓතිහාසික දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවේ මෙම ශ්‍රවණාගාරයේය

3. සන්තෝෂවත් බව්තීස්ම අපේක්ෂකයන් සමුළුවේදී

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ලෝක ගෝලය: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.