Skip to content

පටුනට යන්න

කිසිම කෙනෙකුව විශ්වාස කළ නොහැකිද?

කිසිම කෙනෙකුව විශ්වාස කළ නොහැකිද?

කිසිම කෙනෙකුව විශ්වාස කළ නොහැකිද?

වර්ෂ 1989දී බර්ලින් තාප්පය කඩා වැටීමත් සමඟම යටපත් වී තිබූ රහස් කිහිපයක්ම අනාවරණය විය. නිදසුනකට, නැඟෙනහිර ජර්මනියේ පැවති සමාජවාදී පාලන ක්‍රමය යටතේ තිබූ ෂ්ටාසි නොහොත් රජයේ ආරක්ෂක සේවය, තම පෞද්ගලික ජීවිතයේ සියලුම කටයුතු අඩංගු ලිපි ගොනුවක් පිළියෙළ කර තිබූ බව ලිඩියා * නමැති කාන්තාව දැනගත්තාය. එවන් ලිපි ගොනුවක් තිබීම ගැන ඇය පුදුමයට පත් වූවාට කිසිම සැකයක් නැත. එහෙත් එම තොරතුරු ෂ්ටාසි ආයතනයට සැපයූ කෙනා කවුද කියා දැනගත් විට ඇය තිගැස්සුණාය. ඒ වෙන කවුරුත් නොවෙයි ඇගේම ස්වාමිපුරුෂයායි. ඔව්, ලිඩියා සම්පූර්ණයෙන්ම විශ්වාස කළ යුතු වූ කෙනෙකු විසින්ම ඒ විශ්වාසය කඩ කර තිබිණ.

මහලු රොබට් මහතා තම වෛද්‍යවරයාව සැලකුවේ “ඉතා ආදරයෙන්, ගෞරවයෙන් හා විශ්වාසයෙනි.” එසේ වාර්තා වූයේ ලන්ඩනයේ ද ටයිම්ස් පුවත්පතෙහිය. එම වෛද්‍යවරයා ඉතා “කාරුණික හා සානුකම්පිත” කෙනෙකු වූ බව කියවේ. කෙසේවෙතත් රොබට් අනපේක්ෂිතව මිය ගියේය. ඔහු මිය ගියේ හෘදයාබාධයක් හෝ ආඝාතයක් නිසාද? නැත. අධිකාරීන්ගේ නිගමනය මෙය විය: රොබට්ගේ නිවසටම පැමිණ ඔහුව බැහැදුටු ඔහුගේ වෛද්‍යවරයා රොබට්ගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අනුදැනුමෙන් තොරව ඔහුට මාරාන්තික එන්නතක් දී තිබිණ. ඔව්, පෙනෙන විදිහට රොබට්ව ඝාතනය කරන ලදි. ඒ ඔහු සම්පූර්ණයෙන්ම විශ්වාස කළ අයෙකු විසිනි.

ලිඩියා සහ රොබට් යන දෙදෙනාගේම විශ්වාසය කඩ වූයේ ඉතා තැතිගන්වන අයුරිනි. එසේම ඉතා දරුණු ප්‍රතිවිපාක සමඟිනි. බොහෝදුරට අන් අයට එතරම් දරුණු ප්‍රතිඵල විඳින්නට සිදු නොවුවද, අප විශ්වාස කරන කෙනෙකු අපගේ ඒ විශ්වාසය කඩ කිරීම කලාතුරකින් අද්දකින්නට ලැබෙන දෙයක් නම් නොවේ. ජර්මනියේ ප්‍රමුඛ පෙළේ ජනමත විචාරණ ආයතනයක් (Allensbacher Jahrbuch der Demoskopie 1998-2002) මගින් පළ කරන ලද වාර්තාවකින් හෙළි වූයේ එක් සමීක්ෂණයකට සහභාගි වූ අයගෙන් සියයට 86ක්ම ඔවුන් විශ්වාසය තබා තිබූ අය විසින් ඔවුන්ගේ විශ්වාසය කඩ කිරීම අද්දැක තිබූ බවයි. ඇතැම්විට ඔබත් ඒ හා සමාන අද්දැකීමකට මුහුණ දී ඇති. එම නිසා ස්විස් පුවත්පතක් (Neue Zürcher Zeitung) 2002දී වාර්තා කළ දේ ගැන අප පුදුම විය යුතු නැත. එහි පැවසුවේ “පසුගිය දශක ගණනාව පුරා බටහිර කාර්මික රටවල අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ සබඳතා පිරිහෙමින් තිබෙන” බවය.

කෙමෙන් ඇති වී සැණින් නැති වේ

විශ්වාසය යනු කුමක්ද? එක්තරා ශබ්දකෝෂයකට අනුව අන් අයව විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන්නේ “යමෙක් අවංක හා නිර්දෝෂ බවටත්, ඔහු ඔබව රිදවීමට හිතාමතා කිසිම දෙයක් නොකරන බවටත් ඒ පුද්ගලයා ගැන පූර්ණ ලෙස පැහැදීමක් ඇතුව සිටීමයි.” විශ්වාසය ඇති වන්නේ ක්‍රමානුකූලවය, හෙමිහිටය. එනමුත්, එක මොහොතකින් එය කඩ වී විනාශ වී යා හැකියි. තමන් තැබූ විශ්වාසය පහසුවෙන් කඩ වී යන ආකාරය අතිවිශාල ජන පිරිසක් අද්දකින නිසා, අන් අය කෙරෙහි විශ්වාසය තැබීමට ජනයා සාමාන්‍යයෙන් මැළිකමක් දැක්වීම පුදුමයක්ද? ජර්මනියෙහි 2002දී කළ සමීක්ෂණයකට අනුව “අන් අය කෙරෙහි යම් පමණකට හෝ විශ්වාසයක් තබන්නේ යෞවනයන් 3න් 1කටත් වඩා අඩු සංඛ්‍යාවක් බව හෙළි විය.”

එසේනම් අපට අපගෙන්ම මෙසේ අසාගත හැකියි: ‘ඇත්තටම අපට කිසි කෙනෙකුව විශ්වාස කළ නොහැකිද? අපගේ විශ්වාසය කඩවීමට ඉඩ කඩ තිබියදී යම් කෙනෙකු කෙරෙහි අපගේ විශ්වාසය තැබීමෙන් පලක් වේද?

[පාදසටහන]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එක් සමීක්ෂණයකට සහභාගි වූ අයගෙන් සියයට 86ක්ම ඔවුන් විශ්වාසය තබා තිබූ අය විසින් ඔවුන්ගේ විශ්වාසය කඩ කිරීම අද්දැක තිබූ බව හෙළි විය