Skip to content

පටුනට යන්න

කුඩා කාලයේ පටන් යෙහෝවා මට ඉගැන්වුවා

කුඩා කාලයේ පටන් යෙහෝවා මට ඉගැන්වුවා

ජීවිත කතාව

කුඩා කාලයේ පටන් යෙහෝවා මට ඉගැන්වුවා

පැවසුවේ රිචඩ් ඒබ්‍රහම්සන්

“දෙවියනි, මාගේ යෞවන [කුඩා] කාලයේ පටන් ඔබ මට ඉගැන්නුවේය. මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශ කෙළෙමි.” ගීතාවලිය 71:17හි සඳහන් මේ වචන මගේ ජීවිතයට විශේෂයෙන් අදාළ වෙනවා. ඒ ඇයි කියා ඔබට පැහැදිලි කරන්න මම දැන් කැමතියි.

මගේ අම්මාගේ නම ෆැනී ඒබ්‍රහම්සන්. ඇයට 1924දී බයිබල් ශිෂ්‍යයන්ව හමු වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඒ කාලයේ හැඳින්වූයේ ඒ නමිනුයි. එතකොට මට අවුරුද්දයි. අම්මා බයිබලයෙන් ඉගෙනගත්ත සත්‍යයන් ඉක්මනින්ම ඇගේ අසල්වැසියන් එක්කත් බෙදාගත්තා. ඒ වගේම අම්මා මටත් මගේ අයියාටත් අක්කාටත් ඒවා ගැන ඉගැන්වුවා. මම අකුරු කියවන්නත් කලින් ඉඳලම දේවරාජ්‍යයේ ආශීර්වාද ගැන සඳහන් බයිබල් පද හුඟාක් කට පාඩම් කරගන්න අම්මා මට උදව් කළා.

එක්දහස් නවසිය විසි ගණන්වල අගභාගයේදී, අමෙරිකා එක්සත් ජනපදයේ මම ඉපදී හැදී වැඩුණු ඔරිගන් ජනපදයේ ලෙ ග්‍රාන්ඩ් නගරයේ හිටියේ ස්ත්‍රීන් හා ළමුන් ටිකදෙනෙකුගෙන් යුත් කුඩා බයිබල් ශිෂ්‍ය කණ්ඩායමක් විතරයි. අපේ කණ්ඩායම හුදෙකලාව තිබුණත් අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් සංචාරක දේවසේවකයන් අපව බැහැදකින්න ආවා. මේ අය දිරිගන්වනසුලු කතා දුන්නා; අපිත් එක්ක ගෙයින් ගෙට සේවයෙත් හවුල් වුණා; ඒ වගේම දරුවන් ගැනත් හුඟාක් සැලකිලිමත් වුණා. ෂිල්ඩ් ටූට්ජීන්, ජීන් ඔරල් සහ ජෝන් බූත්, ඒ ප්‍රේමණීය සහෝදරයන්ගෙන් කිහිපදෙනෙක්.

ඔහයෝ, කොලම්බස්හි 1931දී පැවැත්වූ සමුළුවට යන්න අපේ කණ්ඩායමේ කිසිම කෙනෙකුට හැකි වුණේ නැහැ. මේ සමුළුවේදී තමයි, බයිබල් ශිෂ්‍යයන්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන නමින් හඳුන්වන්න පටන්ගත්තේ. මේ සමුළුවට යන්න බැරි වුණ සමාගම් (ඒ කාලයේදී සභා හැඳින්වූයේ ඒ නමින්) හා ඈත තිබුණු කණ්ඩායම් ඒ අවුරුද්දේම අගෝස්තු මාසයේදී ඒ අයට ළඟපාත තැනකට එකතු වෙලා ඒ නාමය පිළිගැනීම සඳහා සම්මුතියකට එළඹුණා. ලෙ ග්‍රාන්ඩ්හි තිබුණු අපේ කුඩා කණ්ඩායමත් ඒකට හවුල් වුණා. එක්දහස් නවසිය තිස්තුනේදී අර්බුදය (The Crisis) කියන පොත් පිංචය බෙදාහරින්න විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කළා. බයිබලය ගැන කෙනෙකුට කතා කරන ආකාරය මම කටපාඩම් කරගත්තා. මම පළවෙනි වතාවට තනියම ගෙයින් ගෙට ගිහිල්ලා සාක්ෂි දැරුවේ, ඒක බෙදාහැරිය කාලයේදීයි.

අපේ සේවයට එල්ල වුණ විරුද්ධවාදිකම් 1930 ගණන්වලදී වැඩි වෙමින් තිබුණා. මේ තත්වයට මුහුණ දීම සඳහා සමාගම් කිහිපයක් එකට එකතු කරනු ලැබුවා. මේවාට කිව්වේ කොට්ඨාස කියලයි. මේ කොට්ඨාස එකතු වී අවුරුද්දට වතාවක් හෝ දෙවතාවක් කුඩා එක්රැස්වීම් පැවැත්වූ අතර දේශනා කිරීමේ විශේෂ වැඩසටහන්ද දියත් කළා. මේවා හැඳින්වූයේ කොට්ඨාස මෙහෙයුම් කියලයි. මේ එක්රැස්වීම්වලදී දේශනා කිරීමේ ක්‍රම ගැන අපට ඉගැන්වුවා. අපේ සේවයට බාධා කළ පොලිස් නිලධාරීන් එක්ක ගෞරවාන්විතව කටයුතු කරන විදිහත් අපට කියලා දුන්නා. ඒ කාලයේදී සාක්ෂිකරුවන්ව පොලිසියට නැත්නම් උසාවියට නිතර අරං ගියා. ඒ හින්දා උපදෙස් පත්‍රයක තිබුණු තොරතුරු බලමින් කල් තියා ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න අපි පුහුණු වුණා. ඒ උපදෙස් පත්‍රය හැඳින්වූයේ නඩුවකට මුහුණ දෙන ආකාරය කියලයි. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න ඒක අපිට ලොකු උපකාරයක් වුණා.

බයිබල් සත්‍යය මුල් කාලයේ ව්‍යාප්ත වීම

බයිබල් සත්‍යයන් ගැන මගේ අවබෝධයත් ඒවාට තිබෙන ඇල්මත් වැඩි වෙන්න පටන්ගත්තා. ඒ වගේම දෙවිගේ ස්වර්ගික රාජ්‍යය යටතේ මේ පොළොවේ සදාකල් ජීවත් වීම පිළිබඳ බයිබලය මත පදනම් බලාපොරොත්තුව සඳහා තිබෙන අගයද වැඩි වුණා. ඒ කාලයේදී, ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමේ බලාපොරොත්තුව නොතිබුණු අයට බව්තීස්ම වීමේ අවශ්‍යතාව ඒ තරම් කාවැද්දුවේ නැහැ. (එළිදරව් 5:10; 14:1, 3) එහෙත්, යෙහෝවාගේ කැමැත්ත කරන්න මගේ මුළු සිතින්ම අදිටන් කරගෙන ඉන්නවා නම් බව්තීස්ම වෙන එක හොඳයි කියා මට පවසනු ලැබුවා. මේ අනුව මම 1933 අගෝස්තු මාසයේදී බව්තීස්ම වුණා.

ප්‍රසිද්ධියේ කතා කරන්න මට හොඳ හැකියාවක් තිබුණු බව තේරුම්ගත්ත මගේ ගුරුතුමිය, මගේ අම්මාව උනන්දු කළා, මට ඒ සඳහා අමතර පුහුණුවක් ලබා දෙන්න කියා. එතකොට මගේ වයස අවුරුදු 12යි. යෙහෝවාට වඩාත් හොඳින් සේවය කරන්න එය මට උපකාරවත් වෙයි කියලා අම්මා සිතුවා. මට කථික හැකියාව ප්‍රගුණ කරගැනීමට උපකාර කළ ගුරුතුමියගේ ගාස්තු ගෙවීම සඳහා අම්මා මුදල් හොයාගත්තේ අවුරුද්දක් පුරා ඇගේ ඇඳුම් සෝදා මැද දීමෙනුයි. ඒ පුහුණුව දේවසේවයේදී මට හුඟාක් ප්‍රයෝජනවත් වුණා. මට අවුරුදු 14දී දරුණු විදිහට රූමැටිසියා උණ හැදුණා. ඒ හින්දා මට අවුරුද්දක් පාසැල් යන්න බැරි වුණා.

වොරන් හෙන්ෂල් කියන පූර්ණ කාලීන සේවකයා 1939දී අපේ ප්‍රදේශයේ සේවය කරන්න ආවා. * ආත්මිකව එයා මට ලොකු අයියා කෙනෙක් වගේ හිටියා. සමහර දවස්වල අපි උදේ පටන් හවස වෙනකං පැය ගණනාවක් සේවයේ හවුල් වුණා. නිවාඩු කාලයේ පුරෝගාමි සේවය පටන්ගන්න ඉක්මනින්ම මට උදව් කරන්න ඔහුට හැකි වුණා. මෙය තාවකාලික පූර්ණ කාලීන සේවයට සමානයි. එම අවුරුද්දේම ගිම්හානයේදී තමයි අපේ කණ්ඩායම සමාගමක් ලෙස සංවිධානය වුණේ. සමාගම් සේවක හැටියට වොරන්ව පත් කළා. මුරටැඹ පාඩම මෙහෙයවන්නා හැටියට පත් කළේ මාවයි. වොරන් නිව් යෝර්ක්හි බෘක්ලින්වල තියෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන්න ගියාට පස්සේ සමාගම් සේවක හැටියට මම කටයුතු කළා.

පූර්ණ කාලීන සේවය පටන්ගැනීම

සමාගම් සේවකයෙකු හැටියට වැඩි වගකීම් දරමින් සේවය කරද්දී පූර්ණ කාලීන සේවය දිගටම කරගෙන යන්න තිබුණු මගේ ආශාව තව තවත් වැඩි වුණා. උසස් පාසැලේ තුන්වන අවුරුද්ද අවසන් වුණාට පස්සේ මම දිගටම පූර්ණ කාලීන සේවය කරන්න පටන්ගත්තා. එතකොට මගේ වයස අවුරුදු 17යි. තාත්තා අපේ ආගමික විශ්වාසයන් පිළිගත්තේ නැති වුණත් ඔහු අපේ පවුල හොඳින් බලාගත්තා. ඔහු උසස් ප්‍රමිති අනුගමනය කළ කෙනෙක්. ඔහු කැමති වුණේ මම උසස් අධ්‍යාපනය දිගටම හදාරනවා දකින්නයි. හැබැයි, කෑම බීම හා ඉඳුම් හිටුම් මටම හොයාගන්න පුළුවන් නම් කැමති දෙයක් කරන්න කියලා තාත්තා කිව්වා. මම 1940 සැප්තැම්බර් 1වන දා පුරෝගාමි සේවය පටන්ගත්තා.

මම ගෙදරින් පිට වෙලා යනකොට මගේ අම්මා මට කිව්වා, හිතෝපදේශ 3:5, 6 කියවන්න කියලා. එහි මෙහෙම කියනවා. “ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න; එවිට ඔහු ඔබේ මාවත් සමතලා කරනවා ඇත.” ඇත්තෙන්ම හැම වෙලාවෙම මගේ ජීවිතයේ හැම දෙයක්ම යෙහෝවාට බාර කරලා කටයුතු කිරීම මට ලොකු උපකාරයක් වී තිබෙනවා.

වැඩි කාලයක් යන්න කලින් මම වොෂිංටන් ජනපදයේ උතුරු මැද ප්‍රදේශයේ සේවය කරමින් සිටිය ජෝ සහ මාගරට් හාර්ට් සමඟ සේවය කරන්න පටන්ගත්තා. අපේ බලප්‍රදේශය විවිධත්වයකින් යුත් බලප්‍රදේශයක් වුණා. විශාල ගව හා බැටළු ගොවිපොළවල් තිබුණා; අමෙරිකානු ඉන්දියානුවන් සඳහා විශාල ප්‍රදේශ වෙන් කර තිබුණා; ඒ වගේම කුඩා නගර හා ගම්මාන හුඟාක් තිබුණා. වොෂිංටනයේ වනැච්චි කියන නගරයේ තිබුණු සභාවේ සමාගම් සේවක හැටියට සේවය කරන්න 1941දී මාව පත් කළා.

වොෂිංටනයේ වාලවාල කියන නගරයේ පැවැත්වූ එක්රැස්වීමක පරිවාරකයෙකු හැටියට සේවය කරමින් සිටි මා ශාලාවට ඇතුල් වෙන තැන සිටගෙන, එන අයව පිළිගනිමින් සිටියා. ඒ වේලාවේදී මම දැක්කා තරුණ සහෝදරයෙක් ශබ්ද විකාශන පද්ධතිය ක්‍රියාත්මක කරවන්න සෑහෙන්න උත්සාහ කළත් ඔහු අසාර්ථක වන බව. ඒ හින්දා මම ඔහු ළඟට ගිහිල්ලා කිව්වා, ඔයාගේ පැවරුම මට දෙන්න, මගේ පැවරුම මම ඔයාට දෙන්නම් කියලා. ප්‍රාදේශීය සේවක ඇල්බට් හොෆ්මන් ආපසු එද්දී මම මගේ පැවරුමේ හිටියේ නැති බව ඔහු දැක්කා. වෙනත් දෙයක් කරන්න කියලා කියන තෙක් තමන්ට දුන් පැවරුම පමණක් ඉටු කිරීමේ තිබෙන වැදගත්කම ඔහු මට මිත්‍රශීලී ලෙස සිනහ මුසු මුහුණින් පැහැදිලි කර දුන්නා. ඔහු දුන්න ඒ උපදේශය එදා ඉඳන් මගේ මතකයේ රැඳිලා තියෙනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1941 අගෝස්තු මාසයේදී මිසූරී ජනපදයේ ශා. ලුවිස් නගරයේ විශාල සමුළුවක් සැලසුම් කළා. හාර්ට් යුවළ එයාලාගේ කුඩා ට්‍රක් එකට වහලක් හා බංකු කිහිපයක් සවි කළා. මාත් එක්ක පුරෝගාමීන් නවදෙනෙක් ඒ වාහනයෙන් කිලෝමීටර් 2,400ක් දුර පිහිටි ශා. ලුවිස් බලා ගමන් කළා. යන්න විතරක් සතියක් විතර ගියා. පොලිසිය කළ ගණන් බැලීම්වලට අනුව ඒ සමුළුවට පැමිණි ඉහළම සංඛ්‍යාව 1,15,000යි. පැමිණි ගණන ඊට වඩා අඩු විය හැකියි. ඒත් ඒ කාලයේ එක්සත් ජනපදයේ සිටි සාක්ෂිකරුවන් 65,000දෙනාට වඩා වැඩි පිරිසක් පැමිණ සිටි බව නම් ස්ථිරයි. අපේ ආත්මිකත්වය ඉහළ තලයකට ගෙන ඒමට ඒ සමුළුව අපට ලොකු උපකාරයක් වුණා.

බෘක්ලින් බෙතෙල්හි සේවය

මම ආපහු වනැච්චි නගරයේ සේවය කරන්න පැමිණියාට පස්සේ බෘක්ලින් බෙතෙල් එකේ සේවය කරන්න එන්න කියා ලිපියක් ලැබුණා. මම 1941 ඔක්තෝබර් 27වෙනි දා එහෙට ගියා. කර්මාන්ත ශාලාවේ අවේක්ෂකව සිටි නේදන් එච්. නෝර්ගේ කාර්යාලයට මාව එක්කගෙන ගියා. බෙතෙල් සේවය කියන්නේ මොන වගේ සේවයක්ද කියලා ඔහු මට කාරුණිකව පැහැදිලි කළා. ඒ වගේම බෙතෙල් ජීවිතය සාර්ථක කරගන්න නම් යෙහෝවාට වඩ වඩා ළංව සිටීම අත්‍යවශ්‍ය දෙයක් බව ඔහු අවධාරණය කළා. ඊට පස්සේ පොත් පත් නැව්ගත කරන අංශයට මාව එක්කගෙන ගිහින් පොත් පෙට්ටි ගැට ගැසීමේ කාර්යය මට බාර දුන්නා.

ලෝක ව්‍යාප්තව සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර මූලිකත්වය ගෙන කටයුතු කළ ජෝසෆ් රදර්ෆඩ් 1942 ජනවාරි 8වෙනි දා මිය ගියා. ඊට දවස් පහකට පස්සේ සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔහු වෙනුවට සහෝදර නෝර්ව පත් කරනු ලැබුවා. දිගු කාලයක සිට සමිතියේ ලේකම් හා භාණ්ඩාගාරිකව සිටි ඩබ්. ඊ. වාන් ඇම්බර්ග් බෙතෙල් පවුලට ඒ බව නිවේදනය කරමින් මෙහෙම කිව්වා. “මට මතකයි, [1916දී] සී. ටී. රසල්ගේ මරණින් පස්සේ ඔහුගේ තැනට ජේ. එෆ් රදර්ෆඩ්ව පත් කිරීම ගැන. ස්වාමීන් ඔහුගේ කාර්යයට දිගටම මඟ පෙන්වමින් එය වර්ධනය වෙන්න සැලැස්සුවා. සභාපති නේදන් නෝර්ගේ මූලිකත්වය යටතේ දැන් මේ කාර්යය ඉදිරියටම ඇදී යන බව මට හොඳටම විශ්වාසයි. මොකද මේක ස්වාමීන්ගේ වැඩක් මිසක් මනුෂ්‍යයන්ගේ වැඩක් නෙමෙයි.”

“දිව්‍යාණ්ඩු සේවය පිළිබඳ උසස් පාඨමාලාව” කියා හැඳින්වූ වැඩසටහනක් පටන්ගන්න බව 1942 පෙබරවාරි මාසයේදී නිවේදනය කළා. මේ පාඨමාලාව සැලසුම් කර තිබුණේ බෙතෙල් එකේ සේවය කරන අයට බයිබල් විෂයන් ගැන පර්යේෂණය කිරීමේ හා කරුණු නිසි ලෙස ගොඩනඟා බලපෑමෙන් යුක්තව ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව දියුණු කරගැනීමට පුහුණු කිරීමේ අරමුණ ඇතුවයි. ප්‍රසිද්ධියේ කතා කිරීම පිළිබඳව මට කලින් ලැබිලා තිබුණු පුහුණුව හින්දා මට පුළුවන් වුණා, ඉක්මනින් ප්‍රගතියක් ලබාගන්න.

වැඩි කලක් ගත වෙන්න කලින් මට සේවා අංශයේ වැඩ කරන්න පැවරුමක් ලැබුණා. එක්සත් ජනපදයේ සාක්ෂිකරුවන්ගේ සේවයේ කටයුතු අධීක්ෂණය කරන්නේ මේ අංශය මගිනුයි. පසුව සාක්ෂිකරුවන්ගෙන් සමන්විත සමාගම් බැහැදකින්න දේවසේවකයන්ව යැවීම සඳහා වැඩසටහනක් නැවත ආරම්භ කිරීමට ඒ අවුරුද්දේම තීරණය වුණා. සහෝදරයන්ගේ සේවකයන් කියලා හැඳින්වූ මේ සංචාරක දේවසේවකයන්ව කාලයක් ගියාට පස්සේ හැඳින්වූයේ චාරිකා අවේක්ෂකයන් කියලයි. මේ විදිහට සේවය කරන සහෝදරයන්ව පුහුණු කරන පාඨමාලාවක් 1942 ගිම්හානයේදී බෙතෙල් එකේ පටන්ගත්තා. ඒ පුහුණුව ලැබීමේ වරප්‍රසාදය මටත් ලැබුණා. අපේ එක උපදේශකයෙක් හැටියට කටයුතු කළ සහෝදර නෝර් අපිට මේ කාරණය අවධාරණය කළා මට හොඳට මතකයි. “මිනිසුන්ව සතුටු කරන්න උත්සාහ කරන්න එපා. එහෙම කළොත් අන්තිමේදී ඔබට කාවත් සතුටු කරන්න ලැබෙන එකක් නැහැ. යෙහෝවාව සතුටු කරන්න. එතකොට යෙහෝවාට ප්‍රේම කරන සියලුදෙනාවම සතුටු කරන්න ඔබට පුළුවන් වේවි.”

සංචාරක සේවය 1942 ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. බෙතෙල් එකේ හිටිය අපි කිහිපදෙනෙක් සති අන්තවලදී ඒ සේවයේ හවුල් වුණා. නිව් යෝර්ක් නගරයේ ඉඳන් කිලෝමීටර් 400ක් ඇතුළත තිබුණු සභාවන් බැහැදකින්න අපි ගියා. දේශනා කිරීමේ කටයුතු ගැන සභාවේ තිබුණු වාර්තා හා රැස්වීම්වලට පැමිණීමේ වාර්තා අපි බැලුවා; සභාවේ වගකීම් දරන අයත් එක්ක රැස්වීම්ද පැවැත්වුවා; කතාවක් හෝ දෙකක් දුන්නා; ඒ වගේම ඒ සභාවල සිටි සාක්ෂිකරුවන් එක්ක සේවයෙත් ගියා.

මාස හයක කාලයක් සංචාරක සේවයේ හවුල් වීමට, 1944දී සේවා අංශයෙන් යැවූ අය අතර මමත් සිටියා. ඒ කාලයේදී මම ඩලවෙයාර්, මෙරලන්ඩ්, පෙන්සිල්වේනියා හා වර්ජිනියා කියන ජනපදවල සේවය කළා. පස්සේ මම මාස කිහිපයක් කනෙක්ටිකට්, මසචූසට්ස් හා රොඩේ දිවයිනේ සභාවන් සමඟ සේවය කළා. ආපසු බෙතෙල් එකට ආවාට පස්සේ මම සහෝදර නෝර් හා ඔහුගේ ලේකම් හැටියට සේවය කළ මිල්ටන් හෙන්ෂල් එක්ක කාර්යාලයේ වැඩ කළා. මෙහිදී ලෝක ව්‍යාප්තව සිදු වන අපේ සේවය ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඒ වගේම මම වාන් ඇම්බර්ග්ගේ හා ඔහුගේ සහයක වූ ග්‍රාන්ට් සූටර්ගේ අධීක්ෂණය යටතේ භාණ්ඩාගාරිකගේ කාර්යාලයෙත් අර්ධ කාලීනව වැඩ කළා. ඊට පස්සේ 1946දී බෙතෙල් එකේ කාර්යාල ගණනාවකම අවේක්ෂක හැටියට මාව පත් කරනු ලැබුවා.

මගේ ජීවිතයේ සිදු වූ ලොකු වෙනස්කම්

මම 1945 අවුරුද්දේදී සභාවල සේවය කරමින් සිටියදී රොඩේ දිවයිනේ ප්‍රොවිඩන්ස් නගරයේ පදිංචිව සිටි ජූලියා චානෝස්කස් සමඟ මිත්‍රත්වයක් ඇති කරගත්තා. වර්ෂ 1947 මැදභාගය වෙනකොට අපි දෙන්නා විවාහ වෙන එක ගැන සිතමින් සිටියා. මම බෙතෙල් සේවයට හුඟාක් ඇලුම් කළත් තමන්ගේ කලත්‍රයාව බෙතෙල් සේවයට සම්බන්ධ කරගන්න ඒ කාලයේදී සැලැස්මක් තිබුණේ නැහැ. ඒ හින්දා මම 1948දී බෙතෙල් එකෙන් අයින් වෙලා ජූලියාත් (ජූලි) එක්ක විවාහ වුණා. මම ප්‍රොවිඩන්ස් නගරයේ සුපිරි වෙළෙඳසැලක අර්ධ කාලීන රැකියාවක් සොයාගත්තා. ඊට පස්සේ අපි දෙන්නාම පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා.

විස්කාන්සන් ජනපදයේ වයඹදිග ප්‍රදේශයේ චාරිකා සේවයේ හවුල් වෙන්න 1949 සැප්තැම්බර් මාසයේදී මට ආරාධනාවක් ලැබුණා. හුඟාක් වේලාවට කුඩා නගරවල හා කිරිපට්ටි ගොවිපොළවල් බහුලව තිබුණු ගම්මානවල දේශනා කිරීම ජූලිටත් මටත් වෙනස් අද්දැකීමක් වුණා. ශීත ඍතුව දිගු කාලයක් පුරා තිබුණා. සමහර කාලේට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 20කටත් වඩා අඩු වුණා. මුළු ප්‍රදේශයම අධික හිමවලින් වැසී ගියා. අපිට කාර් එකක් තිබුණේ නැහැ. ඒ වුණත් හුඟාක් වේලාවට කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා අපිව ඊළඟ සභාවට වාහනයකින් ඇරලුවා.

මම චාරිකා සේවය පටන් අරං වැඩි කාලයක් යන්න කලින් අපිට චාරිකා එක්රැස්වීමක් තිබුණා. මේ එක්රැස්වීමේ හැම අංශයක්ම හොඳින් ක්‍රියාත්මක වෙනවාද කියලා බලන්න මම හැම දෙයක්ම හොඳින් පරීක්ෂා කර බැලුවා මට හොඳට මතකයි. සමහර අයට ඒ ගැන බයකුත් දැනිලා තිබුණා. යම් දේවල් ඔවුන්ගේ ක්‍රමයට කරගෙන යන්න චාරිකාවේ සහෝදරයන් පුරුදු වී සිටි නිසා මම හැම දෙයක් ගැනම කරදර වෙන්න අවශ්‍ය නැහැ කියලා දිස්ත්‍රික් අවේක්ෂක නික්ලස් කොවලැක් කාරුණිකව පැහැදිලි කළා. එදා ඉඳන් මට ලැබුණු පැවරුම් බොහොමයක් ඉටු කරද්දී, ඒ උපදේශය මට හුඟාක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

මට 1950දී තාවකාලික පැවරුමක් ලැබුණා. ඒ තමයි, අපි පැවැත්වූ විශාල සමුළු බොහොමයෙන් පළමුවෙනි එක වූ නිව් යෝර්ක් යැංකි ක්‍රීඩාංගණයේ තිබුණු සමුළුවට එන අයට නවාතැන් පහසුකම් සැපයීමේ කාර්යය බලාගැනීමේ වගකීම. මේ සමුළුවේ ආරම්භයේ ඉඳන් අවසානය වෙන තෙක්ම මහත් ප්‍රීති ප්‍රමෝදයක් තිබුණා. රටවල් 67කින් පැමිණි සමුළු නියෝජිතයන් ඇතුළු 1,23,707ක වාර්තාගත ඉහළ සංඛ්‍යාවක් එයට පැමිණියා. මේ සමුළුවෙන් පස්සේ ජූලියි මමයි නැවතත් සංචාරක සේවය පටන්ගත්තා. චාරිකා සේවයෙන් අපි ලොකු ප්‍රීතියක් භුක්ති වින්දා. කොහොමවුණත් පූර්ණ කාලීන සේවයේ ඕනෑම පැවරුමක් බාරගන්න අප ඉදිරිපත් විය යුතුය කියලා අපට හැඟුණා. ඒ නිසා අපි දෙන්නා හැම අවුරුද්දකම බෙතෙල් සේවය සඳහාත් මිෂනාරි සේවය සඳහාත් අයදුම් පත් ඉදිරිපත් කළා. අපි දෙන්නාට වොච්ටවර් ගිලියද් පාසැලේ 20වෙනි පන්තියට එන්න කියා 1952දී ආරාධනාවක් ලැබුණු විට අපි හුඟාක් සතුටු වුණා. මිෂනාරි සේවය සඳහා අවශ්‍ය පුහුණුව අපිට එහිදී ලැබුණා.

විදේශීය සේවය

එක්දහස් නවසිය පනස් තුනේදී අපේ උපාධිය ලැබුණායින් පසුව බ්‍රිතාන්‍යයේ සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. එහිදී දකුණු එංගලන්තයේ දිස්ත්‍රික් සේවයේ මම හවුල් වුණා. ජූලි හා මම මේ සේවය ඉමහත් සන්තෝෂයෙන් කරගෙන ගියා. අපිව පුදුමයට පත් කරමින් අවුරුද්දකටත් වඩා අඩු කාලයකට පස්සේ අපේ පැවරුම වෙනස් කර තිබුණා. ඩෙන්මාර්කයට යන්න කියා අපගෙන් ඉල්ලා සිටියා. ඩෙන්මාර්කයේ ශාඛා කාර්යාලයේ අධීක්ෂණ කටයුතුවල වෙනසක් සිදු වෙලා තිබුණු හින්දා එහි අවශ්‍යතාවක් තිබුණා. මම ඩෙන්මාර්කයට ළඟ රටක හිටිය හින්දාත් බෘක්ලින්වලදී ඒ වගේ සේවයක් සඳහා පුහුණුවක් ලබා තිබුණු හින්දාත් එරටට ගොස් උපකාර කරන්න මාව යැව්වා. අපි නැවකට නැඟිලා නෙදර්ලන්තය බලා පිටත් වුණා. එහෙ ඉඳන් අපි ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයට ගියේ දුම්රියෙන්. අපි 1954 අගෝස්තු 9වෙනි දා ඩෙන්මාර්කයට ආවා.

එහි සිටි වගකීම් දැරූ සහෝදරයන්ගෙන් කිහිපදෙනෙක් බෘක්ලින් මූලස්ථානයෙන් ලැබුණු මඟ පෙන්වීම් පිළිපදිමින් සිටියේ නැහැ. මෙම ප්‍රශ්නය හසුරුවන්න අවශ්‍ය වුණා. ඩේනිෂ් භාෂාවට අපේ ප්‍රකාශන පරිවර්තනය කරමින් සිටිය හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම බෙතෙල් එකෙන් අයින් වුණා. පසුව ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීම පවා නවතා දැමුවා. ඒ වුණත් යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දුන්නා. පරිවර්තන වැඩවලට අර්ධ කාලීනව උදව් කර තිබූ යෝන් හා ආනා ලාසන් කියන පුරෝගාමි යුවළ පූර්ණ කාලීනව පරිවර්තන කටයුතුවල හවුල් වෙන්න ඉදිරිපත් වුණා. මේ හින්දා අපේ සඟරා එකක්වත් අතපසු කරන්නේ නැතුව දිගටම ඩේනිෂ් භාෂාවෙන් ලබාගන්න පුළුවන් වුණා. ලාසන් යුවළ තවමත් ඩෙන්මාර්ක් බෙතෙල් එකේ සේවය කරනවා. යෝන් එහි ශාඛා කමිටුවේ සම්බන්ධීකරණ සහෝදරයා ලෙස සේවය කරනවා.

ඒ කාලයේදී සහෝදර නෝර් නිතිපතා කළ බැහැදැකීම්වලින් හොඳ දිරිගැන්වීමක් ලැබුණා. ඔහු හැම කෙනා එක්කම ඉඳගෙන අද්දැකීම් බෙදාගනිමින් කතා කරන්න කාලය ගත්තා. ගැටලු හසුරුවන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඒ අද්දැකීම් උපකාරවත් වුණා. වර්ෂ 1955දී ඔහු කළ බැහැදැකීමකදී ඩෙන්මාර්කයට අවශ්‍ය සඟරා මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ පහසුකම් සහිත අලුත් ශාඛා කාර්යාලයක් ඉදි කරන්න තීරණය කළා. කෝපන්හේගන්වලට උතුරින් පිහිටි උපනගරයකින් අපි ඉඩමක් මිල දී ගත්තා. එක්දහස් නවසිය පනස් හතේ ගිම්හානය වෙද්දී අලුතින් සෑදූ ගොඩනැඟිල්ලේ අපේ සේවා කටයුතු පටන්ගත්තා. ඒ කාලය වෙනකොට, ගිලියද් පාසැලේ 26වන පන්තියෙන් උපාධිය ලබා, ඩෙන්මාර්කයට ඇවිත් සිටිය හැරී ජොන්සන් හා ඔහුගේ භාර්යාව වූ කාරින් අපේ මුද්‍රණාලය පිහිටුවා ක්‍රියාත්මක කරවන්න අපට උපකාර කළා.

ඩෙන්මාර්කයේ විශාල සමුළු සංවිධානය කිරීමේ වැඩකටයුතු අපි වැඩි දියුණු කළා. එක්සත් ජනපදයේ සිටි කාලයේදී සමුළුවල වැඩ කිරීමෙන් මම ලබා තිබුණු අද්දැකීම් සමුළු සංවිධානය කරන්න හුඟාක් උපකාරවත් වුණා. කෝපන්හේගන් නුවර 1961දී පැවැත්වූ විශාල ජාත්‍යන්තර සමුළුවට රටවල් 30කට වැඩි ගණනකින් පැමිණි අයට අපි ආගන්තුක සත්කාරය පිරිනැමුවා. ඒ සමුළුවට පැමිණි ඉහළම සංඛ්‍යාව 33,513යි. ස්කැන්ඩිනේවියානු රටවල පැවැත්වූ සමුළුවලින් විශාලතම සමුළුව 1969දී අපි පැවැත්වුවා. පැමිණි ඉහළම සංඛ්‍යාව 42,073යි!

මට 1963දී ගිලියද් පාසැලේ 38වන පන්තියට සහභාගි වෙන්න ආරාධනා කළා. යම් සකස් කිරීම් කර තිබූ මේ පාඨමාලාව මාස දහයක් පුරා පැවැත්වුවා. මෙය විශේෂයෙන්ම සැලසුම් කර තිබුණේ ශාඛා කාර්යාලවල සේවය කරන අයව පුහුණු කිරීම සඳහායි. නැවත වතාවක් බෘක්ලින් බෙතෙල් පවුල සමඟ ඇසුරු කරන්න ලැබුණු එක ගැනත් අවුරුදු ගණනාවක් තිස්සේ මූලස්ථානයේ සේවය කරමින් සිටි අයගේ අද්දැකීම්වලින් ප්‍රයෝජන ගන්න ලැබුණු එක ගැනත් මම හුඟාක් සතුටු වුණා.

මේ පුහුණු පාඨමාලාවෙන් පස්සේ මම නැවතත් ඩෙන්මාර්කයට ඇවිත් දිගටම එහි වගකීම් උසුලමින් සේවය කළා. මීට අමතරව, බටහිර හා උතුරු යුරෝපීය රටවල ශාඛා කාර්යාල බැහැදකිමින් කලාපීය අවේක්ෂකයෙකු හැටියට සේවය කිරීමේ වරප්‍රසාදයත් මට ලැබුණා. ඒ රටවල ශාඛා කාර්යාලවල සේවය කරන අයව දිරිගන්වමින් ඔවුන්ගේ වගකීම් හොඳින් ඉටු කිරීම සඳහා උපකාර කරන්නත් එහිදී මට අවස්ථාව ලැබුණා. මෑතකදී මම බටහිර අප්‍රිකාවේ හා කැරිබියන් දූපත්වල මේ සේවයේ හවුල් වුණා.

වර්ෂ 1970 අගභාගයේදී, ඩෙන්මාර්කයේ පරිවර්තන හා මුද්‍රණ කටයුතු වැඩි වුණ නිසා වඩා විශාල ගොඩනැඟිල්ලක් ඉදි කරන්න අවශ්‍ය ඉඩමක් සොයන්න සහෝදරයන් පටන්ගත්තා. කෝපන්හේගන් නගරයට කිලෝමීටර් 60ක් ඈතින් හොඳ ඉඩමක් සොයාගන්න පුළුවන් වුණා. තවත් සහෝදරයන් එක්ක එකතු වෙලා මම මේ අලුත් ගොඩනැඟිල්ල සැලසුම් කිරීමේ කටයුතුවල හවුල් වුණා. බෙතෙල් පවුලත් එක්ක මේ කදිම අලුත් නිවසේ ජීවත් වෙන්න ජූලිත් මමත් බලා සිටියේ මහත් ආශාවෙන්. කොහොමවුණත් අපි හිතපු විදිහට දේවල් සිදු වුණේ නැහැ.

ආපසු බෘක්ලින්වලට

බෘක්ලින් බෙතෙල් එකේ සේවය කරන්න කියා 1980 නොවැම්බර් මාසයේදී ජූලිටත් මටත් ආරාධනාවක් ලැබුණා. අපි දෙන්නා 1981 ජනවාරි මුල බෘක්ලින්වලට ආවා. ඒ කාලයේ අපි දෙන්නා පනස් ගණන්වල අවසාන භාගයේ පසු වෙමිනුයි සිටියේ. අපේ ජීවිතයෙන් භාගයකට ආසන්න කාලයක් ඩෙන්මාර්කයේ සිටින අපේ සහෝදර සහෝදරියන් සමඟ සේවය කළාට පස්සේ ආපසු එක්සත් ජනපදයට එන එක ඒ තරම් ලෙහෙසි වුණේ නැහැ. ඒත් අපි කැමති තැනක ජීවත් වෙන්න ඕනෙ කියලා අපි සිතුවේ නැහැ. එහෙම සිතනවා වෙනුවට අපි උත්සාහ කළේ අපිට ලැබුණු අලුත් පැවරුම් ගැන සිත යොමු කරමින් ඕනෑම අභියෝගයක් හමුවෙහි ඒවා ඉටු කරන්නයි.

අපි ආපසු බෘක්ලින්වලට ඇවිත් එහි ජීවත් වෙන්න පටන්ගත්තා. ජූලිගේ පැවරුම වුණේ ගිණුම් කාර්යාලයේ වැඩ කිරීමයි. ඩෙන්මාර්කයේ සිටින කාලයෙත් එයා කළේ ඒ වගේ වැඩයි. මගේ පැවරුම වුණේ අපේ ප්‍රකාශන පිළියෙළ කිරීම හා සම්බන්ධ කාලසටහන් සාදමින් ලේඛන අංශයට උපකාර කිරීමයි. එක් දහස් නවසිය අසූ ගණන්වල මුල් කාලයේ බෘක්ලින්වල කෙරුණු අපේ වැඩකටයුතුවල වෙනසක් සිදු වුණා. ඒ කාලයේ තමයි යතුරු ලියන හා අකුරු ඇමිණීමේ ක්‍රමය අත්හැර පරිගණක හා ඕෆ්සෙට් මුද්‍රණය යොදාගන්න පටන්ගත්තේ. මම පරිගණක ගැන මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒ වුණත් වැඩකටයුතු සංවිධානය කරන ආකාරය ගැනත් අනිත් අයත් එක්ක වැඩ කරන ආකාරය ගැනත් මට අවබෝධයක් තිබුණා.

ඊට ටික කාලයකට පස්සේ තවත් අවශ්‍යතාවක් පැනනැඟුණා. ඒ තමයි, පූර්ණ වර්ණ සහිත ඕෆ්සෙට් මුද්‍රණ කටයුතු සහ පින්තූර මෙන්ම ඡායාරූප සඳහා වර්ණ යොදාගන්න අපි පටන්ගත් නිසා චිත්‍ර ශිල්ප අංශයේ සංවිධානය තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව. මට චිත්‍ර ශිල්පියෙකු හැටියට කිසිම අද්දැකීමක් තිබුණේ නැති වුණත්, සංවිධාන කටයුතුවලට උපකාර කරන්න මට පුළුවන් වුණා. මේ නිසා ඒ අංශයේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමේ වරප්‍රසාදය අවුරුදු නවයක් පුරා භුක්ති විඳීමේ අවස්ථාව මට ලැබුණා.

පාලක මණ්ඩලය යටතේ තිබෙන ප්‍රකාශන කමිටුවට සහය වෙන්න කියලා මට 1992දී පැවසුවා. පසුව මාව භාණ්ඩාගාරයට මාරු කළා. මෙහි මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූල්‍යමය කටයුතු හා සම්බන්ධව සේවය කරමින් සිටිනවා.

කුඩා කල පටන් මා කරන සේවය

මගේ කුඩා කාලයේදී සහ කැප වූ දා සිට අවුරුදු 70ක් පුරා සේවය කරමින් සිටින කාලයේදී යෙහෝවා ඔහුගේ වචනය වන බයිබලයත් ඔහුගේ ශ්‍රේෂ්ඨ සංවිධානයේ සිටින උපකාර කරන්න ලැදිව සිටින සහෝදරයන්වත් යොදාගනිමින් මට ඉවසිලිවන්තව උගන්වා තිබෙනවා. මම අවුරුදු 63කට වැඩි කාලයක් පූර්ණ කාලීන සේවය කිරීමේ ප්‍රීතිය භුක්ති විඳිමින් සිටිනවා. මෙයින් අවුරුදු 55කට වැඩි කාලයක් ඒ සේවය කර තිබෙන්නේ මගේ විශ්වාසවන්ත භාර්යාව වන ජූලි සමඟයි. යෙහෝවා මට හුඟාක් ආශීර්වාද කර තිබෙනවා කියා කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්.

මම 1940දී ගෙදරින් පිට වෙලා, පුරෝගාමි සේවය කරන්න පටන්ගත් අවස්ථාවේදී, මා ගත් තීරණය මගේ තාත්තා සැහැල්ලුවට ලක් කරමින් මෙහෙම කිව්වා. “ඔයා මේ සේවය කරන්න ගෙදරින් පිට වෙලා යනවා නම්, මොනවා හරි වෙලා උදව් ඉල්ලාගෙන ආපහු එන්න හිතන්න එපා.” ගත වුණ අවුරුදු ගණනාව පුරා මට ඔහුගෙන් උදව්වක් අවශ්‍ය වුණේ නැහැ. යෙහෝවා මට අවශ්‍ය කරන දේවල් නොමසුරුව ලබා දීලා තියෙනවා. හුඟාක් අවස්ථාවලදී ඔහු මේ සඳහා යොදාගෙන තිබෙන්නේ උපකාර කරන්න ලැදි සෙසු සහෝදරයන්වයි. පසු කාලයකදී මගේ තාත්තා අපේ සේවය අගය කරන්න පටන්ගත්තා. එයා 1972දී මිය යන්න කලින් බයිබලය පාඩම් කරමින් සත්‍යය තුළ යම් දියුණුවක් ලබමින් සිටියා. ස්වර්ගික ජීවිතයේ බලාපොරොත්තුව ඇතුව සිටිය මගේ අම්මා ඇගේ මරණය තෙක්ම යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළා. ඇය 1985දී මිය යනකොට ඇගේ වයස අවුරුදු 102යි.

පූර්ණ කාලීන සේවයේදී යම් ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණත්, අපේ පැවරුම අත්හරින්න ජූලිවත් මමවත් කවදාවත් සිතුවේ නැහැ. අපේ අධිෂ්ඨානයට එකඟව ජීවත් වෙන්න යෙහෝවා හැම වේලාවේම අපිට උපකාර කරලා තියෙනවා. වයසට යමින් සිටිය මගේ දෙමාපියන්ට උපකාරය අවශ්‍ය වුණ අවස්ථාවලදී පවා මගේ අක්කා වන වික්ටෝරියා මාලින් ඉදිරිපත් වී ඔවුන්ව හොඳින් බලාගත්තා. මේ ගැන අපි එයාට හුඟාක් ස්තුතිවන්ත වෙනවා. ඇගේ ප්‍රේමණිය උපකාරය නිසා අපිට පුළුවන් වුණා, දිගටම පූර්ණ කාලීන සේවය කරගෙන යන්න.

අපිට ලැබුණු හැම පැවරුමක්ම ඉටු කරද්දී ජූලි එයාගේ පූර්ණ සහයෝගය මට දුන්නා. ඒක එයා සැලකුවේ එයා යෙහෝවාට කර තිබෙන කැපවීමේ කොටසක් කියලයි. දැන් මගේ වයස අවුරුදු 80යි. විවිධ අසනීපත් මට තියෙනවා. ඒ වුණත් මට දැනෙන්නේ යෙහෝවා අපිට හුඟාක් ආශීර්වාද කරලා තියෙන බවයි. ගීතිකාකරුගේ වචන මට ලොකු දිරිගැන්වීමක් වෙලා තියෙනවා. දෙවි තමන්ට කුඩා කාලයේ පටන් උගන්වා තිබූ බව පැවසුවාට පස්සේ ගීතිකාකරු දෙවිට මෙසේ ආයාචනා කළා. “දෙවියනි, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශ කරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත් නෑරිය මැනව.”—ගීතාවලිය 71:17, 18.

[පාදසටහන]

^ 12 ඡේ. වොරන් කියන්නේ මිල්ටන් හෙන්ෂල්ගේ අයියායි. සහෝදර මිල්ටන් හෙන්ෂල් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු හැටියට අවුරුදු ගණනාවක් සේවය කළා.

[20වන පිටුවේ පින්තූරය]

මම 1940 පුරෝගාමි සේවය පටන්ගත් කාලයේ අම්මා සමඟ

[21වන පිටුවේ පින්තූරය]

මාත් සමඟ පුරෝගාමි සේවයේ හවුල් වූ ජෝ සහ මාගරට් හාර්ට්

[23වන පිටුවේ පින්තූරය]

අප විවාහ වූ දා, 1948 ජනවාරි

[23වන පිටුවේ පින්තූරය]

ගිලියද් පාසැලේ මිතුරන් සමඟ, 1953දී. වමේ සිට දකුණට: ඩොන් සහ වර්ජිනියා වර්ඩ්, හෙට්‍රියූඩ ස්ටෙහෙන්ජ, ජූලි සහ මම

[23වන පිටුවේ පින්තූරය]

ෆෙඩ්රික් ඩබ්. ෆ්‍රාන්ස් සහ නේදන් එච්. නෝර් සමඟ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර, 1961දී

[25වන පිටුවේ පින්තූරය]

ජූලි සමඟ අද