Skip to content

පටුනට යන්න

දීමේ ස්වභාවයක් වර්ධනය කරගන්න

දීමේ ස්වභාවයක් වර්ධනය කරගන්න

දීමේ ස්වභාවයක් වර්ධනය කරගන්න

දීමේ ස්වභාවයක් කිසිවෙකුට උරුමයෙන් ලැබෙන්නේ නැත. තමන්ව රැකබලා ගන්නන්ගේ අවශ්‍යතාවන් ගැන පවා අවබෝධයක් නැති බිලිඳෙකුගේ සාමාන්‍ය පෙලඹීම වන්නේ තමන්ට වුවමනා දේ ලබාගැනීම හා තමන්ගේම අවශ්‍යතාවන් සපුරාගැනීමය. එහෙත්, තමා ඉන්නේ තව බොහෝදෙනෙකු ඉන්න ලෝකයක බව කල් යත්ම දරුවා ඉගෙනගනියි. අන් අය ගැනත් සැලකිලිමත් විය යුතු අතර, ලැබීමට පමණක් නොව දීමට සහ බෙදාගැනීමටද ඔහු ඉගෙනගත යුතුය. දීමේ ස්වභාවය වර්ධනය කරගත යුතුය.

පරිත්‍යාගශීලීව දෙනවා වුවත්, දෙන සමහරුන්ට දීමේ ස්වභාවයක් නැත. සමහරුන් පරිත්‍යාග කරන්නේ ආත්මාර්ථකාමී අභිලාෂයෙන් විය හැක. තවත් සමහරෙකු මිනිසුන්ගෙන් පැසසුම් ලැබීමේ අරමුණින් පරිත්‍යාගයන් කිරීමට ඉඩ තිබේ. කෙසේවෙතත්, අව්‍යාජ ක්‍රිස්තියානීන් අතර දීම සිදු කරනු ලබන ආකාරයේ වෙනසක් තිබේ. එසේනම්, දෙවිගේ වචනයෙහි දිරිගන්වා ඇති දීමේ ලක්ෂණ මොනවාද? පළමු සියවසේ ක්‍රිස්තියානීන් දුන් ආකාරය සම්බන්ධයෙන් මදක් සලකා බැලීමෙන් එම ප්‍රශ්නයට උත්තර ලැබෙනු ඇත.

ක්‍රිස්තියානීන් වශයෙන් දීම පිළිබඳ උදාහරණ

බයිබලයේ, ක්‍රිස්තියානීන් වශයෙන් දීම විස්තර කර තිබෙන්නේ ඇත්තටම අවශ්‍යතාවක් තිබූ ‘අය සමඟ දේවල් බෙදා හදා ගැනීම’ ලෙසය. (හෙබ්‍රෙව් 13:16, NW; රෝම 15:26) එය බල කිරීම මත කළ යුතු දෙයක් නොවීය. ප්‍රේරිත පාවුල් මෙලෙස ලීවේය. “එක් එක්කෙනා, අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, තම සිතින් තීරණය කරගත් ලෙස දිය යුතුය. මන්ද, සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරින්ති 9:7, NW) අනුන්ට පෙන්වීමේ අරමුණින් දීමද නොකටයුතුය. එවැනි බොරු මවාපෑමක් කිරීමෙන් අනතුරුව අනනියස් සහ සප්පිරා අතිදරුණු ප්‍රතිඵලයක් නෙළාගත්හ.—ක්‍රියා 5:1-10.

ක්‍රිස්තු වර්ෂ 33දී යෙරුසලමෙහි පැවති පෙන්තකොස්ත උත්සවයට දුරබැහැර පෙදෙස්වලින් බොහෝ යුදෙව්වන් හා යුදෙව් නොවන්නන් පැමිණි අවස්ථාවේ දීමේ අවශ්‍යතාව තදබල ලෙස පැවතිණ. යේසුස්ගේ අනුගාමිකයන් ‘ශුද්ධාත්මයෙන් පූර්ණව, . . . අන්‍ය භාෂාවලින් කතා කරන්ට පටන්ගත්තේ’ එහිදීය. ඔවුන් අවට විශාල ජනකායක් එක් රොක් වූ අතර යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව පේතෘස් දුන් හද දනවන කතාවට ඔවුහු සවන් දුන්හ. පසුව, පේතෘස් සහ යොහන් දේවමාලිගාවේ දොරටුව අසල සිටි කොර මිනිසෙකු සුව කළ ආකාරය ජනයා දුටු අතර යේසුස් ගැනත්, පසුතැවිලි වීමේ අවශ්‍යතාව ගැනත් පේතෘස් පැවසූ දේට නැවත වරක් සවන් දීමටද ඔවුන්ට ප්‍රස්තාව ලැබිණ. දහස් ගණන් දෙනෙක් පසුතැවිලි වූ අතර ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස බව්තීස්ම වූහ.—ක්‍රියා 2වන සහ 3වන පරිච්ඡේද.

යෙරුසලමේ නැවතී සිට යේසුස්ගේ ප්‍රේරිතයන්ගෙන් තවත් උපදෙස් ලැබීමට ඇදහිල්ලට හැරුණු නවකයන්ට වුවමනා විය. ඒ සියලු අමුත්තන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට ප්‍රේරිතයන්ට හැකි වූයේ කෙසේද? බයිබල් වාර්තාව අපට මෙසේ පවසයි. “වතු පිටි හෝ නිවෙස් අයිති අය ඒවා විකුණා, එයින් ලද මුදල ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබූහ. එවිට එය, යමෙකුගේ අවශ්‍යතාව අනුව එකිනෙකාට බෙදා දෙන ලදි.” (ක්‍රියා 4:33-35, NW) සැබවින්ම, අලුතෙන් පිහිටෙවූ යෙරුසලමේ සභාව තුළ දීමේ ස්වභාවයක් තිබිණ!

ඉන්පසු, අනෙකුත් සභාද එවැනිම ස්වභාවයක් විදහා පෑවේය. උදාහරණයක් වශයෙන්, දිලිඳු තත්වයක සිටි මැසිඩෝනියාවේ ක්‍රිස්තියානීන් තමන්ගේ පුළුවන්කමට වඩා වැඩියෙන් යුදයේ සිටි තම දිලිඳු සහෝදරයන්ට සම්මාදම් දීමට පෙලඹිණ. (රෝම 15:26; 2 කොරින්ති 8:1-7) පාවුල්ගේ දේවසේවයට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පිලිප්පි සභාව කැපීපෙනිණ. (පිලිප්පි 4:15, 16) යෙරුසලමේ සභාව දිලිඳු වැන්දඹුවන්ට දිනපතා ආහාර බෙදා දුන් අතර උපකාරය අවශ්‍ය වැන්දඹුවන්ගෙන් එක්කෙනෙක්වත් නොසලකා නොහරිනු වස් සුදුසු පුරුෂයන් සත්දෙනෙකුව ප්‍රේරිතයන් විසින් පත් කරන ලදි.—ක්‍රියා 6:1-6.

අසීරු කාලවල් ඇති වේයයි බලාපොරොත්තු වූ විට පවා මුල් ක්‍රිස්තියානි සභා නොපමාව ප්‍රතිචාරය දැක්වීය. උදාහරණයක් වශයෙන්, දරුණු සාගතයක් පැමිණෙන්න තිබෙන බව අනාගතවක්තෘ අගබස් පුරෝකථනය කළ විට, සිරියානු අන්තියෝකියේ සභාවෙහි සිටි ගෝලයෝ, “තම තමාට පුළුවන් විදියට යුදයේ වසන සහෝදරයන්ට සහනාධාර යැවීමෙන් ඔවුන්ට සේවයක් කිරීමට අදිටන් කරගත්තෝය.” (ක්‍රියා 11:28, 29, NW) අන්‍යයන්ගේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වූ ඔවුන් දැක්වූ ස්වභාවය මොන තරම් කදිම එකක් වීද!

එලෙස බොහෝ සෙයින් පරිත්‍යාගශීලී වීමට හා ප්‍රේමණීය වීමට මුල් ක්‍රිස්තියානීන්ව පෙලඹවූයේ කුමක්ද? ඇත්තෙන්ම, කෙනෙකු දීමේ ස්වභාවයක් ඇති කරගන්නේ කෙසේද? දාවිත් රජගේ ආදර්ශය කෙටියෙන් සලකා බැලීමෙන් අපට සෑහෙන දෙයක් ඉගෙනගත හැකියි.

සැබෑ නමස්කාරය වෙනුවෙන් දාවිත් දැක්වූ ත්‍යාගශීලී සහයෝගය

වසර 500කට ආසන්න කාලයක් පුරා ගිවි- සුම් පෙට්ටිය තැබීමට ස්ථිර ස්ථානයක් නොතිබිණ. යෙහෝවා සිටින බව නියෝජනය කළ පරිශුද්ධ පෙට්ටිය වූ එය තබා තිබුණේ කූඩාරමක නැතහොත් මණ්ඩපයකයි. ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ ගමන් කළ විට හා ඉන් අනතුරුව පොරොන්දු දේශයට ඇතුල් වූ විට ඔවුන්ට එය තැනින් තැනට ගෙන යෑමට සිදු විය. යෙහෝවාට සුදුසු ගෘහයක් සාදා, එම පරිශුද්ධ පෙට්ටිය කූඩාරමෙන් ඉවත් කර එහි තැබීමට දාවිත් රජ මහත් සේ ආශා කළේය. ප්‍රොපේත නාතාන්ව අමතමින් “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. නමුත් යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය තිර ඇතුළෙහි වාසය කෙරේයයි” දාවිත් කීවේය.—1 ලේකම් 17:1.

එහෙත්, දාවිත් යුධකාමියෙකු විය. එබැවින් ගිවිසුම් පෙට්ටිය තැබීමට දේවමාලිගාව ගොඩනඟනු ලබන්නේ ඔහුගේ පුත්‍රයා වූ සලමොන් විසින් ඔහුගේ සාමකාමී පාලන සමයකදී බවට යෙහෝවා ප්‍රතිඥා දුන්නේය. (1 ලේකම් 22:7-10) කෙසේවුවද, මේ හේතුවෙන් දාවිත්ගේ දීමේ ස්වභාවය ඇනහිටියේ නැත. විශාල කාර්ය හමුදාවක් සංවිධානය කරමින් ඔහු දේවමාලිගාව ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට වැඩපිළිවෙළක් දියත් කළේය. ඔහු පසුව සලමොන්ට මෙසේ පැවසීය. “යෙහෝවාගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම් කළෙමි.” (1 ලේකම් 22:14) ඉන් සෑහීමට පත් නොවී දාවිත් තම පෞද්ගලික ධන සම්පත්වලින්ද රන් සහ රිදී පරිත්‍යාග කළේය. අද දින එහි වටිනාකම රුපියල් 1,20,00,00,00,000කට වඩා වැඩි වේ. එපමණක්ද නොව, අධිපතීහුද බොහෝ සෙයින් පරිත්‍යාගයන් කළෝය. (1 ලේකම් 29:3-9) ඇත්තෙන්ම දාවිත් ත්‍යාගශීලී ලෙස දීමේ ස්වභාවයක් පෙන්නුම් කළේය.

එතරම් ත්‍යාගශීලී ලෙස දීමට දාවිත්ව පෙලඹවූයේ කුමක්ද? ඔහු ලබාගෙන තිබෙන හා ඉටු කර තිබෙන සියල්ල යෙහෝවාගේ ආශීර්වාදයේ ප්‍රතිඵලයක් බව ඔහු වටහාගෙන සිටියේය. ඔහුගේ යාච්ඤාවකදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය. “අපේ දෙවි වූ යෙහෝවා, ඔබගේ ශුද්ධවූ නාමය උදෙසා ඔබට ගෘහයක් ගොඩනැඟීමට අප විසින් සූදානම් කළ මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබගේ අතින්ය. සියල්ලම ඔබගේය. මාගේ දෙවියනි, ඔබ සිත සෝදිසි කරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජා කරන බව ප්‍රීතියෙන් දුටිමි.” (1 ලේකම් 29:16, 17) දාවිත් යෙහෝවා සමඟ තිබූ සබඳතාව අගනා වස්තුවක් සේ සැලකුවේය. “සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින්” දෙවිට සේවය කිරීමේ අවශ්‍යතාව වටහාගෙන සිටි ඔහු එසේ කිරීමෙන් ප්‍රීති විය. (1 ලේකම් 28:9) මුල් ක්‍රිස්තියානීන්ද දීමේ ස්වභාවයක් විදහා පෑමට පෙලඹුණේ එවැනිම ගුණාංග ඔවුන්ට තිබූ නිසාය.

දීමේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය වන යෙහෝවා

දීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබා තිබෙන්නේ යෙහෝවාය. ඔහු මොන තරම් ප්‍රේමණීය හා සැලකිලිමත් කෙනෙක්ද කියනවා නම් “ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.” (මතෙව් 5:45, NW) සියලු මනුෂ්‍යවර්ගයාට ඔහු “ජීවනයත් හුස්මත් අන් සියලු දේත්” දෙන්නේය. (ක්‍රියා 17:25, NW) ඇත්තෙන්ම, යාකොබ් පෙන්වූ ආකාරයට “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්ය. මන්ද, අහසෙහි ආලෝකවල පියාණන් වෙතින් එය බැස එන්නේය.”—යාකොබ් 1:17.

යෙහෝවා අපට දී තිබෙන උතුම්ම ත්‍යාගය, ඔහුගේ “ඒකජාතක පුත්‍රයාය.” “එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව” සිටින බැවින්, එවැනි ත්‍යාගයක් ලැබීමට අප වටිනවායයි කිසිවෙකුට පැවසිය නොහැක. (රෝම 3:23, 24, NW; 1 යොහන් 4:9, 10) “කියා නිම කළ නොහැකි, දෙවි නොමිලේ දෙන දීමනාව” එනම් “සියල්ල අබිබවා යන දෙවිගේ මහත් කරුණාව” ලැබීමට පදනම සහ මාර්ගය වන්නේ ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලයයි. (2 කොරින්ති 9:14, 15, NW) දෙවිගේ දීමනාව අගය කරමින් පාවුල් “දෙවිගේ මහත් කරුණාවේ ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දැරීම” තම ජීවිතයේ ප්‍රධාන කාර්ය කරගත්තේය. (ක්‍රියා 20:24, NW) දෙවිගේ කැමැත්ත “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” බව ඔහු වටහාගත්තේය.—1 තිමෝති 2:4,NW [1 තිමෝති 2:3, 4, පැ.අ.].

අද දින මෙය ඉටු කරනු ලබන්නේ විශාල ලෙස සිදු කෙරෙන දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කර්තව්‍යයක් මගින් වන අතර, එය දැන් ලොව පුරා රටවල් 234කට ව්‍යාප්ත වී ඇත. මෙම ව්‍යාප්ත වීම පිළිබඳව යේසුස් පුරෝකථනය කළේ මෙයාකාරයෙනි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14, NW) ඇත්තෙන්ම, “පළමුවෙන් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුය.” (මාක් 13:10, NW) ඉකුත් වසරේදී ශුභාරංචිය ප්‍රකාශ කරන්නෝ මිලියන හයකට වඩා මෙම කර්තව්‍යය වෙනුවෙන් පැය 1,20,23,81,302ක් කැප කළ අතර බයිබල් පාඩම් 53,00,000කට වඩා පැවැත්වූහ. ජීවිත අනතුරුදායක තත්වයක පවතින නිසා එම උපදෙස පිළිපැදීම අත්‍යවශ්‍ය දෙයකි.—රෝම 10:13-15; 1 කොරින්ති 1:21.

බයිබල් සත්‍යය කෙරෙහි ආශාවක් දක්වන අයට උපකාර කිරීම සඳහා බයිබල්, පොත් සහ විවරණිකා ඇතුළු ප්‍රකාශන මිලියන ගණනක් සෑම වසරකම මුද්‍රණය කරනු ලැබේ. ඊට අමතරව, මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පිටපත් බිලියනයකට වඩා මුද්‍රණය කෙරේ. ශුභාරංචියට සවන් දෙන ජනයාගේ සංඛ්‍යාව වැඩි වත්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලා සහ එක්රැස්වීම් ශාලා වැඩි වැඩියෙන් ඉදි කරනු ලබන අතර මේවා බයිබල් උපදෙස් ලැබීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදාගැනේ. සෑම වසරකම චාරිකා එක්රැස්වීම් සහ විශේෂ එක්රැස්වීමේ දිනයන් මෙන්ම දිස්ත්‍රික් සමුළු පවත්වනු ලැබේ. මිෂනාරිවරුන්, සංචාරක අවේක්ෂකයන්, වැඩිමහල්ලන් සහ සභා සේවකයන් පුහුණු කිරීමද දිගටම සිදු වන ක්‍රියාවලියකි. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළින් මේ සියලු සැපයුම් ලබා දී තිබීම ගැන අපි යෙහෝවාට ස්තුතිවන්ත වන්නෙමු. (මතෙව් 24:45-47, NW) ඔහුට අපේ කෘතඥතාව පළ කරන්න අපි මොන තරම් කැමැත්තක් දක්වන්නෙමුද!

යෙහෝවාට කෘතඥතාව පෙන්වීම

දේවමාලිගාව ඉදි කිරීම සහ මුල් ක්‍රිස්තියානි සභාවල අවශ්‍යතා පිරිමැසීම සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, මේ සියල්ලටම මුළුමනින්ම මුදල් ලැබෙන්නේ ස්වේච්ඡා සම්මාදම්වලිනි. කෙසේවුවද, සියලු දේවල හිමිකරු වන යෙහෝවාව ධනවත් කිරීමට කිසිවෙකුට නොහැකි බව මතක තබාගත යුතුය. (1 ලේකම් 29:14; හග්ගයි 2:8) එසේනම්, සම්මාදම් දීමෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ අප යෙහෝවාට ප්‍රේම කරන බව සහ සැබෑ නමස්කාරය වැඩි දියුණු කිරීමට අප තුළ ආශාවක් තිබෙන බවය. ත්‍යාගශීලීවන්ත මෙම ක්‍රියා මගින් “දෙවිට බොහෝ ස්තුති දීම්ද” හටගනියි කියා පාවුල් පවසයි. (2 කොරින්ති 9:8-13, NW) අප තුළ හරි ස්වභාවයක් තිබෙන බවත්, ඔහු කෙරෙහි ලැදි වූ හොඳ සිතක් තිබෙන බවත් එමගින් පෙන්වන බැවින් එයාකාර දීමනාවලට යෙහෝවා දිරි දෙයි. ත්‍යාගශීලී මෙන්ම යෙහෝවා කෙරෙහි රඳා සිටින අයට ඔහුගෙන් ආශීර්වාද ලැබෙන අතර, ඔවුන් ආත්මික සමෘද්ධියද අද්දකිනු ඇත. (ද්විතීය කථාව 11:13-15; හිතෝපදේශ 3:9, 10; 11:25) “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” යනුවෙන් පැවසීමෙන් යේසුස් අපට සන්තෝෂය ලැබෙන බවට සහතික කළේය.—ක්‍රියා 20:35, NW.

දීමේ ස්වභාවය තිබෙන ක්‍රිස්තියානීන් අවශ්‍යතාව ඇති වන තුරු බලා සිටින්නේ නැත. ඒ වෙනුවට ඔවුහු “සියල්ලන්ටම, විශේෂයෙන්ම ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම්” කිරීමට ප්‍රස්තාවන් සොයති. (ගලාති 6:10, NW) භක්තිමත් ලෙස දක්වන ත්‍යාගශීලිත්වය සඳහා දිරිගන්වමින් පාවුල් මෙසේ ලීවේය. “යහපත කිරීමද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමද අමතක නොකරන්න. මන්ද, එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය.” (හෙබ්‍රෙව් 13:16, NW) අන්‍යයන්ට උපකාර කිරීමට හා නිර්මල නමස්කාරය වැඩි දියුණු කිරීමට අපේ කාලය, ශක්තිය සහ මුදල් යනාදිය භාවිත කිරීම ඇත්තෙන්ම යෙහෝවා දෙවිව බොහෝ සෙයින් සතුටු කරවන්නකි. සැබවින්ම ඔහු දීමේ ස්වභාවයට කැමතියි.

[28, 29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දීමට සමහරුන් තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්

“ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් ඉතිරි කරති, නැතහොත් වෙන් කරති.

සෑම මසකම සභාවන් මෙම මුදල එක් එක් රටවල ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවයි. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබ වෙසෙන රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවිය හැක. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. චෙක්පත් “වොච් ටවර්” යන නමට ලිවිය යුතුය. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

කොන්දේසි සහිතව ප්‍රදානය කිරීමේ විධිවිධානය

දායකයාට එය ඉල්ලූ විට ආපසු ලබාගත හැකි වන පරිදි විශේෂ කොන්දේසියක් මත මුදල් පරිත්‍යාග කළ හැක. තවත් තොරතුරු සඳහා ඉහත සඳහන් ලිපිනයට ලියා සමිතියේ භාණ්ඩාගාරයෙන් විමසන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ කොන්දේසි සහිතව මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබේ. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වේ.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැක.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතිය අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරිත්වය වොච් ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දිය හැක.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැක.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළ සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, නේවාසික ඉඩමක් ලෙස පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුය.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය යනු යමෙකු තමා සතු මුදල් හෝ සුරැකුම් වොච් ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලසුමකි. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි. පරිත්‍යාග කරන ලද වාර්ෂිකය ආරම්භ කරන වසරේදී දායකයාට ආදායම් බද්ද අඩුවෙන් ගෙවීමට හැකියාවක් ලැබේ.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කිරීමට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් පිරිනැමීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැක.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට, ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබේ රටෙහි තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දැන්විය හැක. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.

[26වන පිටුවේ පින්තූරය]

පරිත්‍යාගශීලී වීමට මුල් ක්‍රිස්තියානීන්ව පෙලඹවූයේ කුමක්ද?