Skip to content

පටුනට යන්න

දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය

දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය

දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය

“රූපශ්‍රීය රැවටිලි සහිතය. ශෝභනකම නිෂ්ඵලය. ප්‍රශංසාව ලැබෙන්නේ යෙහෝවා කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.”—හිතෝපදේශ 31:30.

1. යෙහෝවා අලංකාරය දෙස බලන ආකාරයත් මේ ලෝකය ඒ දෙස බලන ආකාරයත් අතර වෙනස කුමක්ද?

මේ ලෝකය වැඩි වැදගත්කමක් දක්වන්නේ පිටාතර පෙනුමටයි. විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් මෙය සැබෑවකි. එහෙත්, යෙහෝවා උනන්දු වන්නේ ඇතුළාන්ත පුද්ගලයා ගැනය. වයසට යෑමත් සමඟ ඒ ඇතුළාන්ත පුද්ගලයා වඩ වඩාත් අලංකාර වෙන්නටත් ඉඩ තිබේ. (හිතෝපදේශ 16:31) මෙබැවින්, බයිබලය කාන්තාවන්ට උපදෙස් දෙන්නේ මෙසේයි. “ඔබේ අලංකාරය කොණ්ඩා ගෙතීමද රන් ආභරණ පැළඳීමද ඇඳුම් පැළඳුම්ද යන බාහිර අලංකාරය නොවේවා. ඒ වෙනුවට දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝසේ වටිනා, තැන්පත් වූ මෘදු වූ ගතිය නමැති දිරා නොයන වස්ත්‍රය පැළඳ සිටින සිතේ අභ්‍යන්තර පුද්ගලයා ඔබේ අලංකාරය විය යුතුය.”—1 පේතෘස් 3:3, 4, NW.

2, 3. පළමු සියවසේදී ශුභාරංචියේ වර්ධනයට කාන්තාවන් දායක වූයේ කෙසේද? මෙය පුරෝකථනය කරනු ලැබුවේ කෙසේද?

2 එවන් ප්‍රශංසනීය ස්වභාවයක් බයිබලයේ සඳහන් කාන්තාවන් බොහෝදෙනෙකු විසින් පෙන්වනු ලැබ තිබේ. පළමු සියවසේදී, මේ අයගෙන් සමහරදෙනෙකුට යේසුස්ට සහ ඔහුගේ ප්‍රේරිතයන්ට සේවය කිරීමේ වරප්‍රසාදය තිබිණි. (ලූක් 8:1-3) පසුව, මෙම ක්‍රිස්තියානි කාන්තාවෝ ජ්වලිතවත් එවැන්ජලිස්තවරියන් බවට පත් වූවෝය. තවත් අය ප්‍රේරිත පාවුල් ඇතුළු පෙරමුණ ගන්නා පුරුෂයන්ට දැක්වූයේ මහත් අනුබලයකි. තවද සමහරක් අය අතිවිශේෂ ලෙස ආගන්තුක සත්කාරය පෙන්වූ අතර, ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීමට තමන්ගේ නිවෙස්ද විවෘත කළහ.

3 යෙහෝවා විසින් තමන්ගේ අරමුණ ඉටු කිරීම සඳහා කාන්තාවන්ව බලවත් ලෙස යොදාගනු ලබන බව ශුද්ධ ලියවිල්ලේ පුරෝකථනය කර තිබිණි. නිදසුනක් වශයෙන්, යෝවෙල් 2:28, 29හි කලින් පවසා තිබුණේ බාල මහලු පුරුෂයන් සහ කාන්තාවන් යන දෙපාර්ශ්වයම ශුද්ධාත්මය ලැබ, රාජ්‍යයේ ශුභාරංචිය පැතිරවීමට හවුල් වනු ඇති බවයි. එම අනාවැකිය ඉෂ්ට වීමට පටන්ගත්තේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීයි. (ක්‍රියා 2:1-4, 16-18) ආත්මයෙන් අභිෂේක ලත් සමහර කාන්තාවන්ට අනාවැකි කීම වැනි ප්‍රාතිහාර්යමය දීමනාවන්ද දානය කරන ලදි. (ක්‍රියා 21:8, 9) ඇදහිලිවන්ත සහෝදරියන්ගෙන් යුත් මෙම විශාල ආත්මික හමුදාව ජ්වලිතවත් ලෙස දේවසේවයේ යෙදෙමින් පළමු සියවසේ ක්‍රිස්තියානි ධර්මයේ ශීඝ්‍ර වර්ධනයට මහත් සේ දායක වුණි. ඇත්තෙන්ම, ක්‍රි.ව. 60 වන විට, ප්‍රේරිත පාවුල් ලීවේ එම ශුභාරංචිය ‘ස්වර්ගයෙන් යට මුළු මැවිල්ලේ දේශනා කරනු ලැබීය’ කියායි.—කොලොස්සි 1:23, NW.

ඔවුන්ගේ ධෛර්යය, ජ්වලිතය සහ ආගන්තුක සත්කාරය නිසා ප්‍රශංසා කරනු ලැබ

4. පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවේ කාන්තාවන් කිහිපදෙනෙකුව ප්‍රශංසාවට ලක් කිරීමට පාවුල්ට හොඳ හේතු තිබුණේ මන්ද?

4 ඇතැම් ක්‍රිස්තියානි කාන්තාවන් විසින් කරන ලද සේවය ඉතා ඉහළින් අගය කළ එක් පුද්ගලයෙකු නම් ප්‍රේරිත පාවුල්ය. අද සිටින ක්‍රිස්තියානි අවේක්ෂකයන් ජ්වලිතවත් කාන්තාවන් විසින් කරනු ලබන දේවසේවය අගය කරන්නෙත් මෙලෙසයි. පාවුල් සඳහන් කළාවූ නම් අතර, “ස්වාමීන් තුළ වෙහෙසී වැඩ කරන ස්ත්‍රීන් වන ත්‍රිෆේනා සහ ත්‍රිෆෝසා” සහ ‘ස්වාමීන් තුළ වෙහෙසී වැඩ කළ අපේ ප්‍රේමණීය පර්සිස්ද’ විය. (රෝම 16:12, NW) යුවෝදියා සහ සින්ටීකි ‘තමා සමඟ ශුභාරංචිය උදෙසා එක්ව වැඩ කළෝය’ කියා පාවුල් ලීවේය. (ෆිලිප්පි 4:2, 3, NW) ප්‍රිස්කිලාද ඇගේ ස්වාමිපුරුෂයා වූ අකිලා හා එක්ව පාවුල් සමඟ වැඩ කළාය. ඇය සහ අකිලා පාවුල් වෙනුවෙන් “තමුන්ගේ ජීවිත [පවා] අනතුරට ලක් කළෝය.” මේ නිසා, මෙසේ ලිවීමට පාවුල් පෙලඹුණේය. “මා පමණක් නොව, ජාතීන්ගේ සියලු සභාද ඔවුන්ට ස්තුති කරති.”—රෝම 16:3, 4, NW; ක්‍රියා 18:2.

5, 6. අද දින සහෝදරියන් සඳහා ප්‍රිස්කිලා කදිම ආදර්ශයක් තැබුවේ කිනම් ආකාරවලින්ද?

5 ප්‍රිස්කිලාගේ ජ්වලිතකමට සහ ධෛර්යයට හේතු පාදක වූයේ කුමක්ද? මේ පිළිබඳව යම් ඉඟියක් අපට ක්‍රියා 18:24-26න් සොයාගත හැකියි. එහි අපට පෙනෙන්නේ දක්ෂ කථිකත්වයක් තිබූ අපොල්ලොස්ට උපකාර කිරීමට ප්‍රිස්කිලා ඇගේ සැමියාට සහය වූ බවයි. ඒ හෙළි කරන ලද සත්‍යතාවේ අලුත්ම තොරතුරු ඔහුට කියා දීම පිණිසයි. ප්‍රිස්කිලා දේවවචනය සහ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් ඉතා හොඳින් අධ්‍යයනය කළ බව පැහැදිලියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය කදිම ගුණාංග වර්ධනය කරගත්තාය. එමනිසා, දෙවිද ඇගේ ස්වාමිපුරුෂයාද ඇයව ඉතා අගනා තැනැත්තියක් ලෙස සැලකූ අතර ඇයව පළමුවන සියවසේ ක්‍රිස්තියානි සභාවේ වටිනා සාමාජිකාවක් ලෙස ගණන් ගනු ලැබුවාය. අද දිනද ඉතා කඩිසර ලෙස බයිබලය අධ්‍යයනය කරමින් හා “විශ්වාසවන්ත සේවකයා” මාර්ගයෙන් යෙහෝවා සපයන ලද ආත්මික ආහාර ගනිමින් වෙහෙස මහන්සි වී වැඩ කරන බොහෝ ක්‍රිස්තියානි සහෝදරියන්ද ඒ හා සමානව ඉතා අනර්ඝය.—ලූක් 12:42, NW.

6 අකිලා සහ ප්‍රිස්කිලා ආගන්තුක සත්කාරය පෙන්වීමෙහිලා කැපීපෙනෙන අය වූහ. පාවුල් කොරින්තියේ සිට ඔවුන් දෙදෙනා කරගෙන ගිය කූඩාරම් සෑදීමේ කර්මාන්තයට හවුල් වෙද්දී නැවතී සිටියේ ඔවුන්ගේ නිවසෙයි. (ක්‍රියා 18:1-3) මෙම යුවළ එෆීසයේත් පසුව රෝමයේත් පදිංචියට ගිය විට, එහිදීද ඔවුන් ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරය දිගටම පෙන්වූ අතර, තමන්ගේ නිවස ක්‍රිස්තියානි රැස්වීම් සඳහාද විවෘත කළේය. (ක්‍රියා 18:18, 19; 1 කොරින්ති 16:8, 19) එලෙසම නිම්ෆාද, යොහන් සහ මාක්ගේ මව වූ මරියාද සභා රැස්වීම් සඳහා තම නිවෙස් විවෘත කළෝය.—ක්‍රියා 12:12; කොලොස්සි 4:15.

අද දින අනර්ඝ වස්තුවකි

7, 8. වත්මන් ක්‍රිස්තියානි කාන්තාවන් බොහෝදෙනෙකු පරිශුද්ධ සේවය පිළිබඳව තබා ඇත්තේ කිනම් ප්‍රශංසනීය වාර්තාවක්ද? තවද ඔවුන්ට සහතික විය හැක්කේ කුමක් ගැනද?

7 පළමු සියවසේදී මෙන්, අද දින සිටින ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝද දෙවිගේ අරමුණ මුදුන් පැමිණවීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරති. ඔවුන් මෙය ප්‍රධාන වශයෙන් ඉටු කරන්නේ එවැන්ජලිස්ත සේවයේ හවුල් වීම මගිනි. මෙම සහෝදරියන් තබා ඇත්තේ මොන තරම් කදිම වාර්තාවක්ද! ග්වේන් නමැති සහෝදරියගේ ආදර්ශය සලකා බලන්න. ඇය 2002දී මිය යන තෙක් වසර 50කට වැඩි කාලයක් යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කළාය. ඇගේ සැමියා පවසන්නේ මෙසේයි. “එවැන්ජලිස්තවරියක් වශයෙන් ග්වේන්ගේ ජ්වලිතය අපේ මුළු නගරයේම පාහේ ප්‍රසිද්ධ වී තිබුණා. ඇයට සෑම මිනිසෙකුව පෙනුණේ යෙහෝවාගේ ප්‍රේමය සහ පොරොන්දු ලැබීමට වටිනා කෙනෙකු ලෙසටයි. අපි පවුලක් වශයෙන් එකට ගත කළ තෘප්තිමත් කාලය පුරාම දෙවිට, ඔහුගේ සංවිධානයට සහ අපගේ පවුලට ඇය දැක්වූ පක්ෂපාතකම මටත් අපේ දරුවන්ටත් මහත් පිටුවහලක් වුණා. අපි මානසිකව වැටී සිටින අවස්ථාවලදී ඇය අපට දුන් ප්‍රේමණීය දිරිගැන්වීමත් අපි මහත් සේ අගය කරනවා. ඇයගේ වියෝව අපට මහා පාඩුවක්.” ග්වේන් සහ ඇගේ සැමියා විවාහ වී සිටි කාලය වසර 61කි.

8 පුරෝගාමි දේවසේවකයන් හා මිෂනාරීන් හැටියට සේවය කරන තනිකඩ හා විවාහ වූ ක්‍රිස්තියානි කාන්තාවන් දහස් ගණනක් ජීවිතයේ මූලික අවශ්‍යතාවන්ගෙන් සෑහීමකට පත් වී ජනාකීර්ණ නගරවල පටන් හුදෙකලා ප්‍රදේශ දක්වා බලප්‍රදේශවල රාජ්‍ය පණිවුඩය ව්‍යාප්ත කිරීමෙහි කඩිසරව යෙදී සිටිති. (ක්‍රියා 1:8) බොහෝදෙනෙක් යෙහෝවාට වැඩියෙන් සේවය කිරීම පිණිස තමන්ගේම කියා නිවසක් ඇතිව සිටීමෙන් හා දරුවන් ඇති දැඩි කරගැනීමෙන් වැළකී සිටිති. ඒ අතර, සංචාරක අවේක්ෂකයන් වශයෙන් සේවය කරන තම ස්වාමිපුරුෂයන්ට පක්ෂපාතව සිටිමින් සහයෝගය දක්වන සහෝදරියන්ද ලොව වටා බෙතෙල් නිවාසවල සේවය කරන සහෝදරියන් දහස් ගණනක්ද සිටිති. ආත්ම පරිත්‍යාගශීලී මෙම කාන්තාවන් යෙහෝවාගේ ගෘහය පුරවන ‘සියලු ජාතීන්ගෙන් පැමිණෙන සිත්ගන්නා දේවල්’ අතර සිටින බවට කිසිදු සැකයක් නැත.—හග්ගයි 2:7, NW.

9, 10. ඇතැම් පවුල් සාමාජිකයන් ක්‍රිස්තියානි භාර්යාවන් සහ මව්වරුන් විසින් තබා තිබෙන කදිම ආදර්ශය කෙරෙහි අගය ප්‍රකාශ කර ඇත්තේ කෙසේද?

9 ඇත්තවශයෙන්ම, බොහෝ ක්‍රිස්තියානි කාන්තාවන්ට තමන්ගේ පවුල්වල වගකීම් තිබේ. එහෙත්, ඔවුහු රාජ්‍ය පිළිබඳ කාරණාවලට ප්‍රමුඛස්ථානය දෙති. (මතෙව් 6:33) එක්තරා තනිකඩ සහෝදරියක් මෙසේ ලීවාය. “මා ස්ථාවර පුරෝගාමියක වීමට වැඩියෙන්ම පෙලඹුණේ මගේ අම්මාගේ නොසැලෙන ඇදහිල්ල සහ කදිම ආදර්ශය නිසයි. ඇත්තෙන්ම කියනවා නම්, අම්මා මගේ හොඳම පුරෝගාමි සහයිකාවක් වෙලා හිටියා.” වැඩුණු දැරියන් පස්දෙනෙකුගේ මවක් වන තම භාර්යාව ගැන එක් ස්වාමිපුරුෂයෙක් කීවේ මෙසේයි. “අපේ ගේ හැමවිටම පිරිසිදුවට ලස්සනට තිබුණා. ඒ බොනී ඒක සරලව පිළිවෙළකට තබා තිබුණු නිසයි. ඒ නිසා අපේ පවුලේ අයට හැකි වුණා ආත්මික දේවලට නිතර අවධානය යොමු කරන්න. අපට ලැබුණු ආදායම ඇය ඉතා සැකසුරුවම්කමින් පාලනය කරපු නිසා මට පුළුවන් වුණා අවුරුදු 32ක්ම අර්ධ කාලීන රැකියාවක් කරමින් අපේ පවුලට සහ ආත්මික කාරණාවලට වැඩි කාලයක් කැප කරන්න. ඒ වගේම වෙහෙස මහන්සි වී වැඩ කරන එකේ වටිනාකම ගැනත් මගේ භාර්යාව දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඇත්තටම ඇය මගේ ප්‍රශංසාව ලැබීමට වටිනවා.” අද දින මේ සැමියා සහ බිරිඳ යන දෙදෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරති.

10 එක්තරා ස්වාමිපුරුෂයෙක්, හැදුණු වැඩුණු දරුවන්ගේ මවක වන තම භාර්යාව ගැන මෙසේ ලියයි. “සූසන් තුළ මම දකින මම හුඟාක් අගේ කරන ගුණාංග තමයි, දෙවි කෙරෙහිත් ජනයා කෙරෙහිත් ඇයට තිබෙන දැඩි ප්‍රේමය. ඒ වගේම ඇයගේ තේරුම්ගන්නා ගතිය, සංවේදනය හා අවංකකම. ඇය නිතරම හිතනවා අප යෙහෝවාට අපේ හොඳම දේ දෙන්න ඕනේ කියලා. මෙය ඇය දෙවිගේ සේවිකාවක් හැටියටත් මවක් හැටියටත් ඇයටම අදාළ කරගන්න ප්‍රතිපත්තියක්.” මෙම ස්වාමිපුරුෂයාගේ භාර්යාව ඔහුට දක්වන සහයෝගය නිසා වැඩිමහල්ලෙක්, පුරෝගාමියෙක්, ආදේශ චාරිකා අවේක්ෂකයෙක් සහ රෝහල් සබඳතා කමිටු සාමාජිකයෙක් වශයෙන් ඔහුට ආත්මික වරප්‍රසාද ගණනාවක්ම භාරගැනීමට හැකි වී තිබේ. එවන් කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ට, තමන්ගේ සෙසු ක්‍රිස්තියානීන්ට හා සියල්ලන්ටම වඩා යෙහෝවාට කොයි තරම් අනර්ඝද!—හිතෝපදේශ 31:28, 30.

ස්වාමිපුරුෂයෙකු නැති අනර්ඝ කාන්තාවෝ

11. (අ) යෙහෝවා වැන්දඹුවන් ඇතුළු ඇදහිලිවන්ත කාන්තාවන් කෙරෙහි සැලකිල්ල දක්වා ඇත්තේ කෙසේද? (ආ) ස්වාමිපුරුෂයෙක් නැතිව සිටින ක්‍රිස්තියානි වැන්දඹුවන්ට හා වෙනත් ඇදහිලිවන්ත සහෝදරියන්ට කිනම් දෙයක් ගැන සහතික විය හැකිද?

11 යෙහෝවා නිතරම වැන්දඹුවන්ගේ සුභසාධනය ගැන සැලකිලිමත් වන බව පෙන්වා තිබේ. (ද්විතීය කථාව 27:19; ගීතාවලිය 68:5; යෙසායා 10:1, 2) ඔහු වෙනස් වී නැත. වැන්දඹුවන් කෙරෙහි පමණක් නොව තනි මව්වරුන් කෙරෙහිද සිය කැමැත්තෙන් හෝ තමාට සුදුසු ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් සම්බ වී නැති නිසා තනිකඩව සිටින කාන්තාවන් කෙරෙහිද ඔහු නොකඩවාම ගැඹුරු සැලකිල්ලක් දක්වයි. (මලාකි 3:6; යාකොබ් 1:27) ක්‍රිස්තියානි සහකරුවෙක් හෝ සහකාරියක් නොමැතිව සේවය කරන අය අතර ඔබද සිටී නම්, දෙවිගේ ඇස් හමුවේ ඔබ අනර්ඝ බවට ඔබට සහතික විය හැකියි.

12. (අ) ඇතැම් ක්‍රිස්තියානි සහෝදරියන් යෙහෝවාට ඇති තම පක්ෂපාතකම නිරූපණය කරන්නේ කෙසේද? (ආ) අපගේ සහෝදරියන්ගෙන් සමහරදෙනෙක් කුමානාකාරයේ හැඟීම් සමඟද පොරබදමින් සිටින්නේ?

12 නිදසුනකට, ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමට යෙහෝවා දී ඇති උපදෙසට පක්ෂපාතව කීකරු වෙන විවාහ වී නැති අපගේ ක්‍රිස්තියානි සහෝදරියන්ව සැලකිල්ලට ගන්න. (1 කොරින්ති 7:39; හිතෝපදේශ 3:1) “පක්ෂපාත වන කෙනෙකු සමඟ [යෙහෝවාද] පක්ෂපාතව ක්‍රියා කරනු ඇත” කියා දෙවිගේ වචනය ඔවුන්ට සහතික වෙයි. (2 සාමුවෙල් 22:26, NW) එහෙත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට තනිකඩව සිටීම අභියෝගයකි. එක් සහෝදරියක් මෙසේ පවසන්නීය. “ස්වාමීන් තුළ පමණක් විවාහ වීමට මම අදිටන් කරගත්තා. ඒ වුණාට මට සුදුසු සහකරුවෙක් මට තවමත් නොලැබීම නිසා, මගේ යෙහෙළියන් හොඳ ක්‍රිස්තියානි පුරුෂයන් හා විවාහ වෙද්දී මම හුඟාක් අඬලා තියෙනවා.” එක් සහෝදරියක් මෙසේ සඳහන් කරන්නීය. “මම වසර 25ක් පුරා යෙහෝවාට සේවය කරලා තියෙනවා. මම ඔහුට පක්ෂපාතව සිටීමට අදිටන් කරගෙනයි ඉන්නේ. නමුත් තනිකමේ හැඟීම් නිසා නිතර මම දුක් වෙනවා” ඇය තවදුරටත් මෙසේ කියන්නීය. “මං වගේ සහෝදරියන් හුඟාක් ආශාවෙන් ඉන්නවා දිරිගැන්වීමක් ලබන්න.” එවන් පක්ෂපාත සහෝදරියන්ට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?

13. (අ) යෙප්තාගේ දියණියව බැලීමට ගිය අයගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? (ආ) අපගේ සභාවේ තනිකඩ සහෝදරියන්හට අපට කිනම් අමතර ආකාරවලින් සැලකිල්ල පෙන්විය හැකිද?

13 උපකාර කළ හැකි එක ක්‍රමයක් පැරණි ආදර්ශයක් තුළ දක්නට ලැබෙයි. යෙප්තාගේ දියණිය පුරුෂයෙකු හා විවාහ වීමට තමාට ඇති හැකියාව අත්හළ අවස්ථාවේදී, ජනයා තේරුම්ගත් දෙයක් නම්, ඇය යම් පරිත්‍යාගයක් කරමින් සිටි බවයි. ඇයව දිරිගැන්වීම පිණිස කුමක් කරනු ලැබුවාද? “ගිලියද්හි යෙප්තාගේ දුව සිහි කිරීම [දුවට ප්‍රශංසා කිරීම, NW] පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඊශ්‍රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඊශ්‍රායෙල්වරුන් අතරේ ඇති විය.” (විනිශ්චයකාරයන් 11:30-40) ඒ හා සමානව, දෙවිගේ නීතියට පක්ෂපාත ලෙස කීකරු වෙන තනිකඩ සහෝදරියන්ට අප හෘදයාංගම ප්‍රශංසාව දිය යුතුය. * අපගේ සැලකිල්ල පෙන්විය හැකි තවත් ක්‍රමයක් කුමක්ද? අප අපේ යාච්ඤාවලදී එවන් ප්‍රිය ඇදහිලිවන්ත සහෝදරියන්ට දිගටම පක්ෂපාතව තම සේවය කරගෙන යෑමට ශක්තිය දෙන ලෙස අයැද යෙහෝවාට කන්නලව් කළ යුතුය. යෙහෝවා සහ මුළු ක්‍රිස්තියානි සභාව ඔවුන්ට උණුසුම් ලෙස ප්‍රේම කරන බවත් ඔවුන්ව ඉතා ගැඹුරින් අගය කරනු ලබන බවත් ඔවුන්ට සහතික විය යුතුය.—ගීතාවලිය 37:28.

තනි මාපියන් සාර්ථක වී ඇති අන්දම

14, 15. (අ) ක්‍රිස්තියානි තනි මව්වරු යෙහෝවාගේ පිහිට පැතිය යුත්තේ මන්ද? (ආ) තමන්ගේ යාච්ඤාවලට එකඟව තනි මාපියන්ට කෙසේ ක්‍රියා කළ හැකිද?

14 තනි මාපියන්ව සිටින ක්‍රිස්තියානි කාන්තාවෝද බොහෝ අභියෝගවලට මුහුණ දෙති. එහෙත්, තමන්ගේ දරුවන්ව බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඇති දැඩි කිරීම සඳහා උපකාර පතා යාච්ඤාවෙන් යෙහෝවා වෙතට හැරීමට ඔවුන්ට හැකියි. ඔබ තනි මාපියෙක් නම්, ඔබට සෑම පැත්තකින්ම මවක සහ පියෙකු වෙන්නට බැරි බව ඇත්තය. කෙසේවෙතත්, ඔබ යෙහෝවාට ඇදහිල්ලෙන් යුතුව යාච්ඤා කරන්නේ නම්, ඔබට ඇති දහසකුත් වගකීම් ඉෂ්ට කිරීමට ඔහු ඔබට පිහිට වෙනවා නිසැකයි. අපි මෙය මෙසේ උපහැරණය කරමු. තට්ටු කිහිපයකින් යුත් ගොඩනැඟිල්ලක උඩු මහලක තිබෙන ඔබේ නවාතැනට සිල්ලර බඩුවලින් පිරුණු බර මල්ලක් උසුලාගෙන යෑමට තිබෙනවායයි සිතන්න. ළඟපාතක විදුලි සෝපානයක් තිබේ නම්, පඩි පෙළ නැඟ යෑමට ඔබ සිතනවාද? නැත. ඒ හා සමානව, ඔබට යෙහෝවාගේ පිහිට ඉල්ලා යාච්ඤා කිරීමට හැකිව තිබියදී මෙතරම් සිතට වද දෙන චිත්තවේගී හැඟීම් තනිවම දරාගෙන සිටීමට උත්සාහ කරන්න එපා. ඇත්තෙන්ම, යෙහෝවා ඔබට ආරාධනා කරන්නේ ඔහුගේ පිහිට පතන්න කියාය. ගීතාවලිය 68:19හි පවසන්නේ මෙසේයි. “දවස්පතා අපේ බර උසුලන්නාවූ . . . යෙහෝවාට ප්‍රශංසා වේවා.” එලෙසම, 1 පේතෘස් 5:7හි [NW] ඔබට ආරාධනා කර තිබෙන්නේ යෙහෝවා “ඔබ ගැන සලකන නිසා” ඔහු මත ඔබේ සියලු කරදර තබන්න කියායි. එමනිසා, යම් ගැටලු සහ කරදරවලින් ඔබ මිරිකී සිටින්නේ නම්, ඔබේ ස්වර්ගික පියාණන්ට ඔබේ බර භාර දෙන්න. “නොකඩවා” එසේ කරන්න.—1 තෙසලෝනික 5:17; ගීතාවලිය 18:6; 55:22.

15 නිදසුනක් වශයෙන්, ඔබ මවක් නම්, පාසැලේදී ඔබේ දරුවන්ට ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගෙන් එල්ල වෙන බලපෑම් ගැන හෝ ඔවුන්ට මුහුණ දීමට සිදු විය හැකි වෙනත් පරීක්ෂණ ගැන ඔබ සැලකිලිමත් වෙනවා විය හැකියි. (1 කොරින්ති 15:33) මේවා ගැන සැලකිලිමත් වීම සාධාරණය. එහෙත් ඒවා යාච්ඤාවට පාදක විය යුතු විෂයන්ද වෙයි. ඇත්තෙන්ම, ඔබේ දරුවන් පාසැල් යෑමට පෙර, එවන් කාරණා ගැන සඳහන් කරමින් යාච්ඤා කරන්නට ඔබට පුළුවන්ද? සමහරවිට ඔබත් දරුවාත් එකට එක්ව දිනපදය සාකච්ඡා කළායින් පසුව මෙලෙස යාච්ඤා කරනවා නම් හොඳයි නේද? යම් කාරණා නිශ්චිතව සඳහන් කරමින් හෘදයාංගමව ඉදිරිපත් කරන යාච්ඤා මගින් ඔබේ දරුවාගේ මනස තුළ ප්‍රබල බලපෑමක් ඇති කරන්නට පුළුවනි. මේ සියල්ලටම වඩා ඔබ මෙසේ කරද්දී, ඔබගේ දරුවාගේ සිත තුළ යෙහෝවාගේ වචනය පැළපදියම් කිරීමට ඔබ ඉවසිලිවන්තව ගන්නා උත්සාහයට ඔහුගේ ආශීර්වාද ඉබේම ගලා එයි. (ද්විතීය කථාව 6:6, 7; හිතෝපදේශ 22:6) මෙය මතක තබාගන්න. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිය. ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම වෙතටය.”—1 පේතෘස් 3:12, NW; පිලිප්පි 4:6, 7.

16, 17. (අ) තම මව විසින් පෙන්වන ලද ප්‍රේමය පිළිබඳව එක් පුතෙක් පැවසුවේ කුමක්ද? (ආ) මවගේ ආත්මික දෘෂ්ටිය ඇගේ දරුවන්ට බලපෑවේ කෙසේද?

16 දරුවන් හයදෙනෙකුගේ මවක් වන ඔලිවියාගේ ආදර්ශය සලකා බලන්න. ඇගේ නොඇදහිලිකාර සැමියා ඇයගේ ළාබාලම දැරිය ඉපදුණායින් පසුව ඇයව අත්හැර දැම්මේය. නමුත් ඇය කිසිම පැකිළීමකින් තොරව දෙවිගේ මාර්ග තුළ දරුවන්ව පුහුණු කිරීමේ වගකීම කරට ගත්තාය. දැන් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් සහ පුරෝගාමියෙකු ලෙස සේවය කරන 31 හැවිරිදි ඩැරන්ට එනම් ඔලිවියාගේ පුත්‍රයාට ඒ කාලයේදී වයස අවුරුදු පහක් විය. ඔලිවියාගේ කරදර දෙගුණ තෙගුණ කරමින් ඩැරන්ට තදබල සෞඛ්‍ය ගැටලුවක් වර්ධනය වූ අතර, එය තවමත් ඔහුට හිරිහැරයකි. තම ළමා වියේ මතකයන් ගැන සඳහන් කරමින් ඩැරන් මෙසේ ලියයි. “මට තාම මතකයි මම අම්මා එනකම් රෝහලේ ඇඳට වෙලා බලාගෙන හිටපු හැටි. ඇය මගේ ඇඳේ මා අසලම ඉඳගෙන මට සෑම දවසකම බයිබලයෙන් කොටසක් කියෙව්වා. ඊට පස්සේ, ඇය ‘යෙහෝවා, අපි ඔබට ස්තුති වෙමු’ කියන ගීතිකාව ගායනා කෙරුවා. * තාමත් ඒක තමයි මගේ ප්‍රියතම ගීතිකාව.”

17 තනි මවක් හැටියට ඔලිවියාගේ සාර්ථකත්වයට දායක වූයේ යෙහෝවා කෙරෙහි වූ ඇගේ විශ්වාසය හා ප්‍රේමයයි. (හිතෝපදේශ 3:5, 6) ඇගේ කදිම ආකල්පය ඇගේ දරුවන් ඉදිරියේ තබා තිබූ ඉලක්කවලින් පිළිබිඹු විණි. “අම්මා හැමවෙලේම අපට දිරිගැන්වුවා පූර්ණ කාලීන දේවසේවය ඉලක්කය වශයෙන් තියාගන්න කියලා” යයි ඩැරන් කියයි. “මෙහි ප්‍රතිඵලයක් හැටියට, මගේ සහෝදරියන් පස්දෙනාගෙන් හතරදෙනෙක් සහ මම පූර්ණ කාලීන දේවසේවයට ඇතුළත් වී සිටිනවා. එහෙත්, අම්මා කවදාවක්වත් මේ ගැන අන්‍යයන් ඉදිරියේ පුරසාරම් දොඩා නැහැ. මම ඇගේ මේ පුදුම ගුණාංග අනුකරණය කිරීමට හුඟාක් මහන්සි ගන්නවා.” ඔලිවියාගේ දරුවන් මෙන් සෑම දරුවෙක්ම වැඩිවියට පත් වූ විට දෙවිට සේවය කරන්නේ නැති බව ඇත්තයි. එහෙත් යම් මවක් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව තම දරුවන්ව ජීවත් කරවීමට ඇගේ උපරිමය කරන්නේ නම්, ඇයට යෙහෝවාගේ මඟ පෙන්වීම සහ ප්‍රේමණීය සහයෝගය ලැබෙන බවට සහතික විය හැකියි.—ගීතාවලිය 32:8.

18. යෙහෝවා ක්‍රිස්තියානි සභාව මාර්ගයෙන් ලබා දෙන දේවල් අප අගය කරන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?

18 දෙවිගේ අනුබලය බොහෝ සෙයින් සපයනු ලබන්නේ ක්‍රිස්තියානි සභාවේ නිතිපතා පැවැත්වෙන ආත්මික පෝෂණ වැඩසටහන මගිනි, ක්‍රිස්තියානි සහෝදරත්වය මගිනි, එමෙන්ම ආත්මික මේරූ ‘තෑගි වශයෙන් දී ඇති පුරුෂයන්’ මගිනි. (එෆීස 4:8, NW) ඇදහිලිවන්ත වැඩිමහල්ලෝ සභාවේ සියල්ලන්වම නඟා සිටුවීමට වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, ‘අනාථ දරුවන්ගේ හා වැන්දඹුවන්ගේ’ අවශ්‍යතාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරති. (යාකොබ් 1:27) එබැවින් දෙවිගේ ජනයාට ළංව සිටින්න. කිසිවිටෙකත් ඔබ ඔබවම තනි කරගන්න එපා.—හිතෝපදේශ 18:1; රෝම 14:7.

යටත්කමේ අලංකාරය

19. භාර්යාවක විසින් යටත්කම දක්වනු ලැබීම ඇය පහත් වන බවක් අඟවන්නේ නැත්තේ මන්ද? මේ කාරණයට අනුබල දෙන්නේ කිනම් බයිබලීය ආදර්ශයද?

19 යෙහෝවා කාන්තාව මැව්වේ පුරුෂයාට සහකාරියක් හැටියටයි. (උත්පත්ති 2:18) මෙබැවින්, ඇය විසින් සිය ස්වාමිපුරුෂයාට යටත් වීම කිසිම විදිහකින් ඇය පහත් වන බවක් අඟවන්නේ නැත. ඒ වෙනුවට, එමගින් කාන්තාවක ගෞරවයට ලක් වේ. තවද ඇයට ලැබී තිබෙන බොහෝ දීමනා සහ කුසලතා දෙවිගේ කැමැත්තට එකඟව පාවිච්චි කිරීමට එමගින් අවස්ථාවක්ද ලැබේ. ඉපැරණි ඊශ්‍රායෙලයේ දක්ෂ භාර්යාවකගේ ක්‍රියාකාරකම්වල පුළුල් පරාසය ගැන හිතෝපදේශ 31වන පරිච්ඡේදයේ විස්තර කරයි. ඇය දුප්පතුන්ට පිහිට වූවාය. ඇය මිදි වතු වගා කළාය. වතුද මිල දී ගත්තාය. එසේය, ‘ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාස කළේය. ඔහුට ලාභයෙන් අඩුවක් නොවීය.’—11, 16, 20 පද.

20. (අ) ක්‍රිස්තියානි කාන්තාවක් දෙවි විසින් ඇයට දී ඇති හැකියාවන් හෝ දීමනා දෙස බැලිය යුත්තේ කෙසේද? (ආ) එස්තර් විදහාපෑවේ කිනම් කදිම ගුණාංගද? ප්‍රතිඵලයක් වශයෙන් ඇයව යොදාගැනීමට යෙහෝවාට හැකි වූයේ කෙසේද?

20 විනීත දේවභයැති කාන්තාවක් අභිලාෂකාමී ලෙස තමාවම උසස් කරගන්නේවත් තමාගේ ස්වාමිපුරුෂයා සමඟ තරඟ වදින්නේවත් නැත. (හිතෝපදේශ 16:18) මූලික වශයෙන් ලෞකික කාරණා කටයුතුවල යෙදෙමින් පෞද්ගලිකව යම් තෘප්තියක් අත් කරගැනීමට උත්සාහ නොකරන ඇය, දෙවි විසින් තමන්ට දානය කර ඇති දීමනාවන් මූලිකවම යොදාගන්නේ අනුන්ට සේවය කිරීම පිණිසයි. එනම් ඇගේ පවුලේ අයට, සෙසු ක්‍රිස්තියානීන්ට, අසල්වාසීන්ට සහ සියල්ලටම වඩා යෙහෝවාට සේවය කිරීම සඳහායි. (ගලාති 6:10; තීතස් 2:3-5) එස්තර් බිසවගේ ආදර්ශය සලකා බලන්න. ඇයට මනා රූ සපුවක් තිබුණද ඇය විනීත යටහත් තැනැත්තියක් වූවාය. (එස්තර් 2:13, 15) අහෂ්වේරොෂ් රජුගේ කලින් බිරිඳ වූ වස්තී මෙන් නොව, ඇය ඔහු හා විවාහ වූ විට තම පුරුෂයාට දැක්වූයේ ගැඹුරු ගෞරවයකි. (එස්තර් 1:10-12; 2:16, 17) එස්තර් රැජිනක් බවට පත් වූ පසුව වුවද, ඇගේ වයසක ඥාතියා වූ මොර්දෙකයිගෙන්ද සුදුසු කාරණා සම්බන්ධයෙන් උපදෙස් පැතුවාය. එහෙත් ඇය බයාදු දුර්වල චරිතයක් වූයේ නැත! යුදෙව්වන්ව සමූලඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළාවූ බලවත් කෲර මිනිසෙකු වූ හාමාන්ගේ වෙස් මුහුණ ඇය ගලවා දැම්මේ ඉතා නිර්භීතවයි. මෙසේ යෙහෝවා තම සෙනඟගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා එස්තර්ව ඉතා ප්‍රබල ලෙස යොදාගත්තේය.—එස්තර් 3:8–4:17; 7:1-10; 9:13.

21. ක්‍රිස්තියානි කාන්තාවකට යෙහෝවා ඉදිරියේ වඩාත් අනර්ඝ කෙනෙක් බවට පත් විය හැක්කේ කෙසේද?

21 අතීතයේ සහ වර්තමානයේ දේවභක්තික කාන්තාවන් යෙහෝවාට සහ ඔහුගේ නමස්කාරයටද තනි භක්තිය පෙන්වා ඇති බව පැහැදිලිය. එමනිසා, දේවභයැති කාන්තාවන් යෙහෝවාගේ ඇස් ඉදිරියේ අනර්ඝය. ක්‍රිස්තියානි සහෝදරියෙනි, ඔබව “සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම් කරන ලද්දාවූ” වඩාත් ප්‍රියමනාප “භාජනයක්” බවට පත් වනු පිණිස, ක්‍රමානුකූලව සිය ආත්මය තුළින් ඔබව සකස් කිරීමට යෙහෝවාට ඉඩහරින්න. (2 තිමෝති 2:21, NW; රෝම 12:2) එවන් වටිනා නමස්කාරකයන් පිළිබඳව දෙවිගේ වචනයේ පවසන්නේ මෙසේයි. “ඇගේ අත්වල පලයෙන් ඈට දෙන්න. ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.” (හිතෝපදේශ 31:31) මෙය අප එක් එක් කෙනා සම්බන්ධයෙන් සැබෑවක් වේවා!

[පාදසටහන්වල]

^ 13 ඡේ. එවන් ප්‍රශංසාවක් දෙන ආකාරය සම්බන්ධව දැනගැනීම පිණිස, 2002 මාර්තු 15 මුරටැඹ කලාපයේ 26-8 දක්වා පිටු බලන්න.

^ 16 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න යන පොතේ 212 වන ගීතිකාව.

ඔබට මතකද?

• පළමු සියවසේ විසූ සමහර ක්‍රිස්තියානි කාන්තාවන් යෙහෝවාගේ ඇස් හමුවේ අනර්ඝ අය බවට පත් වූයේ කෙසේද?

• අපගේ කාලයේ බොහෝ සහෝදරියන් දෙවි ඉදිරියේ අනර්ඝ අය බවට තමන්වම පත් කරවාගෙන ඇත්තේ කෙසේද?

• ස්වාමිපුරුෂයෙක් නැති තනි මව්වරුන්ට හා වෙනත් සහෝදරියන්ට යෙහෝවා පිහිට වෙන්නේ කෙසේද?

• මූලිකත්වය පිළිබඳ විධිවිධානය කෙරෙහි හෘදයාංගම ගෞරවයක් දැක්වීමට කාන්තාවකට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ කොටුව]

මෙනෙහි කිරීමට වටින ආදර්ශ

බයිබලයේ සඳහන් වී ඇති ඇදහිලිවන්ත තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගේ ආදර්ශ ගැන සලකා බැලීමට ඔබ කැමතිද? එසේනම්, කරුණාකර පහත සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පාඨ කියවා බලන්න. මෙහි ලැයිස්තුගත කර ඇති විවිධ පුද්ගලයන් ගැන ඔබ මෙනෙහි කරත්ම, ඔබේ ජීවිතයට වඩාත් පුළුල් අන්දමකින් අදාළ කරගත හැකි ප්‍රතිපත්ති මොනවාදැයි වටහාගැනීමට උත්සාහ කරන්න.—රෝම 15:4.

සාරා: උත්පත්ති 12:1, 5; 13:18අ; 21:9-12; 1 පේතෘස් 3:5, 6.

ත්‍යාගශීලී ඊශ්‍රායෙල් කාන්තාවෝ: නික්මයාම 35:5, 22, 25, 26; 36:3-7; ලූක් 21:1-4.

දෙබොරා: විනිශ්චයකාරයන් 4:1-5:31.

රූත්: රූත් 1:4, 5, 16, 17; 2:2, 3, 11-13; 4:15.

ෂුනෙම්මිය කාන්තාව: 2 රාජාවලිය 4:8-37.

ෆිනීෂියානු කාන්තාව: මතෙව් 15:22-28.

මාර්තා සහ මරියා: මාර්ක් 14:3-9; ලූක් 10:38-42; යොහන් 11:17-29; 12:1-8.

තබීතා: ක්‍රියා 9:36-41.

ෆිලිප්ගේ දූවරු හතරදෙනා: ක්‍රියා 21:9.

ෆීබි: රෝම 16:1, 2.

[15වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නීතියට පක්ෂපාතව කීකරු වන්නාවූ විවාහ නොවූ සහෝදරියන්ව ඔබ ප්‍රශංසාවට ලක් කරනවාද?

[16වන පිටුවේ පින්තූරය]

දරුවන් පාසැල් යෑමට පෙර යාච්ඤාවෙන් කුමන කාරණා ගැන විශේෂයෙන් සඳහන් කළ හැකිද?