Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එලියාගේ ආත්මයෙන් “දෙගුණයක්” තමාට දෙන මෙන් එලිෂා ඉල්ලා සිටියේ මන්ද?

එලියා, ඊශ්‍රායෙල්හි අනාගතවක්තෘවරයෙකු ලෙස තමා ලද පැවරුම අවසන් කිරීමට ඔන්න මෙන්න තිබියදී තරුණ ප්‍රොපේතවරයෙක් වූ එලිෂා ඔහුගෙන් මෙසේ ඉල්ලා සිටියේය. ‘ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවා!’ (2 රාජාවලිය 2:9) ආත්මික අර්ථයකින් බලද්දී, එලිෂා කුලුඳුල් පුත්‍රයෙකුට අයිති වූ දෙකොටසකට හිමිකම් පාමින් සිටි බව පැහැදිලිය. (ද්විතීය කථාව 21:17) එම වාර්තාව කෙටියෙන් සලකා බැලූ විට මෙම කාරණය පැහැදිලි වනු ඇත. තවද එහි සඳහන් සිද්ධීන් ඇසුරෙන් අපට පාඩම් කිහිපයක්ද ඉගෙනගත හැක.

ප්‍රොපේත එලියා, යෙහෝවාගේ මඟ පෙන්වීමට අනුව එලිෂාව තම අනුප්‍රාප්තිකයා වශයෙන් අභිෂේක කර තිබුණි. (1 රාජාවලිය 19:19-21) එලිෂා අවුරුදු හයක් පමණ එලියාගේ විශ්වාසවන්ත මෙහෙකරු ලෙස සේවය කළේය. තවද, ඔහුගේ අදිටන වූයේ අවසානය දක්වාම එසේ කිරීමටය. එලියා ඊශ්‍රායෙල්හි අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ අන්තිම දවසේදී පවා එලිෂා තම ගුරුවරයා ළඟම සිටියේය. එලියා තමාව අත්හැර දමා යන්න කියා එලිෂාට කියා සිටියත් එම තරුණ ප්‍රොපේතවරයා තුන් වතාවක්ම කීවේ, “මම ඔබ අත් නොහරිමි” කියාය. (2 රාජාවලිය 2:2, 4, 6; 3:11) එලිෂා එම වැඩිහිටි ප්‍රොපේතවරයාව තම ආත්මික පියා හැටියට සැලකූ බව මින් පැහැදිලි වේ.—2 රාජාවලිය 2:12.

එහෙත් එලිෂාට අමතරව එලියාට තවත් ආත්මික පුත්‍රයන්ද සිටියේය. එලියා සහ එලිෂා ‘ප්‍රොපේත පුත්‍රයන්’ ලෙස හඳුන්වනු ලැබූ කණ්ඩායමක් සමඟ ආශ්‍රය කළහ. (2 රාජාවලිය 2:3) එම ‘පුත්‍රයන්ද’ ඔවුන්ගේ ආත්මික පියා වන එලියා සමඟ කුලුපග ඇසුරක් පැවැත්වූ බව දෙවෙනි රාජාවලියේ සඳහන් වාර්තාවෙන් හෙළි වේ. (2 රාජාවලිය 2:3, 5, 7, 15-17) එහෙත්, එලියාගේ අභිෂේක කරන ලද අනුප්‍රාප්තිකයා වූයේ එලිෂා බැවින් එලියාගේ ආත්මික පුත්‍රයන් අතරින් මුල් තැන ගත්තේ ඔහුය. ඔහු කුලුඳුල් පුත්‍රයෙකු හා සමාන විය. පුරාණ ඊශ්‍රායෙල්හි කුලුඳුල් පුත්‍රයාට තම පියාගේ උරුමයෙන් කොටස් දෙකක් හිමි විය යුතුව තිබුණි. අනෙක් පුත්‍රයන්ට ලැබුණේ එක් කොටසක් පමණි. එමනිසා, එලිෂා එලියාගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ ආත්මික උරුමයෙන් දෙකොටසක් තමාට දෙන්න කියාය.

එලිෂා විශේෂයෙන්ම එම අවස්ථාවේදී එවැනි ඉල්ලීමක් කළේ මන්ද? ඊශ්‍රායෙල්හි ප්‍රධාන අනාගතවක්තෘ වශයෙන් එලියා ඉටු කරමින් සිටි භාරදූර පැවරුම එදින ඔහු අතට පත්වීමට තිබූ නිසාය. මෙම දුෂ්කර පැවරුමට අයත් වගකීම් ඉටු කිරීම සඳහා තමාගේ හැකියාවන් ඉක්මවා යන ආත්මික බලයක් අවශ්‍ය වන බව එලිෂා වටහාගත්තේය. ඔහුට එය ලබාගත හැකි වූයේ යෙහෝවාගෙන් පමණි. එලියාට තිබුණා හා සමාන නිර්භීතකමක්ද ඔහුට අවශ්‍ය විය. (2 රාජාවලිය 1:3, 4, 15, 16) ඔහු එලියාගේ ආත්මයෙන් දෙකොටසක් ඉල්ලුවේ එමනිසාය. ඔහු ඉල්ලුවේ, දෙවිගේ ආත්මය විසින් නිපදවනු ලබන ප්‍රියමනාප ගුණාංග දෙකක් වන නිර්භීතකමේ ආත්මයක් හා ‘යෙහෝවා උදෙසා බොහෝ උද්‍යෝගයකින් සේවය’ කිරීමට හැකි ආත්මයක්ය. (1 රාජාවලිය 19:10, 14, නව අනුවාදය) එලියා ඔහුට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

එලිෂා ඉල්ලූ දේ දීමට අයිතිය තිබුණේ දෙවිට පමණක් බව එලියා දැන සිටියේය. එමනිසා ඔහුගේ නිහතමානී පිළිතුරු වූයේ මෙයයි. “ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහිය. එහෙත් ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේය.” (2 රාජාවලිය 2:10) එලියා කිවූ ලෙසම, ඔහු සුළි සුළඟකින් නැඟී යනවා දැකීමට යෙහෝවා එලිෂාට අවස්ථාව ලබා දුන්නේය. (2 රාජාවලිය 2:11, 12) එලිෂා ඉල්ලූ ලෙසම ඔහුට ලැබුණි. ඔහුගේ අලුත් පැවරුම භාරගැනීමට හා මතු පැමිණෙන පීඩාවලට මුහුණ දීමට අවශ්‍ය වූ ආත්මය හෙවත් ශක්තිය යෙහෝවා ඔහුට ලබා දුන්නේය.

මෙම බයිබල් වාර්තාවෙන් (එලිෂා පංතියයයි සමහර අවස්ථාවලදී හඳුන්වනු ලබන) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට හා පොදුවේ දෙවිගේ සේවකයන්ටද මහත් දිරිගැන්වීමක් ලැබිය හැකිය. ඇතැම් විට, අලුත් පැවරුමක් භාරගනිද්දී අප අසමත් වෙයි කියා හෝ ප්‍රමාණවත් සුදුසුකම් නැහැයි කියා හෝ අපට හැඟෙන්නට පුළුවන. එසේත් නැතහොත් රාජ්‍යය දේශනා කිරීමේ කාර්යයෙහි නිරත වෙද්දී ජනයා දක්වන උදාසීන ප්‍රතිචාරය නිසා හෝ අපට එල්ල වන විරුද්ධවාදිකම් නිසා හෝ එම කාර්යයෙහි අඛණ්ඩව යෙදී සිටීමට අවශ්‍ය නිර්භීතකම හීන වී යන බවක් පෙනිය හැක. එහෙත් අප අවංකව යෙහෝවාගෙන් උපකාරය අයැදිනවා නම් ඔහු අපට ශුද්ධාත්මය ලබා දෙන බව නිසැකයි. මන්ද විවිධ අභියෝගවලට මුහුණ දීමටත් තත්වයන් විටින් විට වෙනස් වෙද්දී ඒ අනුව සකස් වීමටත් අපට ඔහුගේ ශුද්ධාත්මය අත්‍යවශ්‍ය වන බැවිනි. (ලූක් 11:13; 2 කොරින්ති 4:7; පිලිප්පි 4:13) එලිෂා තම භාරදූර වගකීම කරට ගනිද්දී යෙහෝවා ඔහුව ශක්තිමත් කළ ලෙසම, බාල මහලු අප සියලුදෙනාටම අපේ දේවසේවය ඉටු කිරීමටද යෙහෝවා උපකාර කරනු නියතයි.—2 තිමෝති 4:5.