‘මම මිත්‍රත්වය, ප්‍රේමය හා සැලකිල්ල අද්දැක්කා’
‘මම මිත්‍රත්වය, ප්‍රේමය හා සැලකිල්ල අද්දැක්කා’
“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35, NW) යේසුස් කීවා සේම, ප්‍රේමය මුල් ක්‍රිස්තියානි සහෝදරත්වයේ සුවිශේෂ ලක්ෂණයක් විය. ක්‍රිස්තුස්ගේ මරණයෙන් වසර සියයකටත් වඩා වැඩි කලක් ගතවීමෙන් පසු ජීවත් වූ ක්‍රිස්තියානීන්ව නිරීක්ෂණය කළ අය මෙසේ පැවසූ බව ටර්ටූලියන් සඳහන් කළේය. ‘බලන්න ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන හැටි. එකිනෙකා වෙනුවෙන් මැරුම් කන්න පවා කැමැත්තෙන් ඉන්න හැටි.’
එබඳු ප්‍රේමයක් අදටත් ලෝකයේ දැකගත හැකිද? ඔව්. නිදසුනකට, බ්‍රසීලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට එවන ලද ලිපියක සඳහන් වූ දෙය සලකා බලන්න. ලිපිය ලියූ මරීලියා නමැත්තිය මෙසේ සඳහන් කරයි.
“ආජෙන්ටිනාවේ, බියා මසේතේස්හි සිටියදී, යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන මගේ මවට ඔස්ටියෝ ආතරයිටිස් වැලඳීම නිසා, ඇගේ ශරීරයේ ඉණෙන් පහළ කොටස පණ නැති වී ගියා. ඇය රෝගීව සිටි මුල් මාස අට තුළ, ප්‍රේමය හා සැලකිල්ල දක්වමින් ඇයව බලා කියා ගත්තේ බියා මසේතේස්හි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවනුයි. ඔවුන් ඇගේ නිවස පිරිසිදු කිරීම, ඇගේ කෑම පිළියෙළ කිරීම ඇතුළු හැම දෙයක්ම බලා කියා ගත්තා. මගේ මව රෝහලේ සිටියදී පවා, දහවල් කාලයෙත් රාත්‍රි කාලයෙත් ඈ සමඟ කවුරු හරි කෙනෙක් හිටියා.
“ඊට පස්සේ මගේ මවයි මමයි බ්‍රසීලයට ආවා. ඇය දැන් සුවය ලබමින් සිටිනවා. අපි දැන් වෙසෙන ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවනුත් මගේ මවගේ සුවය වෙනුවෙන් ඔවුන්ට කළ හැකි හැම දෙයක්ම කරනවා.”
මරීලියා ඇගේ ලිපිය මෙසේ අවසන් කරයි. “මම සාක්ෂිකාරියක් නොවුවත් සාක්ෂිකරුවන් අතර තිබුණ මිත්‍රත්වය, ප්‍රේමය හා සැලකිල්ල මම අද්දැක්ක බව මම පිළිගන්නවා.”
ඔව්, සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමයෙන් ක්‍රියා කරන මිනිස්සු තවමත් සිටිති. එසේ කිරීමෙන්, අපගේ ජීවිත කෙරෙහි යේසුස්ගේ ඉගැන්වීම්වලට බලපෑම් කළ හැකි බව ඔවුහු නිරූපණය කරති.