Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කළ කාන්තාවෝ

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කළ කාන්තාවෝ

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කළ කාන්තාවෝ

‘යෙහෝවා ඔබේ ක්‍රියාවට විපාක දේවා, යෙහෝවාගෙන් ඔබට සම්පූර්ණ විපාකයක් ලැබේවා.’—රූත් 2:12.

1, 2. යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කළාවූ බයිබලයේ සඳහන් වී ඇති කාන්තාවන්ගේ ආදර්ශ ගැන මෙනෙහි කිරීමෙන් අපට කෙසේ ප්‍රයෝජන ගත හැකි වේද?

පාරාවෝ කෙනෙකුගේ අණට එරෙහි වීමට කාන්තාවන් දෙදෙනෙකුව පෙලඹවූයේ දෙවිට තිබෙන භයයි. ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙකුව ආරක්ෂා කිරීම පිණිස තමන්ගේ ජීවිතය පරදුවේ තැබීමට ගණිකාවකව පෙලඹවූයේ ඇදහිල්ලයි. යම් අර්බුදකාරී තත්වයකදී සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා සහ යටහත් පහත්කම විදහාපෙන්වූ නිසා ජීවිත ගණනාවක් ගලවාගැනීමටත් යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තාව ලේ වැගිරවීමෙන් වැළැක්වීමටත් කාන්තාවක් සමත් වූවාය. වැන්දඹුවක්ද මවක්ද වූ එක්තරා කාන්තාවක් දෙවිගේ අනාගතවක්තෘවරයෙකුට ඇගේ අන්තිම ආහාර වේල දීමට පෙලඹුණේ යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ලක් සහ ආගන්තුක සත්කාර කිරීමේ ස්වභාවයක් ඇයට තිබීම නිසාය. මේවා වනාහි යෙහෝවාගේ හදවත ප්‍රීතිමත් කළාවූ කාන්තාවන් පිළිබඳ ශුද්ධ ලියවිල්ලේ සඳහන් උදාහරණවලින් කිහිපයක් පමණයි.

2 එවන් කාන්තාවන් සම්බන්ධයෙන් යෙහෝවා දැරූ ආකල්පයෙන් සහ ඔහු ඔවුන්ට කළ ආශීර්වාදවලින් එක කාරණයක් පැහැදිලිව පෙනී යයි. එය නම්, සියලුම දේවලට වඩා යෙහෝවාගේ සිත ප්‍රීති වන්නේ, පුද්ගලයෙක් පිරිමියෙක්ද ගැහැණියක්ද යන කාරණය මත නොව එම තැනැත්තා හෝ එම තැනැත්තිය පිළිබිඹු කරන ආත්මික ගුණාංග මතයි. ධනය, කීර්තිය, පිටාතර පෙනුම වැනි භෞතික දේවල් ගැන එතරම්ම ඇලී ගැලී සිටින අද දින ලෝකයේ යමෙකුට තමාගේම ආත්මිකත්වයට ප්‍රමුඛත්වය දීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එය අභියෝගයකි. වර්තමානයේ දෙවිගේ ජනයා අතර සිටින මිලියන සංඛ්‍යාත දේවභයැති කාන්තාවන් ඒ බව පැහැදිලිව පෙන්වා තිබෙන්නාක් මෙන්, එම අභියෝගයට මුහුණ දීමට පුළුවන. එවන් කාන්තාවෝ, බයිබලයේ සඳහන් දේවභයැති කාන්තාවන් විසින් නිරූපණය කරන ලද ඇදහිල්ල, විචක්ෂණ බව සහ ආගන්තුක සත්කාරය වැනි කදිම ගුණාංග අනුකරණය කරති. ඇත්තෙන්ම, ක්‍රිස්තියානි පුරුෂයන්ද ඉපැරණි කාලවල විසූ එවන් ආදර්ශවත් කාන්තාවන් විසින් දක්වන ලද ගුණාංග අනුකරණය කිරීමට වෑයම් කළ යුතුයි. වඩාත් පූර්ණ අන්දමකින් මෙම ගුණාංග අනුකරණය කළ හැක්කේ කෙසේදැයි සොයා බැලීම පිණිස, ඉහත සඳහන් කාන්තාවන් හා සම්බන්ධ බයිබලීය වාර්තාවන් පිළිබඳ වැඩිමනත් විස්තර අපි සලකා බලමු.—රෝම 15:4; යාකොබ් 4:8.

පාරාවෝ කෙනෙකුගේ අණට එරෙහි වූ කාන්තාවෝ

3, 4. (අ) අලුත ඉපදුණු ඊශ්‍රායෙල් දරුවන් සෑම කෙනෙක්ම මරා දැමීමට පාරාවෝ නියෝග කළ විට, ෂිප්රා සහ පුවා ඊට කීකරු නොවුණේ මන්ද? (ආ) මෙම වින්නඹුවන් දෙදෙනා ධෛර්යය සහ දේවභය ඇතුව කටයුතු කළ නිසා යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කළේ කෙසේද?

3 දෙවන ලෝක යුද්ධයට පසුව, ජර්මනියේ නියුරම්බර්ග්හි පැවති නඩු විභාගවලදී, සමූල ඝාතනවලට වැරදිකරුවන් වූ බොහෝදෙනෙක්, තමන් කළ අපරාධ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට වෑයම් කළේ, එය හුදෙක් තමන්ට ලැබුණු අණ ක්‍රියාත්මක කිරීමක්ය යයි තර්ක කරමිනි. දැන් මෙම පුද්ගලයන්ව, නමක් සඳහන් කරනු ලැබ නැති ඉතා කුරිරු පාරාවෝ කෙනෙකුගේ පාලන සමයේදී ඉපැරණි ඊජිප්තුවේ විසූ ෂිප්රා සහ පුවා යන කාන්තාවන් දෙදෙනා සමඟ සසඳා බලන්න. හෙබ්‍රෙව් ජනතාවගේ ශීඝ්‍ර වර්ධනය නිසා භයට පත් වූ පාරාවෝ, මෙම වින්නඹු කාන්තාවන් දෙදෙනාට නියෝග කළේ අලුතෙන් ඉපදෙන සෑම හෙබ්‍රෙව් පිරිමි දරුවෙකුවම මරා දමන ලෙසටයි. මේ කෲර නියෝගයට මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “වින්නඹුවෝ, . . . [ඊජිප්තුවේ] රජු අණ දුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය.” මෙම කාන්තාවන් දෙදෙනා මිනිසුන්ට ඇති භයට යට නොවී සිටියේ මන්ද? මක්නිසාද යත් ඔවුන් ‘දෙවිට භය වූ නිසාය.’—නික්මයාම 1:15, 17; උත්පත්ති 9:6.

4 එසේය, යෙහෝවා තමන්ව ආරක්ෂා කරයි කියා මෙම වින්නඹුවෝ විශ්වාස කළහ. යෙහෝවාද ඔවුන්ට “පලිහක්” වෙමින්, පාරාවෝගේ උදහසින් ඔවුන් ආරක්ෂා කළේය. (2 සාමුවෙල් 22:31; නික්මයාම 1:18-20) එහෙත්, යෙහෝවාගේ ආශීර්වාද එතැනින් නතර වුණේ නැත. ඔහු ෂිප්රාට සහ පුවාට තමන්ටම කියා පවුලක් ඇති කරගැනීමට ඉඩ සැලැස්වීය. එපමණක්ද නොව, ඔවුන්ගේ නම් සහ ඔවුන් කළ ක්‍රියාවන් අනාගතික පරම්පරාවලට කියවා බැලීම සඳහා ශුද්ධාත්මයේ ආනුභාවයෙන් තම වචනය තුළ ලියා තැබීමටද සැලැස්වීය. නමුත් ඉහත සඳහන් පාරාවෝගේ නාමය අද ඉතිහාසයෙන් සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබේ.—නික්මයාම 1:21; 1 සාමුවෙල් 2:30ආ; හිතෝපදේශ 10:7.

5. අද දින ක්‍රිස්තියානි කාන්තාවන් බොහෝදෙනෙක් ෂිප්රාට සහ පුවාට තිබූ ආකල්පයම පෙන්වන්නේ කෙසේද? යෙහෝවා ඔවුන්ට කෙසේ ආශීර්වාද කරනු ඇතිද?

5 අද දිනත් ෂිප්රා සහ පුවා වැනි කාන්තාවෝ සිටිත්ද? ඇත්තෙන්ම එවන් අය සිටිති! සෑම වසරකම, එවන් කාන්තාවෝ දහස් ගණනක් “රජුගේ ආඥාව” මගින් වැඩ තහනම් කර තිබෙන රටවල් තුළ බයිබලයේ සඳහන් ජීවනය ගෙන දෙන පණිවුඩය දේශනා කරමින් සිටින්නේ තමන්ගේ නිදහස හෝ තමන්ගේ ජීවිතය පවා පරදුවට තබමිනි. (හෙබ්‍රෙව් 11:23; ක්‍රියා 5:28, 29) දෙවි සහ අසල්වැසියා කෙරෙහි ඇති ඉමහත් ප්‍රේමයෙන් පෙලඹී සිටින එවන් නිර්භීත කාන්තාවෝ, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය බෙදා දීමේ හවුල් වීමෙන් තමන්ව නවතාලීමට කිසිම කෙනෙකුට ඉඩ නොහරිති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්තියානි කාන්තාවන් බොහෝදෙනෙකුට විරුද්ධවාදිකම් සහ පීඩා සමඟ පොරබදන්නට සිදු වී තිබේ. (මාර්ක් 12:30, 31; 13:9-13) ෂිප්රා සහ පුවා සම්බන්ධයෙන් සැබෑවක් වුණාක් මෙන්ම, යෙහෝවා එවන් අනගි, ධෛර්යසම්පන්න කාන්තාවන්ගේ ක්‍රියා ගැන හොඳින් සාවධානව සිටී. තවද ඔවුන් අන්තිමය දක්වා විශ්වාසවන්තව විඳදරාගන්නවා නම්, ඔවුන්ගේ නම් “ජීවන පොතෙහි” ආරක්ෂා කර තැබීම මගින් ඔවුන් කෙරෙහි ඇති ඔහුගේ ප්‍රේමය පැහැදිලිව පෙන්වනවා ඇත.—ෆිලිප්පි 4:3, NW; මතෙව් 24:13.

කලින් ගණිකාවකව සිටි තැනැත්තියක් යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරයි

6, 7. (අ) යෙහෝවා සහ ඔහුගේ ජනයා ගැන රාහබ් දැන සිටියේ මොනවාද? මෙම දැනුම ඇයට බලපෑම් කළේ කෙසේද? (ආ) දෙවිගේ වචනයෙහි රාහබ්ව ගෞරවයට පත් කර තිබෙන්නේ කෙසේද?

6 ක්‍රිස්තු පූර්ව 1473 වසරේදී, රාහබ් නමැති ගණිකාවක් කානාන්හි යෙරිකෝව නම් වූ නුවරේ ජීවත් වූවාය. රාහබ් යනු යම් කාරණා ගැන මනා දැනුමක් ඇතිව සිටි කාන්තාවක් බව පැහැදිලිය. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් ප්‍රාතිහාර්යමය ලෙස ගැලවී ආවේ වසර 40ක් පමණ ගත වූවාට පෙර වුවද, ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙක් ඇගේ නිවසේ රැකවරණය සෙවූ අවස්ථාවේදී, ඒ පිළිබඳ සිදුවීම්වල තොරතුරු සවිස්තරාත්මකව පවසන්නට ඇයට හැකි විණි! සීහොන් සහ ඕග් යන අමෝරි ජාතික රජවරුන්ට එරෙහිව ඊශ්‍රායෙල්වරුන් ඉතා මෑතකදී ලබාගත් ජයග්‍රහණ ගැන ඇය දැන සිටියාය. එම දැනුම ඇයට බලපෑම් කළ ආකාරය සැලකිල්ලට ගන්න. ඔත්තුකරුවන්ට ඇය කීවේ මෙසේයි. ‘යෙහෝවා දේශය ඔබට දී තිබෙන බව දනිමි. මක්නිසාද ඔබේ දෙවි වූ යෙහෝවාම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවිය.’ (යෝෂුවා 2:1, 9-11) එසේය, රාහබ් යෙහෝවා ගැනද ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් ඔහු කළ ක්‍රියා ගැනද දැනගෙන තිබූ දෙය ඇගේ හදවත ස්පර්ශ කරමින් ඇය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළ අතර, ඔහු කෙරෙහි ඇදහිල්ලක් ඇති කරගැනීමටද එය හේතු විණි.—රෝම 10:10.

7 රාහබ්ව ක්‍රියාවට පෙලඹවූයේ ඇගේ ඇදහිල්ලයි. ඇය ඊශ්‍රායෙල් ඔත්තුකරුවන්ව “සමාදානයෙන්” පිළිගත්තාය. ඊශ්‍රායෙල්වරුන් යෙරිකෝවට පහර දුන් විට, එම ඔත්තුකරුවන්ගේ ජීවිත ගලවන උපදෙස්වලට ඇය කීකරු වූවාය. (හෙබ්‍රෙව් 11:31; යෝෂුවා 2:18-21) රාහබ් ඇදහිල්ල පෙන්වමින් කළ ක්‍රියා මගින් යෙහෝවාගේ හදවතට ප්‍රීතිය ගෙන ආ බවට කිසිදු සැකයක් නැත. මන්ද ක්‍රිස්තියානීන්හට අනුකරණය කිරීමට ආදර්ශයක් වශයෙන්, දෙවිගේ මිතුරා ලෙස සලකනු ලැබූ ආබ්‍රහම්ගේ නම අසලින්ම ඇගේ නම ලියා තැබීමට ඔහු ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ්ව දේවානුභාවයෙන් පෙලඹවීය. යාකොබ් ලීවේ මෙසේය. “එලෙසම රාහබ් නම් ගණිකාව පණිවුඩකරුවන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන්ව වෙන මඟකින් පිටත් කර යැව්වායින් පසු, ඈ ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබුවේ ක්‍රියාවලින් නොවේද?”—යාකොබ් 2:25, NW.

8. රාහබ්ගේ ඇදහිල්ල සහ කීකරුකම වෙනුවෙන් යෙහෝවා ඇයට ආශීර්වාද කළේ කෙසේද?

8 යෙහෝවා රාහබ්ට ක්‍රම කිහිපයකින් ආශීර්වාද කළේය. එසේ කළ එක් ක්‍රමයක් වූයේ, ඔහු ඇයගේ ජීවිතයත් ඇගේ නිවසේ ආරක්ෂාව සෙවූ සියල්ලන්ගේ, එනම් ‘ඇගේ පියාගේ පවුලේ සහ ඇයට අයිති සියල්ලන්ගේ’ ජීවිතත් ප්‍රාතිහාර්යමය ලෙස ආරක්ෂා කිරීමයි. අනතුරුව මේ අයට “ඊශ්‍රායෙල්වරුන් අතරෙහි” වාසය කිරීමට ඔහු ඉඩහළ අතර, එහිදී ඊශ්‍රායෙල්වරුන් අතරෙහිම උපන් අයට මෙන් ඔවුන්ට සැලකිය යුතුව තිබුණි. (යෝෂුවා 2:13; 6:22-25; ලෙවී කථාව 19:33, 34) එපමණක්ද නොවේ, යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන් මිත්තනියක වීමේ ගෞරවයද යෙහෝවා රාහබ් වෙත දානය කළේය. කලක් රූප වඳින කානානීය ජාතික කාන්තාවකව සිටි තැනැත්තියකට පෙන්වන ලද්දේ මොන තරම් මහත් වූ ප්‍රේමණීය කරුණාවක්ද! *ගීතාවලිය 130:3, 4.

9. රාහබ් සහ පළමු සියවසේ විසූ ඇතැම් ක්‍රිස්තියානි කාන්තාවන් කෙරෙහි යෙහෝවාට ඇති ආකල්පය අද දින ඇතැම් කාන්තාවන්ට දිරිගැන්වීමක් විය හැක්කේ කෙසේද?

9 රාහබ් මෙන්, පළමුවෙනි සියවසේ සිට අපගේ කාලය දක්වාම ඇතැම් ක්‍රිස්තියානි කාන්තාවන්, දෙවිව ප්‍රීතිමත් කිරීම සඳහා තමන් ගත කළාවූ දුරාචාරමය ජීවිත මාර්ග අත්හැර දමා තිබේ. (1 කොරින්ති 6:9-11) මේ අයගෙන් සමහරෙක් හැදී වැඩී ඇත්තේ දුරාචාරය දසත පැතිර තිබූ සහ එය සාමාන්‍ය දෙයක් ලෙසට පවා සලකනු ලැබූ ඉපැරණි කානානීය දේශයේ පරිසරයට සමාන වූ පරිසරයක් තුළ බවට කිසිදු සැකයක් නැත. එහෙත්, ශුද්ධ ලියවිලි පිළිබඳ නිවැරදි දැනුම මත පදනම් වූ ඇදහිල්ලෙන් පෙලඹී ඔවුහු තම මාර්ග වෙනස් කරගත්හ. (රෝම 10:17) මෙබැවින්, එවන් කාන්තාවන් ගැන මෙසේ පැවසිය හැකියි. “දෙවි, ඔවුන්ගේ දෙවි ලෙස හඳුන්වනු ලැබ, ඔහුට අයැදිනවාට ඔහු ලජ්ජා නොවන්නේය.” (හෙබ්‍රෙව් 11:16, NW) මොන තරම් ගෞරවයක්ද!

සිහිනුවණ නිසා ආශීර්වාද ලැබූ කාන්තාවක්

10, 11. අබීගායිල් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹුණේ නාබල් සහ දාවිත් සම්බන්ධ කිනම් තත්වයන් නිසාද?

10 අතීතයේ විසූ ඇදහිලිවන්ත කාන්තාවන් බොහෝදෙනෙක් සිහිනුවණ නමැති ගුණාංගය ඉතා කැපීපෙනෙන ආකාරයකින් විදහාපෙන්නුවෝය. එමනිසා, ඔවුහු යෙහෝවාගේ ජනයාට අනර්ඝ වස්තුවක් වූහ. එවන් කාන්තාවකි, නාබල් නම් ධනවත් වතුහිමියාගේ භාර්යාව වූ අබීගායිල්. අබීගායිල් සිහිනුවණින් යුතුව කටයුතු කළ හෙයින්, ජීවිත බේරාගැනීමට හැකි වූ අතර, ඊශ්‍රායෙලයේ අනාගත රජු වෙන්නට සිටි දාවිත්ව ලේ වරදින් වළක්වාලීමටද ඇයට හැකි විය. පළමුවෙනි සාමුවෙල් 25වන පරිච්ඡේදයේ සඳහන් වාර්තාවේ අබීගායිල් ගැන අපට කියවා බැලිය හැකියි.

11 කතන්දරය පටන්ගන්නේ මෙලෙසයි. දාවිත් සහ ඔහුගේ කණ්ඩායම නාබල්ගේ රැළ අසල කඳවුරු බැඳ සිටින අතර, ඊශ්‍රායෙල් ජාතිකයෙකු වන තමන්ගේ සහෝදර නාබල් කෙරෙහි කාරුණික සැලකිල්ලක් දක්වමින් ඔවුහු දිවා රෑ දෙකේ ඔහුගේ රැළ රැක බලාගනිති. දාවිත්ට තිබෙන ආහාර ප්‍රමාණය අවසන් වේගන යන විට, ඔහු කරන්නේ ආහාර ඉල්ලා නාබල් වෙතට තරුණයන් දහදෙනෙකු යැවීමයි. දාවිත්ට තම කෘතගුණ සැලකීමටත් යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා හැටියට ඔහුට ගෞරව කිරීමටත් නාබල්ට දැන් අවස්ථාවක් උදා වී තිබේ. එහෙත්, නාබල් මෙහිදී කරන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයයි. ඉතා තද කෝපයෙන් වියරු වී ඔහු දාවිත්ට අවමන් කරමින් දාවිත්ගේ පුරුෂයන් හිස් අතින් ආපහු හරවා යවයි. මේ ගැන දාවිත්ට ආරංචි වූ විට, අවිගත් පුරුෂයන් 400ක් පමණ එක් රැස් කරවාගෙන නාබල්ගෙන් පළිගැනීම සඳහා පිටත් වී එයි. තම සැමියාගේ කුරිරු ප්‍රතිචාරය ගැන දැනගත් අබීගායිල් ඉතා සිහිනුවණින් යුතුව වහාම ක්‍රියාත්මක වී දාවිත්ව සනසන්නේ ත්‍යාගශීලී ලෙස ආහාර සැපයුමක් යැවීමෙනි. අනතුරුව ඇයද දාවිත්ව හමුවීමට පිටත්ව යන්නීය.—2 සිට 20 දක්වා පද.

12, 13. (අ) අබීගායිල් සිහිබුද්ධියෙන් කටයුතු කළ බවත් යෙහෝවාටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් පක්ෂපාත වූ කාන්තාවක් බවත් ඔප්පු වූයේ කුමකින්ද? (ආ) අබීගායිල් යළිත් නිවසට පැමිණි විට කළේ කුමක්ද? ඇය ගත් ක්‍රියාමාර්ගයෙන් ඇති වූ ප්‍රතිඵලය කුමක්ද?

12 අබීගායිල් දාවිත්ව හමු වන අවස්ථාවේදී දයාව පතා ඇය කරන යටහත් පහත් ආයාචනයෙන් පෙනී යන්නේ යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා කෙරෙහි ඈට තිබූ ගැඹුරු ගෞරවයයි. “මාගේ ස්වාමියා යෙහෝවාගේ යුද්ධ කරන බැවින් යෙහෝවා මාගේ ස්වාමියාට ස්ථිර වූ වංශයක් සාදා දෙන්නේය.” යෙහෝවා දාවිත්ව ඊශ්‍රායෙල්හි නායකයා බවට පත් කරනු ඇති බවද ඇය සඳහන් කළාය. (28-30 පද) මේ අතර, දාවිත් තම කෝපය පාලනය කර නොගෙන පළිගත්තොත් ඔහු ලේ වරදට හසු වනු ඇතැයි කියාද අබීගායිල් ඔහුට පැවසුවාය. මෙය පැවසීමට ඇයට මහත් දිරියක් වඩවාගත යුතු විය. (26, 31 පද) අබීගායිල්ගේ යටහත් පහත්කම, ගැඹුරු ගෞරවය මෙන්ම ඇය නිරවුල් මනසක් ඇතුව සිතා බලා කටයුතු කළ නිසා දාවිත් සන්සුන් වී තම අඥාන ක්‍රියාකලාපයෙන් මිදුණේය. ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “මා සම්බ වෙන්ට අද දවසේ ඔබ එවුවාවූ ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා වේවා. ඔබේ නුවණටද ප්‍රශංසා වේවා. ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැළැක්වූ ඔබට ආශීර්වාද වේවා.”—32, 33 පද.

13 ආපසු නිවසට පැමිණි පසු අබීගායිල් නිර්භීත ලෙස තමන් දාවිත්ට දුන් තෑග්ග ගැන ස්වාමියාට පැවසීම සඳහා ඔහු වෙතට යන්නීය. එහෙත්, “ඔහු හොඳටම මත්ව” සිටියි. එබැවින් ඔහුගේ මත් ගතිය සිඳෙන තුරු බලා සිටීමෙන් අනතුරුව ඇය ඒ ගැන පවසන්නීය. මේ අවස්ථාවේදී නාබල් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? ඔහු මින් කොතරම් කම්පනයට පත් වූවාද කියතොත් එක්තරා ආකාරයක අංශභාග රෝගී තත්වයකට ඔහු පත් විය. දවස් දහයකට පසු දෙවි ඔහුව මිය යෑමට සලස්වයි. නාබල්ගේ මරණය ගැන දැනගත් පසු, දාවිත් තමා ඉතා අගේ කොට සලකන හා ගැඹුරින් ගෞරව කරන අබීගායිල්ට විවාහ යෝජනාවක් කරයි. ඇය දාවිත්ගේ ඉල්ලීමට එකඟ වන්නීය.—34-42 දක්වා පද.

ඔබටත් අබීගායිල් මෙන් විය හැකිද?

14. අප ආශා කරන්නේ අබීගායිල් සතුව තිබූ කිනම් ගුණාංග වඩාත් පුළුල්ව වගා කිරීමටද?

14 ඔබ පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ වේවා, අබීගායිල් තුළ දක්නට තිබූ සමහරක් ගුණාංග ඉතා පුළුල් ලෙස වගා කිරීමට ඔබත් කැමතිද? සමහරවිට දුෂ්කරතාවන් පැනනඟින විට, වඩාත් විචක්ෂණශීලීව සහ සිහිනුවණ ඇතිව කටයුතු කිරීම ඔබගේ ආශාව විය හැකියි. නැතහොත්, ඔබ අවට සිටින්නන් වඩාත් චිත්තවේගී හැඟීම්වලින් උත්සන්නව ක්‍රියා කරද්දී සන්සුන්වත් සාධාරණ අන්දමිනුත් කතා කිරීමට ඔබට වුවමනා වෙන්නට පුළුවනි. එසේනම්, මේ කාරණය ගැන යෙහෝවාට යාච්ඤා නොකරන්නේ මන්ද? ප්‍රඥාව, විචාර බුද්ධිය සහ කල්පනා ශක්තිය තමන්ගෙන් ‘ඇදහිල්ලෙන් ඉල්ලන’ සියල්ලන්ට දීමට ඔහු පොරොන්දු වෙයි.—යාකොබ් 1:5, 6; හිතෝපදේශ 2:1-6, 10, 11.

15. ක්‍රිස්තියානි කාන්තාවන් අබීගායිල් විසින් පෙන්වන ලද ගුණාංග විදහාපෑම වැදගත් වන්නේ විශේෂයෙන් කිනම් තත්වයන් යටතේද?

15 විශේෂයෙන්ම, බයිබල් ප්‍රතිපත්ති කෙරෙහි ඉතා අඩු සැලකිල්ලක් ඇති හෝ කිසිදු සැලකිල්ලක් නැති නොඇදහිලිකාර ස්වාමිපුරුෂයෙකු සමඟ යම් කාන්තාවකට ජීවත් වීමට සිදු වී තිබේ නම්, මෙම කදිම ගුණාංග විශේෂයෙන් වැදගත්ය. සමහරවිට ඔහු අධික ලෙස මත්පැන් පානය කරන්නෙක් විය හැකියි. එවන් පුරුෂයන් තමන්ගේ මාර්ග වෙනස් කරගනීවිය කියා බලාපොරොත්තු විය හැකියි. මන්ද, බොහෝ විට තමන්ගේ භාර්යාවන්ගේ මෘදු ගතිගුණ, ගැඹුරු ගෞරවය සහ පිරිසිදු හැසිරීම දැක බොහෝ පුරුෂයන් තම මාර්ග වෙනස් කරගෙන තිබේ.—1 පේතෘස් 3:1, 2, 4.

16. නිවසේ කිනම් තත්වයක් තිබුණද, සියල්ලටම වඩා තමන්ට යෙහෝවා සමඟ තිබෙන සම්බන්ධය අතිශයින් වටින බව පෙන්වීමට ක්‍රිස්තියානි සහෝදරියකට හැක්කේ කෙසේද?

16 නිවසේදී ඔබට විඳදරාගැනීමට තිබෙන තත්වයන් කුමනාකාර වුවද, සෑමවිටම ඔබට සහය වීමට යෙහෝවා සිටින බව මතකයේ තබාගන්න. (1 පේතෘස් 3:12) එබැවින්, ඔබවම ආත්මිකව ශක්තිමත් කරගැනීමට දැඩි උත්සාහයක් ගන්න. ප්‍රඥාව සහ සන්සුන් සිතක් දෙන මෙන් යාච්ඤා කරන්න. එසේය, නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන්, යාච්ඤාවෙන්, මෙනෙහි කිරීමෙන් සහ සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන් යෙහෝවාට තව තවත් ළං වෙන්න. අබීගායිල්ගේ සැමියා මාංශික ආකල්පයක් විදහාපෑවද දෙවි කෙරෙහි ඇය තුළ තිබූ ප්‍රේමයට සහ ඔහු පත් කර ඇති අභිෂේක ලත් තැනැත්තා කෙරෙහි ඈට තිබූ ආකල්පයට එය බලපෑවේ නැත. ඇය ක්‍රියා කළේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟවයි. ස්වාමිපුරුෂයා දෙවිගේ ආදර්ශවත් සේවකයෙකු ලෙස කටයුතු කරන පවුලක වුවද, තමාගේම ආත්මිකත්වය දිගටම ගොඩනැංවීමටද එය පවත්වාගෙන යෑමටද තමන්ට වගකීමක් තිබෙන බව ක්‍රිස්තියානි භාර්යාවක් වටහාගන්නීය. ඇයව ආත්මිකවත් ද්‍රව්‍යමය වශයෙනුත් නඩත්තු කිරීමට ස්වාමිපුරුෂයාට ශුද්ධ ලියවිලිමය වගකීමක් තිබෙන බව ඇත්තය. එහෙත්, අන්තිමේදී ඇය ‘භයෙන් සහ වෙව්ලමින් යුතුව ඇගේම ගැලවීම ඉටු කරගත’ යුතුය.—ෆිලිප්පි 2:12, NW; 1 තිමෝති 5:8.

“අනාගතවක්තෘවරයෙකුගේ විපාකය” ඇය ලැබුවාය

17, 18. (අ) ශාරෙපත්හි වැන්දඹුව වෙතට ඉදිරිපත් කරනු ලැබුවේ ඇදහිල්ල සම්බන්ධ කිනම් අසාමාන්‍ය පරීක්ෂණයක්ද? (ආ) මෙම වැන්දඹුව එලියාගේ ඉල්ලීමට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? මේ සඳහා යෙහෝවා ඇයට විපාක දුන්නේ කෙසේද?

17 අනාගතවක්තෘ එලියා විසූ කාලයේදී යෙහෝවා දිලිඳු වැන්දඹුවක කෙරෙහි සැලකිල්ල දැක්වූ ආකාරයෙන් පෙනී යන්නේ, තමන්වම සහ තමන් සතු සම්පත් දීමෙන් සැබෑ නමස්කාරයට අනුබල දෙන අයව යෙහෝවා ගැඹුරින් අගය කරන බවයි. එලියාගේ කාලයේදී පැවති දීර්ඝ නියඟය නිසා, එහි විසූ බොහෝදෙනෙක් සාගතයෙන් පෙළුණහ. ශාරෙපත්හි විසූ වැන්දඹුවක්ද ඇගේ පුත්‍රයාද ඒ අතර වූහ. ඔවුන් සතුව තිබුණේ තමන්ගේ අන්තිම ආහාර වේල පමණි. ඒ අවස්ථාවේ ආගන්තුකයෙක් පැමිණියේය. ඒ අනාගතවක්තෘ එලියාය. මෙහිදී ඔහු කළේ බොහෝ සෙයින් අසාමාන්‍ය ඉල්ලීමකි. මෙම කාන්තාවගේ අසරණ තත්වය දැක දැකත්, ඔහු ඇගෙන් ඉල්ලා සිටියේ ඇගේ අන්තිම පිටි ටික සහ තෙල් ටික පාවිච්චි කරමින් ඔහුට “කුඩා රොටියක්” සාදා දෙන ලෙසයි. ඔහු තවදුරටත් මෙසේද කීවේය. “මක්නිසාද යෙහෝවා භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවර වෙන්නේවත් තෙල් කුළාව අඩු වෙන්නේවත් නැතැයි ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා කියන්නේය.”—1 රාජාවලිය 17:8-14.

18 ඒ අපූරු ඉල්ලීමට ඔබ කෙසේ ප්‍රතිචාරය දක්වාවිද? ශාරෙපත්හි වැන්දඹුව එලියා යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙකු කියා හඳුනාගත් බව පෙනේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය “එලියා කී හැටියට කළාය.” ඇගේ මේ ආගන්තුක සත්කාරමය ක්‍රියාවට යෙහෝවා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔහු නියඟය පැවති කාලයේදී ප්‍රාතිහාර්යමය ලෙස එම කාන්තාවට, ඇගේ පුත්‍රයාට සහ එලියාට ආහාර සැපයුවේය. (1 රාජාවලිය 17:15, 16) එසේය, ශාරෙපත්හි මෙම වැන්දඹුව ඊශ්‍රායෙල් ජාතික කාන්තාවක් නොවුණද, යෙහෝවා ඇයට ‘අනාගතවක්තෘවරයෙකුගේ විපාකයක්’ දුන්නේය. (මතෙව් 10:41, NW) දෙවිගේ පුත්‍රයාද මෙම වැන්දඹුවට ගෞරව කළේ තමා හැදී වැඩුණු නාසරෙත් නුවර විසූ නොඇදහිලිවන්ත ජනයා ඉදිරියේ ඇය තැබූ ආදර්ශය ගැන පැවසීමෙනි.—ලූක් 4:24-26.

19. අද දින ක්‍රිස්තියානි කාන්තාවන් බොහෝදෙනෙක් ශාරෙපත්හි වැන්දඹුවගේ ස්ප්‍රීතුව විදහාපාන්නේ කෙසේද? මෙවන් අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කෙසේද?

19 අද දින, ක්‍රිස්තියානි කාන්තාවන් බොහෝදෙනෙක්, ශාරෙපත්හි වැන්දඹුවගේ ස්ප්‍රීතුවම විදහාපාති. නිදසුනක් වශයෙන්, පරාර්ථකාමි ක්‍රිස්තියානි සහෝදරියන්ගෙන් බොහෝදෙනෙක් දිලිඳු මෙන්ම පවුලක් බලා කියා ගැනීමේ වගකීම තිබෙන අය වුවද, ඔවුහු සෑම සතියකම සංචාරක අවේක්ෂකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට ආගන්තුක සත්කාරය පෙන්වති. තවත් අය තමන්ගේ සභාවේ පූර්ණ කාලීන දේවසේවකයන්ට ආහාර සපයති. අවශ්‍යතාව ඇති අයට උපකාර කරති. නැතහොත් වෙනත් අන්දමකින් තමන්ගේ සම්පත් රාජ්‍ය වැඩකටයුතුවලට අනුබල දීම සඳහා යොදවති. (ලූක් 21:4) යෙහෝවා එවන් පරිත්‍යාගයන් සැලකිල්ලට ගන්නවාද? අනිවාර්යෙන්ම! “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේම කරමින්ද සිටින්නහුය.”—හෙබ්‍රෙව් 6:10, NW.

20. ඊළඟ ලිපියේදී අප සලකා බලන්නේ කුමක්ද?

20 පළමු සියවසේදී, දේවභයැති කාන්තාවන් කිහිපදෙනෙකුටම, යේසුස්ට සහ ඔහුගේ ප්‍රේරිතයන්ට උපස්ථාන කිරීමේ වරප්‍රසාදය ලැබුණි. මෙම කාන්තාවන් යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කළ ආකාරය අපි ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු. තවද ඉතා දුෂ්කර තත්වයන් යටතේදී පවා යෙහෝවාට සම්පූර්ණ සිතකින් සේවය කරන්නාවූ නවීන දින ආදර්ශයන් ගැනත් අපි සලකා බලමු.

[පාදසටහන]

^ 8 ඡේ. මතෙව් විසින් වාර්තා කර ඇති පරිදි, යේසුස් උපන් පෙළපතේ කාන්තාවන් හතරදෙනෙකුගේ නාමයන් සඳහන් කර තිබේ. එනම් තාමාර්, රාහබ්, රූත් සහ මරියාය. මේ සියලු නාමයන් දේවවචනයේ සඳහන් කර ඇත්තේ ඉතා උසස් ගෞරවයකින් යුතුවයි.—මතෙව් 1:3, 5, 16.

පුනරීක්ෂණය

• පහත සඳහන් කාන්තාවන් යෙහෝවාගේ හදවත ප්‍රීතිමත් කළේ කෙසේද?

• ෂිප්රා සහ පුවා

• රාහබ්

• අබීගායිල්

• ශාරෙපත්හි වැන්දඹුව

• මෙම කාන්තාවන් විසින් තබන ලද ආදර්ශ ගැන මෙනෙහි කිරීම අපට පෞද්ගලිකව උපකාරවත් වන්නේ කෙසේදැයි උදාහරණ මගින් පැහැදිලි කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

ඇදහිලිවන්ත කාන්තාවන් බොහෝදෙනෙක් “රජුගේ ආඥාව” නොසලකා දෙවිට සේවය කර තිබේ

[10වන පිටුවේ පින්තූරය]

ඇදහිල්ලක් ඇති තැනැත්තියක වශයෙන් රාහබ් කදිම ආදර්ශයක් වන්නේ මන්ද?

[10වන පිටුවේ පින්තූරය]

අබීගායිල් විසින් විදහාපාන ලද කිනම් ගුණාංග අනුකරණය කිරීමටද ඔබ කැමති?

[12වන පිටුවේ පින්තූරය]

අද දින බොහෝ ක්‍රිස්තියානි කාන්තාවෝ ශාරෙපත්හි විසූ ඒ ආදිතම වැන්දඹුවගේ ස්ප්‍රීතුව විදහාපාති