Skip to content

පටුනට යන්න

ගෝලයන් සෑදීමේ අරමුණින් දේශනා කරන්න

ගෝලයන් සෑදීමේ අරමුණින් දේශනා කරන්න

ගෝලයන් සෑදීමේ අරමුණින් දේශනා කරන්න

“ප්‍රිසිලා සහ අකිලා [අපොලොස්ගේ ] බස් අසා, ඔහුව පිළිගෙන, ඔහුට දෙවිගේ මාර්ගය වඩා නිවැරදි ලෙස පහදා දුන්නෝය.”—ක්‍රියා 18:26, NW.

1. (අ) අපොලොස් “ශුද්ධාත්මයෙන් පිරී [සිටියත්]” ඔහුට අවශ්‍යව තිබුණේ කුමක්ද? (ආ) අපොලොස්ට ආත්මික කාරණා පිළිබඳ අවබෝධය වැඩි කරගැනීම සඳහා අවශ්‍ය වූයේ කුමක් කිරීමද?

එෆීසයේ පිහිටි සිනගෝගයක අපොලොස් ඉදිරිපත් කරමින් සිටි කතාවකට, මුල් සියවසේ සිටි ක්‍රිස්තියානි විවාහක යුවළක් වූ ප්‍රිසිලා සහ අකිලා ඕනෑකමින් අවධානය යොමු කරමින් සිටියෝය. අපොලොස් ව්‍යක්ත ලෙස ඒත්තුගැන්වීමෙන් යුක්තව කතාව ඉදිරිපත් කරමින් සිටි නිසා සවන් දීගෙන සිටි අයගේ අවධානය ලබාගැනීමට ඔහුට හැකි විය. “ශුද්ධාත්මයෙන් පිරී සිටි” ඔහු “යේසුස් ගැන කාරණා කතා කරමින් ඒවා නිවැරදිව [උගන්වමින් සිටියේය].” කෙසේවෙතත් අපොලොස් “දැන සිටියේ යොහන්ගේ බව්තීස්මය ගැන [පමණක්]” බව පෙනී ගියේය. අපොලොස් ක්‍රිස්තුස් ගැන දේශනා කළ දේවල් යම් ප්‍රමාණයකට සත්‍යය විය. ගැටලුව වූයේ ක්‍රිස්තුස් ගැන ඔහුට ප්‍රමාණවත් දැනුමක් නොතිබීමයි. යෙහෝවාගේ අරමුණ ඉටු කිරීමේදී යේසුස් ක්‍රිස්තුස් ඉටු කරන කාර්යභාරය ගැන තමන් සතු දැනුම අපොලොස් වැඩි කරගැනීම අවශ්‍ය විය.—ක්‍රියා 18:24-26, NW.

2. ප්‍රිසිලා සහ අකිලා භාරගත් අමාරු කාර්යය කුමක්ද?

2 ක්‍රිස්තුස් අණ කළ “සියලු දේ” පැවැත්විය හැකි කෙනෙකු වීම සඳහා අපොලොස්ට උපකාර කිරීමට ප්‍රිසිලා හා අකිලා නොපමාව ඉදිරිපත් වූහ. (මතෙව් 28:19, 20, NW) මොවුන් දෙදෙනා අපොලොස්ව “පිළිගෙන, ඔහුට දෙවිගේ මාර්ගය වඩා නිවැරදි ලෙස පහදා [දුන්]” බව වාර්තාවේ සඳහන් වේ. කෙසේවෙතත් අපොලොස්ට ඉගැන්වීමට ඇතැම් ක්‍රිස්තියානීන් අකමැත්තක් දැක්වීමට හේතු වූවායයි සිතිය හැකි කාරණා කිහිපයක් ඔහු හා බැඳී තිබිණ. මේ කාරණා මොනවාද? ප්‍රිසිලා සහ අකිලා අපොලොස් සමඟ ශුද්ධ ලියවිල්ල ගැන සාකච්ඡා කිරීමට දැරූ වෑයම්වලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? නිවාස බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා වෑයම් කිරීමේදී, මෙම වාර්තාව සලකා බැලීම අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

ජනයා ගැන සිතන්න

3. ප්‍රිසිලා සහ අකිලා අපොලොස්ට ඉගැන්වීමෙන් වැළකී සිටීමට ඔහුගේ පසුබිම හේතුවක් කර නොගත්තේ මන්ද?

3 උපතින්ම යුදෙව්වෙකු වූ අපොලොස් හැදී වැඩුණේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ බව පෙනෙන්න තිබිණ. ඇලෙක්සැන්ඩ්‍රියාව, ඒ කාලයේ ඊජිප්තුවේ අගනුවර වූ අතර උසස් අධ්‍යාපනය හදාරන මධ්‍යස්ථානයක් වූ එහි තිබූ විශාල පුස්තකාලය නිසා එය සුප්‍රසිද්ධ විය. මෙම නගරයේ විශාල යුදෙව් ජන පිරිසක් ජීවත් වූයේය. විද්වත්හුද ඔවුන් අතර සිටියහ. සෙප්ටූඅජින්ට් කියා ප්‍රසිද්ධියට පත්ව තිබෙන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ග්‍රීක් පරිවර්තනය කරනු ලැබුවේ එහිදීය. මේ නිසා “ශුද්ධ ලියවිලි ගැන මනා දැනුමක්” අපොලොස්ට තිබීම ගැන පුදුම විය යුතු වූයේ නැත. අකිලා සහ ප්‍රිසිලා කූඩාරම් සාදන්නෝ වූහ. චතුර කථිකයෙකු වූ අපොලොස්ට උපකාර කරන්න තරම් තමන්ට සුදුසුකම් නැහැ කියා ඔවුන් සිතුවාද? නැත. ප්‍රේමයෙන් පෙලඹුණු ඔවුන් සිතුවේ පුද්ගලයා ගැන, ඔහුගේ අවශ්‍යතා ගැන හා ඔහුට උපකාර කිරීමට තමන්ට හැකි ආකාරය ගැනයි.

4. අපොලොස්ට අවශ්‍යව තිබූ උපකාරය ඔහුට ලැබුණේ කොහෙන්ද? කෙසේද?

4 අපොලොස් මොනතරම් දක්ෂ කථිකයෙකු වුවත් ඔහු තවත් දේවල් ඉගෙනගත යුතු විය. ඔහුට අවශ්‍යව තිබූ උපකාරය කිසිම විශ්වවිද්‍යාලයකින් ලබාගත නොහැකි වූ නමුත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ගෙන් එම උපකාරය ලබාගත හැකි විය. ගැලවීම සඳහා දෙවිගේ විධිවිධානය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබාගැනීමට උපකාරවත් වන තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට අපොලොස්ට අවස්ථාව උදා වී තිබිණ. ප්‍රිසිලා සහ අකිලා “ඔහුව පිළිගෙන, ඔහුට දෙවිගේ මාර්ගය වඩා නිවැරදි ලෙස පහදා දුන්නෝය.”

5. ප්‍රිසිලාගේ හා අකිලාගේ ආත්මිකත්වය ගැන ඔබට කුමක් කිව හැකිද?

5 ප්‍රිසිලා සහ අකිලා ආත්මිකව ශක්තිමත් පුද්ගලයන් වූ අතර, ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් පදනමක් මත පිහිටා තිබිණ. ධනවතෙකු හෝ දුප්පතෙකු හෝ වේවා උගතෙකු හෝ දාසයෙකු හෝ වේවා ‘ඔවුන්ගේ බලාපොරොත්තුව ගැන අසන සියල්ලන් ඉදිරියේ උත්තර දීමට ඔවුන් නිතරම සූදානම්ව සිටි’ බව බොහෝදුරට සිතිය හැක. (1 පේතෘස් 3:15, NW) අකිලාට හා ඔහුගේ භාර්යාවට “සත්‍යයේ වචනය හරියාකාරව [හසුරුවන්න]” හැකි විය. (2 තිමෝති 2:15, NW) මේ දෙදෙනා ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කළ බව පෙනෙන්න තිබේ. හදවතට බලපෑම් කරන ‘ජීවමාන හා බලවත්, දෙවිගේ වචනය’ පදනම් කරගනිමින් අපොලොස්ට උගන්වන ලද දේවල් ඔහුගේ සිතට තදින්ම කාවැදිණ.—හෙබ්‍රෙව් 4:12, NW.

6. අපොලොස්ට ලැබුණු උපකාරය ඔහු පිළිගත් බව අප දන්නේ කෙසේද?

6 අපොලොස් ඔහුට ඉගැන්වූ අයගේ ආදර්ශය අගය කළ අතර, ගෝලයන් සෑදීමේ දක්ෂතාව තවත් වර්ධනය කරගත්තේය. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ හවුල් වීමේදී, විශේෂයෙන්ම යුදෙව්වන් අතර එය කිරීමේදී තමන් සතුව තිබූ දැනුම ඵලදායක ලෙස ඔහු යොදාගත්තේය. යුදෙව්වන්ට ක්‍රිස්තුස් ගැන කාරණා ඒත්තුගැන්වීමේදී අපොලොස් සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කළේය. “ශුද්ධ ලියවිලි ගැන බලවත්ව” සිටි නිසා පුරාණයේ විසූ සියලුම අනාගතවක්තෘවරුන් ක්‍රිස්තුස්ගේ පැමිණීම දෙස මහත් උනන්දුවෙන් බලා සිටි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වීමට ඔහුට හැකි විය. (ක්‍රියා 18:24) ඊළඟට අපොලොස් ඇකේයාවට ගිය බව වාර්තාවේ සඳහන් වේ. එහිදී ඔහු “දෙවිගේ මහත් කරුණාව නිසා අදහාගෙන සිටි අයට, . . . බොහෝ සේ උපකාර කළේය. මන්ද ඔහු යේසුස් යනු ක්‍රිස්තුස් බව ශුද්ධ ලියවිලිවලින් පෙන්වා දෙමින් යුදෙව්වරුන් වැරදි බව ප්‍රබල ලෙස ප්‍රසිද්ධියේම ඔප්පු කර පෙන්වීය.”—ක්‍රියා 18:27, 28, NW.

වෙනත් ගුරුවරුන්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න

7. අකිලා සහ ප්‍රිසිලා දක්ෂ ගුරුවරුන් වූයේ කෙසේද?

7 අකිලා සහ ප්‍රිසිලා දේවවචනය ගැන උගන්වන දක්ෂ ගුරුවරුන් වූයේ කෙසේද? ඉතා හොඳින් පෞද්ගලික අධ්‍යයනයේ යෙදීමට හා රැස්වීම්වලට යෑමට අමතරව ඔවුහු දෙදෙනා ප්‍රේරිත පාවුල් සමඟ සමීප ඇසුරක් පැවැත්වූහ. මෙය ඔවුන්ට ඉමහත් සේ උපකාරවත් වූ බවට සැකයක් නැත. පාවුල් කොරින්තියේ තිබූ ප්‍රිසිලාගේ හා අකිලාගේ නිවසේ මාස 18ක් නතර වී සිටියේය. මේ තිදෙනා කූඩාරම් මසමින් හා අලුත්වැඩියා කරමින් එකට වැඩ කළහ. (ක්‍රියා 18:2, 3) ගැඹුරු ආත්මික කාරණා පිළිබඳව මොවුන් අතර ඇති වූ සංවාද ගැන සිතන්න. පාවුල් සමඟ එවන් ඇසුරක් පැවැත්වීමෙන් තමන්ගේ ආත්මිකත්වය තව තවත් වර්ධනය කරගැනීමට ප්‍රිසිලාට හා අකිලාට ලැබුණේ මොනතරම් කදිම ප්‍රස්තාවක්ද! “ඥානවන්තයන් කැටුව යන්න, එවිට ඔබ ඥානවන්ත වන්නේය” කියා හිතෝපදේශ 13:20හි පවසා ඇත. යහපත් ඇසුර ඔවුන්ගේ ආත්මික ගතිපැවතුම් කෙරෙහි හොඳ බලපෑමක් ඇති කළේය.—1 කොරින්ති 15:33.

8. පාවුල් දේවසේවයේ නියැලුණු ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ප්‍රිසිලා සහ අකිලා ඉගෙනගත්තේ කුමක්ද?

8 ප්‍රිසිලා සහ අකිලා රාජ්‍ය ප්‍රකාශකයෙකු වූ පාවුල්ව හොඳින් නිරීක්ෂණය කරද්දී ඔවුන් දුටුවේ දක්ෂ ගුරුවරයෙකුගේ විශිෂ්ට ආදර්ශයකි. පාවුල් “සෑම සබත් දවසකදීම [කොරින්තියේ] සිනගෝගයේදී කතාවක් දී එමගින් යුදෙව්වරුන්ටද ග්‍රීකවරුන්ටද ඒත්තුගැනීමට [සැලැස්වූ]” බව ක්‍රියා පොතේ සඳහන් වේ. පසුව සීලස් හා තිමෝති ඔහුට එක් වූ කාලයේදී පාවුල් “යේසුස් යනු ක්‍රිස්තුස් බව ඔප්පු කරන පිණිස . . . යුදෙව්වරුන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමෙහි සම්පූර්ණයෙන්ම නිරත විය.” සිනගෝගයේ සාමාජිකයන් උනන්දුවක් නොදැක්වූ විට, පාවුල් එයට යාබදව තිබූ හොඳ ප්‍රතිචාරයක් ලැබෙන නිවසකට ගොස් දේශනා කළ ආකාරය ප්‍රිසිලා හා අකිලා දුටුවෝය. එහිදී “සිනගෝගයේ මුලසුන භාර නිලධාරියා වූ [ක්‍රිස්පස්ට]” ගෝලයෙකු වීම සඳහා උපකාර කිරීමට පාවුල්ට හැකි විය. එම තැනැත්තාව ගෝලයෙකු කිරීම නිසා එම ප්‍රදේශය තුළ පල දරන තත්වයක් ඇති වූ බව ප්‍රිසිලා සහ අකිලා දුටුවා කියා සිතිය හැක. මේ ගැන වාර්තාවේ මෙසේ සඳහන් වේ. “ක්‍රිස්පස්ද ඔහුගේ සියලු ගෙයි වැසියෝද ස්වාමීන් තුළ ඇදහිලිවන්තයෝ වූහ. කොරින්තිවරුන්ගෙන් බොහෝදෙනෙක්ද අසා, අදහාගෙන බව්තීස්ම වූහ.”—ක්‍රියා 18:4-8, NW.

9. පාවුල්ගේ ආදර්ශය දුටු ප්‍රිසිලා සහ අකිලා කළේ කුමක්ද?

9 දේවසේවයේදී පාවුල් තැබූ ආදර්ශය ප්‍රිසිලා හා අකිලා වැනි වෙනත් රාජ්‍ය ප්‍රකාශකයන් විසින් අනුකරණය කරන ලදි. ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ උපදෙස් දුන්නේය. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න.” (1 කොරින්ති 11:1, NW) ප්‍රිසිලා සහ අකිලා පාවුල්ගේ ආදර්ශය අනුකරණය කරමින් ක්‍රිස්තියානි ඉගැන්වීම් වඩාත් නිවැරදිව තේරුම්ගන්න අපොලොස්ට උපකාර කළේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට පසුව ඔහුද වෙනත් අයට උපකාර කළේය. ප්‍රිසිලා සහ අකිලා රෝමය, කොරින්තිය හා එෆීසය යන පළාත්වල ගෝලයන් සෑදීමේ කාර්යයට සහය දුන් බවට සැකයක් නැත.—ක්‍රියා 18:1, 2, 18, 19; රෝම 16:3-5.

10. ක්‍රියා 18වන පරිච්ඡේදයෙන් ඔබ ඉගෙනගත්තේ ගෝලයන් සෑදීමේ කාර්යයේදී ඔබට උපකාරවත් වන කුමන දේවල් ගැනද?

10 අප මෙතෙක් සලකා බැලූ ක්‍රියා 18වන පරිච්ඡේදයෙන් අපට ඉගෙනගත හැකි දේවල් මොනවාද? පෙනෙන විදිහට අකිලා සහ ප්‍රිසිලා පාවුල්ගෙන් ඉගෙනගත්තාක් මෙන් දේවවචනය උගන්වන දක්ෂ ගුරුවරුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් ගෝලයන් සෑදීමේ අපේ හැකියාව දියුණු කරගැනීමට අපට හැකියි. අපට කළ හැකි තවත් දෙයක් වන්නේ “සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමෙහි සම්පූර්ණයෙන්ම නිරත වී” සිටින අය සමඟ ඇසුරු කිරීමයි. (ක්‍රියා 18:5, NW) ඒත්තුගැන්වීමෙන් යුක්තව ඉගැන්වීමේ කුසලතා යොදාගනිමින් ජනයාගේ සිත් තුළ පෙලඹීමක් ඇති කරන ආකාරය නිරීක්ෂණය කිරීමට අපට හැකියි. මෙවන් දක්ෂතා ගෝලයන් සෑදීමේ කාර්යයට උපකාරවත් වේ. අප යම් කෙනෙකු සමඟ බයිබලය පාඩම් කරන විට එම තැනැත්තාගේ පවුලේ සෙසු සාමාජිකයන්ට හෝ අසල්වැසියන්ටද පාඩමට හවුල් වීමට ආරාධනා කරන්න කියා අපට යෝජනා කළ හැකියි. එසේත් නැත්නම් බයිබල් පාඩමක් කිරීමට කැමති ඔහු දන්න තවත් අය සිටිනවාද කියා ඔහුගෙන් ඇසීමට පුළුවන.—ක්‍රියා 18:6-8.

ගෝලයන් සෑදීමට ප්‍රස්තා ඇති කරගන්න

11. අලුත් ගෝලයන් සොයාගත හැක්කේ කොහෙන්ද?

11 පාවුල් හා සෙසු ක්‍රිස්තියානීහු ගෙයින් ගෙට, වෙළඳාම්පොළේදී, ගමන් බිමන් යන විට දේශනා කිරීමෙන් ගෝලයන් සෑදීමට මං සෙව්වෝය. ඇත්තෙන්ම ඔවුහු සෑම තැනකදීම මෙසේ කළහ. ගෝලයන් සෑදීමට හැකි සෑම අවස්ථාවකදීම වෑයම් කරමින් ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෙකු වශයෙන් ඔබේ ක්ෂේත්‍ර සේවය තවත් පුළුල් කළ හැකිද? සුදුස්සන්ව සොයමින් ඔවුන්ට දේශනා කිරීම සඳහා සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගැනීමට ඔබට හැකිද? ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වන අපගේ සෙසු ප්‍රචාරකයන් ගෝලයන් සෑදීමට යොදාගෙන තිබෙන ඇතැම් මාර්ග මොනවාද? මුලින්ම අපි දුරකථනයෙන් සාක්ෂි දැරීම ගැන සලකා බලමු.

12-14. දුරකථනයෙන් සාක්ෂි දැරීමේ ප්‍රයෝජන පැහැදිලි කිරීම සඳහා ඔබේම අද්දැකීමක් හෝ මේ ඡේදවල අද්දැකීමක් විස්තර කරන්න.

12 බ්‍රසීලයේ ගෙයින් ගෙට සේවයේ හවුල් වෙමින් සිටියදී ක්‍රිස්තියානි ස්ත්‍රියක් එකිනෙකට යාබදව නිවෙස් පිහිටි ගොඩනැඟිල්ලකින් පිට වී යමින් සිටි තරුණියකට පත්‍රිකාවක් දුන්නාය. අපි මේ ක්‍රිස්තියානි ස්ත්‍රියව මාරියා කියා හඳුන්වමු. මාරියා පත්‍රිකාවේ මාතෘකාව හැඳින්වීමක් හැටියට යොදාගනිමින් ඒ තරුණියගෙන් මෙසේ ඇසුවාය. “බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද?” ඇය දුන් පිළිතුර වූයේ මෙයයි. “මම කැමතියි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම ගුරුවරියක් හින්දා ඉගැන්වීමේ කටයුතුවලට මගේ මුළු කාලයම වගේ වැය කරන්න සිදු වෙලා තියෙනවා.” යම් බයිබල් මාතෘකාවක් ගැන දුරකථනයෙන් සාකච්ඡා කරන්න හැකි බව මාරියා පැහැදිලි කළාය. මේ තරුණිය මාරියාට ඇගේ දුරකථන අංකය ලබා දුන් අතර, එදිනම රාත්‍රියේ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? * නමැති විවරණිකාව යොදාගෙන දුරකථනයෙන් කතා කරමින් මාරියා පාඩමක් පටන්ගත්තාය.

13 දුරකථනයෙන් සාක්ෂි දැරීමේ කාර්යයේ හවුල් වෙමින් සිටි ඉතියෝපියාවේ සිටින පූර්ණ කාලීන සේවිකාවක් දුරකථනයෙන් මිනිසෙකුට කතා කළ විට, එම නිවසේ කාලගෝට්ටියක ශබ්දයක් ඇයට ඇසුණු නිසා ඇය තුළ තිගැස්මක් ඇති විය. පසුව කතා කරන මෙන් එම මිනිසා ඇගෙන් ඉල්ලා සිටියේය. ඇය පසු වේලාවක කතා කළ විට, ඔහු කලින් සිදු වූ දෙය ගැන කනගාටුව ප්‍රකාශ කර, ඒ වේලාවේදී තමා සහ තම භාර්යාව අතර උණුසුම් විවාදයක් සිදු වෙමින් තිබූ බව පැවසුවේය. පවුල් ප්‍රශ්න විසඳාගැනීම සඳහා බයිබලය සපයන නැණවත් මඟ පෙන්වීම ගැන කතා කිරීමට ඒ සහෝදරිය එය අවස්ථාවක් කරගත්තාය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන පවුලේ සන්තෝෂයට රහස නමැති පොත හුඟාක් පවුල්වලට උපකාරවත් වී තිබෙනවා කියා ඇය ඔහුට පැවසුවාය. මේ පොත ඔහුට ලැබෙන්න සැලැස්වීමෙන් දවස් කිහිපයකට පසුව මේ සහෝදරිය නැවතත් මේ මිනිසාට දුරකථනයෙන් කතා කළාය. ඔහු පුදුමයෙන් මෙසේ පැවසුවේය. “මගේ විවාහය බේරලා දුන්නේ මේ පොතයි!” ඔහු පවුලේ සාමාජිකයන් එකතු කරගෙන මේ පොතෙන් සොයාගත් හොඳ කරුණු ඔවුන් සමඟ බෙදාගත්තේය. නිවාස බයිබල් පාඩමක් පටන්ගත් අතර, වැඩි කල් යන්න කලින් මේ මිනිසා ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණෙන්න පටන්ගත්තේය.

14 දුරකථනය යොදාගනිමින් බයිබල් පාඩමක් පටන්ගත් ඩෙන්මාර්කයේ සිටින රාජ්‍ය ප්‍රචාරිකාවක් මෙසේ පවසයි. “දුරකථනයෙන් සාක්ෂි දරන්න සේවා අවේක්ෂක මාව දිරිගැන්වුවා. ‘මේක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි’ කියමින් මුලදී මම අදිමදි කළා. කොහොමවුණත් දවසක් මම බය සැක දුරු කරගෙන, පළමුවෙනි ගෙවැසියාට ඇමතුවා. සොන්යා ප්‍රතිචාරය දක්වා, කෙටි සංවාදයක නියැලීමෙන් පසුව බයිබලය මත පදනම් පොත් පත් ලබාගන්න කැමති වුණා. එක රාත්‍රියක් අපි මැවීම ගැන සාකච්ඡා කළා. ජීවය මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? * කියන පොත කියවන්න ඇය ආශාවක් දැක්වුවා. අපිට මුණගැහිලා මේ විෂය ගැන සාකච්ඡා කරන්න පුළුවන් නම් හුඟාක් හොඳයි කියා මම කිව්වා. ඒකට ඇය එකඟ වුණා. මම සොන්යාව හමු වෙන්න යනකොට ඇය පාඩමට සූදානම් වෙලයි හිටියේ. එදා ඉඳන් සෑම සතියකම පාඩම කරගෙන යනවා.” අපේ ක්‍රිස්තියානි සහෝදරිය ඇගේ අද්දැකීම අවසන් කරමින් මෙසේ පවසයි. “මම අවුරුදු ගාණක ඉඳලා බයිබල් පාඩමක් හොයාගන්න එක ගැන යාච්ඤා කළා. ඒත් දුරකථනයෙන් සාක්ෂි දරලා පාඩමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ.”

15, 16. බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා විවිධ ක්‍රම යොදාගැනීමට සැමවිටම සූදානම්ව සිටීමේ ප්‍රයෝජන පෙන්වා දීම සඳහා ඔබට පැවසිය හැකි අද්දැකීම් මොනවාද?

15 බොහෝදෙනෙකු සාර්ථකත්වයක් අද්දකින්නේ තමන්ට ඕනෑම තැනකදී හමුවන මිනිසුන්ට සාක්ෂි දැරීම සඳහා දෙනු ලබන යෝජනා ක්‍රියාවට නැඟීම නිසයි. එක්සත් ජනපදයේ සිටින ක්‍රිස්තියානි ස්ත්‍රියක් වෙළඳ සැලට පදවාගෙන ගිය තම මෝටර් රථය නතර කර තැබුවේ රථ ගාලක තිබූ වෑන් එකක් ළඟයි. මේ වෑන් රථයේ සිටි ස්ත්‍රිය තමාව දුටු විට මේ සහෝදරිය ඇයට අපේ බයිබල් අධ්‍යාපනික සේවය ගැන පැහැදිලි කරන්න පටන්ගත්තාය. වෑන් රථයේ සිටි ස්ත්‍රිය එයින් බැස, සහෝදරියගේ මෝටර් රථය ළඟට පැමිණ මෙසේ පැවසුවාය. “ඔයා මාත් එක්ක කතා කරපු එක ගැන මම හුඟාක් සතුටු වෙනවා. මට හුඟ කාලයක ඉඳන් ඔයාලාගේ පොත් පත් ලැබුණේ නැහැ. මම කැමතියි ආයෙත් බයිබලය පාඩම් කරන්න. ඔයාට පුළුවන්ද මට පාඩමක් කරන්න?” මෙසේ අපේ සහෝදරිය ශුභාරංචිය ගැන කතා කිරීමට හොඳ ප්‍රස්තාවක් ඇති කරගත්තාය.

16 අමෙරිකා එක්සත් ජනපදයේ සිටින සහෝදරියක් වැඩිහිටි නිවාසයකට ගිය අවස්ථාවේදී ලැබූ අද්දැකීමක් පහත සඳහන් වේ. ඇය එහි ඇතැම් කටයුතු භාරව සිටින නිලධාරියෙකුව හමු වී එහි සිටින අයගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති බව ඔහුට පැවසුවාය. කැමති සෑම කෙනෙක් සමඟම සතිපතා නොමිලේ නිවාස බයිබල් පාඩමක් පැවැත්වීමට ඇය සතුටෙන් සිටින බවද පැවසුවාය. එම නිලධාරියා එහි නතර වී සිටින අයගේ කාමරවලට ගොස් ඔවුන්ව බැහැදැකීමට ඇයට අවසර දුන්නේය. සතියකට තුන් පාරක් එහි ගොස් 26දෙනෙකු සමඟ බයිබල් පාඩම් පැවැත්වීමට ඇයට වැඩි කලක් යෑමට කලින් හැකි විය. ඔවුන්ගෙන් එක් කෙනෙක් නිතිපතා අපේ රැස්වීම්වලට පැමිණෙයි.

17. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමේදී බොහෝවිට ඵලදායක ක්‍රමයක් වන්නේ කුමක්ද?

17 සමහර රාජ්‍ය ප්‍රකාශකයන් කෙළින්ම බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා තිබේ. ප්‍රචාරකයන් 105දෙනෙකු සිටින සභාවක් ඔවුන්ට හමුවන සෑම ගෙවැසියෙකුටම බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමට එක් උදෑසනක විශේෂ වෑයමක් දැරීය. ප්‍රචාරකයන් 86දෙනෙකු මෙයට හවුල් වූ අතර පැය දෙකක් දේශනා සේවයේ නිරත වීමෙන් පසු අලුතින් බයිබල් පාඩම් 15ක් පටන්ගැනීමට ඔවුන්ට හැකි වී තිබිණ.

සුදුස්සන්ව දිගටම සොයමින් සිටින්න

18, 19. අප මතකයේ තබාගත යුත්තේ යේසුස් දුන් කුමන වැදගත් මඟ පෙන්වීමද? එම ඉලක්කය සපුරාගැනීම සඳහා අප අදිටන් කරගත යුත්තේ කුමක් කිරීමටද?

18 මේ ලිපියේ සඳහන් යෝජනා අත්හදා බැලීමට රාජ්‍ය ප්‍රකාශකයෙකු වශයෙන් ඔබ කැමති විය හැකියි. සාක්ෂි දැරීමේ මෙම ක්‍රම සලකා බැලීමේදී ප්‍රදේශයේ තත්වයන් සැලකිල්ලට ගැනීම නැණවත් දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. වඩාත්ම වැදගත් දෙය වන්නේ සුදුස්සන්ව සොයාගෙන, ගෝලයන් වීම සඳහා එවැනි අයට උපකාර කිරීම සම්බන්ධයෙන් යේසුස් දුන් මඟ පෙන්වීම් අප නිතරම මතකයේ තබාගැනීමයි.—මතෙව් 10:11; 28:19.

19 එම ඉලක්කය සපුරාලීම සඳහා අපි ‘සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවමු.’ මුළුමනින්ම ශුද්ධ ලියවිල්ල මත පදනම් කරගත් කරුණු ඒත්තුගැන්වීමෙන් අපට එය කළ හැකියි. යහපත් ප්‍රතිචාරයක් දක්වන අයගේ හදවත්වලට කතා කරමින් ඔවුන්ව ක්‍රියාවට පෙලඹවීමට එය අපට උපකාරවත් වනු ඇත. අප යාච්ඤාපූර්වකව යෙහෝවා මත රඳා සිටින විට යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වීමට ඇතැම් අයට උපකාර කිරීමෙහි හවුල් වීමට අපට හැකියි. මෙය මොනතරම් තෘප්තියක් ලැබිය හැකි කාර්යයක්ද! එමනිසා ගෝලයන් සෑදීමේ අරමුණින් දේශනා කරන ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අපි නිතරම යෙහෝවාව ගෞරවයට පත් කරමින් “දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි උපරිමය [කරමු].”—2 තිමෝති 2:15, NW.

[පාදසටහන්වල]

^ 12 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

ඔබට මතකද?

• දෙවිගේ මාර්ගය වඩාත් සම්පූර්ණ ලෙස අපොලොස්ට පහදා දීම අවශ්‍ය වූයේ මන්ද?

• ප්‍රිසිලා සහ අකිලා ප්‍රේරිත පාවුල්ගෙන් ඉගෙනගත්තේ කිනම් ආකාරවලින්ද?

• ගෝලයන් සෑදීමේ කාර්යය ගැන ක්‍රියා 18වන පරිච්ඡේදයෙන් ඔබ ඉගෙනගෙන තිබෙන්නේ මොනවාද?

• ගෝලයන් සෑදීම සඳහා ඔබට අවස්ථා ඇති කරගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

ප්‍රිසිලා සහ අකිලා “දෙවිගේ මාර්ගය වඩා නිවැරදි ලෙස [අපොලොස්ට] පහදා දුන්නෝය”

[20වන පිටුවේ පින්තූරය]

අපොලොස් ගෝලයන් සෑදීමේ දක්ෂතාව තවත් වර්ධනය කරගත්තේය

[21වන පිටුවේ පින්තූරය]

පාවුල් ගිය ගිය සෑම තැනකම දේශනා කළේය

[23වන පිටුවේ පින්තූර]

දේශනා කිරීම සඳහා ප්‍රස්තා ඇති කරගන්න