Skip to content

පටුනට යන්න

‘දේවවචනය හරියාකාරව හසුරුවන්න’

‘දේවවචනය හරියාකාරව හසුරුවන්න’

‘දේවවචනය හරියාකාරව හසුරුවන්න’

“සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු ලෙස, දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි උපරිමය කරන්න.”—2 තිමෝති 2:15, NW.

1, 2. (අ) යම් වැඩක නියැලෙන අයට ආයුධ අවශ්‍ය වන්නේ මන්ද? (ආ) ක්‍රිස්තියානීන් නිරත වන කාර්යය කුමක්ද? තමන් පළමුකොට රාජ්‍යය සොයන බව ඔවුන් පෙන්වන්නේ කෙසේද?

වැඩකරුවන්ට ඔවුන්ගේ කාර්යයන් කිරීමට ආයුධ අවශ්‍ය වේ. එහෙත් ඕනෑම ආයුධයක් තිබීම ප්‍රමාණවත් නොවේ. යම් වැඩක් කිරීමට නිසි ආයුධ තිබීම වැදගත් වගේම ඒවා නිසියාකාරව පාවිච්චි කරන ආකාරයද වැඩකරුවෙකු දැන සිටිය යුතුය. උදාහරණයක් හැටියට ඔබ මඩුවක් සෑදීමට අදහස් කරන්නේ නම්, ඒ සඳහා ලෑලි කෑලි එකට සවි කිරීමට මිටියක් හා ඇණ ටිකක් සොයාගැනීමට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ඇණ නැමෙන්නේ නැතිව ලෑලිවලට ගසන විදිහ ගැනත් ඔබ දැන සිටිය යුතුය. මිටියක් පාවිච්චි කරන විදිහ දන්නේ නැතිව ඇණයක් ගැසීමට උත්සාහ කිරීම හුඟාක් අමාරු කාර්යයක් විය හැක. එවිට කරන වැඩය ගැන කලකිරීමක්ද ඇතිවීමට ඉඩ ඇත. එහෙත් ආයුධ නිසියාකාරව පාවිච්චි කරන්න දන්නවා නම් අප කරන වැඩය හොඳින් ඉටු කර සෑහීමට පත් විය හැක.

2 ක්‍රිස්තියානීන් වශයෙන් අපටත් කිරීමට වැඩක් තිබේ. මෙය ඉතාමත් වැදගත් කාර්යයකි. ‘පළමුකොට රාජ්‍යය සොයන්න’ කියා යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. (මතෙව් 6:33, NW) අපට එය කළ හැක්කේ කෙසේද? එක් ආකාරයක් වන්නේ රාජ්‍යය ගැන දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යයෙහි ජ්වලිතව හවුල් වීමයි. අපගේ දේවසේවය සම්පූර්ණයෙන්ම දේවවචනය මත පදනම් කරගැනීම තවත් ආකාරයකි. තුන්වන ආකාරය වන්නේ යහපත් හැසිරීමයි. (මතෙව් 24:14; 28:19, 20; ක්‍රියා 8:25; 1 පේතෘස් 2:12) ක්‍රිස්තියානීන්ට ලැබී තිබෙන මෙම පැවරුම ඵලදායක ලෙස සන්තෝෂයෙන් කරගෙන යෑම සඳහා සුදුසු ආයුධ මෙන්ම ඒවා නිසියාකාරව හසුරුවන ආකාරය ගැන දැනුමක්ද අපට අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වී සේවය කළ ක්‍රිස්තියානියෙකු වශයෙන් ප්‍රේරිත පාවුල් විශිෂ්ට ආදර්ශයක් තැබුවේය. තමන්ව අනුකරණය කරන්න කියා ඔහු සෙසු ඇදහිලිවන්තයන්ව දිරිමත් කළේය. (1 කොරින්ති 11:1; 15:10) එසේනම් අපේ හවුල් සේවකයෙකු වන ප්‍රේරිත පාවුල්ගෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෙකු වූ පාවුල්

3. ප්‍රේරිත පාවුල් ජ්වලිත රාජ්‍යය ප්‍රකාශකයෙකු කියා පැවසිය හැක්කේ මන්ද?

3 පාවුල් කෙබඳු ආකාරයේ සේවකයෙකු වූවාද? ඇත්තෙන්ම ඔහු ජ්වලිත සේවකයෙකු විය. පාවුල් මධ්‍යධරණී මුහුද අවට පිහිටි ප්‍රදේශය පුරා ශුභාරංචිය පතුරුවා හැරීමට ඔහුගේ මුළු ශක්තිය වැය කළේය. වෙහෙස මහන්සි නොබලා සේවය කළ මේ ප්‍රේරිතවරයා රාජ්‍යය ගැන උද්‍යෝගයෙන් ප්‍රකාශ කිරීමට එක් හේතුවක් මෙසේ ගෙනහැර දැක්වුවේය. “ඉතින් මා ශුභාරංචිය ප්‍රකාශ කළත් ආඩම්බර වීමට එය කිසි හේතුවක් නොවේ. එසේ කිරීමට මම බැඳී සිටිමි. ඇත්තෙන්ම, මා ශුභාරංචිය ප්‍රකාශ කළේ නැතිනම්, මට දුක් වේ!” (1 කොරින්ති 9:16, NW) පාවුල් සැලකිලිමත් වුණේ ඔහුගේ ජීවිතය පමණක් ගලවාගැනීම ගැනද? නැත. ඔහු ආත්මාර්ථකාමී කෙනෙක් නොවීය. ඔහුගේ ආශාව වූයේ අනිත් අයත් ශුභාරංචියට සවන් දී ප්‍රයෝජන ගන්නවා දැකීමටයි. මේ ගැන ඔහු මෙසේ ලීවේය. “මා සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය. එසේ කරන්නේ මා අන් අය සමඟ එය බෙදාගන්නා පිණිසය.”—1 කොරින්ති 9:23, NW.

4. ක්‍රිස්තියානි සේවකයන් සතු වටිනාම ආයුධය කුමක්ද?

4 ප්‍රේරිත පාවුල් නිහතමානි සේවකයෙක් විය. තමාගේ හැකියාවන් මත පමණක් රඳා සිටිය නොහැකි බව ඔහු තේරුම්ගත්තේය. වඩුවෙකුට මිටියක් අවශ්‍ය වන්නාක් මෙන් පාවුල්ටද නිසි ආයුධයක් අවශ්‍ය වූයේ ඔහුට සවන් දුන් අයගේ හදවත්වලට දෙවිගේ සත්‍යයන් කාවැද්දවීම සඳහාය. ඔහු යොදාගත් ප්‍රධානතම ආයුධය කුමක්ද? එය නම් දේවවචනය වන ශුද්ධ ලියවිල්ලයි. පාවුල් හා සමානව අපද ගෝලයන් සෑදීමේදී පාවිච්චි කරන ප්‍රධානතම ආයුධය වන්නේ බයිබලයයි.

5. සාර්ථක දේවසේවකයන් වීම සඳහා ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දක්වනවාට අමතරව අප තව කුමක් කළ යුතුද?

5 දේවවචනය නිසියාකාරව හැසිරවීමේදී එයින් උපුටා දැක්වීම් කිරීමට වඩා වැඩි දෙයක් කළ යුතු බව පාවුල් දැන සිටියේය. ඔහු එය යොදාගනිමින් ‘ඒත්තුගැන්වුවේය.’ (ක්‍රියා 28:23, NW) ඔහු මෙය කළේ කෙසේද? ඔහු රාජ්‍යය පිළිබඳ සත්‍යය බොහෝදෙනෙකුට ඒත්තුගැන්වීම සඳහා දෙවිගේ ලිඛිත වචනය සාර්ථකව යොදාගත්තේය. ඔහු තර්කානුකූලව ඔවුන්ට කරුණු පහදා දුන්නේය. ඔහු එෆීසයේ පිහිටි සිනගෝගයක මාස තුනක් ‘දෙවිගේ රාජ්‍යය ගැන කතා ඉදිරිපත් කරමින්ද ඒත්තුගන්වනසුලු තර්ක යොදාගනිමින්ද සිටියේය.’ “සමහරුන් මුරණ්ඩු වී විශ්වාස [නොකළත්]” තවත් අය ඔහුට සවන් දුන්හ. පාවුල් එෆීසයේ කළ දේවසේවයේ ප්‍රතිඵලයක් හැටියට “බලගතු ලෙස යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය වෙමින් බලවත් වුණේය.”—ක්‍රියා 19:8, 9, 20, NW.

6, 7. පාවුල් තමා කළ දේවසේවය මහිමයට පත් කළේ කෙසේද? අපටද එය කළ හැක්කේ කෙසේද?

6 ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෙකු හැටියට පාවුල් ‘ඔහුගේ සේවය මහිමයට පත් කළේය.’ (රෝම 11:13, NW) ඒ කෙසේද? ඔහු තමාවම උසස් කරගැනීමට වෑයම් කළේ නැත. තමා දෙවිගේ හවුල් සේවකයෙකු බව ජනයා දැනගනු ලැබීම ගැන ඔහු ලජ්ජා වූයේද නැත. ඔහු දේවසේවය සැලකුවේ ඉතාමත් ගෞරවාන්විත වරප්‍රසාදයක් හැටියටයි. පාවුල් දේවවචනය දක්ෂ ලෙස හා බලපෑමෙන් යුතුව හැසුරුවේය. සාර්ථක ප්‍රතිඵල ලබමින් ඔහු කළ සේවය අන් අයට දිරිගැන්වීමක් වූ අතර තමන්ගේ දේවසේවයද වඩාත් පූර්ණ ලෙස කිරීමට ඔවුන් තුළ පෙලඹීමක් එමගින් ඇති කළේය. ඔහුගේ දේවසේවය මහිමයට පත්වීමටද එය හේතු විය.

7 දේවවචනය නිතරම භාවිත කිරීමෙන්ද එය බලපෑමෙන් යුතුව යොදාගැනීමෙන්ද පාවුල් මෙන් අපටත් අපේ සේවය මහිමයට පත් කළ හැකියි. දේවසේවයේ විවිධ අංගවල නිරත වන විට අපේ ඉලක්කය විය යුත්තේ අප සත්‍යය ගැන කතා කරන සෑම කෙනෙකු සමඟම පාහේ ශුද්ධ ලියවිල්ලෙන් යමක් බෙදාගැනීමයි. අපට මෙය ඒත්තුගැන්වීමෙන් යුක්තව කළ හැක්කේ කෙසේද? පහත සඳහන් වැදගත් ආකාර තුන සලකා බලන්න. (1) දේවවචනය කෙරෙහි ගෞරවයක් ඇති වන විදිහට කෙළින්ම එයට අවධානය යොමු කරවන්න. (2) උපායශීලී ලෙස බයිබලයේ සඳහන් දේවල් පැහැදිලි කර, අදාළ කරන්න. (3) ඒත්තුගන්වනසුලු අයුරින් ශුද්ධ ලියවිල්ලෙන් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන්න.

8. රාජ්‍යය ගැන දේශනා කිරීම සඳහා අද අපට තිබෙන ආයුධ මොනවාද? ඔබ මේවා භාවිත කර තිබෙන්නේ කෙසේද?

8 එදා පාවුල් සේවය කළ කාලයේදී ඔහුට නොතිබුණු ආයුධ වර්තමානයේ සිටින රාජ්‍ය ප්‍රකාශකයන්ට තිබේ. මේවාට පොත් පත්, සඟරා, විවරණිකා, අත්පත්‍රිකා, පත්‍රිකා, ශ්‍රව්‍ය දෘශ්‍ය පට ඇතුළත් වේ. එක්දහස් නවසිය ගණන්වල මුල් භාගයේදී සාක්ෂි කාඩ්පත්, ශබ්ද වාහිනි තැටි, ශබ්ද වාහිනි සවි කළ කාර් හා ගුවන් විදුලිය වැනි මාධ්‍යයන්ද යොදාගන්නා ලදි. එහෙත් අප සතු හොඳම ආයුධය බයිබලය බව අමුතුවෙන් කිව යුතු නැත. අපට නැතුවම බැරි මෙම ආයුධය අප නිසි ලෙස භාවිත කළ යුතුය.

අපේ දේවසේවයේ පදනම විය යුත්තේ බයිබලයයි

9, 10. දේවවචනය භාවිත කිරීම සම්බන්ධයෙන් පාවුල් තිමෝතිට දුන් උපදේශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 දේවවචනය බලපෑමෙන් යුක්ත ආයුධයක් ලෙස අපට යොදාගත හැක්කේ කෙසේද? පාවුල් ඔහුගේ හවුල් සේවකයෙකු වූ තිමෝතිට පැවසූ මෙම වදන් සැලකිල්ලට ගැනීමෙන් අපට එය කළ හැක. “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු ලෙස, දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි උපරිමය කරන්න.” (2 තිමෝති 2:15) “සත්‍යයේ වචනය හරියාකාරව [හැසිරවීමේදී]” ඊට අයත් වන්නේ කුමක්ද?

10 “හරියාකාරව හසුරුවන” කියා පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයේ පදගතාර්ථයෙන් අදහස් වන්නේ යමක් “කෙළින් කැපීමයි.” එසේ නැතහොත් “යම් පාරක් කෙළින් කැපීමයි.” ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලෙහි මෙම යෙදුම භාවිත කර තිබෙන්නේ පාවුල් තිමෝතිට දුන් ඉහත සඳහන් උපදේශයෙහි පමණයි. නඟුලක් කුඹුරක හරි කෙළින් ඇදගෙන යෑම විස්තර කිරීමේදී එම වචනය භාවිත කළ හැක. පළපුරුදු ගොවියෙක් තමා නඟුල ඇදගෙන ගොස් තිබෙන්නේ ඇදේට බව දුටුවහොත්, ඔහුට ඒ ගැන ඇති වන්නේ මහත් ලජ්ජාවකි. “ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු” වීමට නම් දේවවචනයේ ඉගැන්වීම්වලින් පිට පැනීමට ඉඩක් නොමැති බව තිමෝතිට මතක් කර දෙන ලදි. තමා උගන්වන දේවල් තමාගේ මතයන් අනුව සකස් කරගැනීමට තිමෝතිට අවසර නොතිබුණේය. තමන් දේශනා කරන හා උගන්වන දේවල් මුළුමනින්ම ශුද්ධ ලියවිල්ල මත ඔහු පදනම් කරගත යුතු විය. (2 තිමෝති 4:2-4) මේ ආකාරයට, යම් කාරණා දෙස ලෞකික මතිමතාන්තර අනුව නොව දෙවිගේ කෝණයෙන් බැලීමට අවංක සිත් ඇති අයට මඟ පෙන්වන ලදි. (කොලොස්සි 2:4, 8) මෙය අද දිනත් සිදු කෙරේ.

අපේ හැසිරීම යහපත් විය යුතුය

11, 12. අපේ හැසිරීම අප දේවවචනය හරියාකාරව හැසිරවීම කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද?

11 අප කළ යුත්තේ දේවවචනයේ සඳහන් සත්‍යය ප්‍රකාශ කරමින් එය නිවැරදිව හැසිරවීම පමණක් නොවේ. අපේ හැසිරීමද ඊට අනුකූල විය යුතුය. ‘අපි දෙවිගේ හවුල් වැඩකරුවෝ වන’ නිසා අප වංචාකාර සේවකයන් නොවිය යුතුය. (1 කොරින්ති 3:9, NW) දේවවචනය අපට මෙසේ පවසයි. “වෙන කෙනෙකුට උගන්වන්නාවූ ඔබ, ඔබටම උගන්වාගන්නේ නැද්ද? ‘සොරකම් නොකරන්න’ කියා ඔබ දේශනා කරන්නෙහිය. එහෙත් ඔබම සොරකම් කරනවාද? ‘පරදාර සේවනයේ නොයෙදෙන්න’ යයි ඔබ කියන්නෙහිය. එහෙත් ඔබම පරදාර සේවනයේ යෙදෙනවාද? ඔබ දේවතා රූප පිළිකුල් කරන්නෙහිය. එහෙත් ඔබම දේවස්ථාන කොල්ලකනවාද?” (රෝම 2:21, 22, NW) මේ නිසා වර්තමානයේ සිටින දෙවිගේ වැඩකරුවන් වශයෙන් අපට දේවවචනය හරියාකාරව හැසිරවිය හැකි එක් ආකාරයක් වන්නේ මේ උපදේශය පිළිපැදීමයි. “ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න, එවිට ඔහු ඔබේ මාවත් සමතලා කරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6.

12 දේවවචනය හරියාකාරව හැසිරවීමෙන් අපට අපේක්ෂා කළ හැකි ප්‍රතිඵල මොනවාද? දෙවිගේ ලිඛිත වචනය අවංක සිත් ඇති පුද්ගලයන්ගේ ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම ගැන සිතා බලන්න.

පූර්ණ වෙනසක් කිරීමේ බලය දේවවචනය සතුය

13. දේවවචනය අදාළ කරගැනීමෙන් පුද්ගලයෙකු තුළ කුමක් සිදු විය හැකිද?

13 ජනයා දේවවචනයේ සඳහන් පණිවිඩය විශ්වාසදායක මඟ පෙන්වීමක් ලෙස පිළිගන්න විට, ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී වෙනස්කම් කරගැනීම සඳහා ප්‍රබල පෙලඹීමක් එමගින් ඇති කරවයි. දේවවචනය පුරාණ තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන් බවට පත් වූ අය මත යහපත් බලපෑමක් ඇති කරමින් ඔවුන් තුළ ක්‍රියාත්මක වූ ආකාරය ප්‍රේරිත පාවුල් සියැසින් දුටුවේය. මේ නිසා ඔහු මෙසේ පැවසුවේය. “ඇත්තෙන්ම, අපත් දෙවිට නොකඩවා ස්තුති කරන්නේ ඒ නිසාය. මන්ද, ඔබට දෙවිගේ වචනය අපෙන් අසන්නට ලැබුණු විට, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙස නොව දෙවිගේම වචනය ලෙසය. ඇදහිලිවන්තයන් වන ඔබ තුළ ක්‍රියා කරන්නෙත් එයයි.” (1 තෙසලෝනික 2:13, NW) ඒ ක්‍රිස්තියානීන් මෙන් ක්‍රිස්තුස්ගේ සියලුම අනුගාමිකයන් මිනිසුන්ගේ බාල තර්ක විතර්ක සලකන්නේ දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ප්‍රඥාව සමඟ කිසිසේත් සැසඳිය නොහැකි දේවල් ලෙසය. (යෙසායා 55:9) තෙසලෝනිකවරුන් ‘ශුද්ධාත්මය මාර්ගයෙන් පැමිණෙන ප්‍රීතිය ඇතිව වචනය පිළිගත්තේ බොහෝ පීඩා මැදයි.’—1 තෙසලෝනික 1:5-7, NW.

14, 15. දේවවචනයේ අඩංගු පණිවිඩය කොතරම් බලගතුද? ඊට හේතුව කුමක්ද?

14 දේවවචනයේ කර්තෘ වන යෙහෝවාට මෙන් එයට බලයක් ඇත. එය ලියා තිබෙන්නේ ‘ජීවමාන දෙවිගේ’ ආනුභාවයෙනි. ‘ආකාශය මවන ලද්දේ’ ඔහුගේ මුවින් පිට වූ වචනයට අනුවයි. එම වචනයෙන් ‘නියම කළ කාරණය [සැමවිටම] සඵල කිරීමට’ එයට හැකියි. (හෙබ්‍රෙව් 3:12; ගීතාවලිය 33:6; යෙසායා 55:11) බයිබල් විශාරදයෙක් මෙසේ අදහස් දැක්වුවේය. “දෙවි ඔහුගේ වචනය සමඟ බැඳී සිටින අතර එයින් වෙන්ව නොසිටියි. තමන් හා එය අතර සම්බන්ධයක් නැතැයි සලකමින් ඔහු එය ප්‍රතික්ෂේප නොකරයි. . . . එමනිසා එය හුදෙක් කඩදාසි ගොඩක් නොවේ. එහි පවසන දෙයක් කිරීම හෝ නොකිරීම දෙවිට බල නොපාන බවද පැවසිය නොහැක. මන්ද ජීවමාන දෙවි සහ එය අතර තිබෙන්නේ වෙන් කළ නොහැකි සබඳතාවකි.”

15 දේවවචනයෙන් නිකුත් වන පණිවිඩය කොතරම් බලගතුද? එයට ප්‍රබල බලයක් තිබේ. පාවුල් යෝග්‍ය ලෙස දේවවචනය ගැන මෙසේ ලීවේය. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. බාහිර පුද්ගලයාගෙන් ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයද සන්ධි ඒවායේ ඇටමිදුළුවලින්ද වෙන් කරන තරමට පසාරු කරගෙන යන්නේය. සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.”—හෙබ්‍රෙව් 4:12, NW.

16. දේවවචනයට පුද්ගලයෙකු තුළ කොතරම් පූර්ණ වෙනසක් කළ හැකිද?

16 දෙවිගේ ලිඛිත වචනයේ සඳහන් පණිවිඩය “දෙමුවහත් කඩුවකට වඩා තියුණුය.” මේ නිසා එහි තිබෙන පසාරු කරගෙන යෑමේ බලය මොන තරම්ද කියනවා නම්, මිනිසුන් තනා තිබෙන කිසිම ආයුධයකට එවන් හැකියාවක් නැත. දේවවචනය පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය පසාරු කරගෙන යයි. ඔහු සිතන ආකාරය හා ඔහු ප්‍රිය කරන දේවල් කෙරෙහි බලපෑමක් ඇති කරමින් ඔහුගේ ඇතුළාන්තයේ වෙනස්කම් කිරීමට එයට හැක. ප්‍රතිඵලයක් ලෙස දෙවිට පිළිගත හැකි භක්තිවන්ත සේවකයෙකු බවට පත්වීමට එය ඔහුට උපකාර කරයි. මොන තරම් බලගතු ආයුධයක්ද!

17. දේවවචනය සතු වෙනස් කිරීමේ බලය පැහැදිලි කරන්න.

17 තමා කොයි වගේ කෙනෙක්ද යන්න ගැන යම් පෞද්ගලික මතයක් ඕනෑම කෙනෙකුට ඇත. එසේ නැතහොත් ඔහු අන් අය ඉදිරියේ යම් ස්වරූපයක් මවාපායි. එනමුත් ඔහු ඇත්තටම කොයි වගේ කෙනෙක්ද, ඔහුගේ ඇතුළාන්තය කොයි වගේද යන්න අනාවරණය වන්නේ දේවවචනයෙනි. (1 සාමුවෙල් 16:7) ඇතැම් අවස්ථාවලදී දුෂ්ට පුද්ගලයෙකු පවා තමන් කරුණාවන්ත හා භක්තිමත් කෙනෙකු බව මවාපාමින් තමාගේ ඇතුළාන්තයේ නියම ස්වභාවය සැඟවිය හැක. නපුරු පුද්ගලයෝ තමන්ගේ දුෂ්ට අරමුණු ඉටු කරගැනීම සඳහා පිටාතරින් හොඳ මුහුණක් පෙන්වති. නිහතමානිකමේ වෙස් මුහුණු පැළඳගෙන සිටින උඩඟු පුද්ගලයෝ මිනිසුන්ගෙන් ප්‍රශංසාව ලබාගැනීමට මහත් ආශාවක් දක්වති. කෙසේවෙතත් පුද්ගලයෙකුගේ සිතෙහි ඇත්තටම තිබෙන දේවල් අනාවරණය කරමින් “සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය [පැළඳගැනීම]” සඳහා බලගතු පෙලඹීමක් නිහතමානි පුද්ගලයෙකු තුළ ඇති කිරීමට දේවවචනයට හැක. (එෆීස 4:22-24, NW) එමෙන්ම බයාදු ගතියක් ඇති පුද්ගලයෙකුව යෙහෝවාගේ නිර්භීත සාක්ෂිකරුවෙකු හා ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෙකු බවට පත් කිරීමට දේවවචනයේ ඉගැන්වීම්වලට හැක.—යෙරෙමියා 1:6-9.

18, 19. මේ ඡේදවල සඳහන් අද්දැකීම හෝ ඔබ දේවසේවයේදී ලැබූ අද්දැකීමක් පදනම් කරගනිමින් පුද්ගලයෙකුගේ ආකල්ප වෙනස් කිරීමට ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යයට හැකි ආකාරය පැහැදිලි කරන්න.

18 දේවවචනය සතු වෙනස් කිරීමේ බලය මගින් සෑම තැනකම වෙසෙන ජනයා කෙරෙහි යහපත් බලපෑමක් ඇති කර තිබේ. උදාහරණයක් හැටියට කාම්බෝජයේ ප්නොම් පෙන්හි සිටින රාජ්‍ය ප්‍රකාශකයෝ මාසයකට දෙවරක් කාම්පොන් චාම් නමැති ප්‍රදේශයට ගොස් දේශනා කළහ. සෙසු දේවගැතියන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කතා කරන දේවලට සවන් දීමෙන් පසු, දේවගැතිවරියක් ඊළඟ වතාවේ සාක්ෂිකරුවන් තමන්ගේ ප්‍රදේශයට පැමිණෙන විට ඔවුන්ව හමුවීමට තීරණය කළාය. නිවාඩු දින උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න වැලක් ඔවුන්ගෙන් ඇසූ ඇය, ඔවුන් ශුද්ධ ලියවිල්ලෙන් ඒවාට තර්කානුකූලව උත්තර දෙද්දී හොඳින් සවන් දීගෙන සිටියාය. පසුව ඇය පුදුමයෙන් මෙසේ පැවසුවාය. “මගේ අනෙකුත් දේවගැතියන් ඔයාලා ගැන කියපු දේවල් බොරු බව මම දැන් දන්නවා. ඔයාලා බයිබලය පාවිච්චි කරන්නේ නැහැ කියලා ඒගොල්ලො කිව්වත්, අද උදේ ඔයාලා එක්ක කරපු සාකච්ඡාවේදී ඔයාලා හැම වෙලාවේම පාවිච්චි කළේ බයිබලයයි.”

19 මේ කාන්තාව සාක්ෂිකරුවන් සමඟ බයිබල් සාකච්ඡා දිගටම කරගෙන ගියාය. මෙය නතර කළේ නැත්නම් ඇයව දේවගැති තනතුරෙන් ඉවත් කරන බවට කළ තර්ජනවලට ඇය භය වූයේ නැත. ඇය ශුද්ධ ලියවිල්ල ගැන කරමින් සිටිය සාකච්ඡාව ගැන ඇගේ මිතුරියකට පැවසුවාය. මේ මිතුරියද සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තාය. මේ මිතුරිය ඉගෙනගනිමින් සිටි දේවල් ගැන මොන තරම් උද්‍යෝගයක් ඇය තුළ ඇති වුණාද කියනවා නම්, ඇය ගිය පල්ලියේ පවත්වමින් සිටි එක් මෙහෙයකදී ඇගේ මුවින් මෙම වදන් පිට විය. “එන්න, ඇවිත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න!” වැඩිකල් නොගොස් කලින් දේවගැතිවරියක් වූ මේ කාන්තාවත්, ඇගේ මිතුරියත් තවත් කිහිපදෙනෙකුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්හ.

20. ඝානාවේ ස්ත්‍රියකගේ අද්දැකීමෙන් දේවවචනයේ බලය පැහැදිලි වන්නේ කෙසේද?

20 ඝානාවේ පව්ලිනා නම් ස්ත්‍රියගේ අද්දැකීමෙන්ද දේවවචනය සතු බලය පැහැදිලි වේ. පූර්ණ කාලීන සේවයේ නියුතු සහෝදරියක් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම * නමැති පොතෙන් ඇය සමඟ බයිබල් පාඩමක් පැවැත්වුවාය. බහුභාර්යා සේවනයේ යෙදෙමින් සිටි පුරුෂයෙකු සමඟ ජීවත් වෙමින් සිටි ඇය ජීවිතයේ වෙනස්කම් කිරීමේ අවශ්‍යතාව තේරුම්ගත්තාය. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා හා ඥාතීන් සියලුදෙනාම දරුණු ලෙස ඇයට විරුද්ධ විය. මහාධිකරණයක විනිසුරුවෙක් මෙන්ම පල්ලියේ දේවගැතියෙක්ද වූ ඇගේ මවගේ පියා මතෙව් 19:4-6හි සඳහන් දෙය වැරදි ලෙස අදාළ කරමින් ඇයව නම්මවාගන්න උත්සාහ කළේය. මේ විනිසුරුවා පැවසූ දේවල් පිළිගත හැකි බව පෙනෙන්න තිබුණද, සාතන් යේසුස් ක්‍රිස්තුස්ව පරීක්ෂා කළ අවස්ථාවේදී ශුද්ධ ලියවිලි වැරදි ලෙස අදාළ කර දැක්වූ ආකාරයට එය සමාන බව පව්ලිනා විගස තේරුම්ගත්තාය. (මතෙව් 4:5-7) විවාහය ගැන යේසුස් පැහැදිලිව පැවසුවේ දෙවි මිනිසුන්ව මැවුවේ පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් මිස, පුරුෂයා හා ස්ත්‍රීන් ලෙස නොවන බවත් එක මාංසයක් වන්නේ තුන්දෙනෙකු නොව දෙදෙනෙකු බවත් ඇයට මතක් විය. තමා ගත් තීරණය වෙනස් නොකළ ඇය, බහුභාර්යා සේවනයේ යෙදෙමින් සිටි තම පුරුෂයාගෙන් සම්ප්‍රදායානුකූලව දික්කසාද වූවාය. වැඩි කල් නොගොස් ඇය බව්තීස්ම වී ප්‍රීතියෙන් රාජ්‍ය ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් විය.

දිගටම දේවවචනය හරියාකාරව හසුරුවන්න

21, 22. (අ) රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අප කැමති වන්නේ කුමන අධිෂ්ඨානය ඇතුව සිටීමටද? (ආ) ඊළඟ ලිපියේදී අපි සලකා බලන්නේ කුමක් ගැනද?

21 යෙහෝවාට ළංවීම සඳහා තමන්ගේ ජීවිතවල වෙනස්කම් කරගැනීමට අන් අයට උපකාර කිරීමේදී අප භාවිත කරන බලගතුම ආයුධය වන්නේ දෙවිගේ ලිඛිත වචනයයි. (යාකොබ් 4:8) දක්ෂ වැඩකරුවන් හොඳ ප්‍රතිඵල ලැබෙන පරිදි තම කාර්යයන් ඉටු කිරීමට ආයුධ භාවිත කරන්නාක් මෙන් අපත් රාජ්‍ය ප්‍රකාශකයන් හැටියට දෙවි අපට දී තිබෙන කාර්යය දක්ෂ ලෙස ඉටු කිරීම සඳහා දේවවචනය යොදාගැනීමට හැකි සෑම වෑයමක්ම දැරීමට අදිටන් කරගනිමු.

22 අපට පැවරී තිබෙන ගෝලයන් සෑදීමේ කාර්යයේදී ශුද්ධ ලියවිල්ල වඩාත් බලපෑමෙන් යුතුව හැසිරවීමට අපට හැක්කේ කෙසේද? එක් ආකාරයක් නම් කරුණු ඒත්තුගන්වන ගුරුවරුන් වශයෙන් අපේ හැකියාව දියුණු කරගැනීමයි. රාජ්‍යය පණිවිඩය ගැන ඉගැන්වීමට හා එය පිළිගැනීමට අන් අයට උපකාර කළ හැකි ක්‍රම ගැන ඊළඟ ලිපියේ යෝජනා සපයන නිසා එය හොඳින් අධ්‍යයනය කරන්න.

[පාදසටහන්වල]

^ 20 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

ඔබට මතකද?

• රාජ්‍ය ප්‍රකාශකයන්ට තිබෙන ආයුධ මොනවාද?

• රාජ්‍ය කටයුතුවල හවුල් වූ සේවකයෙකු වශයෙන් පාවුල් ආදර්ශයක් තැබුවේ කිනම් ආකාරවලින්ද?

• දේවවචනය හරියාකාරව හැසිරවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

• යෙහෝවාගේ ලිඛිත වචනය කොතරම් බලගතු ආයුධයක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

රාජ්‍යය ගැන ප්‍රකාශ කිරීමේදී ක්‍රිස්තියානීන් යොදාගන්න ආයුධවලින් සමහරක්