Skip to content

පටුනට යන්න

මෙලොව පාරාදීසයක් වේයැයි විශ්වාස කළ හැකිද?

මෙලොව පාරාදීසයක් වේයැයි විශ්වාස කළ හැකිද?

මෙලොව පාරාදීසයක් වේයැයි විශ්වාස කළ හැකිද?

කෙදිනක හෝ පොළොව පාරාදීසයක් වනු ඇතැයි විශ්වාස කරන්නේ ටිකදෙනෙකි. බහුතරයක් සිතන්නේ පොළොව නැත්තටම නැති වෙලා යයි කියාය. බ්‍රයන් ලී මොලිනෝගේ ශුද්ධ භූමිය (සිංහලෙන් නැත) නමැති පොතට අනුව මෙම ලෝක ගෝලය බිහි වූයේ මීට වසර මිලියන ගණනකට පෙර “විශ්වයේ සිදු වූ මහා පිපිරීමක්” හේතුවෙනි. එමෙන්ම, මිනිසා පොළොව විනාශ කළේ නැතත් කවදා හෝ අපේ මුළු විශ්වයම කඩා වැටී “යළිත් ගිනි බෝලයක් බවට පත් වී පිපිරී යා” හැකි බව බොහෝදෙනෙකුගේ විශ්වාසය වී ඇත.

දාහත්වන සියවසේ විසූ ඉංග්‍රීසි පද්‍ය රචකයෙකු වූ ජෝන් මිල්ටන් එවැනි සර්ව අශුභවාදි අදහසක් දැරුවේ නැත. නැති වුණ පාරාදීසය (සිංහලෙන් නැත) නමැති ඔහුගේ ශ්‍රේෂ්ඨ කාව්‍ය කෘතියෙහි ඔහු ලියා තිබෙන්නේ දෙවි පොළොව මැව්වේ මිනිස් පවුල වෙනුවෙන් පාරාදීස නිවසක් කර දීමටය කියාය. මුලින් තිබූ ඒ පාරාදීසය නැති වී ගියේය. කෙසේවුවද, මිල්ටන්ගේ විශ්වාසය වූයේ එය යළි ගොඩනඟනු ඇති බවය; මිදුම්කරු හැටියට යේසුස් ක්‍රිස්තුස් මතු දිනෙක “ත්‍යාගයක් වශයෙන් . . . සුර ලොවේ හෝ මෙලොවේ සැපත තම විශ්වාසවන්තයන්ට ලබා දෙනු ඇති” බවය. මිල්ටන් ස්ථිර විශ්වාසයකින් මෙසේ ප්‍රකාශ කළේය. “එදින මෙලොව පිරිපුන් පාරාදීසයක් වේවි.”

පාරාදීසය සුර ලොවෙහිද නැතහොත් මෙලොවෙහිද?

මෙලොවේදී තමන්ට විඳදරාගන්න සිදු වී තිබෙන දුක් ගැහැටවලට කවදා හෝ යම් ලෙසකින් ත්‍යාගයක් ලැබෙනු ඇතැයි යන මිල්ටන්ගේ අදහසමයි ආගම දහමට ලැදි බොහෝදෙනෙකුගේ අදහස වී තිබෙන්නේ. එහෙත් ඔවුන් එම ත්‍යාගය භුක්ති විඳිනු ඇත්තේ කොතැනකද? “සුර ලොවෙහිද නැතහොත් මෙලොවෙහිද?” සමහරුන්ට, මෙලොවෙහි මෙවැන්නක් සිදු වේවියයි කොහොමටවත් සිතාගත නොහැක. ඔවුන් පවසන්නේ, මිනිසුන් “දිව්‍යමය සැපත” භුක්ති විඳිනු ඇත්තේ මෙලොව අතැර ගොස් ආත්මයන් සැරිසරන සුර ලොවෙහි ජීවත් වන දාක පමණයි කියාය.

යළි ගොඩනැඟු පාරාදීසයක ජීවිතය ලැබෙන්නේ “දුර ඈත සුර ලොවක නොව මෙලොවෙහිදී” බව දෙවන සියවසේ දේවධර්මාචාර්ය ඉරේනියස් විශ්වාස කළා කියා සුර ලොවේ ඉතිහාසය (සිංහලෙන් නැත) නම් පොතේ කර්තෘවරු වූ සී. මක්ඩැනල් සහ බී. ලැන්ග් පවසති. එම පොතට අනුව, ජෝන් කැල්වින් හා මාර්ටින් ලූතර් වැනි ආගමික නායකයන් සුර ලොවට යෑමට බලාපොරොත්තු වුවත් “දෙවි යළි පොළොව අලුත් කරනු ඇති” බවද ඔවුහු විශ්වාස කළහ. වෙනත් ආගම්වල සාමාජිකයන්ටත් එවැනිම විශ්වාසයන් තිබී ඇත. දෙවිගේ නියමිත වේලාවේදී, මිනිසුන් අද්දකින සියලුම දුෂ්කරතා “ඉවත් කරනු ලබන බවත් ඔවුන් මෙලොවෙහි තෘප්තිමත් ජීවිතයක් ගත කරනු ඇති” බවත් ඇතැම් යුදෙව්වන් විශ්වාස කළායයි මක්ඩැනල් හා ලැන්ග් පවසති. පුරාණ පර්සියානු විශ්වාසයට අනුව, “පොළොවේ පැවති දූෂිත නොවූ තත්වයටම නැවතත් පොළොව පත් කරනු ලබන බව හා තවත් වරක් ජනයා සාමයෙන් සිටිනු ඇති බව” දි එන්සයික්ලොපීඩියා ඔෆ් මිඩ්ල් ඊස්ටන් මිතොලජි ඇන්ඩ් රිලිජන් පවසයි.

පාරාදීස පොළොවක් පිළිබඳ බලාපොරොත්තුවට කුමක් සිදු වීද? අපේ භූමික ජීවිතය පෙනී නොපෙනී යන මීදුමක්ද? පළමු සියවසේ යුදෙව් දාර්ශනිකයෙකු වූ ෆිලෝ දැරූ අදහසට අනුව, එය ආත්මයන් සැරිසරන ලොවක් කරා යන ගමනකදී ලැබෙන “සුළු මෙන්ම බොහෝවිට අභාග්‍යසම්පන්න අද්දැකීමක්ද? එසේ නැතහොත් දෙවි මෙලොව මවා, පාරාදීස තත්වයන් මත මිනිසුන්ව තැබූ විට, ඔහුගේ මනසේ වෙනත් අදහසක් තිබුණා විය හැකිද? මිනිස් වර්ගයාට මෙලොවේදීම නියම අධ්‍යාත්මික තත්වයක් අත් කරගැනීමට හා දිව්‍යමය සැපතක් ලබාගැනීමට හැකිද? මෙම විෂය සම්බන්ධයෙන් බයිබලයෙහි පවසන දේ සෝදිසි කර නොබලන්නේ මන්ද? දැනටමත් මිලියන සංඛ්‍යාතදෙනෙකු කර තිබෙන්නාක් මෙන් ඔබත් යළි ගොඩනඟන භූමික පාරාදීසයක් පිළිබඳ බලාපොරොත්තුව ඇත්තෙන්ම සාධාරණ එකක්යයි නිගමනය කරනවා නොඅනුමානය.

[3වන පිටුවේ පින්තූරය]

පද්‍ය රචකයෙකු වූ ජෝන් මිල්ටන්ගේ විශ්වාසය වූයේ පාරාදීසය යළි ගොඩනඟනු ඇති බවය

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Earth: U.S. Fish & Wildlife Service, Washington, D.C./NASA

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පෘථිවිය: U.S. Fish & Wildlife Service, Washington, D.C./NASA; John Milton: Leslie’s