Skip to content

පටුනට යන්න

රාජ්‍ය පණිවිඩය පිළිගැනීමට අන් අයට උපකාර කරන්න

රාජ්‍ය පණිවිඩය පිළිගැනීමට අන් අයට උපකාර කරන්න

රාජ්‍ය පණිවිඩය පිළිගැනීමට අන් අයට උපකාර කරන්න

“අග්‍රිපා පාවුල් අමතා, ‘වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාව ක්‍රිස්තියානියෙකු කරයි’ කියා පැවසුවේය.—ක්‍රියා 26: 28, NW.

1, 2. ප්‍රේරිත පාවුල්ව ආණ්ඩුකාර ෆෙස්ටස් හා දෙවන අග්‍රිපා රජු ඉදිරියට ගෙනෙනු ලැබුවේ මන්ද?

ක්‍රිස්තු වර්ෂ 58දී සිසේරියේ රෝම ආණ්ඩුකාරයා වූ පෝර්ෂස් ෆෙස්ටස්ව බැහැදැකීමට දෙවන හෙරෝද් අග්‍රිපා රජ සිය බාල සොහොයුරිය වූ බර්නීස් සමඟ පැමිණියේය. ආණ්ඩුකාරයා වූ ෆෙස්ටස්ගේ ආරාධනාව පරිදි ඔවුහු “මහත් හරසරින් ඇවිත්, හමුදා නිලධාරීන්ද නගරයේ ප්‍රභූවරුන්ද සමඟ ශ්‍රවණාගාරයට ඇතුල් වූහ.” ක්‍රිස්තියානියෙකු වූ ප්‍රේරිත පාවුල්ව ෆෙස්ටස්ගේ අණ පරිදි ඔවුන් ඉදිරියට ගෙනෙන ලදි. යේසුස් ක්‍රිස්තුස්ගේ මේ අනුගාමිකයා ආණ්ඩුකාර ෆෙස්ටස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටියේ මන්ද?—ක්‍රියා 25:13-23.

2 මෙම ප්‍රශ්නයට උත්තරයක් ෆෙස්ටස් ඔහුගේ අමුත්තන්ට පැවසූ මෙම වදන්වලින් සැපයෙයි. “අග්‍රිපා රජ්ජුරුවෙනි, අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු ජීවත්ව සිටීමට සුදුසු නොවේයයි කෑගසමින් යෙරුසලමේදීත් මෙහිදීත් මුළු යුදෙව් සමූහයම මට පැමිණිලි කළේ ඔබට පෙනෙන මේ මිනිසා ගැනය. නමුත් මරණයට සුදුසු කිසිවක් ඔහු නොකළ බව මට වැටහුණේය. එබැවින්, මොහුම ශ්‍රීමත් අධිරාජ්‍යයාගෙන් තීන්දුවක් ඉල්ලා සිටි විට, ඔහුව යවන්න මම අදහස් කළෙමි. නමුත් ඔහු ගැන මාගේ ස්වාමීන්ට ස්ථිර ලෙස ලියා යැවීමට කිසිවක් මට නැත. එබැවින්, නඩු විභාගයට පසුව ලියන්න යමක් මට ලැබෙන පිණිස, ඔබ සියල්ලන් ඉදිරියට, විශේෂයෙන් අග්‍රිපා රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියට ඔහුව ගෙනාවෙමි. මන්ද, සිරකරුවෙකුට විරුද්ධව ඇති චෝදනා නොදන්වා ඔහුව යැවීම නුවණට හුරු දෙයක් නොවන බව මට පෙනේ.”—ක්‍රියා 25:24-27, NW.

3. ආගමික නායකයන් පාවුල්ට විරුද්ධව චෝදනා එල්ල කළේ මන්ද?

3 ෆෙස්ටස්ගේ වදන්වලින් පෙනී යන්නේ රාජ්‍ය ද්‍රෝහියෙකු බවට බොරු චෝදනා පාවුල්ට එල්ල කර තිබූ බවයි. මෙම චෝදනා ඔප්පු වූවා නම් ඔහුට මරණ දඬුවම නියම වීමට තිබිණ. (ක්‍රියා 25:11) කෙසේවෙතත් පාවුල් අත කිසි වරදක් නොතිබිණ. මෙම චෝදනාවල පිටුපස සිටියේ යෙරුසලමේ සිටි ඊර්ෂ්‍යාසහගත ආගමික නායකයන්ය. ඔවුහු රාජ්‍ය ප්‍රකාශකයෙකු වශයෙන් පාවුල් කළ කාර්යයට විරුද්ධ වූ අතර යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වීමට ඔහු අන් අයට උපකාර කිරීම ගැන දැඩි අමනාපයකින්ද පසු වූහ. පාවුල්ව දැඩි ආරක්ෂාව යටතේ යෙරුසලමේ සිට වරායක්ද පිහිටා තිබූ සිසේරිය නම් නගරයට ගෙනෙන ලදි. එහිදී ඔහු සීසර්ට අභියාචනයක් ඉදිරිපත් කළේය. එහි සිට ඔහුව රෝමයට ගෙන යෑමට නියමිතව තිබිණ.

4. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස අග්‍රිපා රජ කළ ප්‍රකාශය කුමක්ද?

4 ආණ්ඩුකාරයාගේ මාලිගාවේ සිටින රෝම අධිරාජ්‍යයට අයත් ප්‍රධාන පළාතක පාලකයා ඇතුළු කණ්ඩායමක් ඉදිරියෙහි පාවුල් පෙනී සිටින ආකාරය සිතින් මවාගන්න. අග්‍රිපා රජ පාවුල් දෙසට හැරී මෙසේ පවසයි. “ඔබ වෙනුවෙන් කතා කරන්න ඔබට අවසර තිබේ.” පාවුල් කතා කරන අතරතුරේදී සුවිශේෂී දෙයක් සිදු වේ. පාවුල් පවසන දේවල් රජුගේ සිතට බලපාන්න පටන්ගනියි. අග්‍රිපා රජු මෙසේ පවසයි. “වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාව ක්‍රිස්තියානියෙකු කරයි.”—ක්‍රියා 26: 1-28, NW.

5. පාවුල් අග්‍රිපා ඉදිරියෙහි පැවසූ වදන් ඵලදායක වූයේ මන්ද?

5 මේ ගැන සිතා බලන්න! පාවුල් දක්ෂ ලෙස උත්තර දීමේ ප්‍රතිඵලයක් හැටියට දේවවචනය සතු පසාරු කරගෙන යෑමේ බලය පාලකයෙකුගේ සිතට ඉමහත් බලපෑමක් කළේය. (හෙබ්‍රෙව් 4:12) පාවුල් දුන් උත්තරය එතරම් ඵලදායක වීමට හේතු වූයේ කුමක්ද? ගෝලයන් සෑදීමේ කාර්යයේදී අපට උපකාරවත් වන දේවල් පාවුල්ගෙන් ඉගෙනගත හැකියි. ඒ මොනවාද? ඔහු උත්තර දුන් ආකාරය විග්‍රහ කර බලන විට ප්‍රධාන කරුණු දෙකක් පැහැදිලිව දැකිය හැකියි. (1) පාවුල් කතා කළේ ඒත්තුගන්වනසුලු ආකාරයෙනි. (2) නිපුණ කැටයම්කරුවෙකු ආයුධයක් දක්ෂ ලෙස පාවිච්චි කරන්නාක් මෙන් පාවුල් දේවවචනය ගැන ඔහුට තිබූ දැනුම දක්ෂ ලෙස යොදාගත්තේය.

ඒත්තුගැන්වීමේ කලාව යොදාගන්න

6, 7. (අ) බයිබලයේ යොදා තිබෙන ආකාරයට අනුව “ඒත්තුගැන්වීම” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? (ආ) බයිබලයේ සඳහන් ඉගැන්වීමක් පිළිගැනීමට කෙනෙකුට උපකාර කිරීමේදී ඒත්තුගැන්වීම මගින් ඉටු කෙරෙන කාර්යය කුමක්ද?

6 ක්‍රියා පොතෙහි ඒත්තුගැන්වීම සඳහා යොදාගෙන තිබෙන ග්‍රීක් යෙදුම් නිතර නිතර භාවිත කර ඇත්තේ පාවුල් කළ දේශනා කිරීම ගැන විස්තර කිරීමේදීය. අප නියැලී සිටින ගෝලයන් සෑදීමේ කාර්යය ගැන සලකා බලන කල ඒත්තුගැන්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

7 ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලෙහි මුල් භාෂාවට අනුව “ඒත්තුගැන්වීම” යනුවෙන් අදහස් කෙරෙන්නේ තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමෙන් හා හරි වැරැද්ද පැහැදිලි කර දීමෙන් යමෙකුව “දිනාගැනීම” හෝ ඔහු හෝ ඇය “සිතන ආකාරයෙහි වෙනසක් කිරීම” යන්නයි කියා වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස් නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. මෙම වදනෙහි මූලික අර්ථය පරීක්ෂා කර බැලීමෙන් තවත් කරුණු කිහිපයක් අනාවරණය වේ. විශ්වාසය නමැති අදහස එහි ගැබ්ව තිබේ. එමනිසා ඔබ බයිබලයේ සඳහන් ඉගැන්වීමක් පිළිගැනීම සඳහා යමෙකුට ඒත්තුගන්වනවා නම්, ඔබ ඔහුගේ විශ්වාසය දිනාගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉගැන්වීම සත්‍යය බවට විශ්වාසයක් ඔහු තුළ ඇති වේ. බයිබලයේ සඳහන් දේවල් විශ්වාස කිරීමට හා ඒ අනුව ක්‍රියා කිරීමට පෙලඹීමක් ඇති කිරීමේදී බයිබලයෙන් යමක් පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන බව පැහැදිලියි. ඔබට සවන් දෙන්නා දරුවෙකු, අසල්වැසියෙකු, ඔබ සමඟ වැඩ කරන කෙනෙකු, පාසැලේ මිතුරෙකු හෝ ඥාතියෙකු හෝ වේවා ඔබ පවසන දෙය සත්‍යය බවට ඔහුට හෝ ඇයට ඒත්තුගැන්විය යුතුයි.—2 තිමෝති 3:14, 15.

8. ශුද්ධ ලියවිල්ලේ සඳහන් යම් සත්‍යයක් පුද්ගලයෙකුට ඒත්තුගැන්වීමේ ක්‍රියාවලියට අයත් වන්නේ කුමක්ද?

8 ඔබ දේවවචනයෙන් පවසන දෙයක් සත්‍යය බව පුද්ගලයෙකුට ඒත්තුගැන්වීමට ඔබට හැක්කේ කෙසේද? තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමෙන්ද, හොඳ පදනමක් මත හේතු සාධක දැක්වීමෙන්ද, මහත් ඕනෑකමින් ආයාචනා කිරීමෙන්ද පාවුල් වෑයම් කළේ ඔහු කතා කළ පුද්ගලයන් සිතන ආකාරයෙහි වෙනසක් කිරීමටයි. * මේ නිසා යමක් සත්‍යය බව නිකම්ම පවසනවා වෙනුවට ඔබ පවසන දෙය තහවුරු කිරීමට ඉවහල් වන අයුරින් සෑහීමට පත් විය හැකි සාක්ෂිද සැපයීම අවශ්‍යයි. මෙය කළ හැක්කේ කෙසේද? ඔබ පවසන දෙය ඔබේ අදහස් මත නොව සම්පූර්ණයෙන්ම දේවවචනය මත පදනම් කරගන්න. ශුද්ධ ලියවිල්ල පදනම් කරගනිමින් ඔබ අවංකව පවසන දේවල් තහවුරු කිරීමට අමතර සාක්ෂිද යොදාගන්න. (හිතෝපදේශ 16:23) උදාහරණයක් හැටියට ඔබ පවසන්නේ ඉදිරියේදී කීකරු මනුෂ්‍යවර්ගයා පාරාදීස පොළොවක භුක්ති විඳින ජීවිතය ගැන නම් ලූක් 23:43 හෝ යෙසායා 65:21-25 වැනි ශුද්ධ ලියවිලි පාඨ යොදාගනිමින් ඔබ පවසන දෙය තහවුරු කරන්න. ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන ඔබ පවසන කාරණය පැහැදිලි කිරීමට අමතර සාක්ෂි යොදාගැනීමට ඔබට හැක්කේ කෙසේද? මෙහිදී ඔබට සවන් දෙන තැනැත්තා අද්දකින දේවල් යොදාගැනීමට ඔබට හැකියි. හිරු බැස යෑමේ දර්ශනීය දසුනක් නැරඹීමෙන් හෝ මලක සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් හෝ පලතුරක ප්‍රණීත රසය භුක්ති විඳීමෙන් හෝ කිරිල්ලියක් ඇගේ පැටවුන්ට ආහාර කැවීම දෙස බලා සිටීමෙන් හෝ කිසිම මුදලක් වැය නොකර ලබන ප්‍රීතිය ගැන ඔබට සවන් දෙන්නාගේ මතකයට නැංවිය හැකියි. මෙවන් ප්‍රීතිමත් අද්දැකීම්වලින් පෙනී යන්නේ අප පොළොව මත ජීවිතය සතුටින් භුක්ති විඳිනවාට මැවුම්කරු කැමති බවය යන්න තේරුම්ගැනීමට ඔහුට උපකාර කරන්න.—දේශනාකාරයා 3:11, 12.

9. දේශනා සේවයේදී සාධාරණකම පෙන්වීමට අපට හැක්කේ කෙසේද?

9 බයිබලයේ යම් ඉගැන්වීමක් පිළිගැනීම සඳහා පුද්ගලයෙකුට ඒත්තුගැන්වීමට වෑයම් කරන විට, ඔබේ උද්‍යෝගය නිසා ඔබේ මතයේ ඔබ එල්බගෙන සිටින බවට හැඟීමක් සවන් දෙන්නා තුළ ඇති නොකිරීමට වගබලා ගන්න. එවන් හැඟීමක් ඇති වුවහොත් සවන් දෙන්නාගේ මනසට හා හදවතට කිසිවක් ඇතුල් නොවේ. මෙහිදී පරෙස්සම් වීම සඳහා මෙම උපදේශය සේවා පාසැල් පොතේ සපයා ඇත. “සාමාන්‍යයෙන් යම් කෙනෙකු බොහෝ කාලයක් පුරා මහත් භක්තියකින් වැලඳගෙන සිටි විශ්වාසයක් බොරු බවට අනාවරණය කරමින් සත්‍යය ප්‍රකාශ කරන විට, එය භාරගැනීම අපහසුය. ඉතා දීර්ඝ ශුද්ධ ලියවිලි පද ලැයිස්තුවක් උපයෝගි කරගෙන සාක්ෂි සැපයුවත්, සවන් දෙන තැනැත්තාට එය පිළිගැනීම දුෂ්කර කාර්යයක් විය හැක. නිදසුනකට, යම් ජනප්‍රිය උත්සවයක් මිථ්‍යාදෘෂ්ටික බවට කෙළින්ම හෙළා දකිනවා නම්, එම උත්සවය ගැන දරන ආකල්පය වෙනස් කිරීමට එයම හේතුවක් නොවිය හැක. සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට නම්, සාධාරණකම විදහාපෙන්වීම ප්‍රයෝජනවත් වේ.” අප සාධාරණ වීමට වෑයම් කළ යුත්තේ මන්ද? එම පොතෙහි තවදුරටත් මෙසේ සඳහන් වේ. “තර්කානුකූල වීම සාකච්ඡාවක් පැවැත්වීමට රුකුලක් වන අතර, කෙනෙකුට සිතීමට අවස්ථාවක් ලබා දෙමින් ඉදිරියේදී සංවාද පැවැත්වීමට එය මං විවෘත කර තබයි. තර්කානුකූල එළඹීමක් ප්‍රබලය. ඒත්තුගන්වනසුලුය.”—කොලොස්සි 4:6.

සිත තුළ පෙලඹීමක් ඇති කරවන ඒත්තුගැන්වීම

10. තම චෝදනාවලට උත්තර දෙමින් අග්‍රිපා ඉදිරියෙහි කළ කතාව පාවුල් ආරම්භ කළේ කෙසේද?

10 ක්‍රියා 26වන පරිච්ඡේදයේ සඳහන් පාවුල් තමාට එල්ල කළ චෝදනාවලට උත්තර දෙමින් පැවසූ වදන් දැන් අපි හොඳින් සලකා බලමු. ඔහු කතාව ආරම්භ කළ ආකාරය සැලකිල්ලට ගන්න. ඔහු තමාගේ විෂය හඳුන්වා දීමේදී, අග්‍රිපා රජ ඔහුගේ සොහොයුරිය සමඟ අයථා සබඳතාවක් පවත්වමින් සිටියද, ඔහුට ප්‍රශංසා කිරීම සඳහා වලංගු හේතු තිබෙන පදනමක් යොදාගත්තේය. පාවුල් මෙසේ පැවසුවේය. “අග්‍රිපා රජ්ජුරුවෙනි, යුදෙව්වරුන් විසින් මට විරුද්ධව පැමිණිලි කර තිබෙන සියල්ල ගැන ඔබ ඉදිරියේ අද උත්තර දෙන්න ලැබීම ගැන මම සතුටු වෙමි. මන්දයත් ඔබ යුදෙව්වරුන් අතර තිබෙන සියලු චාරිත්‍ර ගැනත් මතභේද ගැනත් හොඳින් දන්නෙහිය. එහෙයින්, මා කියන දේට ඉවසිල්ලෙන් සවන් දෙන මෙන් ඔබෙන් අයැදිමි.”—ක්‍රියා 26:2, 3, NW.

11. පාවුල් අග්‍රිපාට පැවසූ වදන් මගින් ගෞරවයක් පෙන්වූයේ කෙසේද? එහි ප්‍රතිඵලයක් හැටියට ලැබූ ප්‍රයෝජනය කුමක්ද?

11 රජ්ජුරුවෙනි කියා ඇමතීමෙන් අග්‍රිපා හොබවමින් සිටි උසස් නිලය පාවුල් පිළිගනිමින් ඊට ගරු කළ බව ඔබ දුටුවාද? ඔහු තෝරාගත් නැණවත් වදන් මගින් අග්‍රිපා කෙරෙහි ගෞරවයක් පෙන්නුවේය. (1 පේතෘස් 2:17) අග්‍රිපා රජුට ඔහුගේ යුදෙව් යටත් වැසියන්ගේ සංකීර්ණ වූ සම්ප්‍රදායන් හා නීති ගැන හොඳ දැනුමක් තිබූ බව පාවුල් පිළිගත්තේය. එමෙන්ම මෙවන් දැන උගත් පාලකයෙකු ඉදිරියෙහි තමාට එල්ල කළ චෝදනාවලට උත්තර දෙන්න ලැබීම ගැන තමන් සතුටු වන බව ඔහු පැවසුවේය. ක්‍රිස්තියානියෙකු වූ පාවුල් ක්‍රිස්තියානියෙකු නොවූ අග්‍රිපාට වඩා උසස් බවට හැඟීමක් ඇති කළේ නැත. (පිලිප්පි 2:3) ඉවසිලිවන්තව තමන් කියන දෙයට සවන් දෙන මෙන් පාවුල් රජුගෙන් අයැද සිටියේය. මෙසේ පාවුල් අග්‍රිපා මෙන්ම තමාට සවන් දෙමින් සිටි සෙසු අය ඉදිරියෙහි තමා පවසන දේවල් පිළිගත හැකි වන සේ පසුබිමක් සකස් කළේය. තමා තර්කානුකූලව ඉදිරිපත් කරන කරුණු ගොඩනඟා ගත හැකි පොදු පසුබිමක් ඔහු සකස් කරගනිමින් සිටියේය.

12. රාජ්‍යය ගැන ප්‍රකාශ කිරීමේදී අපට සවන් දෙන අයගේ සිත්වල පෙලඹීමක් ඇති කිරීමට අපට හැක්කේ කෙසේද?

12 පාවුල් අග්‍රිපා ඉදිරියෙහි කතා කළ විට කළාක් මෙන් අපිත් රාජ්‍යයේ පණිවිඩය ගැන ජනයා සමඟ කතා කරන විට අපේ හැඳින්වීමේ සිට අවසානය දක්වාම පවසන දේවලින් ඔවුන්ගේ සිත් තුළ පෙලඹීමක් ඇති කිරීමට වෑයම් කරමු. අප දේශනා කරන පුද්ගලයා කෙරෙහි අවංක ගෞරවයක් හා එම තැනැත්තාගේ පසුබිම මෙන්ම ඔහු හෝ ඇය කාරණා දෙස බලන ආකාරය කෙරෙහි අව්‍යාජ උනන්දුවක් පෙන්වීමෙන් අපට එය කළ හැකියි.—1 කොරින්ති 9:20-23.

දේවවචනය දක්ෂ ලෙස යොදාගන්න

13. පාවුල් කළාක් මෙන් ඔබට සවන් දෙන අය තුළ පෙලඹීමක් ඇති කිරීමට ඔබට හැක්කේ කෙසේද?

13 පාවුල්ගේ ආශාව වූයේ ඔහුට සවන් දුන් අය ශුභාරංචියට එකඟව ක්‍රියා කිරීම සඳහා ඔවුන් තුළ පෙලඹීමක් ඇති කිරීමයි. (1 තෙසලෝනික 1:5-7) මේ ආශාව ඉටු කරගැනීම සඳහා ඔහු කළේ සියලුම පෙලඹීම්ජනිත කරවන ඔවුන්ගේ සිත්වලට කතා කිරීමයි. පාවුල් අග්‍රිපා ඉදිරියෙහි උත්තර දෙමින් කළ කතාව අප තවදුරටත් සලකා බලද්දී, මෝසෙස් සහ අනාගතවක්තෘවරුන් විසින් පවසන ලද දේවලට යොමු දක්වමින් පාවුල් ‘දේවවචනය හරියාකාරව හැසිරෙවූ’ ආකාරය සැලකිල්ලට ගන්න.—2 තිමෝති 2:15.

14. පාවුල් අග්‍රිපා ඉදිරියෙහි පෙනී සිටි අවස්ථාවේදී ඒත්තුගැන්වීමෙන් යුතුව කතා කළ ආකාරය පැහැදිලි කරන්න.

14 අග්‍රිපා, නමට යුදෙව්වෙකු වූ බව පාවුල් දැන සිටියේය. යුදෙව් ධර්මය පිළිබඳව අග්‍රිපාට තිබූ දැනුම කෙරෙහි අවධානය යොමු කරමින් පාවුල් තර්කානුකූලව පවසා සිටියේ මෙසියස්ගේ මරණය හා නැවත නැඟිටීම ගැන තමන් දේශනා කළේ “මතු සිදු වනු ඇතැයි අනාගතවක්තෘවරුන්ද මෝසෙස්ද පැවසූ දේවල් හැර වෙන කිසිවක් [නොවන]” බවයි. (ක්‍රියා 26:22, 23, NW) කෙළින්ම අග්‍රිපාව අමතමින් පාවුල් මෙසේ ඇසුවේය. “ඔබ අනාගතවක්තෘවරුන්ව විශ්වාස කරනවාද?” ඒ අවස්ථවේදී අග්‍රිපා මුහුණ දෙමින් සිටියේ උභතෝකෝටික ප්‍රශ්නයකටයි. අනාගතවක්තෘවරුන්ව විශ්වාස කරන්නේ නැතැයි කියා ඔහු පැවසුවා නම් යුදෙව්වන් ඉදිරියෙහි ඔහුගේ කීර්ති නාමය පලුදු වීමට ඉඩ තිබිණ. එහෙත් පාවුල් තර්කානුකූලව පැවසූ දේවලට ඔහු එකඟ වූවා නම් එය පාවුල් කරන සේවය අනුමත කරන බව ප්‍රසිද්ධියේ පිළිගැනීමක් වීමට ඉඩ තිබිණ. එමෙන්ම ක්‍රිස්තියානියෙකු කියා ඔහුව සලකනු ලැබීමේ අවදානම බාරගනු ලැබීමක්ද ඉන් අදහස් කෙරුණි. පාවුල්ම තමන් නැඟූ ප්‍රශ්නයට මෙසේ නැණවත් ලෙස උත්තර දුන්නේය. “ඔබ විශ්වාස කරන බව මම දනිමි.” අග්‍රිපාගේ සිත ඔහුව පෙලඹුවේ එම වදන්වලට කෙසේ ප්‍රතිචාරය දැක්වීමටද? ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාව ක්‍රිස්තියානියෙකු කරයි.” (ක්‍රියා 26:27, 28, NW) අග්‍රිපා ක්‍රිස්තියානියෙකු බවට පත් නොවුවත් තමා ඉදිරිපත් කළ පණිවිඩය මගින් ඔහුගේ සිතට යම් බලපෑමක් කිරීමට පාවුල් සමත් වූ බවක් පෙනේ.—හෙබ්‍රෙව් 4:12.

15. තෙසලෝනිකයේ සභාවක් පිහිටුවීමට පාවුල්ට හැකි වූයේ කෙසේද?

15 පාවුල් ශුභාරංචිය ඉදිරිපත් කළ විට එය ප්‍රකාශ කිරීම පමණක් නොව ඒත්තුගැන්වීමක්ද කළ බව ඔබගේ අවධානයට ලක් වූවාද? පාවුල් ‘දේවවචනය හරියාකාරව හසුරුවද්දී’ ඔහුට සවන් දුන් අය වෙත එසේ එළඹුණු නිසා ඔවුන්ගෙන් සමහරදෙනෙක් සවන් දෙන්නන් පමණක් නොව ඇදහිලිවන්තයන් බවටද පත් වූහ. තෙසලෝනිකයේ සිදු වූයේ එවන් දෙයකි. පාවුල් එහි තිබූ සිනගෝගයේදී යුදෙව්වන්ව හා දේවබියැති යුදෙව් නොවන්නන්ව සොයමින් සිටියේය. මේ පිළිබඳව ක්‍රියා 17:2-4 මෙසේ සඳහන් වේ. “පාවුල් සුපුරුදු පරිදි ඇතුල් වී ඔවුන් වෙතට ගොස්, සබත් දවස් තුනක් පුරා ශුද්ධ ලියවිලි පදනම් කරගෙන ඔවුන්ට තර්කානුකූලව පහදා දුන්නේය. ක්‍රිස්තුස් වධ විඳින්නත් මළවුන්ගෙන් නැඟිටින්නත් අවශ්‍යව තිබූ බව ශුද්ධ ලියවිල්ලට යොමු දක්වා පහදා දෙමින් ඔවුන්ට ඔප්පු කර පෙන්වීය. . . . මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගෙන් සමහරෙක් . . . අදහන්නන් බවට පත් වූහ.” පාවුල් ඒත්තුගැන්වීමෙන් යුතුව කතා කළේය. බොහෝ කලකට පෙර පොරොන්දු වූ මෙසියස් යේසුස් බව ඔහු තර්කානුකූලව පහදමින් එය ශුද්ධ ලියවිලිවලින් ඔප්පු කර පෙන්වීය. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? ඇදහිලිවන්තයන්ගෙන් සමන්විත සභාවක් පිහිටවනු ලැබීමයි.

16. රාජ්‍යය ගැන ප්‍රකාශ කිරීමේ කාර්යයෙන් වැඩි ප්‍රීතියක් ඔබට ලැබිය හැක්කේ කෙසේද?

16 දේවවචනය පහදා දෙන විට ඒත්තුගැන්වීමේ කලාව තව දක්ෂ ලෙස යොදාගැනීමට ඔබට හැකිද? ඔබ මෙය තවත් දියුණු කරගන්නවා නම් දේවරාජ්‍යය ගැන ජනයාට දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයෙන් වැඩි ප්‍රීතියක් මෙන්ම සෑහීම ගෙන දෙන ප්‍රතිඵල වැඩියෙන් ලබනවාට සැකයක් නැත. දේශනා කිරීමේ කාර්යයේ හවුල් වන විට බයිබලය වැඩියෙන් යොදාගැනීම සම්බන්ධයෙන් දී තිබෙන යෝජනා ක්‍රියාත්මක කර තිබෙන ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් එය අද්දැක ඇත.

17. දේවසේවයේදී බයිබලය යොදාගැනීම ප්‍රයෝජනදායක බව පෙන්වීම සඳහා ඔබ ලැබූ අද්දැකීමක් හෝ මේ ඡේදයේ සඳහන් අද්දැකීමේ හරය විස්තර කරන්න.

17 උදාහරණයක් හැටියට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් මෙසේ ලීවේය. “ගෙයින් ගෙට සේවයේ හවුල් වන විට සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුගේ අතේ දැන් බයිබලය තියෙනවා දකින්න පුළුවන්. තමන්ට හමු වන අයගෙන් වැඩිදෙනෙකු සමඟ ශුද්ධ ලියවිලි පාඨයක් කියවීමට ප්‍රචාරකයන්ට එය උපකාරවත් වෙලා තියෙනවා. අපේ දේවසේවය ගැන සිතන විට පොත් පත් සඟරා ගැන පමණක් නොව, බයිබලය ගැනත් සිතන්න එමගින් ගෙවැසියාට මෙන්ම ප්‍රචාරකයාටද හැකි වෙලා තියෙනවා.” අප දේශනා සේවයේ හවුල් වන විට බයිබලය පෙනෙන අයුරින් රැගෙන යනවාද නැද්ද කියා තීරණය කිරීමට ප්‍රදේශයේ තත්වයන් ඇතුළු විවිධ කරුණු බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත්, අපට වුවමනා කරන්නේ රාජ්‍ය පණිවිඩය පිළිගැනීම සඳහා අන් අයට ඒත්තුගැන්වීමට දේවවචනය දක්ෂ ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීමටයි.

දේවසේවය සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිය දරන්න

18, 19. (අ) දෙවි අපේ දේවසේවය සලකන්නේ කෙසේද? අපත් ඔහුගේ දෘෂ්ටිය දැරිය යුත්තේ මන්ද? (ආ) සාර්ථකව නැවත බැලීම් කිරීමට අපට උපකාරවත් වන්නේ මොනවාද? (16වන පිටුවේ තිබෙන “නැවත බැලීම් කිරීමේදී සාර්ථක විය හැකි අයුරු” නමැති කොටුව බලන්න.)

18 අපට සවන් දෙන අයගේ සිත්වල පෙලඹවීමක් ඇති කිරීමට වෑයම් කිරීමේදී, ඊට අයත් වන තවත් දෙයක් වන්නේ දේවසේවය සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිය දැරීම හා ඉවසිලිවන්ත වීමයි. දෙවිගේ කැමැත්ත නම් සියලු ආකාර මිනිසුන් “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමයි.” (1 තිමෝති 2:3, 4,NW) අපගේ ආශාව විය යුත්තෙත් එය නොවේද? යෙහෝවා ඉවසිලිවන්තයි. ඔහුගේ ඉවසිලිවන්තකම නිසා බොහෝදෙනෙකුට පසුතැවිලි වීමට ඉඩ ප්‍රස්තා ලැබී ඇත. (2 පේතෘස් 3:9) මේ නිසා රාජ්‍යයේ පණිවිඩයට සවන් දීමට කැමති කෙනෙකු අපට හමු වන විට, ඔහුගේ හෝ ඇයගේ උනන්දුව තවත් වැඩි කිරීම සඳහා නැවත නැවතත් ගොස් බැහැදැකීම අවශ්‍ය විය හැකියි. සත්‍යයේ බීජ වැඩෙනවා බලා සිටීමට කාලය හා ඉවසීම අවශ්‍යයි. (1 කොරින්ති 3:6) මේ ලිපිය සමඟ තිබෙන “නැවත බැලීම් කිරීමේදී සාර්ථක විය හැකි අයුරු” නමැති කොටුවේ උනන්දුව වැඩි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. මිනිසුන්ගේ ජීවිත, එනම් ඔවුන් මුහුණ දෙන ගැටලු හා තත්වයන් නිරතුරුව වෙනස් වෙමින් තිබෙන බව මතක තබාගන්න. නිවෙස්වලදී ඔවුන්ව හමුවීම සඳහා බොහෝ වතාවක් උත්සාහ කිරීම අවශ්‍ය විය හැකි වුවත් ඒ සඳහා දරන වෑයම වටී. අපට වුවමනා කරන්නේ ගැලවීම පිළිබඳව දෙවිගේ පණිවිඩයට සවන් දීම සඳහා ඔවුන්ට අවස්ථාවක් ලබා දීමයි. එමනිසා රාජ්‍ය පණිවිඩය පිළිගැනීම සඳහා අන් අයට උපකාර කිරීමේ කාර්යයේ ඔබ නියැලෙන විට ඒත්තුගැන්වීමේ හැකියාව තවත් දියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න.

19 රාජ්‍ය පණිවිඩය ගැන වැඩියෙන් දැනගැනීමට කැමති කෙනෙකුව හමු වූ විට ක්‍රිස්තියානි සේවකයන් වශයෙන් අපට තව කුමක් කළ හැකිද? මේ සම්බන්ධයෙන් අපට උපකාරවත් වන යෝජනා ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරේ.

[පාදසටහන]

^ 8 ඡේ. ඒත්තුගැන්වීම පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු නමැති පොතේ 48 සහ 49වන පාඩම් බලන්න.

ඔබට මතකද?

• අග්‍රිපා රජු ඉදිරියෙහි පාවුල් දුන් පිළිතුර ඵලදායක වූයේ මන්ද?

• අපේ පණිවිඩය මගින් ජනයාගේ සිත්වල පෙලඹීමක් ඇති කළ හැක්කේ කෙසේද?

• ජනයාගේ සිත්වල පෙලඹීමක් ඇති කිරීමේදී දේවවචනය ඵලදායකව යොදාගැනීමට අපට උපකාරවත් වන්නේ මොනවාද?

• දේවසේවය සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිය දැරීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ කොටුව⁄පින්තූර]

“නැවත බැලීම් කිරීමේදී සාර්ථක විය හැකි අයුරු”

• ජනයා කෙරෙහි අවංක පෞද්ගලික උනන්දුවක් දක්වන්න.

• සාකච්ඡා කිරීමට සිත්ගන්නාසුලු විෂයක් තෝරාගන්න.

• පසුව කරන සෑම බැහැදැකීමක් සඳහාම යම් පදනමක් දමා එන්න.

• ඔබ පිට වී ගිය පසු, උනන්දුව දැක්වූ තැනැත්තා ගැන සිතන්න.

• ඉක්මනින් ආපසු යන්න. උනන්දුව දිගටම පවත්වාගැනීම සඳහා හැකි නම් දවසකින් හෝ දෙකකින් ආපසු යන්න.

• ඔබේ ඉලක්කය වන්නේ නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීම බව මතකයේ තබාගන්න.

• උනන්දුව දිගටම වර්ධනය කරන්න කියා යෙහෝවාට යාච්ඤා කරන්න.

[15වන පිටුවේ පින්තූරය]

පාවුල් ආණ්ඩුකාර ෆෙස්ටස් හා අග්‍රිපා රජු ඉදිරියෙහි පෙනී සිටි අවස්ථාවේදී ඒත්තුගන්වන ආකාරයෙන් කතා කළේය