ඔවුන් පල්ලි යන්නේ ඇයි?
ඔවුන් පල්ලි යන්නේ ඇයි?
“දැන් කොරියානු ජනරජයේ අමෙරිකාවේ මෙන් හතර ගුණයක් ප්‍රෙස්බිටේරියන් භක්තිකයන් ඉන්නවා.” නිව්ස්වීක් සඟරාවේ තිබෙන මේ ආරංචියෙන් බොහෝ පාඨකයන් පුදුමයට පත් වෙන්න ඇති. මොකද කොරියාව ගැන කියද්දී එහි කොන්ෆියුෂියානු හෝ බෞද්ධ සමාජයක් තිබෙනවා කියා වැඩිදෙනෙකු සිතන නිසයි. අද දින, එහි යන අමුත්තෙකුට රතු ආලෝක කුරුසයකින් සාමාන්‍යයෙන් හඳුනාගත හැකි “ක්‍රිස්තියානි” පල්ලි බොහොමයක් දැකගන්න පුළුවන්. බයිබල් රැගෙන දෙන්නා තුන්දෙනා ඉරිදාට පල්ලි යනවා දැකීම සාමාන්‍ය දෙයක්. වර්ෂ 1998 සමීක්ෂණයකට අනුව, කොරියානු ජනයාගෙන් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් කතෝලික පල්ලියට එහෙමත් නැත්නම් රෙපරමාදු පල්ලියට යනවා. එම සංඛ්‍යාව එහි සිටින බෞද්ධයන්යයි පැවසෙන ගණනට වඩා වැඩියි.
මේ දිනවල එතරම් ඉහළ සංඛ්‍යාවක් කොතැනක හෝ තිබෙන පල්ලියකට නිතිපතා යනවා දැකීම අසාමාන්‍ය දෙයක්. එහෙත් කොරියාවේ පමණක් නොව වෙනත් ආසියානු රටවල මෙන්ම අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ රටවලත් එසේ සිදු වෙනවා. ආගම ගැන තැකීමක් නැති හෝ ඒ ගැන කිසි උනන්දුවක් නොදක්වන බව පුළුල්ව දක්නට තිබෙද්දී තවමත් බොහෝදෙනෙක් දෙවි කෙරෙහි විශ්වාසය තබා තිබෙන්නේ මන්ද? ඔවුන් පල්ලි යන්නේ ඇයි?
කොරියාවේ පල්ලි යන අයගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් සිතේ සාමය සොයමින් සිටි බවත්, තුනෙන් එකක් මරණයෙන් පසු සදා ජීවනය ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත්, දහයෙන් එකක් නිරෝගී සෞඛ්‍යය, ධනය සහ සමෘද්ධිය ලැබීමට ආශා කළ බවත් ගැලප් සමීක්ෂණයකින් හෙළි වුණා.
කොමියුනිස්ට්වාදී අදහස් වෙනුවට ක්‍රමක්‍රමයෙන් ධනවාදී ආකල්පවලට හසුවීම හේතුවෙන් අධ්‍යාත්මික වශයෙන් ඇති වී තිබෙන හිස්භාවය තරමකට හෝ නැති කරගැනීමේ බලාපොරොත්තුවෙන් චීනයේ බොහෝදෙනා පල්ලි යනවා. සෑම වසරකම මිලියන ගණන් බයිබල් පිටපත් මුද්‍රණය කර චීනය පුරා බෙදාහැරෙන අතර මාඕගේ පුංචි රතු පොත කියෙවූ ආකාරයටම ජනයා එයද කියවන බව දක්නට තිබෙනවා.
බ්‍රසීලයේ ඇතැම් කතෝලිකයන් මෙන්ම විශේෂයෙන් එහි තරුණ පරම්පරාව මතු ජීවිතයේදී බලාපොරොත්තු විය හැකි සතුට සම්බන්ධ පොරොන්දුවෙන් සෑහීමට පත් වෙන්නේ නැහැ. ඔවුන්ට ඕනේ දැන්මම එය ඉටු වෙනවා දකින්නයි. ටූඩූ පුවත් සඟරාවේ මෙසේ පවසයි. “හැත්තෑ ගණන්වලදී සිත්වල හා මනස්වල තිබුණේ ආගම තුළින් දේශපාලනයට හා ආර්ථිකයට මැදිහත් වී විමුක්තිය ලබා දීමේ සංකල්පයක් නම් අද පවතින්නේ සමෘද්ධිය
ලැබීමේ සංකල්පයක්.” තමන් යන පල්ලිය සම්බන්ධයෙන් තමන් කැමති එක දෙයක් නම් කරන්න කියා බ්‍රිතාන්‍යයේ පල්ලි යන්නන්ගෙන් විමසා බැලීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුවා. කවුරුත් පාහේ මුලින්ම සඳහන් කළේ තමන් ඇසුරට කැමති බවයි.මේ සියල්ලෙන් පෙනී යන්නේ සෑහෙනදෙනෙක් තවමත් දෙවිව විශ්වාස කරන බවයි. එසේ වුවත්, වැඩිදෙනෙක් මතු ජීවිතයේදී සිදු වෙන දේ ගැන හෝ දෙවි ගැන හෝ සැලකිල්ලක් දක්වනවාට වඩා තමන්ට දැන් ලබාගත හැකි දේ ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඔබ සිතන විදිහට, දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට යෝග්‍යම හේතුව මොකක්ද? මේ කාරණය සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද? ඊළඟ ලිපියෙන් ඔබට පිළිතුරු ලැබෙයි.