Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙරුසලමෙහි වටලෑම හා විනාශය සිදු වූ කාලය අතරතුරේදී එසකියෙල් “ගොළුව” සිටියා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

ඉන් අදහස් වන්නේ, ඔහු ඒ වන විටත් යෙහෝවාගේ අනාවැකිමය පණිවිඩය දන්වා තිබුණ හෙයින් එයට තවත් කිසිවක් එකතු කිරීමට අවශ්‍ය වූයේ නැති බවයි.

අනාගතවක්තෘ එසකියෙල් බැබිලෝනියට පිටුවහල් කරන ලද ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් විශ්වාසවන්ත මුරකරුවෙකු ලෙස වූ තම සේවය ඇරඹුවේ, ‘යෙහෝයාඛින් රජුගේ වහල්කමේ පස්වෙනි අවුරුද්ද’ වන ක්‍රි.පූ. 613දීය. (එසකියෙල් 1:2, 3) ක්‍රිස්තු පූර්ව 609 10වන චන්ද්‍ර මාසයේ 10වන දා, බැබිලෝනිවරුන් විසින් යෙරුසලම වටලෑම ඇරඹූ බව දෙවිගේ ආනුභාවයෙන් එසකියෙල්ට දන්වන ලදි. (එසකියෙල් 24:1, 2) වැටලීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වනු ඇත්තේ කුමක්ද? යෙරුසලම සහ එහි නොඇදහිලිකාර ජනයා බේරෙනු ඇද්ද? එසකියෙල් මුරකරුවෙකු ලෙස ක්‍රියා කරමින්, ඒ වන විටත් යෙහෝවාගේ විනිශ්චය පිළිබඳව වූ ස්ථිරසාර පණිවිඩය ප්‍රකාශ කර තිබිණ. එම පණිවිඩය තහවුරු කරන පිණිස එයට තවත් කිසිවක් එකතු කිරීමට අවශ්‍ය වූයේ නැත. යෙරුසලම වැටලීම පිළිබඳව එසකියෙල් වෙන කිසිවක් ප්‍රකාශ නොකළේය. ඔහු එම විෂය සම්බන්ධයෙන් ගොළුව එනම්, නිහඬව සිටියේය.—එසකියෙල් 24:25-27.

යෙරුසලමෙහි විනාශය සිදු වී මාස හයක් පමණ ගතවීමෙන් අනතුරුව ක්‍රි.පූ. 607දී, එම විනාශයෙන් බේරී බැබිලෝනියට පලා ආ තැනැත්තෙක් ශුද්ධ නුවර පාළු වී ඇති බව එසකියෙල්ට දැන්වීය. එම තැනැත්තා පැමිණීමට පෙර සන්ධ්‍යාවේදී, යෙහෝවා ‘[එසකියෙල්ගේ] මුඛය ඇරියේය . . . [ඔහු] තවත් ගොළුව නොසිටියේය.’ (එසකියෙල් 33:22) එසකියෙල් ගොළුව සිටි කාලය එතැනින් නිමාවට පත් විය.

එම කාලය තුළදී එසකියෙල් වචනාර්ථයෙන්ම ගොළුව සිටියාද? එසේ නොවූ බව පැහැදිලියි. මන්ද “ගොළුව” සිටි කාලයේදීත් ඔහු අනාවැකි පළ කළේය. ඔහු ප්‍රධාන වශයෙන්ම එම අනාවැකි පළ කළේ යෙරුසලමේ වැටීම පිළිබඳව ප්‍රීති වූ අවට ජාතීන්ට විරුද්ධවයි. (එසකියෙල් 25-32 පරිච්ඡේද) එසකියෙල් අනාගතවක්තෘ කෙනෙකු හා මුරකරුවෙකු ලෙස වූ තම සේවය ඇරඹූ කාලයේදී යෙහෝවා ඔහුට මෙසේ පවසා තිබිණ. “මම ඔබේ දිව ඔබේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට ඔබ ගොළු වී, ඔවුන්ට තරවටු කරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔවුහු කැරලිකාර වංශයක්ය. එහෙත් මා ඔබ සමඟ කතා කරන කල ඔබේ මුඛය අරින්නෙමි.” (එසකියෙල් 3:26, 27) යෙහෝවාට ඊශ්‍රායෙල්හට කීමට කිසිම පණිවිඩයක් නොතිබූ කල, එසකියෙල් එම ජාතියට කිසිවක් නොකිව යුතුව තිබිණ. මෙයින් පැහැදිලි වන්නේ, එසකියෙල් කතා කළ යුතු වූයේ යෙහෝවා ඔහුට ප්‍රකාශ කරන්න කියා පැවසූ දේ පමණක් බවයි. එසේම, එය ප්‍රකාශ කළ යුතු වූයේ යෙහෝවා නියම කළ කාලයේදී පමණයි. එසකියෙල් ගොළුව සිටි බව කීමෙන් අඟවන්නේ ඔහු ඊශ්‍රායෙල්වරුන්ට අනාවැකි පළ නොකර නිහඬව සිටි බවයි.

වර්තමාන මුරකරු පංතිය වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද පුරාණ යෙරුසලම ආදර්ශ කොට ගන්නා ක්‍රිස්තියානි ලෝකය පිට පැමිණෙන විනිශ්චය ගැන අනතුරු අඟවා තිබේ. ‘මහත් පීඩාවේ’ ආරම්භයත් සමඟම බොරු නමස්කාරයේ ලෝක අධිරාජ්‍යය වන “මහා බැබිලෝනිය” විනාශ වනු ඇත. එවිට, එම අධිරාජ්‍යයේ ප්‍රධානතම කොටසක් වන ක්‍රිස්තියානි ලෝකයේ විනාශය පිළිබඳව අභිෂේක ලත් එසකියෙල් පංතියට තවත් කිසිවක් කීමට අවශ්‍ය වන්නේ නැත.—මතෙව් 24:21; එළිදරව් 17:1, 2, 5.

එසේනම්, අභිෂේක ලත් ඉතිරි කොටස සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගොළුව සිටීමට නියමිත කාලය පැමිණෙනු ඇති බව පැහැදිලියි. එවිට ක්‍රිස්තියානි ලෝකයට තව කිසිවක් කීමට ඔවුන්ට ඉතිරි නොවනු ඇත. එය සිදු වනු ඇත්තේ, “අං දසය” සහ “වන මෘගයා” මහා බැබිලෝනිය මුළුමනින්ම පාළු කර නිර්වස්ත්‍ර කරන විටයි. (එළිදරව් 17:16, NW) එහෙත් මෙයින් අදහස් වන්නේ නැහැ, ක්‍රිස්තියානීන් වචනාර්ථයෙන්ම ගොළුව සිටිනු ඇති බව. ඔවුහු දැනුත් කරන්නාක් මෙන් දිනපතාම ඉදිරි “සියලු පරම්පරාවන්හි” යෙහෝවාට ප්‍රශංසා කරමින් ඔහුව සිහි කරනු ඇත.—ගීතාවලිය 45:17; 145:2.