Skip to content

පටුනට යන්න

බයිබල් නීතියක් ඔබට සැමවිටම අවශ්‍යද?

බයිබල් නීතියක් ඔබට සැමවිටම අවශ්‍යද?

බයිබල් නීතියක් ඔබට සැමවිටම අවශ්‍යද?

ඔබ කුඩා කාලයේදී, ඇතැම්විට ඔබේ දෙමාපියන් ඔබට නීති බොහොමයක් දමන්න ඇති. ඔවුන් අවංකවම ඔබේ යහපත ගැන හුඟාක් සැලකිලිමත් වෙමින් සිටි බව ඔබ තේරුම්ගත්තේ වයසින් වැඩෙන විටයි. දැන් ඔබ තවදුරටත් ඔබේ දෙමාපියන් යටතේ නොසිටින වැඩිහිටියෙකු වුවද කුඩා කාලයේදී ඔවුන් ඔබේ සිත තුළ පැලපදියම් කළ ඇතැම් ප්‍රතිපත්ති අනුව ඔබ තවමත් ජීවත් වෙනවා විය හැකියි.

අපේ ස්වර්ගික පියා වන යෙහෝවා ඔහුගේ වචනය වන බයිබලය මාර්ගයෙන් ඍජු ආඥා බොහොමයක් සපයයි. උදාහරණයක් හැටියට ඔහු රූප වන්දනාව, වේශ්‍යාකම, පරදාර සේවනය හා සොරකම් කිරීම තහනම් කරයි. (නික්මයාම 20:1-17; ක්‍රියා 15:28, 29) යෙහෝවා අපේ යහපත ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වන බවත් ඔහුගේ නීති මගින් අපව අනවශ්‍ය ලෙස කොටු කර තබන්නේ නැති බවත් අපි ආත්මිකව ‘සියලු කාරණාවලදී වැඩෙන’ විට තේරුම්ගන්නෙමු.—එෆීස 4:15, NW; යෙසායා 48:17, 18; 54:13.

කෙසේවෙතත් ඍජු නීති නොමැති තත්වයන් බොහොමයක් තිබේ. මේ නිසා ඇතමුන්ට හැඟෙන්නේ බයිබලයේ ඍජු නීතියක් සඳහන් වී නොමැති අවස්ථාවලදී, තමන් කැමති දේ කිරීමට තමන්ට නිදහස තිබෙන බවයි. නීතියක් දැමීම අවශ්‍ය බව දෙවිට හැඟුණා නම්, ඍජු ආඥාවක් ලෙස ඔහු සිය කැමැත්ත ප්‍රකාශ කරන්න තිබුණා කියා ඔවුහු තර්ක කරති.

එසේ සිතන අය විසින් බොහෝ අවස්ථාවලදී ගනු ලබන්නේ පසුව බොහෝ සේ පසුතැවීමට සිදු වන අනුවණ තීරණයි. බයිබලයේ සඳහන් වන්නේ නීති පමණක් නොව, දෙවි සිතන ආකාරයද එහි පෙන්වා දෙන බව තේරුම්ගැනීමට ඔවුහු අසමත් වී සිටිති. අපි බයිබලය අධ්‍යයනය කරන විට යෙහෝවා කාරණා දෙස බලන ආකාරය දැනගන්නෙමු; බයිබලය මත පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් ගොඩනඟා ගන්නෙමු; යෙහෝවා සිතන ආකාරයට එකඟව තේරීම් කිරීමට අවශ්‍ය උපකාරය ලබන්නෙමු. අප මෙසේ කරන විට අපි ඔහුගේ සිත ප්‍රීතිමත් කරන්නෙමු; නැණවත් තීරණ ගැනීම නිසා ප්‍රයෝජනද අද්දකින්නෙමු.—එපීස 5:1.

විශිෂ්ට බයිබල් ආදර්ශ

පුරාණයේ විසූ දෙවිගේ සේවකයන් ඍජු ආඥාවක් නොතිබුණු අවස්ථාවලදී පවා යෙහෝවා සිතන ආකාරය සැලකිල්ලට ගත් අවස්ථා බයිබලයේ සඳහන් වාර්තා කියවන විට අපට සොයාගත හැකියි. යෝසෙප්ගේ ආදර්ශය සලකා බලන්න. පෝතිඵර්ගේ භාර්යාව ඔහුට නරක යෝජනාවක් ඉදිරිපත් කළ කාලයේදී පරදාර සේවනය තහනම් කරමින් දේවානුභාවයෙන් ලියා තිබූ නීතියක් තිබුණේ නැත. එහෙත් ඍජු නීතියක් දී නොතිබුණද, පරදාර සේවනය යනු ඔහුගේ හෘදය සාක්ෂියට විරුද්ධව කරන පාපයක් පමණක් නොව “දෙවිට විරුද්ධව” කරන පාපයක් බවද යෝසෙප් තේරුම්ගත්තේය. (උත්පත්ති 39:9) පරදාර සේවනය, දෙවි සිතන ආකාරයට හා ඒදන්හිදී ප්‍රකාශ කළ පරිදි ඔහුගේ කැමැත්තට පටහැනි බව යෝසෙප් පිළිගත්තේය.—උත්පත්ති 2:24.

තවත් ආදර්ශයක් සලකා බලමු. පාවුල් තිමෝතිව ඔහුගේ ගමන්වලදී කැටුව යෑමට කලින් ඔහුව චර්මඡේදනය කළ බව ක්‍රියා 16:3හි සඳහන් වදන්වලින් අපට දැනගත හැකියි. එහෙත් හතරවන වගන්තියේ අපට කියවීමට තිබෙන්නේ එසේ චර්මඡේදනය කිරීමෙන් පසුව පාවුල් හා තිමෝති ‘යෙරුසලමේ සිටි ප්‍රේරිතයන් හා වැඩිමහල්ලන් විසින් තීරණය කරන ලද නියෝග’ දැනුම් දෙමින් නගරයෙන් නගරයට ගමන් කළ බවයි. ක්‍රිස්තියානීන් චර්මඡේදනය වීමට තවදුරටත් බැඳී නොසිටින බවට ගත් තීරණයද එම නියෝග අතර විය. (ක්‍රියා 15:5, 6, 28, 29) එසේනම්, තිමෝතිව චර්මච්ඡේදනය කිරීම අවශ්‍යයි කියා පාවුල්ට හැඟුණේ මන්ද? ‘ඒ පළාත්වල විසූ යුදෙව්වරුන් නිසාත් තිමෝතිගේ පියා ග්‍රීක ජාතිකයෙකු වූ බව හැමදෙනාම දැන සිටි’ නිසාත්ය. අනවශ්‍ය ලෙස අන් අය බාධාවට පත් විය හැකි කිසිම දෙයක් කිරීමට පාවුල්ට වුවමනා නොවීය. ක්‍රිස්තියානීන් “දෙවි ඉදිරියේ සෑම මිනිසෙකුගේ හෘදය සාක්ෂියට . . . හොඳ ආදර්ශයක් [වීම]” ගැන පාවුල් සැලකිලිමත් විය.—2 කොරින්ති 4:2; 1 කොරින්ති 9:19-23; NW.

ඒ ආකාරයට සිතීම පාවුල්ගේ හා තිමෝතිගේ ප්‍රධාන ලක්ෂණයක් විය. රෝම 14:15, 20, 21 සහ 1 කොරින්ති 8:9-13; 10:23-33 වැනි පාඨ කියවා, විශේෂයෙන්ම වැරදියි කියා ඇත්තටම පැවසිය නොහැකි කාරණාවලදී බාධාවට පත් විය හැකි අයගේ ඇතුළු සෑම කෙනෙකුගේම ආත්මික ශුභසිද්ධිය ගැන බෙහෙවින් සැලකිලිමත් වූ ආකාරය සලකා බලන්න. පාවුල් තිමෝති ගැන මෙසේ ලීවේය. “ඔබේ කාරණා ගැන ඔහු මෙන් අවංක සැලකිල්ලක් දක්වන අන් කිසිවෙකු මට නැත. මන්ද, අන් සියලුදෙනාම තම තමන්ගේ කාරණා මිස, ක්‍රිස්තුස් යේසුස්ගේ කාරණා සොයන්නේ නැත. නමුත් තම පියා සමඟ සිටින දරුවෙකු මෙන් ඔහු ශුභාරංචියේ වැඩි දියුණුව තකා මා සමඟ වෙහෙස මහන්සි වී සේවය කළ බවට ඔහුම දුන් සාක්ෂිය ඔබ දන්නහුය.” (ෆිලිප්පි 2:20-22, NW) මේ ක්‍රිස්තියානි පුරුෂයන් දෙදෙනා අද සිටින අපට සපයන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද! නිශ්චිත දිව්‍ය නීතියක් නොමැති විට මොවුන් දෙදෙනා ඔවුන්ගේ පෞද්ගලික පහසුව හෝ ඔවුන් වැඩි කැමැත්තක් දක්වන දේවල් තෝරාගත්තේ නැත. එසේ කරනවා වෙනුවට, තමන් ගන්න තීරණ අන් අයගේ ආත්මිකත්වයට බලපෑ හැකි ආකාරය ගැන සැලකිලිමත් වෙමින් යෙහෝවාගේ සහ ඔහුගේ පුත්‍රයාගේ ආදර්ශය ඔවුහු අනුකරණය කළහ.

අපේ ප්‍රධානතම ආදර්ශය වන යේසුස් ක්‍රිස්තුස් ගැන සිතා බලන්න. සිය කන්ද උඩ දේශනාවේදී ඔහු ඉතා හොඳින් පැහැදිලි කළේ දෙවිගේ නීතිවල සැබෑ හරය වටහාගන්න තැනැත්තා නිශ්චිතව ආඥා කර තිබෙන හෝ තහනම් කර තිබෙන දේවලට පමණක් තම කීකරුකම සීමා නොකරන බවයි. (මතෙව් 5:21, 22, 27, 28) නිශ්චිත දිව්‍ය නීතියක් නොමැති අවස්ථාවලදී, පුද්ගලයෙකුට තමන් කැමති දේ කළ හැකියි කියා යේසුස්වත්, පාවුල්වත්, තිමෝතිවත්, යෝසෙප්වත් තර්ක කළේ නැත. මේ පුරුෂයෝ දෙවි සිතන ආකාරයට අනුව තමන්ගේ සිතුවිලි හැඩගස්වා ගනිමින් ජීවත් වූයේ සියලුම ආඥාවලින් උතුම්ම ආඥා දෙක වශයෙන් යේසුස් සඳහන් කළ දෙවිට ප්‍රේම කිරීම හා තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කිරීම යන උතුම් ආඥා දෙක පවත්වමිනි.—මතෙව් 22:36-40.

අද සිටින ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද?

කෙනෙක් නීතිමය ලියවිල්ලක් බලන විට සෑම නියමයක් ගැනම එහි පැහැදිලිව විස්තර කර තිබෙයි කියා අපේක්ෂා කරයි. අප බයිබලය දෙස බැලිය යුත්තේ ඒ ආකාරයෙන් නොවේ. අප කරන දෙයක් කෙරෙහි බලපවත්වනු ලබන නිශ්චිත නීතියක් නොමැති අවස්ථාවකදී පවා යෙහෝවා සිතන ආකාරය අප තේරුම්ගෙන සිටින බව පෙන්වමින් අප ක්‍රියා කරන විට ඉන් ඔහුගේ සිතට ගෙන එන්නේ ඉමහත් ප්‍රීතියකි. වෙනත් වචනවලින් පවසනවා නම් සැමවිටම බයිබලයෙන් ඍජු නීතියක් අපේක්ෂා කරනවා වෙනුවට “යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගන්න” අපට හැකියි. (එෆීස 5:17; රෝම 12:2; NW) මෙය යෙහෝවාගේ ප්‍රීතියට හේතු වන්නේ මන්ද? අපේ පෞද්ගලික මනාපයන් හෝ අයිතිවාසිකම් ගැන සැලකිල්ල දක්වනවාට වඩා ඔහුව සතුටු කිරීමට අපට වුවමනා බව එයින් පෙන්වන නිසාය. අප ඔහුගේ ප්‍රේමය කොතරම් අගය කරනවාද කියනවා නම් ඔහු මෙන් අන් අයට ප්‍රේමය පෙන්වීමට අපත් කැමති බවත් අප යම් දේවල් කිරීමට පෙලඹෙන්නේ එම ප්‍රේමය නිසා බවත් එමගින් දැකිය හැකියි. (හිතෝපදේශ 23:15; 27:11) මීට අමතරව, ශුද්ධ ලියවිල්ලෙහි පෙන්වා දෙන ආකාරයට ක්‍රියා කිරීමෙන් ආත්මිකව මෙන්ම ශාරීරිකවද යහපත් සෞඛ්‍යයක් භුක්ති විඳිය හැකියි.

පෞද්ගලික කාරණාවලදී එම ප්‍රතිපත්තිය අදාළ කරගත හැකි ආකාර දැන් අපි සලකා බලමු.

විනෝදාස්වාද තෝරාගැනීමේදී

එක්තරා කැසට් පටයක් මිල දී ගැනීමට කැමැත්තෙන් සිටින යෞවනයෙකු ගැන සිතන්න. මේ කැසට් පටයේ ලස්සන සිංදු තිබෙන බව ඔහු අසා ඇත. එහෙත් එහි ගීතවල ලිංගික කාරණා හා අසභ්‍ය භාෂාව ඇතුළත් වන බව කවරයේ තිබෙන දේවලින් ඇඟවෙන නිසා එය ඔහුගේ සිතට වධ දෙයි. එමෙන්ම මේ ගායකයාගේ ගීතවලින් බොහොමයක කෝපාවිෂ්ට හා කලහකාරී ස්වභාවයක් හුවා දක්වන දේවල් ඇතුළත් වන බව ඔහු දනියි. යෙහෝවාට ප්‍රේම කරන කෙනෙකු වශයෙන් මේ යෞවනයා මේ කාරණය ගැන යෙහෝවාට හැඟෙන ආකාරය ගැන සිතයි. මේ කාරණය සම්බන්ධයෙන් යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි කියා ඔහුට වටහාගත හැක්කේ කෙසේද?

ප්‍රේරිත පාවුල් ගලාතිවරුන්ට ලියූ ඔහුගේ ලිපියේදී මාංසයේ ක්‍රියා සහ දෙවිගේ ආත්මයේ පල ඇතුළත් ලැයිස්තුවක් දැක්වීය. දෙවිගේ ආත්මයේ පලවලට ඇතුළත් වන්නේ මොනවාදැයි කියා ඔබ දන්නවා විය හැකියි. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය යන ගුණාංග ආත්මයේ පලවලට ඇතුළත් වේ. එහෙත් මාංසයේ ක්‍රියාවලට ඇතුළත් වන්නේ කුමන දේවල්ද? මේ ගැන පාවුල් ලියන්නේ මෙසේය. “මාංසයේ ක්‍රියා ප්‍රකාශ වී තිබේ. ඒවා නම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදයේ නියැලීම, සතුරුකම්, අඩ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, කුඩුකේඩුකම්, බේබදුකම්, ඝෝෂාකාරී උත්සව යනාදී දේවල්ය. මෙවැනි දේවල නියැලී සිටින්නන්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව මම කලින් ඔබට අනතුරු ඇඟවූ ලෙසම, දැනුත් ඔබට අනතුරු අඟවමි.”—ගලාති 5:19-23, NW.

එම වගන්තිවල අවසාන භාගයේ සඳහන් “යනාදී දේවල්” නමැති ප්‍රකාශය සැලකිල්ලට ගන්න. මාංසයේ ක්‍රියාවක් ලෙස සැලකිය හැකි සෑම දෙයක්ම ඇතුළත් සම්පූර්ණ ලැයිස්තුවක් පාවුල් ඉදිරිපත් කළේ නැත. පුද්ගලයෙකුට මෙසේ තර්ක කළ හැකි බව ඉන් අදහස් නොවේ. ‘මාංසයේ ක්‍රියා ඇතුළත් පාවුල්ගේ ලැයිස්තුවේ නැති ඕනෑම දෙයක් කිරීමේ නිදහස ශුද්ධ ලියවිල්ලට අනුව මට තියෙනවා.’ මේ ලැයිස්තුවේ සඳහන් නොවුණත් “යනාදී දේවල්” ගණයට ඇතුළත් දේවල් හඳුනාගැනීම සඳහා පාඨකයන් තමන්ගේ වටහාගැනීමේ ශක්තිය භාවිත කිරීම අවශ්‍යයි. නිශ්චිතව සඳහන් නොකළත් “යනාදී දේවල්” ලෙස සැලකිය හැකි අංගවලට ඇතුළත් වන දේවල පසුතැවිලි නොවී නියැලෙන අයට දේවරාජ්‍යයේ ආශීර්වාද උරුම කරගත නොහැකි වනු ඇත.

මේ නිසා යෙහෝවා අනුමත නොකරන දේවල් මොනවාදැයි කියා අප වටහාගැනීම අවශ්‍යයි. මෙය අමාරු දෙයක්ද? වැඩියෙන් පලතුරු හා එළවළු අනුභව කරන්න. එහෙත් ටොෆි, චොකලට් යනාදි පැණිරස දේවලින් වැළකී සිටින්න කියා ඔබේ වෛද්‍යවරයා ඔබට උපදෙස් දී තිබෙනවා කියා සිතන්න. කේක් හෝ අයිස්ක්‍රීම් අයත් වන්නේ කුමන ලැයිස්තුවටදැයි කියා තීරණය කිරීම අමාරු දෙයක්ද? දෙවිගේ ආත්මයේ පල හා මාංසයේ ක්‍රියා දෙස නැවතත් බලන්න. කලින් සඳහන් කළ කැසට් පටය අයත් වන්නේ කුමන ලැයිස්තුවටද? ප්‍රේමය, යහපත්කම, ආත්ම දමනය හෝ දෙවිගේ ආත්මය හා බැඳි සෙසු ගුණාංග ඇත්තෙන්ම එහි දක්නට නැත. මේ වර්ගයේ කැසට් පටයක් දෙවිගේ සිතුවිලිවලට එකඟ නොවන බව වටහාගැනීමට යමෙකුට ඍජු නීතියක් අවශ්‍ය නැත. මේ ප්‍රතිපත්තියම කියවන දේවල්, චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන්, පරිගණක ක්‍රීඩා, වෙබ් අඩවි යනාදියටද අදාළ වේ.

පිළිගත හැකි ආකාරයේ පෞද්ගලික පෙනුම

ඇඳුම් පැළඳුම් මෙන්ම බාහිර පෙනුම හා සම්බන්ධ කාරණාවලට බලපාන ප්‍රතිපත්තිද බයිබලය සපයයි. මේ නිසා යෝග්‍ය හා ප්‍රසන්න ලෙස ඇඳ පැළඳ සිටීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් සෑම ක්‍රිස්තියානියෙකුටම ලැබී තිබේ. යෙහෝවාට ප්‍රේම කරන කෙනෙක් මේ කාරණය දෙසද බලන්නේ තමන් කැමති දෙය කිරීමට නොව, තමාගේ ස්වර්ගික පියාගේ සිත ප්‍රීතිමත් කරවන දෙය කිරීමට තමන්ට ලැබී තිබෙන ප්‍රස්තාවක් ලෙසයි. යෙහෝවා යම් කාරණයක් පිළිබඳව නිශ්චිත නීති සඳහන් කර නොතිබීමෙන් අඟවන්නේ ඔහු තම සෙනඟ කරන දේවල් ගණන් ගන්නේ නැති බව නොවේ. මෙය අප දැනටමත් සලකා බැලූ දේවලින් පැහැදිලි වේ. විලාසිතා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. එමෙන්ම එකම ප්‍රදේශයේ පවා ඒවා කාලයෙන් කාලයට වෙනස් වේ. කෙසේවෙතත්, දෙවි සෑම කාලයකම හා සෑම තැනකම වෙසෙන ඔහුගේ සෙනඟට මඟ පෙන්වීම් ලබා දෙන මූලික ප්‍රතිපත්ති සපයයි.

නිදසුනක් වශයෙන්, 1 තිමෝති 2:9, 10හි [NW] මෙසේ සඳහන් වේ. “එසේම ස්ත්‍රීන් විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිනවාට මම කැමැත්තෙමි. කොණ්ඩ මෝස්තරවලින්වත් රනින්වත් මුතුවලින්වත් ඉතා මිල අධික වස්ත්‍රවලින්වත් නොව, දෙවිට භක්තිවන්තව සිටින බව ප්‍රකාශ කරන ස්ත්‍රීන්ට ඔබින ආකාරයට යහපත් ක්‍රියා තුළින් සැරසී සිටිනවාට කැමැත්තෙමි.” මේ අනුව ක්‍රිස්තියානි ස්ත්‍රීන් හා පුරුෂයන් තමන් ජීවත් වන ප්‍රදේශයේ ජනයා “දෙවිට භක්තිවන්තව සිටින බව ප්‍රකාශ කරන” අයගෙන් අපේක්ෂා කරන ආකාරයෙන් සැරසී සිටීම ගැන හොඳින් සිතා බැලිය යුතුයි. තමන් ඇඳ පැළඳ ගෙන සිටින ආකාරයෙන් තමන් ජනයා වෙතට ගෙන යන බයිබලයේ සඳහන් පණිවිඩය ගැන ඔවුන් තුළ ඇති කරවන්නේ කුමනාකාරයේ හැඟීමක්ද කියා ක්‍රිස්තියානියෙකු කලින් සිතා බැලීම වැදගත්. (2 කොරින්ති 6:3) ආදර්ශවත් ක්‍රිස්තියානියෙකු තමන් වැඩි මනාපයක් දක්වන දේවල් හෝ තමන්ට තිබෙනවායයි සිතෙන අයිතිවාසිකම් ගැන ඕනෑවට වඩා සිතන්නේ නැත. එවැනි කෙනෙකු සිතන්නේ වෙනත් කෙනෙකුව අපහසුතාවට හෝ බාධාවට පත් නොකර සිටීම ගැනයි.—මතෙව් 18:6; පිලිප්පි 1:10.

තමන් ඇඳ පැළඳ සිටින යම් විලාසිතාවක් නිසා අන් අයව බාධාවට පත් වන බව ක්‍රිස්තියානියෙකුට දැනගන්න ලැබෙයි නම්, තමා වැඩි කැමැත්තක් දක්වන දේවලට වඩා අනිත් අයගේ ආත්මික ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වෙමින් ප්‍රේරිත පාවුල්ව අනුකරණය කිරීමට ඔහුට හෝ ඇයට හැකියි. පාවුල් මෙසේ පැවසුවේය. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න.” (1 කොරින්ති 11:1, NW) පාවුල් යේසුස් ගැන මෙසේ ලීවේය. “ක්‍රිස්තුස් පවා තමාවම සතුටු කර නොගත්තේය.” පාවුල් සියලුම ක්‍රිස්තියානීන්ට පැවසූ දෙය පැහැදිලිය. “ශක්තිමත්ව සිටින අප අපවම සතුටු කර නොගනිමින්, ශක්තිමත් නොවන අයගේ දුර්වලකම් ඉසිලිය යුතුයි. අපි එකිනෙකා, තම තමාගේ අසල්වැසියාගේ වැඩි දියුණුවට දායක වන යහපත් දෙයින් ඔහුව සතුටු කරමු.”—රෝම 15:1-3, NW.

අපේ වටහාගැනීමේ හැකියාව මුවහත් කරගැනීම

යෙහෝවා යම් කාරණයක් සම්බන්ධයෙන් නිශ්චිත මඟ පෙන්වීමක් ලබා නොදී තිබෙන අවස්ථාවකදී පවා ඔහුව සතුටට පත් කළ හැකි ආකාරය දැනගැනීමට හැකි වන ලෙස අපේ වටහාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමට අපට හැක්කේ කෙසේද? අපි දිනපතා ඔහුගේ වචනය කියවනවා නම්, එය අධ්‍යයනය කරනවා නම් සහ අප කියවන දේවල් ගැන මෙනෙහි කරනවා නම් වටහාගැනීමේ හැකියාව වර්ධනය වන බව අපි අද්දකින්නෙමු. එවැනි වර්ධනයක් වේගයෙන් සිදු වන්නේ නැත. දරුවෙකුගේ ශාරීරික වර්ධනය මෙන් ආත්මික වර්ධනයද සිදු වන්නේ ටිකෙන් ටිකයි. එය විගස දැකිය නොහැකියි. එනිසා ඒ ගැන ඉවසීම අවශ්‍යයි. වර්ධනයක් ඉක්මනින් දැකිය නොහැකි නම්, අප ඒ ගැන අධෛර්යයට පත් විය යුතු නැත. අනිත් අතට කාලය ගෙවී ගිය පමණින් අපේ වටහාගැනීමේ හැකියාව මුවහත් වෙයි කියා අපේක්ෂා කළ නොහැකියි. ගෙවී යන කාලය, කලින් සඳහන් කළ පරිදි දේවවචනය නිතිපතා සලකා බැලීමට යෙදවිය යුතුයි. අපට හැකි උපරිමයෙන් දේවවචනයට එකඟව ජීවත් විය යුතුයි.—හෙබ්‍රෙව් 5:14, NW.

දෙවිගේ නීති මගින් අපේ කීකරුකම පරීක්ෂණයට ලක් වුවද අපගේ ආත්මිකත්වයේ ගැඹුරද ඔහුව සතුටු කිරීමට අපට තිබෙන ආශාව කොතරම්ද කියා සෝදිසි කෙරෙන්නේද ඔහුගේ ප්‍රතිපත්ති මගිනි. අපි ආත්මිකව වර්ධනය වෙද්දී යෙහෝවාව හා ඔහුගේ පුත්‍රයාව අනුකරණය කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන්නෙමු. එමෙන්ම, ශුද්ධ ලියවිල්ලෙහි පෙන්වා දෙන පරිදි කාරණා පිළිබඳව දෙවි සිතන ආකාරය සැලකිල්ලට ගනිමින් තීරණ ගැනීමට අපි මහත් උනන්දුවෙන් කටයුතු කරන්නෙමු. මෙසේ, අප කරන සෑම දෙයකදීම අපේ ස්වර්ගික පියාව සන්තෝෂ කරන විට අපේ ප්‍රීතියද වැඩි වන බව අප අද්දකිනවා නිසැකයි.

[23වන පිටුවේ පින්තූර]

විලාසිතා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුවද, අපගේ තේරීම්වලදී බයිබල් ප්‍රතිපත්ති ගැන සැලකිලිමත් විය යුතුය