‘මා යෙහෝවාට ආපසු කුමක් දෙම්ද?’
ජීවිත කතාව
‘මා යෙහෝවාට ආපසු කුමක් දෙම්ද?’
පැවසුවේ මරියා කෙරාසීනිස්
මට අවුරුදු දහඅටේදී මාව සැලකුවේ පවුලට අවනම්බුවක් ගෙනා දඩබ්බර ළමයෙක් ලෙසයි. ඒ නිසාම මගේ පවුලේ අය මාව කොන් කළා විතරක් නෙවෙයි ගමේ හැමෝම මාව සමච්චලයටත් ලක් කළා. දෙවි කෙරෙහි තිබූ මගේ ස්ථීර ඇදහිල්ල බිඳ දැමීමට ඔවුන් මට ඇවිටිලි කළා, බල කළා, තර්ජනය කළා. නමුත් ඒ කිසිවකින් වැඩක් වුණේ නැහැ. බයිබල් සත්‍යය කෙරෙහි ඇලී සිටියොත් ආත්මික ප්‍රයෝජන ලැබෙන බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. මම අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් යෙහෝවාට කළ සේවය දෙස ආපසු හැරී බලද්දී මටත් කියන්න තියෙන්නේ ගීතිකාකරු කියූ මේ දේමයි. “යෙහෝවා මට කළාවූ සියලු යහපත්කම්වලට මා ඔහුට ආපසු කුමක් දෙම්ද?” කියායි.—ගීතාවලිය 116:12, NW.
මම ඉපදුණේ 1930දී කොරින්තියේ නැඟෙනහිරින් පිහිටි සෙන්ක්‍රෙයා වරායේ සිට කිලෝමීටර් 20ක් එපිටින් පිහිටි ඇන්ජෙලෝකස්ට්‍රෝ නම් ගමේයි. පළමුවෙනි ශතවර්ෂයේදී මෙම නගරයේ සැබෑ ක්‍රිස්තියානි සභාවක් පිහිටුවා තිබුණා.—ක්‍රියා 18:18; රෝම 16:1; NW.
මගේ පවුලේ අය ඉතා සාමකාමි ජීවිතයක් ගත කළා. මගේ තාත්තා ගම් මුලාදෑනියා ලෙස සේවය කළ නිසා ගමේ හැමෝම ඔහුට ගෞරව කළා. මම දරුවන් පස්දෙනෙක්ගෙන් යුත් පවුලක තුන්වෙනියා. ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේ ඉගැන්වීම්වලට අනුව භක්තිවන්ත ජීවිතයක් ගත කිරීමට අපේ දෙමව්පියෝ අපව කුඩා කාලයේ සිටම පුහුණු කළා. මම හැම ඉරිදාම පූජාවට ගියා. මම පව්වලට පසුතැවිලි වීමේ සංකේතයක් ලෙස අයිකොන් රූප ඉදිරියේ දණ ගසා යාච්ඤා කළා; ගමේ පල්ලියේදී ඉටිපන්දම් පත්තු කළා. ඒ විතරක් නෙවෙයි නිරාහාරව ඉන්න ඕනේ හැම දවසකම මම නිරාහාරව ඉඳීම අතපසු කළේ නැහැ. මම ගොඩාක් වේලාවට කල්පනා කළා කන්‍යා සොහොයුරියක් වීමට. නමුත් කාලයක් ගත වන විට ඉස්සෙල්ලාම මගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු කඩ වුණේ මා අතිනුයි.
බයිබල් සත්‍යයෙන් ප්‍රීති ප්‍රමෝද වී
මට වයස අවුරුදු 18ක් විතර වෙනකොට මට ආරංචි වුණා අපේ අල්ලපු ගමේ පදිංචි වී සිටි මගේ අක්කාගේ
මහත්තයාගේ නංගි වන කටීනා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන කියවනවා කියාත් ඒ වගේම දැන් පල්ලියට යන්නේ නැහැ කියාත්. මම මේක දැනගත්තහම මට ලොකු කනගාටුවක් දැනුණා. ඒ නිසා මම තීරණය කළා මම ඒ කාලයේ හරියි කියා සිතාගෙන සිටි මාර්ගයට නැවතත් පැමිණීමට ඇයට උපකාර කරන්න. ඇය අපිව බලන්න ආවාම මම ඇයත් සමඟ ඇවිදින්න යන්න සැලසුම් කරලා තිබුණා. එවැනි දෙයක් විශේෂයෙන්ම මම සැලසුම් කළේ පූජකවරයාගේ ගෙදරත් ටිකක් නැවතී කතා බස් කිරීමේ අරමුණ ඇතුවයි. පූජකවරයා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව කටීනාව නොමඟ යැවූ ධර්ම විරෝධීන් ලෙස හඳුන්වමින් ඔවුන්ට එක දිගටම බැණ වදින්න පටන්ගත්තා. පිට පිට රෑ තුනක් අපි මේ සම්බන්ධව සාකච්ඡා කළා. පූජකවරයා ඉදිරිපත් කළ සියලුම චෝදනා බොරු බව බයිබලයෙන් ඔප්පු කර පෙන්වීමට කටීනාට හැකි වුණා. අවසානයේදී පූජකවරයා පැවසුවා ඇය දක්ෂ, මනා පෙනුමක් ඇති දැරියක් නිසා ඇගේ යෞවන කාලය ප්‍රීතියෙන් ගත කළ යුතු බවත් වයසට ගියාම දෙවි ගැන යම් උනන්දුවක් දක්වන්න පුළුවන් බවත්.මම මගේ දෙමව්පියන්ට මේ සාකච්ඡාව ගැන මොකුත් කිව්වේ නැහැ. නමුත් ඊළඟ ඉරිදා මම පල්ලි ගියේ නැහැ. එදාම දවල් පූජකවරයා අපේ කඩේට ආවා. තාත්තට උදව් කරන්න කඩේ ඉන්න වුණා කියලා මම නිදහසට කරුණක් ලෙස බොරුවක් ගොතලා කිව්වා.
“ඇත්තටම ඒකද කාරණාව, නැත්නම් අර කෙල්ල ඔයාට යම් බලපෑමක් කළාද?” කියා පූජකවරයා ඇහුවා.
“ඒ අයගේ විශ්වාසයන් අපේ විශ්වාසයන්ට වඩා උසස්” කියලා මම කෙළින්ම කිව්වා.
මගේ තාත්තා දෙසට හැරිලා පූජකවරයා කිව්වා “ඉකොනෝමස් මහත්තයා ඔයාගේ ගෙදර ඉන්න ඔය නෑදෑයාව වහාම ගෙදරින් එළවන්න. ඇය ඔයාගේ පවුල විනාශ කරනවා” කියලා.
මගේ පවුලේ අය මට විරුද්ධ වෙමින්
මෙය සිදු වූයේ 1940 ගණන්වල අගභාගයේදී ග්‍රීසියේ දරුණු සිවිල් යුද්ධයක් ඇති වූ කාලයේදීයි. ගරිල්ලා භටයන් මාව පැහැරගනියි කියා භය වුණු තාත්තා මාව අක්කා ළඟට යැව්වා. කටීනා ජීවත් වුණෙත් ඒ ගමේමයි. මම එහෙ නතර වෙලා හිටිය මාස දෙකක් වැනි සුළු කාලය තුළදී විවිධ විෂයන් කිහිපයක් ගැන බයිබලයේ සඳහන් අදහස දැනගන්න මට හැකි වුණා. ඕතඩොක්ස් පල්ලියේ උගන්වනු ලබන බොහෝ සිද්ධාන්තයන් ශුද්ධ ලියවිලිවලට පටහැනි බව දැනගැනීමෙන් මම ඇත්තටම කලකිරුණා. මම තේරුම්ගත්තා දෙවි අයිකොන් රූප භාවිතයෙන් කරන නමස්කාරයවත්, කුරුසයට ගරු බුහුමන් දැක්වීම වැනි ආගමික වත්පිළිවෙත්වත් පිළි නොගන්නා බව. ඒ වගේම ඒවාට ක්‍රිස්තියානි මූලාරම්භයක් නැති බවත් දෙවි පිළිගන්නේ “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” කරන නමස්කාරය පමණක් බවත් මම තේරුම්ගත්තා. (යොහන් 4:23, NW; නික්මයාම 20:4, 5) ඒ විතරක් නොවෙයි, මම ඉගෙනගත්තා පොළොව මත සදාකාලයටම ජීවත් විය හැකි බවට වූ දීප්තිමත් බලාපොරොත්තුවක් ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා කියා! යෙහෝවාගේ යහපත්කම මුලින්ම මම අද්දැකීමට පටන්ගත්තේ එවැනි අගනා බයිබල් සත්‍යයන් මට දැනගන්න ලැබුණු අවස්ථාවේදීයි.
මම තවදුරටත් කෑම කනකොට සාන්ත කුරුසේ අඩයාලම දාන්නෙවත් පිළිම ඉස්සරහ යාච්ඤා කරන්නෙවත් නැති බව මගේ සහෝදරියගේ හා මස්සිනාගේ අවධානයට ලක් වුණා. එක දවසක් රෑ ඔවුන් දෙදෙනාම මට හොඳටම ගැහුවා. ඊළඟ දවසේ මම තීරණය කළා එයාලාගේ ගෙදරින් පිට වෙලා මගේ පුංචි අම්මා කෙනෙකුගේ ගෙදර නතර වෙන්න යන්න. මස්සිනා මේ ගැන මගේ තාත්තට දැන්නුවා. ඉන් ටිකකට පස්සේ මගේ තාත්තා ඇවිත් හඬා වැලපිලා මගේ මනස වෙනස් කරන්න හැදුවා. මගේ මස්සිනා මගේ ඉස්සරහ දණ ගහලා වැඳලා මගෙන් සමාව ඉල්ලුවා. මම ඔහුට සමාව දුන්නා. මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඔවුන් මට කිව්වා නැවතත් පල්ලියට සම්බන්ධ වෙන්න කියලා. නමුත් මම වෙනස් වුණේ නැහැ.
නැවතත් මම ගමට ආවාම මට තවත් බලපෑම් ඇති වෙන්න පටන්ගත්තා. මට කටීනා එක්ක අදහස් හුවමාරු කරගන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. මට කියවන්න කිසිම ප්‍රකාශනයක්, අඩුම තරමින් බයිබලයක්වත් තිබුණේ නැහැ. මගේ ඥාති සොහොයුරියක් මට උදව් කරන්න උත්සාහ කිරීම ගැන මම ගොඩාක් සතුටු වුණා. ඇය කොරින්තියට ගිය අවස්ථාවේදී ඇය සාක්ෂිකාරියක් හමු වී “දෙවි සැබෑ බවට ඔප්පු වේවා!” (සිංහලෙන් නොමැත) යන පොත සහ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල පිටපතක්ද මට ගෙනත් දුන්නා. මම මේවා රහසින් කියවන්න පටන්ගත්තා.
ජීවිතයේ අලුත් පිටුවක්
මට අවුරුදු තුනක් විතර දරුණු විරුද්ධවාදිකම් අද්දකින්න සිදු වුණා. මට කිසිම සාක්ෂිකාරයෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන් වුණේ නැහැ, ඒ වගේම මට කිසිම ප්‍රකාශනයක් ලැබුණෙත් නැහැ. කෙසේවෙතත්, මම දැනගෙන හිටියේ නැහැ මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වෙන කාලයකයි මම මේ ඉන්නේ කියලා.
තාත්තා කිව්වා මට තෙසලෝනිකයේ ඉන්න මගේ මාමාගේ ගෙදර යන්න වෙයි කියලා. මම තෙසලෝනිකයට යන්න කලින් කොරින්තියේ ඉන්න ඇඳුම් මහන තැනැත්තියකට කියලා කබායක් මහගන්න ගියා. මට අදහාගන්නත් බැරි වුණා කටීනා එහේ වැඩ
කරනවා දැක්කාම. කාලයකට පස්සේ අපි දෙන්නට දෙන්න මුණගැසීම ගැන අපි ගොඩාක් සතුටු වුණා. අපි දෙන්නා ඒ සාප්පුවෙන් එනකොට අපිට මුණගැහුණා වැඩ ඇරිලා බයිසිකලයෙන් ගෙදර යමින් සිටි ප්‍රසන්න තරුණයෙක්. ඔහුගේ නම කරලම්බුස්. අපි දෙන්නට දෙන්නා දැනහඳුනා ගත්තට පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න. මේ කාලයේදී තමයි මම යෙහෝවාට වූ මගේ කැපවීම සංකේතවත් කරමින් බව්තීස්ම වුණෙත්. මම බව්තිස්ම වුණේ 1952 ජනවාරි 9වෙනි දායි.කරලම්බුස් ඒ වෙද්දී බව්තීස්ම වෙලායි හිටියේ. ඔහුටත් ඔහුගේ පවුලේ අයගෙන් නොයෙක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදු වී තිබුණා. ඔහු ඉතා ජ්වලිතවත් කෙනෙක්. ඔහු සභා සේවකගේ සහයක ලෙස සේවය කළ අතර බොහෝ බයිබල් පාඩම්ද පැවැත්තුවා. වැඩි කල් නොගොස් ඔහුගේ සහෝදරයෝ සත්‍යය පිළිගත්තා. අදටත් ඔහුගේ පවුලේ වැඩිදෙනෙක් යෙහෝවාට සේවය කරමින් සිටිනවා.
මගේ තාත්තාට කරලම්බුස්ව හොඳට හිතට ඇල්ලුවා, ඒ නිසා ඔහු අපේ විවාහයට කැමති වුණා. නමුත් අම්මාව කැමති කරගැනීම එතරම් පහසු වුණේ නැහැ. මේ සියලු බාධක මැද්දේ කරලම්බුස් සහ මම 1952 මාර්තු 29වෙනි දා විවාහ වුණා. මගේ විවාහයට සහභාගි වුණේ මගේ වැඩිමල් සහෝදරයා හා තවත් මගේ ඥාති සහෝදරයෙක් විතරයි. මම ඒ වන විට දැනගෙන හිටියේ නැහැ කරලම්බුස් යෙහෝවාගෙන් මට ලැබුණු ඉතා වටිනා තෑග්ගක්ය කියා. ඔහුගේ සහකාරිය වශයෙන් යෙහෝවාගේ සේවය වටා මගේ ජීවිතය ගොඩනඟා ගැනීමට මට හැකි වුණා.
අපේ සහෝදරයන්ව ශක්තිමත් කරමින්
කරලම්බුස් සහ මම 1953දී ඇතන්ස් නගරයේ පදිංචියට යන්න තීරණය කළා. වැඩිපුර කාලයක් දේශනා සේවයේ මිඩංගු කිරීම සඳහා කරලම්බුස් පවුලේ අය සමඟ කරගෙන ගිය ව්‍යාපාරික කටයුතුවලින් අයින් වෙලා අර්ධ කාලීන රැකියාවක් සොයාගත්තා. අපි දෙදෙනා හවස් කාලය ක්‍රිස්තියානි දේවසේවය සඳහා යෙදවූ අතර බොහෝ බයිබල් පාඩම්ද පැවැත්තුවා.
අපේ සේවය සම්බන්ධයෙන් යම් තහංචි පනවා තිබුණු නිසා අපිට උපායශීලී වෙන්න සිදු වුණා. උදාහරණයක් ලෙස ඇතන්ස් නගරයේ මගේ මහත්තයා වැඩ කරපු පුංචි කඩේක හැමෝටම පේන තැනක මුරටැඹ සඟරාවක් ප්‍රදර්ශනය කරන්න අප තීරණය කළා. උසස් නිලයක් දරන පොලිස් නිලධාරියෙක් අපිට කිව්වා මේ සඟරාව තහනම් කරපු එකක් කියා. නමුත් ඔහු ඇහුවා සඟරාවක පිටපතක් ගෙන ගිහින් ආරක්ෂක කාර්යාලයෙන් ඒ ගැන දැනගෙන එන්නද කියා. ආරක්ෂක කාර්යාලයෙන් එය තහනම් කරන ලද සඟරාවක් නොවෙයි කියා තහවුරු කළ බව ඔහු අපිට කිව්වා. කඩ අයිතිව තිබුණු වෙනත් සහෝදරයන් මේ ගැන දැනගත්තාම ඔවුනුත් මුරටැඹ සඟරාවල පිටපත් ඔවුන්ගේ කඩවල ප්‍රදර්ශනයට තබන්න පටන්ගත්තා. අපේ කඩෙන් මුරටැඹ ලබාගත් එක මනුෂ්‍යයෙක් සාක්ෂිකාරයෙක් බවට පත් වූ අතර දැන් වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා.
මගේ බාලම සහෝදරයා සත්‍යය ඉගෙනගන්නවා දැකීමෙන් අපි මහත් ප්‍රීතියක් ලැබුවා. ඔහු වෙළඳ නැව්වල රැකියා කිරීම සඳහා පුහුණු කරන පාසැලක ඉගෙනගැනීමට ඇතන්ස් නගරයට ආවා. අපි ඔහුව සමුළුවකට එක්කගෙන ගියා. අපේ සමුළු පැවැත්තුවේ කැලෑවල රහසිගතවයි. එදා ඇහුම්කන් දුන් දේවලට ඔහු කැමති වුවත් ඔහුගේ රැකියාව කරන්න ඕනේ නිසා නැවේ යන්න ඔහුට සිදු වුණා. ඔහු ගමන්ගත් නැව එක සංචාරයකදී ආජෙන්ටිනාවේ වරායට ආවා. එහිදී මිෂනාරිවරයෙක් නැවේ ඉන්න අයට දේශනා කිරීමට එහි ගිය අතර මගේ සහෝදරයා ඔහුගෙන් අපේ සඟරා ලබාගෙන තිබුණා. ඔහු අපිට මෙසේ ලියා එවා තිබුණා “මට සත්‍යය ලැබුණා. මට තැපෑලෙන් සඟරා ලැබීමට සලස්වන්න” කියා. මෙය අපට ඉමහත් ප්‍රීතියක් ගෙන දුන්නා. අද ඔහු සහ ඔහුගේ පවුලේ අය යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කරනවා.
වර්ෂ 1958දී මගේ ස්වාමිපුරුෂයාට සංචාරක අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට ආරාධනාවක් ලැබුණා. අපේ සේවය තහනම් කර තිබුණු නිසා හා තත්වයන් ඉතා දුෂ්කර වූ නිසා සංචාරක අවේක්ෂකයන් සභා බැහැදකින්න ගියේ ඔවුන්ගේ භාර්යාවරු නැතුවයි. නමුත් 1959 ශාඛා කාර්යාලයේ වගකීම් දැරූ සහෝදරයන්ගෙන් අපි ඇහුවා මටත් ඔහු හා සංචාරක සේවයේ යෙදෙන්න පුළුවන්ද කියා. ඔවුන් ඒකට එකඟ වුණා. අපිට තිබුණේ මධ්‍යම හා දකුණු ග්‍රීසියේ සභාවන්
බැහැදැක එහි සිටි සහෝදරයන්ව ශක්තිමත් කිරීමටයි.ඒ ගමන් එතරම් පහසු වුණේ නැහැ. හොඳට හදපු පාරවල් තිබුණෙත් ටිකයි. අපිටම කියලා වාහනයක් තිබුණේ නැති නිසා අපි බොහෝ වේලාවට ගමන් කළේ පොදු ප්‍රවාහන සේවයේ හෝ කුකුල් පැටවුන් හා වෙනත් බඩු පටවාගෙන ගිය ට්‍රක් රථවලයි. මඩ පාරවල්වල ඇවිදගෙන යන්න පහසු වන පරිදි අපි දණිය තෙක් උස සපත්තු (රබර් බූට්ස්) දාගත්තා. හැම ගමකම සිවිල් හමුදා භටයන් හිටිය නිසා, ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලින් බේරීමට අපි ගම්වලට ඇතුළු වුණේ රාත්‍රි කාලයේදීයි.
සහෝදරයන් මේ බැහැදැකීම් ගොඩාක් අගය කළා. සහෝදරයෝ බොහෝදෙනෙක් ඔවුන්ගේ වගාබිම්වල මහන්සි වී වැඩ කළත්, ගොඩාක් රෑ වෙලා විවිධ තැන්වල පවත්වනු ලැබූ රැස්වීම්වලට සහභාගි වීම සඳහා සෑහෙන්න වෑයමක් දැරුවා. සහෝදරයෝ හරිම ආගන්තුක සත්කාරශීලියි. ඔවුන් සතුව තිබුණේ ඉතා ටික වුවත් ඔවුන්ගේ උපරිමයෙන් ඔවුන් අපට සැලකුවා. සමහර අවස්ථාවලදී අපි පවුලේ හැමෝම එක්ක එකම කාමරයක නිදාගත්තා. සහෝදරයන්ගේ ඇදහිල්ල, විඳදරාගැනීම හා ජ්වලිතය යෙහෝවාගෙන් ලද යහපත් දීමනා වූවාට කිසිම සැකයක් නැහැ.
අපේ සේවය පුළුල් කිරීම
වර්ෂ 1961 පෙබරවාරි මාසයේදී ඇතන්ස්හි පිහිටි ශාඛා කාර්යාලයට ගිය වේලාවේ අපෙන් ඇහුවා අපි බෙතෙල් ගෘහයේ සේවය කරන්න කැමතිද කියලා. අපි යෙසායාගේ ආකල්පය දරමින් “මෙන්න මම මෙහිය! මා යැවුව මැනවයි” කියලා කිව්වා. (යෙසායා 6:8) මාස දෙකකට පස්සේ අපිට ලියුමක් ලැබුණා හැකි ඉක්මණින් බෙතෙල් එකට එන්න කියා. වර්ෂ 1961 මැයි 27වෙනි දා සිට අපි බෙතෙල්හි සේවය කිරීමට පටන්ගත්තා.
අපි අපේ අලුත් පැවරුමට ගොඩාක් කැමති වුණා. බෙතෙල් එකට පැමිණි විගස ගෙදර ඉන්නවා වගේ පහසුවක් දැනුණා. මගේ ස්වාමිපුරුෂයා සේවා කමිටුවේ හා දායක අංශයේ වැඩ කළ අතර ටික කාලයක් ශාඛා කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් සේවය කළා. මම ගෘහ පාලන අංශයේ විවිධ පැවරුම් ඉටු කළා. එදා බෙතෙල් සාමාජිකයන් සිටියේ 18දෙනායි, නමුත් බෙතෙල්හි වැඩිමහල්ලන්ගේ පාසැල් පැවැත්වීම නිසා අවුරුදු පහක් වෙනකම් 40දෙනෙක් විතර එහි සිටියා. උදේ වරුවේ මම පිඟන් කෝප්ප සේදුවා, උයන්න උදව් වුණා, ඇඳන් 12ක් සකස් කළා, දවල් කෑම සඳහා මේස ලෑස්ති කළා. හවස් වරුවේ මම රෙදි මැද්දා, කාමර හා වැසිකිළි පවිත්‍ර කළා. සතියකට දවසක් මම ලොන්ඩරියේ වැඩ කළා. ගොඩාක් වැඩ තිබුණා කරන්න, නමුත් ඒ වැඩවලට මම උදව් කළේ සතුටින්.
බෙතෙල් සේවයේ මෙන්ම ක්ෂේත්‍රයෙත් අපි ගොඩාක් කාර්යබහුලව හිටියා. බොහෝ වෙලාවලට අපි බයිබල් පාඩම් හතක් විතර පැවැත්තුවා. සති අන්තවල කරලම්බුස් වෙනත් සභාවලට කතා දෙන්න යද්දී මමත් ඔහු සමඟ ගියා. අපි දෙන්නා හැම තිස්සෙම හිටියේ එකටයි.
ග්‍රීක ඕතඩොක්ස් පල්ලිය සමඟ කිට්ටු සබඳතාවක් පවත්වාගෙන ගිය යුවළක් එක්ක අපි බයිබල් පාඩමක් පැවැත්තුවා. ධර්ම භේදීන්යයි සැලකූ අය ගැන සොයා බැලූ පල්ලියේ පූජකයෙකු සමඟ ඔවුන් කිට්ටුවෙන් ආශ්‍රය කළා. මේ යුවළගේ ගෙදර කාමරයක බැලූ බැලූ තැන අයිකොන් රූප තිබුණා. මේ ගෙදර පැය 24 පුරාම සුවඳ දුම් පත්තු කර තිබුණු අතර යාතිකාද වාදනය කරනු ලැබුවා. අපි කාලයක් ඔවුන්ට බයිබල් පාඩමක් කිරීමට බ්‍රහස්පතින්දා දවස්වල එහේ ගියා. ඔවුන්ගේ පූජක යාළුවා ඔවුන්ව බැහැදැකීමට සිකුරාදා දිනවල ආවා. එක දවසක් ඔවුන් අපිට කිව්වා නොවරදවාම එන්න අපිට යමක් පෙන්නන්න තියෙනවා කියලා. අපි ගියාම ඔවුන් අපිට මුලින්ම පෙන්නුවේ අර රූප පිරුණු කාමරේ. ඔවුන් එහි තිබුණු සියලුම රූප අයින් කර තිබුණ අතර එම කාමරේ අලුත්වැඩියා කර තිබුණා. මේ යුවළ කාලයත් සමඟ ආත්මිකව දියුණු වී බව්තීස්ම වුණා. අපි බයිබල් පාඩම් පවත්වපු 50දෙනෙක් පමණ තමන්ගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කර බව්තීස්ම වෙනවා දැකීමට ලැබීමෙන් අප මහත් ප්‍රීතියක් අද්දැක තිබෙනවා.
අභිෂේක ලත් සහෝදරයන් සමඟ ආශ්‍රය කිරීමට ලැබුණු විශේෂ වරප්‍රසාදයද යෙහෝවාගෙන් ලද යහපත් දීමනාවක් ලෙස මම අගය කරනවා. පාලක මණ්ඩලයේ සාමාජිකයන් වන නෝර්, ෆ්‍රාන්ස් සහ හෙන්ෂල්
වැනි සහෝදරයන්ගේ බැහැදැකීම අපිට මහත් දිරිගැන්වීමක් වුණා. බෙතෙල්හි අවුරුදු 40ක් සේවය කිරීමෙන් පසුව මට තවමත් හැඟෙන්නේ මෙහි සේවය කිරීම විශාල ගෞරවයක් හා වරප්‍රසාදයක් ලෙසයි.අසනීප හා අහිමි වීම මැද
වර්ෂ 1982දී මගේ ස්වාමිපුරුෂයා ඇල්සයිමර්ස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන්ගත්තා. ඔහුගේ සෞඛ්‍ය තත්වය 1990 වෙද්දී හොඳටම පිරිහෙන්න පටන්ගත් අතර ඔහුට දිගටම සාත්තු කරන්න අවශ්‍ය වුණා. ඔහු ජීවත් වූ අන්තිම අවුරුදු අට තුළ අපිට බෙතෙල් එකෙන් පිට කොහේවත් යන්න ලැබුණේ නැහැ. බෙතෙල් පවුලේ ප්‍රේමණීය සහෝදරයන් හා වගකීම් දරන වෙනත් සහෝදරයන් බොහෝදෙනෙක් අපට උපකාර කිරීමට සැලසුම් යෙදුවා. ඔවුන්ගෙන් එම කරුණාවන්ත සහය ලැබුවද මට රෑ දවල් නොබලා පැය ගණනාවක් ඔහුට සාත්තු කිරීමට කාලය මිඩංගු කරන්න සිදු වුණා. සමහර අවස්ථාවලදී එවැනි තත්වයන්ට මුහුණ දීම ඉතා අසීරු වුණා. මම නිදි වැරූ රාත්‍රි අනන්තයි.
වර්ෂ 1998 ජූලි මාසයේදී මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මිය ගියා. මට ඔහු නැති පාළුව තදින්ම දැනුණද ඔහු වඩාත් සුරක්ෂිත තැනක් වන යෙහෝවාගේ මතකයේ ඉන්නවා කියා මා දන්න නිසා මට ඒක ලොකු සැනසීමක්. ඒ වගේම මම දන්නවා යෙහෝවා අනෙකුත් මිලියන සංඛ්‍යාත ජනයාව නැවත නැඟිටුවන විට ඔහුවත් නැවත නැඟුටුවාවි කියා.—යොහන් 5:28, 29.
යෙහෝවා කළාවූ යහපත්කම්වලට කෘතඥපූර්වක වෙමින්
මගේ ස්වාමිපුරුෂයා නැති වුණත් මම තනි වෙලා නැහැ. තවම මට බෙතෙල් ගෘහයේ වැඩ කිරීමේ ප්‍රස්තාව ලැබී තිබෙනවා, ඒ වගේම ඔවුන් දක්වන ප්‍රේමය හා සැලකිල්ල මම භුක්ති විඳිනවා. මගේ ආත්මික පවුලට ග්‍රීසියේ සිටින සියලුම ආත්මික සහෝදර සහෝදරියනුත් ඇතුළත්. මම දැන් අවුරුදු 70 ඉක්මවා සිටියත්, මට තවම කුස්සියේ හා කෑම කාමරයේ මුළු දවසම වැඩ කරන්න පුළුවන්.
මගේ ජීවිතයේ ලොකුම සිහිනය සැබෑ වුණේ 1999දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිව් යෝක් නගරයේ පිහිටි ලෝක මූලස්ථානය බැලීමට ගිය දවසෙයි. මට දැනුණු ආකාරය වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ අද්දැකීම කවදාවත් අමතක නොවන දිරිගැන්වෙන අද්දැකීමක්.
මගේ ජීවිතය දිහා ආපසු හැරී බලන විට මගේ ජීවිතය මීටත් වඩා හොඳ විදිහකට ගත කරන්න තිබුණා කියා මම කවදාවත් හිතන්නේ නැහැ. කෙනෙකුට ජීවිතයේ කරන්න පුළුවන් හොඳම දේ තමයි යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීම. මට විශ්වාසයෙන් කියන්න පුළුවන් මට කවදාත් කිසි දෙයකින් හිඟයක් තිබුණේ නැහැ කියලා. යෙහෝවා ප්‍රේමණීය ලෙස මගේ ස්වාමිපුරුෂයාට හා මට ආත්මිකව හා ශාරීරිකව සැපයුවා. මගේ පෞද්ගලික අද්දැකීමට අනුව මම දැන් දන්නවා ඇයි ගීතිකාකරු මෙහෙම දෙයක් පැවසුවේ කියා. “යෙහෝවා මට කළාවූ සියලු යහපත්කම්වලට මා ඔහුට ආපසු කුමක් දෙම්ද?”—ගීතාවලිය 116:12, NW.
[26වන පිටුවේ පින්තූරය]
කරලම්බුස් සහ මම හැම තිස්සෙම හිටියේ එකටයි
[27වන පිටුවේ පින්තූරය]
මගේ ස්වාමිපුරුෂයා ශාඛා කාර්යාලයේ වැඩ කරමින්
[28වන පිටුවේ පින්තූරය]
මට හිතෙන්නේ බෙතෙල් සේවය විශාල ගෞරවයක් කියායි