Skip to content

පටුනට යන්න

“යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න”

“යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න”

“යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න”

“යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න. එවිට ඔහු ඔබේ සිතේ ඉල්ලීම් ඉටු කරනවා ඇත.”—ගීතාවලිය 37:4, NW.

1, 2. සැබෑ සන්තෝෂයේ උල්පත කවුද? දාවිත් රජ මෙම කාරණය අවධාරණය කළේ කෙසේද?

සිය කන්ද උඩ දේශනාව ආරම්භ කරද්දී යේසුස් සන්තෝෂයෙන් සිටින අය පිළිබඳව ඉතා කැපීපෙනෙන අදහස් කිහිපයක් පළ කළේය. සුවිශේෂ ලේඛක මතෙව්ගේ වාර්තාවට අනුව ඔහු පැවසුවේ “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය. . . . දයාවන්ත අය සන්තෝෂවත්ය. . . . සාමය ඇති කරන අය සන්තෝෂවත්ය” යනාදි ලෙසටයි. මීට තවත් ප්‍රකාශන හයක්ද ඔහු එකතු කළේය. (මතෙව් 5:3-11, NW) යේසුස්ගේ මෙම වදන්වලින් පැහැදිලි වූයේ සන්තෝෂය අප සැමට භුක්ති විඳිය හැකි දෙයක් බවය.

2 සැබෑ සන්තෝෂයේ උල්පත වන්නේ යෙහෝවාය. මෙම කාරණය පුරාණ ඊශ්‍රායෙල්හි විසූ දාවිත් රජු විසින් ලියන ලද ගීතිකාවක අවධාරණය කෙරිණ. දාවිත් පැවසුවේ “යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න. එවිට ඔහු ඔබේ සිතේ ඉල්ලීම් ඉටු කරනවා ඇත” යන්නයි. (ගීතාවලිය 37:4) එනමුත් යෙහෝවා සහ ඔහුගේ පෞද්ගලිකත්වයේ නානාවිධ පැති දැනගැනීම ‘අතිශය ප්‍රීතියක්’ වන්නේ කවර හේතු නිසාද? තවද තම අරමුණ ඉටු කිරීමේදී තමන් කර ඇති දේ හා කරනු ඇති දේ සලකා බැලීම මගින් “ඔබේ සිතේ ඉල්ලීම්” ලබාගැනීමේ ප්‍රස්තාව ඔබහට විවෘත කර දෙන්නේ කෙසේද? ගීතාවලිය 37වන පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා පද හොඳින් අධ්‍යයනය කිරීමෙන් මීට පිළිතුරු ලබාගත හැක.

ඊර්ෂ්‍යා නොකරන්න”

3, 4. ගීතාවලිය 37:1හි වාර්තා වී ඇති පරිද්දෙන් දාවිත් දෙන අවවාදය කුමක්ද? අද දින ඊට අවනත වීම උචිත වන්නේ මන්ද?

3 අප ජීවත් වන්නේ දුෂ්ටකම ගහනව පවතින “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” කාලවල්වලය. “දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ අනුන්ව නොමඟ යවමින් හා තමන් නොමඟ යමින් වඩ වඩාත් නරක්” වන බවට ප්‍රේරිත පාවුල් පැවසූ වදන්වල ඉටුවීම අපි සියැසින්ම දැක ඇත්තෙමු. (2 තිමෝති 3:1, 13, NW) දුෂ්ටයන් ප්‍රතිඵල ලබන බවත් සමෘද්ධිය අද්දකින බවත් කොයි කාටත් පෙනේ. මෙයින් කලකිරීමට පත්වීම කෙතරම් පහසුද! මෙවැනි දේ දැකීම නිසා අපගේ ආත්මික දෘෂ්ටිය බොඳ වී අපව වෙනතකට පවා යොමු වන්නට පුළුවන. මෙම අන්තරාය ගැන ගීතාවලිය 37හි ප්‍රාරම්භක වදන් අපට දෙන අවවාදය සැලකිල්ලට ගන්න. “නපුර කරන්නන් නිසා කල නොකිරෙන්න. අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරන්න.”

4 ලොව පුරා ජනමාධ්‍යය අප හමුවට තබන්නේ සිදු වන අසාධාරණකම් පිළිබඳ දිගු ලැයිස්තුවකි. වංක ව්‍යාපාරිකයෝ වංචා සිදු කරමින් නීතියේ රැහැනෙන් ගැලවී යති. අපරාධකාරයෝ අසරණයන් ගොදුරු කරගනිති. මිනීමරුවන්ව අල්ලාගැනීම දුෂ්කරය. එසේ නැතහොත් ඔවුහු දඬුවම් නොලබා බේරෙති. මෙවන් අයුක්තිසහගත දේවල් දකිද්දී ඉමහත් කෝපයක් හටගත හැකි අතර, අපගේ මානසික සුවයට බාධාවක් ඇති විය හැක. දුෂ්ටයන් මෙලෙස වැජඹෙන ආකාරය දකින විට යම් ඊර්ෂ්‍යාවක් වුවද ඇති වන්නට පුළුවන. එනමුත් අප කලබල වීමෙන් යම් වෙනසක් සිදු වේද? දුෂ්ටයන්ට ලැබෙන වාසි ගැන ඊර්ෂ්‍යා කරන පළියට ඔවුන්ට අවසානයේදී අත් වන ප්‍රතිඵලය වෙනස් වෙයිද? කිසිසේත් නැත! ඇත්තටම කලකිරීමට හෝ උදහස් වීමට හෝ කිසිදු පදනමක් නැත. ඇයි නැත්තේ?

5. නපුර කරන්නන් තණකොළ හා සමාන වන්නේ මන්ද?

5 ගීතිකාකරු පිළිතුරු දෙන්නේ මෙලෙසය. “මක්නිසාද ඔවුහු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය. නිල් පලා මෙන් වියළෙන්නෝය.” (ගීතාවලිය 37:2) අලුත හටගත් තණකොළ සරුවට වැඩෙන බව පෙනෙන්නට පුළුවන. එනමුත් ඒවා සැණෙකින් වියළී පහව යයි. දුෂ්ටයන්ට සිදු වන්නෙත් ඒ හා සමාන දෙයකි. කොයි කාටත් පෙනෙන ඔවුන්ගේ සමෘද්ධිය තාවකාලිකය. ඔවුන් මිය යන විට වංක ලෙස එක් රැස් කළ ධන ස්කන්ධය ඔවුන්ට කිසි ලෙසකින්වත් ප්‍රයෝජනවත් නොවේ. අවසානයේදී සැමටම යුක්තියට මුහුණ දෙන්නට සිදු වේ. පාවුල් ලීවේ “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණය” බවය. (රෝම 6:23, NW) නපුරු සහ අධර්මිෂ්ඨ සියලුදෙනාටම අවසානයේදී තම නියමිත “කුලිය” ලැබේ. එසේනම්, එවැනි ජීවිතයක් ගත කිරීම මොන තරම් නිෂ්ඵලද!—ගීතාවලිය 37:35, 36; 49:16, 17.

6. අපට ගීතාවලිය 37:1, 2න් උගත හැකි පාඩම කුමක්ද?

6 එසේනම් නිමේෂයකට පවතින දුෂ්ටයන්ගේ ධන ස්කන්ධය අපගේ මානසික සුවයට බාධාවක් කරගත යුතුද? නැත. මේ අනුව ගීතා 37වන ගීතිකාවේ මුල් පද දෙකෙන් ඉගෙනගත යුතු පාඩම මෙයයි. යෙහෝවාට සේවය කිරීම සඳහා ඔබ තෝරාගත් ගමන් මාර්ගයෙන් ඉවත යෑමට ඔවුන් ලබා ඇති සමෘද්ධිය හේතුවක් කර ගන්නට එපා. ඒ වෙනුවට ආත්මික ආශීර්වාද හා ඉලක්ක කෙරෙහිම ඔබේ නෙත් යොමු කර තබාගන්න.—හිතෝපදේශ 23:17.

‘යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් යහපත කරන්න’

7. අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ මන්ද?

7 ගීතිකාකරු උනන්දු කරන්නේ ‘යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් යහපත කරන්න’ කියාය. (ගීතාවලිය 37:3අ) අප සිත්තැවුලෙන් හා සැකයෙන් පෙළෙද්දී පවා අපගේ විශ්වාසය යෙහෝවා කෙරෙහි ස්ථිරව තබාගැනීම අවශ්‍යය. පූර්ණ ආත්මික සුරක්ෂිතභාවයක් සපයා දෙන්නේ ඔහුය. මෝසෙස් පැවසුවේ “මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසය” කරන බවය. (ගීතාවලිය 91:1) මෙම සමාජ ක්‍රමයෙහි එන්න එන්නම වැඩි වන නීති විරෝධී ක්‍රියාවලින් අප කලබල වෙද්දී, අප කළ යුත්තේ වැඩි වැඩියෙන් යෙහෝවා මත රඳා සිටීමය. නිදසුනකට අපගේ කකුල උළුක්කු වී ඇත්නම්, මිතුරෙකුගේ පිහිටෙන් සිටගැනීමට හැකිවීම මහත් අස්වැසිල්ලකි. ඒ හා සමානව විශ්වාසවන්තකමින් ගමන් කිරීමට ප්‍රයත්න දරද්දී අපට යෙහෝවාගේ උපකාරය අවශ්‍ය වේ.—යෙසායා 50:10.

8. ක්‍රිස්තියානි දේවසේවයෙහි සහභාගි වීමෙන් දුෂ්ටයන්ගේ සමෘද්ධිය ගැන අනවශ්‍ය ලෙස කලබල වීම මඟහරවා ගත හැක්කේ කෙලෙසද?

8 දුෂ්ටයන්ගේ සමෘද්ධිය දැක කලබල වීම මනසට විසකුරුය. මෙම විස ඉවත් කිරීමට හැකි එක් ක්‍රමයක් නම් බැටළු ගුණැති අයව සොයා යෙහෝවාගේ අරමුණ පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමට ඔවුන්ට උපකාර කිරීමේ කාර්යයෙහි කඩිසරව නිරතව සිටීමය. දුෂ්ටකම් වැඩි වෙත්ම, අන් අයට උපකාර කිරීමේ කටයුතුවල අප වැඩි වැඩියෙන් නිරත වී සිටිය යුතුය. ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙලෙසය. “යහපත කිරීමටද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. මන්ද, එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය.” අපට කළ හැකි උපරිම “යහපත” නම් දෙවිගේ රාජ්‍යය පිළිබඳ තේජවත් ශුභාරංචිය අන් අය සමඟ බෙදාගැනීමය. අපගේ ප්‍රසිද්ධ දේශනා සේවය සැබවින්ම ‘ප්‍රශංසාවේ පූජාවක්ය.’—හෙබ්‍රෙව් 13:15, 16; ගලාති 6:10; NW.

9. ‘දේශයෙහි වාසය කිරීමට’ දාවිත් දෙන දිරිගැන්වීම පැහැදිලි කරන්න.

9 දාවිත් තවදුරටත් මෙසේ පවසයි. “දේශයෙහි වාසය කරමින් විශ්වාසවන්තකමින් ක්‍රියා කරන්න.” (ගීතාවලිය 37:3ආ, NW) දාවිත්ගේ කාලයේදී ‘දේශයෙන්’ අදහස් කළේ යෙහෝවා විසින් ඊශ්‍රායෙල් ජාතියට දෙන ලද ප්‍රදේශය වන පොරොන්දු දේශයයි. සලමොන්ගේ පාලන සමයේදී එහි දේශ සීමා උතුරේ දාන් සිට දකුණේ බෙයර්-ෂෙබා දක්වා විහිදී තිබිණ. ඊශ්‍රායෙල් ජාතියේ වාස භූමිය වූයේ මෙයයි. (1 රාජාවලිය 4:25) අද දින අප මිහිපිට කොතැනක විසුවද, ධර්මිෂ්ඨකමින් පිරුණු නව ලොවේදී මුළු ලෝකයම පාරාදීසයක් බවට පත් වන කාලය දෙස අපි පුල පුලා බලා සිටින්නෙමු. ඒ අතරවාරයේදී අපි ආත්මික සුරක්ෂිතභාවයක් අද්දකිමින් දිවි ගෙවන්නෙමු.—යෙසායා 65:13, 14.

10. අප ‘විශ්වාසවන්තකමින් ක්‍රියා කරන’ විට ලැබෙන ප්‍රතිඵල මොනවාද?

10 අප ‘විශ්වාසවන්තකමින් ක්‍රියා කරන’ විට ලබන ප්‍රතිඵල මොනවාද? දේවානුභාවයෙන් ලියන ලද හිතෝපදේශය අපට පවසන්නේ මෙලෙසය. “විශ්වාසවන්ත ක්‍රියා කරන මිනිසා බොහෝ ආශීර්වාද ලබන්නේය.” (හිතෝපදේශ 28:20, NW) අප ජීවත් වන ඕනෑම තැනක, අපට මුණගැසෙන සෑම කෙනෙකුටම ශුභාරංචිය දේශනා කිරීමට විශ්වාසවන්තව අඛණ්ඩ වෑයමක් දැරීමෙන් නිසැකවම යෙහෝවාගෙන් ආශීර්වාද නෙළාගත හැකිය. නිදසුනකට වසර 40කට පෙරාතුව ෆ්‍රැන්ක් සහ ඔහුගේ බිරිඳ වන රෝස් උතුරු ස්කොට්ලන්තයේ කුඩා නගරයක පුරෝගාමීන් ලෙස සේවය කිරීමට පටන්ගත්තෝය. මීට කලින් සත්‍යය ගැන උනන්දුවක් දැක්වූ කිහිපදෙනාත් ඒ වෙද්දී සත්‍යයෙන් අහක්ව ගොස් තිබිණ. මෙම පසුබෑමෙන් අධෛර්යය නොවූ මෙම පුරෝගාමි යුවළ දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යයට පා තැබූහ. දැන් එම කුඩා නගරයෙහි ශක්තිමත් සභාවක් තිබේ. ඇත්තටම මෙම යුවළගේ විශ්වාසවන්ත සේවයට යෙහෝවා ආශීර්වාද කර ඇත. ෆ්‍රැන්ක් නිහතමානීව මෙසේ පැහැදිලි කරයි. “අපිට තියෙන ලොකුම ආශීර්වාදය තමයි අපි තවමත් සත්‍යයේ ඉන්න එක හා යෙහෝවා වෙනුවෙන් යම් ප්‍රයෝජනවත් සේවයක් කරන්න පුළුවන් වී තිබීම.” ඔව්, අප ‘විශ්වාසවන්තකමින් ක්‍රියා කරන’ විට අපට බොහෝ ආශීර්වාද ලැබෙනවා පමණක් නොව ඒවා සඳහා අගයක්ද ඇති වේ.

“යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න”

11, 12. (අ) අපට “යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත්” විය හැක්කේ කෙලෙසද? (ආ) පෞද්ගලික අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබට තැබිය හැකි ඉලක්කයක් සඳහන් කරන්න. මෙයින් අත් විය හැකි ප්‍රතිඵලය කුමක්ද?

11 යෙහෝවා සමඟ අපගේ සබඳතා ශක්තිමත් කරගැනීමටත්, ඔහු කෙරෙහි අප තබන විශ්වාසය දිගටම තබාගැනීමටත්, අප “යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත්” විය යුතුය. (ගීතාවලිය 37:4අ) අප එවන් යමක් කරන්නේ කෙලෙසද? අපට මුහුණ දීමට සිදු වන තත්වය ගැන ඕනෑවට වඩා සිත සිතා සිටිනවා වෙනුවට අපි අමාරුවෙන් වුවද යෙහෝවා වෙතට අපගේ මුළු අවධානය යොමු කරන්නෙමු. මෙය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ඔහුගේ වචනය කියවීමට කාලය ගැනීමය. (ගීතාවලිය 1:1, 2) බයිබලය කියවීමෙන් ඔබ ප්‍රීතියක් ලබනවාද? යෙහෝවා ගැන වඩ වඩා ඉගෙනීමේ ඉලක්කය ඇතුව කියවනවා නම් ඉන් ප්‍රීතියක් ලැබෙන බව නොඅනුමානය. කොටසක් කියෙව්වායින් පසු ඔබෙන් මෙසේ අසාගන්න: ‘මෙම කොටසින් මම යෙහෝවා ගැන ඉගෙනගත්තේ මොනවාද?’ බයිබලය කියවන විට ඔබ ළඟ සටහන් පොතක් හෝ කොළයක් තබාගැනීම ප්‍රයෝජනවත් විය හැක. ඔබ කියෙවූ දෙයින් අර්ථවත් වන දේ ගැන මෙනෙහි කිරීම සඳහා කියවීම මදකට නතර කරන සෑම මොහොතකදීම එම කොටසින් යෙහෝවාගේ චිත්තාකර්ෂණීය ගුණාංග ගැන කියවෙන්නේ කුමක්ද කියා සටහන් කරගන්න. මේ අනුව තවත් ගීතිකාවක දාවිත් ගායනා කළේ මෙලෙසය. “මාගේ පර්වතයද මිදුම්කරුද වන යෙහෝවා, මාගේ මුඛයෙහි වචන හා සිතෙන් මෙනෙහි කරන දේ ඔබට ප්‍රසන්න වේවා.” (ගීතාවලිය 19:14, NW) දේවවචනය කෙරෙහි අපගේ පූර්ණ අවධානය යොමු කරමින් ඒ ගැන කල්පනා කිරීම යෙහෝවාට “ප්‍රසන්න” දෙයක්ය. එමෙන්ම ඉන් අපට සතුටක්ද අත් වේ.

12 අපගේ අධ්‍යයනයෙන් හා මෙනෙහි කිරීමෙන් සතුටක් ලබාගත හැක්කේ කෙලෙසද? යෙහෝවා සහ ඔහුගේ ගතිලක්ෂණ ගැන හැකි තරම් ඉගෙනීම අපගේ ඉලක්කය කරගත හැකිය. කෘතගුණෙන් පිරි හදවත්වලින් මෙනෙහි කළ හැකි තොරතුරු සම්භාරයක් අපට මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා සහ යෙහෝවාට ළං වන්න * වැනි පොත්වලින් ලබාගත හැකිය. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා “ඔබේ සිතේ ඉල්ලීම් ඉටු කරනවා ඇත” යනුවෙන් දාවිත් ධර්මිෂ්ඨයන්ට සහතික කරයි. (ගීතාවලිය 37:4ආ) ප්‍රේරිත යොහන් මතු දැක්වෙන වදන් ලිවීමට පෙලඹෙන්නට ඇත්තේ එවන් ආකාරයේ විශ්වාසයක් ඔහු තුළ හටගත් නිසා විය යුතුය. ඔහු පැවසුවේ මෙලෙසය. “ඔහු කෙරෙහි අපට තිබෙන විශ්වාසය නම් ඔහුගේ කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම දෙයකට ඔහු සවන් දෙන බවය. තවද, අප කුමක් ගැන ඉල්ලුවත් ඔහු අපට සවන් දෙන බව අපි දනිමු නම්, අප ඔහුගෙන් ඒ දේවල් ඉල්ලූ නිසා ඒවා අපට ලැබෙන බව අපි දනිමු.”—1 යොහන් 5:14, 15, NW.

13. මෑත කාලයේදී, බොහෝ රටවල රාජ්‍ය දේශනා කිරීමේ වැඩ කටයුතුවලදී දකින්නට හැකි වී තිබෙන්නේ කවර ව්‍යාප්තියක්ද?

13 දෙවිට අඛණ්ඩව සේවය කරන අය ලෙස අපගේ ප්‍රීතියට ප්‍රබලතම හේතුව වන්නේ යෙහෝවා සතු පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු වනවා දැකීමය. (හිතෝපදේශ 27:11) ඒකාධිපති පාලන ක්‍රම පැවති රටවල සිටින අපගේ සහෝදරයන් ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් සිදු කර ඇති පුදුම සේවාව ගැන අප දැනගන්නා විට අපගේ සිත් ප්‍රීතියෙන් ඉපිල යන්නේ නැද්ද? මෙම සමාජ ක්‍රමයේ අවසානයට මත්තෙන් තවත් නිදහස් දොරටු විවෘත වෙයිද කියා අප බලා සිටින්නේ ඉමහත් උද්‍යෝගයකිනි. නිදහසේ තමාට කැමති ආගමක් ඇදහීමට හැකි බටහිර රටවල වෙසෙන යෙහෝවාගේ සේවකයෝ එම රටවල තාවකාලික පදිංචිකරුවන් වන විදේශීය ශිෂ්‍යයන්ට, සරණාගතයන්ට හා වෙනත් අයට ඉමහත් උනන්දුවකින් දේශනා කරති. මෙම පුද්ගලයන් යම් දිනෙක තම මව්බිම කරා ගිය විට, සත්‍යයේ ආලෝකය ‘ඝනාන්ධකාරයෙහි’ පවා අඛණ්ඩව බැබළවීමට සලස්වයි යන්න අපගේ අවංක පැතුමයි.—මතෙව් 5:14-16.

“ඔබේ මාර්ගය යෙහෝවාට භාර දෙන්න”

14. අපට යෙහෝවා මත රඳා සිටිය හැකි බවට තිබෙන සාක්ෂි මොනවාද?

14 අපව සිත්තැවුලට පත් කරන දේවල් හා අපගේ සිතට මහත් බරක් සේ දැනෙන දේවල් ඉවත් කරගත හැකි බවට දැන සිටීම මොන තරම් සහනයක්ද! ඒවා ඉවත් කරගත හැකි වන්නේ කෙසේද? දාවිත් පිළිතුරු දෙමින් මෙසේ පවසයි. “ඔබේ මාර්ගය යෙහෝවාට භාර දෙන්න. ඔහු මත රඳා සිටින්න. එවිට ඔහු ක්‍රියා කරන්නේය.” (ගීතාවලිය 37:5, NW) යෙහෝවා මත විශ්වාසයෙන් යුතුව රඳා සිටිය හැකි බවට අපගේ සභාවලින් ලබාගත හැකි සාක්ෂි එමටය. (ගීතාවලිය 55:22) පූර්ණ-කාලීන සේවයෙහි නියුතු පුරෝගාමීන්, සංචාරක අවේක්ෂකයන්, මිෂනාරිවරුන් හෝ බෙතෙල් නිවාසවල සේවය කරන ස්වේච්ඡා සේවකයන්ට යෙහෝවාගේ රැකවරණය කොතරම් විශ්වාසවන්තද යන්න කියා පෑමට පුළුවන. ඔවුන් අතුරින් ඔබ දන්නා හඳුනන අය සමඟ කතා කර යෙහෝවා ඔවුන්ට උපකාර කර ඇති ආකාරය ගැන විමසන්න. දුෂ්කර අවස්ථාවලදී පවා යෙහෝවාගේ හස්තය කිසිවිටෙකත් කොට නැති බව පෙන්නුම් කරන අද්දැකීම් රැසක් ඔබේ සවනට වැකෙනවා නිසැකය. එසේය, යෙහෝවා සැමවිටම ජීවත් වීමට අවශ්‍ය දේ සපයයි.—ගීතාවලිය 37:25; මතෙව් 6:25-34.

15. දෙවිගේ ජනයාගේ ධර්මිෂ්ඨකම දිදුලන්නේ කෙලෙසද?

15 අපගේ විශ්වාසය යෙහෝවා වටා කේන්ද්‍රගත කරමින්, ඔහු මත පූර්ණ ලෙස රඳා සිටිනවා නම් අපට ගීතිකාකරු ඊළඟට පවසන වදන් අද්දකින්නට පුළුවන. “ඔහු ඔබේ ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද, ඔබේ යුක්තිය මධ්‍යාහ්නය මෙන්ද නික්මවන්නේය.” (ගීතාවලිය 37:6, NW) යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අප ගැන නොයෙකුත් අවස්ථාවලදී බොරු ප්‍රචාරය කෙරේ. එනමුත් අවංක සිත් ඇති අයගේ ඇස් විවෘත කරන යෙහෝවා, අපගේ ප්‍රසිද්ධ දේවසේවය යෙහෝවා සහ අසල්වාසියා කෙරෙහි ප්‍රේමයෙන් පොලඹවනු ලබන යමක් බව තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරයි. ඒත් සමඟ අපගේ නිර්දෝෂ හැසිරීම ගැන නොයෙකුත් බොරු ප්‍රචාරය වුවත්, අවසානයේදී සැබෑව හෙළි වේ. මොනම පීඩාවක් හෝ විරුද්ධවාදිකමක් හෝ මැද වුවත්, යෙහෝවා අපව උසුලයි. ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ ජනයාගේ ධර්මිෂ්ඨකම මධ්‍යාහ්නයේ මුදුන්පත් වී ඇති හිරු මෙන් දිදුලයි.—1 පේතෘස් 2:12.

“නිශ්ශබ්දව සිටින්න . . . ඉවසිල්ලෙන් බලා සිටින්න”

16, 17. ගීතාවලිය 37:7ට එකඟව දැන් කාලය වන්නේ කවර ස්ථාවරයක සිටීමද? ඒ මන්ද?

16 ගීතිකාකරු ඊළඟට පවසන වචන මේවාය. “යෙහෝවා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න. ඔහු කෙරෙහි ඉවසිල්ලෙන් බලා සිටින්න. තමාගේ මාර්ගය සඵල කරගන්නා හා තම අදහස් ක්‍රියාත්මක කරන්නා නිසා කෝප නොවන්න.” (ගීතාවලිය 37:7, NW) දාවිත් මෙහිදී අවධාරණය කරන්නේ යෙහෝවා ක්‍රියාත්මක වන අවස්ථාව තෙක් අප ඉවසිල්ලෙන් බලා සිටීමේ අවශ්‍යතාවයි. මෙම සමාජ ක්‍රමයේ අවසානය තවමත් පැමිණ නැතත්, එය මැසිවිලි නැඟීමට හේතුවක් නොවේ. මුලින් සිතුවාටත් වඩා යෙහෝවාගේ දයාව සහ ඉවසිල්ල මහත් බව අප නිරීක්ෂණය කර නැද්ද? අවසානය පැමිණෙන්නට පෙරාතුව ශුභාරංචිය දේශනා කිරීමෙහි කඩිසරව නියැලෙන අතරතුරේදී අපටද ඉවසිල්ලෙන් බලා සිටිය හැකි බව දැන් පෙන්වන්නට පුළුවන්ද? (මාර්ක් 13:10) අපගේ ප්‍රීතිය හා අප අද්දකින ආත්මික සුරක්ෂිතභාවය සොරාගත හැකි හිතුවක්කාර ක්‍රියාවලින් වැළකී සිටීමට කාලය දැන්ය. සාතන්ගේ ලෝකයේ දූෂිත බලපෑම්වලට පෙරටත් වඩා එරෙහිව සිටින්නට කාලය දැන්ය. සදාචාර පවිත්‍රකම පවත්වාගනිමින්, යෙහෝවා ඉදිරියේ තිබෙන අපගේ ධර්මිෂ්ඨ ස්ථාවරය කිසි විටෙකත් පරදුවට නොතබා සිටිය යුතු කාලය දැන්ය. එසේනම් අපි දුරාචාරමය සිතුවිලි පලවාහරිමු. විරුද්ධ ලිංගයේ අය හෝ සම ලිංගයේ අය සමඟ පවා නොහොබිනා අන්දමින් හැසිරීමෙන් වැළකී සිටිමු.—කොලොස්සි 3:5.

17 දාවිත් අපට මෙලෙස උපදෙස් දෙයි. “තරහෙන් වැළකී උදහස අත්හරින්න. කල නොකිරෙන්න, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නමුත් යෙහෝවා කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුම කරගන්නෝය.” (ගීතාවලිය 37:8, 9) ඔව්, යෙහෝවා පොළොවේ සියලු දූෂණද ඒවාට වගකිව යුතු සියල්ලන්වද පොළොවෙන් තුරන් කරන කාලය පැමිණෙන අවස්ථාව දෙස අපට නිසැකකමින් යුතුව බලා සිටිය හැක. එම කාලය අත ළඟය!

“මද කලකින්”

18, 19. ගීතාවලිය 37:10න් ඔබ ලබන දිරිගැන්වීම විස්තර කරන්න.

18 “මද කලකින් දුෂ්ටයා නැති වන්නේය. එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය, ඔහු සම්බ නොවන්නේය.” (ගීතාවලිය 37:10) මෙම සමාජ ක්‍රමයේ අවසානය මෙන්ම යෙහෝවාගෙන් ස්වාධීනව සිටීමට දරා ඇති භයානක ප්‍රයත්නයේ නිමාව ළඟා වෙද්දී මෙම වදන් අපට මොන තරම් දිරිගැන්වීමක් දෙනවා ඇද්ද! මිනිසා කවර ආණ්ඩුවක් හෝ අධිකාරයක් පිහිටෙව්වද එය බෙහෙවින් අසාර්ථක වී ඇත. දැන් අප එළඹෙන්නේ දෙවිගේ පාලනය යළිත් ඇරඹෙන කාලයටයි. එය වනාහි සැබෑ දිව්‍යාණ්ඩු පාලනයකි. එනම් යේසුස් ක්‍රිස්තුස්ගේ අතෙහි ක්‍රියාත්මක වන යෙහෝවාගේ රාජ්‍යයය. ලෝකයේ සියලුම කටයුතු අතට ගන්නා මෙම දේවරාජ්‍යය ඊට විරුද්ධව සිටින සියලුදෙනාව තුරන් කර දමනවා ඇත.—දානියෙල් 2:44, 45.

19 දේවරාජ්‍යයේ පාලනය යටතේ පවතින නව ලෝකයෙහි ‘දුෂ්ටයෙක්’ සෙව්වද කිසිවෙකු සොයාගැනීමට ඔබට හැකි වන්නේ නැත. ඇත්තෙන්ම යෙහෝවාගේ කැමැත්තට විරුද්ධව කැරලිගසන ඕනෑම අයෙකු විගස පොළොවෙන් ඉවත් කරනු ලැබේ. දෙවිගේ පරමාධිපත්‍යයට පහර ගසන හෝ දිව්‍ය අධිකාරයට යටත් වීම ප්‍රතික්ෂේප කරන කිසිවෙකු එහි සිටින්නේ නැත. ඔබේ අසල්වාසීන් සියලුදෙනාම යෙහෝවාව සතුටු කිරීමේ අදහසින් එක්සිත්ව සිටිනවා ඇත. ප්‍රතිඵලයක් ලෙස භුක්ති විඳිය හැකි සුරක්ෂිතභාවය ගැන සිතා බලන්න. දොරගුලු, ජනෙල් පොලු කිසිවක් නැත. ඔව්, විශ්වාසය සහ සන්තෝෂයට බාධාවක් විය හැකි කිසිවක් නැත!—යෙසායා 65:20; මීකා 4:4; 2 පේතෘස් 3:13.

20, 21. (අ) ගීතාවලිය 37:11හි සඳහන් “මොළොක් ගුණ ඇත්තෝ” කවරහුද? ඔවුන් ‘මහත් සමාදානයක්’ ලබන්නේ කොතැනද? (ආ) අප වඩාත් ශ්‍රේෂ්ඨ දාවිත්ව අනුකරණය කරනවා නම් භුක්ති විඳිය හැක්කේ කවර ආශීර්වාදද?

20 අනතුරුව “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය.” (ගීතාවලිය 37:11අ) එහෙත් මෙම “මොළොක් ගුණ ඇත්තෝ” කවරහුද? “මොළොක් ගුණය” ලෙස පරිවර්තනය කර ඇති වචනය “පීඩා කිරීම, පහත් කිරීම, නිග්‍රහ කිරීම” යන අරුත් දෙන ක්‍රියා පදයකින් සෑදී ඇත. ‘මොළොක් ගුණ ඇත්තන්’ යනු විඳින්නට සිදු වූ සෑම අයුක්තියක් නිවැරදි කරන තෙක් යටහත් පහත් ලෙස යෙහෝවා මත ඉවසිලිවන්තව රඳා සිටින අය බව පැහැදිලිය. “ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:11ආ) දැන් පවා සැබෑ ක්‍රිස්තියානි සභාවෙහි දක්නට ලැබෙන ආත්මික පාරාදීසයෙහි මහත් සමාදානයක් අද්දකින්නට පුළුවන.

21 මුහුණ දීමට සිදු වන තාඩන පීඩනවලින් තවමත් සහනයක් නොලැබුණද අපි එකිනෙකාට අත හිත දෙමින් අධෛර්යයට පත්ව සිටින අයට අස්වැසිල්ලක් වෙමු. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවාගේ ජනයා අතර සැබෑ අභ්‍යන්තර තෘප්තියක් පතුරුවනු ලැබේ. එඬේරුන් ලෙස පත් කර ඇති සහෝදරයන් ප්‍රේමණීය ලෙස අපගේ ආත්මික අවශ්‍යතා මෙන්ම ඇතැම් අවස්ථාවලදී අපගේ භෞතික අවශ්‍යතාද සපුරාලති. ප්‍රතිඵලයක් ලෙස ධර්මිෂ්ඨකම නිසා විඳින්නට සිදු වන දේවල් විඳදරාගන්නට අපට හැකියාව ලැබේ. (1 තෙසලෝනික 2:7, 11; 1 පේතෘස් 5:2, 3) මෙලෙස අද්දකින සාමය මොන තරම් වටිනා සම්පතක්ද! අත ළඟව තිබෙන සාමදායී පාරාදීසයෙහි සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුවද අපට තිබේ. එසේනම්, අවසානය දක්වා විශ්වාසවන්තව සේවය කිරීමට යෙහෝවා කෙරෙහි ජ්වලිතයෙන් පෙලඹී සිටි වඩාත් ශ්‍රේෂ්ඨ දාවිත් වන ක්‍රිස්තුස් යේසුස්ව අනුකරණය කරමු. (1 පේතෘස් 2:21) එසේ කිරීමෙන් අපගේ සන්තෝෂය දිගටම පවත්වාගනිමින්, අපගේ අතිශය ප්‍රීතියට දායක වන තැනැත්තා වන අපගේ දෙවි යෙහෝවාට අඛණ්ඩව ප්‍රශංසා කරමු.

[පාදසටහන]

^ 12 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

ඔබට පිළිතුරු දිය හැකිද?

• ඔබ ගීතාවලිය 37:1, 2න් ඉගෙනගත්තේ කවර පාඩම්ද?

• ඔබට “යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත්” විය හැක්කේ කෙලෙසද?

• අපට යෙහෝවා මත රඳා සිටින්නට හැකි බවට තිබෙන සාක්ෂි මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් ‘අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැත’

[10වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් යහපත කරන්න’

[11වන පිටුවේ පින්තූරය]

ඔබ යෙහෝවා ගැනත් ඔහුගේ ගතිලක්ෂණ ගැනත් හැකි තරම් ඉගෙනගැනීමෙන් ඔහු කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න

[12වන පිටුවේ පින්තූරය]

“මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය”