Skip to content

පටුනට යන්න

රූපවාහිනි වැඩසටහනක් නිසා ඇය දෙවිට ගෞරවය දෙන්න පෙලඹුණා

රූපවාහිනි වැඩසටහනක් නිසා ඇය දෙවිට ගෞරවය දෙන්න පෙලඹුණා

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

රූපවාහිනි වැඩසටහනක් නිසා ඇය දෙවිට ගෞරවය දෙන්න පෙලඹුණා

“සමහරුන් ඊර්ෂ්‍යාවෙන්ද තරඟකාරීකමෙන්ද ක්‍රිස්තුස් ගැන දේශනා කරන බව සැබෑවක් වුවත් අන් අය එය කරන්නේ හොඳ සිතිනි” යනුවෙන් ප්‍රේරිත පාවුල් පැවසුවේය. (ෆිලිප්පි 1:15, NW) සමහර අවස්ථාවල යෙහෝවාගේ සෙනඟව අපකීර්තියට පත් කිරීමට වෑයම් දරන අය නොදැනුවත්වම අවංක හදවත් ඇති අයට සත්‍යය දැනගැනීමට මඟ සලස්වා තිබේ.

වර්ෂ 1998 නොවැම්බර් මාසයේදී, ප්‍රංශයේ ජාතික රූපවාහිනියේ වාර්තාමය වැඩසටහනක් මගින් ප්‍රංශයේ ලූව්‍ය නුවර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වන බෙතෙල් නිවසේ රූප දසුන් කිහිපයක් පෙන්වන ලදි. එම වැඩසටහන සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ ප්‍රතිචාරයන් ලැබුණත් නොසිතූ අයුරින් එයින් යම් ශුභවාදී ප්‍රතිඵල ලැබුණි.

එම වැඩසටහන නැරඹූ අය අතර සිටි අයෙකි ඇනා-පොලා. ඇය ජීවත් වූයේ බෙතෙල් නිවසේ සිට කිලෝමීටර් 60ක් එහායින්. රැකියාවක් සොයමින් සිටි ඈ දික්කසාද වූ දෙදරු මවක්. පසුදා උදෑසන ඇය බෙතෙල් නිවස ඇමතුවේ රැකියා ප්‍රස්තාවක් තිබේදැයි කියා දැනගැනීමටයි. ඇය පැවසුවේ මෙසේයි. “ඔය ස්ථානය රූපවාහිනියෙන් දැක්කාම මට හිතුණා, මේක හොඳ තැනක් වගේම කරන වැඩකටයුතු වැඩදායකයි කියලා.” නමුත් බෙතෙල් නිවසේ වැඩ කරන සියලුදෙනාම ස්වේච්ඡාවෙන් තම කාලය කැප කරන සේවකයන් බව දැනගත් විට ඇය මහත් සේ පුදුමයට පත් වූවාය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දැනගත් පසු සාක්ෂිකරුවන් ඇයව බැහැදැකීමට පැමිණෙනවාට ඇය කැමැත්ත පළ කළාය.

එම ප්‍රදේශයේ සභාවක සිටින පූර්ණ කාලීන සේවිකාවක් වන ලීනා ඇයව බැහැදැකීමට ගියාය. ඇනා-පොලා සමඟ ඇය බොහෝ වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇනා-පොලා ඇගෙන් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත * ලබාගත්තාය. ඊළඟ සතිය වන විට ඇනා-පොලා සම්පූර්ණ පොතම කියවා තිබූ අතර ඇයට ප්‍රශ්න රාශියක් ඉස්මතු වී තිබුණි. ඇය බයිබල් පාඩමකට කැමැත්ත පළ කළාය. ඇනා-පොලා මෙසේ අදහස් දැක්වූවාය. “දෙවිගේ වචනය දැනගැනීමට ලැබුණ කදිම අවස්ථාවක් මේක. මීට කලින් කවමදාකවත් මගේ ළඟ බයිබලයක් තිබුණේ නැහැ.”

ජනවාරි මස ඇනා-පොලා බෙතෙල් නිවස බැලීමට පැමිණියාය. ඊළඟ සතියේ ඈ ඇගේ පළවෙනි ක්‍රිස්තියානි රැස්වීමට සහභාගි වූවාය. ඉන් ටික කාලයකට පසු ඈ ඇගේ දරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමටත් ඇගේ මිතුරන්ට දේශනා කිරීමටත් පටන්ගත්තාය. ඇය මෙසේ පවසයි. “මම ඉගෙනගනිමින් සිටි බයිබල් සත්‍යය ගැන අන් අයට නොකියා ඉන්න මට බැරුව ගියා. මට ඕනේ වුණා බයිබල් සත්‍යය අන් අය සමඟ බෙදාගෙන ඔවුන්ව සනසන්න.” පෞද්ගලික ගැටලු කිහිපයක් ජයගැනීමට පොරබැදීමෙන් අනතුරුව ඇනා-පොලා නොකඩවා රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තාය. ඇය ඉක්මනින් ප්‍රගතියක් ලැබූ අතර 2002 මැයි 5වන දා ඈ බව්තීස්ම වූවාය.

ඊට අමතරව ඇනා-පොලාගේ යහපත් ආදර්ශයත් ඇය ජ්වලිත ලෙස දේශනා කිරීමත් නිසා ඇගේ මවද බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර ඉතා ඉක්මනින්ම බව්තීස්ම වූවාය. “මට දැනෙන සතුට විස්තර කරන්න වචන මදි. යෙහෝවා ගැන දැනගන්න ලැබීම ගැනත් ඔහුට සේවය කරන්න ලැබීම ගැනත් ඔහු දුන් හැම ආශීර්වාදයකටමත් මම හැමදාමත් යෙහෝවාට ස්තුති කරනවා” යැයි ඇනා-පොලා පවසන්නීය.

[පාදසටහන]

^ 6 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[8වන පිටුවේ පින්තූර]

ඉහළ: ඇනා-පොලා

පහළ: ප්‍රංශයේ ශාඛා කාර්යාලයට ඇතුල් වන ස්ථානය