Skip to content

පටුනට යන්න

“ස්තුතිවන්ත වන බව පෙන්වන්න”

“ස්තුතිවන්ත වන බව පෙන්වන්න”

“ස්තුතිවන්ත වන බව පෙන්වන්න”

“ඔබේ සිත් පාලනය කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට ඉඩ දෙන්න . . . ස්තුතිවන්ත වන බවද පෙන්වන්න.”—කොලොස්සි 3:15, NW.

1. ක්‍රිස්තියානි සභාව තුළ සහ සාතන්ගේ පාලනයට නතු වී තිබෙන ලෝකය අතර අප දකින්නේ කෙබඳු වෙනසක්ද?

ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 94,600හි ස්තුතිවන්ත ස්වභාවයක් අපට දක්නට ලැබේ. සෑම රැස්වීමක්ම යාච්ඤාවකින් පටන්ගෙන, යෙහෝවාට ස්තුතිය ප්‍රකාශ කරන යාච්ඤාවකින් අවසන් වෙයි. සාක්ෂිකරුවන් අතර බාල, මහලු, තරුණ, දිගු කලක් සේවය කර ඇති හෝ නවක කොයි කවුරුත් නමස්කාරයේදී හා ඇසුරේදී “ඔයාට ස්තුතියි,” “ඒක සුළු දෙයක්” යන කියමන් ප්‍රකාශ කරනවා නිතර අපට අසන්නට ලැබේ. (ගීතාවලිය 133:1) ‘යෙහෝවාව නොදන්නාවූද ශුභාරංචියට කීකරු නොවන්නාවූද’ බොහෝදෙනෙකු අතර පවතින ආත්මාර්ථකාමී ස්වභාවයට වඩා මෙය මොන තරම් වෙනස්ද! (2 තෙසලෝනික 1:8, NW) අප ජීවත් වෙන්නේ ස්තුතිපූර්වක නොවන ලෝකයකය. ඇරත් මේ ලෝකයේ දෙවියා කවුදැයි අප සලකන විට ඒ ගැන පුදුම වෙන්නට දෙයක්ද නැත. ඒ සාතන් වන යක්ෂයා වන අතර, මිනිස් සමාජය පුරා පැතිර පවතින්නේ ඔහුගේ ඒ ආත්මාර්ථකාමී, අහංකාර, කැරලිකාර ස්වභාවයයි.—යොහන් 8:44; 2 කොරින්ති 4:4; 1 යොහන් 5:19.

2. අප අවනත විය යුත්තේ කිනම් අවවාදයටද? අප සලකා බලනු ඇත්තේ කිනම් ප්‍රශ්නද?

2 සාතන්ගේ ලෝකයෙන් වට වී සිටින අප, එහි ආකල්පවලින් දූෂණය නොවීමට වගබලා ගත යුතුය. පළමු සියවසේදී, ප්‍රේරිත පාවුල් එෆීසයේ ක්‍රිස්තියානීන්ට මතක් කළේ මෙසේයි. “කලක් ඔබ, මේ ලෝකයේ සමාජ ක්‍රමය ලෙසද, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන ස්වභාවය වන ආකාශයේ බලයේ පාලකයාගේ කැමැත්ත ලෙසද ඒ දේවල ගමන් කළහුය. එසේය, අපි සියල්ලෝම ඔවුන් සමඟ මාංසයේ සහ සිතුවිලිවල පෙලඹීම් මත අපේ මාංසයේ ආශාවලට අනුව කලක් හැසිරුණෙමු. අන් අය මෙන් අපිද, ස්වභාවයෙන්ම උදහසේ දරුවෝව සිටියෙමු.” (එෆීස 2:2, 3, NW) අද දින බොහෝදෙනෙකු සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. එසේනම්, ස්තුතිවන්ත වීමේ ස්වභාවයක් පවත්වාගැනීමට අපට හැක්කේ කෙසේද? යෙහෝවා සපයන්නේ කිනම් උපකාරද? අප සැබවින්ම ස්තුතිවන්ත වන බව අපට ඇත්තටම පෙන්විය හැක්කේ කිනම් ප්‍රායෝගික ආකාරවලින්ද?

ස්තුතිවන්ත වීම සඳහා තිබෙන හේතු

3. අප යෙහෝවාට ස්තුතිවන්ත වන්නේ කුමක් සඳහාද?

3 අප කෘතඥපූර්වක විය යුත්තේ අපගේ මැවුම්කරු හා ජීවිතදායකයාණන් වන යෙහෝවා දෙවිටය. විශේෂයෙන්ම ඔහු අපට ත්‍යාගශීලීව දානය කර ඇති දීමනා ගැන සලකන විට අප එසේ කළ යුතුයි. (යාකොබ් 1:17) අප ජීවත්ව සිටීම ගැන අපි හැම දවසකම යෙහෝවාට ස්තුති කරන්නෙමු. (ගීතාවලිය 36:9) අප අවට සැම තැනකම අප දකින්නේ ඉර, සඳ, තරු වැනි යෙහෝවාගේ හස්ත කර්මාන්තයන් පිළිබඳ සාක්ෂිය. ජීවය රැක දෙන ඛනිජ ද්‍රව්‍ය අඩංගු අපේ පෘථිවි ග්‍රහයා නමැති ගබඩා ගෙය, නිවැරදි සමානුපාතයෙන් යුත් අතිවැදගත් වායු සම්මිශ්‍රණයකින් හෙබි වායුගෝලය, සංකීර්ණ වූ ස්වාභාවික චක්‍රයන් යන මේ සියල්ලෙන් සාක්ෂි දෙන්නේ අප අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්ට කෘතඥපූර්වක විය යුතු බවය. “මාගේ දෙවිවූ යෙහෝවා, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය. ඒවා ප්‍රකාශ කරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි. නමුත් ඒවා ගණන් කරන්ට පුළුවන්වාටත් වැඩිය.”—ගීතාවලිය 40:5.

4. අපේ සභාවේ අප අද්දකින සන්තෝෂවත් ඇසුර ගැන අප යෙහෝවාට ස්තුති කළ යුත්තේ මන්ද?

4 භෞතික පාරාදීසයක ජීවත් නොවුවද, අද දින යෙහෝවාගේ ජනයා ආත්මික පාරාදීසයක ජීවත් වන්නේ ඉමහත් තෘප්තියක් ලබමින්ය. අපගේ රාජ්‍ය ශාලාවලදී, සමුළු සහ එක්රැස්වීම්වලදී, අපි අපගේ සෙසු ඇදහිලිවන්තයන් අතර දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වෙනවා අද්දකින්නෙමු. ඇත්තෙන්ම, ආගමකට යාන්තමින් ගෑවී සිටින හෝ කොහෙත්ම ආගමික පසුබිමක් නැති ජනයාට හෝ දේශනා කරන විට, ඇතැම් සාක්ෂිකරුවන් කරන්නේ පාවුල් තම ලිපියේ ගලාතිවරුන්ට විස්තර කර ඇති දෙයයි. පළමුව ඔවුහු “මාංසයේ ක්‍රියා” ගැන පැහැදිලි කර, අනතුරුව ඔවුන් දැක තිබෙන්නේ කුමක්දැයි තමන්ට සවන් දෙන අයගෙන් අසති. (ගලාති 5:19-23, NW) වැඩිදෙනෙක් විගස පිළිගන්නා කාරණයක් නම්, වර්තමාන මිනිස් සමාජයේ මෙම ලක්ෂණ බහුලව ඇති බවයි. දෙවිගේ ආත්මයේ පල පිළිබඳව විස්තරය ඔවුන්ට පෙන්වා දෙනු ලැබ, ඉන්පසු තමන්ගේ ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවට ආරාධනා කරනු ලබන අවස්ථාවේදී ඔවුහු මේ පිළිබඳව සාක්ෂි තම ඇස් පනාපිටම දකින අතර, “ඇත්තෙන්ම දෙවි ඔබ අතරේ සිටින්නේය” කියා විගස පිළිගනිති. (1 කොරින්ති 14:25, NW) මෙය එක් ප්‍රදේශයක රාජ්‍ය ශාලාවට සීමා වූවක් නොවේ. ඔබ කොහේ ගියත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන හයකට වැඩි පිරිසකගෙන් කාව හමු වුණත්, ඔබට එම සන්තෝෂවත් ප්‍රීතිමත් ස්වභාවය ඔවුන් තුළ දැකිය හැකියි. ඇත්තෙන්ම, මෙම ගොඩනංවනසුලු ඇසුර යෙහෝවාට ස්තුති කිරීමට හේතුවක් වෙයි. තවද මෙවන් වාතාවරණයක් ඇති වී තිබෙන්නේ ඔහු තම ආත්මය ඔවුන්ට දානය කිරීම නිසයි.—ශෙපනියා 3:9; එපීස 3:20, 21.

5, 6. දෙවිගේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය වන මිදීමේ මිලය සඳහා ස්තුතිවන්ත වන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?

5 උතුම්ම ත්‍යාගය, හෙවත් යෙහෝවා දානය කර ඇති වඩාත් පරිපූර්ණම ත්‍යාගය වනුයේ සිය පුත්‍ර යේසුස් මගින් සැපයූ මිදීමේ පූජාවයි. “දෙවි අපට මෙසේ ප්‍රේම කළේ නම්, අපිත් එකිනෙකාට ප්‍රේම කිරීමට බැඳී සිටින්නෙමු” යයි ප්‍රේරිත යොහන් ලීවේය. (1 යොහන් 4:11, NW) එසේය, අප මිදීමේ මිලය උදෙසා ස්තුතිවන්ත වන බව පෙන්වන්නේ යෙහෝවාට අපගේ ප්‍රේමය හා කෘතඥතාව වචනවලින් ප්‍රකාශ කිරීමෙන් පමණක් නොව, අනුන් කෙරෙහි අපට තිබෙන ප්‍රේමය විදහාපාන අයුරින් අපගේ ජීවිත ගෙන යෑමෙනි.—මතෙව් 22:37-39.

6 ඉපැරණි ඊශ්‍රායෙල් ජාතිය සමඟ යෙහෝවා කටයුතු කළ ආකාරය සලකා බැලීම මගින්, කෘතඥතාව පෙන්වීම ගැන අපට බොහෝ දේවල් ඉගෙනගැනීමට හැකියි. මෝසෙස් තුළින් ජාතියට දුන් නීතිය මගින් යෙහෝවා එම ජනයාට බොහෝ පාඩම් ඉගැන්වූයේය. ‘දැනුම සහ සත්‍යයේ නියම ස්වරූපය නීතිය තුළ ගැබ්ව තිබෙන’ බැවින්, “ස්තුතිවන්ත වන බවද පෙන්වන්න” යන පාවුල්ගේ අවවාදය අනුගමනය කිරීමට මහෝපකාරී වන බොහෝ දේවල් එයින් අපට ඉගෙනගත හැකියි.—රෝම 2:20; කොලොස්සි 3:15; NW.

මෝසෙස්ගේ නීතිය තුළින් පාඩම් තුනක්

7. දසයෙන් කොටසක් දීමේ විධිවිධානය ඊශ්‍රායෙලිතයන්ට යෙහෝවා කෙරෙහි වූ තම ස්තුතිවන්තභාවය පෙන්වීමට ප්‍රස්තාවක් වූයේ කෙසේද?

7 මෝසෙස්ගේ නීතිය තුළ, යෙහෝවා තමන්ගේ යහපත්කම කෙරෙහි අවංකව අගය පළ කළ හැකි ක්‍රම තුනක් සැපයීය. පළමුව, දසයෙන් කොටස ගත හැකියි. දේශයේ අස්වැන්නේ දසයෙන් කොටසක්ද,‘ගව එළු රැළවලින් දසයෙන් කොටසක්ද’ “යෙහෝවාට ශුද්ධ” යමක් ලෙස වෙන් කළ යුතුව තිබිණි. (ලෙවී කථාව 27:30-32) ඊශ්‍රායෙලිතයන් කීකරු වූ විට, යෙහෝවා ඔවුන්ට බහුල ලෙස ආශීර්වාද කළේය. “මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස ඔබ ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් ඔබට අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් ඔබට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසි කර බලන්නැයි සේනාවල යෙහෝවා කියන්නේය.”—මලාකී 3:10.

8. දසයෙන් කොටස දීම ස්වේච්ඡා පූජා ඔප්පු කිරීමෙන් වෙනස් වූයේ කෙසේද?

8 දෙවෙනුව, දසයෙන් කොටස දීමේ අවශ්‍යතාවට අමතරව, ස්වේච්ඡා පූජා ඉදිරිපත් කිරීමට යෙහෝවා ඊශ්‍රායෙලිතයන්හට විධිවිධානයක් ඇති කළේය. ඔහු මෝසෙස්ට උපදෙස් දුන්නේ ඊශ්‍රායෙලිතයන්ට මෙසේ පවසන ලෙසටයි. “මා විසින් ඔබ පමුණුවන දේශයට ඔබ ඇතුල්ව, දේශයේ රොටි කන කල්හි යෙහෝවාට එසවීමේ පූජාවක් ඔප්පු කරන්න.” ‘ප්‍රථමකොට අනාපු පිටියෙන් සාදන ලද රොටි’ සහිත ඔප්පු කරන ලද ඔවුන්ගේ සමහරක් ප්‍රථම පල ඔවුන්ගේ පරම්පරාවන් පුරාම ‘යෙහෝවාට පූජාවක්’ විය යුතුව තිබිණි. මෙම ප්‍රථම පලවලට විශේෂ ප්‍රමාණයක් දීම අවශ්‍ය නොවූ බව මෙහිදී සැලකිල්ලට ගන්න. (ගණන් කථාව 15:18-21) එහෙත්, ඊශ්‍රායෙල්වරුන් ස්තුති දීමේ පූජාවක් ඔප්පු කරන කල්හි, ඔවුන්ට යෙහෝවාගෙන් ආශීර්වාද ලැබෙන බවට සහතිකයක් තිබිණි. ඒ හා සමාන විධිවිධානයක්, එසකියෙල්ගේ දර්ශනය තුළ දේවමාලිගාව සම්බන්ධයෙන්ද දක්නට තිබිණි. අපට කියවීමට තිබෙන්නේ මෙලෙසයි. “සියලුම දේවල සියලුම ප්‍රථම පලවලින් පළමු ඒවාද ඔබගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ලද පූජකයන්ට වන්නේය. ඔබේ ගෙය මතුයෙහි ආශීර්වාදයක් පවතින පිණිස ඔබගේ අනාපු පිටියෙන් පළමු කොටස පූජකයාට දෙන්න.”—එසකියෙල් 44:30.

9. කරල් ඇහිඳීමේ පිළිවෙත තුළින් යෙහෝවා ඉගැන්වූයේ කුමක්ද?

9 තුන්වෙනුව, යෙහෝවා ඇති කළේ කරල් ඇහිඳීමේ පිළිවෙතයි. දෙවි අණ කළේ මෙසේයි. “ඔබේ දේශයේ ගොයම් කපන කල, ඔබේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න. කපන විට වැටෙන කරල් එකතු කර නොගන්න. ඔබේ මිදි වත්තේ දෙවරක් වලු කපා නොගන්න. ඔබේ මිදි වත්තේ වැටී තිබෙන පල එකතු නොකරන්න. දිලින්දාටද විදේශියාටද ඒවා අත්හරින්න. මම ඔබේ දෙවිවූ යෙහෝවාය.” (ලෙවී කථාව 19:9, 10) මේ වතාවේද දිය යුතු කිසිදු ප්‍රමාණයක් ගැන සඳහන් කරනු ලැබුවේ නැත. දිලින්දන්ට කොපමණ ඉතුරු කරනවාද යන්න තීරණය කිරීමට එක් එක් ඊශ්‍රායෙලිතයාට නිදහස තිබිණි. ප්‍රඥාවන්ත සලමොන් රජ ඉතා සුදුසු ලෙස පැහැදිලි කළේ මෙසේයි. “දුප්පතුන්ට අනුකම්පා කරන්නා යෙහෝවාට ණයට දෙන්නේය. ඔහුගේ හොඳ ක්‍රියාවට ඔහු ඔහුට ප්‍රතිඵල දෙන්නේය.” (හිතෝපදේශ 19:17) මෙසේ, යෙහෝවා මෙනයින් ඉගැන්වූයේ දිලිඳු අසරණයන් උදෙසා දයානුකම්පාව සහ සැලකිල්ල දැක්වීමටය.

10. ඊශ්‍රායෙලිතයන් ස්තුතිවන්ත වන බව පෙන්වීමට අසමත් වූ අවස්ථාවේදී විඳින්නට සිදු වූ විපාකය කවරේද?

10 ඊශ්‍රායෙලිතයන් දසයෙන් කොටස දීම, ස්වේච්ඡා පූජා ඔප්පු කිරීම සහ දිලින්දන්ට යමක් ඉතුරු කිරීම වැනි ක්‍රියා කරමින් කීකරු වූ විට යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කළේය. එහෙත් තමන් ස්තුතිවන්ත වන බව පෙන්වීමට ඊශ්‍රායෙලිතයන් අසමත් වූ විට, ඔවුන්ට යෙහෝවාගේ අනුමැතිය අහිමි විණි. මෙය විපත්තියටත් අවසානයේදී වහල්භාවයට ගෙන යනු ලැබීමටත් හේතු විණි. (2 ලේකම් 36:17-21) එසේනම්, මින් අපට ගත හැකි පාඩම් මොනවාද?

අප කරන ස්තුති ප්‍රකාශ

11. යෙහෝවාට අපගේ ස්තුතිවන්තභාවය පෙන්වීමට හැකි ප්‍රධාන ක්‍රමය කුමක්ද?

11 අපට යෙහෝවාට ප්‍රශංසා කළ හැකි සහ අපගේ ස්තුතිවන්තභාවය පෙන්විය හැකි ප්‍රධාන ක්‍රමයට “පඬුරක්” ඔප්පු කිරීමද ඇතුළත් වේ. ක්‍රිස්තියානීන් වශයෙන් අප මෝසෙස්ගේ නීතිය යටතේ නොසිටින බව සැබෑවකි. සතුන් හෝ අස්වැන්න හෝ පූජා වශයෙන් ඔප්පු කිරීමට බැඳී නොසිටින බවද සැබෑවකි. (කොලොස්සි 2:14) කෙසේවෙතත්, ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙයයි. “අපි ඔහු මාර්ගයෙන් දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම දෙවිට ඔප්පු කරමු.” (හෙබ්‍රෙව් 13:15, NW) ප්‍රසිද්ධ දේවසේවය තුළ හෝ සෙසු ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත “සභාවේදී” හෝ යෙහෝවාට ප්‍රශංසාවේ පූජාවක් ඔප්පු කිරීම පිණිස අපගේ හැකියාවන් සහ සම්පත් යොදාගැනීම මගින්, අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන් වූ යෙහෝවා දෙවිට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කිරීමට හැකියි. (ගීතාවලිය 26:12) එසේ කිරීමෙන්, ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාට තම ස්තුතිවන්තභාවය පළ කිරීමට තිබූ ක්‍රමවලින් අපට කුමක් ඉගෙනගත හැකිද?

12. අපගේ ක්‍රිස්තියානි වගකීම් සම්බන්ධව ගත් කල, දසයෙන් කොටස දීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

12 අප දැක තිබෙන පරිදි, සියල්ලටම වඩා පළමුව සැලකිල්ලට ගත යුත්තේ දසයෙන් කොටස දීම අනිවාර්යයෙන්ම කළ යුතු එකක් බවයි. සෑම ඊශ්‍රායෙලිතයෙකුටම මේ සම්බන්ධයෙන් වගකීමක් හෝ බැඳීමක් තිබිණි. ක්‍රිස්තියානීන් වශයෙන් අපටද දේවසේවයට සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට වගකීමක් තිබේ. මෙම ක්‍රියාකාරකම් කැමති නම් නිරත විය හැකි ඒවා නොවේ. අන්තිම කාලය සම්බන්ධ තම මහත් අනාවැකිය තුළ යේසුස් පැහැදිලිවම ප්‍රකාශ කළේ මෙයයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14; 28:19, 20) ක්‍රිස්තියානි රැස්වීම් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ලිවීමට දේවානුභාවය ලැබුවේ මෙයයි. “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේ රැස්වීම අත්නෑර, එකිනෙකාව දිරිගන්වමු. ඒ දවස ළං වන බව ඔබට පෙනෙද්දී, වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙව් 10:24, 25, NW) දේශනා කිරීමටද ඉගැන්වීමටද අපගේ සහෝදරයන් සමඟ නිතිපතා සභා රැස්වීම්වලදී ඇසුරු කිරීමට ඇති වගකීම සතුටින් භාරගන්නා විටද, එය වරප්‍රසාදයක් හා ගෞරවයක් ලෙස සලකන විටද, අපි යෙහෝවාට අපගේ ස්තුතිවන්තභාවය පෙන්වන්නෙමු.

13. ස්වේච්ඡා පඬුරු දීමේ සහ කරල් ඇහිඳීමේ විධිවිධානයෙන් අපට උගත හැකි පාඩම් මොනවාද?

13 මීට අමතරව, ඊශ්‍රායෙලිතයන්ට තම අගය පළ කිරීමට තිබූ තවත් ක්‍රම දෙකක් ගැනද සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන ගත හැකියි. ඒවා නම්, ස්වේච්ඡා පඬුරු සහ කරල් ඇහිඳීමේ පිළිවෙතයි. පැහැදිලි ලෙස යම් බැඳීමක් ඇතුළත් වූ දසයෙන් කොටස මෙන් නොව, ස්වේච්ඡා පඬුරු දීමේ සහ කරල් ඇහිඳීමේ විධිවිධානයට නිශ්චිත ප්‍රමාණයක් දීම ඇතුළත් වූයේ නැත. ඒ වෙනුවට, මෙම විධිවිධානයන් මගින් සිදු වූයේ යෙහෝවාගේ සේවකයෙකුගේ හදවතේ තිබූ අගය කිරීමේ ගැඹුර ඔහුව ක්‍රියාවට පෙලඹවීමයි. මීට සමාන ආකාරයකින් ගත් කල, දේවසේවයේ හා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම යෙහෝවාගේ සේවකයෙකුගේ මූලික වගකීමක් බව අප දැන සිටියද, අප ඒවාට සහභාගි වන්නේ ඉතා කැමැත්තෙන් සහ මුළු හදින්මද? යෙහෝවා අප වෙනුවෙන් කර ඇති සියලුම දේවල් සඳහා අපගේ හෘදයාංගම අගය පළ කිරීමට ප්‍රස්තාවක් ලෙසට අප ඒවා සලකනවාද? පුද්ගලයන් වශයෙන් අපගේ තත්වය ඉඩ දෙන තරමට මෙම ක්‍රියාකාරම්වල අපි උපරිමයෙන් සහභාගි වෙනවාද? නැතහොත් අප මේ සියල්ල සලකන්නේ අප ඉෂ්ට කළ යුතු යම් කොන්දේසියක් හැටියටද? ඇත්තවශයෙන්ම, මේවා අප පෞද්ගලිකව කිරා මැන බැලිය යුතු ප්‍රශ්නයි. ප්‍රේරිත පාවුල් මේ කාරණය ගැන සඳහන් කළේ මෙලෙසයි. “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”—ගලාති 6:4, NW.

14. අප යෙහෝවාට කරන සේවයේදී ඔහු අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

14 යෙහෝවා දෙවි අපගේ තත්වයන් මැනවින් දනී. ඔහු අපගේ සීමාවන්ද හොඳින් දනී. තම සේවකයන් කැමැත්තෙන් ඔප්පු කරන ලොකු කුඩා පූජාද ඔහු බෙහෙවින් අගය කරයි. අප සියලුදෙනාම එකම ප්‍රමාණයෙන් දෙනු ඇතැයි කියා ඔහු බලාපොරොත්තු වන්නේ නැත. අපට එසේ කරන්නටද බැරිය. ද්‍රව්‍යමය දේවල් දීම ගැන සාකච්ඡා කරද්දී, ප්‍රේරිත පාවුල් කොරින්තියේ ක්‍රිස්තියානීන්ට පැවසුවේ මෙයයි. “පළමුකොට කැමැත්ත තිබුණත්, එය විශේෂයෙන්ම පිළිගනු ලබන්නේ යමෙකුට නැති දේට අනුව නොව, යමෙකුට ඇති දේට අනුවය.” (2 කොරින්ති 8:12, NW) මෙම ප්‍රතිපත්තිය අප දෙවිට කරන සේවයටද ඉතා මනා ලෙස අදාළ වෙයි. අප යෙහෝවාට කරන සේවය පිළිගත හැකි යමක් බවට පත් වන්නේ අප කරන ප්‍රමාණයෙන් නොව නමුත් අප එය කරන ආකාරයෙනි. එනම් ප්‍රීතියෙන් හා මුළු හදින් එය කිරීමෙනි.—ගීතාවලිය 100:1-5; කොලොස්සි 3:23, 24.

පුරෝගාමි ස්වභාවයක් වර්ධනය කර පවත්වාගන්න

15, 16. (අ) පුරෝගාමි ස්වභාවය සහ ස්තුතිවන්තභාවය අතර පවතින සම්බන්ධය කුමක්ද? (ආ) පුරෝගාමි සේවය කළ නොහැකි අයට පුරෝගාමි ස්වභාවයක් විදහා පෑ හැක්කේ කෙසේද?

15 යෙහෝවාට අපගේ ස්තුතිවන්තභාවය පෙන්විය හැකි ආශීර්වාද ලැබිය හැකි ක්‍රමයක් නම්, පූර්ණ කාලීන දේවසේවයට ඇතුල්වීමයි. යෙහෝවාට ඇති ප්‍රේමයෙන් සහ ඔහුගේ මහත් කරුණාවට කෘතඥපූර්වකභාවයෙන් පෙලඹී සිටින කැප වූ බොහෝ සේවකයන් තමන්ගේ ජීවිතවල මහත් වෙනස්කම් කර ඇත්තේ යෙහෝවාට වැඩි කාලයක් සේවය කිරීමටය. සමහරුන්ට ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කිරීමට හැකි වී තිබෙන අතර, සෑම මසකම ඔවුහු සාමාන්‍ය වශයෙන් පැය 70ක් වැය කරමින් ශුභාරංචිය දේශනා කර ජනයාට සත්‍යය උගන්වති. විවිධ තත්වයන්ගෙන් සීමා වී සිටින තවත් අය උපකාරික පුරෝගාමීන් වශයෙන් සෑම මසකම පැය 50ක් සේවය කිරීමට කටයුතු පිළියෙළ කරගනිති.

16 එහෙත්, ස්ථාවර හෝ උපකාරික පුරෝගාමීන් ලෙස සේවය කිරීමට නොහැකි වී සිටින, යෙහෝවාට සේවය කරන්නාවූ බොහෝදෙනා ගැන කුමක් කිව හැකිද? පුරෝගාමි ස්වභාවයක් වර්ධනය කිරීමෙන් සහ පවත්වාගැනීමෙන් ස්තුතිවන්තභාවය පෙන්වීමට ඔවුන්ට හැකියි. ඒ කෙසේද? පුරෝගාමි සේවය කිරීමට හැකි අයව දිරිගැන්වීමෙන්, පූර්ණ කාලීන සේවය ලුහුබැඳීමට තමන්ගේ දරුවන් තුළ ආශාවක් පැළපදියම් කිරීමෙන් සහ තමන්ගේ තත්වයන්ට අනුව දේශනා සේවය තුළ කඩිසරව හවුල් වීමෙන්ය. අපගේ දේවසේවයේදී අප දෙන බොහෝ දේ රඳා පවතින්නේ යෙහෝවා අප සඳහා කර ඇති, දැන් කරමින් සිටින සහ මතු අනාගතයේදී අප සඳහා කරනු ඇති දේවල් අප කොතරම් ගැඹුරින් හා මුළු හෘදයෙන්ම අගය කරනවාද යන්න මතයි.

අපගේ ‘සම්පත්වලින්’ ස්තුතිවන්තභාවය පැහැදිලිව පෙන්වීම

17, 18. (අ) අපගේ ‘සම්පත්’ සඳහා ස්තුතිවන්තභාවය නිරූපණය කිරීමට අපට හැක්කේ කෙසේද? (ආ) වැන්දඹුවගේ සම්මාදම ගැන යේසුස් කළේ කිනම් තක්සේරුවක්ද? තවද ඒ මන්ද?

17 හිතෝපදේශ 3:9හි සඳහන් කරන්නේ, “ඔබේ සම්පතින්ද ඔබේ සියලු අස්වැන්නේ ප්‍රථම පලයෙන්ද යෙහෝවාට ගෞරව කරන්න” කියායි. යෙහෝවාගේ සේවකයන් තවදුරටත් දසයෙන් කොටස දීම අවශ්‍ය නැත. මේ ගැන පාවුල් ක්‍රිස්තියානි සභාවට ලියුවේ මෙයයි. “එක් එක් කෙනා, අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, තම සිතින් තීරණය කරගත් ලෙස දිය යුතුය. මන්ද, සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරින්ති 9:7, NW) ලොව වටා රාජ්‍ය දේශනා කිරීමේ වැඩයට සහයෝගය දීමට මූල්‍යමය වශයෙන් සම්මාදම් කිරීමෙන්ද අපගේ ස්තුතිවන්තභාවය නිරූපණය වෙයි. මුල් ක්‍රිස්තියානීන් කළාක් මෙන්, හැකි නම් සතිපතා යම් සම්මාදමක් වෙන් කොට තැබීමෙන්ද මෙය නිතිපතා ක්‍රමයකට කිරීමට අපව පොලඹවන්නේ අපගේ හෘදයාංගම අගය කිරීමයි.—1 කොරින්ති 16:1, 2.

18 යෙහෝවා කෙරෙහි අප තුළ ඇති ස්තුතිවන්තභාවය පිළිබිඹු කරන්නේ අප දෙන ප්‍රමාණයෙන් නොවේ. ඒ වෙනුවට, එය පිළිබිඹු කෙරෙන්නේ අපේ දීමේ ස්වභාවය තුලිනි. දේවමාලිගාවේ මුදල් බඳුන්වලට මිනිසුන් මුදල් දමන අවස්ථාවේ යේසුස් නිරීක්ෂණය කළේ මෙම දෙයයි. දිලිඳු වැන්දඹුවක් “ඉතා සුළු වටිනාකමක් ඇති කාසි දෙකක්” දමනවා දුටු විට, ඔහු පැවසුවේ මෙසේයි. “සැබවින්ම මම ඔබට කියමි, මේ වැන්දඹුව දුප්පත් වුවත්, ඈ මේ සියල්ලන්ටම වඩා දැම්මාය. මන්ද, මේ සියලුදෙනාම පඬුරු දැම්මේ තමන්ට වැඩිපුර තිබූ දෙයිනි. නමුත් මේ ස්ත්‍රියට අග හිඟකම් තිබියදීත් තම ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල දැම්මාය.”—ලූක් 21:1-4, NW.

19. අප අපගේ කෘතඥතාව පෙන්වන ක්‍රම ගැන යළිත් සෝදිසි කර බැලීම හොඳ දෙයක් වන්නේ මන්ද?

19 අපගේ ස්තුතිවන්තභාවය පළ කළ හැකි අන්දම පිළිබඳව අප මේ කළ අධ්‍යයනය, අපගේ කෘතඥතාව පෙන්විය හැකි ක්‍රම ගැන නැවත සෝදිසි කර බැලීමට අපව පොලඹවාවා! සමහරවිට යෙහෝවාට අප ඔප්පු කරන ප්‍රශංසාව නමැති පූජාව වැඩි කිරීමට හැකිද? එමෙන්ම ලෝක ව්‍යාප්ත වැඩකටයුතුවලට ද්‍රව්‍යමය ආකාරයකින් අත හිත දීම සම්බන්ධයෙන්ද අපට එසේ කළ හැකිද? අප ඒවා කරන තරමට, අපගේ ත්‍යාගශීලී ප්‍රේමණීය පියාණන් වන යෙහෝවා අප පෙන්වන ස්තුතිවන්තභාවය ගැන ඉතා සතුටු වන බවට අපට සහතික විය හැකියි.

ඔබට මතකද?

• අප යෙහෝවාට ස්තුතිවන්ත විය යුත්තේ කිනම් හේතු නිසාද?

• දසයෙන් කොටස දීමෙන්, ස්වේච්ඡා පඬුරුවලින් සහ කරල් ඇහිඳීමේ පිළිවෙතින් අපට කිනම් පාඩම් ඉගෙනගත හැකිද?

• අප පුරෝගාමි ස්වභාවය වගා කරන්නේ කෙසේද?

• යෙහෝවාට ස්තුති කිරීමට අපගේ ‘සම්පත්’ යොදාගැනීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

“සෑම යහපත් දීමනාවක්ම සහ සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්ය”

[16වන පිටුවේ පින්තූරය]

මෝසෙස්ගේ නීතියෙන් උපුටාගත් කිනම් පාඩම් තුන මෙහි පෙන්වා දී ඇද්ද?

[18වන පිටුවේ පින්තූරය]

අප විසින් ඔප්පු කරනු ලැබිය හැකි පූජා මොනවාද?