Skip to content

පටුනට යන්න

“සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව”

“සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව”

“සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව”

“පාලකයන් හැටියට ආණ්ඩුවලට සහ බලධාරීන්ට යටත්ව සිටින්නත්, කීකරුව සිටින්නත් ඔවුන්ට නොකඩවා මතක් කරන්න. එමෙන්ම, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව සිටින්න.” (තීතස් 3:1, NW) සෙසු ඇදහිලිවන්තයන්ට එසේ ලිවීමේදී ප්‍රේරිත පාවුල්ගේ මනසේ තිබුණේ කුමන යහපත් ක්‍රියාද? බයිබල් විශාරදයෙක් වන ඊ. එෆ්. ස්කොට් එක් ආකාරයක යහපත් ක්‍රියාවක් ගැන මෙසේ අදහස් දැක්වූයේය. “බලධාරීන්ට කීකරුකම දැක්වීමට පමණක් නොව, ඕනෑම ආකාරයක යහපත් ක්‍රියාවකට ක්‍රිස්තියානීන් සූදානම්ව සිටීමද අවශ්‍යව තිබුණා. . . . අවශ්‍යතාවක් තිබෙන ඕනෑම අවස්ථාවකදී, පොදු ජනයාට සේවය කිරීමට ලැදිකමක් දක්වන්නන් අතර ක්‍රිස්තියානීන් පෙරමුණ ගත යුතු විය. ගින්නක් හටගැනීම, වසංගතයක් පැතිර යෑම හෝ නානාප්‍රකාර විපත්ති නිතර නිතර සිදු වනු ඇති අතර, මෙවන් අවස්ථාවලදී තමා අසල්වැසියන්ට උපකාර කිරීමට හැම යහපත් පුරවැසියෙකුම කැමැත්තක් දක්වනු ඇති බව අපේක්ෂා කළ හැක.”

දෙවිගේ නීතිවලට පටහැනි නොවන්නේ නම් ක්‍රිස්තියානීහු පොදු ජනයාට යහපතක් අත් කර දෙන ඇතැම් ක්‍රියාවල යෙදෙති. (ක්‍රියා 5:29) නිදසුනක් වශයෙන්, ප්‍රාදේශීය ගිනි නිවන හමුදා කාර්යාලයේ උපදෙස් අනුගමනය කරමින් ජපානයේ එබීනා නුවර පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ගිනි නිවීම පිළිබඳ පුහුණු සැසිවාරයක් වාර්ෂිකව පැවැත්වේ. එවන් අවස්ථාවන්හිදී, ප්‍රාදේශීය ගිනි නිවන හමුදාවේ නියෝජිතයෙකු විසින් ලබා දෙනු ලබන උපදෙස්වලට සවන් දීමට බෙතෙල් පවුලේ සාමාජිකයෝ සියලුදෙනාම එක් රැස් වෙති.

ඊට අමතරව, දැනට වසර දහයකටත් වඩා වැඩි කාලයක් පුරා පවත්වනු ලබන ප්‍රදර්ශනයකටද මෙම ශාඛා කාර්යාලයේ සාමාජිකයන් ප්‍රාදේශීය අධිකාරීන්ට සහයෝගය දක්වා තිබේ. මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ ගින්නක් හටගැනීම වළක්වාගන්නා ආකාරය පිළිබඳව මිනිසුන්ව දැනුවත් කිරීමය. එම ප්‍රදර්ශනයේදී, නගරයේ ව්‍යාපාරික ආයතනවල සාමාජිකයෝ ගින්නකට මුහුණ දීම හා එය පාලනය කිරීම සඳහා තමන් සූදානම් වී සිටින ආකාරය නිරූපණය කරති. ශාඛා කාර්යාලයේ සාමාජිකයන්ගේ දක්ෂතා හා ඔවුන් දක්වන සහයෝගය වෙනුවෙන් බොහෝ වර ප්‍රශංසාව ලැබී තිබේ. වර්ෂ 2001දී පැවැත්වූ ප්‍රදර්ශනයේදී ඔවුන්ට ප්‍රථම ස්ථානයද හිමි විය. ගින්නකදී ජීවිත ගලවාගැනීම වැනි යහපත් ක්‍රියාවක නිරත වීම සඳහා ඔවුහු සූදානම්ව සිටිති.

වටිනා සේවයක්

මේ අතර යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඊටත් වඩා වැදගත් ආකාරයක යහපත් ක්‍රියාවක් ගැන උනන්දු වෙති. එයත් ජීවිත ගලවන කාර්යයකි. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය තම අසල්වැසියන්ට පැවසීම සඳහා ඔවුහු ඔවුන්ව හමුවීමට නොකඩවාම යති. (මතෙව් 24:14) සාක්ෂිකරුවන් මිනිසුන්ට දිරිගන්වන්නේ බයිබල් ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා තම ජීවිතවලට අදාළ කරගැනීමටය. එමගින් දැන් පවා ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය දියුණු කරගැනීමටත්, සැබෑ සාමය හා සුරක්ෂිතභාවය රජයන ලොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව සිටීමටත් ඔවුන්ට හැකි වනු ඇත.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සපයන සේවය අගය නොකරන අයද සිටිති. එවැනි අයට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව කරදරයක් මෙන් හැඟෙන්නට පුළුවනි. කෙසේවෙතත්, කැනඩාවේ කියුබෙක්හි පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වන ෂෝන් ක්‍රේපෝට තිබුණේ ඊට වඩා වෙනස් අදහසකි. කියුබෙක්හි බ්ලේන්විල් නගරයේ පනවා තිබූ අතුරු නීතියකට අනුව ගෙයින් ගෙට ගොස් ජනයාව හමුවීම සඳහා අවසර පත්‍රයක් ලබාගැනීම අවශ්‍ය විය. එහි සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එයට එකඟ නොවූහ. අධිකරණයේ තීන්දුව පිළිබඳව විනිසුරු ෂෝන් ක්‍රේපෝ මෙසේ අදහස් ප්‍රකාශ කළේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් අන් අයව බැහැදැකීම ක්‍රිස්තියානි සමාජ සේවයක් වන අතර . . . උනන්දුවක් දක්වන පුරවැසියන්ට සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන ප්‍රකාශන ඉතා වැදගත්කමකින් යුක්ත ඒවාය. ආගම, බයිබලය, මත්ද්‍රව්‍ය, බේබදුකම සහ යෞවන අයට ප්‍රයෝජනවත් වන මඟ පෙන්වීම් මෙන්ම විවාහයේ ඇති වන ගැටලු සහ දික්කසාදය වැනි විෂයන් පිළිබඳ කරුණු එම ප්‍රකාශනවල ඇතුළත් වෙනවා.” එම ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සඳහන් විය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව බඩු විකුණන වෙළෙන්දන්ට සමාන කිරීම නින්දාසහගත, වේදනාකාරී මෙන්ම අපහාසාත්මක දෙයක් බව අධිකරණය තීන්දු කරයි.”

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තමන් වෙසෙන ප්‍රජාවේ ශුභසිද්ධියට දායක වෙති. ඔවුන් එසේ කරන්නේ එදිනෙදා ජීවිතයේ මතු වන ගැටලුවලින් ජයගැනීමට මිනිසුන්ට උපකාර කිරීමෙන් හා අනාගතය පිළිබඳව ඔවුන්ට බලාපොරොත්තුවක් ලබා දීම තුළිනි. මෙම කාර්යය ඉටු කිරීම සඳහා බයිබලය ඔවුන්ට උපකාරවත් වේ. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා, පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහා අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.”—2 තිමෝති 3:16, 17, NW.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ‘සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහාම සූදානම්ව සිටින්නේ’ කෙසේද කියා දැනගැනීමට ඔබ කැමතිද? බයිබලය පිළිබඳව වැඩිමනත් ඉගෙනගැනීම සඳහා ඔවුන් සපයන උපකාරය පිළිගැනීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. එමගින් ඔවුන් ඔබගේ ප්‍රදේශයේත් ලොව මුළුල්ලේත් කරන්නාවූ මෙම අතිවැදගත් සමාජ සේවයෙන් ඔබටත් ප්‍රයෝජන ලබාගත හැකිය.

[30, 31වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලෞකික අධිකාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වෑයම් කරති

[31වන පිටුවේ පින්තූරය]

සාක්ෂිකරුවෝ තම අසල්වැසියන්ට උපකාර කරන අය හැටියට ප්‍රසිද්ධ වී සිටිති