Skip to content

පටුනට යන්න

අප සෝදිසියෙන් සිටීම දැන් වඩාත් හදිසියි

අප සෝදිසියෙන් සිටීම දැන් වඩාත් හදිසියි

අප සෝදිසියෙන් සිටීම දැන් වඩාත් හදිසියි

“එබැවින් සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත.”—මතෙව් 24:42, NW.

1, 2. අප මෙම සමාජ ක්‍රමයේ අන්තිම දවස්වල ජීවත් වෙමින් සිටින බව පෙනෙන්නේ කුමකින්ද?

“මූලික වශයෙන් ගත් කල, විසිවෙනි සියවස සනිටුහන් වූයේ යුද්ධයෙනි,” යයි බිල් එමට් නම් ලේඛකයා පැවසීය. මිනිස් ඉතිහාසයේ සෑම වකවානුවකදීම යුද්ධයේ සහ ප්‍රචණ්ඩත්වයේ බිහිසුණු බව අද්දැක ඇතැයි පිළිගන්නා අතරේදී ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. “විසිවෙනි සියවස අනෙක් සියවස්වලට වඩා මේ අතින් වෙනස් වූයේ නැත. නමුත් වෙනස් වූයේ යුද්ධයේ සහ ප්‍රචණ්ඩත්වයේ ක්‍රියා සිදු වූ පරිමාණයෙන්ය. මුළු ලෝකයම සැබවින්ම ගැටුම්වලින් වෙළාගත් මුල්ම සියවස වූයේ එයයි. . . . තවද, මෙම කාරණය තවත් තහවුරු වන්නේ එම සියවසේ ලෝක මහා යුද්ධ එකක් නොව දෙකක්ම සිදුවීම යන කාරණයෙනි.”

2 ‘ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැඟී සිටීම’ ඇතුළත් වන යුද්ධ ගැන යේසුස් ක්‍රිස්තුස් විසින් පුරෝකථනය කරන ලදි. කෙසේවෙතත්, ඒවා වනාහි ‘ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමටද, සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද අයත් ලකුණේ’ එක් අංගයක් පමණි. යේසුස් තමා පැවසූ මෙම සුවිශේෂ අනාවැකිය තුළ සාගත, වසංගත සහ භූමිකම්පා ගැනද සඳහන් කළේය. (මතෙව් 24:3, 7, 8, NW; ලූක් 21:6, 7, 10, 11) බොහෝ පැතිවලින් එවන් විපත්වල ප්‍රමාණයද, ඒවායේ උග්‍රතාවද බෙහෙවින් වැඩි වී තිබේ. මිනිසා නපුරුකමේ අන්තයටම ගොසිනි. මිනිසා දෙවි සහ සෙසු මිනිසුන් වෙත දක්වන ආකල්පයෙන් මේ බව පෙනී යයි. සදාචාර පිරිහීම මෙන්ම අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩිවීම පැහැදිලිව දකින්නට ඇත. ඉඳුරන් පිනවීමටම තම ආත්මය කැප කොට ඇති බොහෝදෙනෙකු දෙවිට වඩා ප්‍රේම කරන්නේ මුදලටය. මේ සියල්ලෙන්ම තහවුරු වෙන්නේ අප ‘අන්තරාදායක කාලවල’ ජීවත් වෙන බවයි.—2 තිමෝති 3:1-5, NW.

3. “කාලවල ලකුණු” අපට බලපෑ යුත්තේ කෙසේද?

3 මිනිසාගේ කාරණා කටයුතුවල පිරිහීමේ තත්වය ඔබ දකින්නේ කෙලෙසද? අද පවතින පීඩාකාරී ශෝචනීය තත්වය ගැන බොහෝදෙනෙකුට ගානක්වත් නැත. ඒ පිළිබඳව සමහරුන්ගේ සිත් දැඩි වී තිබේ. මේ ලෝකයේ බලවතුන්ට හා උගතුන්ට ‘කාලවල ලකුණුවල’ අර්ථය වැටහෙන්නේ නැත. මේ කාරණා සම්බන්ධයෙන් ආගමික නායකයන් ඔවුන්ට නිසි මඟ පෙන්වීමක්වත් දී නැත. (මතෙව් 16:1-3, NW) එහෙත්, යේසුස් තම අනුගාමිකයන්ට අවවාද කළේ මෙසේයි. “එබැවින් සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත.” (මතෙව් 24:42, NW) යේසුස් අපට මෙහිදී දිරිගන්වන්නේ සුපරීක්ෂාකාරීව පමණක් නොව ‘සෝදිසියෙන්ද සිටින’ ලෙසටයි. සෝදිසියෙන් සිටීමට නම්, අප විපරමින් හා අවදියෙන් සිටිය යුතුයි. අප අන්තිම දවස්වල ජීවත් වෙන බව සහ කාලවල් හුඟාක් අමාරු බව නිකම්ම පිළිගැනීමට වඩා දෙයක් මීට අවශ්‍ය කරවයි. “සියලු දේවල අවසානය ළං වී ඇත” යන ස්ථිර විශ්වාසය අපට තිබිය යුතුය. (1 පේතෘස් 4:7, NW) එවිට පමණයි, අපගේ සෝදිසියට හදිසිතාවේ හැඟීමක් මුසු වෙන්නේ. මෙබැවින්, අප අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය නම්, ‘අවසානය ළඟ බවට අප තුළ ඇති විශ්වාසය ශක්තිමත් කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද’ යන්නයි.

4, 5. (අ) මේ දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානය ළඟ බවට අප තුළ ඇති විශ්වාසය ශක්තිමත් වන්නේ කුමකින්ද? ඒ මන්ද? (ආ) නෝවාගේ දවස්වල තිබූ තත්වයන් හා මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමේ කාලය අතර තිබෙන එක් සමානකමක් සඳහන් කරන්න.

4 මිනිස් ඉතිහාසයේ සිදු වූ එක්තරා අතිවිශේෂ සිද්ධියකට පෙර, එනම් නෝවාගේ දවස්වල සිදු වූ මහා ජලගැල්මට පෙර පැවති තත්වයන් ගැන සලකා බලන්න. මිනිසුන් කොතරම් නපුරුව සිටියාද කියතොත්, යෙහෝවා ‘තමන් සිතෙන්ම ශෝක’ විය. එබැවින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “මා විසින් මවන ලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැති කර දමන්නෙමි.” (උත්පත්ති 6:6, 7) හරියටම ඔහු කළේ එම දෙයමයි. එදා සහ අද පවතින තත්වයන්ගේ සමානකම් ගැන කතා කරමින් යේසුස් පැවසුවේ, “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය” යනුවෙනි.—මතෙව් 24:37, NW.

5 ජලගැල්මට පෙර පොළොවේ පැවති තත්වය ගැන හැඟුණ ආකාරයටම අද පවතින තත්වය ගැනත් යෙහෝවාට හැඟෙන බව නිගමනය කිරීම සාධාරණ මෙන්ම තර්කානුකූලය. නෝවාගේ දවස්වල පැවති අභක්තික ලෝකයට නිමාවක් ගෙනාවා සේම, ඔහු අද දින පවතින දුෂ්ට ලෝකයද විනාශ කරන බවට අබමල් රේණුවක තරම්වත් සැකයක් නැත. නෝවාගේ කාලයේ තිබූ තත්වයන් සහ අද පවතින තත්වයන් අතර ඇති සමානකම් ගැන පැහැදිලි අවබෝධයක් අප විසින් ලබාගෙන තිබීමෙන්, වත්මන් ලෝකයේ නිමාව ළඟ බවට වූ අපගේ විශ්වාසය තවත් ශක්තිමත් විය යුතුය. එසේනම්, තිබෙන සමානකම් මොනවාද? අඩු තරමින් සමානකම් පහක්වත් තිබේ. පළමු එක නම් පැමිණෙන විනාශය ගැන දී ඇති අනතුරු ඇඟවීම ඉතා පැහැදිලි එකක් බවට කිසිදු සැකයක් නැත යන්නය.

“ඒ වන තුරු නුදුටු දේවල්” ගැන අනතුරු අඟවා

6. යෙහෝවා නෝවාගේ දවස්වලදී කිරීමට අධිෂ්ඨාන කළේ කුමක්ද?

6 නෝවාගේ දවස්වල, යෙහෝවා ප්‍රකාශ කළේ මෙසේයි. “මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය. මක්නිසාද ඔහුත් මාංසයය, එසේ වී නමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේය.” (උත්පත්ති 6:3) දිව්‍ය නියෝගය නිකුත් කරනු ලැබුවේ ක්‍රි.පූ. 2490දී වන අතර, එය එම අභක්තික ලෝකයේ නිමාවේ ආරම්භය සනිටුහන් කළේය. එවකට ජීවත් වෙමින් සිටි අයට ඉන් අර්ථවත් වූයේ කුමක්දැයි කියා සිතා බලන්න! ඉතිරිව තිබුණේ තවත් 120 වසරක් පමණි. එවිට යෙහෝවා ‘අහස යට ජීවන හුස්ම ඇති මාංසමය වූ සියල්ලන් විනාශ කරන පිණිස පොළොව පිටට ජලගැල්ම පමුණුවනවා’ ඇත.—උත්පත්ති 6:17.

7. (අ) ජලගැල්ම පිළිබඳව දෙනු ලැබූ අනතුරු ඇඟවීමට නෝවා දැක්වූ ප්‍රතිචාරය වූයේ කුමක්ද? (ආ) මෙම සමාජ ක්‍රමයේ අවසානය ගැන දුන් අනතුරු ඇඟවීම්වලට අප කෙසේ ප්‍රතිචාරය දැක්විය යුතුද?

7 පැමිණෙන්නට තිබූ මහා විනාශය ගැන දශක කිහිපයකට කලින්ම නෝවාට අනතුරු අඟවනු ලැබූ අතර, බේරී ජීවත් වීම සඳහා සූදානම් වීමට තිබූ කාලය ඔහු ඉතා ඥානවන්තව පාවිච්චි කළේය. ප්‍රේරිත පාවුල් මෙසේ කියයි. “නෝවා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දිව්‍යමය අනතුරු ඇඟවීමක් ලැබ, දේවභය පෙන්වමින්, තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.” (හෙබ්‍රෙව් 11:7, NW) අප ගැන කුමක් කිව හැකිද? මෙම සමාජ ක්‍රමයේ අන්තිම දවස් 1914දී ආරම්භ වී දැනට වසර 90ක් පමණ ගෙවී තිබේ. අප සහතික ලෙසම සිටින්නේ ‘අන්තිම කාලයේය.’ (දානියෙල් 12:4) අපට දෙනු ලැබ ඇති අනතුරු ඇඟවීම්වලට අප කෙසේ ප්‍රතිචාරය දැක්විය යුතුද? “දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය” කියා බයිබලය පවසයි. (1 යොහන් 2:17) එසේනම්, හදිසිතාවේ තියුණු හැඟීමකින් යුතුව යෙහෝවාගේ කැමැත්ත කිරීමට කාලය දැන්ය.

8, 9. නවීන කාලයේදී යෙහෝවා දී ඇත්තේ කිනම් අනතුරු ඇඟවීම්ද? මේවා ප්‍රකාශ කරනු ලබමින් තිබෙන්නේ කෙසේද?

8 නවීන කාලවලදී, අවංක බයිබල් ශිෂ්‍යයන් දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලිවලින් ඉගෙනගෙන ඇති දෙයක් නම්, මෙම සමාජ ක්‍රමය විනාශ වීමට නියම වී ඇති බවය. අප මෙය ඇත්තටම විශ්වාස කරනවාද? යේසුස් ක්‍රිස්තුස් පැහැදිලිව පැවසූ දෙය ගැන සලකා බලන්න. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය.” (මතෙව් 24:21, NW) එමෙන්ම දෙවි විසින් පත් කරන ලද විනිශ්චයකරු හැටියට තමා පැමිණෙන බවද, එඬේරෙකු එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ජනයාව වෙන් කරන බවද යේසුස් පැවසුවේය. නුසුදුස්සන් බවට පත් වෙන අය, “සදහටම කපාහැරීමටද ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටද පිටත්ව යන්නෝය.”—මතෙව් 25:31-33, 46, NW.

9 යෙහෝවා තම ජනයා ඉදිරියේ මෙම අනතුරු ඇඟවීම් තබා ඇත්තේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් සපයන ලද ආත්මික ආහාර මගින් කරනු ලබන කාලීන සිහිගැන්වීම් මගිනි. (මතෙව් 24:45-47, NW) ඇරත්, සෑම ජාතියකම, ගෝත්‍රයකම, භාෂාවකම සිටින ජනයාට ආරාධනා කරනු ලබන්නේ “දෙවිට භයව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ” කියායි. (එළිදරව් 14:6, 7, NW) යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලොව පුරා දේශනා කරනු ලබන රාජ්‍ය පණිවුඩයේ ප්‍රධානතම අංගයක් වනුයේ, දෙවිගේ රාජ්‍යය ඉතාම ළඟදී මිනිස් පාලන ඉවත් කරනු ඇති බවට වූ අනතුරු ඇඟවීමයි. (දානියෙල් 2:44, 45) මෙම අනතුරු ඇඟවීම සැහැල්ලුවට ගත යුත්තක් නොවේ. සර්වබලධාරි දෙවි සෑමවිටම තමාගේ වචනය ඉෂ්ට කරයි. (යෙසායා 55:10, 11) ඔහු නෝවාගේ දවසේදී එය ඇත්තටම ඉෂ්ට කළේය. එසේම අපගේ දවසේදීත් එය එලෙසම ඉෂ්ට කරනවා ඇත.—2 පේතෘස් 3:3-7.

පාපතර ලිංගික හැසිරීම දසත පැතිරේ

10. නෝවාගේ දවස්වල තිබූ පව්කාර ලිංගික හැසිරීම ගැන කුමක් කිව හැකිද?

10 අපගේ කාලය, නෝවාගේ දවස්වලට තවත් එක්තරා ආකාරයකින් සමාන වෙයි. යෙහෝවා පළමු මිනිසාට සහ ස්ත්‍රියට තමන්ගේ වර්ගයාගෙන් “පොළොව පූර්ණ” කරන ලෙස අණ කළ අතර, එසේ කළ යුතුව තිබුණේ දෙවි විසින් ඔවුන්ට දානය කරන ලද ලිංගික හැකියාවන් විවාහ විධිවිධානය තුළ ගෞරවනීය ලෙස පාවිච්චි කිරීමෙනි. (උත්පත්ති 1:28) නෝවාගේ දවස්වලදී, අකීකරු දේවදූතයෝ මිනිස් සංහතිය අස්වාභාවික ලිංගිකත්වයෙන් දූෂණය කළහ. ඔවුහු පොළොවට පැමිණ, ශරීර මුර්තිමත් කරගෙන, රූමත් කාන්තාවන් සමඟ සංවාසයේ යෙදී, නෙඵිලීම් නමින් හැඳින්වූ අඩක් මිනිසුන් වූද අඩක් භූතයන් වූද දරුවන් බිහි කළහ. (උත්පත්ති 6:2, 4) කාමදාහයෙන් දැවුණු මෙම දේවදූතයන්ගේ පව් සොදොම් ගොමෝරාවේ පැවති ලිංගික අපචාරයට සමාන කළ හැකියි. (යූද් 6, 7) එම දවස්වල පාපතර ලිංගික හැසිරීම දසත පැතිරුණේ මෙහි ප්‍රතිඵලයක් හැටියටයි.

11. නෝවාගේ දවස්වලට සමානවම අප ජීවත් වන මේ කාලයේදීත් කුමනාකාරයේ සදාචාරමය පරිසරයක් බිහි වී ඇද්ද?

11 අද දින බිහි වී ඇති සදාචාරමය පරිසරය ගැන කුමක් කියන්නට පුළුවන්ද? මේ අන්තිම දවස්වල බොහෝදෙනෙකුගේ ජීවිතය ලිංගිකත්වය වටා ගොඩනැඟී තිබේ. ‘කිසිම සදාචාරමය හැඟීමක් නැති’ එවැන්නන් ගැන පාවුල් මැනවින් විස්තර කරන අතර, බොහෝදෙනෙක් “සියලු ආකාරයේ අපවිත්‍රකම් කිරීමට ගිජුකමක් දක්වන පිණිස නින්දිත හැසිරීමට භාර” වී සිටිති. (එෆීස 4:19, NW) කාමුක කෘති, විවාහයට පෙර ලිංගික ඇසුර, දරුවන්ව ලිංගික අතවරයට ලක් කිරීම සහ සමලිංගික සේවනය අද සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. ඇතැම්හු “තමුන්ගේ වැරදිවලට ලැබිය යුතු වූ සම්පූර්ණ විපාකය තමන් තුළම” දැනටමත් ලබා සිටිති. එසේ විපාක ලැබී ඇත්තේ ලිංගිකව බෝ වෙන රෝග ඔවුන්ට වැලඳීමෙන්, පවුල් ජීවිතය කඩාකප්පල් වීමෙන් සහ වෙනත් සමාජීය ගැටලුවලට මුහුණ පා සිටීමෙනි.—රෝම 1:26, 27, NW.

12. අප නපුරු දේට වෛර කළ යුත්තේ මන්ද?

12 නෝවාගේ දවස්වලදී, යෙහෝවා මහා ජලගැල්මක් එවා එවකට පැවති ඒ ලිංගික උමතු ලෝකය නිමා කළේය. අප දැන් ජීවත් වන්නේද නෝවාගේ දවස්වල තිබූ ලෝකයටම සමාන ලෝකයක බව අප කිසිම විටෙකත් අමතක නොකළ යුතුයි. පැමිණෙමින් තිබෙන මෙම “මහත් පීඩාව” මගින් ‘වේශ්‍යාකම් කරන්නන්ගෙන්, රූප වඳින්නන්ගෙන්, පරදාර සේවනයේ යෙදෙන්නන්ගෙන්, අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ගෙන්, සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්ගෙන්’ සමන්විත මේ පොළොව පිරිසිදු කරනවා ඇත. (මතෙව් 24:21; 1 කොරින්ති 6:9, 10, NW; එළිදරව් 21:8) එසේනම්, අප නපුරු දේට ද්වේෂ කර, දුරාචාරයට තුඩු දිය හැකි තත්වයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටීම කොතරම් හදිසි කාරණයක්ද!—ගීතාවලිය 97:10; 1 කොරින්ති 6:18.

පොළොව ‘ප්‍රචණ්ඩත්වයෙන් පිරෙයි’

13. නෝවාගේ දවස්වලදී, පොළොව ‘ප්‍රචණ්ඩත්වයෙන් පිරුණේ’ මන්ද?

13 නෝවාගේ දවස්වල තිබූ තවත් ලක්ෂණයක් වෙතට අපගේ අවධානය යොමු කරවමින් බයිබලය මෙසේ සඳහන් කරයි. “පොළොව දෙවි ඉදිරියෙහි දූෂ්‍ය වූවාය. පොළොව බලාත්කාරයෙන් [ප්‍රචණ්ඩත්වයෙන්, NW] පිරී තිබුණාය.” (උත්පත්ති 6:11) ප්‍රචණ්ඩත්වය ඇත්තෙන්ම අලුත් යමක් වූයේ නැත. ආදම්ගේ පුත් කායින් තම ධර්මිෂ්ඨ සහෝදරයාව මරා දැම්මේය. (උත්පත්ති 4:8) ලාමෙක් තමාගේ දවස්වල පැවති ප්‍රචණ්ඩකාරී ස්වභාවය පිළිබිඹු කරමින් කවියක් නිර්මාණය කළේය. එම කවියෙහි ඔහු තරුණයෙකුව මැරූ අන්දම ගැන උදම් අනන්නේ එය තම ආත්මාරක්ෂාවට සිදු කළායයි පවසමිනි. (උත්පත්ති 4:23, 24) වෙනත් කාලවලට වඩා නෝවාගේ දවස්වල පැවති තත්වයේ වෙනස වූයේ හාත්පස පැතිර තිබූ ප්‍රචණ්ඩත්වයේ තරමයි. දෙවිගේ අකීකරු දේවදූත පුත්‍රයන් පොළොවේ විසූ කාන්තාවන්ව විවාහ කරගෙන ඔවුන්ගේ දරුවන් වූ නෙඵිලීම්වරුන්ව බිහි කළ විට, පෙර කිසිදා නොවූ විරූ අයුරින් ප්‍රචණ්ඩකාරිත්වය උග්‍ර විණි. එනම් නව ලෝක පරිවර්තනයේ පාද සටහනේ පෙන්වන්නේ මෙම යෝධයෝ “වට්ටවන්නන්” හෙවත් “අනුන්ව වැට්ටවීමට සැලැස්වූවන්” කියායි. (උත්පත්ති 6:4) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පොළොව ප්‍රචණ්ඩත්වයෙන් නොහොත් ‘බලාත්කාරයෙන් පිරිණි.’ (උත්පත්ති 6:13) එවන් පරිසරයක් තුළ තම පවුලේ අයව හදා වඩාගැනීමේදී නෝවාට මුහුණ දීමට සිදු වන්න ඇති ගැටලු ගැන සිතා බලන්න. එහෙත්, නෝවා ‘ඒ පරම්පරාවේ යෙහෝවා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටියේය.’—උත්පත්ති 7:1.

14. අද දින ලෝකය ‘ප්‍රචණ්ඩත්වයෙන් පිරී’ ඇත්තේ කෙසේද?

14 ප්‍රචණ්ඩකාරී ක්‍රියා මිනිස් ඉතිහාසයේ යුග ගණනාවක් පුරා සිදු වී තිබේ. එහෙත්, නෝවාගේ දවස්වලදී සත්‍යයක් වූවාක් මෙන්ම, අපගේ කාලයේදීද ඒවා පෙර නොවූ විරූ ආකාරයෙන් සිදු වී තිබේ. නිවෙස්වල ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදී ක්‍රියා, සමූල ඝාතන සහ පැහැදිලිව පෙනෙන කිසිම අරමුණක් නැතිව තුවක්කුකරුවන් විසින් කරන මහා මිනිස් ඝාතන ගැන අපට නිතරම අසන්නට ලැබේ. මේවාට අමතරව යුද්ධවලින්ද ලේ වගුරුවා ඇත. පොළොව යළිත් ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබේ. ඒ ඇයි? මේවා වැඩිවීමට දායක වී ඇත්තේ කුමක්ද? මීට පිළිතුර සොයාගත හැක්කේ නෝවාගේ කාලයේ තිබූ තවත් සමානකමක් ගැන පරීක්ෂා කර බැලීමෙනි.

15. (අ) අන්තිම දවස්වලදී ප්‍රචණ්ඩත්වය වැඩිවීමට දායක වී ඇත්තේ කුමක්ද? (ආ) අවසානයේදී කුමක් වේය කියා අපට නිසැකව විශ්වාස කළ හැකිද?

15 වර්ෂ 1914දී දෙවිගේ මෙසියානු ආණ්ඩුව ස්වර්ගයෙහි පිහිටුවනු ලැබූ විට, සිංහාසනාරූඪ කරනු ලැබූ රජ වන යේසුස් ක්‍රිස්තුස් ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්කමක් ඉසිලූ එක්තරා ක්‍රියා මාර්ගයක් ගත්තේය. මේ මගින් සාතන් වන යක්ෂයාද ඔහුගේ භූතයන්ද ස්වර්ගයේ සිට පොළොවට හෙළනු ලැබිණි. (එළිදරව් 12:9-12) ජලගැල්මට පෙරාතුව, අකීකරු දේවදූතයන් තමන්ගේ ස්වර්ගික ස්ථාන අතහැර ආවේ සිය කැමැත්තෙනි. එහෙත් නවීන කාලවලදී ඔවුන්ව බලෙන්ම පහතට හෙළනු ලැබිණි. එපමණක්ද නොව, දැන් ඔවුන්ට මිනිස් සිරුරු මූර්තිමත් කරගෙන නීති විරෝධී මාංසික ආශාවන් සන්තර්පණය කරගැනීමට හැකියාවක් නැත. මේ නිසා, මහත් අපේක්ෂා භංගත්වයෙන්, කෝපයෙන් සහ තමන්ට ළඟදීම මුහුණ දෙන්නට තිබෙන විනිශ්චය ගැන භයෙන් සිටින මොවුන්, මිනිසුන්ව සහ සංවිධානයන්ව පොලඹවන්නේ නෝවාගේ කාලයේ තිබුණාටත් වඩා දරුණු ලෙස මහා පරිමාණයකින් ප්‍රචණ්ඩකාරී සහ සාපරාධී නොමිනිස් ක්‍රියා කරන්නටයි. අකීකරු දේවදූතයන් සහ ඔවුන්ගේ දරුවන් නපුරුකමින් පොළොව පිරෙව්වායින් පසුව යෙහෝවා ජලගැල්මට පෙර තිබූ ලෝකය විනාශ කර දැමුවේය. මේ කාරණය ගැන නම් කිසිම විදිහකින් සැකයක් තියාගන්නට එපා! එනම්, ඔහු අපගේ කාලයේදීත් කරනු ඇත්තේ එයමයි. (ගීතාවලිය 37:10) කෙසේවෙතත්, අද දින සෝදිසියෙන් සිටින්නෝ තමන්ගේ ගැලවීම ආසන්න බව දනිති.

පණිවුඩය දේශනා කෙරේ

16, 17. නෝවාගේ දවස් සහ අපගේ දවස් අතර පවතින හතරවෙනි සමානකම කුමක්ද?

16 වත්මන් කාලයේ සහ ජලගැල්මට පෙර පැවති කාලයේ තිබූ සමානකම් අතර හතරවෙනි කාරණය අපට දකින්නට ලැබෙන්නේ නෝවාට පැවරූ කාර්යය තුළය. නෝවා ඉතා විශාල නැවක් සෑදුවේය. ඔහු “දේශනාකාරයෙක්” විය. (2 පේතෘස් 2:5) ඔහු දේශනා කළේ කිනම් පණිවුඩයද? නෝවාගේ දේශනා කිරීමට, පසුතැවිලි වෙන ලෙසට ඉල්ලීමක් සහ පැමිණෙනු ඇති විනාශය ගැන කළ අනතුරු ඇඟවීමක් ඇතුළත් වූ බව පෙනෙන්නට තිබේ. නෝවාගේ දවස්වල විසූ ජනයා ගැන යේසුස් මෙසේ පැවසුවේය. “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ.”—මතෙව් 24:38, 39, NW.

17 ඒ හා සමානව, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේශනා කිරීමට තමන්ට පවරා ඇති නියෝගය ඉෂ්ට කිරීමක් වශයෙන් ලොව පුරා දෙවිගේ රාජ්‍යය පිළිබඳ පණිවුඩය කඩිසරව දේශනා කරමින් සිටිති. ලොව පුරා සියලුම ප්‍රදේශවල පාහේ වෙසෙන ජනයාට තමන්ගේම භාෂාවෙන් රාජ්‍ය පණිවුඩය ඇසීමටත් කියවීමටත් හැකියි. යෙහෝවාගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නාවූ මුරටැඹ සඟරාව පිටපත් 2,50,00,000කටත් වඩා බෙදාහරිනු ලබන අතර භාෂා 140කටත් වඩා වැඩි ගණනකින් මුද්‍රණය කෙරේ. ඇත්තෙන්ම, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ” දේශනා කරනු ලබමින් තිබේ. එම වැඩය දෙවිව සෑහීමකට පත් වන තරමකට නිමා වූ විට, සහතිකවම අවසානය පැමිණෙනවා ඇත.—මතෙව් 24:14.

18. අපගේ දේශනා කිරීමේ වැඩයට අද දින බොහෝදෙනෙකු දක්වන ප්‍රතිචාරය, නෝවාගේ දවස්වල විසූ වැඩිදෙනෙකුගේ ප්‍රතිචාරයට සමාන වෙන්නේ කෙසේද?

18 ජලගැල්මට පෙරාතුව පැවති ආත්මික සහ සදාචාරමය පිරිහීම ගැන සලකා බලන කල, නෝවාගේ පවුලේ අය අසල්වැසියන්ගේ නින්දා අපහාසවල ගොදුරු බවට පත් වූ අන්දමත් ඔවුන්ගේ උසුළු විසුළු හා හිරිහැරවලට ලක් වූ අන්දමත් ගැන සිතාගැනීම අපහසු දෙයක් නොවේ. එහෙත්, අවසානය ඇත්තටම පැමිණියේය. ඒ හා සමානව, ‘සමච්චල් කරන සමච්චල්කාරයන්’ මේ අන්තිම දවස්වල බහුලය. “එහෙත් යෙහෝවාගේ දවස සොරෙකු මෙන් පැමිණෙන්නේය” කියා බයිබලය පවසයි. (2 පේතෘස් 3:3, 4, 10, NW) එය නියමිත වේලාවටම පැමිණෙනවා ඇත. එය ප්‍රමාද වන්නේ නැත. (හබක්කුක් 2:3) එසේනම්, අප සෝදිසියෙන් සිටීම කොතරම් ඥානවන්තද!

බේරෙන්නේ ස්වල්පදෙනෙකු පමණි

19, 20. ජලගැල්ම සහ වත්මන් සමාජ ක්‍රමයේ විනාශය අතර කිනම් සමානකමක් අපට දැකගත හැකිද?

19 නෝවාගේ දවසේ පැවති තත්වය සහ අපගේ කාලයේ පවතින තත්වය අතර තිබෙන සමානකම් ගත් කල, ඒවා ජනයන්ගේ නපුරුකම සහ ඔවුන්ගේ විනාශයට පමණක් සීමා කරන්නට බැරිය. ජලගැල්මෙන් බේරී ජීවත් වුණු අය එදා සිටියාක් මෙන්ම, මේ සමාජ ක්‍රමයේ අවසානයෙන් බේරී ජීවත් වනු ඇති අයද සිටිනවා ඇත. ජලගැල්මෙන් බේරී ජීවත් වූ අය මොළොක් ගුණැති අය වූ අතර, සාමාන්‍ය ජනයා මෙන් ජීවත් වූයේ නැත. දිව්‍යමය අනතුරු ඇඟවීමට අවනත වූ ඔවුහු ඒ කාලයේ තිබූ දුෂ්ට ලෝකයෙන් වෙන් වී සිටියහ. “නෝවා යෙහෝවාගෙන් කරුණාව ලැබුවේය” යයි බයිබලයේ සඳහන් වේ. “නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව [නිර්දෝෂව, NW] සිටියේය.” (උත්පත්ති 6:8, 9) සියලු මිනිස් වර්ගයා අතුරින්, එක් පවුලක්, “ස්වල්පදෙනෙක්, එනම් අටදෙනෙක් අනතුරක් නැතිව වතුරෙන් සුරක්ෂිතව ගෙන යනු ලැබුවෝය.” (1 පේතෘස් 3:20, NW) “ඔබ සඵල වෙමින් බෝ වී පොළොව පූර්ණ කරන්න” යන ආඥාව යෙහෝවා දෙවි දුන්නේ ඔවුන්ටයි.—උත්පත්ති 9:1.

20 “මහත් සමූහයක්” “මහත් පීඩාවෙන් බේරී එන” බව දේවවචනය අපට සහතික කරයි. (එළිදරව් 7:9, 14, NW) මහත් සමූහයට කීදෙනෙක් ඇතුළත් වනු ඇද්ද? යේසුස්ම පැවසුවේ මෙයයි. “ජීවනය කරා යන පාර අවහිරය, එහි දොරටුව පටුය. එය සොයාගන්නේ ස්වල්පදෙනෙකුය.” (මතෙව් 7:13, 14, NW) දැන් ජීවත් වෙමින් සිටින බිලියන ගණනක් ජනතාව සමඟ සැසඳූ කල, නුදුරු අනාගතයේදී පැමිණෙන මහත් පීඩාවෙන් බේරී ජීවත් වනු ඇත්තේ ස්වල්පදෙනෙකි. එහෙත්, ජලගැල්මෙන් බේරුණු අයට දෙනු ලැබූ වරප්‍රසාදයට සමාන වරප්‍රසාදයක් ඔවුන්ටද බොහෝදුරට තිබෙන්නට පුළුවන. මහත් පීඩාවෙන් බේරී ජීවත් වන අයට යම් කාලයකට දරුවන්ව බිහි කිරීමට හැකියාව තිබෙනු ඇති අතර, එම දරුවෝ නව ලෝක සමාජයේ කොටසක් වෙති.—යෙසායා 65:23.

“සෝදිසියෙන් සිටින්න”

21, 22. (අ) ජලගැල්ම පිළිබඳව අප කළ මෙම සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද? (ආ) වර්ෂ 2004 සඳහා වාර්ෂික පදය කුමක්ද? එහි දෙන අවවාදයට අප අවනත විය යුත්තේ මන්ද?

21 ජලගැල්ම බොහෝ කලකට පෙර සිදු වූවක් සේ පෙනෙන්නට තිබුණද, එය අපට පැහැදිලි අනතුරු ඇඟවීමක් කරන අතර, අප එය නොසලකා නොහැරිය යුතුයි. (රෝම 15:4) නෝවාගේ කාලයේ සහ අපගේ කාලය අතර ඇති සමානකම්, අද සිදු වෙන දේවල අර්ථය ගැන අප තුළ ඇති අවබෝධය තවත් තීව්‍ර කළ යුතුය. තවද දුෂ්ටයන් පිට විනිශ්චය ඉටු කිරීමට සොරෙකු පැමිණෙන්නාක් මෙන් යේසුස් අනපේක්ෂිත ලෙස පැමිණෙන බැවින්, මෙම අවබෝධය හේතුකොටගෙන අප තව තවත් අවදියෙන් සිටිය යුතුය.

22 අද දින, යේසුස් ක්‍රිස්තුස් අතිමහත් ආත්මික ගොඩනැංවීමේ වැඩක් මෙහෙයවමින් සිටී. සැබෑ නමස්කාරකයන්ගේ ආරක්ෂාව සහ බේරීම සඳහා නැවක් බඳු ආත්මික පාරාදීසයක් පවතී. (2 කොරින්ති 12:3, 4) මහත් පීඩාවෙන් බේරී ජීවත් වීමට, අප එම පාරාදීසය තුළ රැඳී සිටිය යුතුය. මෙම ආත්මික පාරාදීසයේ පිටතින් තිබෙන්නේ සාතන්ගේ ලෝකයය. මෙය ආත්මිකව නිදිබර තත්වයට පත් වී ඇති ඕනෑම කෙනෙකුව ගිලගැනීමට මාන බලාගෙන සිටින සාතන්ගේ ලෝකයය. එසේනම්, අප ‘සෝදිසියෙන් සිට’ යෙහෝවාගේ දවසට සූදානමින් සිටින බව පෙන්වීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.—මතෙව් 24:42, 44.

ඔබට මතකද?

• සිය පැමිණීම ගැන යේසුස් දුන්නේ කිනම් අවවාදයද?

• සිය පැමිණ සිටීමේ කාලය යේසුස් සසඳන්නේ කුමක් සමඟද?

• අපගේ කාලය නෝවාගේ කාලයට සමාන වන්නේ කිනම් ආකාරවලින්ද?

• නෝවාගේ කාලයේ සිදු වූ දේවල් සහ අපගේ කාලයේ සිදු වන දේවල් අතර සමානකම් ගැන කල්පනා කර බැලීම අප තුළ ඇති හදිසිතාවේ හැඟීමට බලපෑ යුත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වර්ෂ 2004 සඳහා වාර්ෂික පදය වනු ඇත්තේ, “සෝදිසියෙන් සිටින්න . . . ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න.”—මතෙව් 24:42, 44, NW.

[15වන පිටුවේ පින්තූරය]

නෝවා දිව්‍ය අනතුරු ඇඟවීමට අවනත වූයේය. අපත් ඒ හා සමානව ප්‍රතිචාරය දක්වනවාද?

[16, 17වන පිටුවේ පින්තූර]

“නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම, මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය”