ඔබ පුදුමය දනවන හැඟීම් වැඩෙන්න සලස්වනවාද?
ඔබ පුදුමය දනවන හැඟීම් වැඩෙන්න සලස්වනවාද?
බයිබල් ලේඛකයන් දෙවිගේ ක්‍රියා හා ගුණාංග ගැන අගය පළ කරන අවස්ථාවලදී පුදුමය දනවන හැඟීම් ජනිත කරවන ආකාරය ඔබ දැක තිබෙනවාද? ‘මම පුදුම ලෙස සාදන ලද්දෙමි’ කියා ගීතිකාකරු පැවසුවේය. (ගීතාවලිය 139:14) ‘යෙහෝවා, ඔබ මාගේ දෙවිය. මම ඔබ උසස් කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි. මක්නිසාද ඔබ පුදුම දේ . . . කර තිබේ.’ (යෙසායා 25:1) ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන්වලින් කියාපාන පුදුමය හා ගරුබිය ගැනත් සිතා බලන්න. “දෙවිගේ ආත්මික සම්පත් මෙන්ම ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද!”—රෝම 11:33, NW.
එක් ශබ්දකෝෂයක “පුදුමය” විග්රහ කරන්නේ “අනපේක්ෂිත, නුහුරු නුපුරුදු හෝ පැහැදිලි කළ නොහැකි දෙයකින් ජනිත කරවන හැඟීමක්” ලෙසයි. “එය විශේෂයෙන්ම අගය කිරීම හා කුතුහලය යනාදිය මුසු වූ හැඟීමකි.”—The Oxford Encyclopedic English Dictionary.
කුඩා දරුවන් අලුත් දෙයක් දකින විට, ඇසෙන විට හෝ එවැනි දෙයක් ස්පර්ශ කරන විට ඇස් දෙක ලොකු කරගෙන පුදුමය පල කරන ආකාරය බලා සිටීම ප්රීතිජනක අද්දැකීමක් නොවේද? කුතුහලය නිසා හෝ අලුත් දෙයක් නිසා හෝ යමක් ගැන ඇති වන පුදුමය කාලය ගතවීමත් සමඟම බොහෝවිට නැති වී යෑම කනගාටුවට කරුණකි.
කෙසේවෙතත්, ඉහත උපුටා දැක්වූ වදන් ලියූ බයිබල් ලේඛකයන්ගේ සිත් තුළ පහළ වූ ගරුබිය දනවන හැඟීම් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ සිත් තුළ ගැඹුරින් මුල්බැසගෙන තිබිණ. මෙයට හේතු වූයේ කුමක්ද? දෙවිගේ ක්‍රියා අගය කිරීමෙන් යුතුව මෙනෙහි කිරීම මගින් පුදුමය දනවන හැඟීම් තමන්ගේ සිත් තුළ වැඩෙන්න සැලැස්වීමයි. ගීතිකාකරු මෙසේ යාච්ඤා කළේය. “පුරාණ දවස් සිහි කරමි. ඔබගේ සියලු ක්‍රියා භාවනා කරමි. ඔබගේ හස්තකර්ම මෙනෙහි කරමි.”—ගීතාවලිය 143:5.
මේ කාලයේ දෙවිට නමස්කාර කරන අය තුළත් පුදුමය දනවන හැඟීම් තිබීම කොතරම් ප්‍රශංසනීය දෙයක්ද! ඔබටත් එවන් හැඟීම් ඇති වෙනවාද? ඔබ තුළත් පුදුමය දනවන හැඟීම් ඇති කරගැනීමට ඔබ උත්සාහ කරනවාද?