Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ දවසට ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න

යෙහෝවාගේ දවසට ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න

යෙහෝවාගේ දවසට ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න

“එහෙයින් ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය.”—මතෙව් 24:44, NW.

1. යෙහෝවාගේ දවස ගැන අප සැලකිලිමත් විය යුත්තේ මන්ද?

එය යුද්ධයේ සහ වියරුවේ දවසක් වනු ඇත, සන්තාපයේ සහ අධික ශෝකයේ දවසක්ද, අන්ධකාරයේ සහ පාළු කිරීමේ දවසක්ද වනු ඇත. නෝවාගේ දවස්වල පැවති දුෂ්ට ලෝකය ජලගැල්මට යට වුණාක් මෙන්ම, යෙහෝවාගේ “මහත් වූ භයානක වූ දවස” සහතිකවම මෙම දුෂ්ට සමාජ ක්‍රමය මතට පැමිණෙනවා ඇත. කිසිම විදිහකින් එයින් බේරෙන්නට බැරිය. එහෙත්, “යෙහෝවාගේ නම කියා යාච්ඤා කරන කවුරු නමුත් ගැලවෙනවා ඇත.” (යෝවෙල් 2:30-32; ආමොස් 5:18-20) දෙවි සිය සතුරන්ව විනාශ කරනු ඇති අතර ඔහුගේ ජනයාව ගලවනවා ඇත. හදිසිතාවේ හැඟීමකින් යුතුව, අනාගතවක්තෘ ශෙපනියා මෙසේ ප්‍රකාශ කරයි. “යෙහෝවාගේ මහත් දවස ළංව තිබේ. ඒක, එනම් යෙහෝවාගේ දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය.” (ශෙපනියා 1:14) එහෙත්, මෙම දිව්‍ය විනිශ්චය ඉෂ්ට කරනු ලබන්නේ කවදාද?

2, 3. අප යෙහෝවාගේ දවසට සූදානම් වීම අතිවැදගත් දෙයක් වන්නේ මන්ද?

2 “පියාණන් මිස ඒ දවස හා පැය කිසිවෙක් දන්නේ නැත. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත” යයි යේසුස් පැවසුවේය. (මතෙව් 24:36, NW) නියමිත වේලාව අප දන්නේ නැති හෙයින්, අප 2004 වසරේ වාර්ෂික පාඨයේ වදන් අපේ සිත්වලට ගැනීම අතිවැදගත්ය. “සෝදිසියෙන් සිටින්න. . . . ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න.”—මතෙව් 24:42, 44.

3 සූදානමින් සිටින අයව ආරක්ෂිත තත්වයකට එක්කාසු කරනු ලබන අතරතුර අනික් අයව අත්හරිනු ලබන ආකාරය ගැන අඟවමින් යේසුස් පැවසුවේ මෙසේයි. “එකල මිනිසුන් දෙදෙනෙකු කෙතෙහි සිටිනු ඇත. එක් තැනැත්තෙකුව ගෙන යනු ලැබේ, අනික් තැනැත්තාව අත්හරිනු ලැබේ. ස්ත්‍රීන් දෙදෙනෙකු ඇඹරුම් ගලේ අඹරමින් සිටිනු ඇත. එක් තැනැත්තියකව ගෙන යනු ලැබේ, අනික් තැනැත්තියව අත්හරිනු ලැබේ.” (මතෙව් 24:40, 41, NW) ඒ අර්බුදකාරී අවස්ථාවේදී අපගේ පෞද්ගලික තත්වය කුමක් වනු ඇද්ද? අප ඊට සූදානමින් සිටිනු ඇද්ද? නොඑසේනම් අප එයට හදිසියේම හසු වනු ඇද්ද? බොහෝ දේ රඳා පවතින්නේ අප දැන් ගන්නා ස්ථාවරය මතයි. යෙහෝවාගේ දවසට අප සූදානම් වී ඇති බව පෙන්වීමට නම්, අද දින පවතින යම් යම් ආකල්ප ඇති කරගැනීමෙන් අප වැළකී සිටිය යුතුය. එනම්, අප එක්තරා ආත්මික තත්වයකට වැටීමෙන් වැළකීමය. එමෙන්ම එක්තරා ආකාරයේ ජීවන රටාවන්වලට වැටීමෙන් වැළකීමය.

උදාසීන ආකල්පයකින් වළකින්න

4. නෝවාගේ දවස්වල විසූ ජනයාට තිබුණේ කිනම් ආකල්පයද?

4 නෝවාගේ දවස් ගැන සලකා බලන්න. “ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දිව්‍යමය අනතුරු ඇඟවීමක් ලැබ, දේවභය පෙන්වමින්, තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.” (හෙබ්‍රෙව් 11:7, NW) මෙම නැව අසාමාන්‍ය වූද කොයි කාටත් පැහැදිලිව පෙනුණාවූද එකක් විය. එපමණක්ද නොව, නෝවා “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු” විය. (2 පේතෘස් 2:5, NW) නෝවාගේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය නිසාවත් ඔහුගේ දේශනා කිරීම නිසාවත් ඔහුගේ කාලයේ විසූ මිනිසුන් තම ජීවිත වෙනස් කරගැනීමට පෙලඹුණේ නැත. ඒ මන්ද? මන්දයත් “ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ.” නෝවා දේශනා කළ අය තමන්ගේ පෞද්ගලික කාරණා කටයුතුවල සහ සුඛවිහරණයේ මොන තරම් ගැඹුරින් ඇලී ගැලී සිටියාද කියතොත්, “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ.”—මතෙව් 24:38, 39, NW.

5. ලොත්ගේ කාලයේ සොදොමේ විසූ වැසියන්ගේ ආකල්පය වූයේ කුමක්ද?

5 ලොත්ගේ දවස්වලද තිබුණේ එවැනිම තත්වයක්ය. ශුද්ධ ලියවිල්ල අපට මෙසේ කියයි. “ලොත්ගේ දවස්වලදීද එලෙසම සිදු විය. ඔවුහු කමින්, බොමින්, මිල දී ගනිමින් විකුණමින්, වවමින් ගොඩනඟමින් සිටියහ. නමුත් ලොත් සොදොමින් පිටතට ආ දවසේදී අහසෙන් ගිනිද ගෙන්දගම්ද වැස ඔවුන් සියල්ලන්ව විනාශ කළේය.” (ලූක් 17:28, 29, NW) පැමිණෙමින් තිබූ විනාශය ගැන දේවදූතයන් ලොත්ට අනතුරු ඇඟවූවායින් පසුව, සිදු වනු ඇති දේ ගැන ඔහු තම බෑනාවරුන්ට කතා කළේය. එහෙත්, ඔවුන්ගේ ඇස් හමුවේ ඔහුව පෙනුණේ ‘ඔහු සරදම් කරන්නෙකු මෙන්ය.’—උත්පත්ති 19:14.

6. අප වැළකිය යුත්තේ කිනම් ආකල්පයෙන්ද?

6 නෝවාගේ සහ ලොත්ගේ කාලයේදී මෙන්, “එලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද” වනු ඇති බව යේසුස් පැවසුවේය. (මතෙව් 24:39; ලූක් 17:30, NW) ඇත්තෙන්ම, අද දින බොහෝදෙනෙකු තුළ තිබෙන්නේ කිසිම දෙයක් ගණනකට ගන්නේ නැති උදාසීන ආකල්පයකි. එවන් ආකල්පයක බලපෑමට හසු නොවී සිටීමට අප සෝදිසියෙන් සිටිය යුතුය. හොඳ කෑම බීම නිසි ප්‍රමාණයකට ගැනීමේ කිසිදු වරදක් නැත. එමෙන්ම, විවාහයද දෙවිගේ විධිවිධානයකි. කෙසේවෙතත්, එවන් කාරණා අපගේ ජීවිතයේ අතිවැදගත් දේවල් බවට පත් වී ඇත්නම්, ආත්මික කාරණා පසෙකට තල්ලු වී ඇත්නම්, අපි යෙහෝවාගේ මහත් වූද භයානක වූද දවසට පෞද්ගලිකව සූදානමින් සිටින්නෙමුද?

7. යම් කිසිවක් පටන්ගැනීමට පෙර අප අපෙන්ම ඇසිය යුතු අතිවැදගත් ප්‍රශ්නය කුමක්ද? ඒ මන්ද?

7 “ඇත්තේ තව කෙටි කාලයකි” කියා ප්‍රේරිත පාවුල් පැවසීය. “මෙතැන් පටන්, භාර්යාවන් සිටින අය, භාර්යාවන් නොසිටින්නන් මෙන් වේවා.” (1 කොරින්ති 7:29-31, NW) අපට දෙවි විසින් දී ඇති රාජ්‍ය දේශනා කිරීමේ වැඩය නිම කිරීමට ඉතිරි වී ඇති කාලය සීමිතයි. (මතෙව් 24:14) එපමණක්ද නොව පාවුල් විවාහ වූවන්ට පවා අවවාද කරන්නේ තමන්ගේ ජීවිතය තුළ රාජ්‍යයට සම්බන්ධ කාරණා කටයුතුවලට දෙවෙනි තැන ලැබෙන අන්දමින් ඔවුන්ගේ අවධානය තම කලත්‍රයා කෙරෙහි පමණක්ම යොමු කරන්නට එපා කියායි. පැහැදිලිවම පෙනෙන දෙයක් නම්, පාවුල් අප තුළ ඇති කරගැනීමට අවවාද කරමින් සිටියේ උදාසීන බව හෙවත් කිසිම ගානක් නැතුව සිටීමේ ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් වූ මානසික ස්වභාවයකි. යේසුස් පැවසුවේ මෙසේයි. “එබැවින්, පළමුකොට රාජ්‍යයද [දෙවිගේ] ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න.” (මතෙව් 6:33, NW) යම් තීරණයක් ගැනීමට පෙර හෝ යම් කටයුත්තක නිරත වීමට පෙර, අප විසින් ඇසිය යුතු අතිවැදගත් ප්‍රශ්නය මෙයයි. ‘මගේ ජීවිතය තුළ රාජ්‍යයට සම්බන්ධ කාරණාවලට මුල් තැන දීමට මෙම තීරණය කෙසේ බලපානු ඇද්ද?’

8. අපගේ ජීවිතයේ මූලික අවධානය යොමු වී ඇත්තේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලට නම්, අප කුමක් කළ යුතුද?

8 අපගේ ආත්මික කටයුතුවලට කිසිම තැනක් නැති වන තරමට අපගේ එදිනෙදා ජීවිතයේ කාරණා කටයුතුවලින් අප දැනටමත් හිර වී සිටින බව අපට වැටහේ නම් තත්වය කුමක්ද? ශුද්ධ ලියවිලි පිළිබඳව නිවැරදි දැනුමක් නැති වූද රාජ්‍ය ප්‍රකාශකයන් නොවන්නාවූද අපගේ අසල්වාසීන්ගේ ජීවන රටාවත් අපගේ ජීවන රටාවත් අතර කිසිම වෙනසක් නැද්ද? තත්වය එය නම්, මෙම කාරණය ගැන අප යාච්ඤාපූර්වකව සලකා බැලිය යුතුයි. අපට නිසි මානසික ආකල්පය ඇතුව සිටීමට හැකියාව ලබා දීමට යෙහෝවාට පුළුවන. (රෝම 15:5; පිලිප්පි 3:15) අප විසින් රාජ්‍යයට මුල් තැන දීමටද, හරි දේ කිරීමටද, අප විසින් ඔහුගේ ආඥා පවත්වනු ලැබීම සඳහා අපට පිහිට වීමටද ඔහුට හැකියි.—රෝම 12:2; 2 කොරින්ති 13:7.

ආත්මික නිදිබර ගතියට එරෙහි වන්න

9. එළිදරව් 16:14-16ට අනුව, ආත්මික නිදිබර ගතියකට එරෙහිව සිටීම වැදගත් වන්නේ මන්ද?

9 අර්මගෙදොන්හිදී සිදු වෙන්නාවූ “සර්ව පරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධය” ගැන කතා කෙරෙන එම අනාවැකියේම, ඇතමුන් සෝදිසියෙන් නොසිටීමට ඉඩ කඩ ඇති බවට අනතුරු අඟවයි. “බලන්න! මම සොරෙකු මෙන් එන්නෙමි” යනුවෙන් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් පවසයි. “නිර්වස්ත්‍රව නොඇවිද, තමාගේ ලජ්ජාව මිනිසුන් නොදකින පිණිස අවදිව සිට තම පිටත වස්ත්‍ර ආරක්ෂා කරගන්නා සන්තෝෂවත්ය.” (එළිදරව් 16:14-16, NW) මෙහි සඳහන් වී ඇති පිටත වස්ත්‍රය මගින් අඟවන්නේ යෙහෝවාගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් ලෙස අපව හඳුන්වා දෙන යම් දෙයක්ය. මීට ඇතුළත් වන්නේ, රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අප කරන වැඩය සහ අපගේ ක්‍රිස්තියානි හැසිරීමයි. අප නිදිබර වී අක්‍රියාශීලී තත්වයකට කෙමෙන් කෙමෙන් ලිස්සා යන්නේ නම්, අපගේ ක්‍රිස්තියානි අනන්‍යතාව අපට අහිමි වී යා හැකියි. එය ලජ්ජාසහගතය සහ භයානකය. ආත්මික නිදිබර ගතියකට හෝ විඩාවට පත්වීමට එරෙහි විය යුතුය. එවන් නැඹුරුවාවකට එරෙහි වීමට අපට හැක්කේ කෙසේද?

10. දිනපතා බයිබලය කියවීම අපට ආත්මිකව සෝදිසියෙන් සිටීමට උපකාරයක් වන්නේ මන්ද?

10 අප සෝදිසියෙන් සිට අවදියෙන් සිටීමේ අවශ්‍යතාව ගැන බයිබලය නිතර නිතර අවධාරණය කරයි. නිදසුනක් වශයෙන්, සුවිශේෂ වාර්තාව අපට මතක් කර දෙන්නේ “සෝදිසියෙන් සිටින්න” (මතෙව් 24:42; 25:13; මාක් 13:35, 37, NW), “සූදානමින් සිටින බව පෙන්වන්න” (මතෙව් 24:44, NW), “පරෙස්සමෙන් සිටින්න, අවදිව සිටින්න” (මාක් 13:33, NW), “සූදානමින් සිටින්න” (ලූක් 12:40, NW) යනුවෙනි. යෙහෝවාගේ දවස මෙම ලෝකය මතට අනපේක්ෂිත ලෙස පැමිණීමට නියමිත බව සඳහන් කළායින් පසුව, ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට උනන්දු කරන්නේ මෙසේයි. “එබැවින්, අපි අන් අය මෙන් නිදා නොගෙන අවදිව, සිහිකල්පනාව ඇතිව සිටිමු.” (1 තෙසලෝනික 5:6, NW) බයිබලයේ අවසාන පොතේ, මහිමයට පත් කරනු ලැබූ ක්‍රිස්තුස් යේසුස් තමාගේ හදිසි පැමිණීම ගැන අවධාරණය කරන්නේ “මම ඉක්මනින් එන්නෙමි” යයි කියමිනි. (එළිදරව් 3:11, NW; 22:7, 12, 20) යෙහෝවාගේ විනිශ්චය ගෙනෙන මහත් දවස ගැන හෙබ්‍රෙව් අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙක් විස්තර කළ අතර අනතුරුද ඇඟවූහ. (යෙසායා 2:12, 17; යෙරෙමියා 30:7; යෝවෙල් 2:11; ශෙපනියා 3:8) දේවවචනය වන බයිබලය දිනපතා කියවීම සහ අප කියවන දේ ගැන මෙනෙහි කිරීම ආත්මිකව අවදිව සිටීමට මනා පිටුවහලක් වෙයි.

11. පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කිරීම ආත්මික අවදියට අතිශයින් වැදගත් වන්නේ මන්ද?

11 එසේය, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් සපයන ලද බයිබලය මත පදනම් ප්‍රකාශන භාවිත කරමින් ශුද්ධ ලියවිලි මැනවින් අධ්‍යයනය කිරීම අපට ආත්මික අවදිය ඇති කරලන ශක්ති ජනකයකි! (මතෙව් 24:45-47) කෙසේවෙතත්, පෞද්ගලික අධ්‍යයනයෙන් ප්‍රයෝජන ලැබීමට නම්, එය ප්‍රගතිශීලී විය යුතුයි, නිතරම කළ යුතුයි. (හෙබ්‍රෙව් 5:14–6:3) අප දැඩි ආත්මික ආහාර නිතිපතා ගත යුතුයි. මේ කාලයේදී ඒ සඳහා කාලය සොයාගැනීම අභියෝගයක් විය හැකියි. (එපීස 5:15, 16) එහෙත්, තමන්ට පහසු වේලාවලදී බයිබලය සහ ශුද්ධ ලියවිලිමය ප්‍රකාශන කියවීම පමණක් ප්‍රමාණවත් නොවේ. අප “ඇදහිල්ලේ ශක්තිමත්ව” සිටීමට සහ අවදිව සිටීමට නම්, නිතිපතා කරන පෞද්ගලික අධ්‍යයනය අතිවැදගත්ය.—තීතස් 1:13, NW; 1:14, පැ.අ.

12. ක්‍රිස්තියානි රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු අපට ආත්මික නිදිබර ගතිය සමඟ සටන් කිරීමට උපකාරවත් වන්නේ කෙසේද?

12 ක්‍රිස්තියානි රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළුද ආත්මික නිදිබර ගතියට එරෙහිව සටන් කිරීමට අපට උපකාරවත් වේ. ඒ කෙසේද? අප ලබන උපදෙස් මාර්ගයෙනි. මෙම රැස්වීම්වලදී, යෙහෝවාගේ දවස ළඟ බව අපට නිතරම මතක් කරනු ලබන්නේ නැද්ද? සතිපතා පැවැත්වෙන ක්‍රිස්තියානි රැස්වීම්වලදීද ‘එකිනෙකාව ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පෙලඹවීමට’ ප්‍රස්තාවන් උදා වෙයි. එවන් පෙලඹවීම්, ආත්මික අවදියට ඉතා හිතකරය. ‘දවස ළං වන බව දකිනවාත්’ සමඟම නිතර නිතර රැස් වන ලෙස අපට ආඥා කර තිබීම පුදුමයක් නොවේ.—හෙබ්‍රෙව් 10:24, 25, NW.

13. ආත්මිකව අවදිව සිටීමට ක්‍රිස්තියානි දේවසේවය අපට උපකාරවත් වන්නේ කෙසේද?

13 එමෙන්ම අප ක්‍රිස්තියානි දේවසේවයේ මුළු හදින්ම හවුල් වන විට, අපට අවදිව සිටීමට උපකාර ලැබේ. කාලවල ලකුණු ගැන සහ ඒවායේ අර්ථය ගැන වෙනත් අය සමඟ කතා කිරීම තරම් ඒවා අපගේ මනස්වල නැවුම්ව තබාගැනීමට හැකි වෙනත් හොඳ මාර්ගයක් තිබේද? තවද අප සමඟ බයිබලය අධ්‍යයනය කරන අය ප්‍රගතියක් ලබා තමන් ඉගෙනගන්නා දෙය අනුව ක්‍රියා කිරීමට පටන්ගන්නා විට, හදිසිතාව පිළිබඳ අපගේ හැඟීමද තීව්‍ර වේ. “ක්‍රියාකාරකම් සඳහා මනසින් ශක්තිමත් වන්න. පූර්ණ සිහිකල්පනාව ඇතුව සිටින්න” යයි ප්‍රේරිත පේතෘස් පැවසුවේය. (1 පේතෘස් 1:13, NW) ‘ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටීම’ ආත්මික උදාසීනකම සඳහා කදිම පිළියමකි.—1 කොරින්ති 15:58, NW.

ආත්මිකව හානිකර ජීවන රටාවන්ගෙන් වැළකෙන්න

14. ලූක් 21:34-36හි විස්තර කර ඇති පරිදි, යේසුස් අනතුරු ඇඟවූයේ කිනම් ජීවන රටාවන් ගැනද?

14 තමාගේ පැමිණ සිටීමේ ලකුණ පිළිබඳ මහත් අනාවැකියේදී යේසුස් තවත් අනතුරු ඇඟවීමක් දුන්නේය. ඔහු මෙසේ පැවසීය. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය. මන්ද එය මුළු පොළෝතලයේ වාසය කරන සියල්ලන් පිට පැමිණෙන්නේය. එසේනම් සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අයැදිමින් අවදිව සිටින්න.” (ලූක් 21:34-36, NW) ජනයා සාමාන්‍යයෙන් ලුහුබඳින ජීවන රටාවන් ගැන යේසුස් නිවැරදි ලෙස විස්තර කළේය. ඒවා නම්, අධික කෑම, බේබදුකම සහ කනස්සල්ල ඇති කරවන ජීවන රටාවක් අනුගමනය කිරීම යන මේවායි.

15. අධික කෑමෙන් සහ අධික බීමෙන් අප වැළකිය යුත්තේ මන්ද?

15 අධික කෑම සහ අධික සේ බීම බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි වන අතර ඒවායින් වැළකී සිටිය යුතුය. “මුද්‍රිකපානයෙහි ලොල් වූවන්ටවත් මස් කෑමෙහි ගිජු වූවන්ටවත් එක් නොවන්න” යයි බයිබලයේ සඳහන් වේ. (හිතෝපදේශ 23:20) එහෙත් ආත්මික වශයෙන් අන්තරාදායක තත්වයකට පත්වීමට සීමාව ඉක්මවා අධික සේ කන බොන අය වීමට අවශ්‍ය නැත. ඊට බොහෝ කලින් කෑමෙන් හා බීමෙන් ඔහු නිදිමත හා කම්මැළි තත්වයට පත් විය හැකියි. “අලසයාගේ ප්‍රාණය ආශා වන නමුත් ඔහුට කිසිවක් නැත.” (හිතෝපදේශ 13:4) එවන් පුද්ගලයෙකුට දේවකැමැත්ත කිරීමට වුවමනාවක් තිබෙනවා වෙන්නට පුළුවනි. නමුත් ඔහුගේ නොසැලකිලිමත්කම නිසා ඔහුගේ ආශාව සංසිඳෙන්නේ නැත.

16. අපගේ පවුල ගැන කනස්සලු වීමේ බරෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?

16 යේසුස් අනතුරු ඇඟවූ ජීවිතයේ කාන්සාවන් මොනවාද? පෞද්ගලික කාරණා කටයුතු, පවුලේ අයට සැලකීම යනාදිය මේවාට ඇතුළත් විය හැකියි. අපට මේවා මහා බරක් වීමට ඉඩහැරීම කොතරම් අඥානද! “කනස්සලු වීමෙන් තම ආයු කාලයට කිසිවක් එක් කරගන්න ඔබ අතරෙන් කාට පුළුවන්ද?” යයි යේසුස් ඇසුවේය. ඔහු තම ශ්‍රාවකයන්ට අවවාද කළේ මෙසේයි. “එබැවින් ‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය.” අපගේ ජීවිතවල රාජ්‍යයට සම්බන්ධ කාරණා කටයුතු පෙරට දැමීමෙන්ද යෙහෝවා අපට සපයනවා යන නිසැකකම ඇතිව සිටීමෙන්ද අපගේ කනස්සලුභාවයන් පාලනය කරගත හැකි අතර, එය අපට අවදියෙන් සිටීමට උපකාරවත් වෙයි.—මතෙව් 6:25-34, NW.

17. ද්‍රව්‍යමය දේවල් පසුපස ලුහුබැඳ යෑමෙන් අපට කනස්සල්ල ඇති විය හැක්කේ කෙසේද?

17 තවද ද්‍රව්‍යමය දේවල් කෙරෙහි ලුහුබැඳ යෑමෙන්ද අපට කනස්සලුභාවයන් ඇති විය හැකියි. නිදසුනක් වශයෙන්, තමන්ගේ ආදායමට සරිලන විදිහට වඩා වැඩි මට්ටමකින් ජීවත් වෙන්නට යෑමෙන් ඇතමුන් තමන්ගේ ජීවිත සංකීර්ණ කරගෙන තිබේ. තවත් අය ක්ෂණිකව පොහොසත් වීමට සහ අවදානම් සහිත මූල්‍යමය ආයෝජනයන් කිරීමට පෙලඹී ඇත. තවත් අයට සිදු වී ඇත්තේ, මුදල් අතින් සාර්ථකත්වය ලැබීම සඳහා ලෞකික අධ්‍යාපනය කෙරෙහි යොමුවීම ඔවුන්ට උගුලක් වීමයි. යම් රැකියාවක් ලබාගැනීම සඳහා යම් තරමක පාසැල් අධ්‍යාපනයක් ලබාගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. කෙසේවෙතත්, සත්‍යය නම්, බොහෝ කාලය වැය වන්නාවූ, උසස් අධ්‍යාපනය ලබාගැනීමට යෑමෙන් ඇතමුන් තමන්ටම ආත්මිකව හානි කරගෙන තිබීමය. යෙහෝවාගේ දවස වඩාත් ළං වෙත්ම එය මොන තරම් භයානක තත්වයක්ද! බයිබලය මෙසේ අනතුරු අඟවයි. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත්, විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය.”—1 තිමෝති 6:9, NW.

18. ද්‍රව්‍යවාදී ජීවන රටාවකට ඇදී යෑමෙන් වැළකීමට නම්, අප වගා කරගත යුත්තේ කිනම් හැකියාවද?

18 ද්‍රව්‍යවාදී ජීවන රටාවකට හසුවීමෙන් වැළකී සිටීමට අත්‍යවශ්‍ය වූ දෙයක් නම්, තීරණ ගන්නා විටදී හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහාගැනීමට හැකියාවක් වගා කිරීමයි. මෙම හැකියාව දියුණු කරනු ලබන්නේ ‘මේරූ අය සඳහා වූ ගන ආහාර’ නිතරම ලබාගැනීමෙන් සහ ‘භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව’ ඇති කරගැනීමෙනි. (හෙබ්‍රෙව් 5:13, 14, NW) මෙසේ කිරීමෙන්, ප්‍රමුඛතාවන් තබද්දී “වඩාත් වැදගත් දේවල්” සහතික කරගැනීමෙන්ද අපට වැරදි තීරණ ගැනීමෙන්ද ආරක්ෂා විය හැකියි.—ෆිලිප්පි 1:10, NW.

19. ආත්මික කාරණාවලට අපට තිබෙන්නේ ඉතා සුළු කාලයක් බව වටහාගන්නේ නම්, අප කුමක් කළ යුතුද?

19 ද්‍රව්‍යවාදී ජීවන රටාවකින් අප අන්ධ වී යා හැකියි. ඒ මගින් ආත්මික දේවලට ඉතිරි වී තිබෙන්නේ ඉතා අල්ප කාලයක් විය හැකියි. නැත්නම් කිසිම කාලයක් නැති වී යා හැකියි. අපවම පරීක්ෂා කරමින් එවන් ජීවන රටාවකට හසුවීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද? කොතරම් දුරකට අපගේ ජීවිතය කෙසේ සරල කරගත හැකිද කියා අප යාච්ඤාපූර්වකව සලකා බැලිය යුතුයි. පුරාණ ඊශ්‍රායෙලයේ සලමොන් රජ මෙසේ පැවසීය. “වැඩ කරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.” (දේශනාකාරයා 5:12) අනවශ්‍ය ලෙස ද්‍රව්‍යමය දේවල් අත් පත් කරගැනීමට යෑමෙන් අපගේ කාලය හා ශක්තිය වැඩියෙන් කා දැමෙයිද? අපට වැඩියෙන් දේවල් අයිති වන විට, ඒවා නඩත්තු කිරීමට, ඒවා රක්ෂණය කිරීමට හා ආරක්ෂා කරගැනීමට වැඩියෙන් දේවල් කිරීමට තිබේ. අප සතු සමහරක් දේවල් ඉවත් කර දැමීමෙන් අපගේ ජීවිතය වඩාත් සරල කරගැනීම අපටම ප්‍රයෝජනවත් වෙන්නට බැරි නැද්ද?

ඔබ සූදානම් බව පෙන්වන්න

20, 21. (අ) යෙහෝවාගේ දවස සම්බන්ධයෙන් ප්‍රේරිත පේතෘස් දෙන්නේ කිනම් සහතිකයද? (ආ) අප යෙහෝවාගේ දවසට සූදානම් බව පෙන්වන අතර, අප දිගටම කරමින් සිටිය යුත්තේ කිනම් ක්‍රියාද?

20 නෝවාගේ දවස්වල තිබූ ලෝකය අවසන් විණි. එලෙසම වර්තමාන සමාජ ක්‍රමයද අවසන් වෙනවා ඇත. ප්‍රේරිත පේතෘස් අපට මෙසේ සහතික වෙයි. “යෙහෝවාගේ දවස සොරෙකු මෙන් පැමිණෙන්නේය. ඒ දවසේදී අහස මහත් ශබ්දයකින් පහ වී යන්නේය. මූලධාතුන් අධික ලෙස උණුසුම් වී නැති වී යන්නේය. පොළොවද එහි ක්‍රියාද පැහැදිලිව දිස් වෙන්නේය.” සංකේතමය අහස වන දුෂ්ට ආණ්ඩුද, සංකේතමය පොළොව වන දෙවිගෙන් වෙන් වී සිටින මිනිස් වර්ගයාද දෙවිගේ ඇවිළෙන උදහසේ තද උණුසුමින් බේරී සිටින්නේ නැත. එම දවසට අපට කෙසේ සූදානම් විය හැකිදැයි අඟවමින් පේතෘස් මෙසේ ප්‍රකාශ කරයි. “මේ සියල්ල මෙසේ නැති වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව තබාගන්න!”—2 පේතෘස් 3: 10-12, NW.

21 දේවභක්තික ක්‍රියා අතරට, අප නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම සහ ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වීම ඇතුළත් වෙයි. අපි යෙහෝවාගේ මහත් දවස පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටින අතර දෙවිට හෘදයාංගම භක්තියකින් යුතුව ඒවායේ නියැලෙමු. “නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුක්තව අන්තිමේදී [දෙවි] ඉදිරියෙහි පෙනී සිටීමට හැකි වන පිණිස උපරිම ලෙස උත්සාහ” කරමු.—2 පේතෘස් 3:14, NW.

ඔබට මතකද?

• අප යෙහෝවාගේ දවසට සූදානම් බව පෙන්විය යුත්තේ මන්ද?

• ජීවිතයේ සාමාන්‍ය දේවල් අපගේ ප්‍රධාන දේවල් බවට පත් වී ඇත්නම්, අප කුමක් කළ යුතුද?

• ආත්මික නිදිබරකමට එරෙහිව සිටීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?

• අප වැළකී සිටිය යුත්තේ අපට හානි කරන කිනම් ජීවන රටාවන්ගෙන්ද? එසේ කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20, 21වන පිටුවේ පින්තූර]

නෝවාගේ දවස්වල විසූ ජනයා පැමිණෙමින් තිබූ විනිශ්චය ගණන් ගත්තේ නැත.—ඔබත් එසේද?

[23වන පිටුවේ පින්තූරය]

ආත්මික කාරණා සඳහා වැඩිපුර කාලය ලබාගත හැකි වන පිණිස ඔබට ඔබේ ජීවිතය සරල කරගැනීමට හැකිද?