Skip to content

පටුනට යන්න

යේසුස්ගේ පවුලේ අයගෙන් ඉගෙනගැනීම

යේසුස්ගේ පවුලේ අයගෙන් ඉගෙනගැනීම

යේසුස්ගේ පවුලේ අයගෙන් ඉගෙනගැනීම

යේසුස් මිහිපිට සිටියදී, වයස අවුරුදු 30දී බව්තීස්ම වන තුරු ඔහු සිටියේ ඔහුගේ පවුලේ අය සමඟය. ඔබ ඔවුන් ගැන දන්නේ මොනවාද? සුවිශේෂ වාර්තා අපට පවසන්නේ කුමක්ද? ඔහුගේ පවුල් කවය ගැන සොයා බැලීමෙන් අපට කුමක් ඉගෙනගත හැකිද? මෙම ප්‍රශ්නවලට ලැබෙන උත්තරවලින් ඔබට ප්‍රයෝජන ලැබිය හැක.

යේසුස් ඉපදුණේ රජ මැදුරකද? ඔහුගේ සුරැකි පියා වූ යෝසෙප් වඩුවෙකු විය. එවැනි රැකියාවක් කිරීමේදී කය වෙහෙසා වැඩ කිරීමට සිදු වූ අතර ලී ඉරාගැනීම සඳහා ගස් කැපීමටද බොහෝවිට සිදු විය. යේසුස්ගේ උපතෙන් දවස් 40කට පමණ පසු යේසුස්ගේ දෙමාපියන් යෙරුසලමට ගිය විට ඔවුහු මෝසෙස්ගේ නීතියට අනුව පූජාවක් ඔප්පු කළහ. මෝසෙස්ගේ නීතියෙන් නියම කර තිබූ පරිදි ඔවුන් කොබෙයියෙකු හෝ පරෙවියෙකු සමඟ බැටළුවෙකු ඔප්පු කළාද? නැත. එවැනි පූජාවන් ඔප්පු කිරීමට තරම් ඔවුන්ට වත්කමක් නොතිබූ බවයි පෙනෙන්ට තිබෙන්නේ. එහෙත්, එම නීතියෙන් දිලිඳුන් සඳහා යම් විධිවිධානයක් යොදා තිබුණි. එම විධිවිධානයට අනුව යෝසෙප් හා මරියා “කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු” ඔප්පු කළහ. වියදම අඩු සතුන් තේරීමෙන් පෙනීයන්නේ ඔවුන් අග හිඟකම් තිබූ පවුලකට අයත්ව සිටි බවය.—ලූක් 2:22-24; ලෙවී කථාව 12:6, 8.

මුළු මිනිස් වර්ගයාගේ අනාගත පාලකයා වන යේසුස් ක්‍රිස්තුස් උපන්නේ සාමාන්‍ය, ජීවිතය ගැට ගසාගැනීමට වෙහෙස දරා වැඩ කළ ජනතාව අතර බව ඔබට තේරුම්ගත හැකිය. තම සුරැකි පියා ලෙසම ඔහුද වැඩුණු පසු වඩුවෙකු විය. (මතෙව් 13:55; මාක් 6:3) ස්වර්ගයේ බලවත් ආත්ම මැවිල්ලක් වශයෙන් “[යේසුස්] ධනවත්ව සිටිය නමුත්” අප වෙනුවෙන් ඔහු ‘දිලිඳු විය’ යයි බයිබලයේ පවසයි. මිනිසෙකු වශයෙන් ඔහු පහත් තත්වයකට පත්ව සාමාන්‍ය පවුලක හැදී වැඩුණි. (2 කොරින්ති 8:9; පිලිප්පි 2:5-9; හෙබ්‍රෙව් 2:9) යේසුස් උපන්නේ ධනවත් පවුලක නොවේ. එමනිසා ඔහු සමඟ කටයුතු කිරීමේදී ඇතමුන්ට පහසුවක් දැනෙන්න ඇති. ඔහුගේ තත්වය ඔවුන්ට බාධාවක් නොවීය. ඔහුගේ ඉගැන්වීම්, ඔහුගේ සිත්ගන්නාසුලු ගුණාංගයන් සහ ඔහුගේ මවිතාකාර ක්‍රියා සම්බන්ධයෙන් ඔහුව අගය කිරීමට ඔවුන්ට හැකි විය. (මතෙව් 7:28, 29; 9:19-33; 11:28, 29) මෙසේ සාමාන්‍ය පවුලක යේසුස්ට ඉපදෙන්න ඉඩහැරීමෙන් යෙහෝවා දෙවිට මොන තරම් ප්‍රඥාවක් තිබෙනවාදැයි අපට වටහාගත හැක.

දැන් අපි යේසුස්ගේ පවුලේ සාමාජිකයන් ගැන සලකා බලා, ඔවුන්ගෙන් අපට උගත හැක්කේ කුමක්දැයි බලමු.

ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝසෙප්

තමා සමඟ “එක්වීමට පෙර” තම පෙම්වතිය ගැබ්ගෙන සිටි බව යෝසෙප් දැනගත් විට, මරියාට තිබූ ප්‍රේමයත් දුරාචාරය මෙන් පෙනෙන්ට තිබූ දෙය කෙරෙහි ඔහුට තිබූ දැඩි පිළිකුළත් අතර තේරීමක් කිරීමට සිදුවීම ඔහුට ඉමහත් වේදනාවක් ගෙන දෙන්ට ඇති. ඇගේ අනාගත ස්වාමිපුරුෂයා වශයෙන් තමාට තිබූ අයිතිය උල්ලංගනය කරන්නාක් මෙන් පින්තූරයක් ඔහුගේ මනසේ මැවී තිබුණි. ඔහුගේ කාලයේදී විවාහ බස් දී සිටි තැනැත්තියක සලකනු ලැබුවේ භාර්යාවකට සමානවය. සෑහෙන්න කල්පනා කළ පසු යෝසෙප් රහසිගතව මරියාගෙන් වෙන්වීමට තීරණය කළේ, වේශ්‍යාවක් ලෙස සලකා ඇයට ගල් ගසා මරණයට පත් කර දැමීමෙන් වළක්වනු පිණිසය.—මතෙව් 1:18; ද්විතීය කථාව 22:23, 24.

එවිට ඔහුට සිහිනයකින් දේවදූතයෙකු පෙනී සිට මෙසේ පැවසුවේය. “ඔබේ බිරිඳ වන මරියාව නිවසට කැන්දාගෙන යන්න භය නොවන්න. මන්ද ඇය තුළ දරුවා පිළිසිඳගෙන තිබෙන්නේ ශුද්ධාත්මය මාර්ගයෙනි. ඈ පුතෙකු බිහි කරන්නීය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. මන්ද ඔහු තම ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගන්නේය.” එම දිව්‍යමය මඟ පෙන්වීම ලැබීමෙන් අනතුරුව යෝසෙප් ඒ අනුව ක්‍රියා කරමින් මරියාව තම නිවසට කැටුව ගියේය.—මතෙව් 1:20-24, NW.

මෙම තීරණය ගැනීමෙන් එම ධර්මිෂ්ඨ හා ඇදහිලිවන්ත මිනිසා, අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා පවසා තිබූ මේ දේ ඉටු කිරීමට දායක විය. “බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.” (යෙසායා 7:14) මරියාගේ කුලුඳුල් පුතා තමාගේම පුතා නොවුවත් යෝසෙප් මෙසියස්ගේ සුරැකි පියා වීමේ වරප්‍රසාදය අගය කළ ආත්මික මිනිසෙකු වූ බවට සැකයක් නැත.

මරියා තම පුත්‍රයාව බිහි කරන තුරු යෝසෙප් ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් වැළකී සිටියේය. (මතෙව් 1:25, NW) ඒ වන විට විවාහ වී සිටි එම නව යුවළට එසේ වැළකී සිටීම ඇත්තෙන්ම අභියෝගයක් වන්න ඇති නමුත් ළදරුවාගේ පියා කවරෙකුද යන්න සම්බන්ධයෙන් කිසිම වරදවා වටහාගැනීමක් සිදු වෙනවාට ඔවුන් අකමැති වූ බවයි පෙනෙන්න තිබෙන්නේ. ආත්ම දමනය සම්බන්ධයෙන් මොන තරම් කදිම ආදර්ශයක්ද! යෝසෙප් තම මාංසික ආශාවලට වඩා ආත්මික සාරධර්මවලට මුල් තැන දුන්නේය.

අවස්ථා හතරකදීම තම සුළු දරුවාව ඇති දැඩි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෝසෙප්ට දේවදූතමය මඟ පෙන්වීම ලැබුණි. මින් අවස්ථා තුනක්ම පුතාව ඇති දැඩි කළ යුතු ස්ථානය සම්බන්ධයෙන් විය. දරුවාගේ දිවි රැකීම සඳහා වහා කීකරු වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය විය. ඒ සෑම අවස්ථාවකදීම යෝසෙප් විගස ක්‍රියා කරමින් කුඩා දරුවාව රැගෙන පළමුව ඊජිප්තුවටත්, පසුව ඊශ්‍රායෙලයටත් ගියේය. හෙරොද් විසින් බිලිඳුන්ව සමූලඝාතනය කරනු ලැබූ අවස්ථාවේදී කුඩා යේසුස්ගේ දිවි රැකුණේ ඒ හේතුවෙනි. එමෙන්ම, යෝසෙප්ගේ කීකරුකමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙසියස් සම්බන්ධයෙන් දී තිබූ අනාවැකි ඉටු විය.—මතෙව් 2:13-23.

යේසුස්ට ඔහුගේ අවශ්‍යතා සපුරාගත හැකි වන සේ යෝසෙප් ඔහුට වෘත්තියක් ඉගැන්වීය. මෙබැවින් යේසුස්ව “වඩුවාගේ පුතා” වශයෙන් පමණක් නොව “වඩුවා” කියාද ප්‍රසිද්ධ වී තිබුණි. (මතෙව් 13:55; මාක් 6:3, NW) යේසුස් “අප මෙන් හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ” කෙනෙකුයයි ප්‍රේරිත පාවුල් ලීවේය. එසේනම් පවුලේ නඩත්තුවට අත හිත දීම සඳහා අනිවාර්යයෙන්ම වෙහෙසී වැඩ කිරීම මීට ඇතුළත් වන්න ඇත.—හෙබ්‍රෙව් 4:15, NW.

ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ යෝසෙප් සම්බන්ධයෙන් අන්තිමට සඳහන්ව තිබෙන වාර්තාවේ සැබෑ නමස්කාරය සඳහා ඔහුගේ කැපවීම පිළිබඳ සාක්ෂි අපට දැකගත හැකියි. යෝසෙප් තම පවුලද කැටුව පාස්කුව සඳහා යෙරුසලමට ගියේය. ඊට සහභාගි විය යුතුව තිබුණේ පුරුෂයන් පමණක් වුවත් ‘සෑම අවුරුද්දකදීම’ තම පවුලද කැටුව යෙරුසලමට යෑම යෝසෙප්ගේ සිරිත විය. ඔවුන්ට නාසරෙත්හි සිට යෙරුසලම දක්වා කිලෝමීටර් 100ක් පමණ ඇවිදීමට තිබූ බැවින් මේ සඳහා ඔහුගේ පැත්තෙන් සෑහෙන කැපවීමක් අවශ්‍ය විය. කොහොම නමුත් ශුද්ධ ලියවිල්ලේ වාර්තා වී ඇති මෙම අවස්ථාවේදී යේසුස්ව කණ්ඩායමෙන් මඟහැරුණි. සොයා බලන විට ඔහු සිටියේ දේවමාලිගාවෙහි නීතිය උගන්වන්නන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමිනි. වයස අවුරුදු 12ක් පමණක් වුවත් යේසුස් දේවවචනය පිළිබඳ ඉමහත් ප්‍රඥාවක් සහ දැනුමක් තිබෙන බව විදහාපෑවේය. මේ සිද්ධියෙන් අපට පැහැදිලි වන්නේ යේසුස්ගේ දෙමාපියන් ඔහුට හොඳින් උගන්වන්ට ඇති බවත් ආත්මික මනසක් ඇති දරුවෙකු ලෙස ඔහුව ඇති දැඩි කර තිබූ බවත්ය. (ලූක් 2:41-50) මින් ටික කලකට පසුව යෝසෙප් මිය යන්ට ඇති. මන්දයත් ශුද්ධ ලියවිල්ලේ පසු වාර්තාවල ඔහු ගැන කිසිවක් සඳහන් වී නැත.

යෝසෙප් ඇත්තෙන්ම තම පවුලේ ආත්මික හා ශාරීරික අවශ්‍යතා යන දෙපැත්ත ගැනම හොඳ සැලකිල්ලක් දැක්වූ ධර්මිෂ්ඨ මිනිසෙකු විය. අද දින අප සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත කුමක්දැයි අවබෝධ කරගන්නා විට ඔබත් යෝසෙප් මෙන් ආත්මික දේවලට ඔබේ ජීවිතයේ මුල් තැන දෙනවාද? (1 තිමෝති 2:4, 5, NW [2:3-5]) ඔබ යෝසෙප් මෙන් යටහත් පහත්භාවය පෙන්වමින් දෙවිගේ වචනයෙහි දක්වා ඇති පරිදි කැමැත්තෙන්ම දෙවිගේ හඬට කීකරු වෙනවාද? අන් අය සමඟ ආත්මිකව අර්ථවත් සංවාදයන් ගෙන යෑමට හැකි වන ලෙස ඔබ ඔබේ දරුවන්ට උගන්වනවාද?

දෙවිගේ පරාර්ථකාමී සේවිකාවක් වූ මරියා

යේසුස්ගේ මව් වූ මරියා දෙවිගේ ඉතා යහපත් සේවිකාවක්ව සිටියාය. ඇය දරුවෙකු බිහි කරන බව ගාබ්‍රියෙල් දේවදූතයා දැනුම් දුන් විට ඈ පුදුමය පළ කළාය. කන්‍යාවකව සිටි ඈ “පුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා” තිබුණේ නැත. උපත සිදු වන්නේ ශුද්ධාත්මය කරණකොටගෙන බව දැනගත් ඇය යටහත් පහත්ව එම පණිවිඩය පිළිගෙන මෙසේ පැවසුවාය: “බලන්න! යෙහෝවාගේ දාසිය! ඔබ පැවසූ දෙයට අනුව මට සිදු වේවා.” (ලූක් 1:30-38, NW) ඇය එම ආත්මික වරප්‍රසාදය මොන තරම් අගය කළාද කිවහොත් ඇගේ තීරණය නිසා ඇයට මුහුණ දීමට සිදු වන ඕනෑම දුෂ්කරතාවක් දරාගැනීමට ඇය කැමැත්තක් දැක්වූවාය.

ඇත්තෙන්ම එම පැවරුම භාරගැනීමෙන් ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් විය. තමන්ව පවිත්‍ර කරගැනීම සඳහා ඇය යෙරුසලමට ගිය අවස්ථාවේ භක්තිවන්ත මහලු තැනැත්තෙකු වූ සිමියොන් ඇයට මෙසේ පැවසුවේය. “දිග කඩුවක් ඔබව පසාරු කරගෙන යන්නේය.” (ලූක් 2:25-35, NW) බොහෝදෙනෙකු විසින් යේසුස්ව ප්‍රතික්ෂේප කරනු ලැබ අවසානයේදී ඔහුව වධකණුවක ඇණ ගසනු ලබනවා දැකීමෙන් මරියාට දැනෙනු ඇති වේදනාව ගැන ඔහු පවසමින් සිටියා විය හැකියි.

යේසුස් ටිකෙන් ටික වැඩෙද්දී ඔහුගේ ජීවිතය තුළ සිදු වූ දේවල් මතකයේ තබාගත් මරියා “ඒ දේවල අර්ථය ගැන කල්පනා කළාය.” (ලූක් 2:19, 51, NW) යෝසෙප් මෙන් ඇයද ආත්මික පුද්ගලයෙකු වූ අතර අනාවැකි ඉටුවීමට දායක වූ සිද්ධීන් සහ ප්‍රකාශයන් අගය කරමින් සිතෙහි රඳවාගත්තාය. ගාබ්‍රියෙල් දේවදූතයා ඇයට පැවසූ දේ ඇගේ මතකයේ රැඳී තිබෙන්න ඇති. “ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.” (ලූක් 1:32, 33, NW) ඈ මෙසියස්ගේ මව වීමේ වරප්‍රසාදය බැරෑරුම් ලෙස සැලකුවාය.

ප්‍රාතිහාර්යමය ලෙස ගැබ්ගෙන සිටි තම ඥාතියක වූ එළිසබෙත්ව මරියා මුණගැසුණු අවස්ථාවේදී ඇගේ ආත්මිකත්වය නැවතත් පිළිබිඹු විය. මරියා ඇයව දුටු විට යෙහෝවාට ප්‍රශංසා කර දේවවචනය කෙරෙහි තමාට ඇති ඇල්ම හෙළි කළාය. ඈ 1 සාමුවෙල් 2වන පරිච්ඡේදයේ වාර්තා කර තිබෙන හන්නාගේ යාච්ඤාවත්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ වෙනත් පොත්වල අදහසුත් ප්‍රකාශ කළාය. ශුද්ධ ලියවිල්ල පිළිබඳ එවන් දැනුමක් ඇයට තිබීම ඇය ඇදහිලිවන්ත, දේවබියැති මවක් වීමට සුදුසුකම් ලබා සිටි බව පෙන්නුම් කළේය. තමාගේ පුත්‍රයාව ආත්මිකව පෝෂණය කිරීමට ඇය යෝසෙප් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත.—උත්පත්ති 30:13; 1 සාමුවෙල් 2:1-10; මලාකී 3:12; ලූක් 1:46-55.

තම පුත්‍රයා මෙසියස් බව මරියා දැඩිව විශ්වාස කළ අතර යේසුස්ගේ මරණයෙන් පසුව පවා එය හීන වී ගියේ නැත. ඔහුගේ නැවත නැඟිටීමෙන් ටික කලකට පසුව ඈ ප්‍රේරිතයන් සමඟ යාච්ඤා කිරීමට එක් රැස් වූ ඇදහිලිවන්ත ගෝලයන් අතර සිටියාය. (ක්‍රියා 1:13, 14) තමාගේ දයාබර පුත්‍රයා වධකණුවක් මත මිය යනවා දැකීමේ වේදනාව විඳදරාගැනීමට සිදු වුවත් ඈ ඇගේ විශ්වාසවන්තභාවය පවත්වාගත්තාය.

මරියාගේ ජීවිතය ගැන ඉගෙනගැනීමෙන් ඔබට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද? කුමන පරිත්‍යාගයන් කිරීමට සිදු වුණත් ඔබ දෙවිට සේවය කිරීමේ වරප්‍රසාදය පිළිගන්නවාද? අද දින මෙම වරප්‍රසාදයේ බැරෑරුම්කම ගැන ඔබ සැලකිලිමත්ව සිටිනවාද? යේසුස් පුරෝකථනය කළ දේවල් මතකයේ තබාගනිමින් අද දින සිදු වන දේ සමඟ ඔබ ඒවා සසඳනවාද? එසේ කිරීමෙන් “මේ දේවල අර්ථය” ගැන ඔබට සිතින් යම් නිගමනවලට එළඹෙන්න හැකි වී තිබෙනවාද? (මතෙව් 24 සහ 25වන පරිච්ඡේද; මාක් 13වන පරිච්ඡේදය; ලූක් 21වන පරිච්ඡේදය) දේවවචනය ගැන මනා දැනුමක් ලබාගෙන ඔබේ එදිනෙදා සංවාදයන්වලදී එම දැනුම පාවිච්චි කරමින් ඔබ මරියාව අනුකරණය කරනවාද? යේසුස්ගේ අනුගාමිකයෙකු වීම නිසා විඳීමට සිදු විය හැකි සිත් වේදනා මැද පවා ඔබ ඔහු කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල පවත්වාගනු ඇද්ද?

යේසුස්ගේ සහෝදරයන් මෙන් වෙනස් විය හැක

පෙනී යන ආකාරයට යේසුස් මිය යන තුරුම ඔහුගේ සහෝදරයන් ඔහු කෙරෙහි ඇදහිල්ල තබා තිබුණේ නැත. යේසුස් වධකණුවේ මිය යන අවස්ථාවේ ඔවුන් එහි නොසිටීමටත්, ඔහු තම මවව ප්‍රේරිත යොහන්ට භාර දීමටත් හේතුව සමහරවිට එය විය හැකිය. යේසුස්ගේ පවුලේ සාමාජිකයෝ ඔහුව අගය නොකළ බව පෙන්වූහ. එක් අවස්ථාවකදී ඔහු ‘සිහි විකල් වී ඇති’ බව පවා ඔවුහු පැවසූහ. (මාක් 3:21, NW) යේසුස්ටත් නොඇදහිලිකාර පවුල් සාමාජිකයන් සිටි නිසා, අද දින තමන්ගේ පවුල්වල නොඇදහිලිකාරයන් සිටින අය තමන්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන් තම පවුල්වල සාමාජිකයන්ගේ උසුළු විසුළුවලට මුහුණ දෙන විට ඔවුන්ට හැඟෙන ආකාරය යේසුස් තේරුම්ගන්නා බවට නිසැකකමක් තබාගැනීමට ඔවුන්ට හැක.

කෙසේවුවද යේසුස් නැවත නැඟිටුණු පසු ඔහුගේ සහෝදරයන් ඔහු කෙරෙහි ඇදහීමට පටන්ගත් බව පෙනෙන්න තිබේ. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්තයට පෙර යෙරුසලමෙහි සිටි කණ්ඩායම අතරේ සිටි ඔවුහු ප්‍රේරිතයන් හා එක්ව උනන්දුවෙන් යාච්ඤා කළහ. (ක්‍රියා 1:14) ඔවුන්ගේ අර්ධ සහෝදරයාගේ නැවත නැඟිටීම ඔවුන්ගේ සිත් වෙනස් කර ඔහුගේ ගෝලයන් බවට පත්වීමට තරම් ඔවුන් තුළ පෙලඹීමක් ඇති කළ බව පැහැදිලිය. අපේ ඇදහිල්ලට අයත් නොවන පවුලේ අය සම්බන්ධයෙන් අප කිසි විටක බලාපොරොත්තු අත් නෑරිය යුතුයි.

යේසුස් පෞද්ගලිකව පෙනී සිටි ඔහුගේ අර්ධ සහෝදර වූ යාකොබ් ක්‍රිස්තියානි සභාවේ විශිෂ්ට කාර්යභාරයක් ඉසිලූ බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී ඇත. ඔහු තම සෙසු ක්‍රිස්තියානීන්ට දේවානුභාවයෙන් ලිපියක් ලීවේ ඔවුන්ගේ ඇදහිල්ල පවත්වාගන්නයයි අවවාද කරමිනි. (ක්‍රියා 15:6-29; 1 කොරින්ති 15:7; ගලාති 1:18, 19; 2:9; යාකොබ් 1:1) ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක යෙදෙන්න කියා සෙසු ඇදහිලිවන්තයන්ට දිරිගැන්වීම සඳහා යූද් නම් අර්ධ සහෝදරයාද ආනුභාව ලත් ලිපියක් ලීවේය. (යූද් 1) සෙසු ක්‍රිස්තියානීන්ගේ සිත් ඇදගැනීම සඳහා යාකොබ්වත්, යූද්වත් තම ලිපිවල යේසුස් හා තමන් අතර වූ පවුල් සම්බන්ධකම් බැඳීම ගැන සඳහන් නොකිරීම සැලකිය යුතු කරුණකි. ඔවුන්ගෙන් අපට නිහතමානිකම පිළිබඳව ඉගෙනගත හැක්කේ මොන තරම් කදිම පාඩමක්ද!

එබැවින් යේසුස්ගේ පවුලේ අයගෙන් අප ඉගෙනගන්නාවූ ඇතැම් දේවල් මොනවාද? ඇත්තෙන්ම, පහත සඳහන් ලෙස භක්තිය විදහා පෑ හැකි ආකාරයන් පිළිබඳ පාඩම් අපට ඉගෙනගත හැකියි. (1) දෙවිගේ කැමැත්තට විශ්වාසවන්තව යටත් වී, ඒ හා බැඳි සියලු පීඩාවලට මුහුණ දෙන්න. (2) පරිත්‍යාගයන් කිරීමට සිදු වුවත් ආත්මික සාරධර්මවලට මුල් තැන දෙන්න. (3) ශුද්ධ ලියවිල්ලට එකඟව ඔබේ දරුවන් පුහුණු කරන්න. (4) ඔබේ ඇදහිල්ලේ නොසිටින පවුල් සාමාජිකයන් ගැන බලාපොරොත්තු අත් නොහරින්න. (5) ක්‍රිස්තියානි සභාවේ ප්‍රසිද්ධත්වයක් උසුලන පුද්ගලයන් සමඟ ඔබට තිබිය හැකි යම් සම්බන්ධතාවක් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටින්න. ඇත්තෙන්ම යේසුස්ගේ පවුලේ අය ගැන ඉගෙනගැනීමෙන් අපව තව තවත් ඔහුට ළං කරවන අතර යේසුස්ගේ ළමා කාලයේදී ඔහුව ඇති දැඩි කිරීමට යෙහෝවා සාමාන්‍ය පවුලක් තෝරාගැනීම සම්බන්ධයෙන් අපේ අගයද වැඩි කරවයි.

[4, 5වන පිටුවේ පින්තූර]

යෝසෙප් මරියාව තම භාර්යාව ලෙස භාරගැනීමෙන් මෙසියානු අනාවැකි ඉටු කිරීමට හවුල් විය

[6වන පිටුවේ පින්තූර]

යෝසෙප් හා මරියා තම දරුවන්ට වැඩ කොටස් ඉටු කිරීමටද ආත්මික සාරධර්ම අනුව ජීවත් වීමටද ඉගැන්වූහ

[7වන පිටුවේ පින්තූර]

ආත්මික දේවල නිරත වූ පවුලක හැදී වැඩුණත් යේසුස්ගේ සහෝදරයන් ඔහුගේ මරණය තෙක්ම ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැත

[8වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ අර්ධ සහෝදරයන් වූ යාකොබ් සහ යූද් සෙසු ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූහ