Skip to content

පටුනට යන්න

යේසුස්ගේ පවුලේ අය ඔවුන් කවුද?

යේසුස්ගේ පවුලේ අය ඔවුන් කවුද?

යේසුස්ගේ පවුලේ අය ඔවුන් කවුද?

ලෝකයේ බොහෝ රටවල දෙසැම්බර් මාසයේදී, තම මව් වූ මරියාගේ සහ තම සුරැකි පියා වූ යෝසෙප්ගේ සෙනෙහෙබර ආදරය ලබන බිලිඳු යේසුස් පිළිබඳ දර්ශන බොහෝවිට ඔබට දැකගත හැකියි. ක්‍රිස්තියානි නොවන අයගේ සිත් පවා එවැනි පවුල් දර්ශන වෙත ඇදී යා හැකියි. මෙහිදී වැඩි අවධානයක් දී තිබෙන්නේ යේසුස්ටය. එනමුත් ඔහුගේ මිහිපිට ජීවිතයේදී සිටි ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ අපට පවසන්නේ කුමක්ද?

යේසුස්ට තිබුණේ සිත්ගන්නාසුලු පවුල් පසුබිමකි. මරියා නම් කන්‍යාවගේ කුසෙන් උපත ලබමින් ඔහු මිනිස් පවුලේ සාමාජිකයෙකු බවට පත් විය. බයිබලයේ පවසන්නේ ශුද්ධාත්මය කරණකොටගෙන ඔහුගේ ජීවිතය ස්වර්ගයෙන් මරියාගේ ගර්භාශයට මාරු කරනු ලැබූ බවය. (ලූක් 1:30-35) යේසුස්ගේ ප්‍රාතිහාර්යමය පිළිසිඳගැනීම පිළිබඳව දැනුම් දීමට පෙර යෝසෙප් නම් තැනැත්තාට මරියා විවාහ බස් දී සිටි අතර ඔහු අවසානයේදී යේසුස්ගේ සුරැකි පියා බවට පත් විය.

යේසුස්ගේ උපතෙන් පසුව යෝසෙප්ට හා මරියාට වෙනත් දරුවන් ලැබිණ. ඔවුන් යේසුස්ගේ අර්ධ සහෝදර සහෝදරියන්ය. පසු කලෙක නාසරෙත්හි වැසියන් යේසුස් ගැන ඇසූ මෙම ප්‍රශ්නයෙන් එය ප්‍රත්‍යක්ෂ වේ. “මේ වඩුවාගේ පුතා නොවේද? ඔහුගේ මව මරියා නොවේද? ඔහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවේද? ඔහුගේ සියලු සහෝදරියන්ද අප සමඟ සිටිනවා නොවේද?” (මතෙව් 1:25; 13:55, 56; මාක් 6:3, NW) එබැවින් යේසුස්ගේ පවුලේ සාමාජිකයන්ට අයත් වන්නේ, ඔහුගේ දෙමාපියන් හා ඔහුගේ බාල සහෝදරයන් හතරදෙනා සහ අඩුම තරමින් සහෝදරියන් දෙදෙනෙකුයයි අපට නිගමනය කළ හැක.

කෙසේවුවද යේසුස්ගේ සහෝදර සහෝදරියන් යෝසෙප්ගේ හා මරියාගේ දරුවන් බව අද දින සමහරු විශ්වාස නොකරති. මන්ද? “මුල් කාලයේදී පටන් පල්ලියේ උගන්වා තිබුණේ මරියා සැමදාටම කන්‍යාවක්ව සිටි බවය. මේ අනුව බලන කල මරියාට වෙනත් දරුවන් සිටියේ නැති බව නිසැකය” කියා ද නිව් කැතලික් එන්සයික්ලොපීඩියා පවසයි. එම කෘතියේම පවසන්නේ “සහෝදරයා” සහ “සහෝදරිය” යන වචන “ආගමික සබඳතාවක් හෝ වෙනත් පොදු සබඳතාවක් තුළ සිටින කෙනෙකුට හෝ අයට” නැතහොත් පවුලේ සාමාජිකයන්ට සමහරවිට ඥාති සහෝදර සහෝදරියන්ට යොමු දැක්විය හැකි බවය.

ඇත්තෙන්ම සත්‍යය එයද? ඇතැම් කතෝලික දේවධර්මාචාර්යවරු පවා එම පරම්පරාගත මූලධර්මයට එකඟ නොවී යේසුස්ට මාංසික සහෝදර සහෝදරියන් සිටියාය යන අදහසට එකඟත්වය පළ කරති. අමෙරිකාවේ කතෝලික බයිබල් සමාගමේ කලින් සිටි සභාපති වූ ජොන් පී. මයර් මෙසේ ලිවීය. “ඇඩෙල්ෆොස් [සහෝදරයා] යන වචනය නව ගිවිසුමෙහි උපමාලංකාරයෙන් හෝ රූපකාලංකාරයෙන් භාවිත නොකර ශාරීරික හෝ නීත්‍යනුකූල සබඳතාවක් හැඳින්වීමට යොදා තිබෙන විට ඉන් අදහස් වන්නේ පූර්ණ හෝ අර්ධ සහෝදරයෙකු මිස වෙන කිසිවක් නොවේ.” * ඔව්, යේසුස්ට යෝසෙප්ට හා මරියාට උපන් දරුවන් වන තම සහෝදර සහෝදරියන් සිටි බව ශුද්ධ ලියවිල්ලේ අඟවා ඇත.

යේසුස්ගේ අනෙකුත් නෑදෑයන් ගැනද සුවිශේෂයන්හි සඳහන් වී ඇත. එහෙත් අපි දැන් යේසුස්ගේ පවුලේ සාමාජිකයන් වෙත අපගේ අවධානය යොමු කරමින් ඔවුන්ගෙන් අපට කුමක් උගත හැකිදැයි බලමු.

[පාදසටහන]

^ 6 ඡේ. “යේසුස්ගේ සහෝදර සහෝදරියන් පිළිබඳ සමස්ත ලෝක ක්‍රිස්තියානි දෘෂ්ටිය” ජේ. පී. මයර් විසින්. වර්ෂ 1992 ජනවාරි කතෝලික බයිබල් ත්‍රයිමාසිකයේ 21වන පිටුව.—සිංහලෙන් නැත.