Skip to content

පටුනට යන්න

මිෂනාරි සේවය සඳහා ආශාවෙන් කටයුතු කිරීම නිසා ලද ආශීර්වාද

මිෂනාරි සේවය සඳහා ආශාවෙන් කටයුතු කිරීම නිසා ලද ආශීර්වාද

ජීවිත කතාව

මිෂනාරි සේවය සඳහා ආශාවෙන් කටයුතු කිරීම නිසා ලද ආශීර්වාද

පැවසුවේ ටොම් කුක්

හවස් යාමයේ තිබූ නිස්කලංක බව ක්ෂණයකින් නැති වුණේ අසන්න ලැබුණ වෙඩි හඬ නිසයි. මිදුලේ ගස් අතරින් විදුලි වේගයෙන් වෙඩි උණ්ඩ එහෙ මෙහෙ ගියා. මොනවාද මේ සිද්ධ වෙන්නේ? ටික වේලාවකට පස්සේ අපිට දැනගන්න ලැබුණා උගන්ඩා ආණ්ඩුවේ බලය පැහැරගෙන කියලා. දැන් එය ජෙනරාල් ඉඩි ආමින්ගේ පාලනය යටතට පත් වෙලා තිබුණා. මෙය සිදු වුණේ 1971දී.

මමයි මගේ භාර්යාව වන ඈනුයි සාමකාමී වාතාවරණයක් තිබූ එංගලන්තය වගේ රටක් අත්හැරලා අප්‍රිකාවේ මේ වගේ ප්‍රචණ්ඩකාරී පළාතකට ආවේ ඇයි? මම සාමාන්‍යයෙන් අලුත් අද්දැකීම් ලබන්න කැමති කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ඒත් මා තුළ මිෂනාරි ස්ප්‍රීතුවක් ඇතිවීමට මූලික වුණේ මගේ දෙමාපියන් රාජ්‍ය සේවය සඳහා තැබූ ජ්වලිතවත් ආදර්ශයයි.

මගේ දෙමාපියන් මුල්ම වතාවට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණ, 1946 අගෝස්තු මාසයේ ඒ උණුසුම් දවස මට තවමත් මතකයි. ඔවුන් මේ අමුත්තෝ දෙදෙනා සමඟ හුඟ වේලාවක් දොර ළඟ හිටගෙන කතා කළා. මේ අමුත්තෝ දෙන්නා තමයි ෆ්‍රෙයිසර් බ්‍රැඩ්බරි සහ මේමී ශ්‍රිව්. ඔවුන් කිහිප වතාවක්ම අපේ නිවසට පැමිණි අතර ඊළඟ මාස කිහිපය ඇතුළත අපේ ජීවිතය පුදුමාකාර විදිහට වෙනස් වුණා.

මගේ දෙමාපියන්ගේ නිර්භීත ආදර්ශය

මගේ දෙමාපියන් නොයෙක් සමාජ මෙහෙවරවල නිරත වෙලා හිටියා. ඊට එක් නිදසුනක් කියනවා නම් ඔවුන් බයිබලය පාඩම් කරන්න කලින් වින්ස්ටන් චර්චිල්ගේ පෝස්ටර අපේ ගේ පුරාම එල්ලලා තිබුණා. යුද්ධයෙන් පස්සේ තිබුණ මහ මැතිවරණයේදී අපේ නිවස ප්‍රාදේශීය කොන්සවේටිව් පක්ෂයේ කාර්යාලය වශයෙන් පාවිච්චි කරනු ලැබුවා. ඒ වගේම පල්ලියේ සහ සමාජයේ උසස් පුද්ගලයන් සමඟ අපේ පවුලට සම්බන්ධකම් තිබුණා. අපේ පවුල යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙන්න යනවා කියලා නෑයෝ දැනගත්තාම එය ඔවුන්ට අදහාගත නොහැකි වූ හැටි මම අවුරුදු නවයක් වගේ වයසක හිටියත් මට තේරුම්ගියා.

අපි ආශ්‍රය කළ සාක්ෂිකරුවන් ආත්ම පූර්ණ සේවයත් නිර්භීතකමත් සම්බන්ධයෙන් තැබූ ආදර්ශය මගේ දෙමාපියන්ව දේශනා සේවයේ කාර්යශීලී වීමට පෙලඹුවා. වැඩි කාලයක් යන්න කලින් අපේ ගම වන ස්පන්ඩන්හි ප්‍රධාන සාප්පු සංකීර්ණයක් ළඟ මගේ තාත්තා ශබ්දවාහිනි මගින් එළිමහන් දේශන දෙන්න පටන්ගත්තා. අපි ඒ කාලයේ කුඩා දරුවන්ව සිටියත් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා අල්ලගෙන හැමෝටම පෙනෙන ස්ථානවල හිටගෙන හිටියා. හැබැයි මගේ ඉස්කෝලේ ළමයි මගේ ළඟට එනකොට නම් ඇති වූ ලැජ්ජාවට මට පොළොව පළාගෙන යන්න හිතුණා කියන එක නම් මම පිළිගන්න ඕනේ.

මගේ අක්කා ඩැෆ්නීට පුරෝගාමි සේවය ආරම්භ කිරීමට දිරිගැන්වීමක් වුණේ මගේ දෙමාපියන්ගේ ආදර්ශයයි. වර්ෂ 1955දී ඇය ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වුණා. ඉන්පසු මිෂනාරිවරියක් ලෙස ජපානයට පැවරුමක් ඇයට ලැබුණා. * ඒත් මගේ නංගි සෝයි යෙහෝවාට සේවය කිරීම නවතා දැමුවා.

මේ අතරතුර මම රූපසටහන් හා සිත්තම් කලාව පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. ඉන්පසුව පාසැල් ජීවිතයෙන් සමුගත්තා. ඒ කාලයේ මගේ පාසැල් මිතුරන් අතර තිබූ ලොකුම ගැටලුව තමයි අනිවාර්ය හමුදා සේවයට බැඳීම. මම මගේ හෘදය සාක්ෂියට එකඟව හමුදා සේවය ප්‍රතික්ෂේප කරන බව ඔවුන්ට කී විට මම විහිළු කරනවායයි ඔවුන් සිතුවා. සමහර ශිෂ්‍යයන් සමඟ බයිබලය සම්බන්ධ සාකච්ඡාවන් බොහොමයක් ඇරඹීමට මේ ගැටලුව නිසා අවස්ථාව ලැබුණා. වැඩි කාලයක් යන්න පෙර මම හමුදා සේවය ප්‍රතික්ෂේප කළ නිසා මට මාස 12ක සිර දඬුවමක් විඳින්න සිදු වුණා. කලා ආයතනයේ බයිබල් පණිවිඩයට උනන්දුවක් දැක්වූ එක් ශිෂ්‍යයාවක් පසු කාලයකදී මගේ භාර්යාව වුණා. ඈන් කොහොමද සත්‍යය ඉගෙනගත්තේ කියා පැවසීමට මම එයාටම අවස්ථාව දෙන්නම්.

ඈන් සත්‍යය දැනගත් ආකාරය

“මගේ පවුල ආගමට ලැදි පවුලක් නෙමෙයි. මම ගිය කිසිම ආගමක බව්තීස්ම වෙලා තිබුණෙත් නැහැ. හැබැයි මට ආගම නමැති විෂය ගැන ලොකු කුතුහලයක් තිබුණා. ඒ නිසා මගේ යහළුවෝ ගියේ කොයි පල්ලියටද මමත් ඒ පල්ලියට ගියා. ටොම් සහ තවත් සාක්ෂිකාරයෙක් අනෙක් ශිෂ්‍යයන් සමඟ කළ උද්‍යෝගිමත් සාකච්ඡාවලට ඇහුම්කන් දීම නිසයි බයිබලයට තිබුණ මගේ උනන්දුව අවදි වුණේ. ටොම් සහ අනෙක් සාක්ෂිකාරයා හමුදා සේවය ප්‍රතික්ෂේප කළ නිසා එයාලාට සිර දඬුවම් නියම වුණාම මම පුදුමයට පත් වුණා.

“ටොම් සිරගෙදර ඉන්න විටත් දිගටම මම ඔහු සමඟ ලිපි හුවමාරු කළා. මෙයින් බයිබලයට තිබූ මගේ උනන්දුව තව තවත් වැඩි වුණා. අමතර අධ්‍යාපනය සඳහා මම ලන්ඩනයට ගියාට පස්සේ මියුරියල් ඕල්බ්‍රේක්ට් සමඟ බයිබලය පාඩම් කිරීමට මම එකඟ වුණා. මියුරියල් එස්ටෝනියාවේ මිෂනාරිවරියක් ලෙස සේවය කර තිබුණා. ඇයත් ඇගේ මවත් මට ලබා දුන්නේ ලොකු දිරිගැන්වීමක්. සති කිහිපයක් ඇතුළත මම රැස්වීම්වලට යන්න පටන්ගත් අතර ලන්ඩනයේ වික්ටෝරියා දුම්රියපොළේ පිටත හිටගෙන මුරටැඹ සහ පිබිදෙව්! සඟරාද ඉදිරිපත් කළා.

“මම දකුණු ලන්ඩනයේ සවුත්වාක් සභාවටයි ගියේ. එම සභාව විවිධ ජාතිවලට අයත් ආත්මික සහෝදර සහෝදරයින්ගෙන් සෑදිලා තිබුණා. හුඟදෙනෙක් වත් පොහොසත් අය නෙමෙයි. ඒ අය මාව අඳුරන්නේ නැති වුණත් මට සැලකුවේ තමන්ගේම කෙනෙකුට වගේයි. සත්‍යය මෙයයි කියා ඒත්තුගැනීමට මට උපකාර කළේ එම සභාවේ තිබූ ප්‍රේමයයි. මම 1960දී බව්තීස්ම වුණා.”

එකම ඉලක්ක, වෙනස් තත්වයන්

ඉන්පසුව මමයි ඈනුයි 1960දීම යුග දිවි ගමන ආරම්භ කළා. අපේ ඉලක්කය වුණේ මිෂනාරි සේවයට පා තබන්න. ඒත් අපේ තත්වය වෙනස් වුණේ, අපිට දරුවෙක් ලැබෙන්න යනවා කියා දැනගත් විටයි. අපේ දූ සාරා ඉපදුණාට පස්සෙත් ඈන්ටයි මටයි රාජ්‍ය ප්‍රකාශකයන්ගේ අවශ්‍යතාව වැඩියෙන් තිබෙන රටක සේවය කිරීමේ ආශාව තිබුණා. මම රැකියාවක් ලබාගැනීමට රටවල් කිහිපයකට අයදුම්පත් දැමුවා. අන්තිමේදී 1966දී උගන්ඩාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියාවක් තිබෙන බව දන්වා මට ලිපියක් ලැබුණා. මේ වෙනකොට ඈන්ට දෙවෙනි දරුවා ලැබෙන්නයි හිටියේ. අපි එහෙම යන එක ගැන සිතීම පවා ඥානවන්ත දෙයක්ද කියා සමහරෙක් සැක කළා. ඒ නිසා අපි අපේ වෛද්‍යවරයාව හමු වෙන්න ගියා. ඔහු කිව්වා “ඔබ යනවා නම්, බිරිඳට හත් මාසය ලබන්න කලින් යන්න” කියලා. ඉතින් අපි ඉක්මනින්ම උගන්ඩාවට ගියා. මේ නිසා අපේ දෙවෙනි දූ රේචල්ට වයස අවුරුදු දෙකක් වෙනකම් අපේ දෙමාපියන්ට ඇයව දැකගන්න ලැබුණේ නැහැ. දැන් අපි ආච්චිලා සීයලා වෙලා. දැන් අපිට තේරෙනවා අපේ ආදරණිය දෙමාපියන්ට තිබුණ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවය. අපි ඒක ගොඩක් අගය කරනවා.

වර්ෂ 1966දී උගන්ඩාවට පැමිණෙන විට අපිට සතුටක් වගේම භයකුත් දැනුණා. ගුවන් යානයෙන් ගොඩබසිනවාත් සමඟම අවට තිබූ වර්ණවලට අපේ සිත ඇදී ගියා. ඒ වර්ණ හරිම දීප්තිමත්. නයිල් ගඟේ ආරම්භක ස්ථානය අසල පිහිටි නගරයක් වූ ජින්ජා සිට කිලෝමීටර් 50ක දුරින් පිහිටි කුඩා නගරයක් වූ ඊගොන්ජෝවලට කිට්ටුව තමයි අපේ පළමු නිවහන තිබුණේ. අපේ නිවසට කිට්ටුවෙන්ම හිටිය සාක්ෂිකාරයන් තමයි ජින්ජාවල හිටිය කුඩා කණ්ඩායම. ඒ කණ්ඩායම බලාගත්තේ ගිල්බට් සහ ජොන් වෝල්ටස් සහ ස්ටීවන් සහ බාබරා හාඩි යන මිෂනාරිවරුන්. මෙම කුඩා කණ්ඩායමට හොඳ සහයෝගයක් ලබා දීම සඳහා මම ජින්ජාවලට රැකියා මාරුවීමක් ඉල්ලුවා. රේචල් ඉපදිලා වැඩි කලක් යන්න පෙර අපි ජින්ජාවලට ගියා. එහිදී ඇදහිලිවන්ත සාක්ෂිකරුවන්ගෙන් යුත් එම කුඩා කණ්ඩායම සමඟ සේවය කර එය උගන්ඩාවේ දෙවෙනි සභාව ලෙස වර්ධනය වෙනවා දැකීමේ ප්‍රීතිය අපි අද්දැක්කා.

විදේශ රටක පවුලක් හැටියට සේවය කිරීම

ඈන්ටයි මටයි හිතෙනවා, අපේ පවුල ඇති දැඩි කිරීමට අපි හොඳම පරිසරයක් තෝරගත්තා කියලා. විවිධ රටවලින් පැමිණි මිෂනාරිවරුන් සමඟ එකට වැඩ කිරීමේ සතුටත් අලුත් සභාව වර්ධනය වෙනවා දැකීමේ ප්‍රීතියත් අපි අද්දැක්කා. අපව නිතර බලන්න ආව උගන්ඩා සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රයට අපි ගොඩක් ඇලුම් කළා. ස්ටැන්ලි සහ එසිනාලා මාකුම්බා වැනි සහෝදර සහෝදරියන් අපිට විශේෂ දිරිගැන්වීමක් ලබා දුන්නා.

හැබැයි අපේ අමුත්තෝ වුණේ සහෝදරයන් විතරක් නෙමෙයි. අපි නොයෙකුත් ජාතියේ වනසතුන්ගෙන් වට වෙලා හිටිය නිසා, රෑ ජාමේ හිපපොටේමස්ලා නයිල් ගඟෙන් එළියට ඇවිල්ලා අපේ ගේ ළඟටම එනවා. එක කාලයක් අපේ වත්තේ මීටර් 6ක් දිග පිඹුරෙක් හිටියා මට තවම හොඳට මතකයි. සමහර අවස්ථාවලදී අපි අභය භූමිවලට ගියා සිංහයන් සහ අනෙක් වනසතුන් උන්ගේ වාස භූමියේ නිදැල්ලේ සැරිසරන ආකාරය නැරඹීමට.

අපි දේශනා සේවයේ යන විට ඒ ප්‍රදේශයේ අයට අපිව අමුතු අය වගේ තමයි පෙනුණේ. මොකද එයාලා කවමදාකවත් ළදරු කරත්තයක් දැකලා තිබුණේ නැහැ. අපි ගෙයින් ගෙට යනකොට සාමාන්‍යයෙන් පුංචි ළමයි රංචුවක් අපේ පිටිපස්සෙන් එනවා. මිනිසුන් අපි දිහා ගෞරවාන්විතව බලනවා. ඊටපස්සේ සුදු බබාව අල්ලනවා. මිනිසුන් හරිම කරුණාවන්ත ආචාරශීලී අය වූ නිසා සාක්ෂි දැරීමෙන් ලැබුවේ ප්‍රීතියක්. බයිබල් පාඩම් ආරම්භ කිරීම ඉතාමත්ම පහසු දෙයක් වූ නිසා අපි හිතුවේ හැමෝම සත්‍යයට ඒවි කියලයි. ඒත් හුඟදෙනෙකුට ශුද්ධ ලියවිල්ලට පටහැනි චාරිත්‍රවලින් මිදීම පහසු දෙයක් වුණේ නැහැ. ඒත් සෑහෙන පිරිසක් බයිබලයේ උසස් ප්‍රමිතීන් අදාළ කරගත් අතර සභාවේ සාමාජිකයන් ගණන වැඩි වුණා. වර්ෂ 1968 ජින්ජාහි පැවැත්වූ පළමු චාරිකා එක්රැස්වීම වැදගත් සංධිස්ථානයක් වුණා. අපිත් සමඟ බයිබලය පාඩම් කළ කිහිපදෙනෙක් නයිල් ගඟේ බව්තීස්ම වූ ආකාරය මතකයෙන් ගිලිහී නොයන දෙයක්. නමුත් අපට තිබුණු එම සාමකාමී වාතාවරණය නැති වෙන්න වැඩි කලක් ගියේ නැහැ.

ඇදහිල්ල සහ උපානැණ පරීක්ෂාවට ලක් කළ තහනම

වර්ෂ 1971දී ජෙනරාල් ඉඩි ආමින් බලය අල්ලගත්තා. ජීන්ජා නගරයේ තිබුණේ අවුල්සහගත තත්වයක්. අපි මිදුලේ තේ බිබී ඉන්නකොට තමයි මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ සිද්ධිය සිදු වුණේ. ඉන් අනතුරුව ගත වූ වසර දෙක තුළදී ආසියානුවන්ගෙන් සෑදුණු විශාල ප්‍රජාව රටින් පන්නා දැමුවා. විදේශිකයන් හුඟදෙනෙක් රට අත්හැර යන්න තීරණය කළා. ඒ නිසා පාසැල්, රෝහල් සහ සායනවලට පාඩු සිදු වුණා. ඉන්පස්සේ එකපාරටම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු තහනම් කර තිබෙනවා කියන අමිහිරි ආරංචිය අපට ලැබුණා. අපේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අගනුවර වන කම්පාලාවට අපට මාරුවක් සකස් කර දුන්නා. මෙම මාරුවීම දෙයාකාරයකින් වාසිදායක වුණා. කම්පාලාවල අපිව එතරම් නොදන්න නිසා අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් වුණා. ඒ වගේම සභාවේ සහ ක්ෂේත්‍රයේ කරන්න බොහෝ වැඩ තිබුණා.

බ්‍රයන් සහ මැරියන් වොලස් සහ එයාලගේ දරු දෙදෙනාත් හිටියේ අපේ තත්වයේ. එයාලත් දිගටම උගන්ඩාවේ ඉන්න තීරණය කළා. අපි මෙම අසීරු කාලයේ කම්පාලා සභාවේ එකට සේවය කරන විට එයාලා අපි සමඟ සිටීම අපි බොහෝ සෙයින් අගය කළා. වෙනත් රටවල තහංචි යටතේ සේවය කරන අපේ සහෝදරයන් ගැන අපි කියවූ වාර්තා දැන් අපිට විශේෂ දිරිගැන්වීමක් ලබා දුන්නා. අපි කුඩා කණ්ඩායම් වශයෙන් මුණගැසුණත් මාසයකට වතාවක් විශාල කණ්ඩායමක් වශයෙන් එන්ටෙබි උද්භිත උද්‍යානයේ හමු වුණා. එම අවස්ථාව සාදයකට එකතු වීමක් මෙන් අපි සකස් කරගත්තා. ඒක කදිම අදහසක් කියලා අපේ දුවලාට හැඟී ගියා.

අපි දේශනා සේවයේ යෙදුණු ආකාරය ගැන කල්පනාකාරී වීමට සිදු වුණා. සුදු මිනිසුන් උගන්ඩාවේ නිවෙස්වලට යන විට හොඳට කැපිලා පේනවා. ඒ නිසා කඩ සාප්පු, නිවාස සංකීර්ණ සහ අධ්‍යාපන ආයතන අපේ ක්ෂේත්‍රය වුණා. මම කඩවල දේශනා කරන විට එක් ක්‍රමයක් යොදාගත්තා. ඒ තමයි මම කඩේට ගිහිල්ලා සීනි, හාල් වැනි ඒ කාලයේදී ලබාගත නොහැකිව තිබූ ද්‍රව්‍යය කඩෙන් ඉල්ලනවා. කඩේ මුදලාලි රටේ සිදු වන දේ ගැන තම කනස්සල්ල පළ කළොත් මම රාජ්‍ය පණිවිඩය හඳුන්වා දෙනවා. මෙම ක්‍රමය බලපෑමෙන් යුක්ත වුණා. සමහර අවස්ථාවල මම කඩෙන් පිට වුණේ නැවත බැලීමක් විතරක් නොවෙයි, සාමාන්‍යයෙන් මිල දී ගැනීමට නොහැකි ද්‍රව්‍යයකුත් සමඟයි.

මේ අතරේ අප අවට හැම තැනම සාහසික ක්‍රියා සිදු වෙන්න පටන්ගත්තා. උගන්ඩා සහ බ්‍රිතාන්‍යය අතර තිබූ සබඳතා තවදුරටත් පිරිහීම නිසා නිලධාරීන් මගේ රැකියා කොන්ත්‍රාත්තුව අලුත් කළේ නැහැ. ඒ නිසා උගන්ඩාවේ අවුරුදු අටක් ගත කිරීමෙන් පසු 1974දී අපේ සහෝදරයන්ගෙන් සමුගන්න සිදු වුණා. ඒත් අපේ මිෂනාරි ස්ප්‍රීතුව නම් නිවී ගියේ නැහැ.

නිව් ගිනියාව බලා . . .

වර්ෂ 1975 ජනවාරි මාසයේදී අපට පැපුවා නිව් ගිනියාවේ රැකියාවක් ලබාගැනීමට හැකි වුණා. පැසිපික් සාගරයට අයත් මෙම ප්‍රදේශයේ අපගේ අවුරුදු අටක ප්‍රීතිමත් සේවය අප පටන්ගත්තේ එලෙසයි. සහෝදරයන් සමඟ ගත කළ ජීවිතයත් ක්ෂේත්‍ර සේවයත් අර්ථවත් මෙන්ම ප්‍රතිඵලදායක වුණා.

පැපුවා නිව් ගිනියාවේ ගත කළ කාලය අපේ පවුලට සිහි වන්නේ බයිබල් නාට්‍යවල නිරත වූ කාලයක් හැටියටයි. හැම අවුරුද්දේම දිස්ත්‍රික් සමුළුවේ නාට්‍යය සූදානම් කිරීමට අපි හවුල් වුණා. ඒ දවස්වල අද්දැක්ක ප්‍රීතිය මොන තරම්ද! හොඳ ආත්මික මනසක් තිබූ පවුල් බොහොමයක් සමඟ ආශ්‍රය කිරීමෙන් අපි ප්‍රීතියක් අද්දැක්කා. ඔවුන් අපේ දුවලාට හොඳ බලපෑමක් වුණා. අපේ ලොකු දුව සාරා විශේෂ පුරෝගාමියෙක් වන රේ ස්මිත් සමඟ විවාහ වී දෙදෙනාම විශේෂ පුරෝගාමීන් ලෙස ඉරියන් ජායාවල (දැන් ඉන්දුනීසියානු පළාතක් වන පැපුවාවේ) මායිමට ආසන්නව සේවය කරනවා. එයාලා ජීවත් වුණේ ගමේ පිදුරු නිවසක. සාරා කියන්නේ ඈ එම පැවරුම ඉටු කළ කාලය ඇයට විශේෂ පුහුණුවක් වූ බවයි.

වෙනස් වන තත්වයන් අනුව හැඩගැසීම

ඒ අතරතුරේදී, මගේ දෙමාපියන්ට අපේ උපකාරය අවශ්‍ය වුණා. අපිව එංගලන්තයට ගෙන්වා නොගෙන එයාලා අපි සිටින තැනට ඇවිත් අපි සමඟ ජීවත් වෙන්න සතුටු වුණා. ඉන්පසු 1983දී අපි හැමෝම පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. තවමත් ජපානයේ සිටින මගේ සහෝදරි ඩැෆ්නි සමඟත් මගේ දෙමාපියන් ටික කාලයක් ගත කළා. මගේ දෙමාපියන් මිය ගිය පසු මමයි ඈනුයි තීරණය කළා ස්ථාවර පුරෝගාමි සේවයට පා තබන්න. මෙය මට යම් අභියෝගාත්මක වූ විශේෂ සේවා වරප්‍රසාදයකට මඟ පෑදුවා.

අපි පුරෝගාමි සේවය ආරම්භ කළා විතරයි චාරිකා සේවය සඳහා අපට ආරාධනයක් ලැබුණා. මම පුංචි කාලේ ඉඳලා චාරිකා අවේක්ෂකගේ පැමිණීම විශේෂ දෙයක් හැටියටයි සැලකුවේ. මම දැන් චාරිකා අවේක්ෂකයෙක්. එතෙක් අප භුක්ති වින්දාවූ පැවරුම්වලින් චාරිකා සේවය තමයි වඩාත්ම අභියෝගයක් වුණේ. ඒත් යෙහෝවා බොහෝ අවස්ථාවල අප කලින් අත් නුදුටු ආකාරයේ උපකාර අපට කළා.

වර්ෂ 1990දී කලාපීය අවේක්ෂක සහෝදර තියඩෝර් ජැරැස් ඕස්ට්‍රේලියාවට පැමිණි අවස්ථාවක අපි ඔහුගෙන් ඇහුවා විදේශ රටක පූර්ණ කාලීන සේවකයන් වීමට අපිට වයස වැඩියි කියා ඔබ සිතනවාද? එවිට ඔහු අපෙන් ඇසුවා “සොලමන් දූපත්වල සේවය කරන්න පුළුවන්ද?” කියලා. ඉතින් අවසානයේදී පනස් ගණන්වල පසු වූ ඈනුයි මායි අපගේ පළමු මිෂනාරි පැවරුම පටන්ගැනීමට පිටත් වුණා.

“ප්‍රීතිමත් ද්වීපයන්හි” සේවය කරමින්

සොලමන් දූපත්, ප්‍රීතිමත් ද්වීපයන් කියාත් හඳුන්වනවා. පසුගිය වසර දහය පුරා අප මෙහි කළ සේවයත් ඇත්තෙන්ම ප්‍රීතිමත් එකක්. මම දිස්ත්‍රික් අවේක්ෂකයෙක් ලෙස සේවය කරන විට මටයි ඈන්ටයි සොලමන් දූපත්වල සිටින සහෝදර සහෝදරියන්ගේ මෘදුකමත් කරුණාවන්තකමත් අද්දකින්න හැකි වුණා. අපට පෙන්වූ ආගන්තුක සත්කාරය අපේ සිත්ගත්තා. ලෝකයේ ඉතාමත් කුඩා වාග්මාලාවක් තිබෙන සොලමන් දූපත්වල භාවිත වන පිජින් භාෂාව මට හොඳින් හසුරුවන්න පුළුවන් කියලා මම හිතුවේ. ඒ වුණාට මම යම් දේවල් පැහැදිලි කරන්න උත්සාහ කරන විට හැමෝම ඉතාමත් ඉවසිලිවන්තව අසා සිටියා.

අපි සොලමන් දූපත්වලට ආපු අලුතම වාගේ විරුද්ධවාදීන් අපගේ එක්රැස්වීම් ශාලාවේ රැස් වෙන එක නතර කරන්න උත්සාහ කළා. හොනියාරාවල තිබූ අපේ අලුත් එක්රැස්වීම් ශාලාවේ කොටසක් ඔවුන්ට අයිති ඉඩමක ඉදි කර තිබෙනවා කියා ඇන්ග්ලිකන් පල්ලිය අපට චෝදනා කළා. ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රකාශය පිළිගත්තා. ඒ නිසා අපි ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළා. එයින් ලැබෙන ප්‍රතිඵලය අනුව තමයි ආසන 1200ක් තිබූ අපේ අලුත් ශාලාව ගලවා දමනවාද නැද්ද කියා තීරණය වීමට තිබුණේ.

සතියක් පුරා උසාවියේ නඩුව සලකා බැලුවා. අපිට විරුද්ධව පණවා තිබූ නඩුව ප්‍රකාශ කරද්දි විරුද්ධ පාර්ශ්වයේ නීතිඥවරයා ඉතාමත්ම අහංකාර ලීලාවක් පෙන්නුවා. එහෙත් උසාවියේදී අපට විරුද්ධව ඉදිරිපත් කරනු ලැබූ සෑම චෝදනාවක්ම එකින් එක බිඳ දමමින් නවසීලන්තයෙන් පැමිණි සහෝදර වොරන් කැත්කාට් නම් අපගේ නීතිඥවරයා අපට විරුද්ධව පණවා තිබූ නඩුව නිෂ්ප්‍රභ කළා. සිකුරාදා වන විට උසාවියේ සිදුවීම ගැන සෑම තැනකම ප්‍රචාරය වෙලා තිබූ අතර පල්ලියේ උසස් නිලතල දරන අයගෙන්, ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් සහ අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් උසාවිය පිරිලා. දැන්වීම් පුවරුවේ නඩු පිළිබඳ කාලසටහනේ සඳහන් වෙලා තිබුණු වරදක් මට තාම මතකයි. එහි ලියවී තිබුණේ, “සොලමන් දූපත්වල ආණ්ඩුව සහ මෙලනීසියා පල්ලියට එරෙහිව යෙහෝවා” කියලයි. අපි මෙම නඩුවෙන් දිනුවා.

මෙම ප්‍රීතිමත් දූපත්වල යම් තාක් දුරකට තිබුණාවූ සන්සුන්කම වැඩි කල් තිබුණේ නැහැ. ආයෙත් ඈනුයි මායි හමුදා කුමන්ත්‍රණකරුවන්ගේ උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා නිසා කැලඹීමකට ලක් වුණා. ජනවාර්ගික විරුද්ධවාදිකම් සිවිල් යුද්ධයක් දක්වා දිග්ගැස්සුණා. වර්ෂ 1999 ජූනි 5වන දා ආණ්ඩුව පෙරළුණ අතර අගනුවර හමුදා පාලනයට නතු වුණා. සති කිහිපයකට අපේ එක්රැස්වීම් ශාලාව අවතැන් වූ අයට නවාතැන්පොළක් වුණා. අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සතුරුකම් ඇති ජනවාර්ගික කණ්ඩායම්වලට අයිතිව සිටියත් සියලුදෙනාම එක පවුලක් මෙන් සමාදානයෙන් එක්රැස්වීම් ශාලාවේ සිටි ආකාරය දැක නිලධාරීන් පුදුමයට පත් වුණා. මෙය ඉතාමත්ම කදිම සාක්ෂියක් වුණා!

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථභාවය හමුදා භටයින් පවා අගය කළා. මේ නිසා විරුද්ධ හමුදා පාලනය යටතේ සිටිය අපේ කුඩා සහෝදර කණ්ඩායමකට පොත් පත් සහ වෙනත් අවශ්‍යතා සහිත ට්‍රක් රථයක් යැවීම සඳහා එක් හමුදාපති කෙනෙකුව කැමති කරවාගැනීමට අපට හැකි වුණා. මාස ගණනක් අපෙන් වෙන් වෙලා හිටිය පවුල් ටික අපට සම්බ වූ විට සියලුදෙනාගේ ඇස් කඳුළෙන් තෙත් වුණා.

ස්තුති කරන්න බොහෝ දේ

යෙහෝවාගේ සේවය තුළ ගෙවුණු අපේ ජීවිතය ගැන ආවර්ජනය කරනකොට ස්තුති කරන්න බොහෝ දේ තිබෙනවා. අපේ දුවලා දෙන්නා සහ එයාලාගේ ස්වාමිපුරුෂයන් වන රේ සහ ජොන් යෙහෝවාට දිගටම විශ්වාසවන්තව සේවය කරන ආකාරය දකින්න ලැබීම දෙමාපියන් හැටියට අප ලබපු ආශීර්වාදයක්. එයාලා අපේ මිෂනාරි පැවරුම කරගෙන යන්න විශාල සහයෝගයක් දුන්නා.

පසුගිය අවුරුදු 12 පුරා සොලමන් දූපත්වල තිබෙන ශාඛා කාර්යාලයේ සේවය කිරීමේ ප්‍රස්තාව ඈන්ටයි මටයි ලැබුණා. ඒ කාලයේ සොලමන් දූපත්වල රාජ්‍ය ප්‍රකාශකයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් දක්වා, ඒ කියන්නේ 1800කට වඩා වැඩි වෙන ආකාරය අපි දැක තිබෙනවා. ඉතා මෑතකදී මට අමතර වරප්‍රසාදයක් ලැබුණා. ඒ නිව් යෝක්හි පැටර්සන්වල, ශාඛා කමිටු සාමාජිකයන් පුහුණු කිරීමේ පාසැලට සහභාගි වීමේ වරප්‍රසාදය. ඇත්තෙන්ම අපි දිගටම මිෂනාරි සේවය සඳහා ආශාවකින් කටයුතු කිරීම නිසා ලැබූ අසීමිත ආශීර්වාද සමඟින් තෘප්තිමත් ජීවිතයක් භුක්ති වින්දා.

[පාදසටහන]

^ 10 ඡේ. වර්ෂ 1977 ජනවාරි 15 මුරටැඹ කලාපයේ “අපි එය පස්සට කල් දැමුවේ නැහැ” යන ලිපිය බලන්න.—සිංහලෙන් නැත

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1960දී අප විවාහ වූ දා

[24වන පිටුවේ පින්තූරය]

අපේ පවුලට ලොකු දිරිගැන්වීමක් ලබා දුන් උගන්ඩාවේ සිටි ස්ටැන්ලි සහ එසිනලා මාකුම්බා

[24වන පිටුවේ පින්තූරය]

සාරා අසල්වැසි නිවසකට යනවා

[25වන පිටුවේ පින්තූරය]

සොලමන් දූපත් වැසියන්ට ඉගැන්වීම සඳහා පින්තූර ඇඳීම මට උපකාරවත් වුණා

[25වන පිටුවේ පින්තූරය]

සොලමන් දූපත්වල ඈත පිටිසර පළාතක පිහිටි සභාවක් බැහැදැකීම

[26වන පිටුවේ පින්තූරය]

අද අපේ පවුල