Skip to content

පටුනට යන්න

යුද්ධයට නිමාවක්

යුද්ධයට නිමාවක්

යුද්ධයට නිමාවක්

‘අපිට තාම අවුරුදු 12යි. දේශපාලනයට හෝ යුද්ධයට බලපෑම් කරන්න අපිට බැහැ. අපිට ඕනෙ ජීවත් වෙන්න. අපි බලන් ඉන්නේ සාමය ඇති වෙනකං. ඒත් ඉතින් සාමය දකින්න අපි ජීවත් වෙයිද?’—පැවසුවේ පස්වන පන්තියේ ළමුන් පිරිසක් විසිනි

‘අපිට ඕනෙ, අපිව අල්ලාගෙන යයි කියන භය නැතුව පාසැල් යන්න; අපේ යාළුවන්වයි පවුලේ අයවයි බලන්න යන්න. ආණ්ඩුව අපට සවන් දෙයි කියලා මම හිතනවා. අපේ ආසාව හොඳින් ජීවත් වෙන්නයි. අපිට ඕනෙ සාමය.’—ආල්හාජි, වයස අවුරුදු 12යි

අනුකම්පාවක් ජනිත කරවන එම වචනවලින් කියවෙන්නේ සිවිල් යුද්ධ නිසා අවුරුදු ගණනාවක සිට දුක් වේදනා විඳිමින් සිටින යෞවනයන්ගේ සිත්වල තිබෙන අවංක ආශාවයි. ඔවුන්ගේ එකම ආශාව වන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමයි. කෙසේවෙතත් ආශාවන් ඉටු කරගැනීම ලෙහෙසි දෙයක් නොවේ. යුද්ධවලින් තොර ලොවක් දැකීමට අප ජීවත් වේවිද?

සටන් වදින පාර්ශ්වවලට සාම ගිවිසුමකට අත්සන් කිරීම සඳහා බලපෑම් කිරීමෙන් ඇතැම් සිවිල් යුද්ධ අවසන් කිරීමට මෑතක සිට ජාත්‍යන්තර මට්ටමින් ප්‍රයත්නයක් දරා තිබේ. ඇතැම් රටවල් එවන් ගිවිසුම් ක්‍රියාත්මක කරවීම සඳහා සාම සාධක හමුදා යවා ඇත. එහෙත් තම රටින් ඉතා දුර බැහැරව පිහිටා තිබෙන රටවල සටන් වදින කණ්ඩායම් අතර ඇති කරගනු ලබන යම් ගිවිසුමක් අධීක්ෂණය කිරීමට කැමැත්තක් මෙන්ම ඒ සඳහා මුදල්ද තිබෙන්නේ රටවල් ස්වල්පයකට පමණි. එමෙන්ම සටන් වදින කණ්ඩායම් අතර බද්ධ වෛරය හා සැකය පවතින නිසා එම ගිවිසුම් කෙටි කලකට සීමා වේ. සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා සති හෝ මාස කිහිපයක් ගත වූ සැණින් යුද්ධයේ ගිනි දැල් යළිත් ඇවිළීම නිතරම පාහේ දක්නට ලැබෙන දෙයකි. ස්ටොක්හෝම්හි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය පෙන්වා දෙන ආකාරයට “සටන් වදින අයට දිගටම සටන් කිරීමට කැමැත්තක් හා හැකියාවක් තිබෙන විට සාමය අත් කරගැනීම දුෂ්කර කාර්යයකි.”

ඒ අතරම, වසංගතයක් මෙන් ලෝකයේ බොහෝ තැන්වලට පැතිරී ගොස් තිබෙන විසඳුම් සොයාගත නොහැකි සටන් දකින විට හා ඒවා ගැන අසන විට ක්‍රිස්තියානීන්ට සිහිපත් වන්නේ බයිබල් අනාවැකියකි. අනතුරුදායක කාල පරිච්ඡේදයක් ගැන එළිදරව් පොතේ සඳහන් වේ. එම කාල පරිච්ඡේදයේදී සංකේතමය අසරුවෙක් “පොළොවෙන් සමාදානය පහ [කරයි].” (එළිදරව් 6:4, NW) එයින් විස්තර කෙරෙන නිමක් නැති යුද්ධ, අංග කිහිපයකින් සමන්විත ලකුණක එක් අංගයකි. එමෙන්ම අප ජීවත් වන්නේ “අන්තිම දවස්” කියා බයිබලයේ විස්තර කර තිබෙන කාලයේ බවද ඉන් කියවේ. * (2 තිමෝති 3:1) කෙසේවෙතත් දේවවචනය අපට සහතිකවම පවසන්නේ මේ අන්තිම දවස් සාමයේ අරුණලු උදා වන බවට තිබෙන පෙර නිමිත්තක් බවයි.

සැබෑ සාමය අත් කරගැනීමට නම් ලෝකයේ එක් කලාපයක නොව මුළු පොළොව පුරාම යුද්ධ නිම විය යුතු බව බයිබලයේ ගීතාවලිය 46:9හි පැහැදිලි කරයි. බයිබලය ලියූ කාලයේදී පැවති අවි ආයුධ වූ දුන්න හා හෙල්ලය විනාශ කිරීම ගැනත් එම ගීතිකාවෙහිම සඳහන් වේ. මිනිසුන් යම් දවසක මිහිතලය මත සාමයෙන් ජීවත් වීමට නම් වර්තමානයේ බහුලව නිෂ්පාදනය කරනු ලබන අවි ආයුධද එලෙස විනාශ කර දැමිය යුතුයි.

කෙසේවෙතත් යුධ ගිනි දැල් අඛණ්ඩව දැල්වීමට හේතු වන්නේ වෙඩි උණ්ඩ හා රයිෆල් නොව වෛරය හා ගිජුකමයි. යුද්ධවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ගිජුකමයි. එමෙන්ම බොහෝ අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මුල් වන්නේ වෛරයයි. මෙම විනාශකාරී හැඟීම් මුලිනුපුටා දැමීමට නම් මිනිසුන් තමන් සිතන ආකාරය වෙනස් කරගැනීම අවශ්‍යයයි. සාමයෙන් ජීවත් වීමට ඔවුන්ව දැනුවත් කළ යුතුයි. එමනිසා යුද්ධ නතර වන්නේ ජනයා ‘තවදුරටත් යුද්ධ ඉගෙනගන්නේ නැති’ නම් පමණක් කියා පුරාණයේ විසූ අනාගතවක්තෘ යෙසායා යථාර්ථානුරූපීව පවසයි.—යෙසායා 2:4.

කෙසේවෙතත් වර්තමානයේ අප ජීවත් වන්නේ වැඩිහිටියන්ට මෙන් ළමුන්ටද සාමයේ වටිනාකම නොව යුද්ධයේ අභිමානය ගැන උගන්වන ලොවකයි. මිනිසුන්ව මරන්න දරුවන්ව පවා පුහුණු කිරීම කනගාටුදායකය.

ඔවුන් ඉගෙනගත්තේ මරන්නයි

ආල්හාජිව වයස අවුරුදු 14දී හමුදා සේවයෙන් පහ කර දමන ලදි. කැරලිකාර හමුදාවක් ඔහුව අල්ලාගෙන, AK-47 වර්ගයේ ප්‍රහාරක රයිෆලයකින් සටන් කිරීමට ඔහුව පුහුණු කළ කාලයේදී ඔහුගේ වයස අවුරුදු දහයක් පමණයි. ඔහුව බලෙන් කැරලිකාර හමුදාවකට බඳවාගැනීමෙන් පසු ඔහු ආහාර මංකොල්ල කෑම්වලට හවුල් වූයේය; නිවාස ගිනි තැබුවේය; මිනිසුන්ව මරා දැමීමටත් ඔවුන්ගේ අත් පා කපා දැමීමටත් හවුල් විය. අද ආල්හාජිට දැනෙන්නේ යුද්ධයේදී තමන් කළ දේවල් අමතක කර දමා සාමාන්‍ය ජිවිතයකට හැඩගැසීම අසීරු බවයි. තවත් ළමා සොල්දාදුවෙකු වූ ඒබ්‍රහම්ද මිනිසුන්ව මරා දමන්න ඉගෙනගත්තේය. ඔහුගේ අවිය බාර දෙන්න ඔහු කැමති වූයේ නැත. ඔහු මෙසේ පැවසුවේය. “මගේ තුවක්කුව බාර දීලා යන්න කියා එයාලා මට කිව්වොත්, මම කරන්නේ මොනවාද, මම කෑම බීම හොයාගන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ.”

පිරිමි ළමුන්ගෙන් මෙන්ම ගැහැනු ළමුන්ගෙන්ද සමන්විත ළමා සොල්දාදුවන් 3,00,000කට අධික පිරිසක් මිහිතලය මත මහත් විනාශයක් ඇති කරන නිමක් නැති සිවිල් යුද්ධවලට හවුල් වී සිටිති. මෙම යුද්ධවලදී ඔවුහු ජීවිතක්ෂයට පත් වෙති. කැරලිකාර හමුදාවක නායකයෙක් මෙසේ පැහැදිලි කළේය. “ළමා සොල්දාදුවන් අණට කීකරු වෙනවා; බිරිඳව හෝ පවුලේ අයව බලන්න යන එක ගැන හිතන්න ඔවුන්ට අවශ්‍ය නැහැ; ඔවුන් භය නැහැ.” එහෙත් මේ ළමුන්ට වඩාත් හොඳ ජීවිතයක් අවශ්‍යයි. එවැනි ජීවිතයක් භුක්ති විඳීමේ අයිතිය ඔවුන්ට ඇත.

ළමා සොල්දාදුවන් අද්දකින සිතාගත නොහැකි තරම් වූ දරුණු තත්වය දියුණු රටවල අයට නම් නොදැනෙන තරම්ය. එසේ වුවත් දියුණු රටවල සැප පහසු ජීවිතයක් ගත කරන දරුවෝ පවා නිවෙස්වල සිටම යුද්ධ කරන්නට ඉගෙනගනිමින් සිටිති. ඒ කෙසේද?

නිදසුනක් වශයෙන් ගිනිකොනදිග ස්පාඤ්ඤයේ වෙසෙන හොසේ ගැන සිතා බලන්න. නහඹර වියේ පසු වූ ඔහු සටන් කලාව පුහුණු වීමට මහත් උනන්දුවක් දැක්වුවේය. ඔහු තමන් ළඟ තිබෙන වටිනාම වස්තුව හැටියට සැලකුවේ නත්තල් දින ඔහුගේ පියා ඔහුට ගෙනැවිත් දී තිබූ දිග ජපන් කඩුවයි. එමෙන්ම ඔහු ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට බෙහෙවින් ප්‍රිය කළේය. ඔහු සෙල්ලම් කළ වීඩියෝ ක්‍රීඩාවල සිටි වීරයා කළ දෙය 2000 අප්‍රියෙල් 1වන දා ඔහුද කළේය. ඔහු ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ඔහුගේ පියා ඔහුට ගෙනැවිත් දී තිබූ කඩුවෙන්ම පියාව, මවව හා නංගිව මරා දැමුවේය. “මට ඕන වුණේ ලෝකයේ තනියම ජීවත් වෙන්නයි; මගේ දෙමාපියන් මාව බලාගන්නවාට මම කැමති වුණේ නැහැ” කියා ඔහු පොලිසියට පැවසුවේය.

ප්‍රචණ්ඩකාරී විනෝදාස්වාදයන් මගින් ඇති කරනු ලබන බලපෑම ගැන අදහස් දක්වමින් ලේඛකයෙක් මෙන්ම හමුදා නිලධාරියෙක්ද වන ඩේව් ග්‍රොස්මන් මෙසේ සඳහන් කළේය. “අන් අයට දුක් දීමෙන් වින්දනයක් ලබන, හැඟීම් දැනීම් නැති අවධියක් කරා අපි ළඟා වෙමින් සිටින්නෙමු. අන් අයට දුක් පීඩා කිරීම දැඩි සේ පිළිකුල් කරනවා වෙනුවට ඒවා දැකීම හා මනසින් තමන්වද ඒවාට හවුල් කරවාගැනීම ඇතමුන් සලකන්නේ විනෝදාස්වාදයක් ගෙන දෙන දෙයක් ලෙසය. මිනිසුන්ව මරන්නත් එය ප්‍රිය ජනක දෙයක් ලෙස සැලකීමටත් අපි ඉගෙනගනිමින් සිටින්නෙමු.”

ආල්හාජි හා හොසෙ යන දෙදෙනාම මිනි මරන්න ඉගෙනගත්හ. මිනිසුන්ව ඝාතනය කිරීම ඔවුන්ගේ අරමුණ නොවීය. එහෙත් ඔවුන් ලැබූ යම් ආකාරයක පුහුණුවක් නිසා ඔවුන්ගේ සිතුවිලි විකෘති විය. ළමුන් හෝ වේවා වැඩිහිටියන් හෝ වේවා එවන් පුහුණුවක් ලැබීමෙන් සිදු වන්නේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හා යුද්ධවලට හවුල් වීමට පෙලඹීමයි.

යුද්ධය වෙනුවට සාමය ඉගෙනගැනීම

මිනිසුන් එකිනෙකාව ඝාතනය කිරීමට ඉගෙනගනිමින් සිටින තාක් කල්, කල් පවතින සාමයක් කිසි දිනක අත් කරගත නොහැකියි. මීට සියවස් ගණනාවකට කලින් අනාගතවක්තෘ යෙසායා මෙසේ ලීවේය. ‘ඔබ දෙවිගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්, ඔබේ සමාදානය ගංගාවක් මෙන් වන්නේය.’ (යෙසායා 48:17, 18) ජනයා දේවවචනය ගැන නිවැරදි දැනුමක් ලබාගනිමින් දෙවිගේ නීතිවලට ඇලුම් කිරීමට ඉගෙනගන්න විට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හා යුද්ධවලට ඔවුන් පිළිකුල් කරනු ඇත. දරුවන් නියැලෙන ක්‍රීඩා ප්‍රචණ්ඩත්වයට අනුබල නොදෙන බවට වගබලා ගැනීමට දැන් පවා දෙමාපියන්ට පුළුවනි. වෛරය හා ගිජුකම පරාජය කළ හැකි ආකාරය ඉගෙනගැනීමට වැඩිහිටියන්ටද පුළුවනි. මිනිසුන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කිරීමට දේවවචනය සතු බලය තහවුරු කරන සැබෑ ජීවිත අද්දැකීම් රැසක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරින් සොයාගත හැකියි.—හෙබ්‍රෙව් 4:12.

ඔර්ටෙන්සියොගේ අද්දැකීම සලකා බලන්න. ඔහු යෞවනයෙකුව සිටියදී හමුදාවකට බැඳීමට ඔහුට බල කරන ලදි. යුද්ධ පුහුණුව සැලසුම් කර තිබුණේ “වෙනත් අයව ඝාතනය කිරීමේ ආශාවක් හා මිනිසුන්ව මැරීම ගැන කිසිම බියක් නොදැනීමේ හැඟීමක් අපේ සිත්වල ඇති කිරීමටයි” කියා ඔහු පැහැදිලි කරයි. අප්‍රිකාවේ දිගු කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයකට ඔහු හවුල් විය. “යුද්ධය මගේ පෞද්ගලිකත්වයට බලපෑවා” කියා ඔහු පවසයි. “ඒ කාලයේ මම කරපු හැම දෙයක්ම අද පවා මට මතක් වෙනවා. බල කිරීම් හින්දා මම කළ දේවල් ගැන මට සෑහෙන කනගාටුවක් දැනෙනවා.”

ඔර්ටෙන්සියෝ සමඟ සිටි තවත් හමුදා භටයෙකු බයිබලය ගැන ඔහු සමඟ කතා කළ දේවල් ඔහුගේ සිත් ගත්තේය. සියලුම යුද්ධවලට නිමාවක් ගෙන ඒම ගැන ගීතාවලිය 46:9හි සඳහන් දෙවිගේ පොරොන්දුව ඔහුගේ සිතට කාවැදිණ. ඔහු බයිබලය ගැන වැඩි වැඩියෙන් ඉගෙනගත් විට සටන් කිරීමට ඔහුට තිබූ ආශාව අඩු වී ගියේය. වැඩි කලක් ගතවීමට කලින් ඔහුවත් ඔහුගේ සගයන් දෙදෙනෙකුවත් හමුදාවෙන් පහ කර දමන ලදි. පසුව ඔවුහු යෙහෝවා දෙවිට තමන්ගේ ජීවිත කැප කළහ. “මගේ සතුරන්ට ප්‍රේමය පෙන්වන්නට මට උපකාරවත් වුණේ බයිබලයේ සඳහන් සත්‍යයයි” කියා ඔර්ටෙන්සියෝ පැහැදිලි කරයි. “මිනිසුන්ව මරන්න එපා කියා දෙවි පවසා තිබෙන නිසා යුද්ධවලට හවුල් වූ කාලයේදී මම යෙහෝවාට විරුද්ධව පව් කරමින් සිටි බව මම තේරුම්ගත්තා. මිනිසුන්ට ප්‍රේමය පෙන්වීම සඳහා මම සිතන ආකාරය වෙනස් කරගන්නත් මිනිසුන්ව මගේ සතුරන් හැටියට නොසලකන්නත් මට සිදු වුණා.”

එවන් සැබෑ අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ බයිබල් අධ්‍යාපනය මගින් සාමයට මහත් රුකුලක් සපයන බවයි. මෙය පුදුම වීමට දෙයක් නොවේ. දෙවි සපයන අධ්‍යාපනය හා සාමය අතර ඍජු සම්බන්ධයක් තිබෙන බව අනාගතවක්තෘ යෙසායා සඳහන් කළේය. ඔහු මෙසේ පුරෝකථනය කළේය. “ඔබේ සියලුම දරුවෝද යෙහෝවා විසින් උගන්වනු ලබන්නෝ වෙති; ඔබේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.” (යෙසායා 54:13 අකුරු ඇල කළේ අපය) සියලු ජාතීන්ට අයත් ජනයා යෙහෝවා දෙවිගේ නිර්මල නමස්කාරය වෙතට එක් රොක් වන කාලයක සිදු වන දෙය එම අනාගතවක්තෘවරයා කලින් දුටුවේය. එසේ ජනයා යෙහෝවාගේ නිර්මල නමස්කාරයෙහි හවුල් වීමේ ප්‍රතිඵලය කුමක්ද? “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”—යෙසායා 2:2-4, අකුරු ඇල කළේ අපය.

එම අනාවැකියට එකඟව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලොව පුරා අධ්‍යාපනික සේවයක නිරත වෙමින් සිටිති. මෙම අධ්‍යාපනය ලැබීම නිසා මිනිසුන් කරන යුද්ධවලට ප්‍රධාන හේතුකාරකයක් වන වෛරය නැති කරගැනීමට දශලක්ෂ ගණනකට දැනටමත් හැකි වී තිබේ.

ලෝක සාමය සහතික කෙරේ

එවන් අධ්‍යාපනයක් සපයනවාට අමතරව ලෝක සාමය ස්ථිරවම ඇති කිරීමේ හැකියාව තිබෙන ආණ්ඩුවක් නොහොත් ‘රාජ්‍යයක්’ දෙවි පිහිටුවා ඇත. දෙවි තෝරා පත් කර තිබෙන පාලකයා වන යේසුස් ක්‍රිස්තුස්ව බයිබලයේ විස්තර කරන්නේ “සමාදානයේ කුමාරයා” කියාය. ‘ඔහුගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නැති’ බව බයිබලය අපට තවදුරටත් සහතික කරයි.—යෙසායා 9:6, 7.

ක්‍රිස්තුස්ගේ පාලනය මගින් සෑම ආකාරයේ යුද්ධයක්ම සහමුලින්ම නැති කර දමන බවට අපට තිබෙන සහතිකය කුමක්ද? අනාගතවක්තෘ යෙසායා තවදුරටත් මෙසේ සඳහන් කරයි. “සේනාවල යෙහෝවාගේ ජ්වලිතය මෙය ඉෂ්ට කරන්නේය.” (යෙසායා 9:7) සදාකාලික සාමය පවත්වාගැනීමට ආශාවක් මෙන්ම හැකියාවද දෙවිට ඇත. යේසුස් මේ පොරොන්දුව ගැන ඉර සඳ මෙන් විශ්වාස කරයි. දේවරාජ්‍යය පැමිණෙන්න කියාද දෙවිගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න කියාද යාච්ඤා කිරීමට යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූයේ ඒ නිසයි. (මතෙව් 6:9, 10) මුළු හදින්ම කරන එම ඉල්ලීමට පිළිතුරු ලැබෙන කාලයේදී නැවත කිසි දිනක යුද්ධයේ අඳුරු සෙවණැලි මිහිතලයේ දැකගත නොහැකි වනු ඇත.

[පාදසටහන]

^ 6 ඡේ. අප ජීවත් වන්නේ අන්තිම දවස්වල බවට තිබෙන සාක්ෂි පරීක්ෂා කර බැලීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[7වන පිටුවේ පින්තූරය]

බයිබල් අධ්‍යාපනය මගින් සාමයට ඉමහත් රුකුලක් සැපයේ