Skip to content

පටුනට යන්න

යුද්ධය වෙනස් මුහුණුවරක් ගනී

යුද්ධය වෙනස් මුහුණුවරක් ගනී

යුද්ධය වෙනස් මුහුණුවරක් ගනී

යුද්ධය කවදත් කුරිරුය. එය සොල්දාදුවන්ගේ ජීවිත විනාශ කර දමා ඇත. එදත් අදත් යුද්ධ නිසා සාමාන්‍ය වැසියන් දුක් පීඩා විඳ තිබේ. එහෙත් මෑත කාලයේ සිට යුද්ධය වෙනස් මුහුණුවරක් ගෙන ඇත. ඒ කෙසේද?

වර්තමානයේ බහුලව සිදු වන්නේ සිවිල් යුද්ධන්ය. මෙවන් යුද්ධවලට අයත් වන්නේ එකම රටේ පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර සිදු වන සටන්ය. බොහෝ සිවිල් යුද්ධ දිගු කාලයක් පුරා පවතින අතර ඒවා නිසා රටේ ජනතාව දැඩි ලෙස කම්පාවට පත් වේ. එමෙන්ම රටවල් අතර ඇති වන යුද්ධවලට වඩා සිවිල් යුද්ධවලදී සිදු වන විනාශය අතිවිශාලය. “සිවිල් යුද්ධ කුරිරුය. ලේ වගුරුවන සටන් නිසා දහස් ගණනක් මිය යති; ලිංගික අතවරවලට ගොදුරු වෙති; අකමැත්තෙන් වුවද උන්හිටි තැන් අත්හැර දමා යෑමට සිදු වේ; අතිදරුණු සිවිල් යුද්ධවලදී යම් ජාතියක් හෝ ගෝත්‍රයක් සමූලඝාතනයට ලක් වේ.” මෙම අදහස් පළ කරනු ලැබුවේ ස්පාඤ්ඤ ජාතික ඉතිහාසඥයෙකු වන හූලියන් කාසනොවා විසිනි. අසල්වැසි ජන පිරිස් අතර සිදු වන දරුණු ම්ලේච්ඡ සටන් නිසා ඇති වන සිත් අමනාපකම් දුරුවීමට සියවස් ගණනාවක් ගත විය හැකියි.

සාපේක්ෂ වශයෙන් බලන කල නිරවි යුද්ධය අවසන් වූ දා සිට රටවල් අතර සිදු වී තිබෙන්නේ යුද්ධ අතළොස්සකි. “වර්ෂ 1990-2000 අතර සිදු වූ ප්‍රධාන සටන් තුනක් හැර සෙසු සටන් සිදු වූයේ රටවල් අභ්‍යන්තරයෙහිය” කියා ස්ටොක්හෝම්හි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය වාර්තා කරයි.

රටවල් අභ්‍යන්තරයේ සිදු වන සටන් එතරම් භයානක නොවන බව පෙනී යා හැක. එමෙන්ම මෙවැනි සටන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට හසු නොවීමටද බොහෝදුරට ඉඩ ඇත. එහෙත් එවන් සටන් නිසා ජනයා ඉමහත් සේ දුක් වේදනා විඳින අතර ඉන් සිදු වන විනාශයද අතිවිශාලය. රටවල් අභ්‍යන්තරයෙහි පවතින යුද්ධ නිසා දශලක්ෂ ගණන් ජනයා මරුමුවට පත් වී තිබේ. යුද්ධයෙන් විනාශ වී තිබෙන ඇෆ්ගනිස්ථානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව හා සූඩානය යන රටවල් තුනෙහි පසුගිය දශක දෙක පුරා පැවති සිවිල් යුද්ධ නිසා දශලක්ෂ පහකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටවල සිදු වූ දරුණු වාර්ගික සටන් නිසා 2,50,000කට ආසන්න පිරිසකගේ ජීවිත විනාශ විය. කොලොම්බියාවේ දිගු කලක් පුරා පවතින ගරිල්ලා සටන් නිසා මිය ගොස් සිටින ගණන 1,00,000කි.

ලෝකයේ ඕනෑම තැනක ඇති වන සිවිල් යුද්ධවලදී සිදු කෙරෙන කුරිරුකම්වලට වැඩියෙන්ම ගොදුරු වන්නේ දරුවන් බව පැහැදිලිව දක්නට තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් පවසන පරිදි පසුගිය දශකයේදී සිවිල් යුද්ධ නිසා දරුවන් දශලක්ෂ දෙකකට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් ළමුන් දශලක්ෂ හයක් තුවාල වූහ. සොල්දාදුවන් ලෙස පුහුණු කරනු ලබන ළමුන්ගේ ගණන දිනෙන් දින වැඩි වේ. එක ළමා සොල්දාදුවෙක් මෙසේ පවසයි. “එයාලා මාව පුහුණු කරලා මට තුවක්කුවක් දුන්නා. මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා. මම සාමාන්‍ය වැසියන්ව මැරුවා. ගොඩාක් මැරුවා. ඒක ඉතින් යුද්ධයක්නේ. . . . මම කෙරුවේ අණ පිළිපදින එක විතරයි. ඒක වැරදි දෙයක් කියලා මම දැනගෙන හිටියා. ඇත්තටම මම ආස වුණේ නැහැ මිනිසුන්ව මරන්න.”

සිවිල් යුද්ධය ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙන රටවල වෙසෙන දරුවන් බොහෝදෙනෙකු ඇති දැඩි වන්නේ කවදාවත් සාමයක් කියන දෙයක් අද්දැක නැති ලෝකයකයි. ඔවුන් ජීවත් වන්නේ පාසැල් විනාශ වී තිබෙන ලෝකයකයි. එවන් ලොවක වෙසෙන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අදහස් හුවමාරු කරගන්නේ තුවක්කු කටින්ය. දහහතර හැවිරිදි ඩුන්ජා මෙසේ පවසයි. “මිනිසුන් හුඟදෙනෙකුව මරා දාලා තියෙනවා. . . . එදා වගේ අද කුරුල්ලන්ගේ ගී නාද ඇහෙන්නේ නැහැ. අද ඇහෙන්නේ තමන්ගේ අම්මාව, තාත්තාව, සහෝදරයාව, සහෝදරියව මරා දැමීම නිසා හඬා වැලපෙන දරුවන්ගේ හඬයි.”

හේතු මොනවාද?

එවන් කුරිරු සිවිල් යුද්ධ ඇවිළීමට බලපාන හේතුකාරක මොනවාද? වාර්ගික හා ගෝත්‍රික වෛරය, ආගමික මත භේද, අයුක්තිය හා දේශපාලනික අර්බුද යනාදිය ප්‍රධාන හේතුකාරක අතර වේ. තවත් මුල් බැසගත් හේතුවක් වන්නේ බලයට හා මුදලට තිබෙන ගිජුකමයි. බොහෝ අවස්ථාවලදී ගිජුකමට යට වන දේශපාලනික නායකයෝ යුද්ධය නමැති ගින්නට වෛරය නමැති පිදුරු දමති. අවි සන්නද්ධ සටන්වලට හවුල් වන බොහෝදෙනෙකු ඒවාට හවුල් වන්නේ “පෞද්ගලික වාසි ප්‍රයෝජන තකාගෙනයි” කියා ස්ටොක්හෝම්හි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය වාර්තා කරයි. එම වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් වේ. “ගිජුකම විවිධාකාරවලින් දැකිය හැකියි. එක් ආකාරයක් දැකිය හැක්කේ හමුදා හා දේශපාලනික නායකයන් අතර මහ පරිමාණයෙන් සිදු වන දියමන්ති ව්‍යාපාරයේදීයි. තුවක්කු රැගෙන ගම් බිම්වලට කඩා පැන මංකොල්ල කන තරුණයන් අතරද දැකිය හැක්කේ ගිජුකමේ තවත් ආකාරයකි.”

මිනිසුන් බුරුතු පිටින් ඝාතනය කිරීමට බලපාන තවත් හේතුවක් වන්නේ මාරාන්තික අවි ලාභෙට මිල දී ගත හැකි වී තිබීමයි. වසරකට සිදු වන 5,00,000කගේ පමණ මරණවලට හේතුව ගිනි අවිය. මොවුන්ගෙන් බොහෝදෙනෙක් කාන්තාවෝ හා දරුවෝය. එක් අප්‍රිකානු රටක කුකුළෙකුගේ මිලට සමාන මිලකට AK-47 වර්ගයේ ප්‍රහාරක රයිෆලයක් මිල දී ගත හැකියි. නිවෙස්වල ඇති කරනු ලබන කුකුළන්ගේ ගණන තරම් රයිෆල් ගණනක් සමහර ප්‍රදේශවල දක්නට තිබීම කනගාටුවට කරුණකි. ලොව පුරා ගිනි අවි දශලක්ෂ 500ක් පමණ තිබෙන බවට ගණන් බලා තිබේ. මෙය අනුපාතයක් ලෙස බලන කල ලෝකයේ වෙසෙන සෑම 12දෙනෙකුගෙන් එක් අයෙකුට එක බැගිනි.

වෛරයෙන් පිරි සිවිල් යුද්ධ මේ 21වන සියවසේ කැපීපෙනෙන අංගය වේවිද? සිවිල් යුද්ධ පාලනය කළ හැකිද? මිනිසුන් එකිනෙකාව ඝාතනය කිරීම කවදා හෝ නතර කර දමනු ඇද්ද? ඊළඟ ලිපියේදී මේ ප්‍රශ්න සලකා බලනු ලැබේ.

[4වන පිටුවේ කොටුව]

සිවිල් යුද්ධවල ඛේදජනක ප්‍රතිඵල

අධිතාක්ෂණික යුද්ධෝපකරණ භාවිත නොකළත් සිවිල් යුද්ධවලින් සිදු වන හානිය දරුණුය. මිය යන හෝ තුවාල ලබන අයගෙන් සියයට 90ක්ම සටන් වදින අයට වඩා සාමාන්‍ය වැසියෝ වෙති. “බොහෝ සිවිල් යුද්ධවලින් පෙනී යන්නේ, ළමුන් අවි සන්නද්ධ අරගලවල වැදගත් ඉලක්කයක් වී තිබෙන බවයි.” මෙසේ සඳහන් කරන්නේ සන්නද්ධ අරගල ළමුන් කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව සොයා බලන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් යටතේ සේවය කරන විශේෂඥවරියක වන ග්‍රාසා මාර්ෂෙල් නමැත්තියයි.

ස්ත්‍රීන්ව දූෂණය කිරීම යුද්ධ උපක්‍රමයක් වී තිබේ. යුද්ධයෙන් විනාශ වූ ඇතැම් ප්‍රදේශවල සිටින කැරලිකරුවෝ තමන් අත් පත් කරගන්න ගම්වල වෙසෙන නහඹර වියේ ගැහැනු ළමුන් සෑම කෙනෙකුවම පාහේ දූෂණය කරති. මෙම දූෂකයන්ගේ අරමුණ වන්නේ ගම් වැසියන් අතර බිය පතුරුවාහැරීම හෝ පවුල් අතර තිබෙන බැඳීම් විනාශ කර දැමීමයි.

යුද්ධයත් සමඟම සාගත හා ලෙඩ රෝග පැතිරේ. සිවිල් යුද්ධයක් පවතින ප්‍රදේශයක වගා කරනු ලබන බෝග ප්‍රමාණය අඩු වනු ඇත. එහි ප්‍රතිඵලයක් හැටියට ලැබෙන්නේ අඩු අස්වැන්නකි. සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වේ නම්, එම සේවය ලබාගත හැක්කේ සීමිත වශයෙනි. අත්‍යවශ්‍ය අය වෙත ලැබෙන්නේ ජාත්‍යන්තර ආධාරවලින් ස්වල්පයක් පමණි. අප්‍රිකානු රටක පවතින සිවිල් යුද්ධයක් පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළි වූයේ ඊට ගොදුරු වූ අයගෙන් සියයට 20ක් අසනීප නිසාද සියයට 78ක් කුසගින්න නිසාද මිය ගොස් තිබූ බවයි. සටන්වල ඍජු ප්‍රතිඵලයක් හැටියට මිය ගියේ සියයට 2ක් පමණි.

සාමාන්‍යයක් හැටියට ගත් කල, නොදැනුවත්ව බිම් බෝම්බයක් මත පය තැබීම නිසා සෑම විනාඩි 22කට වරක්ම මිහිතලයේ වෙසෙන යම් කෙනෙකුට ඔහුගේ හෝ ඇගේ අත පය අහිමි වී යයි; නැත්නම් මිය යයි. රටවල් 60කට වඩා වැඩි ගණනක බිම් බෝම්බ දශලක්ෂ 60 සිට 70 දක්වා ප්‍රමාණයක් වළලා තිබෙන බවට ගණන් බලා තිබේ.

අකමැත්තෙන් වුවද තමන්ගේ නිවෙස් අත්හැර පලා යෑමට ජනයාට සිදු වේ. වර්තමානයේ ලොව පුරා සිටින සරණාගතයන්ගේ හෝ අවතැන් වූවන්ගේ ගණන දශලක්ෂ 50ක් වේ. මොවුන්ගෙන් භාගයක්ම ළමුන්ය.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කවරය: පිරිමි ළමයා: ඡායාරූපය Chris Hondros/Getty Images

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඡායාරූපය Chris Hondros/Getty Images විසිනි.