Skip to content

පටුනට යන්න

සියල්ලෝ යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරත්වා!

සියල්ලෝ යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරත්වා!

සියල්ලෝ යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරත්වා!

“මහිමයත් බලයත් යෙහෝවාට දෙන්න. යෙහෝවාගේ නාමයට දිය යුතු මහිමය දෙන්න.”—ගීතාවලිය 96:7, 8.

1, 2. යෙහෝවාට ප්‍රශංසාව දෙන දේවල් මොනවාද? එයට හවුල් වීමට ආරාධනා කර තිබෙන්නේ කාටද?

යෙස්සේගේ පුත් දාවිත් හැදී වැඩුණේ බෙත්ලෙහෙමට යාබද ප්‍රදේශයක විසූ එඬේර කොල්ලෙකු ලෙසයි. පාළුව රජයන ඒ තණ බිම්වල තමාගේ පියාගේ බැටළු රැළවල් බලාගනිමින් සිටින අතර තරුවලින් පිරි නිසසල අහස් කුස දෙස ඔහු මොන තරම් ආශාවෙන් කොතරම් වේලාවක් බලා සිටින්න ඇද්ද! “අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය” යනුවෙන් ගීතාවලියේ 19වන ගීතිකාවේ ඔහු සඳහන් කළේය. මේ මනරම් වචන ඔහු ලියා ගායනා කරද්දී දෙවිගේ ආත්මයෙන් පෙලඹී සිටි ඔහුගේ මනස තුළ එවන් චමත්කාරජනක දසුන් මහත් බලපෑමක් කළ බවට නම් කිසිම සැකයක් නැත.—ගීතාවලිය 19:1, 4.

2 කිසිම කතාවක් නැතිව, කිසිම වචනයක් නැතිව, කිසිම හඬක් නැතිව යෙහෝවා පුදුමාකාර ලෙස මවා ඇති අහස් ගංගාවෝ දිනෙන් දින රැයින් රැය ඔහුගේ මහිමය ප්‍රකාශ කරති. මැවිල්ල කිසිම විටෙකත් දෙවිගේ මහිමය ප්‍රකාශ කිරීම නවත්වන්නේ නැත. පොළොවේ සියලු වැසියන්ට දැකගත හැකි පරිද්දෙන් ‘පොළොව මුළුල්ලේ’ නිහඬව ගමන් කරමින් සාක්ෂි දරන මේ දේවල් දෙස බලා කල්පනා කරන විට අප කවුදැයි අපට සිතේ. එහෙත්, මැවිල්ල විසින් කරනු ලබන මේ නිහඬ සාක්ෂි ප්‍රමාණවත් නැත. ඒ නිසා ශබ්ද නැඟීමෙන් ඊට හවුල් වන ලෙස ඇදහිලිවන්ත මිනිසුන්ට ආයාචනා කෙරේ. නිර්ණාමික ගීතිකාකරුවෙක් තම සෙසු නමස්කාරකයන්ව ඇමතුවේ මෙම වචනවලිනි. “මහිමයත් බලයත් යෙහෝවාට දෙන්න. යෙහෝවාගේ නාමයට දිය යුතු මහිමය දෙන්න.” (ගීතාවලිය 96:7, 8) යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති අය එම අවවාදයට ප්‍රතිචාරය දක්වන්නේ මහත් සතුටිනි. එහෙත්, දෙවිට මහිමය දෙනවා කීමට ඇතුළත් වෙන්නේ මොනවාද?

3. මිනිසුන් දෙවිට මහිමය දෙන්නේ මන්ද?

3 නිකම් වචනවලට වඩා දෙයක් ඊට අවශ්‍යය. යෙසායාගේ කාලයේ විසූ ඊශ්‍රායෙලිතයන් තමන්ගේ තොල්වලින් දෙවිව මහිමවත් කළ නමුදු වැඩිදෙනෙකු එසේ කළේ අවංකව නොවේ. යෙහෝවා යෙසායා තුළින් මෙසේ පැවසීය. ‘මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළං වී තමුන්ගේ තොල්වලින් මට ගෞරව කරන නමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරු කර ගෙන ඇත.’ (යෙසායා 29:13) එවන් පුද්ගලයන් දොඩවන මොනයම් හෝ ප්‍රශංසාවක කිසිම තේරුමක් නැත. කරන ප්‍රශංසාව අර්ථවත් වීමට නම්, යෙහෝවා සඳහා වූ ප්‍රේමයෙන් පිරි සිතකින් එය නික්මිය යුතුය. ඔහුගේ අද්විතීය මහිමය අවංකව පිළිගත යුතුය. යෙහෝවා පමණයි එකම මැවුම්කරුවාණෝ. ඔහු පමණයි එකම සර්වබලධාරී තැනැත්තා. ඔහුයි, ප්‍රේමයේ පරමාදර්ශය. ඔහුයි අපගේ ගැලවීමේ කර්තෘවරයාණෝ. ස්වර්ගයේද පොළොවේද වෙසෙන සෑම කෙනෙක්ම යටත් විය යුතු එකම පරමාධිපතියාණෝ. (එළිදරව් 4:11; 19:1) අප එම දේවල් ඇත්තටම විශ්වාස කරනවා නම්, අපි අපගේ මුළු සිතින්ම ඔහුව මහිමවත් කරමු.

4. දෙවිව මහිමවත් කරන අන්දම ගැන යේසුස් දුන් උපදෙස් මොනවාද? ඒවා ඉෂ්ට කිරීමට අපට හැක්කේ කෙසේද?

4 යේසුස් ක්‍රිස්තුස් දෙවිව මහිමවත් කරන ආකාරය ගැන අපට පැවසීය. “ඔබ බොහෝ පල දරමින් මාගේ ගෝලයන් බව ඔප්පු කිරීම තුළින් මාගේ පියාණන්ව මහිමයට පමුණුවන්නේය.” (යොහන් 15:8, NW) අප බොහෝ පල දරන්නේ කෙසේද? පළමුව, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” පූර්ණ ආත්මයකින් යුතුව දේශනා කිරීම මගින් දෙවිගේ “අදෘශ්‍යමාන ගුණාංග” ගැන කතා කිරීමෙහිලා සියලු මැවිලි සමඟ හවුල් වීමෙනි. (මතෙව් 24:14; රෝම 1:20, NW) එපමණක්ද නොව, යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමෙහි මහා හඬ තවත් වැඩි කරන්නාවූ නව ගෝලයන් සෑදීමෙහි ඍජුවම හෝ වක්‍ර ආකාරයකින් අපි හවුල් වන්නෙමු. දෙවනුව, ශුද්ධාත්මය මගින් බිහි කරන පල වගා කරන අපි යෙහෝවා දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග අනුකරණය කිරීමට උත්සාහ කරන්නෙමු. (ගලාති 5:22, 23; එපීස 5:1; කොලොස්සි 3:10) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ දෛනික හැසිරීම දෙවිව මහිමවත් කරයි.

“ලොව පුරා”

5. අන්‍යයන් සමඟ තම ඇදහිල්ල බෙදාගැනීම මගින් දෙවිව මහිමවත් කිරීමට ක්‍රිස්තියානීන්ට ඇති වගකීම පාවුල් අවධාරණය කළ ආකාරය පැහැදිලි කරන්න.

5 පාවුල් රෝමවරුන්ට ලියන ලද ලිපියේ අවධාරණය කළේ තම ඇදහිල්ල අනුන් සමඟ බෙදාගැනීම මගින් දෙවිව මහිමවත් කිරීමට ක්‍රිස්තියානීන් සතු වගකීමයි. රෝමවරුන්ට ලියන ලද ලිපියේ ප්‍රධාන තේමාවක් වන්නේ ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇදහිල්ල දක්වන අය පමණක් ගැලවෙන බවයි. ඔහුගේ ලිපියේ රෝම 10වන පරිච්ඡේදයේ පාවුල් පෙන්වූයේ “ක්‍රිස්තුස් නීතියේ අවසානය” වුවද, පාවුල්ගේ කාලයේ විසූ මාංසික ඊශ්‍රායෙල්වරුන් මෝසෙස්ගේ නීතිය අනුගමනය කිරීම මගින් ධර්මිෂ්ඨ තත්වයක් අත් කරගැනීමට උත්සාහ කරමින් සිටි බවය. මෙබැවින්, පාවුල් කියන්නේ, “‘ඔබේම මුඛයේ තිබෙන ඒ වචනය’ එනම් යේසුස් ස්වාමීන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, දෙවි ඔහුව මළවුන්ගෙන් නැඟිටෙවූ බව සිතින් අදහන්නේ නම් ඔබව ගලවනු ලබන්නේය” යනුවෙන්ය. ඒ කාලයේ පටන්, “යුදෙව්වෙකු හා ග්‍රීක ජාතිකයෙකු අතර කිසි වෙනසක් නැත. සියල්ලන්ටම ඇත්තේ එකම ස්වාමීන්ය. ඔහු තමාගෙන් අයැදින සියල්ලන්ට බහුල ලෙස විපාක දෙන්නේය. මන්ද ‘යෙහෝවාගේ නාමයට අයැදින සියලුදෙනාව ගලවනු ලබන්නේය.’”—රෝම 10:4, 9-13.

6. පාවුල් ගීතාවලිය 19:4 අදාළ කළේ කෙසේද?

6 එසේනම්, පාවුල් තර්කානුකූලව අසන්නේ මෙයයි. “ඔවුන් ඇදහිල්ල නොතැබූ කෙනෙකුගෙන් අයැදින්නේ කෙසේද? අසා නැති කෙනෙකු කෙරෙහි ඔවුන් ඇදහිල්ල තබන්නේ කෙසේද? දේශනා කරන්නෙකු නැතිව, ඔවුන් අසන්නේ කෙසේද?” (රෝම 10:14, NW) ඊශ්‍රායෙල් ජනයා ගැන පාවුල් කියන්නේ මෙසේයි. “සැමදෙනාම ඒ ශුභාරංචියට කීකරු වුණේ නැත.” ඊශ්‍රායෙල්වරුන් කීකරු නොවූයේ මන්ද? ඔවුන්ගේ ඇදහිල්ලේ ඌනතාවක් නිසා මිස කීකරු වීමට ප්‍රස්තාවන් නොලැබූ නිසා නොවේ. ගීතාවලිය 19:4න් උපුටාගන්නා පාවුල් මෙය අදාළ කරන්නේ මැවිල්ල මගින් දෙන නිහඬ සාක්ෂියට වඩා ක්‍රිස්තියානි දේශනා කිරීමේ වැඩයටයි. ඔහු මෙසේ කියයි. “ලොව පුරා ඔවුන්ගේ හඬ පැතිර ගියේය. ලෝකයේ කෙළවරවල් දක්වා ඔවුන්ගේ වචන පැතිර ගියේය.” (රෝම 10:16, 18, NW) එසේය, පණ නැති මැවිල්ල යෙහෝවාව මහිමවත් කරන්නාක් මෙන්, පළමු සියවසේ ක්‍රිස්තියානීන් ගැලවීමේ ශුභාරංචිය සෑම තැනකම දේශනා කළ අතර මෙසේ “ලොව පුරා” දෙවිට ප්‍රශංසා කළහ. කොලොස්සිවරුන්ට ලියූ තම ලිපිය තුළද පාවුල් විස්තර කළේ කොතරම් පුළුල්ව ශුභාරංචිය විහිදී ගොස් තිබෙනවාදැයි කියායි. ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි” දේශනා කරනු ලැබූ බව ඔහු පැවසීය.—කොලොස්සි 1:23.

ජ්වලිත සාක්ෂිකරුවෝ

7. යේසුස් පැවසූ දේවලට අනුව, ක්‍රිස්තියානීන්ට තිබෙ-න්නේ කිනම් වගකීමක්ද?

7 පෙනෙන විදිහට පාවුල් තම ලිපිය කොලොස්සිවරුන්ට ලියුවේ යේසුස් ක්‍රිස්තුස් මිය ගොස් වසර 27කට පසුවයි. සාපේක්ෂ වශයෙන් එතරම් කෙටි කාලයක් ඇතුළත කොලොස්සිය දක්වා දේශනා වැඩය පැතිර ගොස් තිබුණේ කෙසේද? එසේ වුණේ පළමු සියවසේ ක්‍රිස්තියානීන් ජ්වලිතවත් වූ අය නිසාය. තවද යෙහෝවා ඔවුන්ගේ ජ්වලිතයට ආශීර්වාද කළේය. “පළමුවෙන් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුය” කියා යේසුස් පැවසූ අවස්ථාවේදී යේසුස් පුරෝකථනය කර තිබුණේ ඔහුගේ අනුගාමිකයන් ක්‍රියාශීලී දේශනාකරුවන් වනු ඇති බවයි. (මාක් 13:10, NW) එම අනාවැකියටයි යේසුස් මතෙව් ශුභාරංචියේ අන්තිම පදවල වාර්තා වී ඇති ආඥාව එකතු කළේ. එහි මෙසේ සඳහන් වේ. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න. බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:19, 20, NW) යේසුස් ස්වර්ගයට නැඟී ටික කලකට පසුව, ඔහුගේ අනුගාමිකයෝ එම වචන ඉෂ්ට කරන්නට පටන්ගත්හ.

8, 9. ක්‍රියා පොතේ සඳහන් වෙන ලෙස, යේසුස්ගේ ආඥාවලට ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

8 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්තයේදී ශුද්ධාත්මය වැගිරීමෙන් පසුව, යේසුස්ගේ පක්ෂපාත අනුගාමිකයන් කළ පළමු දේ නම්, පිටතට ගොස් දේශනා කර, “දෙවිගේ මහිමාන්විත දේවල් ගැන” කතා කිරීමයි. ඔවුන්ගේ දේශනා වැඩය ඉතා ඵලදායී වූ අතර, “තුන්දහසක් පමණ” බව්තීස්ම කරනු ලැබූහ. ගෝලයෝ දිගටම දෙවිට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමින් ජ්වලිතව කටයුතු කළේ ඉතා හොඳ ප්‍රතිඵල ඇතිවය.—ක්‍රියා 2:4, 11, 41, 46, 47.

9 වැඩි කලක් යන්නට මත්තෙන්, එම ක්‍රිස්තියානීන්ගේ ක්‍රියාකාරකම් ආගමික නායකයන්ගේ අවධානයට ලක් විණි. පේතෘස්ගේ සහ යොහන්ගේ නිර්භීත කතාව ගැන කලබලයට පත් ඔවුහු දේශනා කිරීම නවත්වන ලෙස ප්‍රේරිතයන් දෙදෙනාට අණ කළෝය. “අප ඇසූ දුටු දේ ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක” යනු ප්‍රේරිතයන්ගේ ප්‍රතිචාරය විය. තර්ජනය කිරීමෙන් අනතුරුව නිදහස් කරනු ලැබූ පේතෘස් සහ යොහන් නැවත තමන්ගේ සහෝදරයන් කරා පැමිණීමෙන් පසු සියල්ලෝ යෙහෝවාට එක්ව යාච්ඤා කළෝය. ඔවුන් ඉතා ධෛර්ය සම්පන්නව යෙහෝවාගෙන් කළ ඉල්ලීම වුණේ, “සම්පූර්ණ නිර්භීතකමින් ඔබේ වචනය දිගටම කතා කරන්න ඔබේ දාසයන්ට අවසර දෙන්න” කියායි.—ක්‍රියා 4:13, 20, 29, NW.

10. ඇති වූ විරුද්ධවාදිකම් කවරේද? සැබෑ ක්‍රිස්තියානීන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

10 ටික කලකට පසුව පැහැදිලි වුණේ ඔවුන්ගේ යාච්ඤාව යෙහෝවාගේ කැමැත්තට එකඟ බවයි. ප්‍රේරිතයන්ව අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව දේවදූතයෙකු විසින් ආශ්චර්යවත් ලෙස ඔවුන්ව නිදහස් කරන ලදි. “යන්න. දේවමාලිගාවට ගොස් මේ ජීවිතය හා සම්බන්ධ දේ ගැන සියලු වදන් ජනයාට නොකඩවා කියන්න” යයි දේවදූතයා ඔවුන්ට පැවසීය. (ක්‍රියා 5:18-20, NW) ප්‍රේරිතයන් කීකරු වූයෙන්, යෙහෝවා ඔවුන්ට නොකඩවා ආශීර්වාද කළේය. මෙබැවින්, “ඉන්පසු ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.” (ක්‍රියා 5:42, NW) පැහැදිලිව, දෙවිට ප්‍රසිද්ධියේ මහිමය දීමෙන් යේසුස්ගේ අනුගාමිකයන්ව වැළැක්වීමට ගෙනෙන ලද දැඩි විරෝධයන් සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ විය.

11. දේශනා වැඩය කෙරෙහි මුල් ක්‍රිස්තියානීන්ගේ ආකල්පය වූයේ කුමක්ද?

11 වැඩි කල් නොගොස්, ස්තේපන්ව අත්අඩංගුවට ගෙන ගල් ගසා මරා දමන ලදි. ඔහුගේ ඝාතනයෙන් පසු යෙරුසලමේ පීඩා රැල්ලක් ඇති විණි. ප්‍රේරිතයන් හැර අනෙකුත් සියලුම ගෝලයෝ විවිධ ප්‍රදේශවලට විසිර ගියහ. ඇති වූ පීඩා මගින් ඔවුන් අධෛර්යයට පත් වුණාද? කොහෙත්ම නැත. අපට කියවන්නට තිබෙන්නේ මෙසේයි. “විසිරී ගිය අය වචනයේ ශුභාරංචිය ප්‍රකාශ කරමින් දේශය පුරා ගියෝය.” (ක්‍රියා 8:1, 4, NW) දෙවිගේ මහිමය ප්‍රකාශ කිරීමේ එම ජ්වලිතය යළි යළිත් දක්නට ලැබිණි. ක්‍රියා පොතේ 9වන පරිච්ඡේදයේ අපට කියවන්නට තිබෙන්නේ තාර්සස්හි සාවුල් දමස්කයේ විසූ යේසුස්ගේ ගෝලයන්ට පීඩා කිරීමට එහි යන විට යේසුස්ගේ දර්ශනයක් දැක අන්ධ වූ බවයි. දමස්කයේදී අනනියස් සාවුල්ගේ අන්ධභාවය ආශ්චර්යවත් ලෙස සුව කළේය. පසුව ප්‍රේරිත පාවුල් ලෙස හඳුන්වනු ලැබූ සාවුල් කළ පළමු දෙය වූයේ කුමක්ද? වාර්තාව මෙසේ කියයි. “ඔහු නොපමාව, යේසුස් ගැන එනම් ඔහු දෙවිගේ පුත්‍රයා බව සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තේය.”—ක්‍රියා 9:20, NW.

සැම කෙනෙක්ම දේශනා කිරීමෙහි හවුල් වූහ

12, 13. (අ) ඉතිහාසඥයන් පවසන පරිදි, මුල් ක්‍රිස්තියානි සභාවේ කැපීපෙනෙන ලක්ෂණය වූයේ කුමක්ද? (ආ) ක්‍රියා පොත සහ පාවුල්ගේ වදන් ඉතිහාසඥයන්ගේ ප්‍රකාශ සමඟ එකඟ වන්නේ කෙසේද?

12 මුල් ක්‍රිස්තියානි සභාවේ සෑම කෙනෙකුම දේශනා වැඩයෙහි නිරත වූ බව රහසක් නොවේ. ඒ කාලයේ විසූ ක්‍රිස්තියානීන් ගැන ෆිලිප් ෂැෆ් යන තැනැත්තා මෙසේ ලියයි. “සෑම සභාවක්ම මිෂනාරි සමාජයක් විය, සෑම ක්‍රිස්තියානි ඇදහිලිවන්තයෙක්ම මිෂනාරිවරයෙක් විය.” (ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසය, සිංහලෙන් නැත.) ඩබ්ලිව්. එස්. විලියම්ස් සඳහන් කරන්නේ මෙසේයි. “පොදු වශයෙන් තිබෙන සාක්ෂිය නම්, මුල් සභාවේ සිටි සියලුම ක්‍රිස්තියානීහු විශේෂයෙන්ම ආශීර්වාදාත්මක දීමනා [ආත්මයේ දීමනා] තිබූ අය සුවිශේෂය දේශනා කළහ.” (ගිහියන්ගේ තේජාන්විත දේවසේවය, සිංහලෙන් නැත) තවද ඔහු මෙසේද කියයි. “දේවසේවාවන්හි නියැලෙන එක්තරා සුවිශේෂ පංතියක් පමණක් දේශනා කළ යුතුයයි යේසුස් කිසි විටෙකත් අදහස් කළේ නැත.” ක්‍රිස්තියානි ධර්මයේ ඉපැරණි සතුරෙකු වූ සෙල්සස් පවා ලීවේ මෙසේයි. “රෙදි වියන්නෝ, පාවහන් නිෂ්පාදකයෝ, සත්ව හම් පදම් කරන්නෝ, ඉතා නූගත් සාමාන්‍ය වූ ජන පිරිස සුවිශේෂයේ ජ්වලිතවත් දේශනාකරුවෝ වූහ.”

13 එම වාර්තාවල නිවැරදිභාවය ක්‍රියා පොතේ ඓතිහාසික වාර්තාවල දක්නට ලැබේ. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්තයේදී ශුද්ධාත්මය වැගිරුණායින් පසුව සියලුම ගෝලයෝ, එනම් පුරුෂයෝ කාන්තාවෝ දෙවිගේ මහිමාන්විත දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ස්තේපන්ව ඝාතනය කරනු ලැබීමෙන් පසුව, විසුරුවනු ලැබූ සියලුම ක්‍රිස්තියානීහු ශුභාරංචිය දස දෙස දේශනා කළහ. වසර 28කට පසුව, පාවුල් සියලු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියන විට ලීවේ කුඩා පූජක පංතියකට නොවේ. ඔහු පැවසුවේ මෙසේයි. “අපි ඔහු මාර්ගයෙන් දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම දෙවිට ඔප්පු කරමු.” (හෙබ්‍රෙව් 13:15, NW) දේශනා කිරීමේ වැඩය ගැන පාවුල් තමාගේම දෘෂ්ටිය විස්තර කරමින් කීවේ මෙසේයි. “ඉතින් මා ශුභාරංචිය ප්‍රකාශ කළත් ආඩම්බර වීමට එය කිසි හේතුවක් නොවේ. එසේ කිරීමට මම බැඳී සිටිමි. ඇත්තෙන්ම, මා ශුභාරංචිය ප්‍රකාශ කළේ නැතිනම්, මට දුක් වේ!” (1 කොරින්ති 9:16, NW) පළමු සියවසේ සියලු ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ටද හැඟුණේ එලෙසම බවට කිසිදු සැකයක් නැත.

14. ඇදහිල්ල සහ දේශනා කිරීම අතර සම්බන්ධය කුමක්ද?

14 ඇත්තෙන්ම, සැබෑ ක්‍රිස්තියානියෙකු දේශනා වැඩයෙහි හවුල් විය යුතුය. මන්ද එය ඇදහිල්ල සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබෙන හෙයින්ය. පාවුල් කීවේ මෙසේයි. “යමෙක් ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. නමුත් යමෙක් ගැලවීම පිණිස මුඛයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේය.” (රෝම 10:10, NW) ඇදහිල්ල දැක්වීමටත් දේශනා කිරීමටත් වගකීමක් ඇත්තේ පූජක පංතියක් වැනි, සභාව තුළ ඇති කුඩා කණ්ඩායමකට පමණක්ද? ඇත්තෙන්ම නැත! සියලුම සැබෑ ක්‍රිස්තියානීහු ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළ ජීවමාන ඇදහිල්ලක් වගා කරන අතර, එම ඇදහිල්ල නිසා ප්‍රසිද්ධියේ අනුන්ට දේශනා කිරීමට පෙලඹෙති. නැත්නම්, ඔවුන්ගේ ඇදහිල්ල මැරිලාය. (යාකොබ් 2:26) ක්‍රිස්තු වර්ෂ මුල් සියවසේ සියලුම පක්ෂපාත ක්‍රිස්තියානීන් මේ ආකාරයෙන් තම ඇදහිල්ල නිරූපණය කළ නිසා, යෙහෝවාගේ නාමයට දෙන මහත් ප්‍රශංසාවක හඬක් අසන්නට ලැබිණි.

15, 16. ගැටලු මැද වුවද දේශනා වැඩය ප්‍රගතියක් ලබා ඇති බව පෙන්වන උදාහරණ දෙන්න.

15 පළමු සියවසේදී සභාව තුළ සහ පිටත මොනයම් ගැටලු තිබුණද යෙහෝවා සිය සෙනඟට ආශීර්වාද කළේය. නිදසුනක් වශයෙන්, හෙබ්‍රෙව් කතා කරන සහ ග්‍රීක් කතා කරන ක්‍රිස්තියානීන් අතර එකඟ නොවීමක් තිබූ බව ක්‍රියා පොතේ 6වන පරිච්ඡේදය වාර්තා කරයි. එම ගැටලුව ප්‍රේරිතයන් විසින් නිරාකරණය කරන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට මෙසේ කියවීමට තිබේ. “දෙවිගේ වචනය දිගටම වැඩි වර්ධනය වූයේය. යෙරුසලමේ ගෝලයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරු වූහ.”—ක්‍රියා 6:7, NW.

16 පසුව, යුදයේ රජ වන හෙරොද් අග්‍රිපා සහ තීර් සහ සීදොන්හි ජනයා අතර පැවති දේශපාලනික අරගල උත්සන්න විය. එම නගරවල විසූ ජනයා සාමයට ඉච්චා බස් දෙඩූ අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හෙරොද් ප්‍රසිද්ධියේ ඔවුන් ඇමතුවේය. රැස්ව සිටි සමූහයා, “මෙය මිනිසෙකුගේ කටහඬක් නොව දෙවි කෙනෙකුගේ කටහඬක්!” යයි කියමින් කෑගසන්නට පටන්ගත්හ. එකෙණෙහිම යෙහෝවාගේ දේවදූතයා හෙරොද් අග්‍රිපාට පහර දුන්නේය. “ඔහු මහිමය දෙවිට නොදුන් බැවින්” මිය ගියේය. (ක්‍රියා 12:20-23, NW) මිනිස් පාලකයන් කෙරෙහි තම බලාපොරොත්තුව තබාගෙන සිටියවුන්ට මොන තරම් කම්පනයක්ද! (ගීතාවලිය 146:3, 4) කෙසේවෙතත්, ක්‍රිස්තියානීන් දිගින් දිගටම කළේ යෙහෝවාව මහිමවත් කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එවන් දේශපාලනික අස්ථාවරභාවයන් තිබුණද, “යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය වී පැතිර ගියේය.”—ක්‍රියා 12:24, NW.

එදා සහ අද

17. පළමු සියවසේදී, වැඩි වෙමින් තිබූ ජනයා හවුල් වූයේ කුමක් කිරීමටද?

17 එසේය, පළමු සියවසේ ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සභාව සෑදී තිබුණේ ජ්වලිත ලෙස යෙහෝවා දෙවිට ක්‍රියාශීලීව ප්‍රශංසාව දුන් අයගෙනි. පක්ෂපාත සියලු ක්‍රිස්තියානීහු ශුභාරංචිය පැතිරීමෙහිලා හවුල් වූහ. ඇතමුන්ට ඊට සවන් දුන් අයව හමු වූ අතර, යේසුස් පැවසුවාක් මෙන්, ඔහු අණ කළාවූ සියලු දේවල් පවත්වන්නට ඔවුන්ට ඉගැන්වූහ. (මතෙව් 28:19, 20) මෙහි ප්‍රතිඵලය වූයේ සභාව වර්ධනය වීමයි. තවද තව තවත් පුද්ගලයෝ යෙහෝවාට ප්‍රශංසාව ගෙන දුන් පුරාණයේ විසූ දාවිත් රජ මෙන් යෙහෝවාට ප්‍රශංසා දුන්හ. මේ සියල්ලන්ම ප්‍රතිනාද කළේ දේවානුභාවය ලත් මේ වචනයි. “මාගේ දෙවි වූ යෙහෝවා, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසා කරන්නෙමි; සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි. මක්නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය; ඉතා ගැඹුරු වළෙන් ඔබ මාගේ ප්‍රාණය මුදාගත්තේය.”—ගීතාවලිය 86:12, 13.

18. (අ) පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව සහ අද දින ක්‍රිස්තියානි ලෝකය අතර දක්නට ලැබෙන වෙනස කුමක්ද? (ආ) ඊළඟ ලිපියේදී සලකා බැලෙනු ඇත්තේ කුමක්ද?

18 මේ සියල්ල දෙස බලන කල, දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඇලිසන් ඒ. ට්‍රයිට්ස්ගේ වචන ගැන අප කල්පනා කළ යුතුය. වර්තමාන ක්‍රිස්තියානි ලෝකය සමඟ පළමු සියවසේ ක්‍රිස්තියානි ධර්මය සන්සන්දනය කරමින් ඔහු පැවසුවේ මෙසේයි. “සාමාන්‍යයෙන් අද දින පල්ලි වර්ධනය වෙන්නේ දරුවන් බිහි කිරීමෙන් (පල්ලියේම සාමාජිකත්වය ගෙන ඇති පවුලක දරුවන්ද එම ආගමේම බව්තීස්ම කිරීම) හෝ මාරුවක් (පදිංචිය වෙනස් කර වෙනත් ප්‍රදේශයක තිබෙන පල්ලියක මීසමකට පැමිණෙන අලුත් කෙනෙක්) නිසා ඇති වන වර්ධනයෙනි. කෙසේවෙතත්, ක්‍රියා පොතේ දකින්ට ඇති වර්ධනය අලුතෙන් ඇදහිලිවන්තයන් වූ අය එකතු වීමෙන් ලැබූ වර්ධනයකි. මන්ද, සභාව එහි වැඩ ආරම්භ කළා පමණි.” මින් අදහස් කරන්නේ යේසුස් කී ආකාරයට සැබෑ ක්‍රිස්තියානි ධර්මය තවදුරටත් වර්ධනය නොවන බවද? ඇත්තෙන්ම නැත. අද දින වෙසෙන සැබෑ ක්‍රිස්තියානීහුද මුල් සියවසේ ක්‍රිස්තියානීන් මෙන්ම සෑම ආකාරයකින්ම ජ්වලිත ලෙස දෙවිට ප්‍රශංසාව දෙති. මෙය අපි ඊළඟ ලිපියේ සලකා බලමු.

ඔබට පැහැදිලි කළ හැකිද?

• අප දෙවිව මහිමවත් කරන්නේ කිනම් මාර්ගවලින්ද?

ගීතාවලිය 19:4හි පාවුල් කළ අදාළ කිරීම කුමක්ද?

• ඇදහිල්ල සහ දේශනා කිරීම අතර ඇති සම්බන්ධය කුමක්ද?

• පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව සම්බන්ධයෙන් කැපීපෙනෙන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8, 9 පිටුවේ පින්තූරය]

අහස් ගංගාවෝ නිරන්තරයෙන්ම යෙහෝවාගේ මහිමයට සාක්ෂි දරති

[හිමිකම් විස්තර]

එංගලන්ත-ඕස්ට්‍රේලියානු නිරීක්ෂණාගාරයේ අනුග්‍රහයෙනි, ඡායාරූප ඩේවිඩ් මාලින් විසිනි.

[10වන පිටුවේ පින්තූර]

දේශනා කිරීමේ වැඩය සහ යාච්ඤාව ඉතා සමීපව බැඳී තිබේ