Skip to content

පටුනට යන්න

‘අතින් සාදන ලද දේවස්ථානවල දෙවි වාසය නොකරන්නේය’

‘අතින් සාදන ලද දේවස්ථානවල දෙවි වාසය නොකරන්නේය’

‘අතින් සාදන ලදේවස්ථානවල දෙවි වාසය නොකරන්නේය’

ඇතීනා දේවතාවියගේ දේවස්ථාන පාවුල්ට හුරු පුරුදු යමක් වූ බවට කිසි සැකයක් නැත. මන්දයත් ඔහු මිෂනාරි ගමන් ගිය බොහෝ නගරවල මේවා දැකගන්නට හැකි විය. දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාට අනුව ඇතීනා යුද්ධයේ සහ ප්‍රඥාවේ දේවතාවිය හැටියට විතරක් නොව “යුධ තත්වයක් නොපවතින විට ජනයා නිරත වන අත්කම් හා ඔවුන්ගේ කුසලතාවන්වල” දේවතාවිය ලෙසද ප්‍රසිද්ධ වී සිටියාය.

ඇතීනාට කැප කර තිබූ දේවස්ථාන අතුරින් වඩාත්ම සුප්‍රසිද්ධ දේවස්ථානය වූයේ පාතිනන් දේවස්ථානයයි. එය පිහිටා තිබුණේ ඇගේ නමින්ම හඳුන්වනු ලැබූ ඇතන්ස් නගරයේයි. පුරාණයේ තිබුණා වූ ඒ අග්‍රගණයේ දේවස්ථානවලින් එකක් වන පාතිනන් දේවස්ථානයේ අඩි 40ක් උස රත්තරනින් සහ ඇත්දළ වලින් තැනූ ඇතීනාගේ රූපයක් තිබුණි. පාවුල් ඇතන්ස් නුවරට යන විට කිරිගරුඬවලින් තැනූ මෙම දේවස්ථානයට අවුරුදු 500ක් පුරා ඒ නගරයේ වැදගත් යමක් ලෙසට ගරු බුහුමන් ලැබෙමින් තිබුණි.

මෙම දේවස්ථානය පෙනෙන මානයක සිට, ඇතන්ස්හි පුද්ගලයන් පිරිසකට කතා කළ පාවුල්, ‘අතින් සාදන ලද දේවස්ථානවල වාසය නොකරන දෙවි’ ගැන දේශනා කළේය. (ක්‍රියා 17:23, 24) සමහරවිට ඇතීනාගේ දේවස්ථානයේ තේජවත් බව හෝ ඇගේ රූපවල තිබූ උදාරත්වය නිසා පාවුල්ගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙකුට තමන් නොදන්න, නොපෙනෙන දෙවිට වඩා ඇය විශිෂ්ටයි කියා පෙනුණා විය හැකියි. පාවුල් පෙන්නුම් කළ ආකාරයට මිනිස් වර්ගයාගේ මැවුම්කරු “රන්, රිදී හෝ ගල් මෙන්, මිනිස් කලාවෙන් සහ කල්පනාවෙන් නෙළූ දෙයක් හා සමාන වන්නේයයි අප නොසිතිය යුතුයි.”—ක්‍රියා 17:29, NW.

දේවස්ථාන සහ රූප මත තම ගෞරවය රැඳුන ඇතීනා වැනි දෙවි දේවතාවන් කාලයකට පැවත නැති වී යයි. ඇතීනාගේ රූපය ක්‍රි. ව. පස්වන සියවසේදී පාතිනන් දේවස්ථානයෙන් අතුරුදහන් විය. ඇගේ දේවස්ථාන කිහිපයක නටබුන් පමණක් දැනට ඉතිරිව තිබේ. අද ඇතීනාගෙන් ප්‍රඥාව සහ මඟ පෙන්වීම අයැදින්නේ කවුද?

කිසි මනුෂ්‍යයෙක් දැක නැති “සදාකල් වසන දෙවි” වන යෙහෝවා ඊට වඩා කොතරම් වෙනස්ද? (රෝම 16:25, NW; 1 යොහන් 4:12) කෝරාගේ පුත්‍රයන් මෙසේ ගායනා කළේය. “මේ දෙවි සදාකල්හිම අපේ දෙවිය. ඔහු අපට මඟ පෙන්වන්නේය.” (ගීතාවලිය 48:14) යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ලබාගත හැකි එක් මාර්ගයක් නම් ඔහුගේ වචනය වන බයිබලය ඉගෙනීමෙන් සහ එහි උපදෙස් අපේ ජීවිතයට අදාළ කරගැනීමෙනි.