Skip to content

පටුනට යන්න

උත්පත්ති පොතෙන් විශේෂාංග—II

උත්පත්ති පොතෙන් විශේෂාංග—II

යෙහෝවාගේ වචනය ජීවමානය

උත්පත්ති පොතෙන් විශේෂාංග—II

මුල් මිනිසා වූ ආදම්ව මැවීම පටන් යාකොබ්ගේ පුත් යෝසෙප්ගේ මරණය දක්වා වසර 2369ක මිනිස් ඉතිහාසය පිළිබඳ වාර්තාව උත්පත්ති පොතේ සඳහන් වේ. මුල් පරිච්ඡේද දහයේ මෙන්ම 11වන පරිච්ඡේදයේ පද නවයක් උත්. 1:1–11:9 තුළ ඇති මැවිල්ලේ පටන් බාබෙල් කොත දක්වා වාර්තාව ගැන මෙම සඟරාවේ මීට කලින් පළ වූ කලාපයේ සාකච්ඡා කෙරුණි. * මෙම ලිපියේ සලකා බලන්නේ ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝසෙප් සමඟ දෙවි කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් උත්පත්ති වාර්තාවේ ඇති ඉතිරි කොටසේ විශේෂාංගය.

ආබ්‍රහම් දෙවිගේ මිතුරා බවට පත් වෙයි

(උත්පත්ති 11:1023:20)

ජලගැල්ම සිදු වී වසර 350කට පමණ පසු නෝවාගේ පුත් ෂෙම්ගේ පරම්පරාවෙන් දෙවිට ඉතා විශේෂ වන මිනිසෙකු ඉපදේ. ඔහුගේ නම ආබ්‍රම් වන මුත් පසුව ආබ්‍රහම් ලෙස නම වෙනස් වේ. දෙවිගේ අණ පරිදි ආබ්‍රම් කල්දීය නගරයක් වූ ඌර් අත්හැර යන අතර යෙහෝවා ඔහුට හා ඔහුගෙන් පැවතෙන්නන්ට දීමට පොරොන්දු වන දේශයක කූඩාරම් වැසියෙකු බවට ඔහු පත් වේ. ඔහුගේ ඇදහිල්ල සහ කීකරුකම නිසා ආබ්‍රහම්ව “යෙහෝවාගේ මිත්‍රයා” කියා හඳුන්වනු ලැබේ.—යාකොබ් 2:23, NW.

සොදොමේ සහ ඒ අසල නගරවල දුෂ්ට වැසියන්ට විරුද්ධව යෙහෝවා ක්‍රියාත්මක වන්නේ ලොත් සහ ඔහුගේ දියණියන්ට ජීවිත දානය දෙමිනි. ආබ්‍රහම්ගේ පුතා වූ ඊසාක්ගේ උපත සම්බන්ධයෙන් දෙවිගේ පොරොන්දුවක් ඉටු වේ. වසර ගණනාවකට පසු මෙම පුත්‍රයාව පූජාවක් වශයෙන් ඔප්පු කිරීමට යෙහෝවා ආබ්‍රහම්ට උපදෙස් දෙන විට ඔහුගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජන වේ. ආබ්‍රහම් කීකරු වීමට සූදානමින් සිටින මුත් දේවදූතයෙක් ඔහුව නවත්වයි. ආබ්‍රහම් ඇදහිලිවන්ත මිනිසෙකු බවට කිසිම සැකයක් නොමැති අතර ඔහුගේ වංශය කරණකොටගෙන සියලු ජාතීන් ආශීර්වාද ලබනු ඇතැයි කියා ඔහුට සහතික කෙරේ. තම ප්‍රියාදර භාර්යාව වන සාරාගේ මරණය නිසා ආබ්‍රහම් බෙහෙවින් දුක් වේ.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

12:1-3—ආබ්‍රහම්ගේ ගිවිසුම ක්‍රියාත්මක වූයේ කවදාද, කෙතරම් කලකටද? “පොළොවේ සියලු පවුල් [ආබ්‍රම්] කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය” කියා යෙහෝවා ආබ්‍රම් සමඟ ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන්ගත්තේ, කානාන් බලා යන ගමනේදී ආබ්‍රම් යුප්‍රටීස් හරහා ගිය අවස්ථාවේදී බවක් පෙනෙන්නට තිබේ.මෙය සිදු වන්න ඇත්තේ ක්‍රි.පූ. 1943 නීසාන් 14වෙනි දාය. එනම් ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් ගැලවී වසර 430කට පෙරය. (නික්මයාම 12:2, 6, 7, 40, 41) ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම “සදාකාල ගිවිසුමක්” වේ. පොළොවේ පවුල්වලට ආශීර්වාද ලැබෙන තෙක් මෙන්ම දෙවිගේ සියලු සතුරන් විනාශ වන තෙක් එය වලංගුව පවතී.—උත්පත්ති 17:7; 1 කොරින්ති 15:23-26.

15:13පුරෝකථනය කර තිබූ පරිදි ආබ්‍රම්ගෙන් පැවතෙන්නන් වසර 400 පුරා විඳි පීඩාව පටන්ගත්තේ කවදාද? මෙම පීඩාකාරී කාල පරිච්ඡේදය පටන්ගත්තේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ට වයස අවුරුදු පහේදී, කිරි වරා සිටි ඔහුට ඔහුගේ 19 හැවිරිදි අර්ධ සහෝදරයා වූ ඉෂ්මායෙල් ‘සරදම් කළ’ අවස්ථාවේදීය. (උත්පත්ති 21:8-14; ගලාති 4:29) එය අවසන් වූයේ ක්‍රි.පූ. 1513දී ඊජිප්තු වහල්භාවයෙන් ඊශ්‍රායෙල්වරුන් මිදුණු අවස්ථාවේදීය.

16:2සාරයි තම දාසියව ආබ්‍රම්ට භාර්යාවක් ලෙස දීම සුදුසු දෙයක් වීද? සාරා ක්‍රියා කළේ ඒ කාලයේ සිරිතට අනුවයි. උරුමක්කාරයන් බිහි කිරීම සඳහා තම ස්වාමිපුරුෂයාට අවිවාහක භාර්යාවක් සැපයීම වඳ භාර්යාවකගේ යුතුකම විය. බහුභාර්යා සේවනය මුලින්ම සිදු වී තිබුණේ කායින්ගේ පවුල තුළයි. අවසානයේදී එය සිරිතක් බවට පත් වූ අතර යෙහෝවාට නමස්කාර කළ ඇතැම් අය එය පිළිපැද්දෝය. (උත්පත්ති 4:17-19; 16:1-3; 29:21-28) කෙසේවුවද, එක ස්වාමිපුරුෂයෙකුට එක් භාර්යාවක් වන යෙහෝවාගේ මුල් ප්‍රමිතිය ඔහු කිසිදා වෙනස් කළේ නැත. (උත්පත්ති 2:21, 22) ‘සඵල වෙමින් පොළොව පූර්ණ කරන්න’ යන ආඥාව යළි නෝවා සහ ඔහුගේ පුතුන්ට කියූ අවස්ථාවේදීද ඔවුන් සියලුදෙනාටම සිටියේ එක් භාර්යාවක් බව පැහැදිලිය. (උත්පත්ති 7:7; 9:1; 2 පේතෘස් 2:5) එමෙන්ම එක ස්වාමිපුරුෂයෙකුට එක් භාර්යාවක් පමණක් සිටීමේ මෙම ප්‍රමිතිය නැවතත් යේසුස් ක්‍රිස්තුස් විසින්ද තහවුරු කරනු ලැබීය.—මතෙව් 19:4-8; 1 තිමෝති 3:2, 12.

19:8—ලොත් තම දූවරුන්ව සොදොම්වරුන්ට ඉදිරිපත් කිරීම වැරදි දෙයක් නොවේද? පෙරදිග ආචාර ධර්මවලට අනුව තම නිවසේ සිටින අමුත්තන්ව රැකගැනීම නිවැසියාගේ වගකීම විය. අවශ්‍ය වුවහොත් ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පවා දෙමින් එසේ කළ යුතු විය. ලොත් එසේ කිරීමට සූදානමින් සිටියේය. ඔහු නිර්භීතව දොරකඩින් පිටතට ගොස් දොර වසා තනිවම කලහකාරීන්ට මුහුණ දුන්නේය. ඔහු තම දියණියන්ව ඉදිරිපත් කළ අවස්ථාව වන විට තම අමුත්තන් දෙවිගේ පණිවිඩකාරයන් බව වටහාගෙන සිටියා විය හැකි අතර තමාගේ නැන්දණිය වූ සාරාව දෙවි ඊජිප්තුවේදී ආරක්ෂා කළා සේම තම දූවරුන්වද ආරක්ෂා කිරීමට දෙවිට හැකි බව ලොත් තේරුම්ගත්තා විය හැක. (උත්පත්ති 12:17-20) ඇත්තෙන්ම, කාරණය නිසි අතට හැරී ලොත් සහ ඔහුගේ දියණියන්ට ආරක්ෂාව ලැබුණි.

19:30-38ලොත්ගේ බීමත්කම සහ ඔහුගේ දියණියන් ඔහුට දාව පුතුන් බිහි කිරීම යෙහෝවා විසින් නොසලකා හරිනු ලැබුවාද? යෙහෝවා කිසිවිටෙක බේබදුකම හෝ ව්‍යභිචාරය නොසලකාහරින්නේ නැත. (ලෙවී කථාව 18:6, 7, 29; 1 කොරින්ති 6:9, 10) ඇත්තෙන්ම ලොත් සොදොම්හි වැසියන්ගේ “නීති විරෝධී ක්‍රියා” පිළිකුල් කළේය. (2 පේතෘස් 2:6-8, NW) ලොත්ගේ දියණියන් ඔහුව මත් කළා යන කාරණයෙන්ම අදහස් වන්නේ ඔහු හොඳ සිහියකින් සිටි අවස්ථාවක නම් තමා සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට ඔහු ඉඩ නොදෙන බව ඔවුන් වටහාගෙන සිටි බවය. කෙසේවෙතත් ඔහුගේ දියණියන්ට හැඟුණේ එම දේශයේ විදේශීන් වී සිටින ඔවුන්ට ලොත්ගේ පරම්පරාව සම්පූර්ණයෙන්ම නැති වී යෑම වැළැක්විය හැකි එකම මඟ එය ලෙසටයි. ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වූ ඊශ්‍රායෙල්වරුන්ට (මෝවබ් මාර්ගයෙන්) මෝවබ්වරුන් හා (බෙනාමි මාර්ගයෙන්) අම්මොන්වරුන් අතර තිබෙන සබඳතාව හෙළි කිරීමට එම වාර්තාව බයිබලයෙහි සඳහන් වී ඇත.

අපට පාඩම්:

13:8, 9. එකඟ නොවීම් සම්බන්ධයෙන් කටයුතු කරන විට ආබ්‍රහම් සපයන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද! මූල්‍යමය වාසි, පෞද්ගලික රුචිකත්වය හෝ අහංකාරය නිසා අප කිසිවිටකත් සාමකාමී සබඳකම් නැති කර නොගත යුතුයි.

15:5, 6. වයස්ගත වෙමින් සිටි ආබ්‍රහම්ට පුතෙකු නොසිටි බැවින් ඔහු ඒ කාරණය ගැන දෙවි සමඟ කතා කළේය. ඊට පිළිතුරු වශයෙන් යෙහෝවා ඔහුගේ බිය සැක දුරු කළේය. ප්‍රතිඵලය? ආබ්‍රහම් ‘යෙහෝවාව විශ්වාස කළේය.’ අප යාච්ඤාවෙන් යෙහෝවාට අපේ සිත විවෘත කරනවා නම්, ඔහු බයිබලයෙන් දී තිබෙන සහතිකයන් පිළිගන්නවා නම් සහ ඔහුට කීකරු වෙනවා නම් අපේ ඇදහිල්ල ශක්තිමත් වනු ඇත.

15:16. පරම්පරා සතරක් ගෙවී යන තෙක් යෙහෝවා අමෝරිවරුන්ට (නැතහොත් කානානීයයන්ට) එරෙහිව විනිශ්චය ගෙන ඒම අත්හිටුවිය. මන්ද? ඔහු ඉවසිලිවන්ත දෙවි කෙනෙකු බැවිනි. එහෙත් ඔවුන්ගේ ක්‍රියාකලාපයේ වෙනසක් සිදු නොවන බව දකින තුරුම ඔහු බලා සිටියේය. යෙහෝවා මෙන් අපද ඉවසිලිවන්ත විය යුතුය.

18:23-33. යෙහෝවා අසාධාරණ ලෙස මිනිසුන්ව විනාශ කරන්නේ නැත. ඔහු ධර්මිෂ්ඨයන්ව ආරක්ෂා කරන්නේය.

19:16. ලොත් “ප්‍රමාද වුණ” නිසා සොදොම් නගරයෙන් පිටතට ඔහුව සහ ඔහුගේ පවුලේ අයව ඇදගැනීමට දේවදූතයන්ට සිදු විය. දුෂ්ට ලෝකයට නිමාවක් එන තුරු බලා සිටින අතරතුරේ අප හදිසිතාවේ හැඟීම නැති කර නොගැනීමට වගබලා ගැනීම නැණවත් දෙයකි.

19:26. ලෝකයෙහි දේවල් දමා ආ අප ඒවාවලින් බාධාවට පත්වීම හෝ ඒවා දෙස යළි ආශාවෙන් බැලීම මොන තරම් මෝඩකමක්ද!

යාකොබ්ට පුත්තු 12දෙනෙක් සිටිති

(උත්පත්ති 24:1-36:43)

යෙහෝවා කෙරෙහි ඇදහිල්ලෙන් සිටින රෙබෙකාව ඊසාක්ට විවාහ කරගැනීමට හැකි කරවීම සඳහා ආබ්‍රහම් සැලසුම් යොදයි. ඇය නිවුන් පුතුන් දෙදෙනෙකු වන ඒසව්ව සහ යාකොබ්ව බිහි කරයි. ඒසව් තම උරුමය යාකොබ්ට විකුණන අතර තම පියාගේ ආශීර්වාදය යාකොබ්ට ලැබේ. යාකොබ් පදන්-අරාමයට පලා යයි. එහිදී ඔහු ලෙයාව සහ රාඛෙල්ව විවාහ කරගන්නා අතර ඔවුන්ගේ පියාගෙන් වෙන්ව යෑමට පෙර වසර 20ක් පමණ ඔහුගේ බැටළු රැළ බලාගනියි. ලෙයා, රාඛෙල් සහ ඔවුන්ගේ දාසීන් දෙදෙනාද මගින් යාකොබ්ට පුතුන් 12දෙනෙකු සහ දියණියක ලැබේ. යාකොබ් දේවදූතයෙකු සමඟ පොරබදන අතර ආශීර්වාද අත් කරගනී. ඔහුගේ නම ඊශ්‍රායෙල් ලෙසට වෙනස් කරනු ලැබේ.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

28:12,13—“හිණිමඟක්” සම්බන්ධයෙන් වූ යාකොබ්ගේ සිහිනයේ වැදගත්කම කුමක් වීද? ඉහළට නැඟ ඇති පඩි පෙළක් මෙන් “හිණිමඟ” දිස් වූවා විය හැකි අතර ඉන් අඟවනු ලැබුවේ පොළොව සහ ස්වර්ගය අතර සිදු වන අදහස් හුවමාරුවකි. එහි නඟිමින් හා බසිමින් සිටි දේවදූතයන්ගෙන් පෙන්නුම් කළේ යෙහෝවා සහ ඔහුගේ අනුමැතිය ඇති මිනිසුන් අතර තිබෙන සබඳතාවට දේවදූතයන් වැදගත් ආකාරයකින් සහය වන බවයි.—යොහන් 1:51.

30:14, 15—දූදායිම් ගෙඩි කීපයක් වෙනුවෙන් පිළිසිඳගැනීමට තිබූ ප්‍රස්තාවක් රාඛෙල් පරිත්‍යාග කළේ මන්ද? පුරාණයේදී මත් ගතිය ඇති කරවන බෙහෙතක් වශයෙන් මෙන්ම මාංශ පේෂීන්හි ගැස්ම වළක්වන හෝ නැති කරන දෙයක් වශයෙන් දූදායිම් ගෙඩි යොදාගෙන ඇත. එය ලිංගික ආශාව උද්දීපනය කිරීමට සහ දරු පල වැඩි කිරීමට හෝ පිළිසිඳගැනීම සඳහා ආධාර කිරීමට හැකියාවක් ඇති ගෙඩියක් බවට විශ්වාස කෙරුණි. (සාලමොන්ගේ ගීතිකාව 7:13) හුවමාරු කිරීමේදී රාඛෙල්ට තිබුණ චේතනාව බයිබලයේ හෙළි නොකළත්, තමාට පිළිසිඳගැනීමට දූදායිම් උපකාරවත් වනු ඇතැයි කියා මෙන්ම වඳ ස්ත්‍රියක ලෙස ලැබී ඇති නින්දාව පහ වෙයි කියා ඇය සිතුවා විය හැකියි. කෙසේවුවද, යෙහෝවා “ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූයේ” ඉන් වසර කීපයකට පසුවය.—උත්පත්ති 30:22-24.

අපට පාඩම්:

25:23. නූපන් දරුවෙකුගේ ජාන සැකැස්ම අවබෝධ කරගැනීමට හා තම අරමුණු ඉටු කරගැනීම උදෙසා තම පෙර දැනගැන්ම යොදාගනිමින් යම් අයව කලින්ම තෝරාගැනීමට යෙහෝවාට හැකියාව තිබේ. එහෙත්, ඔහු පුද්ගලයන්ගේ අවසාන ඉරණම සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එළඹෙන්නේ නැත.—හොෂෙයා 12:3; රෝම 9:10-12.

25:32, 33; 32:24-29. උරුමය ලබාගැනීමට යාකොබ් දැක්වූ උනන්දුව හා ආශීර්වාදයක් ලබාගැනීමට මුළු රාත්‍රියක් පුරා දේවදූතයෙකු සමඟ පොරබැදීම මගින් පෙන්වන්නේ ඔහු ඇත්තෙන්ම පරිශුද්ධ දේවල් අගය කළ බවය. යෙහෝවා සහ ඔහුගේ සංවිධානය සමඟ අපේ සබඳතාව, මිදීමේ මිලය, බයිබලය සහ අපේ රාජ්‍ය බලාපොරොත්තුව වැනි පරිශුද්ධ දේවල් කීපයක් යෙහෝවා අපට දී තිබේ. යාකොබ් මෙන් අපි ඒවා අගය කරන බව ඔප්පු කරමු.

34:1, 30. යාකොබ්ව ‘හිරිහැරයට පත් කළ’ කරදර හටගත්තේ යෙහෝවාට ප්‍රේම නොකළ අය සමඟ දීනා මිත්‍රත්වයෙන් බැඳුණ නිසාය. අප ඥානවන්තව අපේ ආශ්‍රිතයන් තෝරාගත යුතුයි.

යෙහෝවා ඊජිප්තුවේ සිටින යෝසෙප්ට ආශීර්වාද කරයි

(උත්පත්ති 37:1-50:26)

වහලෙකු වශයෙන් තමන්ගේ සහෝදරයා වූ යෝසෙප්ව විකිණීමට යාකොබ්ගේ පුත්‍රයන්ව පොලඹවන්නේ ඊර්ෂ්‍යාවයි. ඊජිප්තුවෙහි යෝසෙප්ව හිර කරනු ලබන්නේ ඔහු සදාචාරය සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිතිවලට විශ්වාසවන්තව හා නිර්භීතව ඇලී සිටින නිසයි. කල් යත්ම, පාරාවෝගේ සිහිනවල අර්ථය පැහැදිලි කිරීමට ඔහුව හිරෙන් පිටතට ගෙන එනු ලැබේ. ඒවායින් දැක්වූයේ වසර හතක් පුරා බහුලව ආහාර තිබී ඉන්පසු වසර හත පුරා සාගතයක් තිබෙන බවයි. එවිට යෝසෙප්ව ඊජිප්තුවේ ආහාර පරිපාලකයා ලෙස පත් කෙරේ. සාගතය නිසා ඔහුගේ සහෝදරයෝ ආහාර සොයමින් ඊජිප්තුවට පැමිණෙති. ගෝෂෙන් නම් වූ සාරවත් දේශයේදී එම පවුල නැවතත් එකමුතු වී එහි පදිංචි වෙයි. මරණාසන්නව සිටින යාකොබ් තම පුත්‍රයන්ට ආශීර්වාද කරන අතර සියවස් ගණනාවකින් අනතුරුව පැමිණෙන මහත් ආශීර්වාද පිළිබඳව දෙන ස්ථිර බලාපොරොත්තුවක් සම්බන්ධයෙන් අනාවැකියක් කියයි. යාකොබ්ගේ සිරුර වැළලීමට කානාන්වලට ගෙන යනු ලබයි. යෝසෙප්ට වයස 110ක්ව තිබියදී ඔහු මිය යන අතර ඔහුගේ දේහය බෙහෙත් ගල්වා පසු කලෙක පොරොන්දු දේශයට ගෙන යනු ලැබේ.—නික්මයාම 13:19.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

43:32හෙබ්‍රෙව්වරුන් සමඟ ආහාරයක් ගැනීම ඊජිප්තුවරුන්ට පිළිකුල් දෙයක් වූයේ මන්ද? මෙයට වැඩි වශයෙන් හේතු වන්න ඇත්තේ ආගමික අගතිය හෝ ජාතිකාභිමානය විය හැක. ඊජිප්තුවරු එඬේරුන්වද පිළිකුල් කළහ. (උත්පත්ති 46:33ආ) මන්ද? එඬේරුන් ඊජිප්තුවරුන්ගේ කුලවලින් පහත්ම කුලයකට අයත් වූ නිසා වන්නට පිළිවන. එසේ නැතහොත් දේශයේ වගා කිරීමට තිබුණේ සීමිත ඉඩ කඩක් වන නිසා තම රැළට තණ කැවීමට තැන් සොයන අයව ඊජිප්තුවරුන් පිළිකුල් කළා විය හැක.

44:5ඇත්තෙන්ම යෝසෙප් ශාස්ත්‍ර කීම සඳහා කුසලානක් භාවිත කළාද? රිදී කුසලාන සහ ඒ සම්බන්ධයෙන් පැවසූ දේ පැහැදිලිවම යම් උපක්‍රමයකි. යෝසෙප් යෙහෝවාගේ ඇදහිලිවන්ත නමස්කාරකයෙකු විය. ඇත්තෙන්ම බෙන්යමින් ඒක සොරකම් නොකළා සේම ඔහුද ශාස්ත්‍ර කීමට කුසලාන භාවිත කළේ නැත.

49:10“ජයකොන්තය” සහ “ආණ්ඩුකාරයාගේ සැරයටිය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ජයකොන්තයක් යනු රාජකීය අධිකාරිත්වයේ සංකේතයක් වශයෙන් පාලකයෙකු රැගෙන යන යෂ්ටියකි. ආණ්ඩුකාරයාගේ සැරයටිය නම් අණ දීමට ඔහුට ඇති බලය අඟවන දිග දණ්ඩකි. යාකොබ් මේවාට යොමු දැක්වීමෙන් ඇඟෙව්වේ ෂීලෝ එන තෙක් යූදා ගෝත්‍රය සතු සැලකිය යුතු අධිකාරිත්වය හා බලයයි. යූදාගෙන් පැමිණෙන මෙම තැනැත්තා යෙහෝවා විසින් ස්වර්ගික පාලකත්වය දෙනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් වේ. රාජකීය අධිකාරිත්වය හොබවන ක්‍රිස්තුස්ට අණ දීමේ බලයද සතුය.—ගීතාවලිය 2:8, 9; යෙසායා 55:4; දානියෙල් 7:13, 14.

අපට පාඩම්:

38:26 යූදා තම වැන්දඹු ලේලිය වූ තාමාර් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය වරදසහිත විය. කෙසේවුවද, ඇගේ ගැබිණිභාවයට වගකිව යුත්තා තමා වූ බව හෙළි කරනු ලැබූ අවස්ථාවේදී යූදා යටහත් පහත්ව තම වරද පිළිගත්තේය. අපද අපේ වැරදි පිළිගැනීමට ඉක්මන් විය යුතුය.

39:9 පෝතිඵර්ගේ භාර්යාවට යෝසෙප් දුන් පිළිතුරෙන් පෙනී යන්නේ සදාචාරය පිළිබඳ වූ කාරණය සම්බන්ධයෙන් ඔහුගේ සිතුවිලි දෙවිගේ සිතුවිලිවලට අනුව සකස් කරගෙන තිබූ බව සහ දෙවිගේ ප්‍රතිපත්ති මගින් ඔහුගේ හෘදය සාක්ෂිය හැඩගස්වාගෙන තිබූ බවය. අප සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමෙන් වර්ධනය වෙද්දී අපද එයාකාර උත්සාහයක් දැරිය යුතු නොවේද?

41:14-16, 39, 40 යෙහෝවාට භය වන අය වෙනුවෙන් තත්වයන්වල වෙනසක් ඇති කිරීමට යෙහෝවාට හැක. විරුද්ධවාදිකම්වලට ගොදුරු වන විට යෙහෝවා තුළ අපේ විශ්වාසය තබා ඔහුට විශ්වාසවන්තව සිටීම නැණවත්ය.

ඔවුන්ට තිබුණේ නොසැලෙන ඇදහිල්ලකි

ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝසෙප් ඇත්තෙන්ම ඇදහිල්ල තිබූ දේවභයැති පුද්ගලයෝ වෙති. උත්පත්ති පොත තුළ අඩංගු ඔවුන්ගේ ජීවිත පිළිබඳ වාර්තාව සැබවින්ම ඇදහිල්ල ශක්තිමත් කරවන්නක් වන අතර එය බොහෝ වටිනා පාඩම්ද අපට උගන්වයි.

ඔබ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සතිපතා බයිබලය කියවීමේ පැවරුම සලකා බලන විට මෙම වාර්තාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔබට හැකිය. ඉහත සඳහන් දෑ සලකා බැලීම, එම වාර්තාව ජීවමාන එකක් කරගැනීමට උපකාරයක් වනු ඇත.

[පාදසටහන]

^ 1 ඡේ. 2004 ජනවාරි 1 මුරටැඹ කලාපයේ “යෙහෝවාගේ වචනය ජීවමානය—උත්පත්ති පොතෙන් විශේෂාංග—I” යන ලිපිය බලන්න.

[26වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් ඇදහිලිවන්ත මිනිසෙකි

[26වන පිටුවේ පින්තූරය]

යෙහෝවා යෝසෙප්ට ආශීර්වාද කරයි

[26වන පිටුවේ පින්තූරය]

ධර්මිෂ්ඨ ලොත් සහ ඔහුගේ දියණියන් ආරක්ෂා විය

[29වන පිටුවේ පින්තූරය]

යාකොබ් පරිශුද්ධ දේවල් අගය කළේය. ඔබත් එසේද?