Skip to content

පටුනට යන්න

ඔබට විශ්වාස කළ හැක්කේ කාගේ පොරොන්දුද?

ඔබට විශ්වාස කළ හැක්කේ කාගේ පොරොන්දුද?

ඔබට විශ්වාස කළ හැක්කේ කාගේ පොරොන්දුද?

“එදා ඔහු මෙන් ඔහුගේ පොරොන්දුද ප්‍රබල විය. නමුත් අද ඔහු සමඟ ඔහුගේ පොරොන්දුද වැළලී ගොස් ඇත.”—විලියම් ෂේක්ස්පියර් (King Henry the Eighth).

ෂේක්ස්පියර් විසින් ප්‍රබල පොරොන්දු දුන් පුද්ගලයෙකු වශයෙන් මෙසේ හඳුන්වනු ලැබුවේ 16වෙනි ශතවර්ෂයේ එංගලන්තයේ මහත් දේශපාලනික බලයක් දැරූ තෝමස් වූල්සි නම් ඉංග්‍රීසි ජාතික කාදිනල්වරයාවයි. ෂේක්ස්පියර්ගේ එම විස්තරය අද බොහෝදෙනෙකු දෙන පොරොන්දු හා හොඳින් ගැළපෙන බව සමහරුන් පැවසිය හැකිය. කලින් කලට මනුෂ්‍යයන්ට බොහෝ පොරොන්දු දුන්නද ඒවා ඉෂ්ට වෙන්නේ ඉතා අල්ප වශයෙනි. මේ හේතු නිසා ඕනෑම පොරොන්දුවක් ගැන මනුෂ්‍යයන්ට සැක පහළ වීම පුදුමයට කාරණයක් නොවෙයි.

කඩ වුණු බලාපොරොත්තු එමටයි

උදාහරණයක් ලෙස 1990 ගණන්වල බෝල්කන් අර්ධද්වීපයෙහි පැවති දරුණු කෝලාහල සමයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් බොස්නියාවේ පිහිටි ස්රේබනීට්සා නගරය “ආරක්ෂිත ප්‍රදේශයක්” ලෙස නම් කරන ලදි. එය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලැබූ විශ්වසනීය පොරොන්දුවක් මෙන් පෙනෙන්ට තිබුණා විය හැකිය. ස්රේබනීට්සාවල සිටි දහස් ගණන් මුස්ලිම් සරණාගතයෝද එලෙසම සිතූහ. කෙසේනමුත් ආරක්ෂක නගරය ගැන දුන් පොරොන්දුව හුදු සිහිනයක් වූවා පමණි. (ගීතාවලිය 146:3) වර්ෂ 1995 ජූලි මාසයේදී විරුද්ධවාදීහු එක්සත් ජාතීන්ගේ භටයන්ට පහර දී එම නගරය අත් පත් කරගත්හ. මුස්ලිම් ජාතිකයන් 6,000කට වඩා අතුරුදහන් වූ අතර අවම වශයෙන් 1,200දෙනෙකුව පමණවත් ඝාතනය කරනු ලැබීය.

ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම ජනයා අද්දකින්නේ කඩ වූ පොරොන්දුයි. අද අසන්න දකින්න ලැබෙන “බොරු හා නොමඟ යවන බොහෝ ප්‍රචාරණ” නිසා තමන්ව රවටනු ලබනවාය යන හැඟීම මනුෂ්‍යයන්ට ඇති වී තිබේ. ඔවුහු “ඡන්ද කාලයේ දහස් ගණන් දේශපාලනඥයන් දෙන බොරු පොරොන්දුවලින්” කලකිරී සිටිති.(The New Encyclopædia Britannica, 15වෙනි වෙළුම, 37පිටුව) ජනයා මහත් විශ්වාසයක් තබන ආගමික නායකයෝ පවා රැළ ආදරයෙන් රැකබලා ගැනීමට පොරොන්දු වුවද නින්දිත ආකාරයෙන් ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගනිති. අනුකම්පාව හා සැලකිල්ල දැක්විය යුතු ක්ෂේත්‍රයන් වන සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල පවා සමහරුන් ඔවුන්ගේ භාරයේ සිටින්නන්ගේ විශ්වාසය කඩ වෙන දූෂිත ක්‍රියා හෝ ඝාතන පවා සිදු කර තිබේ. සෑම වචනයක් කෙරෙහිම විශ්වාසය නොතබන ලෙස බයිබලයේ අනතුරු අඟවා තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි.—හිතෝපදේශ 14:15.

ඉටු කළ පොරොන්දු

ඇත්තවශයෙන්ම බොහෝදෙනෙක් තමන්ට පාඩුවක් සිදු වුවද තම පොරොන්දු ඉටු කරති. (ගීතාවලිය 15:4) ඔවුන්ගේ වචන කොතරම් ස්ථීරදයත් එය ඉටු කළා හා සමානයි. තවත් සමහරු හොඳ චේතනා ඇතුව පොරොන්දු දෙන අතර ඒවා ඉටු කිරීමට අවංක ආශාවක් දක්වති. ඔවුන් පොරොන්දු වූ දේ ඉටු කිරීමට කැමැත්තක් හා ආශාවක් දැක්වුවද ඔවුන්ට ඒවා ඉටු කිරීමට කොහෙත්ම හැකියාවක් නැත. උදාර චේතනා තිබුණත් තත්වයන් නිසා ඒවා වෙනස් විය හැකියි.—දේශනාකාරයා 9:11.

කෙසේවෙතත් පිළිගත යුතු සත්‍යය නම් මේ කුමන හේතුවක් නිසා හෝ බොහෝ මනුෂ්‍යයන්ට ඕනෑම කෙනෙකුගේ පොරොන්දු විශ්වාස කිරීම ඉතාමත්ම අසීරු වී තිබෙන බවයි. එසේනම් මතු වන ප්‍රශ්නය වන්නේ මෙයයි. අපට විශ්වාස කළ හැකි පොරොන්දු තිබෙනවාද? ඔව්. අපට දේවවචනය වන බයිබලයේ දී තිබෙන පොරොන්දු විශ්වාස කළ හැකියි. මේ විෂය සම්බන්ධයෙන් ඊළඟ ලිපියේ සාකච්ඡා කර තිබෙන දේ ගැන මඳක් සොයා නොබලන්නේ මන්ද? අද මිලියන සංඛ්‍යාත ජනයා පිළිගෙන තිබෙනවා හා සමානව ඔබටත් දෙවිගේ පොරොන්දු සැබවින්ම විශ්වසනීය බව නිගමනය කළ හැක.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Amel Emric