Skip to content

පටුනට යන්න

ඔබට විශ්වාස කළ හැකි පොරොන්දු

ඔබට විශ්වාස කළ හැකි පොරොන්දු

ඔබට විශ්වාස කළ හැකි පොරොන්දු

පොරොන්දු බොහෝවිට හිස් වචන කිහිපයකට සීමා විය හැකි බව දෙවිගේ අනාගතවක්තෘ මීකා ඔහුගේ කාලයේ අද්දැක තිබුණි. තමන්ගේ ළඟම හිතවතුන් පවා හැමවිටම ඔවුන්ගේ වචනයට එකඟව ක්‍රියා කරයි කියා විශ්වාස කළ නොහැකි විය. එම නිසා මීකා මෙසේ අනතුරු ඇඟෙව්වේය. “මිත්‍රයෙකු විශ්වාස නොකරන්න. හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. ඔබේ ළයෙහි සැතපෙන්නියගෙන් ඔබේ මුඛයේ දොරවල් රැකගන්න.”—මීකා 7:5.

මෙම කනගාටුදායක තත්වය නිසා මීකා සියලුම පොරොන්දු ගැන සැක සිතුවාද? නැත! ඔහු ඔහුගේ දෙවි වන යෙහෝවා විසින් දුන් පොරොන්දු සම්පූර්ණයෙන් විශ්වාස කළ බව පෙන්නුවේය. මීකා පැවසුවේ “මම වනාහි යෙහෝවා දෙස බලා සිට, මාගේ ගැලවීමේ දෙවි කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි” යනුවෙනි.—මීකා 7:7.

මීකාට එවන් ස්ථීර විශ්වාසයක් තිබුණේ මන්ද? යෙහෝවා සෑම විටම තමන්ගේ වචනයට එකඟව ක්‍රියා කරන බව ඔහු දැන සිටියේය. දෙවි මීකාගේ ආදිපිතෘවරුන්ට වූ හැම පොරොන්දුවක්ම එලෙසම ඉෂ්ට කර තිබුණේය. (මීකා 7:20) යෙහෝවා අතීතයේදී විශ්වාසවන්තව පොරොන්දු ඉෂ්ට කළ නිසා අනාගතයේදීත් එලෙසම කරයි කියා විශ්වාස කිරීමට මීකාට එය හොඳ පදනමක් විය.

“එක දෙයක්වත් අත් නෑරී . . . පැමුණුණේය”

යෙහෝවා ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගත් බව මීකා දැනගෙන සිටියේය. (මීකා 7:15) එම මිදීම අද්දැක්ක යෝෂුවා සෙසු ඊශ්‍රායෙලිතයන්ට දෙවිගේ සියලු පොරොන්දු කෙරෙහි විශ්වාස කිරීමට උනන්දු කළේය. කුමන පදනමක් මතද? යෝෂුවා ඔවුන්ට මතක් කර දුන්නේ මෙසේයි. “ඔබගේ දෙවිවූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත් නෑරුණු බව ඔබේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් ඔබ දන්නහුය. එයින් එක දෙයක්වත් අත් නෑරී සියල්ලම ඔබට පැමුණුණේය.”—යෝෂුවා 23:14.

යෙහෝවා ඔවුන් වෙනුවෙන් මහත් ක්‍රියා කළ බව ඊශ්‍රායෙලිතයෝ හොඳාකාරවම දැන සිටියහ. ඔහු ඔවුන්ගේ දේවභයැති ආදිපිතෘ ආබ්‍රහම්ට ඔහුගේ වංශය අහසේ තරු මෙන් ගණනින් වැඩි කරන බවට හා ඔවුන් කානාන් දේශය අත් පත් කරගන්නා බවට දුන් පොරොන්දු එලෙසම ඉෂ්ට කළේය. එමෙන්ම යෙහෝවා ආබ්‍රහම්ට පැවසුවේ ඔහුගෙන් පැවතෙන්නන් අවුරුදු 400ක් පීඩා විඳින බව හා ඉන්පසු ඔවුන්ගේ “සතරවෙනි පරම්පරාවේදී” නැවතත් කානාන් දේශයට පැමිණෙන බවයි. මේ සියල්ල ඉෂ්ට වූයේය.—උත්පත්ති 15:5-16; නික්මයාම 3:6-8.

යාකොබ්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ කාලයේදී ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවේ සුහදව පිළිගනු ලැබිණි. කාලයාගේ ඇවෑමෙන් ඊජිප්තුවෝ ඔවුන්ව අමානුෂික ලෙස වහල් සේවයේ යෙදෙව්වෝය. නමුත් දෙවි පොරොන්දු කර තිබූ ලෙස ඔවුන් ඊජිප්තුවට පැමිණීමෙන් අනතුරුව ඇති වූ පරම්පරා හතරක කාලය අතරතුර ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගනු ලැබීය. *

ඉන්පසු ගෙවුණු අවුරුදු 40 පුරාත් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි සෑම විටම පොරොන්දු ඉටු කරන බවට සාක්ෂි දුටුවහ. අමලෙක්වරුන් අයුක්තිසහගත ලෙස ඊශ්‍රායෙලිතයන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කල විට දෙවි මැදිහත් වී ඔවුන් වෙනුවෙන් සටන් කර ඔවුන්ව ආරක්ෂා කළේය. කාන්තාරයේ ගමන් කළ අවුරුදු 40 පුරාම ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සියල්ලක්ම සපුරා දුන් අතර අවසානයේදී ඔවුන්ව පොරොන්දු දේශයේ පදිංචි කළේය. යෙහෝවා ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් හා කටයුතු කළ ආකාරය ගැන ආවර්ජනය කළ යෝෂුවාට නිසැකකමින් යුතුව මෙසේ පැවසීමට හැකි විය. “යෙහෝවා ඊශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් [පොරොන්දු, NW] කිසිවක් අත් නෑරී සියල්ලම සිදු වුණේය.”—යෝෂුවා 21:45.

දෙවිගේ පොරොන්දු කෙරෙහි නිසැකකමක් ගොඩනඟා ගන්න

මීකා සහ යෝෂුවා මෙන් ඔබටත් යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් ගොඩනඟා ගත හැක්කේ කෙසේද? හොඳයි, ඔබ අන් අය ගැන විශ්වාසයක් ගොඩනඟා ගන්නේ කෙසේද? ඔබට හැකි පමණින් ඔබ ඔවුන්ව දැනගැනීමට උත්සාහ කිරීමෙනි. උදාහරණයක් ලෙස ඔවුන් පොරොන්දු ඉෂ්ට කිරීමට වෙහෙස මහන්සිය නොබලා වෑයම් කරන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් කොතරම් විශ්වසනීය අයද කියා ඔබට දැනගත හැකි වනවා ඇති. ඔබ එවැනි අයව තව තවත් දැනගැනීමත් සමඟ ඔවුන් කෙරෙහි විශ්වාසයක්ද ඔබ තුළ ගොඩනැඟෙනු ඇත. දෙවිගේ පොරොන්දු කෙරෙහි ඔබේ විශ්වාසය තව තවත් වැඩි කරගැනීම සඳහා ඔබටත් එයම කළ හැකියි.

ඔබට මෙය කළ හැකි එක් ක්‍රමයක් නම් මැවිල්ල ගැන හා එය පාලනය වන නීති ගැන මෙනෙහි කිරීමය. විද්‍යාඥයෝ මේ පාලන නීති විශ්වාස කරති. උදාහරණයක් ලෙස සෛල විභේදනයට ලක්වීම නිසා එක සෛලයක් සෛල ට්‍රිලියන ගණන් දක්වා වැඩි වී අපේ මුළු ශරීරයම සෑදෙන බව ඔවුහු විශ්වාස කරති. තවද මුළු විශ්වයේම පදාර්ථ හා ශක්තියේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා නීති සපයා ඇති තැනැත්තා සම්පූර්ණයෙන්ම රඳා පැවතිය හැකි නීතිදායකයෙක් විය යුතුයි. ඔහුගේ මැවිලි පාලනය කිරීම සඳහා ඔහු දී තිබෙන නීති ගැන ඔබ විශ්වාසය තබනවා හා සමානව ඔහුගේ පොරොන්දු කෙරෙහිත් කිසිම සැකයක් නැතුව ඔබට විශ්වාසය තැබිය හැකියි.—ගීතාවලිය 139:14-16; යෙසායා 40:26; හෙබ්‍රෙව් 3:4.

ඍතුවල විධිමත් බව හා අරුම පුදුම ජල චක්‍ර ගැන සඳහන් කරමින් යෙහෝවා මීකාගේ සමකාලීන අනාගතවක්තෘවරයෙකු වූ යෙසායා මාර්ගයෙන් සිය වචනයේ රඳා පැවතිය හැකි ස්වභාවය පැහැදිලි කළේය. සෑම වසරකම නොවරදවාම වැසි වැස පොළොව තෙත් කළෙන් බීජ වපුරා ඉන් අස්වැන්න නෙළාගැනීමට ජනයාට හැකි විය. මේ සම්බන්ධයෙන් යෙහෝවා පැවසුවේ මෙසේයි.“වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා, සශ්‍රීක කර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක් මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සඵල කරනවා ඇත.”—යෙසායා 55:10, 11.

පාරදීසය ගැන ස්ථීර පොරොන්දු

මැවිල්ල ගැන සෝදිසි කර බැලීමෙන් මැවුම්කරු ගැන විශ්වාසය තව තවත් වැඩි කරගත හැකියි. නමුත් දෙවිගේ ‘මුඛයෙන් නික්මෙන [ඔහුගේ] වචනයේ’ සඳහන් පොරොන්දු ගැන දැනගැනීමට ඔබ කැමති නම් ඊට වඩා දෙයක් කළ යුතු වේ. මේ පොරොන්දු ගැන ඉගෙනගෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට නම්, පොළොව සඳහා දෙවිගේ අරමුණ ගැනත් ඔහු මනුෂ්‍යයන් සමඟ කටයුතු කරන ආකාරය ගැනත් සඳහන් දේවානුභාවයෙන් ලියන ලද ලියවිල්ල ඔබ විසින් සෝදිසි කර බැලිය යුතු වේ.—2 තිමෝති 3:14-16.

අනාගතවක්තෘ මීකාට යෙහෝවාගේ පොරොන්දු ගැන නිසැකකමක් තිබුණි. මීකාට වඩා ඔබට දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද වාර්තා බොහොමයක් තිබේ. ඔබ බයිබලය කියවා මෙනෙහි කරන විට, ඔබටත් දෙවිගේ පොරොන්දුවල ඉෂ්ට වීම ගැන විශ්වාසයක් ගොඩනඟා ගත හැකි වෙයි. මෙම පොරොන්දුවලට ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් පමණක් නොව සියලුම මනුෂ්‍යය වර්ගයාත් ඇතුළත්ය. යෙහෝවා මේ දේවභයැති කුලදෙටුවාට පොරොන්දු වූයේ “මාගේ ශබ්දයට කීකරු වූ නිසා ඔබේ වංශය කරණකොටගෙන පොළොවෙහි සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය” යනුවෙනි. (උත්පත්ති 22:18) ආබ්‍රහම්ගේ “වංශයේ” හෙවත් ඔහුගේ දරු පරම්පරාවේ මූලික අංගය වන්නේ මෙසියස් නොහොත් යේසුස් ක්‍රිස්තුස්ය.—ගලාති 3:16, 17අ.

යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් කීකරු ජනයාට ආශීර්වාද වගුරුවාලීමට යෙහෝවා අරමුණු කරයි. දෙවි අපගේ කාලයේ කිරීමට පොරොන්දු වී තිබෙන්නේ කුමක්ද? මීකා 4:1, 2 පිළිතුරු සපයන්නේ මෙසේයි. “මතු දවස්වලදී යෙහෝවාගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස් වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.බොහෝ ජාතීන්ද ගොස් කතා කොට: එන්න යෙහෝවාගේ කන්දටත් යාකොබ්ගේ දෙවිගේ ගෘහයටත් යමු. ඔහු තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. අපිද ඔහුගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත.”

යෙහෝවාගේ මාර්ග ඉගෙනගන්නා අය “තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය.” යුද්ධ කිරීමට පොලඹවන කිසිම ආකාරයේ නැඹුරුවාවක් ඔවුන් තුළ දක්නට ලැබෙන්නේ නැත. ඉතා ඉක්මණින් පොළොව අවංක අයගෙන් පිරී යන අතර ඔවුන්ව බියගැන්වීමට කිසි කෙනෙක් සිටින්නේද නැත. (මීකා 4:3, 4) ඇත්තවශයෙන්ම දෙවිගේ වචනයේ පොරොන්දු වෙන්නේ දේවරාජ්‍යයේ යේසුස්ගේ පාලනය යටතේ යෙහෝවා පොළොවේ සියලුම කෲරකම් කරන අයව සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන බවයි.—යෙසායා 11:6-9; දානියෙල් 2:44, 45; එළිදරව් 11:18.

දෙවිට විරුද්ධව මනුෂ්‍යයා කළ කැරලිගැසීම හේතුවෙන් පීඩා විඳ මිය ගිය අය පවා පොළොවේ සදාකල් ජීවත් වීම සඳහා නැවත නැඟිටවනු ලබනවා ඇත. (යොහන් 5:28, 29) දුෂ්ටකමට අත හිත දෙන සාතන් සහ ඔහුගේ දූතයන් තවත් නොසිටිනු ඇත. එලෙසම ආදම්ගෙන් උරුම වූ පාපයේ බලපෑම යේසුස්ගේ මිදීමේ පූජාවේ වටිනාකමින් ඉවත් කරනු ලැබේ. (මතෙව් 20:28; රෝම 3:23, 24; 5:12; 6:23; එළිදරව් 20:1-3) කීකරු ජනයාට කුමනාකාරයේ ඵලවිපාකයක් ලැබේවිද? ඔව්, ඔවුන්ට පූර්ණ සෞඛ්‍යයක් ඇතුව පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ වරප්‍රසාදය හිමි වෙනවා නියතයි!—ගීතාවලිය 37:10, 11; ලූක් 23:43; එළිදරව් 21:3-5.

මොන තරම් විශිෂ්ට පොරොන්දුද! ඇත්තටම මේවා විශ්වාස කළ හැකිද? ඇත්තෙන්ම විශ්වාස කළ හැකිය. ඒ පොරොන්දු මනුෂ්‍යය පොරොන්දු නොවෙයි. හොඳ චේතනාවෙන් මනුෂ්‍යයන් පොරොන්දු වුණත් ඔවුන්ට හැකියාවක් නැති නිසා ඒවා ඉටු කරන්න ඔවුන්ට බැරි වේ. ඒ පොරොන්දු දෙන්නේ බොරු කීමට නොහැකි “තමන්ගේ පොරොන්දු ගැන ප්‍රමාද” නොවන සර්ව බලධාරී දෙවියි. (2 පේතෘස් 3:9; හෙබ්‍රෙව් 6:13-18) බයිබලයේ තිබෙන සියලුම පොරොන්දු ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තබාගත හැකි වන්නේ ඒවායේ උල්පත “සැබෑකමේ දෙවි වූ යෙහෝවා” වන නිසයි.—ගීතාවලිය 31:5.

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (සිංහලෙන් නොමැත) නමැති පොතේ 911-12 දක්වා පිටු බලන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත් නෑරුණේය.’—යෝෂුවා 23:14

[4, 5වන පිටුවේ පින්තූර]

යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දුන් පොරොන්දු රතු මුහුද අසලදී මෙන්ම කාන්තාරයේදීද ඉෂ්ට කළේය

[7වන පිටුවේ පින්තූර]

යෙහෝවා ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉෂ්ට කළේය. ඔහුගේ වංශය වන යේසුස් ක්‍රිස්තුස් මනුෂ්‍ය වර්ගයාට ආශීර්වාද ගෙනෙනු ඇත