Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උත්පත්ති 38:15, 16හි සඳහන් පරිදි, වේශ්‍යාවකයයි සිතූ කාන්තාවක සමඟ යූදා ලිංගික සබඳකම් පැවැත්වීමට හේතු වූයේ කුමන තත්වයන්ද?

වේශ්‍යාවකයයි සිතූ කාන්තාවක සමඟ යූදා ලිංගික සබඳකම් පැවැත්වූ බව සැබෑවක් වුවත්, ඇය සැබවින්ම වේශ්‍යාවක් නොවූවාය. උත්පත්ති 38වන පරිච්ඡේදයට අනුව සිදු වූයේ මෙයයි.

යූදාගේ කුලුඳුල් පුත්‍රයාට ඔහුගේ බිරිඳ වූ තාමාර්ගෙන් පුත්‍රයන් ලැබෙන්නට පෙර, ඔහු “යෙහෝවා ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින්” ඔහුව මරණයට පත් කරනු ලැබීය. (උත්පත්ති 38:7) ඒ කාලයේ සිරිත වූයේ පුරුෂයාගේ සහෝදරයා එම වැන්දඹුව විවාහ කරගැනීමෙන් තම යුතුකම ඉෂ්ට කිරීමය. ඉන් අදහස් කළේ, උරුමක්කාරයෙකු නැතුව මිනිසෙක් මිය ගියොත් එම මිනිසාගේ සහෝදරයා ඔහු වෙනුවෙන් උරුමක්කාරයෙකු ලබා දීමය. එහෙත් යූදාගේ දෙවෙනි පුත්‍රයා වූ ඕනාන් තම වගකීම ඉෂ්ට කිරීමට අකමැති විය. ඒ හේතුවෙන් ඔහු දෙවිගෙන් විනිශ්චය ලැබ මැරුණේය. ඉන්පසුව යූදා තම ලේලි වන තාමාර්ව තම තුන්වන පුත්‍රයා වූ ෂේලාට විවාහ කර දීම සඳහා ඔහු සුදුසු වයසට පැමිණෙන තෙක්, තාමාර්ව ඇගේ පියාගේ නිවසට පිටත් කර යැව්වේය. කෙසේවෙතත් කාලය ගෙවී ගියත් තම පුත්‍රයා වූ ෂේලාට තාමාර්ව විවාහ කර දීමට යූදා අසමත් වූයේය. එබැවින් යූදාගේ බිරිඳ මිය ගිය පසු, කලින් තම මාමණ්ඩිව සිටි ඊශ්‍රායෙල් ජාතික යූදා මාර්ගයෙන් උරුමක්කාරයෙකු ලබාගැනීමට තාමාර් සැලැස්මක් යෙදුවාය. ඇය බොරු දෙවිවරුන්ගේ දේවාල අසල ගැවසුණු වේශ්‍යාවකගේ වෙස් අරගෙන, යූදා යන්නට නියමිතව තිබූ මාර්ගයේ හිඳගෙන සිටියාය.

තාමාර්ව හඳුනාගැනීමට අසමත් වූ යූදා ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්විය. ඒ වෙනුවෙන් ඇය නැණවත්ව ඔහුට අයිතිව තිබූ යම් දේවල් ඉල්ලගත්තාය. පසුව, ඇය එම දේවල් පෙන්වමින් ඇයව ගර්භිණීභාවයට පත් කළේ ඔහුයයි ඔප්පු කළාය. සත්‍යය හෙළි වූ විට යූදා ඇයට දොස් නොකියා යටහත් පහත් ලෙස මෙසේ පැවසීය. “ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍ර වූ ෂේලාට ඈ නුදුන්නෙමි.” එපමණක්ද නොව “ඔහු තවත් ඈ නොහැඳින්නේය.”—උත්පත්ති 38:26.

පොරොන්දු වූ පරිදි යූදා තම පුත්‍ර වූ ෂේලාට තාමාර්ව නොදීමෙන් කටයුතු කළේ වැරදි ආකාරයකිනි. එපමණක්ද නොව, වේශ්‍යාවකයයි ඔහු සිතූ කාන්තාවක සමඟ ඔහු ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේය. මෙය පුරුෂයෙකුට විවාහ විධිවිධානය තුළ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් වූ දෙවිගේ අරමුණට පටහැනි දෙයකි. (උත්පත්ති 2:24) කෙසේවෙතත් ඇත්තෙන්ම යූදා ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේ වේශ්‍යාවක් සමඟ නොවේ. ඔහු නොදැනුවත්වම කළේ තම පුත්‍ර ෂේලාගේ තැන ගෙන පුරුෂයාගේ සහෝදරයාගේ යුතුකම් ඉෂ්ට කරමින් ඔහු වෙනුවෙන් නීත්‍යනුකූල දරුවන් බිහි කිරීමය.

තාමාර් සම්බන්ධයෙන් ගත් කල ඇගේ ක්‍රියාකලාපය අනාචාරමය එකක් නොවේ. ඇගේ නිවුන් පුත්‍රයන් වේශ්‍යාකමේ පුත්‍රයන්යයි සලකනු ලැබුවේ නැත. පුරුෂයාගේ සහෝදරයාගේ යුතුකම ඉටු කිරීම සඳහා බෙත්ලෙහෙම්හි බෝවස් මෝවබ් ජාතික රූත්ව විවාහ කරගැනීමෙන් පසුව, තාමාර්ගේ පුත්‍රයෙකු වූ පෙරෙශ්ගේ හොඳ කියමින් බෙත්ලෙහෙම්හි වැඩිමහල්ලෝ ඔහුට මෙසේ පැවසූහ. “යෙහෝවා මේ කාන්තාවගෙන් ඔබට දෙන දරුවන් කරණකොටගෙන ඔබේ පවුල යූදාගේද තාමාර්ගේද පුත් පෙරෙස්ගේ වංශය මෙන් වේවා!” (රූත් 4:12, නව අනුවාදය) යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන්මිත්තන්ගේ නම් ලයිස්තුවේද පෙරෙශ්ගේ නම දක්නට ලැබේ.—මතෙව් 1:1-3; ලූක් 3:23-33.